Wednesday, 22 February 2017

විදු පත් ඉරුව
2015  ජුලි 22 බදාදා

මැතිවරණ උණුසුමත් සමග කරළියට එන්නේ ප්‍රචාරක දැන්වීම් ය. නා නා ප්‍රකාරයෙන් නිර්මාණය කළ මේ දැන්වීම්වලින් තාප්ප, බිත්ති ඇතුළුව බොහොමයක්‌ ස්‌ථාන කලකට වැසී යයි. එමගින් සමස්‌ත පරිසරයට ම එක්‌ කරන්නේ අතිශය අවලස්‌සනකි. එපමණක්‌ නො වේ. මේ හේතුවෙන් තවත් ගැටලු රාශියක්‌ මතු වේ. බිත්ති, තාප්ප ඇතුළුව ප්‍රචාරක දැන්වීම් ග්‍රහණයට හසු වන ස්‌ථාන නැවත පිළිසකර කිරීමට ඉතා විශාල මුදලක්‌ වැය වේ. එමෙන් ම මේ සඳහා වැය වන කඩදාසි ප්‍රමාණය ඉතිරි කරගත හැකි නම්, එය පාසල් පොත් මුද්‍රණය වැනි සත්කාර්යයකට වැය කළ හැකි වේ. මේ කඩදාසි ප්‍රමාණය නිර්මාණය සඳහා වැය කළ යුතු ගස්‌ ප්‍රමාණය ද වක්‍රාකාරයෙන් ඉතිරි වේ. එය පරිසර සංරක්‌ෂණය උදෙසා ගන්නා වූ අගනා තීරණයක්‌ වනු ඇත.

මේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් විවිධ ස්‌ථානවල ඇලවීම සඳහා යොදාගන්නා විවිධ ක්‍රමවේද නිසාවෙන් මේ කඩදාසි නැවත ප්‍රතිචක්‍රීයකරණයට එක්‌ කළ නොහැකි ද වේ. මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඇලවීම සඳහා යොදාගන්නේ පාන් පිටි දිය කිරීමෙන් සාදා ගන්නා පාප්ප ය. පාප්ප කල් තබාගැනීම සඳහා සමහර අවස්‌ථාවල දී කොන්ඩිස්‌ වැනි රසායනික ද්‍රව්‍යයන් එක්‌ කරන අතර, ගැලවීමෙන් දැන්වීම් ආරක්‌ෂා කරගැනීම සඳහා බෝතල් කුඩු, විදුලි බල්බවල කුඩු පාප්පවලට එක්‌ කරන බව වාර්තා වේ. මේ හේතුවෙන් වැඩිපුර ම පීඩා විඳින බව පෙනී යන්නේ ගවයන් සහ එළුවන් වැනි සිව්පාවුන් ය. පාප්ප කෑමට ආසා කරන මොවුන් අවසන් කරන්නේ සම්පූර්ණ දැන්වීම ම කා දැමීමෙනි. අවසන් ප්‍රතිඵලය කුමක්‌ විය හැකි දැයිs අමුතුවෙන් කිව යුතු නො වේ. තවත් අතකින් බලන කල ආහාර සුරක්‌ෂිතකරණය ගැන නිතර ම කථා කරන අප මේ කාලයේ මෙලෙස විනාශ කරන්නේ බොහෝ දෙනකුට ආහාර පිණිස ගත හැකි ආහාර ද්‍රව්‍යයක්‌ වන පාන් පිටි ය.

මැතිවරණ ප්‍රචාරක දැන්වීම් හේතුවෙන් සාමාන්‍යයෙන් නො සිතන සහ කථා නො කරන නමුත් අප ගේ අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ මේ හේතුවෙන් ඇති වන "දර්ශන දූෂණයයි". අප අවට පරිසර වසා පැතිර පවත්නා නා නා ප්‍රකාර දැන්වීම්වලින් අප ගේ මනස කොපමණ දුරකට ව්‍යාකූල කරන්නේ ද යන්න සොයා බැලීම අතිශය වැදගත් පර්යේෂණයක්‌ වනු ඇත. මැතිවරණ ප්‍රචාරක දැන්වීම්වලින් විශේෂයෙන් ම ළමා මනසට සිදු කරන බලපෑම අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මෙවැනි දැන්වීම් හේතුවෙන් ඇති වන්නා වූ අහිතකර බලපෑම් ද හිතකර බලපෑම් ද අධ්‍යයනය කළ යුතු අතර සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර ව හිතකර ක්‍රමවේද අනුගමනය කිරීම ද නිර්මාණය ද මගින් ප්‍රචාරක කලාව නව මගකට යොමු කළ හැකි වේ යෑයි සිතමි.

දැන්වීම් ප්‍රචාරක කලාවේ තවත් අංගයක්‌ වන අති විශාල පුවරු මහා මාර්ග ආසන්නයේ සවි කර ඇති බව ඔබ දැක ඇතිවා නිසැක ය. විශාල වංගුවල දී එක්‌වර ම දර්ශනය වන ලෙස සවි කර ඇති මේ පුවරු සමහර අවස්‌ථාවල දී රියදුරන් නොමග යවනවා විය හැකි ය. ඒ හේතුවෙන් කොපමණ මාර්ග අනතුරු ප්‍රමාණයක්‌ සිදු වී ඇත් දැයි අප මේ වන තෙක්‌ ගණනය කර නොමැති විය හැකි ය. දිළිසෙනසුලු තීන්ත ද, ආලෝකය පරාවර්තනය කරන්නා වූ ද්‍රව්‍යයන් එක්‌ කර තැනූ තීන්ත ද හේතුවෙන් දහවල දී ද, රාත්‍රියේ දී ද "ගිනිකන" වැටීම හේතුවෙන් මා බොහෝ අපහසුතාවයට ලක්‌ වූ අවස්‌ථා ඇත. එය වාහන පදවන බොහෝ දෙනකු අත්දැක ඇතැයි සිතිය හැකි ය.

එපමණක්‌ නො ව, පරිසරයේ රස විඳිමින් ගමන් ගන්නා අප, එක්‌වර ම මෙවැනි විශාල දැන්වීම් පුවරු දර්ශනය වීමෙන් කොපමණ සිත් තැවුලකට පත් වන්නේ ද යන්න අමුතුවෙන් කිව යුතු නො වේ. එය නොමිලේ අප ගේ මනස සංසුන් කරන සුන්දර පරිසර දර්ශන අප වෙතින් බලෙන් ඉවත් කිරීමකි.

විද්‍යාව හා තාක්‌ෂණය දියුණු මෙවන් යුගයක මැතිවරණ ප්‍රචාරණය උදෙසා වඩාත් ඵලදායි ලාභදායි සහ පරිසර හිතකාමී ක්‍රමවේද භාවිත කළ යුතු වේ. නිර්මිත පරිසරය හේතුවෙන් ස්‌වාභාවික පරිසරයට ඇති වන්නා වූ මෙවැනි බලපෑම් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බව මෙහි දී අවධාරණය කළ යුතු ය. මෙවැනි දර්ශන පුවරු සවි කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රමිතීන් පිළිබඳව සලකා බැලිය යුතු වේ. එමෙන් ම මෙවැනි දැන්වීම් ප්‍රචාරණය හේතුවෙන් ජනතාවට ඇති වන අපහසුතා පිළිබඳව වූ කරුණු සැලකිල්ලට ගෙන ඒ සඳහා නව නීති පද්ධතියක්‌ සැකසිය හැකි නම් ජනතාව ගේ පරිසර රසවින්දනය ආරක්‌ෂා කළ හැකි ය.

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දී අනුගමනය කළ යුතු නීති පද්ධතියක්‌ ඇතත් ඒවා ක්‍රමවත්ව ක්‍රියාත්මක නො වීමේ ඵලවිපාක පසුගිය දශක කිහිපය තුළ දී අත්විඳි ආකාරය අප සියල්ලට ම හොඳින් මතක ය. එවැනි අත්දැකීම් සැලකිල්ලට ගෙන, පරිසරයට ආදරය කරන, ජනතාවට ආදරය කරන මැතිවරණ ව්‍යාපාරයක යම් අයකු යෙදෙන්නේ නම් එය ඉතා අගය කළ යුතු ය. එමෙන් ම යම් ප්‍රමාණයකට හෝ මැතිවරණ ප්‍රචාරක නීති ක්‍රියාත්මක කෙරෙමින් තිබීම අගය කළ යුත්තකි.

