Sunday 12 February 2017

විදු පත් ඉරුව

2015  අගෝස්‌තු 05 බදාදා

මේ ගත වන්නේ කිතු උපතින් 2015 වැනි වසරයි. ලෝකයේ ශිෂ්ටාචාර සහ සංස්‌කෘතීන් බිහි වන්නේ වසර බොහෝ කලකට පෙර ය. පෙර කල බිහි වූ සමහර ශිෂ්ටාචාර අද වන විට වඳ වී ගොසිනි. මේ අතර අලුතෙන් ඒවා බිහි විය. මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාර කලක දී ලොව ප්‍රමුඛ ඒවා විය. එහි උපරිමයට පත් වන මේ සංස්‌කෘතීන් පසුව ක්‍රමයෙන් හෝ එක්‌ වර ම විවිධ හේතුන් නිසා පසුබසියි. ප්‍රමුඛ ශිෂ්ටාචාර යම් යම් කාලවල දී ලොව විවිධ ප්‍රදේශවල පැතිර යයි. එහි පැවැත්මට ද පැතිර යැමට ද ස්‌වාභාවික පාරිසරික සහ කාලගුණික සාධක ඉතා ප්‍රබලව බලපායි. මේ සුවිශේෂී කාලගුණික හෝ පාරිසරික සාධක සහිත ප්‍රදේශවලින් බිහි වන්නේ සුවිශේෂී වූ සංස්‌කෘතියක්‌ සහිත ශිෂ්ටාචාරයකි. මූලික අවශ්‍යතා පොදු වුවත් විවීධ ශිෂ්ටාචාරඒවා සපුරාගැනීමේ ක්‍රමවේදය විවිධ වේ. එනිසා ම මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාරයන්හි සංස්‌කෘතිකාංග ද ඉතා පුළුල් ලෙස විවිධාංගිකරණය වේ.

බොහෝ ශිෂ්ටාචාර ස්‌වභාවික පරිසරයට බද්දව පැවති අතර එනිසා ම පාරිසරික වෙනස්‌කම් මත ක්‍රමයෙන් ප්‍රගමනය විය. වෙනස්‌කම් දරාගත නොහැකි වූ කල ශිෂ්ටාචාර බිඳ වැටන අතර ඒවා වඳ වීම ද වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී බලපෑමෙන් මිදුණු අවස්‌ථා ද ඇත. කෙසේ වෙතත් වත්මනෙහි තරම් පැරැන්නන් පරිසරයට බලපෑමක්‌ නො කරන්නට ඇති බව අප ගේ විස්‌වාසයයි. පරිසරය ඉක්‌මවා යමින් අද ලොව සිදු කරන ක්‍රියා අපට ම පාරා වළල්ලක්‌ වී පැමිණ ඇති බව අප කවුරුත් හොඳින් ම දන්නා කරුණකි.

දිගු කල් පවතින හෝ පැවති ශිෂ්ටාචාර සතු ව අති විශාල දැනුම් සම්භාරයක්‌ එක්‌ රැස්‌ වී ඇත. කාලාන්තරයක්‌ තිස්‌සේ බොහෝ අත්දැකීම් මත ස්‌ථාපිත වූ ඒ දැනුම ඉතා කදිමට පාරිසරික සාධක හා මුසු ඒවා වේ. එනිසා ම පාරිසරික සංරක්‌ෂණය නිතැතින් ම සැලසිණි. කෙටි කාලීනව ලොව ප්‍රමුඛ වූ ශිෂ්ටාචාර අඩු දැනුම් පද්ධතියක්‌ මූලාශ්‍ර කරගැනීම ඉතා දරුණු ලෙස පරිසරයට වින කිරීමට හේතු වන බව වත්මනෙහි අප ගේ ඇස ඉදිරිපිට ම සත්‍ය වී ඇත. ශ්‍රී ලංකාවාසීන් ලෙස අප නිරන්තරයෙන් ම ආඩම්බර වන්නේ වසර 2500කට වඩා එපිටට දිවෙන බොහෝ අපූරු ශිෂ්ටාචාරයක්‌ අත්පත් කරගැනීම හේතුවෙනි. එමගින් මතු වී ඇත්තා වූ පැරැණි සංස්‌කෘතිය කෙතරම් පාරිසරික සංරක්‌ෂණය කෙරෙහි නැඹුරු වී ඇත්තේ ද යත් පැරැණි නිර්මිත පරිසරය ද ස්‌වාභාවික පරිසරයේ ම කොටසක්‌ ව ඇති බව බොහෝ තැන්හි දී පැහැදිලි වේ. පාරිසරික හානිය අවමයේ පවත්වාගැනීම, අවශ්‍යතාව මත පැවැත්ම තහවුරු කිරීම, පශ්චාත් පාරිසරික සංවර්ධනය, අපතේ නො යැම හා තිරසාර බව වැනි බොහෝ වැදගත් කරුණු කාරණා පැරැන්නන් ගේ යහපාලන ක්‍රියා තුළ පැවැති බව මෙරට අතීතය දෙස ආපසු හැරී බැලීමේ දී ප්‍රත්‍යක්‌ෂ වේ.

වර්තමානය වන විට ලෝකයේ පරිසර සමතුලිත බව ඉතා දරුණු ලෙස බිඳ වැටෙමින් පවතී. එමගින් පැවසෙන්නේ කුමක්‌ ද? ලොව සැම ශිෂ්ටාචාරයකට ම මෙය බලපාන බව නො වේ ද? කඩා හැලෙනා පැරැණි ගොඩනැගිල්ලකට මුක්‌කු ගසා නවතාලන්නට උත්සාහ කරන්නා සේ, නා නා විධ සංවර්ධන කටයුතු නිසා සිදු වන පාරිසරික බලපෑම් තක්‌සේරුව උදෙසා වත්මනෙහි හඳුන්වා දී ඇති "පාරිසරික බලපෑම් තක්‌සේරුව" කෙතරම් දුරකට ප්‍රායෝගික ද යන්න ගැටලුසහගත ය. එක්‌ එක්‌ ව්‍යාපෘති උදෙසා අප රටෙහි විවිධ කෝණවලින් විවිධ පාලන තන්ත්‍ර යටතේ නිරීක්‌ෂණය කළ අයුරු අපට අමතක නො වේ. දේශපාලනික වශයෙන් ද ඉතා දරුණු ලෙස "පාරිසරික බලපෑම් තක්‌සේරුව" බලපෑමට ලක්‌ වන බව ඉන් පැහැදිලි වේ. භූ විද්‍යාත්මකව ද, ජීව විද්‍යාත්මකව ද, රසායනිකව ද යනාදී වශයෙන් පරිසරයේ එක්‌ එක්‌ අංගවලට ව්‍යාපෘතියේ එක්‌ එක්‌ සංවර්ධන ක්‍රියා නිසා සිදු වන බලපෑම මෙහි දී තක්‌සේරු වන අතර ව්‍යාපෘතිය ස්‌ථාපිත වීමෙන් සිදු විය හැකි අනාගත බලපෑම් ද මෙහි දී කිසියම් ප්‍රමාණයකට පුරෝකථනය වේ.

පාරිසරික බලපෑම් තක්‌සේරුව හඳුන්වා දෙන්නේ යම් ව්‍යාපෘතියකින් සිදු වන හානිය තක්‌සේරු කර එම හානි අවම කිරීමට අවශ්‍ය පියවරයන් ගැනීම සදහා පමණක්‌ ම නො වේ. බලපෑම් තක්‌සේරුවෙන් කිසියම් ආකාරයකට පරිසරයට සිදු වන්නා වූ බලපෑම සැලකිය යුතු මට්‌ටමක වේ යයි තහවුරු වන්නේ නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සපුරා නවතා දැමීමට හැකි ය. ඒ කෙසේ වෙතත් රටක සංවර්ධනය නවතාලිය නොහැකි බව පැවසෙයි. එනයින් බලන කල පාරිසරික සංරක්‌ෂණය මූලික අරමුණ නො වන අතර දෙවැනි තැනට වැටී ඇත. කෙසේ වෙතත් වත්මනෙහි සැකසී ඇති නීති පද්ධතිය කිසියම් දුරකට හෝ පාරිසරික ආරක්‌ෂණයට ආවරණයක්‌ සැපයීම සතුටු විය හැකි තත්ත්වයකි.

