Saturday 4 February 2017




බුදු දහම, බුද්ධිමතුන් සහ විද්‍යාඥයින්.......................!!

බුදු දහම බුද්ධිමතුන්ගේ දහමයි යැයි කියන්නේ එහි මැවුම් වාදයක් හෝ නිර්මාණවාදයක් හෝ නොමැති නිසා පමණක් නොව තාර්කික පදනමක් මත ගොඩ නැගුන දහමක් නිසා යැයි මට සිතේ. කිසිවෙකු ඒ තුල බලෙන් රඳවා ගැනීමක් සිදු නොකරන අතර බලෙන් යමෙක් බඳවා ගන්නේද නැත. යම් කිසිවෙකුට ඒ තුලින් මතුවන ජිවිතයේ සත්‍ය ග්‍රහණය කරගැනීමට අවැසි නම් තමාගේම අධ්‍යනය තුලින්ම එය වටහා ගැනීමට ඉඩ ප්‍රස්තාව මෙතුල ඇත. ඒ සදහා වෙනකෙකුගේ නිර්දේශ අවැසි වන්නේ නැත. බුදු දහමේ සියල්ල ඔබට ප්‍රශ්න කල හැක. වැටහෙන තුරු තර්ක කල හැක. ඒ තුල ඇති විශිෂ්ඨබාවය නම් වෙනත් කිසිම ආගමක් පහත හෙලන්නේද, බුදු දහම තුල රැඳෙන්නට කිසිම ජාතියක් හෝ කුලයක් මතබේදාත්මක වන්නේ ද නැත. ලෝකයේ වෙසෙන සියලු ජිවින්ට විවෘත වූ ද සදාකාලික සහනය ගෙන එන බව ද බුද්ධිමතුන්ගේ මතයයි.  

බුදුදහම පාදක කොට බිහිවන සංස්කෘතීන් තුල සැමට සමතැන දෙයි. බුදු දහම තුලින් මුවහත් වූ සමාජයක ගැටලු අවම වන්නේනමය. පංච ශීලයේ ශික්ෂාව තුල දැමුණු කයක් මෙන්ම නිවුන මනසක් ද හිමි වන බව වර්තමානයේ වුව යම් යම් සමාජ සිදුවීම් වලින් පැහැදිළි වේ. සියලු දෙනා එකිනෙකාට  ගෞරවයෙන් සැලකීම ද විඥ්ඥුන්ගේ මතයට ගරු කිරීමද, වැඩිහිටියන්හට සැලකීම ද, කෘතගුණ සැලකීම සහ ආගන්තුකයන් හට සැලකීම ආදී අපූරු ගුණාංග වලින් පිරි සමාජයක් බිහිකරන්නට බුදු දහම අත්‍යන්තයෙන්ම හේතුවන බව  ඒ ගැන නිසි ලෙස දන්නා කිසිවෙකුට පුදුමයක් නොවේ. තම දක්ෂතා තුල සමාජ මෙහෙවර කරන්නට කදිම තෝතැන්නක් ලබා දෙන බවද රහසක් නොවේ. මෙවන් වූ පසුබිමක ඉන් වියුක්තව අප බොහෝ දෙනෙකු වල් වැදෙන බව ද අමුතුවෙන් පෙන්වා දෙන්නට අවැසි  නොවේ.

වර්තමාන සමාජයේ බටහිර විද්‍යාව ඉස්මතුව ඇති කලෙක, විද්‍යාඥයන්ව බුද්ධිමතුන් ලෙස පිළිගන්නා සැටියකි. බුද්ධිමතුන් විද්‍යාව හදාරන්නේ ද නැතහොත් විද්‍යාව හදාරන්නන් බුද්ධිමතුන්දයි පැහැදිළි නැති නමුත් විද්‍යාව හැදෑරුවන් හට මෙලොව යම් පිළිගැනීමක් ඇති බව පිළිගත යුතුය. නමුත් විද්‍යාව හැදෑරු සියල්ලන් බුද්ධිමතුන් නම් මෙලොව මෙතරම්ම විනාශයට ලක් වන්නට ඉඩ ප්‍රස්තාවන් ඇති වේදැයි සැක සහිත බව ඔබට වැටහේවි. මිනිසුන් මරන්නට අවි ආයුධ නිපද වන්නේත්, විවිධ රසායනික ලොව පුරා ප්‍රචලිත කරන්නේත් පමණක් නොව කොටින්ම අපගේ ශරීරයට අහිතකර දේවල් රැගත් ආහාර නිපදවා රුපවාහිනි දැන්වීම් මගින් අපට කවන්නට පොර බදන්නේත් මෙම විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵලයන් නිසා බව කෙදිනක හෝ ඔබට වැටහී ඇත්දැයි  සිහි කල යුතුය. නමුත් මේ සියල්ලෙහි එලෙස වූ අහිතකර දෑ සහ තත්වයන් නැති බව ද අප පිළිගත යුතුය.

විද්‍යාලෝකය තුල ඇත්තේද වටහා ගත නොහැකි තරඟයකි. එකිනෙකා අභිබවා යන්නට වෙර දරන අනන්ත අප්‍රමාණ විද්‍යාඥයෝ බොහොමයකි. තවත් අයෙකුගේ නිර්මාණයක් කොල්ල කන්නට බලා ඉඳිනා අද පවසනා මෙවැනි බුද්ධිමතුන් රාශියකි. තවත් අයෙකුගේ අදහසක්, දත්ත සමූහයක් හෝ පමණක් නොව පල කර ඇති පර්යේෂණ වාර්තා පවා කොල්ල කෑ අවස්ථා වාර්තා වෙන බව රහසක් නොවේ. උගත්කම පමණක් ම නිර්මාණශීලි පර්යේෂණ අරඹන්නට සමත් නොවන බවට මෙවැනි සිදුවීම් කදිම නිදසුන් වේ. අයෙක් ජිවය නංවාලන්නට පර්යේෂණ, නව නිපැයුම් කරද්දී තවත් අයෙක් මිනිසා ඇතුළු සමස්ත පරිසරයම් විනාශ කරන්නට තම පර්යේෂණ තුලින් තැත් කිරීම අතිශය සංවේග ජනකය.

මේ තත්වය  වෙනස්කරන්නට හැකි වන්නේ කෙසේද යන්න අප සාකච්චාවට බඳුන් කල යුතු ඉතා වැදගත් කරුණක් යයි මට සිතේ. බුදු දහමින් සුපෝෂණය වූ සංස්කෘතියක් තුලින් මෙම විද්‍යාවන් බිහි වූයේනම් ඇතිවන තත්වය කෙබඳු වේ ද, සත්‍ය ලෙසම බුදු දහම අනුගමනය කරන විද්‍යාඥයින් බිහි වූවොත් ලෝකය කෙලෙසක වෙනස් වේද යන කරුණු සාකච්චාවට පමණක් නොව අනාගතයේදී ප්‍රයෝගික මට්ටමෙන් ප්‍රචලිත කරන්නට හැකි වේ නම් කදිම ලොවක් නිර්මාණය කල හැකි නොවේදැයි සිතේ. එමෙන්ම මෙවැනි සංස්කෘතියක් තුලින් බිහිවන විද්‍යා ලෝකයක් බටහිර විද්‍යාවෙන් අත්‍යන්තයෙන්ම වියුක්ත වන බව නම් අප සැම පිළිගත යුතු වේ.  


ආචාර්ය පත්මකුමාර ජයසිංහ
04.02.2017

විදු පත් ඉරුව
2015  අගෝස්‌තු 26 බදාදා


න්‍යෂ්ටික බලාගාරවල විදුලි උත්පාදනය සඳහා යොදාගන්නේ විකිරණශීලී මුලද්‍රව්‍ය. විකිරණශීලී මූලද්‍රව්‍ය විකිරණ පිට කරමින් වෙනත් මූලද්‍රව්‍ය බවට පත් වන අතර ඒවා "දාරක මූලද්‍රව්‍ය" ලෙස හදුන්වනවා. මේ විකිරණ ඇල්ෆා සහ බීටා වැනි විවිධාකාරයේ අධි ශක්‌ති කිරණ වන අතර, ගැටීම ඒ සතු තාපය තවත් ද්‍රව්‍යයකට මාරු කිරීමට හේතු වනවා. මෙලෙස විකිරණ පිට කිරීමේ දී ඇති වන තාප ශක්‌තිය මගින් ජලය උණු කර, ඇති වන ජලවාෂ්පයෙන් ටර්බයින ක්‍රියාත්මක කිරීමෙන් තමයි විදුලිය ජනනය කරනු ලබන්නේ. ජපානයේ විදුලි අවශ්‍යතාවෙන් 30%ක්‌ පමණ ම සපුරාගත්තේ මේ ආකාරයටයි. ජපානයේ විදුලි උත්පාදනය සඳහා බහුලව භාවිත වන්නේ ප්ලූටෝනියම් සහ යුරේනියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යවල මිශ්‍රණයක්‌.