විද්‍යාව හා තාක්‌ෂණය පිළිගන්නා, ඒ පිළිබඳව අවධානය යොමු කරන එමගින් පරිසරය ආරක්‌ෂණය තහවුරු කරන මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන්නන් පිරිසක්‌ නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ බිහි වීම සිහිනයක්‌ නො වනු ඇතැයි සිතමි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 15 February 2017


විදුපත් ඉරුව
12.02.2017

ප්‍රාස්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් ඇති බව පෙන්නීමට විද්‍යාගාරයේ සිදු කරනා හුණු දියර පරික්ෂාව ඔබට මතක ඇති. විදුරු බටයෙන් එතුලට පිඹීමෙන්, සාදාගත් අවර්ණ හුණු දියර කිරිපැහැ ගැන්වෙන බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇති. මෙහිදී, ජලයේ දිය වූ කැල්සියම් ඔක්සයිඩ් ජලීය කැල්සියම් හයිඩ්රොක්සයිඩ් බවට පත් වන අතර, ප්‍රාස්වාස වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර ජලයේ අද්‍රාව්‍ය කැල්සියම් කාබෝනෙට් බවට පත් වේ.  මෙම පරීක්ෂණය ඉතා සරලමුත් බොහෝ කරුණු කාරණා මේ වටා එතී ඇති බව පෙනී යයි. එමන්ම අපට විසල් දැනුම් සම්භාරයක් ගෙන හැර පෑමට එය පාදක වෙයි.

කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට එකතු කරනා එක් ආකාරයක් වන්නේ ජිවින්ගේ ස්වසනය බව මෙමගින් පැහැදිළි වේ. නමුත් වායු ගෝලයට කාබන්ඩයොක්සයිඩ් වායුව එක් කරන්නේ ස්වසනය මගින් පමණක් නොවේ. ගිනිකඳු පිපිරීම් මගින්ද, ඵෛන්ද්‍රිය ද්‍රව්‍ය වියෝජනයෙන් ද, කාබනික ද්‍රව්‍ය දහනය මගින් වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් එක් කෙරේ. කාබනික ද්‍රව්‍ය දහනය සීඝ්‍ර වූයේ කාර්මික විප්ලයත් සමග වීම අත්‍යන්තය සත්‍යකි. ඒ විශාල වශයෙන් ගල් අඟුරු, බොර තෙල් සහ ඛණිජ වායු කර්මාන්ත සදහා භාවිතයත් සමගයි.

වායුගෝලයේ එක් රැස් වන කාබන්ඩයොක්සයිඩ් වායුව ගිල ගන්නේ හරිතප්‍රදධාරීන් වන ශාක තුල සිදුවන ප්‍රභා සංස්ලේෂණ ක්‍රියා දාමයයි. එම නිසා ස්වභාවික ක්‍රියාවලිය තුල වායු ගෝලයේ රැඳෙනා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වැඩි වශයෙන් නියත අගයක් ගනී. දිගු කාලීනව එම සාන්ද්‍රණයේ යම් යම් වෙනස්කම් සිදු වී ඇති බව කාබන්ඩයොක්සයිඩ් වායුවේ “ප්‍රාග් සාන්ද්‍රණ” අධ්‍යනය තුලින් පෙනී යයි. නමුත් කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගෝලය තුල අධිකව සාන්ද්‍ර ගත වීම මෙවර සිදුවන්නේ මිනිසාගේ ක්‍රියා නිසා බව ඉතා හොඳින් ගම්‍ය වේ. කාබන්ඩයොක්සයිඩ් වායුව ගිල ගන්නා අනෙක් ස්වභාවික ක්‍රියාවලිය වන්නේ පාෂාණ ජිර්ණයයි.  

හුණුගල් සහ කිරිගරුඬ මෙරටට ආර්ථික වටිනාකමක් එක් කරනා පාෂණ වර්ග වේ. ඒවායේ රසායනික සංයුතිය පවසන්නේ එම පාෂාණ කැල්සියම් කබෝනෙට් වලින් සමන්විත බවයි. හුණුගල් හෝ කිරිගරුඬ පිලිස්සීමෙන් ගොඩනැගිලි කර්මාන්තය සදහා අවැසි “හුණු” නිෂ්පාදනය කර ගනී. මේ සදහා හුණුගල් හෝ කිරිගරුඬ පාෂාණ පිලිස්සිමකට ලක් කල යුතුයි. මෙහිදී “අළුහුණු” නිපැදවෙන අතර කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට නිදහස් කෙරේ. මාතලේ, දිගන වැනි ස්ථාන වල  ඇති හුණු  පෝරණු අසලින් යාමේදී කාබන්ඩයොක්සයිඩ් වායුවේ ආවේනික ගන්ධය ඔබට ආඝ්‍රහණය කල හැක. මෙම අත්දැකීම විඳ ඇත්තෙකුට  එහි ගන්ධය ක්ෂණයකින් මතකයට නැගේවි.

අළුහුණු ජලයේ දියකර ගැනීමෙන් හුණු දියර නිපදවා ගත හැක. අළුහුණු ජලයේ දියවීම තාපදායි ප්‍රතික්‍රියාවකි. එනිසා නග්න දෑත් හෝ දෙපා අළුහුණු ජලයේ මිශ්‍ර කිරීම සඳහා භාවිතා නොකළ යුතුය. නැතහොත් අත්පා පිලිස්සිමකට ලක් විය හැක. දියකර සාදා ගත් හුණු දියරය බිත්ති ආලේපනය සදහා භාවිතා කරයි. විවිධ වර්ණ එක් කිරීමෙන් එය වර්ණවත් කරගත හැක. අවර්ණ හුනුදියරය බිත්ති ආලේපනයෙන් පසු ටික වෙලාවක් ගතවීමෙන් අපූරු සුදු පැහැයක් ගෙන දෙන බව ඔබට මතක් වේවි. ඒ සදහා හේතුවන්නේ වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් මෙම හුණු දියරය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් නැවත නිපැදවෙන කැල්සියම් කාබෝනේට නිසායි.  

සිමෙන්ති නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍යක් ලෙස හුණුගල් භාවිතා කරයි. ලංකාවේ පුත්තලමේ සිට බටහිර වෙරළ තිරයේ ඉහලටද මුළු යාපනය අර්ධ ද්විපයද නිර්මාණය වී ඇත්තේ මයෝසින යුගයේ අවසාදනය වූ හුණුගල් වලිනි. සිමෙන්ති නිෂ්පාදනය සදහා මෙම හුණුගල් දශක ගණනාවක සිටම භාවිතා කරන අතර කන්කසන්තුරේ ඇති ගල්වල වර්තමානයේ භාවිතා වන්නේ නැත. හුණුගල් ලබා ගැනීම සඳහා භාවිතා වන එකම ස්ථානය වන්නේ පුත්තලමේ අරුවක්කාරු ගල්වලයි. සිමෙන්ති නිෂ්පාදනයේදී ද කුඩු කරගත් හුණුගල් අනෙකුත් ද්‍රව්‍ය සමග අධික තාපයකට ලක් වෙයි. එහිදී හුණුගල් වියෝජනය වීම නිසා කාබන්ඩයොක්සයිඩ් වායුව නිදහස් වන අතර එනිසාම හරිතාගාර වායු නිපදවන ප්‍රධාන පෙලේ කර්මනතයක් ලෙසට සිමෙන්ති කර්මාන්තය නම් කල හැක.

ගොඩනැගිලි ඉදිකිරීමේදී සිමෙන්ති භාවිතා වන්නේ ජලය සමග මිශ්‍ර කිරීමෙන් සදා ගන්නා බදාම වැනි මිශ්‍රණ ආකාරයෙනි. සිමෙන්ති වල අළුහුණු අඩංගු වන නිසා ජලයත් සමග තාපදායි ප්‍රතික්‍රියාව සිදු වන අතර පසුව මිශ්‍රණය ඝන වීමේදී වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගෙන ශක්තිමත් වේ. මේ සිදු වීම කෙරෙහි ඔබ විමසිලිමත් වුවහොත් ඔබට වැටහේවි මෙයත් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් උරා ගන්නා එක් ආකාරයක් බව. පසු ගිය සතියේ විදුසරෙහි පළවූ එක් ප්‍රවෘතියක සදහන් වුයේ සිමෙන්ති කර්මාන්තයේදී නිපැදවෙන කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් හරි අඩක්ම නැවත මේ හේතුවෙන් උරා ගන්නා බවයි. එය කදිම සොයා ගැනීමක් වූවත් ඉතිරි අඩ වායුගෝලයේ රැඳීම නවතාලන්නට විකල්ප සොයා ගත යුතුය.