කඩිනම් මහවැලි ව්යාපාරය අප රටෙහි අසූව දශකයේ සිදු වූ විශාලතම සංවර්ධන ව්‍යාපාරයයි. එය අප දකින්නේ නිසි කළමනාකරණයකින් තොර ව සිදු වූ දැවැන්ත ම පාරිසරික විනාශයක්‌ ලෙසිනි. "පාරිසරික බලපෑම් අධ්‍යයනයන්" කරලියට නො ආ එකල්හි කිසිදු අවහිරයකින් තොර ව ස්‌වාභාවික පරිසරය හිතූ මනාපයේ පරිහරණය කළ හැකි විය. එනිසා ම බොහෝ පාරිසරික ව්‍යසනයන් සහ සහ ඒවායේ ප්‍රතිපල භුක්‌ති විඳීමට අසරණ ජනයා ප්‍රමුඛ සමස්‌ත පරිසරයට අද සිදු වී ඇත. පසුගිය දිනෙක මහවැලි ජලපෝෂක ප්‍රදේශවල සංචාරය කිරීමට මා ලද අවස්‌ථාවෙන් පසක්‌ වූයේ එම ජල පෝෂක ප්‍රදේශ නිසි කළමනාකරණයකට නතු වී නැති බවයි. සංරක්‌ෂණය කළ යුතු මේ ප්‍රදේශ නොවිධිමත් වගා කටයුතු සඳහා ඉතා දරුණු ලෙස භාවිත වන බව ද, එනිසා ම පස සෝදාපාලුව ඉහළ අගයකින් සිදු වන බව ද මනාව පැහැදිලි වේ. මෙනිසා ම තැනූ ජලාශවල ධාරිතාව ක්‍රමයෙන් අඩු වන බව තේරුම්ගැනීම උදෙසා වෙනත් සාධක අවශ්‍ය නො වේ. එපමණක්‌ නො ව මේ ව්‍යාපෘතිය හරහා හෝ වෙනත් මාර්ගයකින් හෝ පැමිණි ආක්‍රමණික ශාක මහවැලියේ සමහර පෝෂක ප්‍රදේශවල වූ ස්‌වාභාවික වන වැස්‌ම සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. එනිසා ම දේශීය ශාක ද එහි වෙසෙන සතුන් ද තර්ජනයට ලක්‌ වී ඇති බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ. එනයින් බලන කල මහවැලියෙන් ජලය සපයන ප්‍රදේශවල ද මෙතෙක්‌ සැලකිය යුතු ලෙස පාරිසරික වෙනස්‌කම් සිදු විය යුතු ය. ලැබෙන හා මෙතෙක්‌ ලද ප්‍රතිලාභ, කළ වියදම හා සැසඳීමේ දී මේ ව්‍යාපෘතිය කෙතරම් සාර්ථක ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් මහවැලිය ව්‍යාපාරය පිළිබඳව පශ්චාත් සංවර්ධන පාරිසරික වාර්තාවක්‌ හෝ සැකසීම සුදුසු බව අප ගේ හැඟීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 8 February 2017


විදුපත් ඉරුව

2017 පෙබරවාරි 08 බදාදා

විද්‍යාඥයින් විසින් සිදුකරනා විද්‍යා සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුවම විචිත්‍රවත් කරයි. පසුගිය ජනේරුවේ අගබාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක් නිසා විද්‍යා ලෝකය මේ වනවිටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් පවතී. “ලෝහමය හයිඩ්‍රජන්” යනු මෙතුවක් කල් විද්‍යාඥයින් අතර සිහීනයක් වැ තිබු උපකල්පිත පදාර්තමය අවස්තාවක් වේ. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස් යන දෙපල විසින් විද්‍යා පත්‍රිකාවක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිලිබඳ පර්යේෂණ කරනා මෙන්ම නිරන්තර අවදියෙන් සිටිනා බොහෝ විද්වතුන්ගේ අවධානයට ලක් වූ මෙම පත්‍රිකාව විද්‍යාත්මක පත්‍රිකාවක තිබිය යුතු සමහර ගුණාංග නොතිබූ නිසා තරමක් විවෙචනයට ලක් වුවද බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබේ.

අප දන්නා පරිදි හයිඩ්‍රජන් ආවර්තිතාවේ පළමු මූලද්‍රව්‍ය වේ. සොබාවික පරිසරයේ දී වායුවක් ලෙස හැසිරෙන මෙම මුලද්‍රව්‍යය  ද්‍රවයක් කිරීමට නම් අධික සිතලකට ලක් කල යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියක් අංශක -259.16 පමණ වෙයි. ඝනයක් බවට පත් කරන්නට අවැසි නම් තව තව සිසිල් කල යුතුවා මෙන්ම අධික පීඩනයකට ද ලක් කල යුතු වෙනවා. හාවර්ඩ් සරසවියේ විද්වතුන් දෙපල හයිඩ්‍රජන් වායුව ලෝහමය තත්වයට පත් කිරීම සදහා ලබා දුන් පීඩනය ගිගා පැස්කල් 495ක් පමණ වන අතර එය පෘථිවි මධ්‍යයේ පවතින්නාවූ පිඩනයටත් වඩා අධික බව පෙනී යයි. අවර්ණ හයිඩ්‍රජන් වායුව ක්‍රමයෙන් අධික පිඩනයට ලක් කරන විට මුලින්ම කළු පැහැති ඝනයක් බවට පත්වන බවත් එය අර්ධ සන්නායක ගුණ පෙන්වන බවත් තව දුරටත් පීඩනය වැඩිකළ විට ලෝහමය හයිඩ්‍රජන් නිපද වෙන බවත් පෙන්වා දී තිබේ. එලෙස නිපද වූ හයිඩ්‍රජන් වල ලෝහමය අවස්තාව නිසැකවම නිශ්චය කර ගැනීම සදහා ඉදිරියේදී ඉලිනොයිස් සරසවිය වෙත ගෙන ගොස්  X කිරණ පර්යේෂණ වලට ලක් කිරීමට අදහස් කරන බවයි ඔවුන් දෙපල පවසන්නේ.   

මෙලෙස නිපදවන ලෝහමය හයිඩ්‍රජන් වල අනගත පැවැත්ම කෙබඳු වේද යන්න විද්‍යාඥයින් කතා බහට ලක් කල කරුණකි. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ වරක් අධික පිඩනයට ලක් කර ලෝහමය හයිඩ්‍රජන් නිපද වූ විට ලබා දුන් පිඩනය සහ උෂ්ණත්වය ඉවත් කල පසුද ලෝහමය ස්වභාවයෙන්ම පවතින බවයි. මෙවැනි ද්‍රව්‍යයන් “විරූපණ ස්ථායි” (Meta Stable) ද්‍රව්‍යයන් ලෙස හැඳින්වේ. ඒ ඔබ අප දන්නා පෘතුවි මධ්‍යයේදී අධික පීඩනයකට ලක්ව උත්පාදනය වන දියමන්ති සහ මිනිරන් පෘථිවි මතුපිට පවතිනා වැනිය. ලෝහමය හයිඩ්‍රජන් නිපද වීමට හැකි නම් ඉතා විශිෂ්ට වෙනසකට ලෝකය පත් විය හැකි බවයි විද්‍යාඥයින්ගේ අදහස වන්නේ.