පෘථිවියේ පවත්නා මූලද්‍රව්‍ය අතර විවිධ වූ විකිරණශීලී මූලද්‍රව්‍ය ඒ ඒ මූලද්‍රව්‍යයේ සමස්‌ථානික වනවා. ඒවා බොහෝ විට අපට ස්‌වාභාවික පරිසරයේ හමු වන්නේ ඛනිජ ලෙසයි. ඒ අතර මා මතකයට නැෙගන්නේ එක්‌ සුවිශේෂී විකිරණශීලී මූලද්‍රව්‍යයක්‌ අඩංගු වන ඛනිජයක්‌. ඒ "තෝරියනයිට්‌" නම් වූ පළමුව ලෝකයට ලංකාවෙන් හෙළි කළ විකිරණශීලී ඛනිජයයි. මෙයට වසර 111කට පමණ පෙර එනම් 1904 දී ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා විසින් ලංකාවේ සිදු කරන ලද ගවේෂණවල දී සොයාගන්නා ලදුව ලොවට මෙය ඉදිරිපත් කෙරුණා. මේ ඛනිජයෙහි තෝරියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යය අඩංගු වන අතර බොහෝ විට ලංකාවේ මැණික්‌ ඉල්ලම් ආශ්‍රිතව හමු වන බව වාර්තා වනවා.

ආනන්ද කුමාරස්‌වාමි යන නාමය ඔබට සුපුරුදු එකක්‌ බව නිසැකයි. ඔහු ගේ නාමය ලාංකික ජනතාව අතර නම් ප්‍රසිද්ධ වී ඇත්තේ කලා සහ ඉතිහාස ක්‌ෂේත්‍රයට සම්බන්ධ අයකු ලෙසයි. එහෙත් ඔහු වෘත්තීය වශයෙන් ඛනිජ විද්‍යාඥයකු වන අතර එවකට ලංකාවේ සිදු කළ ඛනිජ ගවේෂණ ව්‍යාපෘතියේ භූ විද්‍යාඥයකු ලෙස ඔහු සේවය කර තිබෙනවා. පසුව ඔහු ගේ එම වැඩකටයුතු ලංකාවේ භූ විද්‍යා සමීක්‌ෂණ දෙපාර්තමේතුව පිහිටුවීමට පුරෝගාමී වුණා. ඔහු එහි පළමු අධ්‍යක්‌ෂවරයා ද වනවා.

එංගලන්තයේ දී මූලික අධ්‍යාපනය ලැබූ ආනන්ද කුමාරස්‌වාමි මහතා තම උපාධිය සඳහා භූ විද්‍යාව සහ උද්භිද විද්‍යාව තමයි හදාරා තිබෙන්නේ. ඉන් තමා වඩාත් ප්‍රිය කළ භූ විද්‍යාව කෙරෙහි නැඹුරු වූ ඔහු ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ ඛනිජ පිළිබඳව පර්යේෂණ සිදු කරමින් ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට ඉතා අගනා මෙහෙයක්‌ ඉටු කළා. 1877 අගෝස්‌තු 22 දින ලංකාවේ දී දමිල ජාතික පියකුට සහ ඉංග්‍රීසි ජාතික මවකට දා ව උපත ලද ඔහුට වයස වසර දෙකක්‌ වන විට තම පියා වූ සර් මුත්තු කුමාරස්‌වාමි මහතා අහිමි වුණා. එනිසා තම මව සමග ඔහු ගේ කුඩා කාලය ගත කරන්නේ එංගලන්තයේ.

තම භූ විද්‍යා පර්යේෂණ සදහා මෙරටෙහි ගවේෂණ සිදු කරන අතරවාරයේ අහඹු ලෙස ඇස ගැටෙන දඹුලු ලෙන් විහාරයේ සිතුවම්වලට වශීකෘත වන ආනන්ද කුමාරස්‌වාමි මහතා තම ගවේෂණ නවමු මාවතකට යොමු කරමින් සිංහල කලාකෘති අධ්‍යයනයට පෙලඹෙනවා. එනිසා සිංහල කලාව පිළිබඳ ඉතා උත්කෘෂ්ට පුස්‌තක ගණනාවක්‌ ලොවට දායාද කරන්නට සමත් වන ඔහු වැනසී යන ස්‌වෙදේශීය සිංහල කලා ඉතිහාසය රැකගැනීමට මනා පිටිවහලක්‌ වුණා. ඉන්දියාවේ දී ඉන්දියානු කලා ඉතිහාසය ද අධ්‍යයනය කරන්නට සමත් වන ඔහු එමගින් පෙරදිග වූ මනරම් සමාජ චින්තනය බටහිරට හෙළි කරන්නට සමත් වුණා. වර්තමානයේ ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් අතර ඒ මහතා ගේ කෘති අත්පොත් බවට පත් වී තිබීම මගින් ම ඔහු ගේ ගවේෂණ සහ පර්යේෂණ ශ්‍රී ලාංකේය විද්වතුන් හට කොපමණ බලපෑමක්‌ කර ඇත් දැයි ඔබට සිතාගත හැකියි.

1947 සැප්තැම්බර මස 9 දින ඇමෙරිකාවේ දී මිය යන විට ඔහුට වයස වසර 70ක්‌ වුණා. අද වන විට ඔහු මිය ගොස්‌ වසර 68ක්‌ ගත වී ඇති අතර ශ්‍රී ලාංකික ජනයාට නො මැකෙන සිහිවටන රාශියක්‌ ඒ මහතා උරුම කර දී තිබෙනවා. මේ වසරේ අගෝස්‌තු 22 දිනට සමරන්නේ ඔහු ගේ 138 වැනි ජන්ම දිනයයි. ශ්‍රී ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට ඔහු සිදු කර ඇති අමිල මෙහෙවර අගය කරමින් සැම වසරක ම අගෝස්‌තු මාසයේ දී ලාංකික භූ විද්‍යාඥයන් එක්‌ ව ඔහු ගේ ජන්ම දිනය සමරන අතර එය වඩාත් ආලෝකවත් කරන්නට වර්තමානයේ මෙරට භූ විද්‍යා ක්‌ෂේත්‍රයට අගනා වටිනා සේවයක්‌ කළ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු හට ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා ගේ නමින් පදක්‌කමක්‌ පිරිනමනු ලබනවා. "ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය" 21 වැනි වතාවටත් මේ මස 22 වැනි දින එම සැමරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විදයා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කළ අතර මෙවර ගරු බුහුමනට පාත්‍ර කරමින් එම පදක්‌කම පිරිනමනු ලැබුවේ දැනට ලාංකික භූ විද්‍යාඥයන් බිහි කරන්නා වූ තිඹිරි ගෙය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන එල්. ආර්. කේ. පෙරේරා මහතාටයි. මේ ලේඛකයා ගේ ද භූ විද්‍යා දැනුම පුළුල් කරන්නට සහාය වූ ගුරු පියකු වූ එතුමාට මෙවර විදු පත් ඉරුවෙන් සුභාශිංසණ පිරිනමන්නට ලැබීම අතිශය සතුටට සහ ගෞරවයට කරුණක්‌.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 3 February 2017


විදු පත් ඉරුව
2015  සැප්තෑම්බර් 09 බදාදා


ඉහළ වායුගෝලයේ ස්‌ථාපිත ව ඇත්තා වූ ඕසෝන ස්‌තරය වටිනා සම්පතකි. පෘථිවියේ බිහි වී ඇති ජීවය, හිරු ගේ පාරජම්බුල කිරණවලින් ආරක්‌ෂා කරමින්, දිගින් දිගට ම පවත්වාගැනීමට හේතු වන්නේ මේ ඕසෝන ස්‌ථරයයි.

