Friday 9 March 2018

විදු පත් ඉරුව
2015  මාර්තු 11  බදාදා

ඔන්න නැවතත් ගම්පහ ප්‍රදේශය උණුසුම් වෙලා. කුණු වතුර ප්‍රශ්නයක්‌ හින්ද මිට කලිනුත් විශාල ගැටලුවක්‌ ඒ පැත්තේ පැනනැගුණා නේ. මේ ගමන ගැටලුව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්නයක්‌. කුණු අද මුළු ලංකාවට ම ප්‍රශ්නයක්‌ වෙලා තියෙන්නේ. කොයිතරම් උත්සාහ කළත් විසඳගන්න අමාරුයි වගේ. හැබැයි බොහොම ගැඹුරෙන් කල්පනා කළා ම පේන දේ තමයි එතරම් සරල ගැටලුවක්‌, බොහොම පහසුවෙන් විසදගන්න පුළුවන් දෙයක්‌ මෙච්චර සංකීර්ණ කරගන්නේ ඇයි කියන එක.

ගෙදරක ගොඩගැහෙන කුණු ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකයි නේ. දිරන සහ නො දිරන. අපට ප්‍රධාන වශෙයන් ගැටලුවක්‌ වෙන්නේ මේ දිරන කුණුවලින්. බොහොම සරලව කිව්වොත් මේ කොටසට අයිති වෙන්නේ එදිනෙදා අප කාලා බීලා ඉවත ලන දෑ. මේ ගොඩගැහෙන කුණු කාලයත් එක්‌ක කුණු වෙලා ගඳගහන්න පටන් ගන්නවා. ඔන්න එතකොට තමයි මිනිස්‌සුන්ට දැනෙන්න පටන් ගන්නේ. මේ විදියට කුණු වෙන දෑ විවිධ විෂබීජ වර්ධනය සදහා තෝතැන්නක්‌ වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් මේ ගැටලුව විසඳීමේ දී පෞද්ගලිකව අපට විශාල සහායක්‌ ලබා දෙන්න පුළුවන්. ඒ අපි අපේ කුණු ඉවත ලෑමේ ක්‍රියාදාමයේ සිදු කරන වෙනස මගින්. බොහොම සරලව මේ පිළිබඳව හිතට ගත්තොත් අපට පුළුවන් මේ ගැටලුවෙන් මිදෙන්න. ඉතින් අපිට මොනව ද කරන්න පුළුවන්? ගෙදර දී ම අපට පුළුවන් මේ කුණු වෙන් කරන්න. ඉතා ඉක්‌මනින් කුණු වෙන දෑ එක ගොඩකට. ඉතා ම පහසුවෙන් මේ දෙය ගෙදර දී කරන්න පුළුවන්. මෙලෙස එකතු වන ඉතා ඉක්‌මනින් නරක්‌ වන කුණු ගෙවත්තේ කොනක කාබනික පොහොර නිපදවෙන බක්‌කියට දැමීමෙන් අමතර වාසියකුත් එනවා. ඒ අපේ ගෙවත්තට අවශ්‍ය පොහොර ටික ලැබීමෙන්. එදිනෙ දා ම එවැනි කුණු ඉවත ලෑමෙන් ගඳ ගහන එකත් නවතිනවා. නැත්නං හුගාක්‌ වෙලාවට වෙන්නේ සතියකට සැරයක්‌ කුණු ලොරිය එනකං නරක්‌ වෙන කුණු ගඳ ගගහා තියාගෙන ඉන්න එක. සමහර වෙලාවට එය මීයන් කැරපොත්තන් වැනි සතුන් බෝ වෙන්නත් හේතුවක්‌ වෙන්න පුළුවන්. ඉක්‌මනින් දිරන කුණු විශාල ප්‍රමාණයක්‌ දිනක දී එකතු වන තැනක්‌ නං, එය භාවිතයෙන් පුළුවන් ජීව වායුව නිෂ්පාදනය කරන්න. විශේෂයෙන් ම ආපන ශාලා වැනි ස්‌ථානවල දියරමය කාබනික අපද්‍රව්‍යවත් එකතු වෙන්න පුළුවන්. අද තාක්‌ෂණය දියුණු වෙලා තියෙන නිසා එම ස්‌ථානයේ ම සරල ඇටවුමක්‌ සකස්‌ කරගැනීමෙන් ඉහත කී ඝන සහ දියර කාබනික ද්‍රව්‍ය කියන දෙක ම භාවිතයෙන් ජීව වායුව නිෂ්පාදනය කරගත හැකියි. ආපන ශාලාවට අවශ්‍ය ශක්‌ති අවශ්‍යතාව ඒකෙන් සපුරාගන්නත් පුළුවන් එතකොට. මුදලුත් ඉතිරි වෙනවා, අහක දාන දෙයින් ප්‍රයෝජනයකුත් අරගෙන. අවශ්‍ය වන්නේ ඔබේ අවධානය නිර්මාණාත්මක දේ කෙරෙහි යෙදවීම පමණයි. මෙවැනි ක්‍රමවේද ඉක්‌මනින් දිරන කාබනික ද්‍රව්‍ය එකතු වෙන ඕනෑ ම තැනකට යොදාගන්න පුළුවන්.