අද ලෝකයේ විද්‍යුතය ගමන් කරවීම සඳහා යොදා ගන්නේ ලෝහ බව මා ඔබට අමුතුවෙන් විස්තර කල යුතු වන්නේ නැහැ. විශේෂඥයින් පවසන පරිදි විද්‍යුතය සන්නයනය කිරීමේදී අවමය 15% වත් විද්‍යුතය අපතේ යන බවයි පැවසන්නේ. සොබවිකව පවතින ලෝහ අතුරින් රිදී සහ තඹ ඉතා හොඳ සන්නායකතාවයක් පෙන්නූවද එම ද්‍රවය වලද කිසියම් ප්‍රතිරෝධයක් ඇති නිසා මෙම තත්වය උද්ගතවන බව පැවසේ. නමුත් ලෝහමය හයිඩ්‍රජන් භාවිතා කල හැකි නම් 100% විද්‍යුතය සන්නයනය කල හැකි බවයි විද්‍යාඥයින්ගේ අදහස් වන්නේ. ඔවුන් පවසන පරිදි හයිඩ්‍රජන් ලෝහය විද්‍යුත් සන්නයනයට කිසිදු ප්‍රතිරෝධයක් නොපෙන්වන සුපරි සන්නායක සතු ගුණ පෙන්වන බවයි. ලෝහමය හයිඩ්‍රජන් වල තවත් එක් අපූරු යොදාගැනීමක් ලෙසට යෝජනා කරන්නේ එය අභ්‍යවකාශ යානා ඉන්ධන ලෙස යොදා ගැනීමයි. එමගින් ඉතා හොඳ ශක්තියක් සහ දුෂණය අවම වන ප්‍රතිඵලයන් අත්කර දෙන බවයි විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. හයිඩ්‍රජන් ලෝහය ඉන්ධනයක් ලෙස යොදාගැනීමේ තවත් වාසියක් ලෙස ඔවුන් දකින්නේ වෙනදා යොදා ගන්නා ද්‍රව හයිඩ්‍රජන් වල ප්‍රමාණයට වඩා අඩු ලෝහමය හයිඩ්‍රජන් ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කර වැඩි දුරක් යාමට හැකි වීමයි. කෙසේවෙතත් ලෝහමය ඉන්ධන මහා පරිමාණයෙන් නිපදවීමට හැකි වන්නේ නම් තවත් නොයෙකුත් යෙදීම් සදහා ඉඩ ප්‍රස්ථා මතු වනු ඇත.

ලෝහමය හයිඩ්‍රජන් පිලිබඳ අදහස මුලින්ම ලොවට ඉදිරිපත් කරන ලද්දේ විග්නර් සහ හනින්ටන් නමැති විද්‍යාඥයින් දෙදෙනා විසින් 1935 දිය. ඔවුන් පැවසුවේ ගිගා පැස්කල් 25 දී පමණ ලෝහමය තත්වයට පත් කල හැකි බවයි. එදා සිට අද දක්වාම නොයෙකුත් පීඩන තත්ත්ව වල මෙම පර්යේෂණය සිදු කර ඇති අතර එමගින් විග්නර් සහ හනින්ටන් උපකල්පනය කල පිඩනයට වඩා ඉතා අධික පීඩනයක් අවැසි බව පැහැදිළි වී ඇත.   

මතබේදාත්මක කරුණ කාරණා ඉස්මතු වුවද ඉතා අගය කල යුතුවාක් මෙන්ම ලෝකය පියවර ගණනාවකින් ඉදිරියට ගෙන යන පර්යේෂණයක් ලෙස මෙය හැඳින් විය යුතුය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපටද වඩා සතුටු දායක පුවතක් වන්නේ මෙම පර්යේෂණයේ සම අයිතිකරුවෙකු වී ඇත්තේ ද ශ්‍රී ලාංකිකයෙකු බැවිනි. කාලීනව ඉතා අපූරු පර්යේෂණ අවස්තාවක් ලැබීමට ආචාර්ය රංග ඩයස් මහතා වාසනාවන්ත වී ඇති බව අප පිළිගත යුතුය. මන්ද යත් මෙරට දී මෙවැනි පර්යේෂණයක් සිදු කිරීම සදහා අවශ්‍යවන පසුබිම තවමත් නිර්මාණය වී නොමැති බැවිනි.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 7 February 2017

විදු පත් ඉරුව

2015  අගෝස්‌තු 12 බදාදා

ඔන්න ග්‍රීෂ්ම නිවාඩුවත් ඇවිල්ලා. දැන් ඉතිං දරුවන් ගේ ඉහේ මල් පිපිලා ඇති, ඇතිපදම සෙල්ලම් කරන්න කාලේ ආවා කියලා. වියළි කාලගුණය දූවිලි අවුසන්නේ බොහොම සැරට. වියළි හුළඟත් එක්‌ක පැතිරෙන දූවිල්ල ගහකොළ වසා දමන්නේ සැණෙකින්. වියළි හුළඟ දූවිලි විතරක්‌ නො වෙයි, අහසට නංවන්නේ. "සිලිසිලි බෑග්" කියලා අප හඳුන්වන පොලිතීන් මලු පරිසරයේ නිදහසේ පා වන අයුරු වර්තමානයේ සුලබ දසුනක්‌. ඉස්‌සර නං එහෙම නැහැ නේ. සුපිරි වෙළෙඳසල් නිසා සිලිමලු පාවිච්චිය වැඩි වෙලා ද කියලා හිතෙනවා. අනවශ්‍ය අවස්‌ථාවල දී පවා පොලිතින් මලු භාවිතයට මහජනතාව පෙලඹිලා. අපි පොඩ්ඩක්‌ හිතලා බැලුවොත් පාවිච්චි කරන "එක පොලිතින් මල්ලක්‌" දෙපාරක්‌ භාවිත කළොත් පොලිතින් භාවිතය සැලකිය යුතු මට්‌ටමකින් අඩු කළ හැකියි. ඒ වුණාට බොහෝ දෙනෙක්‌ ගෙදර ගෙනෙන පොලිතීන් මලු බොහොමයක්‌ වෙලාවට කුණු බක්‌කියට දාන එක තමයි කරන්නේ. එහෙම නො කර මලු එකතු කරගැනීමෙන් නැවත භාවිතයට ගන්න පුළුවන්. කඩේට යන අවස්‌ථාවල දී මෙලෙස එකතු කරගත් මලු කිහිපයක්‌ අරන් යනවා නම් අලුත් පොලිතින් මලු හින්දා පරිසරයට එකතු වන ප්‍රමාණය අඩු කරන්න ඔයාලටත් දායක වෙන්න පුළුවන්. ඒ වාගේ ම අපට පුළුවන් වෙනත් විකල්පවලට යන්න. කඩදාසි කවර එක උදාහරණයක්‌. ඒ වාගේ ම කඩේ යනකොට වේවැල් කූඩයක්‌ වැනි විශාල බෑගයක්‌ අරන් යන්න පුළුවන්. එතකොට පොඩි පොඩි පොලිතින් කවර ගණනාවක්‌ ගෙදර ගේන එක නවත්තන්න පුළුවන් නේ.

පොලිතින් මලු භාවිතයෙන් සිදු වන පරිසර හානිය අඩු කරගන්න කියලා මෙරටෙහි පරිපාලනය තුනී පොලිතින් මලු භාවිතයෙන් ඉවත් කරලා, ඒ වෙනුවට ඝනකමින් වැඩි පොලිතින් මලු භාවිතය හඳුන්වා දුන්නා කියලා ඔබට මතක ඇති. ඒත් ඇත්තට ම නිසැක ලෙස ම එයින් අප බලාපොරොත්තු වූ "වාසිය" සැලසුණා ද කියා ඔබට සිතා බැලිය හැකියි. හොඳින් සලකා බැලුව හොත් අපට පෙනී යන්නේ පෙරටත් වඩා වැඩි පොලිතින් ප්‍රමාණයක්‌ පරිසරයට එකතු වන්නට ඉඩ සැලසී ඇති බවයි. අවසානයේ දී "වාසිය" තවත් හානියක්‌ වී ඇත්තේ එමගින් ඇති වන ගැටලු පුරෝකථනය නො කර ම තීරණවලට එළඹී ඇති නිසයි.