ඕසෝන ස්‌ථරය ලෝකයේ මුලින් ම බිහි වන්නේ අපූරු ආකාරයකට ය. ගිනිගෙන දැවුණ පෘථිවියේ මූලාරම්භයේ ඔක්‌සිජන් වායුව නො තිබූ අතර ක්‍රමික සිසිලනයෙන් ස්‌ථාපනය වූ ගොඩබිම ද සාගර ද විය. සාගරයේ ප්‍රභාසංශ්ලේෂීන් ගේ බිහි වීම හේතුවෙන් ක්‍රමයෙන් වායුගෝලයේ ඔක්‌සිජන් සාන්ද්‍රණය වැඩි විය. ඉහළ වායුගෝලයේ රැඳි ඔක්‌සිජන් අණු පාරජම්බුල කිරණ හේතුවෙන් "දෙපලු" වීමෙන් ඉතා සක්‍රිය නිදහස්‌ ඔක්‌සිජන් පරමාණු බිහි වූ අතර, එවැනි පරමාණුවක්‌ හා ඔක්‌සිජන් අණුවක්‌ එක්‌ වීමෙන් ඕසෝන් අණුවක්‌ ඇති විය. ඔක්‌සිජන් අණු "දෙපලු" වීමට හේතු වන්නේ ඒවා පාරජම්බුල කිරණවල ශක්‌තිය උරා ගැනීමයි. දිගින් දිගට ම සිදු වූ ඔක්‌සිජන් අණු "දෙපලු" වීමෙන් ඕසෝන ස්‌තරය වර්ධනය වූ අතර එනිසා පාරජම්බුල කිරණවලට මේ ස්‌තරය විනිවිද යැමට නොහැකි විය. එය පෘථිවියේ බිහි වූ ජීවය අහිතකර පාරජම්බුල කිරණවලින් ආරක්‌ෂා වීමට මහඟු උපකාරයක්‌ විය. මෙහි දී පාරජම්බුල කිරණ විසින් ම නිපදවන ලද ඕසෝන අණු ඒවාට ම එරෙහි වී ඇති බව ඔබට වැටහෙනු ඇත.

කෙසේ වෙතත් මේ ඕසෝන් ස්‌ථරයේ ඕසෝන් අණු ඇති වෙමින් ද නැති වෙමින් ද පවතින අතර සාපේක්‌ෂව සාන්ද්‍රණය ඉතා අඩු ය. එය වායු අණු මිලියන 10කට ඕසෝන අණු තුනක්‌ පමණ වේ. වර්තමානයේ සිදු වන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එක්‌ කළ කෘත්‍රිම වායුන්, මේ චක්‍රීය බව බිඳ හෙළීමට හේතු වී තිබේ. ප්‍රධාන වශයෙන් ම අප කවුරුත් හොඳින් ම දන්නා CFC නැත්නම් ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ලෙස හඳුන්වන වායුව මේ සදහා මූලික වේ. "දෙපලු" වීමෙන් ඇති වන්නා වූ ඔක්‌සිජන් පරමාණු මේ ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් අණු හා බැඳීමෙන් නැවත නිදහස්‌ නො වන අතර එනිසා ඕසෝන අණු ඇති වීම වළකියි. එය ක්‍රමයෙන් ඕසෝන් ස්‌තරය තුනී කර දමයි. මේ ස්‌තරය ඇන්ටාක්‌ටිකාවට ඉහළින් සිදු රක්‌ ඇති කිරීමට තරම් ප්‍රබල වී ඇති බව ඔබ හොඳින් දන්නා කරුණකි. සිත්ගන්නාසුලු දෙයක්‌ වන්නේ මේ සම්බන්ධව ලෝකයට අනාවරණය වන්නේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද පර්යේෂණයක අහඹු ප්‍රතිඵලයක්‌ ලෙස බව ය. මහාචාර්ය ෂර්වුඩ් රෝව්ලන්ඩ්, මාරියෝ මොලිනා සහ පෝල් කෘට්‌සාන් මේ සදහා 1995 දී නොබෙල් ත්‍යාගය දිනාගත් අතර ඉලක්‌කගත නො වූ පර්යේෂණවල වැදගත්කම මෙයින් මොනවට පැහැදිලි වේ. ලෝකයේ මෙවැනි පර්යේෂණ සදහා කොතෙකුත් උදාහරණ සැපයිය හැකි ය.

ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්‌ෂේත්‍රය තුළ ද බොහෝ දෙනකු ගේ අවධානය යොමු වී ඇත්තේ ඉලක්‌කගත පර්යේෂණ කෙරෙහි බව පෙනී යන අතර එය නිදහස්‌ පර්යේෂණ ලඝූ කිරීමට ද, ඒ සඳහා අවස්‌ථාව හා ආධාර සීමා කිරීමට ද හේතු වී ඇති බව අප ගේ හැඟීම ය. මේ සදහා උදාහරණ සමූහයක්‌ ම ගෙනහැර දැක්‌විය හැකි අතර ස්‌වාභාවික විපත් මෙන්ම මානව ක්‍රියා නිසා ද ඇති විය හැකි අනතුරු අවම කිරීම කෙරෙහි වූ පර්යේෂණ සදහා ඇති අඩු ප්‍රමුඛතාව මේ අතරින් ප්‍රධාන වේ. මෙරටෙහි සුනාමි අනතුරත් සමග මේ පිළිබඳව කිසියම් අවධානයක්‌ ඇති වුව ද පෙනී යන වැදගත් ම කරුණ වන්නේ වගකිවයුත්තන් ගේ ඇස්‌ ඇරෙන්නේ අනතුර සිදු වූ විට බවයි.

රජරට වකුගඩු රෝගය ද රතුපස්‌වල සිදුවීම ද වැනි ප්‍රබලව ජන සමාජයට බලපෑ ආපදා කෙරෙහි හේතු වූ ජල සම්පත පිළිබඳව විධිමත් පර්යේෂණ හා සමීක්‌ෂණ සිදු කර තිබිණි නම් බොහෝ කරුණු කාරණා සහ ගැටලු ලිහාගැනීමට හැකි ව තිබිණි. ඒ එසේ වුවත් තවමත් රටෙහි ජල සම්පතෙහි ස්‌වභාවය සහ ප්‍රමාණය පිළිබඳව පර්යේෂණ දියත් නො වී තිබීම කණගාටුවට කරුණකි. දිනෙන් දින ම වැඩි වන වාහන නිසා ද විවිධ කර්මාන්ත හේතුවෙන් ද ඉදි වන ගල් අඟුරු බලාගාර නිසා ද වායුගෝලයට විවිධ දූෂකකාරක එක්‌ වෙමින් පවතී. අවශ්‍ය වන්නේ රට ම ආවරණය වන පරිදි වායුගෝලයේ ස්‌වභාවය පිළිබඳව සහ ඇති වන වෙනස්‌කම් කෙරෙහි අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීම ය. එමෙන් ම ශ්‍රී ලාංකික ආර්ථිකය තුළ පසට හිමි වන්නේ ඉතා වැදගත් ස්‌ථානයකි. එනිසා රටෙහි විවිධ පෙදෙස්‌වල පසේ ස්‌වභාවය ද දූෂක මට්‌ටම් ද අධ්‍යයනය කර තිබීම කෘෂිකර්මාන්තයේ මූලික අවශ්‍යතාවක්‌ වේ.

ශ්‍රී ලංකාවේ නාය යැම් වැනි ආපදා කෙරෙහි වත්මනෙහි ස්‌වාභාවික හේතුන් මෙන්ම මානව ක්‍රියාකාරකම් ද ප්‍රබලව බලපා ඇත. මේ සදහා බලපාන ස්‌වාභාවික හේතුන් වන වර්ෂාව, භූ කම්පා පිළිබඳව ද සිදු කරන පර්යේෂණ අඩුවෙන් තක්‌සේරු නො කළ යුතු ය. දීර්ඝකාලීනව සිදු කළ යුතු එවැනි පර්යේෂණ අනාගතයේ සිදු විය හැකි ව්‍යසන පුරෝකථනයට මහඟු උපකාරයක්‌ වන බව ද එමගින් වළක්‌වා ලන ජීවිත සහ දේපළ හානි නිසා රජයට හිමි වන්නේ ආර්ථික අතින් පවා බලවත් වාසියක්‌ බව ද සිහි තබාගත යුතු ය.