“බැසෝල්ට්” යනු ආගනේය පාෂණයකි. මෙය නිර්මාණය වන්නේ බැසෝල්ට් ලාවා මගිනි. මෑත කාලයේ සිදුකරනා ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, මෙම බැසෝල්ට් ලාවා වල ඇති සුවිශේෂී රසායනික සංයුතිය වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගන්නට සමත් බවයි. බැසෝල්ට් ලාවා කාලයක් ගතවෙද්දී ක්‍රමයෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගෙන පාෂාණයක් බවට පත් වේ.  බැසෝල්ට් ලාවා වල ඇත්තේ කුමන ආකාරයේ රසායනික සංයුතියක් දැයි දැන් ඔබට වටහා ගත හැකි වේවි. එමෙන්ම කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගෙන සිදුවන ප්‍රතික්‍රියාව කුමක් දැයි අනුමාන කල හැකි වේ. කෙසේ නමුත් මෙම පර්යේෂණය හරිතාගාර වායු අවශෝෂණය සදහා සුභදායි එකක් වී හැකි බව අපට නිගමනය කල හැකි වූවත් පෘතුවි අභ්‍යන්තරයට කාබන්ඩයොක්සයිඩ් වායුව මුදාහැරිමට නම් උසස් තාක්ෂණයක් අවැසි වේවි.   

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 13 February 2017

විදු පත් ඉරුව
2015  ජුලි 29 බදාදා
පැරැණි ලක්‌වාසීහු භූ සහ ඛනිජ සම්පත් පිළිබඳව බොහෝ දැනුවත් වූවෝ වෙති. එම දැනුම ප්‍රාග් ඓතිහාසික යුගයන් දක්‌වා විහිදෙන බව මෙරටෙහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් පැහැදිලි වෙයි. පසුගිය සතියෙක මා විදුපත් ඉරුවෙහි සඳහන් කළ අලවල පොත්ගුල් ලෙනෙහි සිදු කරන ලද කැණීමෙන් හමු වූ ද්‍රව්‍ය අතර මැග්නටයිට්‌, හෙමටයිට්‌ සහ මිනිරන් ඛනිජ වේ. මැග්නටයිට්‌ සහ හෙමටයිට්‌ යනු යකඩ ඔක්‌සයිඩ වේ. මැග්නටයිට්‌ ඛනිජයට කාන්දම්වලට ආකර්ෂණය වීමේ සුවිශේෂී හැකියාව ඇති අතර, හෙමටයිට්‌ එවැනි ගුණයක්‌ පෙන්වන්නේ නැත. මැග්නටයිට්‌ ප්‍රාථමිකව බිහි වන ඛනිජයක්‌ වන අතර හෙමටයිට්‌ බොහෝ විට බිහි වන්නේ ජීර්ණයේ ප්‍රතිඵලයක්‌ ලෙස ද්විතීයික ව ය. වැස්‌සකට පසු ජලය ගලා ගිය මාර්ගයේ සමහර ස්‌ථානවල කළු පැහැති වැල්ලක්‌ ඔබ දැක ඇති බවට නොඅනුමාන ය. කාන්දම් කැබැල්ලක්‌ ගෙන එම වැල්ලට ආසන්නයේ ඉහළින් රඳවා තැබීමේ දී එයට ආකර්ෂණය වන යම් කළු වැල්ලක්‌ ද වෙයි ද එය මැග්නටයිට්‌වලින් සමන්විත වේ. එහෙත් සමහර කළු පැහැති වැලි එසේ ආකර්ෂණය නො වේ. ඒවා බොහෝ විට මිනිරන් හෝ බයෝටයිට්‌ නම් වූ මයිකා (නැත හොත් තලාතු මිනිරන්) වේ. මේ දෙකෙන් මිනිරන් හඳුනාගැනීම ඉතා පහසු වේ. කළු පැහැය අතෙහි හෝ සුදු පැහැති කඩදාසියක තැවරෙන්නේ නම් ඒ මිනිරන් වේ.

පොත්ගුල් ලෙනෙහි විසූ ආදිවාසීන් විසින් මෙවැනි වර්ණ ඇති කරන ඛනිජ භාවිත කරන ලද්දේ කුමක්‌ සඳහා දැයි විමසා බැලීමේ දී ඒ යම් යම් සංකේත මගින් අදහස්‌ හුවමාරු කරගැනීමට ද, එමෙන් ම ඔවුන් ගේ යාතු කර්මවල දී හිස්‌ කබල් ආදිය පැහැ ගැන්වීමට ද, තම තමන් ගේ ශරීර පැහැගැන්වීමට ද විය හැක. කෙසේ වෙතත් මේ ඛනිජ ගලක ඉලීමෙන් කදිමට පැහැයන් සාදාගත හැකි බව ඔවුන් දැන සිටීම ඇත්තට ම විස්‌මයජනක ය. විශේෂයෙන් ම රතු පැහැය සාදාගැනීමට මැග්නටයිට්‌ හෝ හෙමටයිට්‌, වතුර බිඳක්‌ දමා, ගලෙහි උරච්චි කළ යුතු ය. මේ රතු පැහැයට හේතු වන්නේ එහි රසායනය යකඩ ඔක්‌සයිඩය ලෙස පැවතීමයි. පුරාවිද්‍යාඥයන් "රතු ගුරුගල්" ලෙස හදුන්වන්නේ ද යකඩ ඔක්‌සයිඩය අඩංගු අර්ධ ලෙස ජීර්ණය වූ පාෂාණ කැබැලි ය. එහි බොහෝ විට වැඩි ප්‍රමාණයක්‌ කෙයෝලින් නම් වූ මැට්‌ට පවතී. එනිසා ඉතා පහසුවෙන් තවත් යමක්‌ මත තැවරිය හැකි ය.

ලෝකය බිහි වීමේ දී ද පළමුව මුහුදු පත්ලෙහි අවසාදනය වූ ලෝහ ඛනිජය වන්නේ ද යකඩයි. සාගර සූපයේ මුලින් ම වූ රසායනයන් ගේ එක්‌ සංඝටකයක්‌ වන්නේ "මූලද්‍රව්‍ය යකඩ" ය. ඔක්‌සිජන් රහිත එනම් ඔක්‌සිජනීහෘත තත්ත්ව යටතේ වූ පෘථිවියෙහි මූලික ජීවින් තම ආහාර නිෂ්පාදනය කරගත්තේ රසාසංශ්ලේෂණයෙනි. එහෙත් කලක දී ප්‍රභාසංශ්ලේෂකයන් බිහි වී වායුගෝලයට ඔක්‌සිජන් මුදාහරින්නට විය. එහෙත් මුදා හළ මේ ඔක්‌සිජන් සියල්ල මූලද්‍රව්‍ය යකඩ ඔක්‌සිකරණයට වැය වූ අතර යකඩ ඔක්‌සයිඩ ලෙස මේවා මුහුදු පතුලේ අනෙකුත් අවසාදිතත් සමග තැන්පත් වී රතු පැහැති Ñ"ස්‌ථරමය යකඩ නිධි" සාදන ලදි. සාගරයේ වූ සියලු ම යකඩ ඔක්‌සිකරණය වීමෙන් අනතුරුව වායුගෝලයට ඔක්‌සිජන් එක්‌ වන්නට විය. එය පෘථිවියෙහි සිදු වූ මහා වෙනසක මූලාරම්භය විය. තැන්පත් වූ යකඩ ඔක්‌සයිඩ සහිත අවසාදිත පසු කාලීනව විපරීතකරණයෙන් යකඩ අඩංගු ඛනිජ සහිත පාෂාණ බවට පත් වූ අතර සමහර මහාද්වීපවල අද ද එම පාෂාණ දැකිය හැකි වේ. ශ්‍රී ලාංකේය භුමි භාගය ද සමන්විත වන්නේ ප්‍රොaටෙරෝසොයික්‌ යුගයේ ඇති වූ ලොව පැරැණි ම පාෂාණ තට්‌ටුවකින් බැවින් සමහර විටෙක එලෙස ඇති වූ යකඩ ඛනිජ සහිත පාෂාණ හමු වීමේ සම්භාවිතාවක්‌ නැත්තේ නො වේ. මේ සඳහා වූ පර්යේෂණ කෙරෙහි යොමු වීමට භූ විද්‍යාඥයන් හට තවමත් අවකාශය පවතී.