පරිසරයට එකවර ම දිරවාගත නොහැකි මෙය, ව්‍යසනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙම වුණත් මේ කෘත්‍රිම ද්‍රව්‍ය නිපදවන්නේ අප හොඳින් ම දන්නා ස්‌වාභාවික රසායන ද්‍රව්‍යයකින් කියලා ඔබ හැමෝ ම දන්නවා ඇති නේ. බොර තෙල්වල අතුරුඵලයක්‌ ලෙස බිහි වන එතිලින් නම් වූ වායුව බහු අවයවීකරණයෙන් තමයි පොලිතින් නිෂ්පාදනය වෙන්නේ. එතිලින් යනු කාබනික සංයෝගයක්‌. බොරතෙල් ද කාබනික සංයෝග මිශ්‍රණයක්‌. දිගු කාලයක්‌ තිස්‌සේ පොළොව අභ්‍යන්තරයේ අධික තාපයට සහ පීඩනයට නතුව මේ බොරතෙල් බිහි වන්නේ සාගරයේ තැන්පත් වූ මඩ/අවසාදිත ස්‌ථර අතර සිර වුණ කාබනික ද්‍රව්‍යවලින්. මේ කාබනික ද්‍රව්‍ය අවසාදිත අතර තැන්පත් වන්නට හේතු වන්නේ සාගරයේ ජීවත් වන ජීවින් ගේ මළකුණු සාගර පත්ලට ගොඩගැසීමයි. සාගරයේ ජීවත් වන මත්ස්‍යයන් වැනි විශාල ජීවින් ද ඩයටම වැනි කුඩා ප්‍රභාසංශ්ලේෂී ක්‌ෂුද්‍රජීවීන් ද මේ තැන්පතු ගොඩනැගීම සඳහා දායක වනවා. ගංගාවල් සාගරයට අතහරිනා අවසාදිතවල සියුම් අංශු තැන්පත් වන්නේ ගැඹුරු සාගර පත්ලේ වන අතර ඒවා අතර ක්‍රමයෙන් සාගර සත්ත්ව සහ ශාක මළකුණු ගොඩගැසෙනවා. සියුම් මඩ අතර සැඟව යන මේ අමු කාබනික ද්‍රව්‍යයන් ක්‍රමයෙන් ගොඩගැසෙන අවසාදිත තට්‌ටු හේතුවෙන් ඇති වන ක්‍රමික උෂ්ණත්ව සහ පීඩන වැඩි වීමට ඔරොත්තු දෙන්නට එහි වූ මුල් රසායනිකයෙන් වෙනස්‌ ව වෙනත් සංයෝග බිහි කරනවා. මේ හේතුවෙන් කාබනික වායූන් ද බොර තෙල් ද නිෂ්පාදනය වනවා. බොහෝ විට ප්‍රභව නිධියේ මෙලෙස සෑදෙන බොරතෙල් එතනින් ඉවත් ව අධික සවිවරතාවකින් යුක්‌ත වැලිගල් වැනි පාෂාණ තුළ එක්‌රැස්‌ වනවා. බොරතෙල් නිධි බිහි වීමට හේතු වන්නේ එයයි. මේ සඳහා වසර දහස්‌ ගණනක සිට වසර මිලියන ගණනක්‌ ගත වනවා. එසේ තැන්පත් වූ බොරතෙල් ශක්‌ති අවශ්‍යතාව සදහා භාවිත කරන්නට අප පෙලඹී ඇත්තේ මෙමඟින් ඇති වන ගැටලු පුරෝකථනය නො කරමයි.

පොළොවෙන් එසේ ලබාගන්නා තවත් ශක්‌ති ප්‍රභවයක්‌ වන්නේ ගල් අඟුරු. ගල් අඟුරු බිහි වීමට හේතු වන්නේ ද අවසාදිත අතර තැන්පත් වූ කාබනික ද්‍රව්‍ය වුවත් මෙහි දී මූලික වන්නේ සාගරයේ තැන්පත් වන කාබනික ද්‍රව්‍ය නො වේ. ගොඩබිමෙහි වූ මඩවගුරු, කලපු වැනි නිරන්තරයෙන් ම අවසාදිත තැන්පත් වන පරිසරවල ඇති වනාන්තරවල පත්‍ර පතනයෙන් ද දිරා ගිය ගස්‌ නිසා ද මඩ අතර සිර වන කාබනික ද්‍රව්‍ය අධික උෂ්ණත්ව සහ පීඩනවලට නතු වීමෙන් ද ගල් අඟරු බිහි වනවා. ගල් අඟුරුවල බහුලව ඇත්තේ අප හොඳින් දන්නා කාබන් නම් මූලද්‍රව්‍යයයි. එහෙත් බොරතෙල්වල කාබන්වලට අමතරව ඔක්‌සිජන් සහ හයිඩ්රජන් යන මූලද්‍රව්‍ය ද අඩංගු වනවා. ප්‍රභාසංශ්ලේෂණයෙන් ශාකවල තිර වන හිරු ගේ ශක්‌තිය මෙලෙස ගල් අඟුරු ලෙස ද බොර තෙල් ලෙස ද වන්නා වූ ශක්‌ති ප්‍රභවයන් භූ අභ්‍යන්තරයෙන් උකහාගත හැකි වී තිබෙනවා. බිහි වීමට වසර මිලියන ගණනක්‌ ගත වන නමුත් අප ඉතා කෙටි කාලයක දී සිදු කළ අධික පරිභෝජනය නිසා වර්තමානයේ මේ ශක්‌ති ප්‍රභවය හිඟතාවකට පත් වී තිබෙනවා. එමෙන් ම තවමත් නිසි විකල්ප බිහි වී නොමැති වීම අනාගත විශාල ශක්‌ති අර්බුදයක්‌ ඇති විය හැකි බවට අනතුරු අඟවනවා.

ගල් අඟුරු බිහි වීමට ප්‍රථම "පීට්‌" නම් වූ අතරමැදි කාබනික ද්‍රව්‍යයක්‌ බිහි වන අතර එය ද ශක්‌ති අවශ්‍යතාව සදහා භාවිත කළ හැකියි. එහෙත් ගල් අඟුරුවල තරම් ම කාබන් ප්‍රතිශතයක්‌ මේ පීට්‌වල අඩංගු වන්නේ නැහැ. අප රටෙහි ද ස්‌වාභාවික "පීට්‌" නිධියක්‌ පවතිනවා. ඒ මුතුරාජවෙල ප්‍රදේශයේයි. වසර 5000-6000කට පෙර මේ ප්‍රදේශය තෙත් කලාපීය කැළෑවකින් යුක්‌ත වුණා. මුහුදට ආසන්නයේ වූ මේ කැළෑව පසුව ක්‍රමයෙන් සිදු වූ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් මඩ වගුරක්‌ බවට පත් වූ අතර එහි තැන්පත් වූ පැරැණි ගස්‌, අතු සහ කොළ හේතුවෙන් මේ "පීට්‌" නිධිය නිර්මාණය වී තිබෙනවා.

අප රටෙහි අසන්න මුහුදෙහි තෙල් නිධි ගවේෂණය සිදු වෙමින් පවතිනවා. එක්‌තරා ආකාරයකට එය සතුටට කරුණක්‌ වන මුත් පාරිසරික වශයෙන් නම් එතරම් හොඳ දෙයක්‌ නො වේ. කෙසේ වෙතත් මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීමෙන් අපට පෙනී යන කරුණ වන්නේ සුනිත්‍ය බල ශක්‌ති ප්‍රභවයක අවශ්‍යතාවයි. එසේ නම් ඒ සදහා එක ම විසදුම වන්නේ සූර්ය ශක්‌තියයි. කළ යුත්තේ පහසුවෙන් හිරු ගේ ශක්‌තිය විදයුතය බවට පත් කරගත හැකි ක්‍රමවේදයක්‌ සොයාගැනීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 6 February 2017

විදු පත් ඉරුව
2015  අගෝස්‌තු 19 බදාදා

අතීතයේ අපේ ආහාර ඉහළ විවිධත්වයකින් යුක්‌ත වූ බව නොරහසක්‌. විවිධ එළවළු වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග පමණක්‌ නො වෙයි විවිධ මස්‌ වර්ග සහ මාළු වර්ග ද ඒ අතර විය. එපමණක්‌ නො ව, එදා විවිධ හතු වර්ග ද අහාරයට එක්‌ කරගත් බව ෂ\හන් කළ යුතු ව තිබේ. බිම් මල්, කඳන් හතු හා ලේන පලා ඒ අතර ප්‍රමුඛ හතු වර්ග වේ. ගොයම් කපා පාගා ඉවත දමන පිදුරු කමතේ පැත්තක ගොඩා ගසා තබන අතර කාලයත් සමග ක්‍රමයෙන් මේවා දිරාපත් වේ. වර්ෂා කාලයේ දී පිදුරු ගොන්නේ පිපෙන පිදුරු බිම්මල් නෙළා රසවත් ආහාරයක්‌ අපේ පැරැන්නෝ සකස්‌ කර ගත් හ. පැරැණි ගම්වල මෙලෙස තවමත් මේ රසවත් ආහාරය පිළියෙල කරන බව වාර්තා වේ.