ඉහත සදහන් කරන ලද්දේ ඉලක්‌කගත නො වූ නමුත් අත්‍යවශ්‍ය ව සිදු කළ යුතු පර්යේෂණ ක්‌ෂේත්‍ර කිහිපයකි. මෙවැනි තවත් බොහෝ පර්යේෂණ ක්‌ෂේත්‍ර ඇති බැවින් රටෙහි පරිපාලනයේ ද අදාළ පර්යේෂණ ආයතනවල ද අවධානය වහ වහා ඒ කෙරෙහි යොමු විය යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 1 February 2017


විදුපත් ඉරුව
2017 පෙබරිවාරි 01

“ලංකාවේ වැඩිම වායු දුෂණය වාර්තා වෙන්නේ මහනුවරින් ලු කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුවක් වලා තියෙනවා කියලා කියන්නේ මාලිගාව ළඟ පාර වහපු එකලු. වැව වටේ හිමිහිට වාහන යනකොට කොහොමත් වායු දුෂණය වැඩියි තමයි” මාගේ මිත්‍රයෙක් මේ ලඟදි දවසක පැවසුවේ බොහොම කනගාටුවෙන්. “ මේ නුවර ටවුම යටින් උමං මාර්ගයක් හදන්න යෝජනා කරලා තියෙනවලු. ඇයි දන්නේ නැහැ තවමත් ප්‍රමාද. ඒක හැදුවා නං මාලිගාවත් බේරා ගෙන මහනුවර වායු දූෂණයත් අඩු කරගන්න තිබුනා. අපේ මිනිස්සු හොඳ තීන්දු තීරණ ගන්න හරීම පරක්කුයි.”  ඒ කතාවෙන් ඔහු මගෙන් පිළිතුරක් බලා පොරොත්තු නොවන වගක් හැඟී ගිය නිසයි මා නිහඬ වූයේ.  

වායු දූෂණය සිදු වන්නේ වාහන වලින් විතරක් නොවෙයි. කර්මාන්තශාලා වලින් පිටවන දූෂ්‍ය වායුන් ද වායු දුෂණයට ප්‍රධාන හේතුවක්. එතකොට නොරොච්චෝලෙන් කරන්නෙත් තද බල දුෂණයක්. කෙසේ වෙතත් වායූ දූෂණය සිදු කරමින් අප මේ නැති කරන්නේ මිනිසාට නිදහසේ පිරිසිදු වාතය හුස්ම ගැනීමේ පරම අයිතිය නොවේද යැයි ඔබ කී දෙනෙකු නම් කල්පනා කර ඇත්ද? එපමණක් නොව, අප මේ උල්ලංගනය කරන්නේ ඔක්සිජන් තම ස්වසන කර්තව්‍ය සදහා භාවිතා කරන අනන්ත අප්‍රමාණ ජීවින්ගේ අත්‍යන්ත අයිතිය නොවේ ද? මේ අයුරින්ම ජලය ද පස ද ඉතාම අප්‍රසන්න ලෙස දූෂණයට ලක් කරන බව මා ඔබට අමුතුවෙන් පවසන්නට අවැසි නොවේ.  ඉදින් මෙලෙස මේ අප යන්නේ කුමන ගමනක් දැයි කෙලෙසකවත් සිතන්නට නොහැකි බව ඔබට වැටහේවි.

මිනිසා සමස්ත පරිසරයෙන් කොතරම් වියුක්ත වී දැයි  පසුගිය සතියෙක අප සාකච්චා කල බව ඔබට මතකයට නැගේවි. එමෙන්ම පාරිසරික සාධක වලට අනුගතව මිනිසා සංස්කෘතීන් බිහි කර ඇති අයුරුද අප තරමක් දුරට අප සාකච්චාවට ගත්තෙමු. ඒ සියල්ල සැලකිල්ලට ගත් කල, ඉතා දියුණු මොලයක සහ අපූරු ශරීරයක හිමි කරුවෙකු වී ඇති මිනිසාගේ වර්තමාන ක්‍රියාකාරකම් කොතරම් දුරකට ස්වභාවික දැයි ඉතා ප්‍රබලව ප්‍රශ්ණකාරී වන ගැටලුවකි. 

මෙලොව ජිවියේ අත්‍යන්ත අරමුණ වන්නේ එය දිගින් දිගටම පවත්වා ගෙන් යෑම බව ඉතා හොඳින් පැහැදිළි වන සත්‍යකි. උභය ජීවන්, ද  උරගයන් ද , පක්ෂින් ද මෙන්ම ක්ෂීරපායින් ද මා ඉහත සඳහන් කල සත්‍ය තුල ක්‍රියාත්මක වන බව අප හොඳින් දනී. දරු පරපුරක් බිහි කර තම පරම්පරාව ඉදිරියට පවත්වා ගැනීමේ අසීරු සටනේ කොටස්කරුවන් වේ. පරිණාමයේ එක් එක් ආංශිකයන් ඔස්සේ මොවුන් ඉදිරියට යයි. බැක්ටීරියා සහ ඇල්ගාවන් වැනි ප්‍රාථමික ජීවින් ද මෙම සන්දර්භය තුල විවිධ උපක්‍රම භාවිතා කර සිදු කරන්නේ මේ දෑමය. තම ව්‍යාප්තිය සාර්ථකව සිදු කර ගැනීම උදෙසා ජීවින් සතු උපාය උපක්‍රම විවිධය , විචිත්‍රය, එමෙන්ම විටෙක සංකීර්ණය .  සොබාවිකව හැඩ ගැසුන මෙම ජෛවීය ක්‍රියාදාමය පරිණාමිකව විවිධ හැල හැප්පීම් වලට ලක්ව විකසනය වෙමින් පවතින බව පෙනී යයි.

බැක්ටීරියාවන්ගේ ඒක සෛලය විකන්ඩනය වීම සර්ව සම දුහිතෘන් බිහි කරන්නට හේතු වෙයි. මෙය ප්‍රාථමික ජීවින් පෙන්වන සරලම ව්‍යාප්ති ක්‍රියා දාමයයි. ඉන් ඔබ්බට යත්ම බීජානු නිෂ්පාදනයත්, දේහයන් කැබලි වී සිදු වන ව්‍යාප්තියත් අලිංගික ක්‍රමවේදයන් වේ. වර්තමානයේ උසස් ශාකවල ව්‍යාප්තිය අතිශය පරිණාමයට ලක් වී ගොඩබිම ව්‍යාප්තියට හැඩ ගැසී ඇත. ඇත. ජලයෙන් ගොඩබට ජීවින් ද මුල්ම කාලයේ ඒ සදහා අවැසි වූ ජලය මත යැපීම දැන් දැන් අවම කරගෙන ඇත්තේ වසර මිලයන ගණනාවක සිදු වූ පරිණාමයෙනි.   

උසස් ජිවින් අලිංගික ව්‍යාප්තිය අත් හැරීම තුල ඇත්තේ වඩා දියුණු සුරක්ෂිත ව්‍යාප්තියක් උදෙසා පමණක් නොව අලිංගික ව්‍යපතියේ ඇති දුර්වලකම් මගහැරීමත් විය හැක. ද්වි ලිංගිකයන් බිහි වීම සත්ත්ව ලෝකය තුල ව්‍යාප්ත වන්නේ වඩා උසස් සහ අර්බුද අවම ජිවන රටාවක් බිහි කර ගැනීම උදෙසා වෙයි. එනිසා ද්විලිංගික ස්වරූපය ශාක ලෝකය ආක්‍රමණය කර ඇත්තේ ඉතා අපූරු ආකාරයටයි. සැමට පොදු එහෙත් එක් එක් සත්ත්වයන්ගේ සුවිශේෂිතා විවිධාකාරයෙන් එම සතුන් ව්‍යාප්ත කිරීමට හේතු වී ඇත.