ඉහත සඳහන් කළ යකඩ අඩංගු ඛනිජ දෙකට අමතරව යකඩ අඩංගු තවත් ඛනිජ සමූහයක්‌ ලංකාවේ පාෂාණවල පවතී. එහෙත් මේ ඛනිජ දෙකෙහි යකඩ ප්‍රතිශතය ඉතා වැඩි ය. අනෙකුත් ඛනිජවල යකඩ පවතින්නේ සාපේක්‌ෂව සුළු වශයෙනි. එහෙත් මේ ඛනිජ ජීර්ණයේ දී ද්‍රdව්‍ය කැටායන දිය වී ඉවත් වන අතර, යකඩ වැනි කැටායන ඔක්‌සිකරණය වී ඉතිරි වේ. එය ක්‍රමයෙන් ද්විතීයික යකඩ නිධි නිර්මාණය සදහා හේතු වේ. වර්ෂා ජලයෙන් සේදී යන යකඩ ඔක්‌සයිඩ කුඩා වැලි අංශු වල රැඳී ගෝලාකාරව අවසාදනය වන අතර මෙමගින් හෙමටයිට්‌ බොරැල්ල නිර්මාණය කරයි. මේ නිසා අප රටෙහි වැඩිපුර ම දක්‌නට ලැබෙන යකඩ අඩංගු ඛනිජය වන්නේ හෙමටයිට්‌ ඛනිජයයි. මෙයට අමතරව ජලයේ ද්‍රdව්‍ය යකඩ ඛනිජය වන්නේ ගොතයිට්‌ ය. වර්ෂාපතනය අධිකව මෙන්ම සූර්යතාපය අධිකව ද ලැබෙන මෙරට තෙත් කලාපයේ හෙමටයිට්‌ සහ ගොතයිට්‌ සහිත නිධි සකස්‌ වන අතර ඒවා ලැටරයිට්‌ නැත හොත් කබොක්‌ ලෙස හැඳින්වේ. කබොක්‌ ඉතා සුසිනිදු වන අතර ඉතා පහසුවෙන් කුට්‌ටි කරගැනීමේ හැකියාව ලැබී ඇත. එනිසා ම තෙත් කලාපයේ එක කලක දී ගෙවල් තැනීම සඳහා බහුලව භාවිත කර ඇත.

ශ්‍රී ලංකාව ඉපැරැණි යකඩ තාක්‌ෂණය සදහා ලෝකයේ නම් දැරූ රටෙකි. පුරාවිද්‍යා පර්යේෂණ තුළින් ද මේ බව කදිමට ඔප්පු වී ඇත. එසේ නම් යකඩ නිස්‌සාරණය සඳහා යොදාගන්නට ඇත්තේ කවර නම් ඛනිජයක්‌ දැයි ඔබට සිතිය හැකි ද? දැනට හමු වී ඇති සහ විස්‌තර කර ඇති පර්යේෂණවලින් පැහැදිලි වන්නේ ඉතා බහුලව රටෙහි සැම ප්‍රදේශයක ම යකඩ නිස්‌සාරණය කර ඇති බවයි. මැග්නටයිට්‌ ඛනිජය රටෙහි සැම තැනක ම හමු වුවත් යකඩ නිස්‌සාරණය සදහා ලබාගත හැකි ලෙස නිධිගත වී නොමැති බව භූ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී තිබේ. එනිසා අප ගේ ඊළඟ අවධානය යොමු වන්නේ හෙමටයිට්‌වලට ය. මෙරට යකඩ නිස්‌සාරණ තාක්‌ෂණයේ වතගොත ද පිරික්‌සීමෙන් පෙනී යන්නේ හෙමටයිට්‌ සහිත නිධි යපස්‌ ලෙස යොදාගෙන ඇති බවයි. ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම ද, රටෙහි සැම තැනක ම පැතිරී පැවතීම ද යන කරුණු සැලකිල්ලට ගෙන මෙරටෙහි ඉපැරැණි මිනිසුන් හෙමටයිට අතහැර මැග්නටයිට්‌ වෙත යොමු නො වනු ඇති බවයි මගේ හැඟීම.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday, 12 February 2017

විදු පත් ඉරුව

2015  අගෝස්‌තු 05 බදාදා

මේ ගත වන්නේ කිතු උපතින් 2015 වැනි වසරයි. ලෝකයේ ශිෂ්ටාචාර සහ සංස්‌කෘතීන් බිහි වන්නේ වසර බොහෝ කලකට පෙර ය. පෙර කල බිහි වූ සමහර ශිෂ්ටාචාර අද වන විට වඳ වී ගොසිනි. මේ අතර අලුතෙන් ඒවා බිහි විය. මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාර කලක දී ලොව ප්‍රමුඛ ඒවා විය. එහි උපරිමයට පත් වන මේ සංස්‌කෘතීන් පසුව ක්‍රමයෙන් හෝ එක්‌ වර ම විවිධ හේතුන් නිසා පසුබසියි. ප්‍රමුඛ ශිෂ්ටාචාර යම් යම් කාලවල දී ලොව විවිධ ප්‍රදේශවල පැතිර යයි. එහි පැවැත්මට ද පැතිර යැමට ද ස්‌වාභාවික පාරිසරික සහ කාලගුණික සාධක ඉතා ප්‍රබලව බලපායි. මේ සුවිශේෂී කාලගුණික හෝ පාරිසරික සාධක සහිත ප්‍රදේශවලින් බිහි වන්නේ සුවිශේෂී වූ සංස්‌කෘතියක්‌ සහිත ශිෂ්ටාචාරයකි. මූලික අවශ්‍යතා පොදු වුවත් විවීධ ශිෂ්ටාචාරඒවා සපුරාගැනීමේ ක්‍රමවේදය විවිධ වේ. එනිසා ම මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාරයන්හි සංස්‌කෘතිකාංග ද ඉතා පුළුල් ලෙස විවිධාංගිකරණය වේ.

බොහෝ ශිෂ්ටාචාර ස්‌වභාවික පරිසරයට බද්දව පැවති අතර එනිසා ම පාරිසරික වෙනස්‌කම් මත ක්‍රමයෙන් ප්‍රගමනය විය. වෙනස්‌කම් දරාගත නොහැකි වූ කල ශිෂ්ටාචාර බිඳ වැටන අතර ඒවා වඳ වීම ද වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී බලපෑමෙන් මිදුණු අවස්‌ථා ද ඇත. කෙසේ වෙතත් වත්මනෙහි තරම් පැරැන්නන් පරිසරයට බලපෑමක්‌ නො කරන්නට ඇති බව අප ගේ විස්‌වාසයයි. පරිසරය ඉක්‌මවා යමින් අද ලොව සිදු කරන ක්‍රියා අපට ම පාරා වළල්ලක්‌ වී පැමිණ ඇති බව අප කවුරුත් හොඳින් ම දන්නා කරුණකි.

දිගු කල් පවතින හෝ පැවති ශිෂ්ටාචාර සතු ව අති විශාල දැනුම් සම්භාරයක්‌ එක්‌ රැස්‌ වී ඇත. කාලාන්තරයක්‌ තිස්‌සේ බොහෝ අත්දැකීම් මත ස්‌ථාපිත වූ ඒ දැනුම ඉතා කදිමට පාරිසරික සාධක හා මුසු ඒවා වේ. එනිසා ම පාරිසරික සංරක්‌ෂණය නිතැතින් ම සැලසිණි. කෙටි කාලීනව ලොව ප්‍රමුඛ වූ ශිෂ්ටාචාර අඩු දැනුම් පද්ධතියක්‌ මූලාශ්‍ර කරගැනීම ඉතා දරුණු ලෙස පරිසරයට වින කිරීමට හේතු වන බව වත්මනෙහි අප ගේ ඇස ඉදිරිපිට ම සත්‍ය වී ඇත. ශ්‍රී ලංකාවාසීන් ලෙස අප නිරන්තරයෙන් ම ආඩම්බර වන්නේ වසර 2500කට වඩා එපිටට දිවෙන බොහෝ අපූරු ශිෂ්ටාචාරයක්‌ අත්පත් කරගැනීම හේතුවෙනි. එමගින් මතු වී ඇත්තා වූ පැරැණි සංස්‌කෘතිය කෙතරම් පාරිසරික සංරක්‌ෂණය කෙරෙහි නැඹුරු වී ඇත්තේ ද යත් පැරැණි නිර්මිත පරිසරය ද ස්‌වාභාවික පරිසරයේ ම කොටසක්‌ ව ඇති බව බොහෝ තැන්හි දී පැහැදිලි වේ. පාරිසරික හානිය අවමයේ පවත්වාගැනීම, අවශ්‍යතාව මත පැවැත්ම තහවුරු කිරීම, පශ්චාත් පාරිසරික සංවර්ධනය, අපතේ නො යැම හා තිරසාර බව වැනි බොහෝ වැදගත් කරුණු කාරණා පැරැන්නන් ගේ යහපාලන ක්‍රියා තුළ පැවැති බව මෙරට අතීතය දෙස ආපසු හැරී බැලීමේ දී ප්‍රත්‍යක්‌ෂ වේ.