බිම්මල් නැත හොත් හතු ප්‍රොටීන බහුල ආහාරයකි. මේවා වර්තමානයේ විශේෂයෙන් ම එලවළු පමණක්‌ අහාරයට ගන්නා අය අතර බොහෝ ජනප්‍රිය ආහාරයක්‌ වේ. දැනට ගෙවත්තේ කළ හැකි වගාවක්‌ ලෙස හඳුනාගෙන ඇති මේ බිම්මල් වගාව බොහෝ ස්‌ථානවල සිදු කරන නමුත් ඉල්ලුමේ හැටියට සපයාගත නොහැකි බව පෙනෙන්නට ඇත. වගාව සඳහා නව ප්‍රභේද සොයාගෙන තිබෙන මුත්, ඉහත ස`දහන් කළ ඉබේ වැවෙන හතු වර්ග අපේ ජනතාව අතර තවමත් ඉතා ජනප්‍රිය ය. ඒ ඒවායේ ඇති සුවිශේෂී රසය හේතු කොටගෙන ය.

මේ අතර ආහාරයට ගත නොහැකි ප්‍රභේද ද ඇත. ඒ පිළිබ`දව ද පැරැන්නෝ ඉතා හො`දින් දැන සිටිය හ. නයි හතු ද, සිනා හතු ද ආහාරයට නො ගත යුතු ඒවා බව ද ඉන් නයි හතු ඉතා විෂ බව ද, සිනා හතු ආහාරයට ගත් විට නො නවත්වා සිනාසෙන බව ද අපේ ජනප්‍රවාදවල ස`දහන් වේ. ආහාරයට ගත හැකි ප්‍රභේද පිළිබඳ දැනුම පාරම්පරිකව ඔවුන් ගේ දරු පරපුරට උරුම වූ නමුත් වර්තමානය වන විට සිදු වන පාරිසරික විනාශයත් සමග විශේෂයෙන් ම නගරබදව මේ පිළිබඳ දැනුම අල්ප බව පැහැදිලි කාරණයකි. දිරා ගිය කඳන්වල ඇති වන තරමක්‌ වියළි කුඩා හතු වර්ගයක්‌ වන ලේන පලා මගේ කුඩා කාලයේ බැදුමක්‌ ලෙස ද ලුණුමිරිස්‌ සමග මිශ්‍ර ව ද ආහාරයට ගත් බව මගේ මතකයේ ඇත.

හතු නැත හොත් දිලීර ශාක ලෝකයේ සුවිශේෂී ජීවි කොට්‌ඨාශයකි. වෙන ම වූ රාජධානියක්‌ ලෙස හතු වර්ග කර ඇත. එක්‌ විශේෂත්වයක්‌ වන්නේ මේවායේ සෛල බිත්තිය සකස්‌ වී ඇත්තේ "කයිටින්" නම් වූ කාබනික සංයෝගයෙනි. ඒක සෛලික ජීවින් මෙන්ම බහු සෛලික ජීවින් ද මේ රාජධානියට අයත් වේ. ඒක සෛලිකයන් වන්නේ අප කවුරුත් හොඳින් හඳුනන "යීස්‌ට්‌" විශේෂ ය. බිම්මල් ඒ අතර වූ බහු සෛලිකයන් වේ. බහු සෛලික දිලීර සතු ව අපූරු ජාලයක්‌ වෙයි. එය දිලීර මයිසිලියම ලෙස හ`දුන්වන අතර, උසස්‌ ශාකවල මූල පද්ධතිය සේ පස්‌ අංශු අතරින් රිංගා යැමේ හැකියාව ඊට ඇත. එපමණක්‌ නො වේ. පස්‌ අංශු අතර වූ ජලය ද ඛනිජ ලවණ ද උරාගනිමින් ඒවා මයිසිලියම වර්ධනය කරගනියි.

මේ දිලීර තම වර්ගය බෝ කරන්නේ බීජාණුවලිනි. බීජාණු සෑදෙන කල විශේෂ ව්‍යqහයක්‌ සකස්‌ වන අතර ඒවා බිජාණුධානි ලෙස හැ`දින්වේ. බිම්මල්වල නම් ඉහළට පැමිණෙන කුඩයක්‌ බඳු වූ මේ ව්‍යqහයට ය අප බිම් මල ලෙස නම් තබන්නේ. විවිධ විශේෂවල මේ බිජාණුධානි නොයෙක්‌ පැහැ ගනී. බිම්මල පිපුණ විට යට පැත්තේ වූ බිජාණු සුළඟට මුසු ව සැම තැනක ම පැතිරෙන අතර සුදුසු උපස්‌තරයක්‌ සුදුසු කල්හි හමු වූ විට එම`ගින් දිලීර ජාලය ව්‍යාප්ත වේ. පසෙහි වූ ඵෙන්ද්‍රීය ද්‍රව්‍ය තම ආහාරය කරගන්නා මේ දිලීර හේතුවෙන් පසට කාබනික ද්‍රව්‍ය ද, ඛනිජ ලවණ ද එකතු වේ. මෙය පස සාරවත් කිරීමට ඉවහල් වේ. ඛනිජ ලවණ චක්‍රීකරණයේ දී දිලීර විසින් ඉටු කෙරෙන මෙහෙය අමිල ය.

ලෝකය පුරා පැතිරී ඇති මේ දිලීර විශේෂ මිලියන 1.5ක්‌ පමණ දැනට හ`දුනාගෙන ඇති අතර හඳුනාගැනීමට තව බොහෝ වෙයි. කාන්තාර මෙන්ම අධික ලවණතාවකින් යුක්‌ත පරිසරවල ද ජලයේ ද මේ දිලීර විශේෂ පැතිරී ඇත. පර්යේෂණ වාර්තාවලට අනුව සමහර දිලීර විශේෂවලට කොස්‌මික්‌ කිරණවලින් ද අරක්‌ෂා වී ජීවත් විය හැකි බව තහවුරු වී ඇත. දිලීර ආහාරයක්‌ ලෙස පමණක්‌ නො ව බෙහෙත් වර්ග ලෙසත්, එන්සයිම ලෙසත්, ජීවවිද්‍යාත්මක පළිබෝධනාශක ලෙසත් යොදාගැනේ. එපමණක්‌ නො වේ, වයින් වර්ග සහ මත්පැන් වර්ග නිෂ්පාදනයේ දී මේ දිලීර වර්ග බහුලව භාවිත කෙරෙයි.

අප කවුරුත් හොඳින් දන්නා පාන් නිෂ්පාදනයේ දී පිපුම්කාරකයක්‌ ලෙස මේ දිලීර යොදාගනී. යීස්‌ට්‌ ලෙස හඳුන්වන මේ දිලීර විශේෂය ස්‌වාභාවික පරිසරයේ නිදහසේ හමු වේ. එනිසා ම පොල් හෝ කිතුල් මල් කැපීමෙන් ලබාගන්නා තෙලිඡ්ජ කාලයත් සමග රා බවට පෙරළෙන්නේ මේ හේතුවෙනි.

දිලීර මෙලෙස අපට උපකාර කළ ද හානි කරන අවස්‌ථා ද නැත්තේ නො වේ. අප පුස්‌ ලෙස හ`දුන්වන්නේ ද දිලීර ම ය. අප ගේ ඇඳුම්වලට ද ආහාරවලට ද පුස්‌ නිසා හානි පැමිණේ. සමහර අවස්‌ථාවල දී ආහාරවල පුස්‌ ඇති වීමෙන් එම ආහාර විෂ වන අවස්‌ථා ද ඇත. අප ප්‍රිය කරන රටකජුවල පුස්‌ ඇති වන අතර ඒවා ආහාරයට ගැනීමෙන් මිනිසුන් මිය ගිය අවස්‌ථා ද වාර්තා වේ. එනිසා දිලීර හටගැනීමෙන් නරක්‌ වූ දෑ ආහාරයට නො ගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 4 February 2017




බුදු දහම, බුද්ධිමතුන් සහ විද්‍යාඥයින්.......................!!