මේ රටාව දැනට ලොව ඇති උසස්ම ව්‍යාප්ති ක්‍රම වේදයයි. එය සැමට ඉහළින් සිටිනා මිනිසාට ද අනෙකුත් සතුනට මෙන්ම පොදු වූ ධර්මතාවය වේ. මිනිසා ඇතුළු සත්ත්ව ලෝකයේ සියල්ලන්ගේම දිවිලිංගික ආකර්ශනයේ අත්‍යන්ත අරමුණ වන්නේ පරම්පරාව ඉදිරියට ගෙන යෑම පමණයි. ජෛව ලෝකයේ පැවැත්ම ආරක්ෂා වන්නේ එලෙසයි. මේ අනුව සොබාවික ලෝකය අනුමත කරන්නේ කුමක් ද යන්න සැමට ඉතා හොඳින් පැහැදිළි වෙයි.   

සොබාවිකත්වයෙන් වියුක්ත විම අනුමත කල නොහැකි වන්නේ ඉන් කෙදිනකවත් ජීවයේ ප්‍රධාන අරමුණ සඵල නොවන බැවිනි. සැමට ඉහළින් සිටිනා මිනිසාගේ ඉතා අපූරු සංවේදී සංස්කෘතිය තුල දැන් දැන් විකසනය වන්නේ කොතරම් දුරකට සොබවිකත්වය අනුගමනය කරන ක්‍රියාදාමයන් දැයි ගැටලුවකි.  දියුණු සංස්කෘතීන් හිමි යැයි පිළිගන්නා මනුෂ්‍ය කොට්ටාස පවා සොබවිකත්වයෙන් මිදෙන්නට උත්සාහ දරන බව පෙනී යයි.  ජීවයේ අත්‍යන්ත අරමුණ සාක්ෂාත් නොවීම යනු වැඩි කාලයක් යන්නට මත්තෙන් කොතරම දියුණු ජීවි කොට්ටාශයක් වුව පෘථිවියෙන් අතු ගා දැමෙන්නට ඉතා ප්‍රභල ලෙස බලපාන බව සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ දිග පළල සොයන්නන් මෙන්ම මානව හිමිකම් සහ සත්ත්ව හිමිකම් පටලවා ගන්නන් හොඳින් තම මතකයේ රඳවා ගත යුතුය.  
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 31 January 2017

විදු පත් ඉරුව

2015  සැප්තෑම්බර් 09 බදාදා

පසුගිය සතියේ විදු පත් ඉරුවෙන් අපගේ කතාබහට ලක්‌ වූයේ ඉලක්‌කගත නො වූ පර්යේෂණවල ඇති වැදගත්කම ගැනයි. මෙවර ද එහි වැදගත්කම ඉස්‌මතු කරන කාලීන සිදුවීම් දෙකක්‌ පිළිබඳව ස`දහන් කළ යුතු බව සිතමු. එක්‌ කාරණයක්‌ වන්නේ එක්‌තරා බහු ජාතික සමාගමකින් කැලණි ගඟට තෙල් මුසු වීමේ සිදුවීමයි. මෙයට වසර ගණනාවකට පෙර මෙරටෙහි ගංගා ජලයෙහි ස්‌වභාවය නිර්ණය කිරීමේ පර්යේෂණයක්‌ "පවිත්‍ර ගංගා" නමින් දියත් වූ අතර එම`ගින් කාලයත් සමග ජලයෙහි ගුණාත්මක බව අධ්‍යයනය කෙරිණි. පසුකාලීනව එය දිගින් දිගට සිදු වූවා ද හෝ සිදු වෙමින් පවතින්නේ ද යන්න නො දන්නා නමුත් එම ව්‍යාපෘතිය ඉතා අගය කළ යුත්තකි. එම`ගින් පසුතල දත්ත සමූහයක්‌ එක්‌ කරගැනීමට හැකි වන්නට ඇත. එය වර්තමානයේ සිදු වන ජල දූෂණයන් හා සැසඳීමට මහඟු උපකාරයකි. කැලණි ගඟෙහි තෙල් එක්‌ වීමෙන් වූ දූෂණය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව සංසන්දනය ස`දහා මේ දත්ත උපයෝගී වන්නට ඇත. මෙහි දී මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කර ඇති ආකාරය ද ප්‍රශංසනීය වන අතර තෙල් ඉවත් කර ජලය පිරිසිදු කිරීමටත් ජල පොම්පාගාරවලට සිදු වූ හානිය ප්‍රතිපූරණය කිරීමටත් වැය වන මුදල අදාළ සමාගමෙන් අය කරගැනීමට කටයුතු සිදු කර ඇති බව විදුසර පසුගිය සතියේ පළ කළ පුවතක ස`දහන් විය.

මේ අතර ශ්‍රී ලංකා රජය විශේෂයෙන් ම ජනපතිවරයා 2018 වන විට ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට තීරණය කර ඇත. මූලික හේතුව වී ඇත්තේ එම`ගින් ඇති වන සෞඛ්‍ය ගැටලු ය. ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදනවලින් වාතයට එක්‌ වන ඇස්‌බැස්‌ටෝස්‌ තන්තු පෙනහලුවලට ඇතුළු වීමෙන් ඒ ආශ්‍රිතව පිළිකා ඇති වන බව විවිධ පර්යේෂණවලින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ කතා බහට ලක්‌ වෙයි. එම තන්තු දිගුකාලීනව පෙනහැල්ලේ රැඳීමෙන් හෝ අයකු දිගුකාලීනව එම තන්තු මිශ්‍රිත වාතයට නිරාවරණය වීමෙන් මේ රෝගවලට ගොදුරු වන බව විශ්වාස කෙරෙන අතර මේ ස`දහා අවුරුදු 10 සිට 40ක පමණ කාලයක්‌ ගත වන බව කියවේ. එයින් පෙනී යන්නේ ඇස්‌බැස්‌ටෝස්‌ නිහ`ඩ මාරයකු බවයි. කෙසේ වෙතත් දිගුකාලීනව මේ තත්ත්වයන්ට ප්‍රධානව මුහුණ පාන්නේ ඇස්‌බැස්‌ටෝස්‌ පතල්වල සහ ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදනාගාරවල සේවය කරන්නන් මෙන්ම ගොඩනැ`ගිලි කර්මාන්තයේ නියෑළෙන්නන් ය. ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදන ම`ගින් කිසියම් කාලයකට මේ තන්තු සිර කර තැබුවත්, කාලයක්‌ ගත වන විට සිදු වන වියෑකීම හේතුවෙන් සිහින් තන්තු වාතයට නිරාවරණය වීම සිදු විය හැකි බව සොයාගෙන ඇත.

කර්මාන්ත මූලිකව ඇස්‌බැස්‌ටෝස්‌ භාවිතය කරළියට පිවිසෙන්නේ දහ නව වැනි සියවසේ අගබාගයේ දී ය. කෙසේ වෙතත් ලෝකයේ මේවා භාවිතය පිළිබඳ ඉතිහාසය අවුරුදු 4500කට වඩා ඈතට දිවෙන අතර ෆින්ලන්තයේ "ජුජරාවී" විල අසල විසූ ජනයා තමන් ගේ ඉහුම්පිහුම් හට්‌ටිමුට්‌ටි ස`දහා මේවා හාවිත කළ බව වාර්තා වේ. මේ ඇස්‌බැස්‌ටෝස්‌ පසුකාලීනව ඉතා බහුලව ලෝකයේ ව්‍යාප්ත වන්නේ එහි පවත්නා අපූරු ගුණ සමුදාය හේතුවෙනි. ශබ්දය උරාගැනීමේ හැකියාව, ගින්නට ඔරොත්තු දීම, තාප සහ විද්යුත් පරිවාරක බව සහ මධ්‍යස්‌ථ ආතන්‍ය බව යනාදී ගුණාංග මේ අතර ප්‍රධාන වෙයි. ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් නිමවන්නේ ඇස්‌බැස්‌ටෝස්‌ නම් වූ ස්‌වාභාවිකව ලබාගන්නා "මැග්නීසියම් සිලිකේටය" සිමෙන්ති සමග මිශ්‍ර කිරීමෙනි.