වර්තමානය වන විට ලෝකයේ පරිසර සමතුලිත බව ඉතා දරුණු ලෙස බිඳ වැටෙමින් පවතී. එමගින් පැවසෙන්නේ කුමක්‌ ද? ලොව සැම ශිෂ්ටාචාරයකට ම මෙය බලපාන බව නො වේ ද? කඩා හැලෙනා පැරැණි ගොඩනැගිල්ලකට මුක්‌කු ගසා නවතාලන්නට උත්සාහ කරන්නා සේ, නා නා විධ සංවර්ධන කටයුතු නිසා සිදු වන පාරිසරික බලපෑම් තක්‌සේරුව උදෙසා වත්මනෙහි හඳුන්වා දී ඇති "පාරිසරික බලපෑම් තක්‌සේරුව" කෙතරම් දුරකට ප්‍රායෝගික ද යන්න ගැටලුසහගත ය. එක්‌ එක්‌ ව්‍යාපෘති උදෙසා අප රටෙහි විවිධ කෝණවලින් විවිධ පාලන තන්ත්‍ර යටතේ නිරීක්‌ෂණය කළ අයුරු අපට අමතක නො වේ. දේශපාලනික වශයෙන් ද ඉතා දරුණු ලෙස "පාරිසරික බලපෑම් තක්‌සේරුව" බලපෑමට ලක්‌ වන බව ඉන් පැහැදිලි වේ. භූ විද්‍යාත්මකව ද, ජීව විද්‍යාත්මකව ද, රසායනිකව ද යනාදී වශයෙන් පරිසරයේ එක්‌ එක්‌ අංගවලට ව්‍යාපෘතියේ එක්‌ එක්‌ සංවර්ධන ක්‍රියා නිසා සිදු වන බලපෑම මෙහි දී තක්‌සේරු වන අතර ව්‍යාපෘතිය ස්‌ථාපිත වීමෙන් සිදු විය හැකි අනාගත බලපෑම් ද මෙහි දී කිසියම් ප්‍රමාණයකට පුරෝකථනය වේ.

පාරිසරික බලපෑම් තක්‌සේරුව හඳුන්වා දෙන්නේ යම් ව්‍යාපෘතියකින් සිදු වන හානිය තක්‌සේරු කර එම හානි අවම කිරීමට අවශ්‍ය පියවරයන් ගැනීම සදහා පමණක්‌ ම නො වේ. බලපෑම් තක්‌සේරුවෙන් කිසියම් ආකාරයකට පරිසරයට සිදු වන්නා වූ බලපෑම සැලකිය යුතු මට්‌ටමක වේ යයි තහවුරු වන්නේ නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සපුරා නවතා දැමීමට හැකි ය. ඒ කෙසේ වෙතත් රටක සංවර්ධනය නවතාලිය නොහැකි බව පැවසෙයි. එනයින් බලන කල පාරිසරික සංරක්‌ෂණය මූලික අරමුණ නො වන අතර දෙවැනි තැනට වැටී ඇත. කෙසේ වෙතත් වත්මනෙහි සැකසී ඇති නීති පද්ධතිය කිසියම් දුරකට හෝ පාරිසරික ආරක්‌ෂණයට ආවරණයක්‌ සැපයීම සතුටු විය හැකි තත්ත්වයකි.

කඩිනම් මහවැලි ව්යාපාරය අප රටෙහි අසූව දශකයේ සිදු වූ විශාලතම සංවර්ධන ව්‍යාපාරයයි. එය අප දකින්නේ නිසි කළමනාකරණයකින් තොර ව සිදු වූ දැවැන්ත ම පාරිසරික විනාශයක්‌ ලෙසිනි. "පාරිසරික බලපෑම් අධ්‍යයනයන්" කරලියට නො ආ එකල්හි කිසිදු අවහිරයකින් තොර ව ස්‌වාභාවික පරිසරය හිතූ මනාපයේ පරිහරණය කළ හැකි විය. එනිසා ම බොහෝ පාරිසරික ව්‍යසනයන් සහ සහ ඒවායේ ප්‍රතිපල භුක්‌ති විඳීමට අසරණ ජනයා ප්‍රමුඛ සමස්‌ත පරිසරයට අද සිදු වී ඇත. පසුගිය දිනෙක මහවැලි ජලපෝෂක ප්‍රදේශවල සංචාරය කිරීමට මා ලද අවස්‌ථාවෙන් පසක්‌ වූයේ එම ජල පෝෂක ප්‍රදේශ නිසි කළමනාකරණයකට නතු වී නැති බවයි. සංරක්‌ෂණය කළ යුතු මේ ප්‍රදේශ නොවිධිමත් වගා කටයුතු සඳහා ඉතා දරුණු ලෙස භාවිත වන බව ද, එනිසා ම පස සෝදාපාලුව ඉහළ අගයකින් සිදු වන බව ද මනාව පැහැදිලි වේ. මෙනිසා ම තැනූ ජලාශවල ධාරිතාව ක්‍රමයෙන් අඩු වන බව තේරුම්ගැනීම උදෙසා වෙනත් සාධක අවශ්‍ය නො වේ. එපමණක්‌ නො ව මේ ව්‍යාපෘතිය හරහා හෝ වෙනත් මාර්ගයකින් හෝ පැමිණි ආක්‍රමණික ශාක මහවැලියේ සමහර පෝෂක ප්‍රදේශවල වූ ස්‌වාභාවික වන වැස්‌ම සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. එනිසා ම දේශීය ශාක ද එහි වෙසෙන සතුන් ද තර්ජනයට ලක්‌ වී ඇති බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ. එනයින් බලන කල මහවැලියෙන් ජලය සපයන ප්‍රදේශවල ද මෙතෙක්‌ සැලකිය යුතු ලෙස පාරිසරික වෙනස්‌කම් සිදු විය යුතු ය. ලැබෙන හා මෙතෙක්‌ ලද ප්‍රතිලාභ, කළ වියදම හා සැසඳීමේ දී මේ ව්‍යාපෘතිය කෙතරම් සාර්ථක ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් මහවැලිය ව්‍යාපාරය පිළිබඳව පශ්චාත් සංවර්ධන පාරිසරික වාර්තාවක්‌ හෝ සැකසීම සුදුසු බව අප ගේ හැඟීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 8 February 2017


විදුපත් ඉරුව

2017 පෙබරවාරි 08 බදාදා

විද්‍යාඥයින් විසින් සිදුකරනා විද්‍යා සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුවම විචිත්‍රවත් කරයි. පසුගිය ජනේරුවේ අගබාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක් නිසා විද්‍යා ලෝකය මේ වනවිටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් පවතී. “ලෝහමය හයිඩ්‍රජන්” යනු මෙතුවක් කල් විද්‍යාඥයින් අතර සිහීනයක් වැ තිබු උපකල්පිත පදාර්තමය අවස්තාවක් වේ. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස් යන දෙපල විසින් විද්‍යා පත්‍රිකාවක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිලිබඳ පර්යේෂණ කරනා මෙන්ම නිරන්තර අවදියෙන් සිටිනා බොහෝ විද්වතුන්ගේ අවධානයට ලක් වූ මෙම පත්‍රිකාව විද්‍යාත්මක පත්‍රිකාවක තිබිය යුතු සමහර ගුණාංග නොතිබූ නිසා තරමක් විවෙචනයට ලක් වුවද බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබේ.

අප දන්නා පරිදි හයිඩ්‍රජන් ආවර්තිතාවේ පළමු මූලද්‍රව්‍ය වේ. සොබාවික පරිසරයේ දී වායුවක් ලෙස හැසිරෙන මෙම මුලද්‍රව්‍යය  ද්‍රවයක් කිරීමට නම් අධික සිතලකට ලක් කල යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියක් අංශක -259.16 පමණ වෙයි. ඝනයක් බවට පත් කරන්නට අවැසි නම් තව තව සිසිල් කල යුතුවා මෙන්ම අධික පීඩනයකට ද ලක් කල යුතු වෙනවා. හාවර්ඩ් සරසවියේ විද්වතුන් දෙපල හයිඩ්‍රජන් වායුව ලෝහමය තත්වයට පත් කිරීම සදහා ලබා දුන් පීඩනය ගිගා පැස්කල් 495ක් පමණ වන අතර එය පෘථිවි මධ්‍යයේ පවතින්නාවූ පිඩනයටත් වඩා අධික බව පෙනී යයි. අවර්ණ හයිඩ්‍රජන් වායුව ක්‍රමයෙන් අධික පිඩනයට ලක් කරන විට මුලින්ම කළු පැහැති ඝනයක් බවට පත්වන බවත් එය අර්ධ සන්නායක ගුණ පෙන්වන බවත් තව දුරටත් පීඩනය වැඩිකළ විට ලෝහමය හයිඩ්‍රජන් නිපද වෙන බවත් පෙන්වා දී තිබේ. එලෙස නිපද වූ හයිඩ්‍රජන් වල ලෝහමය අවස්තාව නිසැකවම නිශ්චය කර ගැනීම සදහා ඉදිරියේදී ඉලිනොයිස් සරසවිය වෙත ගෙන ගොස්  X කිරණ පර්යේෂණ වලට ලක් කිරීමට අදහස් කරන බවයි ඔවුන් දෙපල පවසන්නේ.   