බුදු දහම බුද්ධිමතුන්ගේ දහමයි යැයි කියන්නේ එහි මැවුම් වාදයක් හෝ නිර්මාණවාදයක් හෝ නොමැති නිසා පමණක් නොව තාර්කික පදනමක් මත ගොඩ නැගුන දහමක් නිසා යැයි මට සිතේ. කිසිවෙකු ඒ තුල බලෙන් රඳවා ගැනීමක් සිදු නොකරන අතර බලෙන් යමෙක් බඳවා ගන්නේද නැත. යම් කිසිවෙකුට ඒ තුලින් මතුවන ජිවිතයේ සත්‍ය ග්‍රහණය කරගැනීමට අවැසි නම් තමාගේම අධ්‍යනය තුලින්ම එය වටහා ගැනීමට ඉඩ ප්‍රස්තාව මෙතුල ඇත. ඒ සදහා වෙනකෙකුගේ නිර්දේශ අවැසි වන්නේ නැත. බුදු දහමේ සියල්ල ඔබට ප්‍රශ්න කල හැක. වැටහෙන තුරු තර්ක කල හැක. ඒ තුල ඇති විශිෂ්ඨබාවය නම් වෙනත් කිසිම ආගමක් පහත හෙලන්නේද, බුදු දහම තුල රැඳෙන්නට කිසිම ජාතියක් හෝ කුලයක් මතබේදාත්මක වන්නේ ද නැත. ලෝකයේ වෙසෙන සියලු ජිවින්ට විවෘත වූ ද සදාකාලික සහනය ගෙන එන බව ද බුද්ධිමතුන්ගේ මතයයි.  

බුදුදහම පාදක කොට බිහිවන සංස්කෘතීන් තුල සැමට සමතැන දෙයි. බුදු දහම තුලින් මුවහත් වූ සමාජයක ගැටලු අවම වන්නේනමය. පංච ශීලයේ ශික්ෂාව තුල දැමුණු කයක් මෙන්ම නිවුන මනසක් ද හිමි වන බව වර්තමානයේ වුව යම් යම් සමාජ සිදුවීම් වලින් පැහැදිළි වේ. සියලු දෙනා එකිනෙකාට  ගෞරවයෙන් සැලකීම ද විඥ්ඥුන්ගේ මතයට ගරු කිරීමද, වැඩිහිටියන්හට සැලකීම ද, කෘතගුණ සැලකීම සහ ආගන්තුකයන් හට සැලකීම ආදී අපූරු ගුණාංග වලින් පිරි සමාජයක් බිහිකරන්නට බුදු දහම අත්‍යන්තයෙන්ම හේතුවන බව  ඒ ගැන නිසි ලෙස දන්නා කිසිවෙකුට පුදුමයක් නොවේ. තම දක්ෂතා තුල සමාජ මෙහෙවර කරන්නට කදිම තෝතැන්නක් ලබා දෙන බවද රහසක් නොවේ. මෙවන් වූ පසුබිමක ඉන් වියුක්තව අප බොහෝ දෙනෙකු වල් වැදෙන බව ද අමුතුවෙන් පෙන්වා දෙන්නට අවැසි  නොවේ.

වර්තමාන සමාජයේ බටහිර විද්‍යාව ඉස්මතුව ඇති කලෙක, විද්‍යාඥයන්ව බුද්ධිමතුන් ලෙස පිළිගන්නා සැටියකි. බුද්ධිමතුන් විද්‍යාව හදාරන්නේ ද නැතහොත් විද්‍යාව හදාරන්නන් බුද්ධිමතුන්දයි පැහැදිළි නැති නමුත් විද්‍යාව හැදෑරුවන් හට මෙලොව යම් පිළිගැනීමක් ඇති බව පිළිගත යුතුය. නමුත් විද්‍යාව හැදෑරු සියල්ලන් බුද්ධිමතුන් නම් මෙලොව මෙතරම්ම විනාශයට ලක් වන්නට ඉඩ ප්‍රස්තාවන් ඇති වේදැයි සැක සහිත බව ඔබට වැටහේවි. මිනිසුන් මරන්නට අවි ආයුධ නිපද වන්නේත්, විවිධ රසායනික ලොව පුරා ප්‍රචලිත කරන්නේත් පමණක් නොව කොටින්ම අපගේ ශරීරයට අහිතකර දේවල් රැගත් ආහාර නිපදවා රුපවාහිනි දැන්වීම් මගින් අපට කවන්නට පොර බදන්නේත් මෙම විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵලයන් නිසා බව කෙදිනක හෝ ඔබට වැටහී ඇත්දැයි  සිහි කල යුතුය. නමුත් මේ සියල්ලෙහි එලෙස වූ අහිතකර දෑ සහ තත්වයන් නැති බව ද අප පිළිගත යුතුය.

විද්‍යාලෝකය තුල ඇත්තේද වටහා ගත නොහැකි තරඟයකි. එකිනෙකා අභිබවා යන්නට වෙර දරන අනන්ත අප්‍රමාණ විද්‍යාඥයෝ බොහොමයකි. තවත් අයෙකුගේ නිර්මාණයක් කොල්ල කන්නට බලා ඉඳිනා අද පවසනා මෙවැනි බුද්ධිමතුන් රාශියකි. තවත් අයෙකුගේ අදහසක්, දත්ත සමූහයක් හෝ පමණක් නොව පල කර ඇති පර්යේෂණ වාර්තා පවා කොල්ල කෑ අවස්ථා වාර්තා වෙන බව රහසක් නොවේ. උගත්කම පමණක් ම නිර්මාණශීලි පර්යේෂණ අරඹන්නට සමත් නොවන බවට මෙවැනි සිදුවීම් කදිම නිදසුන් වේ. අයෙක් ජිවය නංවාලන්නට පර්යේෂණ, නව නිපැයුම් කරද්දී තවත් අයෙක් මිනිසා ඇතුළු සමස්ත පරිසරයම් විනාශ කරන්නට තම පර්යේෂණ තුලින් තැත් කිරීම අතිශය සංවේග ජනකය.

මේ තත්වය  වෙනස්කරන්නට හැකි වන්නේ කෙසේද යන්න අප සාකච්චාවට බඳුන් කල යුතු ඉතා වැදගත් කරුණක් යයි මට සිතේ. බුදු දහමින් සුපෝෂණය වූ සංස්කෘතියක් තුලින් මෙම විද්‍යාවන් බිහි වූයේනම් ඇතිවන තත්වය කෙබඳු වේ ද, සත්‍ය ලෙසම බුදු දහම අනුගමනය කරන විද්‍යාඥයින් බිහි වූවොත් ලෝකය කෙලෙසක වෙනස් වේද යන කරුණු සාකච්චාවට පමණක් නොව අනාගතයේදී ප්‍රයෝගික මට්ටමෙන් ප්‍රචලිත කරන්නට හැකි වේ නම් කදිම ලොවක් නිර්මාණය කල හැකි නොවේදැයි සිතේ. එමෙන්ම මෙවැනි සංස්කෘතියක් තුලින් බිහිවන විද්‍යා ලෝකයක් බටහිර විද්‍යාවෙන් අත්‍යන්තයෙන්ම වියුක්ත වන බව නම් අප සැම පිළිගත යුතු වේ.  


ආචාර්ය පත්මකුමාර ජයසිංහ
04.02.2017

විදු පත් ඉරුව
2015  අගෝස්‌තු 26 බදාදා


න්‍යෂ්ටික බලාගාරවල විදුලි උත්පාදනය සඳහා යොදාගන්නේ විකිරණශීලී මුලද්‍රව්‍ය. විකිරණශීලී මූලද්‍රව්‍ය විකිරණ පිට කරමින් වෙනත් මූලද්‍රව්‍ය බවට පත් වන අතර ඒවා "දාරක මූලද්‍රව්‍ය" ලෙස හදුන්වනවා. මේ විකිරණ ඇල්ෆා සහ බීටා වැනි විවිධාකාරයේ අධි ශක්‌ති කිරණ වන අතර, ගැටීම ඒ සතු තාපය තවත් ද්‍රව්‍යයකට මාරු කිරීමට හේතු වනවා. මෙලෙස විකිරණ පිට කිරීමේ දී ඇති වන තාප ශක්‌තිය මගින් ජලය උණු කර, ඇති වන ජලවාෂ්පයෙන් ටර්බයින ක්‍රියාත්මක කිරීමෙන් තමයි විදුලිය ජනනය කරනු ලබන්නේ. ජපානයේ විදුලි අවශ්‍යතාවෙන් 30%ක්‌ පමණ ම සපුරාගත්තේ මේ ආකාරයටයි. ජපානයේ විදුලි උත්පාදනය සඳහා බහුලව භාවිත වන්නේ ප්ලූටෝනියම් සහ යුරේනියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යවල මිශ්‍රණයක්‌.