ස්‌වාභාවික ඇස්‌බැස්‌ටෝස්‌ ලෙස පොදුවේ හැ`දින්වෙන්නේ ඛනිජ 6කින් යුක්‌ත වන ඛනිජ ගොනුවකට ය. මහතට වඩා දිගින් වැඩි ස්‌ඵටිකමය ව්‍යqහයක්‌ හිමි මේ ඛනිජ කුලකයට එහෙයින් වඩාත් සුවිශේෂී කෙඳිමය බව ලැබී ඇත. මේ පියවි ඇසට පෙනෙන ස්‌ඵටිකමය කෙන්දේ ඇසට නො පෙනෙන මිලියන ගණනක්‌ වන සිහින් තන්තුමය කෙඳි අඩංගු වේ. එනිසා ඇතිල්ලීමෙන් ඉතා පහසුවෙන් මේ තන්තු වායුගෝලයට නිදහස්‌ වේ. මේ කුලකයට අයත් වන ඛනිජ වන්නේ ට්‌රිමොලයිට්‌, ඇක්‌ටිනොලයිට්‌, ඇමොසයිට්‌, ක්‌රෝසිඩොලයිට්‌, ඇන්තොෆිලයිට්‌ සහ ඇස්‌බැස්‌ටෝස්‌ වන අතර මුලින් ස`දහන් කළ ඛනිජ දෙක ලංකාවේ ද හමු වේ. කොළ, රතු, නිල්, කහ සහ සුදු පැහැයෙන් යුක්‌ත මේ ඛනිජ විටෙක මැණික්‌ ඛනිජ ලෙස ද නමක්‌ දිනා ඇත.

ක්‍රිස්‌තු පූර්ව 61-114 දක්‌වා රෝමයේ වාසය කළ නීතිඥයකු ලෙස මෙන්ම ලේඛකයකු ලෙස ද ප්‍රචලිත "ප්ලිනි" නමැත්තා ඇස්‌බැස්‌ටෝස්‌ පතල්වල සේවය කළ වහලුන් මෙම`ගින් අසනීප වූ බව සටහන් කර ඇත. 1899 දී පමණ දොස්‌තර මොන්ටේගු නමැත්තා ද මේ ද්‍රව්‍යයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ යම් අධ්‍යයනයක්‌ කර ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් මේ සම්බන්ධ මරණයක්‌ පිළිබඳව ප්‍රථම සටහන හමු වන්නේ 1906 දී ය. "ඇස්‌බෙස්‌ටෝසිස්‌" නම් වූ පිළිකා රෝගී තත්ත්වය 1924 දී එංගලන්තයේ රෝගියකු ගෙන් ප්‍රථම වරට නිරීක්‌ෂණය කරන ලදී. එහි දී "නෙලි කර්ෂෝව්" නමැත්තිය ගේ පෙනහළුවල ඇස්‌බැස්‌ටොස්‌ කෙඳි පැවැති බව අනාවරණය කරගැනීමට හැකි වී ඇත.

අද වනවිට ශ්‍රී ලංකාවේ මේ නිෂ්පාදන බහුලව භාවිත වන අතර මේවා දසත පැතිර ඇත්තේ එහි ඇති අපූරු ගුණාත්මක බවට අමතරව සාපේක්‌ෂව අඩු මුදලකට මිල දී ගත හැකි බැවිනි. තහනම තුළ අභියෝගයට ලක්‌ වන්නේ මෙරට බහුතරයක දුප්පත් ජනතාව ගේ භාවිතාව වන අතර 2018ට පෙර නිසි විකල්ප ඉදිරිපත් නො කරන්නේ නම් ගොඩනැ`ගිලි ක්‌ෂේත්‍රය බලවත් අර්බුදයකට ලක්‌ වන බව ද කිව යුතු ය. කෙසේ වෙතත් මෙහි ඇති අහිතකර බව දැන දැන ම මෙරටට බොහෝ කාලයක සිට මේවා ආනයනය කර ඇති බව පෙනී යයි.

ශ්‍රී ලාංකික පර්යේෂණ ක්‌ෂේත්‍රය තුළ මේවා භාවිතය ඇති කරන සෞඛ්‍ය ගැටලු පිළිබඳව කිසියම් හෝ විධිමත් අධ්‍යයනයක්‌ සිදු කර ඇති බවට ඇති සාධක අල්ප ය. එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කර අධ්‍යයනයන් ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය වේ. මෙරටෙහි තීන්දු තීරණ ගැනීමේ ඇති අපූරු කලාව පිළිබඳව ද යම් කරුණක්‌ මෙහි ලා ස`දහන් කළ යුතු ය. මොනෝ සෝඩියම් ග්ලූටමේට්‌ (MSG) නම් වූ ආහාර රසකාරකය දියවැඩියාව වැනි විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන බව ද දුම් පානය පිළිකා ඇති කිරීමට හේතු වන බව ද සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ නිරන්තර සාකච්ඡාවට බඳුන් වන බව නොරහසකි. එහෙත් මේවායේ භාවිතය තහනම් කිරීමට පරිපාලනය කටයුතු නො කිරීම හා සැසඳීමේ දී මෙවැනි තීරණ කෙතරම් අභියෝගයකට ලක්‌ වන්නේ දැයි යන්න ද කල්පනා කළ යුතු වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 30 January 2017

විදු පත් ඉරුව

2015  සැප්තෑම්බර්   23  බදාදා


පසුගිය සති කිහිපයේ ම සිදු වූ විවිධාකාරයේ අනතුරු හේතුවෙන් මනුෂ්‍ය ජීවිත ගණනාවක්‌ ම අහිමි වූ බව ජනමාධ්‍ය නැරඹූ ඔබට දැනගන්නට ලැබෙන්නට ඇත. මෙහි දී දුටු පොදු ලක්‌ෂණය වූයේ "අපරීක්‌ෂාකාරී ව ක්‍රියා කිරීම" මේ අනතුරුවලට ප්‍රධානව බලපෑ බවයි. එහෙත් මෙවැනි ම සිදුවීම් මෙයට පෙර ද බොහෝ සිදු වී ඇති බව ද නොරහසකි. මෙවැනි පෙර අත්දැකීම් සමාජගත වී "පරම උපහැරණ" නො වන්නේ ඇයි ද යන්න සමාජ විද්‍යාඥයන් ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තකි. තාක්‌ෂණය දියුණු වත් ම අවදානම බැහැර කරන්නට හෝ එය අවම වන ලෙස ක්‍රියා කිරීම හෝ බලාපොරොත්තු වුවත් එසේ නො වන බවට බොහෝ අත්දැකීම් ඇති බව සියුම්ව කල්පනා කළ හොත් ඔබට පසක්‌ වනු ඇත.

නිරන්තරයෙන් ම අලුත් වෙමින් අනතුරු අවම කරවන කාර්මික ඥානයකින් හෙබි රථවාහන ලොවට එක්‌ වෙද්දීත් එලෙස ම වූ ලෙස මහා මාර්ග පද්ධතිය දියුණු වෙද්දීත් මේවා භාවිත කරන උදවිය තව තවත් අපරික්‌ෂාකාරී වීම නම් කොහෙත් ම අනුමත කළ නොහැකි ය. මහා මාර්ගයේ දී ධාවකයා මෙන්ම එහි මගීන් ද, ප්‍රවාහයට එකතු වී ඇති අනෙකුත් රථවාහන ද මෙන්ම පදිකයන් ද මහාමාර්ගය විවිධාකාරයෙන් හාවිත කරන බව ද රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය එහි දී ද ඒ ආකාරයෙන් ම බලපවත්වන බව ද එය භාවිත කරන්නන් එක ලෙස සිහි තබා ගත යුතු කරුණකි. තවෙකකු ගේ ක්‍රියාවන් අනෙකා ගේ නාසය අග්ගිස්‌සෙන් කෙළවර වන බව ද, එනිසා ම තම නිදහස අගයන ඔබ සැවොම අනෙකා ගේ ද නිදහස ආරක්‌ෂා කිරීමට වග බලාගත යුතු බව සිහි තබාගත යුතු ය.


අද වන විට මිනිසුන් අතර වූ අෙන්‍යාන්‍ය අවබෝධය පස්‌සා දොරින් පලා ගොස්‌ ඇති බවට මෙවැනි සිදුවීම් ඉතා ප්‍රබල සාක්‌ෂ්‍ය සපයයි. යහපත් මානව සම්බන්ධකම් කදිමට සහ ප්‍රබලව වර්ධනය වූ සංස්‌කෘතියක විද්‍යාව සහ තාක්‌ෂණික අනුගත වීමේ නොපෑහීම ද මෙයින් මතු වන්නේ ය යන්න සැලකිල්ලට ගත යුත්තකි.