මෙලෙස නිපදවන ලෝහමය හයිඩ්‍රජන් වල අනගත පැවැත්ම කෙබඳු වේද යන්න විද්‍යාඥයින් කතා බහට ලක් කල කරුණකි. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ වරක් අධික පිඩනයට ලක් කර ලෝහමය හයිඩ්‍රජන් නිපද වූ විට ලබා දුන් පිඩනය සහ උෂ්ණත්වය ඉවත් කල පසුද ලෝහමය ස්වභාවයෙන්ම පවතින බවයි. මෙවැනි ද්‍රව්‍යයන් “විරූපණ ස්ථායි” (Meta Stable) ද්‍රව්‍යයන් ලෙස හැඳින්වේ. ඒ ඔබ අප දන්නා පෘතුවි මධ්‍යයේදී අධික පීඩනයකට ලක්ව උත්පාදනය වන දියමන්ති සහ මිනිරන් පෘථිවි මතුපිට පවතිනා වැනිය. ලෝහමය හයිඩ්‍රජන් නිපද වීමට හැකි නම් ඉතා විශිෂ්ට වෙනසකට ලෝකය පත් විය හැකි බවයි විද්‍යාඥයින්ගේ අදහස වන්නේ.

අද ලෝකයේ විද්‍යුතය ගමන් කරවීම සඳහා යොදා ගන්නේ ලෝහ බව මා ඔබට අමුතුවෙන් විස්තර කල යුතු වන්නේ නැහැ. විශේෂඥයින් පවසන පරිදි විද්‍යුතය සන්නයනය කිරීමේදී අවමය 15% වත් විද්‍යුතය අපතේ යන බවයි පැවසන්නේ. සොබවිකව පවතින ලෝහ අතුරින් රිදී සහ තඹ ඉතා හොඳ සන්නායකතාවයක් පෙන්නූවද එම ද්‍රවය වලද කිසියම් ප්‍රතිරෝධයක් ඇති නිසා මෙම තත්වය උද්ගතවන බව පැවසේ. නමුත් ලෝහමය හයිඩ්‍රජන් භාවිතා කල හැකි නම් 100% විද්‍යුතය සන්නයනය කල හැකි බවයි විද්‍යාඥයින්ගේ අදහස් වන්නේ. ඔවුන් පවසන පරිදි හයිඩ්‍රජන් ලෝහය විද්‍යුත් සන්නයනයට කිසිදු ප්‍රතිරෝධයක් නොපෙන්වන සුපරි සන්නායක සතු ගුණ පෙන්වන බවයි. ලෝහමය හයිඩ්‍රජන් වල තවත් එක් අපූරු යොදාගැනීමක් ලෙසට යෝජනා කරන්නේ එය අභ්‍යවකාශ යානා ඉන්ධන ලෙස යොදා ගැනීමයි. එමගින් ඉතා හොඳ ශක්තියක් සහ දුෂණය අවම වන ප්‍රතිඵලයන් අත්කර දෙන බවයි විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. හයිඩ්‍රජන් ලෝහය ඉන්ධනයක් ලෙස යොදාගැනීමේ තවත් වාසියක් ලෙස ඔවුන් දකින්නේ වෙනදා යොදා ගන්නා ද්‍රව හයිඩ්‍රජන් වල ප්‍රමාණයට වඩා අඩු ලෝහමය හයිඩ්‍රජන් ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කර වැඩි දුරක් යාමට හැකි වීමයි. කෙසේවෙතත් ලෝහමය ඉන්ධන මහා පරිමාණයෙන් නිපදවීමට හැකි වන්නේ නම් තවත් නොයෙකුත් යෙදීම් සදහා ඉඩ ප්‍රස්ථා මතු වනු ඇත.

ලෝහමය හයිඩ්‍රජන් පිලිබඳ අදහස මුලින්ම ලොවට ඉදිරිපත් කරන ලද්දේ විග්නර් සහ හනින්ටන් නමැති විද්‍යාඥයින් දෙදෙනා විසින් 1935 දිය. ඔවුන් පැවසුවේ ගිගා පැස්කල් 25 දී පමණ ලෝහමය තත්වයට පත් කල හැකි බවයි. එදා සිට අද දක්වාම නොයෙකුත් පීඩන තත්ත්ව වල මෙම පර්යේෂණය සිදු කර ඇති අතර එමගින් විග්නර් සහ හනින්ටන් උපකල්පනය කල පිඩනයට වඩා ඉතා අධික පීඩනයක් අවැසි බව පැහැදිළි වී ඇත.   

මතබේදාත්මක කරුණ කාරණා ඉස්මතු වුවද ඉතා අගය කල යුතුවාක් මෙන්ම ලෝකය පියවර ගණනාවකින් ඉදිරියට ගෙන යන පර්යේෂණයක් ලෙස මෙය හැඳින් විය යුතුය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපටද වඩා සතුටු දායක පුවතක් වන්නේ මෙම පර්යේෂණයේ සම අයිතිකරුවෙකු වී ඇත්තේ ද ශ්‍රී ලාංකිකයෙකු බැවිනි. කාලීනව ඉතා අපූරු පර්යේෂණ අවස්තාවක් ලැබීමට ආචාර්ය රංග ඩයස් මහතා වාසනාවන්ත වී ඇති බව අප පිළිගත යුතුය. මන්ද යත් මෙරට දී මෙවැනි පර්යේෂණයක් සිදු කිරීම සදහා අවශ්‍යවන පසුබිම තවමත් නිර්මාණය වී නොමැති බැවිනි.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 7 February 2017

විදු පත් ඉරුව

2015  අගෝස්‌තු 12 බදාදා

ඔන්න ග්‍රීෂ්ම නිවාඩුවත් ඇවිල්ලා. දැන් ඉතිං දරුවන් ගේ ඉහේ මල් පිපිලා ඇති, ඇතිපදම සෙල්ලම් කරන්න කාලේ ආවා කියලා. වියළි කාලගුණය දූවිලි අවුසන්නේ බොහොම සැරට. වියළි හුළඟත් එක්‌ක පැතිරෙන දූවිල්ල ගහකොළ වසා දමන්නේ සැණෙකින්. වියළි හුළඟ දූවිලි විතරක්‌ නො වෙයි, අහසට නංවන්නේ. "සිලිසිලි බෑග්" කියලා අප හඳුන්වන පොලිතීන් මලු පරිසරයේ නිදහසේ පා වන අයුරු වර්තමානයේ සුලබ දසුනක්‌. ඉස්‌සර නං එහෙම නැහැ නේ. සුපිරි වෙළෙඳසල් නිසා සිලිමලු පාවිච්චිය වැඩි වෙලා ද කියලා හිතෙනවා. අනවශ්‍ය අවස්‌ථාවල දී පවා පොලිතින් මලු භාවිතයට මහජනතාව පෙලඹිලා. අපි පොඩ්ඩක්‌ හිතලා බැලුවොත් පාවිච්චි කරන "එක පොලිතින් මල්ලක්‌" දෙපාරක්‌ භාවිත කළොත් පොලිතින් භාවිතය සැලකිය යුතු මට්‌ටමකින් අඩු කළ හැකියි. ඒ වුණාට බොහෝ දෙනෙක්‌ ගෙදර ගෙනෙන පොලිතීන් මලු බොහොමයක්‌ වෙලාවට කුණු බක්‌කියට දාන එක තමයි කරන්නේ. එහෙම නො කර මලු එකතු කරගැනීමෙන් නැවත භාවිතයට ගන්න පුළුවන්. කඩේට යන අවස්‌ථාවල දී මෙලෙස එකතු කරගත් මලු කිහිපයක්‌ අරන් යනවා නම් අලුත් පොලිතින් මලු හින්දා පරිසරයට එකතු වන ප්‍රමාණය අඩු කරන්න ඔයාලටත් දායක වෙන්න පුළුවන්. ඒ වාගේ ම අපට පුළුවන් වෙනත් විකල්පවලට යන්න. කඩදාසි කවර එක උදාහරණයක්‌. ඒ වාගේ ම කඩේ යනකොට වේවැල් කූඩයක්‌ වැනි විශාල බෑගයක්‌ අරන් යන්න පුළුවන්. එතකොට පොඩි පොඩි පොලිතින් කවර ගණනාවක්‌ ගෙදර ගේන එක නවත්තන්න පුළුවන් නේ.

පොලිතින් මලු භාවිතයෙන් සිදු වන පරිසර හානිය අඩු කරගන්න කියලා මෙරටෙහි පරිපාලනය තුනී පොලිතින් මලු භාවිතයෙන් ඉවත් කරලා, ඒ වෙනුවට ඝනකමින් වැඩි පොලිතින් මලු භාවිතය හඳුන්වා දුන්නා කියලා ඔබට මතක ඇති. ඒත් ඇත්තට ම නිසැක ලෙස ම එයින් අප බලාපොරොත්තු වූ "වාසිය" සැලසුණා ද කියා ඔබට සිතා බැලිය හැකියි. හොඳින් සලකා බැලුව හොත් අපට පෙනී යන්නේ පෙරටත් වඩා වැඩි පොලිතින් ප්‍රමාණයක්‌ පරිසරයට එකතු වන්නට ඉඩ සැලසී ඇති බවයි. අවසානයේ දී "වාසිය" තවත් හානියක්‌ වී ඇත්තේ එමගින් ඇති වන ගැටලු පුරෝකථනය නො කර ම තීරණවලට එළඹී ඇති නිසයි.