දිරන කුණු ටිකේ ප්‍රශ්නය විසඳුණා ම ගෙදර එකතු වෙන කුණුවලින් භාගයකටත් වැඩිය අඩු වෙනවා. එතකොට අපි මොකද ඉතුරු වෙන නො දිරන කොටසට කරන්නේ? නො දිරන කොටසට එකතු වෙන්නේ වීදුරු, පොලිතීන්, කඩදාසි වැනි දේවල් නේ. මේ දේවල් බොහොම පැහැදිලිව ම නැවත නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. උදාහරණයක්‌ හැටියට ගෙදෙට්‌ට ගේන පොලිතින් කවරයක්‌ අපි සියල්ලෝ ම තව එක පාරක්‌ භාවිත කළොත් ලංකාවේ පොලිතින් කවර අවශ්‍යතාව භාගයකින් අඩු වෙනවා. ඊළඟට අපිට මේ දේවල් ප්‍රතිචක්‍රීකරණය කරන්නත් පුළුවන්. මෙවැනි ද්‍රව්‍ය එකතු කරන විවිධ ආයතන තියෙනවා. ඒවාට දීලා අපිට මුදලක්‌ හොයාගන්නත් පුළුවන්. අපි ගොඩ දෙනකුට ගැටලුවක්‌ වෙලා තියෙන්නෙ මේ දේවල් ලබාගන්නා ආයතන නො දැන සිටීමයි. ඉදිරි කාලයේ දී විද්‍යා, තාක්‌ෂණ සහ නවෝත්පාදන ලේකම් කාර්යාලයෙන් මෙවැනි තොරතුරු මහජනතාවට ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක්‌ සකස්‌ කරා වි. දැනටමත් ඔබට වීදුරු ලබා දිය යුතු ආයතන ගැන නං විස්‌තර ලබාගන්න පුළුවන්. (ඒ වගේ ම ජීව වායු නිෂ්පාදනය පිළිබඳවත්). කඩදාසි වැනි ද්‍රව්‍ය නැවත නැවත භාවිතයේ වාසිය තමයි මේ ද්‍රව්‍ය මූලික නිෂ්පාදනයේ දී අවශ්‍ය වන අමුද්‍රව්‍ය භාවිතය අඩු වීම. ඒ කියන්නේ උදාහරණයක්‌ හැටියට කඩදාසි සදහා අවශ්‍ය වන ගස්‌ කපන එක අඩු කරන්න පුළුවන්. එකෙන් වාසි දාමයක්‌ ලැබෙනවා. හරිතාගාර වායුව උරාගැනීම වැඩි කරනවා. උණුසුම පාලනය වෙනවා. මුහුදු මට්‌ටම ඉහළ යැම පාලනය වෙනවා. පහත් බිම් යට වීම අඩු වෙනවා. සරලව ම කිව්වොත් කඩදාසි නැවත නැවත භාවිත කිරීම පරිසරය සුරැකීමට හේතු වෙනවා.

ඔන්න එතකොට අපිට තේරෙනවා මෙවැනි පොඩි පොඩි දේවල් අපේ ගෙදර ම ක්‍රියාත්මක කිරීමෙන් කොපමණ සහනයක්‌ පරිසරයට ලබා දෙන්න පුළුවන් ද කියලා. ඒ විතරක්‌ නො වෙයි අපේ මෙවැනි කළමනාකරණ ක්‍රියා හේතුවෙන් අපිටත්, වටපිටේ ඉන්න අයටත් පිරිසිදු පරිසරයක ජීවත් වෙන්න ඉඩ පහසුව සලසා දෙන්න පුළුවන් වෙනවා. මෙහි දී වැදගත් වෙන්නේ සංකල්පීය වෙනසක්‌. මා විශ්ව විද්‍යාලයයේ ඉන්නා කාලයේ දී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව විශ්වවිද්‍යාලයයේ සිසුන් තුළ ආකල්පමය වෙනසක්‌ ඇති කරන්න උත්සාහ කළා. එය තරමක්‌ සාර්ථක වුණත් මා හිතනවා වඩාත් ප්‍රායෝගික සාර්ථක ක්‍රමය වන්නේ අපේ දරු පරපුර දැනුවත් කිරීමයි කියලා. ඔවුන් ඒ සදහා පුරුදු පුහුණු කිරීම කියලා. වැඩිහිටියන් ගේ දායකත්වයත් මේ සදහා තරමක්‌ බලපානවා. කෙසේ වෙතත් විදු පත් ඉරුව කියවන ඔබ දැන්ම සිට ම මෙවැනි යහ ක්‍රියා පුරුදු පුහුණු වුව හොත් වැඩි කාලයක්‌ නො ගොසින් මෙරට මනා කසළ කළමනාකරණයක්‌ ඇති අපූරු තැනක්‌ බවට පත් වේ වි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...