පෘථිවියේ පවත්නා මූලද්‍රව්‍ය අතර විවිධ වූ විකිරණශීලී මූලද්‍රව්‍ය ඒ ඒ මූලද්‍රව්‍යයේ සමස්‌ථානික වනවා. ඒවා බොහෝ විට අපට ස්‌වාභාවික පරිසරයේ හමු වන්නේ ඛනිජ ලෙසයි. ඒ අතර මා මතකයට නැෙගන්නේ එක්‌ සුවිශේෂී විකිරණශීලී මූලද්‍රව්‍යයක්‌ අඩංගු වන ඛනිජයක්‌. ඒ "තෝරියනයිට්‌" නම් වූ පළමුව ලෝකයට ලංකාවෙන් හෙළි කළ විකිරණශීලී ඛනිජයයි. මෙයට වසර 111කට පමණ පෙර එනම් 1904 දී ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා විසින් ලංකාවේ සිදු කරන ලද ගවේෂණවල දී සොයාගන්නා ලදුව ලොවට මෙය ඉදිරිපත් කෙරුණා. මේ ඛනිජයෙහි තෝරියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යය අඩංගු වන අතර බොහෝ විට ලංකාවේ මැණික්‌ ඉල්ලම් ආශ්‍රිතව හමු වන බව වාර්තා වනවා.

ආනන්ද කුමාරස්‌වාමි යන නාමය ඔබට සුපුරුදු එකක්‌ බව නිසැකයි. ඔහු ගේ නාමය ලාංකික ජනතාව අතර නම් ප්‍රසිද්ධ වී ඇත්තේ කලා සහ ඉතිහාස ක්‌ෂේත්‍රයට සම්බන්ධ අයකු ලෙසයි. එහෙත් ඔහු වෘත්තීය වශයෙන් ඛනිජ විද්‍යාඥයකු වන අතර එවකට ලංකාවේ සිදු කළ ඛනිජ ගවේෂණ ව්‍යාපෘතියේ භූ විද්‍යාඥයකු ලෙස ඔහු සේවය කර තිබෙනවා. පසුව ඔහු ගේ එම වැඩකටයුතු ලංකාවේ භූ විද්‍යා සමීක්‌ෂණ දෙපාර්තමේතුව පිහිටුවීමට පුරෝගාමී වුණා. ඔහු එහි පළමු අධ්‍යක්‌ෂවරයා ද වනවා.

එංගලන්තයේ දී මූලික අධ්‍යාපනය ලැබූ ආනන්ද කුමාරස්‌වාමි මහතා තම උපාධිය සඳහා භූ විද්‍යාව සහ උද්භිද විද්‍යාව තමයි හදාරා තිබෙන්නේ. ඉන් තමා වඩාත් ප්‍රිය කළ භූ විද්‍යාව කෙරෙහි නැඹුරු වූ ඔහු ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ ඛනිජ පිළිබඳව පර්යේෂණ සිදු කරමින් ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට ඉතා අගනා මෙහෙයක්‌ ඉටු කළා. 1877 අගෝස්‌තු 22 දින ලංකාවේ දී දමිල ජාතික පියකුට සහ ඉංග්‍රීසි ජාතික මවකට දා ව උපත ලද ඔහුට වයස වසර දෙකක්‌ වන විට තම පියා වූ සර් මුත්තු කුමාරස්‌වාමි මහතා අහිමි වුණා. එනිසා තම මව සමග ඔහු ගේ කුඩා කාලය ගත කරන්නේ එංගලන්තයේ.

තම භූ විද්‍යා පර්යේෂණ සදහා මෙරටෙහි ගවේෂණ සිදු කරන අතරවාරයේ අහඹු ලෙස ඇස ගැටෙන දඹුලු ලෙන් විහාරයේ සිතුවම්වලට වශීකෘත වන ආනන්ද කුමාරස්‌වාමි මහතා තම ගවේෂණ නවමු මාවතකට යොමු කරමින් සිංහල කලාකෘති අධ්‍යයනයට පෙලඹෙනවා. එනිසා සිංහල කලාව පිළිබඳ ඉතා උත්කෘෂ්ට පුස්‌තක ගණනාවක්‌ ලොවට දායාද කරන්නට සමත් වන ඔහු වැනසී යන ස්‌වෙදේශීය සිංහල කලා ඉතිහාසය රැකගැනීමට මනා පිටිවහලක්‌ වුණා. ඉන්දියාවේ දී ඉන්දියානු කලා ඉතිහාසය ද අධ්‍යයනය කරන්නට සමත් වන ඔහු එමගින් පෙරදිග වූ මනරම් සමාජ චින්තනය බටහිරට හෙළි කරන්නට සමත් වුණා. වර්තමානයේ ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් අතර ඒ මහතා ගේ කෘති අත්පොත් බවට පත් වී තිබීම මගින් ම ඔහු ගේ ගවේෂණ සහ පර්යේෂණ ශ්‍රී ලාංකේය විද්වතුන් හට කොපමණ බලපෑමක්‌ කර ඇත් දැයි ඔබට සිතාගත හැකියි.

1947 සැප්තැම්බර මස 9 දින ඇමෙරිකාවේ දී මිය යන විට ඔහුට වයස වසර 70ක්‌ වුණා. අද වන විට ඔහු මිය ගොස්‌ වසර 68ක්‌ ගත වී ඇති අතර ශ්‍රී ලාංකික ජනයාට නො මැකෙන සිහිවටන රාශියක්‌ ඒ මහතා උරුම කර දී තිබෙනවා. මේ වසරේ අගෝස්‌තු 22 දිනට සමරන්නේ ඔහු ගේ 138 වැනි ජන්ම දිනයයි. ශ්‍රී ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට ඔහු සිදු කර ඇති අමිල මෙහෙවර අගය කරමින් සැම වසරක ම අගෝස්‌තු මාසයේ දී ලාංකික භූ විද්‍යාඥයන් එක්‌ ව ඔහු ගේ ජන්ම දිනය සමරන අතර එය වඩාත් ආලෝකවත් කරන්නට වර්තමානයේ මෙරට භූ විද්‍යා ක්‌ෂේත්‍රයට අගනා වටිනා සේවයක්‌ කළ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු හට ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා ගේ නමින් පදක්‌කමක්‌ පිරිනමනු ලබනවා. "ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය" 21 වැනි වතාවටත් මේ මස 22 වැනි දින එම සැමරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විදයා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කළ අතර මෙවර ගරු බුහුමනට පාත්‍ර කරමින් එම පදක්‌කම පිරිනමනු ලැබුවේ දැනට ලාංකික භූ විද්‍යාඥයන් බිහි කරන්නා වූ තිඹිරි ගෙය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන එල්. ආර්. කේ. පෙරේරා මහතාටයි. මේ ලේඛකයා ගේ ද භූ විද්‍යා දැනුම පුළුල් කරන්නට සහාය වූ ගුරු පියකු වූ එතුමාට මෙවර විදු පත් ඉරුවෙන් සුභාශිංසණ පිරිනමන්නට ලැබීම අතිශය සතුටට සහ ගෞරවයට කරුණක්‌.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 3 February 2017


විදු පත් ඉරුව
2015  සැප්තෑම්බර් 09 බදාදා


ඉහළ වායුගෝලයේ ස්‌ථාපිත ව ඇත්තා වූ ඕසෝන ස්‌තරය වටිනා සම්පතකි. පෘථිවියේ බිහි වී ඇති ජීවය, හිරු ගේ පාරජම්බුල කිරණවලින් ආරක්‌ෂා කරමින්, දිගින් දිගට ම පවත්වාගැනීමට හේතු වන්නේ මේ ඕසෝන ස්‌ථරයයි.