පරිසරයට එකවර ම දිරවාගත නොහැකි මෙය, ව්‍යසනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙම වුණත් මේ කෘත්‍රිම ද්‍රව්‍ය නිපදවන්නේ අප හොඳින් ම දන්නා ස්‌වාභාවික රසායන ද්‍රව්‍යයකින් කියලා ඔබ හැමෝ ම දන්නවා ඇති නේ. බොර තෙල්වල අතුරුඵලයක්‌ ලෙස බිහි වන එතිලින් නම් වූ වායුව බහු අවයවීකරණයෙන් තමයි පොලිතින් නිෂ්පාදනය වෙන්නේ. එතිලින් යනු කාබනික සංයෝගයක්‌. බොරතෙල් ද කාබනික සංයෝග මිශ්‍රණයක්‌. දිගු කාලයක්‌ තිස්‌සේ පොළොව අභ්‍යන්තරයේ අධික තාපයට සහ පීඩනයට නතුව මේ බොරතෙල් බිහි වන්නේ සාගරයේ තැන්පත් වූ මඩ/අවසාදිත ස්‌ථර අතර සිර වුණ කාබනික ද්‍රව්‍යවලින්. මේ කාබනික ද්‍රව්‍ය අවසාදිත අතර තැන්පත් වන්නට හේතු වන්නේ සාගරයේ ජීවත් වන ජීවින් ගේ මළකුණු සාගර පත්ලට ගොඩගැසීමයි. සාගරයේ ජීවත් වන මත්ස්‍යයන් වැනි විශාල ජීවින් ද ඩයටම වැනි කුඩා ප්‍රභාසංශ්ලේෂී ක්‌ෂුද්‍රජීවීන් ද මේ තැන්පතු ගොඩනැගීම සඳහා දායක වනවා. ගංගාවල් සාගරයට අතහරිනා අවසාදිතවල සියුම් අංශු තැන්පත් වන්නේ ගැඹුරු සාගර පත්ලේ වන අතර ඒවා අතර ක්‍රමයෙන් සාගර සත්ත්ව සහ ශාක මළකුණු ගොඩගැසෙනවා. සියුම් මඩ අතර සැඟව යන මේ අමු කාබනික ද්‍රව්‍යයන් ක්‍රමයෙන් ගොඩගැසෙන අවසාදිත තට්‌ටු හේතුවෙන් ඇති වන ක්‍රමික උෂ්ණත්ව සහ පීඩන වැඩි වීමට ඔරොත්තු දෙන්නට එහි වූ මුල් රසායනිකයෙන් වෙනස්‌ ව වෙනත් සංයෝග බිහි කරනවා. මේ හේතුවෙන් කාබනික වායූන් ද බොර තෙල් ද නිෂ්පාදනය වනවා. බොහෝ විට ප්‍රභව නිධියේ මෙලෙස සෑදෙන බොරතෙල් එතනින් ඉවත් ව අධික සවිවරතාවකින් යුක්‌ත වැලිගල් වැනි පාෂාණ තුළ එක්‌රැස්‌ වනවා. බොරතෙල් නිධි බිහි වීමට හේතු වන්නේ එයයි. මේ සඳහා වසර දහස්‌ ගණනක සිට වසර මිලියන ගණනක්‌ ගත වනවා. එසේ තැන්පත් වූ බොරතෙල් ශක්‌ති අවශ්‍යතාව සදහා භාවිත කරන්නට අප පෙලඹී ඇත්තේ මෙමඟින් ඇති වන ගැටලු පුරෝකථනය නො කරමයි.

පොළොවෙන් එසේ ලබාගන්නා තවත් ශක්‌ති ප්‍රභවයක්‌ වන්නේ ගල් අඟුරු. ගල් අඟුරු බිහි වීමට හේතු වන්නේ ද අවසාදිත අතර තැන්පත් වූ කාබනික ද්‍රව්‍ය වුවත් මෙහි දී මූලික වන්නේ සාගරයේ තැන්පත් වන කාබනික ද්‍රව්‍ය නො වේ. ගොඩබිමෙහි වූ මඩවගුරු, කලපු වැනි නිරන්තරයෙන් ම අවසාදිත තැන්පත් වන පරිසරවල ඇති වනාන්තරවල පත්‍ර පතනයෙන් ද දිරා ගිය ගස්‌ නිසා ද මඩ අතර සිර වන කාබනික ද්‍රව්‍ය අධික උෂ්ණත්ව සහ පීඩනවලට නතු වීමෙන් ද ගල් අඟරු බිහි වනවා. ගල් අඟුරුවල බහුලව ඇත්තේ අප හොඳින් දන්නා කාබන් නම් මූලද්‍රව්‍යයයි. එහෙත් බොරතෙල්වල කාබන්වලට අමතරව ඔක්‌සිජන් සහ හයිඩ්රජන් යන මූලද්‍රව්‍ය ද අඩංගු වනවා. ප්‍රභාසංශ්ලේෂණයෙන් ශාකවල තිර වන හිරු ගේ ශක්‌තිය මෙලෙස ගල් අඟුරු ලෙස ද බොර තෙල් ලෙස ද වන්නා වූ ශක්‌ති ප්‍රභවයන් භූ අභ්‍යන්තරයෙන් උකහාගත හැකි වී තිබෙනවා. බිහි වීමට වසර මිලියන ගණනක්‌ ගත වන නමුත් අප ඉතා කෙටි කාලයක දී සිදු කළ අධික පරිභෝජනය නිසා වර්තමානයේ මේ ශක්‌ති ප්‍රභවය හිඟතාවකට පත් වී තිබෙනවා. එමෙන් ම තවමත් නිසි විකල්ප බිහි වී නොමැති වීම අනාගත විශාල ශක්‌ති අර්බුදයක්‌ ඇති විය හැකි බවට අනතුරු අඟවනවා.

ගල් අඟුරු බිහි වීමට ප්‍රථම "පීට්‌" නම් වූ අතරමැදි කාබනික ද්‍රව්‍යයක්‌ බිහි වන අතර එය ද ශක්‌ති අවශ්‍යතාව සදහා භාවිත කළ හැකියි. එහෙත් ගල් අඟුරුවල තරම් ම කාබන් ප්‍රතිශතයක්‌ මේ පීට්‌වල අඩංගු වන්නේ නැහැ. අප රටෙහි ද ස්‌වාභාවික "පීට්‌" නිධියක්‌ පවතිනවා. ඒ මුතුරාජවෙල ප්‍රදේශයේයි. වසර 5000-6000කට පෙර මේ ප්‍රදේශය තෙත් කලාපීය කැළෑවකින් යුක්‌ත වුණා. මුහුදට ආසන්නයේ වූ මේ කැළෑව පසුව ක්‍රමයෙන් සිදු වූ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් මඩ වගුරක්‌ බවට පත් වූ අතර එහි තැන්පත් වූ පැරැණි ගස්‌, අතු සහ කොළ හේතුවෙන් මේ "පීට්‌" නිධිය නිර්මාණය වී තිබෙනවා.

අප රටෙහි අසන්න මුහුදෙහි තෙල් නිධි ගවේෂණය සිදු වෙමින් පවතිනවා. එක්‌තරා ආකාරයකට එය සතුටට කරුණක්‌ වන මුත් පාරිසරික වශයෙන් නම් එතරම් හොඳ දෙයක්‌ නො වේ. කෙසේ වෙතත් මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීමෙන් අපට පෙනී යන කරුණ වන්නේ සුනිත්‍ය බල ශක්‌ති ප්‍රභවයක අවශ්‍යතාවයි. එසේ නම් ඒ සදහා එක ම විසදුම වන්නේ සූර්ය ශක්‌තියයි. කළ යුත්තේ පහසුවෙන් හිරු ගේ ශක්‌තිය විදයුතය බවට පත් කරගත හැකි ක්‍රමවේදයක්‌ සොයාගැනීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 6 February 2017

විදු පත් ඉරුව
2015  අගෝස්‌තු 19 බදාදා

අතීතයේ අපේ ආහාර ඉහළ විවිධත්වයකින් යුක්‌ත වූ බව නොරහසක්‌. විවිධ එළවළු වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග පමණක්‌ නො වෙයි විවිධ මස්‌ වර්ග සහ මාළු වර්ග ද ඒ අතර විය. එපමණක්‌ නො ව, එදා විවිධ හතු වර්ග ද අහාරයට එක්‌ කරගත් බව ෂ\හන් කළ යුතු ව තිබේ. බිම් මල්, කඳන් හතු හා ලේන පලා ඒ අතර ප්‍රමුඛ හතු වර්ග වේ. ගොයම් කපා පාගා ඉවත දමන පිදුරු කමතේ පැත්තක ගොඩා ගසා තබන අතර කාලයත් සමග ක්‍රමයෙන් මේවා දිරාපත් වේ. වර්ෂා කාලයේ දී පිදුරු ගොන්නේ පිපෙන පිදුරු බිම්මල් නෙළා රසවත් ආහාරයක්‌ අපේ පැරැන්නෝ සකස්‌ කර ගත් හ. පැරැණි ගම්වල මෙලෙස තවමත් මේ රසවත් ආහාරය පිළියෙල කරන බව වාර්තා වේ.