රටක දියුණුවට අෙන්‍යාන්‍ය සම්බන්ධය හා එකිනෙකා වටහාගැනීම ඉතා වැදගත් බව අප සැවොම හට හොඳින් ම පැහැදිලි වේ. මහා මාර්ග වැඩිදියුණු වන විට සහ අලුත්වැඩියාවන් කරන විට සිදු නො වන ආයතනික සම්බන්ධය සහ සමායෝජනය හේතුවෙන් නිරන්තරයෙන් ම නැවත නැවතත් එම මාර්ග, විශේෂයෙන් ම ජල නළ ද විදුලි සංදේශ නළ ද එලීමට සිදුරු කිරීම ඔබට අමුතු අත්දැකීමක්‌ නො වනු ඇත. එහෙත් මේ ආයතන අතර සමායෝජනයක්‌ සිදු වූවා නම් හෝ දූරදර්ශී ලෙස සැලසුම් සහගත වූවා නම් මෙවැනි අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදු නො වනු ඇත. විශේෂයෙන් ම අලුතෙන් නගර සහ මහා මාර්ග සැලසුම් කිරීමේ දී මෙවැනි පද්ධතීන් නිර්මාණය කිරීමෙන් අදාළ ආයතනවලට අමතර ආදායමක්‌ ද උපයාගත හැකි වේ.

කඳුකර ප්‍රදේශවල මහා මාර්ග ඉදි කිරීමේ දී තවත් බොහෝ දේ පිළිබඳව සැලකිලිමත් වීමට සිදු වේ. විශේෂයෙන් ම තියුණු බෑවුම් හරහා මාර්ග තැනීමේ දී ප්‍රමාණවත් ස්‌ථායිතාවක්‌ ඇති වන ලෙස බෑවුම් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. නැත හොත් වැඩි කල් නොගොසින් ම බෑවුමේ කැපූ ඇල්ල එසේත් නැතිනම් කණ්‌ඩිය කඩා වැටී මාර්ගයේ ගමන් කරන්නන් අනතුරට භාජන වනු ඇත. මේ ස්‌ථාන ප්‍රතිස්‌ථාපනයට විශාල මුදලක්‌ අවශ්‍ය වේ. මෙවැනි කඩාවැටීම් බොහෝ කඳුකර මාර්ගවල සුලබ දසුනක්‌ බව ඔබට සිහි වනු ඇත. මෙවැනි අවදානම් තත්ත්වයන් ඇති විය හැකි බව පුරෝකථනය කිරීම එතරම් අපහසු කාරියක්‌ නො වේ.

මාර්ග තැනීම සැලසුම් කිරීමේ මූලික අවස්‌ථාවේ දී ම මේ පිළිබඳව අවධානය යොමු කර අවදානම් සහ අනතුරු අවම වන ආකාරයට මාර්ගයේ කණ්‌ඩි/බෑවුම් සකස්‌ කිරීම ද අවදානම් බෑවුම් තිර කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ද ඒ සදහා ප්‍රමාණවත් ලෙස ව්‍යාපෘතියෙන් මුදල් වෙන් කිරීම ද කළ යුතු ය. එලෙස ක්‍රමවත් ලෙස සැලසුම් කරන්නේ නම් මාර්ග තැනීමෙන් පසු ඇති වන අතුරු අනතුරු අවම වීමෙන් පසු කාලීනව වැය වන මුදල බෙහෙවින් අඩු කරගත හැකි වේ. එවැනි ක්‍රියාමාර්ග අනුගමනය නො කිරීමෙන් අනතුරට භාජන වී ඇති මහා මාර්ග සදහා කදිම නිදසුනක්‌ වන්නේ මහනුවර මහියංගනය මාර්ගයයි. නුවරඑළියේ හග්ගල මල්වත්ත කිට්‌ටුව මාර්ගයේ සිදු ව ඇති කණ්‌ඩි කඩා වැටීම තවත් නිදසුනකි. මේ ස්‌ථාන මෙලෙස අනතුරට ලක්‌ වීමට, ආයතන අතර ඉහත සදහන් කළ අෙන්‍යාන්‍ය සම්බන්ධය තර නො වීම ද එක්‌ හේතුවකි. එම ස්‌ථානයේ ඇති කණ්‌ඩියේ බෑවුම ප්‍රමාණවත් ලෙස සකස්‌ කිරීමට අවශ්‍ය ඉඩ ලබාගැනීමට අපහසු වීම එනිසා සිදු වී ඇති අතර, එය සිරස්‌ කණ්‌ඩි නිර්මාණයට හේතු වී ඇත. එහෙත් අවසානයේ අධික වර්ෂාපතනයත් සමග නො සිතූ ලෙස ඉතා විශාල බිම් ප්‍රදේශයක්‌ නාය යැමට ලක්‌ වීම අලාභය වැඩි කරන්නට හේතු වී ඇති බව ඒ ස්‌ථානය පසු කරන නැණවත් උදවියට වැටහෙනු ඇත. තීන්දු තීරණ ගැනීමේ දී වඩාත් ප්‍රායෝගික වීම ද දූරදර්ශී වීම ද ආයතනික ක්‍රියාවලිය තුළ දී අවශ්‍ය වන්නේ එබැවිනි.

කෙසේ වෙතත් කඳුකරයේ මෙවැනි සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී පාංශු ඛාදනය ශීඝ්‍ර වන බව නොරහසකි. එමෙන් ම වන වැස්‌මට හානි සිදු වීම ද හේතු වෙන් සොබාවයෙහි තිබිය යුතු වූ නිශ්චිත කොළ පැහැය තවත් අඩු වෙයි. පසුගිය වකවානුවල දී සිදු වූ එවැනි ව්‍යාපෘති හේතුවෙන් අඩු වූ වන වැස්‌ම නැවත බලපාන්නේ වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අඩු කරලීමට ය. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දරුණු ම කඳුකර වනාන්තර විනාශය සිදු වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී බව අප ගේ අදහසයි. ඒ කෝපි, තේ ඇතුළු ආර්ථික බෝග වගා කිරීම හේතුවෙනි. මෙය අප රටට පමණක්‌ නො ව අනෙකුත් යටත්විජිත රටවල ද සිදු වූ මේ හරිත විනාශය වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම ශීඝ්‍රව වැඩි කරන්නට හේතු වන්නට ඇති බව අප මොහොතකට වත් සිතුවා ද? කෙසේ වෙතත් යටත්විජිත වනාන්තර විනාශයේ සහ කඳුකර ආර්ථික බෝග වගාවේ අතුරුවිපාක මොනවා ද යන්න අප තවමත් නිසි පරිදි තේරුම් නො ගෙන ඇති බව ඔබට මෙයින් වැටහෙනවා ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදු පත් ඉරුව

2015  සැප්තෑම්බර් 30 බදාදා

සේයා දැරිය ගේ වියෝව මෙරට සැම ගේ හද කම්පා කරවන්නක්‌ වූ බව නිසැක ය. එමෙන් ම ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වීමත් සමග ම එක්‌තරා ආකාරයකට සාධාරණය ඉටු වූවා ය යන හැඟීමක්‌ බොහෝ දෙනකුට ඇති විය. එහෙත් එයින් සියල්ල සම්පූර්ණ විණි ද යන්න විමසා බැලිය යුතු ය. මවුපියනට ඇසක්‌ බඳු තම දියණිය අහිමි වෙද්දී තවත් අයකු දඟ ගෙට නියම වීමෙන් වත්මන් සමාජයේ ඇති වෙමින් පවත්නා සංස්‌කෘතික සෝදාපාළුව මකාලිය හැකි ද යන්න ද ගැඹුරින් විමර්ශනය කළ යුත්තකි. මේ අතර මේ සිදුවීම හා බැඳුණු පශ්චාත් සිද්ධි දාමයේ දී තවත් දරුවකු ගේ අනාගතය අඳුරු කරලීමට තරම් කාරණා සිදු වීම ගැන ද රට ම කතා කරයි. විද්‍යාත්මක සාක්‌ෂි එනතුරු ඉවසා සිටීමට නොහැකි වීම සහ සැකකරුවකු වරදකරුවකු ලෙස ඉස්‌මතු වන තරමට මාධ්‍ය තුළ හංවඩු ගැසීම යන කාරණා සියුම්ව විමසා බැලීමේ දී සමහර විටෙක මේ සිදුවීම තුළ තවත් අනාගත අපරාධකරුවකු ගේ අංකුරයක්‌ නිර්මාණය වන්නට ද බැරි නැත. මෙතුළින් ඉස්‌මතු වූ වැදගත් කරුණක්‌ වන්නේ කිසියම් සැකකරුවකු සාක්‌ෂි විමසා වරදකරුවකු ලෙස නිශ්චය කරන තුරු එම තැනැත්තා නිවැරැදිකරුවකු ලෙස සැලකීමේ වැදගත්කම සහ අවශ්‍යතාවයි.