ඕසෝන ස්‌ථරය ලෝකයේ මුලින් ම බිහි වන්නේ අපූරු ආකාරයකට ය. ගිනිගෙන දැවුණ පෘථිවියේ මූලාරම්භයේ ඔක්‌සිජන් වායුව නො තිබූ අතර ක්‍රමික සිසිලනයෙන් ස්‌ථාපනය වූ ගොඩබිම ද සාගර ද විය. සාගරයේ ප්‍රභාසංශ්ලේෂීන් ගේ බිහි වීම හේතුවෙන් ක්‍රමයෙන් වායුගෝලයේ ඔක්‌සිජන් සාන්ද්‍රණය වැඩි විය. ඉහළ වායුගෝලයේ රැඳි ඔක්‌සිජන් අණු පාරජම්බුල කිරණ හේතුවෙන් "දෙපලු" වීමෙන් ඉතා සක්‍රිය නිදහස්‌ ඔක්‌සිජන් පරමාණු බිහි වූ අතර, එවැනි පරමාණුවක්‌ හා ඔක්‌සිජන් අණුවක්‌ එක්‌ වීමෙන් ඕසෝන් අණුවක්‌ ඇති විය. ඔක්‌සිජන් අණු "දෙපලු" වීමට හේතු වන්නේ ඒවා පාරජම්බුල කිරණවල ශක්‌තිය උරා ගැනීමයි. දිගින් දිගට ම සිදු වූ ඔක්‌සිජන් අණු "දෙපලු" වීමෙන් ඕසෝන ස්‌තරය වර්ධනය වූ අතර එනිසා පාරජම්බුල කිරණවලට මේ ස්‌තරය විනිවිද යැමට නොහැකි විය. එය පෘථිවියේ බිහි වූ ජීවය අහිතකර පාරජම්බුල කිරණවලින් ආරක්‌ෂා වීමට මහඟු උපකාරයක්‌ විය. මෙහි දී පාරජම්බුල කිරණ විසින් ම නිපදවන ලද ඕසෝන අණු ඒවාට ම එරෙහි වී ඇති බව ඔබට වැටහෙනු ඇත.

කෙසේ වෙතත් මේ ඕසෝන් ස්‌ථරයේ ඕසෝන් අණු ඇති වෙමින් ද නැති වෙමින් ද පවතින අතර සාපේක්‌ෂව සාන්ද්‍රණය ඉතා අඩු ය. එය වායු අණු මිලියන 10කට ඕසෝන අණු තුනක්‌ පමණ වේ. වර්තමානයේ සිදු වන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එක්‌ කළ කෘත්‍රිම වායුන්, මේ චක්‍රීය බව බිඳ හෙළීමට හේතු වී තිබේ. ප්‍රධාන වශයෙන් ම අප කවුරුත් හොඳින් ම දන්නා CFC නැත්නම් ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ලෙස හඳුන්වන වායුව මේ සදහා මූලික වේ. "දෙපලු" වීමෙන් ඇති වන්නා වූ ඔක්‌සිජන් පරමාණු මේ ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් අණු හා බැඳීමෙන් නැවත නිදහස්‌ නො වන අතර එනිසා ඕසෝන අණු ඇති වීම වළකියි. එය ක්‍රමයෙන් ඕසෝන් ස්‌තරය තුනී කර දමයි. මේ ස්‌තරය ඇන්ටාක්‌ටිකාවට ඉහළින් සිදු රක්‌ ඇති කිරීමට තරම් ප්‍රබල වී ඇති බව ඔබ හොඳින් දන්නා කරුණකි. සිත්ගන්නාසුලු දෙයක්‌ වන්නේ මේ සම්බන්ධව ලෝකයට අනාවරණය වන්නේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද පර්යේෂණයක අහඹු ප්‍රතිඵලයක්‌ ලෙස බව ය. මහාචාර්ය ෂර්වුඩ් රෝව්ලන්ඩ්, මාරියෝ මොලිනා සහ පෝල් කෘට්‌සාන් මේ සදහා 1995 දී නොබෙල් ත්‍යාගය දිනාගත් අතර ඉලක්‌කගත නො වූ පර්යේෂණවල වැදගත්කම මෙයින් මොනවට පැහැදිලි වේ. ලෝකයේ මෙවැනි පර්යේෂණ සදහා කොතෙකුත් උදාහරණ සැපයිය හැකි ය.

ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්‌ෂේත්‍රය තුළ ද බොහෝ දෙනකු ගේ අවධානය යොමු වී ඇත්තේ ඉලක්‌කගත පර්යේෂණ කෙරෙහි බව පෙනී යන අතර එය නිදහස්‌ පර්යේෂණ ලඝූ කිරීමට ද, ඒ සඳහා අවස්‌ථාව හා ආධාර සීමා කිරීමට ද හේතු වී ඇති බව අප ගේ හැඟීම ය. මේ සදහා උදාහරණ සමූහයක්‌ ම ගෙනහැර දැක්‌විය හැකි අතර ස්‌වාභාවික විපත් මෙන්ම මානව ක්‍රියා නිසා ද ඇති විය හැකි අනතුරු අවම කිරීම කෙරෙහි වූ පර්යේෂණ සදහා ඇති අඩු ප්‍රමුඛතාව මේ අතරින් ප්‍රධාන වේ. මෙරටෙහි සුනාමි අනතුරත් සමග මේ පිළිබඳව කිසියම් අවධානයක්‌ ඇති වුව ද පෙනී යන වැදගත් ම කරුණ වන්නේ වගකිවයුත්තන් ගේ ඇස්‌ ඇරෙන්නේ අනතුර සිදු වූ විට බවයි.

රජරට වකුගඩු රෝගය ද රතුපස්‌වල සිදුවීම ද වැනි ප්‍රබලව ජන සමාජයට බලපෑ ආපදා කෙරෙහි හේතු වූ ජල සම්පත පිළිබඳව විධිමත් පර්යේෂණ හා සමීක්‌ෂණ සිදු කර තිබිණි නම් බොහෝ කරුණු කාරණා සහ ගැටලු ලිහාගැනීමට හැකි ව තිබිණි. ඒ එසේ වුවත් තවමත් රටෙහි ජල සම්පතෙහි ස්‌වභාවය සහ ප්‍රමාණය පිළිබඳව පර්යේෂණ දියත් නො වී තිබීම කණගාටුවට කරුණකි. දිනෙන් දින ම වැඩි වන වාහන නිසා ද විවිධ කර්මාන්ත හේතුවෙන් ද ඉදි වන ගල් අඟුරු බලාගාර නිසා ද වායුගෝලයට විවිධ දූෂකකාරක එක්‌ වෙමින් පවතී. අවශ්‍ය වන්නේ රට ම ආවරණය වන පරිදි වායුගෝලයේ ස්‌වභාවය පිළිබඳව සහ ඇති වන වෙනස්‌කම් කෙරෙහි අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීම ය. එමෙන් ම ශ්‍රී ලාංකික ආර්ථිකය තුළ පසට හිමි වන්නේ ඉතා වැදගත් ස්‌ථානයකි. එනිසා රටෙහි විවිධ පෙදෙස්‌වල පසේ ස්‌වභාවය ද දූෂක මට්‌ටම් ද අධ්‍යයනය කර තිබීම කෘෂිකර්මාන්තයේ මූලික අවශ්‍යතාවක්‌ වේ.

ශ්‍රී ලංකාවේ නාය යැම් වැනි ආපදා කෙරෙහි වත්මනෙහි ස්‌වාභාවික හේතුන් මෙන්ම මානව ක්‍රියාකාරකම් ද ප්‍රබලව බලපා ඇත. මේ සදහා බලපාන ස්‌වාභාවික හේතුන් වන වර්ෂාව, භූ කම්පා පිළිබඳව ද සිදු කරන පර්යේෂණ අඩුවෙන් තක්‌සේරු නො කළ යුතු ය. දීර්ඝකාලීනව සිදු කළ යුතු එවැනි පර්යේෂණ අනාගතයේ සිදු විය හැකි ව්‍යසන පුරෝකථනයට මහඟු උපකාරයක්‌ වන බව ද එමගින් වළක්‌වා ලන ජීවිත සහ දේපළ හානි නිසා රජයට හිමි වන්නේ ආර්ථික අතින් පවා බලවත් වාසියක්‌ බව ද සිහි තබාගත යුතු ය.

ඉහත සදහන් කරන ලද්දේ ඉලක්‌කගත නො වූ නමුත් අත්‍යවශ්‍ය ව සිදු කළ යුතු පර්යේෂණ ක්‌ෂේත්‍ර කිහිපයකි. මෙවැනි තවත් බොහෝ පර්යේෂණ ක්‌ෂේත්‍ර ඇති බැවින් රටෙහි පරිපාලනයේ ද අදාළ පර්යේෂණ ආයතනවල ද අවධානය වහ වහා ඒ කෙරෙහි යොමු විය යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...