බිම්මල් නැත හොත් හතු ප්‍රොටීන බහුල ආහාරයකි. මේවා වර්තමානයේ විශේෂයෙන් ම එලවළු පමණක්‌ අහාරයට ගන්නා අය අතර බොහෝ ජනප්‍රිය ආහාරයක්‌ වේ. දැනට ගෙවත්තේ කළ හැකි වගාවක්‌ ලෙස හඳුනාගෙන ඇති මේ බිම්මල් වගාව බොහෝ ස්‌ථානවල සිදු කරන නමුත් ඉල්ලුමේ හැටියට සපයාගත නොහැකි බව පෙනෙන්නට ඇත. වගාව සඳහා නව ප්‍රභේද සොයාගෙන තිබෙන මුත්, ඉහත ස`දහන් කළ ඉබේ වැවෙන හතු වර්ග අපේ ජනතාව අතර තවමත් ඉතා ජනප්‍රිය ය. ඒ ඒවායේ ඇති සුවිශේෂී රසය හේතු කොටගෙන ය.

මේ අතර ආහාරයට ගත නොහැකි ප්‍රභේද ද ඇත. ඒ පිළිබ`දව ද පැරැන්නෝ ඉතා හො`දින් දැන සිටිය හ. නයි හතු ද, සිනා හතු ද ආහාරයට නො ගත යුතු ඒවා බව ද ඉන් නයි හතු ඉතා විෂ බව ද, සිනා හතු ආහාරයට ගත් විට නො නවත්වා සිනාසෙන බව ද අපේ ජනප්‍රවාදවල ස`දහන් වේ. ආහාරයට ගත හැකි ප්‍රභේද පිළිබඳ දැනුම පාරම්පරිකව ඔවුන් ගේ දරු පරපුරට උරුම වූ නමුත් වර්තමානය වන විට සිදු වන පාරිසරික විනාශයත් සමග විශේෂයෙන් ම නගරබදව මේ පිළිබඳ දැනුම අල්ප බව පැහැදිලි කාරණයකි. දිරා ගිය කඳන්වල ඇති වන තරමක්‌ වියළි කුඩා හතු වර්ගයක්‌ වන ලේන පලා මගේ කුඩා කාලයේ බැදුමක්‌ ලෙස ද ලුණුමිරිස්‌ සමග මිශ්‍ර ව ද ආහාරයට ගත් බව මගේ මතකයේ ඇත.

හතු නැත හොත් දිලීර ශාක ලෝකයේ සුවිශේෂී ජීවි කොට්‌ඨාශයකි. වෙන ම වූ රාජධානියක්‌ ලෙස හතු වර්ග කර ඇත. එක්‌ විශේෂත්වයක්‌ වන්නේ මේවායේ සෛල බිත්තිය සකස්‌ වී ඇත්තේ "කයිටින්" නම් වූ කාබනික සංයෝගයෙනි. ඒක සෛලික ජීවින් මෙන්ම බහු සෛලික ජීවින් ද මේ රාජධානියට අයත් වේ. ඒක සෛලිකයන් වන්නේ අප කවුරුත් හොඳින් හඳුනන "යීස්‌ට්‌" විශේෂ ය. බිම්මල් ඒ අතර වූ බහු සෛලිකයන් වේ. බහු සෛලික දිලීර සතු ව අපූරු ජාලයක්‌ වෙයි. එය දිලීර මයිසිලියම ලෙස හ`දුන්වන අතර, උසස්‌ ශාකවල මූල පද්ධතිය සේ පස්‌ අංශු අතරින් රිංගා යැමේ හැකියාව ඊට ඇත. එපමණක්‌ නො වේ. පස්‌ අංශු අතර වූ ජලය ද ඛනිජ ලවණ ද උරාගනිමින් ඒවා මයිසිලියම වර්ධනය කරගනියි.

මේ දිලීර තම වර්ගය බෝ කරන්නේ බීජාණුවලිනි. බීජාණු සෑදෙන කල විශේෂ ව්‍යqහයක්‌ සකස්‌ වන අතර ඒවා බිජාණුධානි ලෙස හැ`දින්වේ. බිම්මල්වල නම් ඉහළට පැමිණෙන කුඩයක්‌ බඳු වූ මේ ව්‍යqහයට ය අප බිම් මල ලෙස නම් තබන්නේ. විවිධ විශේෂවල මේ බිජාණුධානි නොයෙක්‌ පැහැ ගනී. බිම්මල පිපුණ විට යට පැත්තේ වූ බිජාණු සුළඟට මුසු ව සැම තැනක ම පැතිරෙන අතර සුදුසු උපස්‌තරයක්‌ සුදුසු කල්හි හමු වූ විට එම`ගින් දිලීර ජාලය ව්‍යාප්ත වේ. පසෙහි වූ ඵෙන්ද්‍රීය ද්‍රව්‍ය තම ආහාරය කරගන්නා මේ දිලීර හේතුවෙන් පසට කාබනික ද්‍රව්‍ය ද, ඛනිජ ලවණ ද එකතු වේ. මෙය පස සාරවත් කිරීමට ඉවහල් වේ. ඛනිජ ලවණ චක්‍රීකරණයේ දී දිලීර විසින් ඉටු කෙරෙන මෙහෙය අමිල ය.

ලෝකය පුරා පැතිරී ඇති මේ දිලීර විශේෂ මිලියන 1.5ක්‌ පමණ දැනට හ`දුනාගෙන ඇති අතර හඳුනාගැනීමට තව බොහෝ වෙයි. කාන්තාර මෙන්ම අධික ලවණතාවකින් යුක්‌ත පරිසරවල ද ජලයේ ද මේ දිලීර විශේෂ පැතිරී ඇත. පර්යේෂණ වාර්තාවලට අනුව සමහර දිලීර විශේෂවලට කොස්‌මික්‌ කිරණවලින් ද අරක්‌ෂා වී ජීවත් විය හැකි බව තහවුරු වී ඇත. දිලීර ආහාරයක්‌ ලෙස පමණක්‌ නො ව බෙහෙත් වර්ග ලෙසත්, එන්සයිම ලෙසත්, ජීවවිද්‍යාත්මක පළිබෝධනාශක ලෙසත් යොදාගැනේ. එපමණක්‌ නො වේ, වයින් වර්ග සහ මත්පැන් වර්ග නිෂ්පාදනයේ දී මේ දිලීර වර්ග බහුලව භාවිත කෙරෙයි.

අප කවුරුත් හොඳින් දන්නා පාන් නිෂ්පාදනයේ දී පිපුම්කාරකයක්‌ ලෙස මේ දිලීර යොදාගනී. යීස්‌ට්‌ ලෙස හඳුන්වන මේ දිලීර විශේෂය ස්‌වාභාවික පරිසරයේ නිදහසේ හමු වේ. එනිසා ම පොල් හෝ කිතුල් මල් කැපීමෙන් ලබාගන්නා තෙලිඡ්ජ කාලයත් සමග රා බවට පෙරළෙන්නේ මේ හේතුවෙනි.

දිලීර මෙලෙස අපට උපකාර කළ ද හානි කරන අවස්‌ථා ද නැත්තේ නො වේ. අප පුස්‌ ලෙස හ`දුන්වන්නේ ද දිලීර ම ය. අප ගේ ඇඳුම්වලට ද ආහාරවලට ද පුස්‌ නිසා හානි පැමිණේ. සමහර අවස්‌ථාවල දී ආහාරවල පුස්‌ ඇති වීමෙන් එම ආහාර විෂ වන අවස්‌ථා ද ඇත. අප ප්‍රිය කරන රටකජුවල පුස්‌ ඇති වන අතර ඒවා ආහාරයට ගැනීමෙන් මිනිසුන් මිය ගිය අවස්‌ථා ද වාර්තා වේ. එනිසා දිලීර හටගැනීමෙන් නරක්‌ වූ දෑ ආහාරයට නො ගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...