කෙසේ වෙතත් මේ පාසල් දරුවාට චෝදනා එල්ල වීමට හේතු වූ ඔහු ගේ තරමට නො ගැලපෙන්නා වූ කාරණා, ඔහු ගැන ඇති වන්නා වූ අනුකම්පාවෙන් යටපත් වී යැමට සැලැස්‌විය යුතු ද නො වේ. එවැන්නකට ඔහු ගොදුරු වීමට තරම් හේතු වූ කරුණු කාරණා මොනවා දැයි යන්න අත්‍යවශ්‍යයෙන් සොයා බැලිය යුතු වේ.

මෙමගින් නිරුපණය වන්නා වූ කරුණු කාරණා කිහිපයක්‌ ඇති බව පෙනී යයි. පළමුවැන්න වන්නේ නව තාක්‌ෂණයේ භාවිතය සමග ඇති වී ඇති සමාජ ස්‌තර අතර වූ දරුණු පරතරය නැතිනම් ගැටුමයි. එපමණක්‌ නො ව එමගින් ඉතා විශාල ලෙස පරිහානියට පත් වන්නා වූ දේශීය සංස්‌කෘතියයි. අනෙක්‌ කරුණ වන්නේ ගෝලීයකරණය සහ විවෘත ආර්ථිකය ඇති කළ සමාජ විපර්යාසය තුළ ශ්‍රී ලාංකික ජන සමාජයේ අනාගතයේ විපරිණාමයයි. එසේ හෙයින් අසහනකාරී සහ අතිධාවනකාරී සිදුවීම්වලට ඉඩ නො තැබීම සදහා ද මේ සිදුවීම් දාමය පාඩමකට ගෙන වැඩිහිටි සමාජය ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු ය.

ඔබ සුප්‍රසිද්ධ "ෂර්ලොක්‌ හෝම්ස්‌" කතා කියවා හෝ නරඹා ඇති. ලෝකයේ බොහෝ දෙනකු ගේ අවධානයට පාත්‍ර වූ මේ කතා මාලාව තුළ අපරාධ පරීක්‌ෂණ ක්‌ෂේත්‍රය තුළ දී කෙතරම් අපූරු ලෙස විද්‍යාත්මක ක්‍රමවේද සහ තර්කනය භාවිත කරන්නේ දැයි මතකයට නැෙගනු ඇත. විද්‍යාත්මක ක්‍රම භාවිතය ඉතා විශ්වාසී ලෙස සහ නිවැරැදිව ම අපරාධකරුවන් හසු කරගැනීමට ඉවහල් වන ආකාරය කදිමට ඒ තුළ විස්‌තර කර ඇත. එමගින් පෙනී යන කරුණක්‌ වන්නේ තාර්කික ඥානය සහ විද්‍යාත්මක ක්‍රමවේදයේ භාවිතාව අපරාධ පරීක්‌ෂණය සදහා ඉතා වැදගත් වන බව සහ නිවැරැදි බව තහවුරු කරන බවයි. අප රට තුළ කෙතරම් දුරකට විද්‍යාඥයන් ගේ සේවාව මේ සදහා ලබාගන්නේ ද? එසේ ම වර්තමාන දේශපාලන ඇඟිලිගැසීම් වැනි බලපෑම් මත එවැනි සාක්‌ෂි ප්‍රබලව මතු වන්නේ ද යන්න ද පැටලිලි සහගත කරුණකි.

ඒක පුද්ගල නිශ්චය කිරීම් සදහා පමණක්‌ නො ව, බහු පුද්ගල සමාජ සන්දර්භය තුළ ද ඇති වන්නා වූ නොපැහැදිලි කරුණු කාරණා ලිහාගැනීම සදහා ද විද්‍යාත්මක ක්‍රමවේද භාවිතාව වැදගත් වේ. එහෙත් එම පර්යේෂණ මගින් උකහාගන්නා සාක්‌ෂි නිසි ලෙස සමාජගත නො වීම ඉතා අභාග්‍යසම්පන්න කරුණකි. මීට ඉතා කදිම උදාහරණය වන්නේ රතුපස්‌වල සිද්ධියේ දී අදාළ වගකිවයුතු ආයතන විසින් කරන ලද ජල පරීක්‌ෂාවන්වලින් ලද සාක්‌ෂි සහ එහි නිගමනයන් කිසි ලෙසකත් තවමත් මහජනතාවට දැනගැනීමට නො ලැබීමයි. මෑත කාලීන අනෙක්‌ අපූරු උදාහරණය වන්නේ, ලෝ ප්‍රකට එක්‌තරා බීම සමාගමකින් කැලණි ගඟේ ජල දූෂණයක්‌ සිදු වීමයි. ජනතාවට පිරිසිදු ජලය සැපයීමට බැඳී සිටින රජයේ ආයතන ජලයේ ගුණාත්මක බව වටහාගැනීමට සිදු කරන ලද පරික්‌ෂාවන් ගෙන් නිරීක්‌ෂිත කරුණු නිශ්චිත ලෙස ජනතාවට දැනුම් දීම පැහැර හැරීම, ජනතාවට නිවැරැදි කරුණු දැනගැනීමට ඇත්තා වූ අයිතිය අභියෝගයට ලක්‌ කරන අතර ම එම ආයතන පිළිබඳව ජනතාව තුළ වූ විශ්වාසය බිඳලීමට ද හේතු වේ. රටෙහි පරිසර ආරක්‌ෂණ ආයතන සෝඩා බෝතලය කැඩුවා සේ තීරණ ගැනීම ද, කල් යත් ම ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම ද මගින් ඉහත කී කරුණු තවදුරටත් සනාථ වේ.

සත්‍ය කරුණු ජනතාව ගෙන් සැඟවීමට සිදු වීම මේ පර්යේෂණවලට සම්බන්ධ විද්‍යාත්මක ආයතනවල දරුණු පසුබෑමක්‌ වන අතර මේ තත්ත්වය සදහා බලපෑ හේතූන් කවරක්‌ විය හැකි ද යන්න විමසා බැලිය යුතු ය. මෙවන් තීරණ පිටුපස දේශපාලන හස්‌තයන් ක්‍රියාත්මක වීම ද මීට සම්බන්ධ පෞද්ගලික සමාගම්වලට ජාත්‍යන්තර වශයෙන් ඇති කළ හැකි බලපෑම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. එමෙන් ම ශ්‍රී ලාංකික පර්යේෂණ ආයතනවල සමහර පර්යේෂණ සදහා නිසි පහසුකම් නොමැති වීම ද, සිදු කරන්නා වූ පර්යේෂණවල නිවැරැදිතාව පිළිබඳ ඇති සැකය ද තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු අතර වේ. ආයතන ප්‍රධානීන් ගේ, පරිසර සහ ජනතා ආරක්‌ෂණය සදහා ප්‍රතිස්‌ථාපිත නීති රාමුවේ හිදැස්‌ පමණක්‌ නො ව යම් යම් දේ ආවරණය සදහා නීති සම්පාදනය වී නොමැති වීම ද වැරැදිකරුවන් හට ඉතා පහසුවෙන් ලිස්‌සා යැමට මාර්ගය තනා දෙන බව පෙනී යන කරුණකි.එමෙන් ම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක්‌ ය යන්න තවදුරටත් තහවුරු කරන්නට ද මේ සිදුවීම ඉතා ප්‍රබල හේතුවක්‌ වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...