2015 අප්‍රියෙල් 22 බදාදා
උත්තර දේවි දුම්රිය එක හුස්‌මට යාපනය බලා දුවනවා. අපේ ගමනාන්තය කිලිනොච්චිය. වව්නියාවට ළං වෙන්න බොහොම කිට්‌ටුයි. දොර කවුළුවෙන් පරිසරය රසවිඳිමින් සිටි මගේ අවධානය එක පාරට ම යොමු වුණේ දුම්රිය මාර්ගය දෙපස එක යායට වැවිලා තිබුණු කුඩා පඳුරු සමූහයක් වෙතට. අඩියක් එක හමාරක් විතර උස ඒ මත්තේ පිපිලා තිබුණේ කුඩා සුදු පෙති මලක්. බොහොම පුරුදු පෙනුමක්. "පාතිනියම්" පැළ. පාතිනියම් වව්නියාවට කිට්‌ටු වෙන්න දුම්රිය මාර්ගය දෙපස බොහොම සරුවට වැවිලා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ඉඩම්වල, ගෙවතුවලත් වැවිල ඇති කියල මට එක්‌වර ම හිතුණා.
"පාතිනියම්" කියන්නේ ආක්‍රමණික ශාකයක්. ආක්‍රමණික ශාක කියන්නේ මොනව ද? බොහොම සරලව මේවා පිටරටවලින් මෙරටට ආපු ශාක කියලා හදුන්වන්න පුළුවන්. එයින් ඇත්තට ම ගම්‍ය වන්නේ අපේ රටේ ස්‌වාභාවිකව පරිසරයේ හමු නො වන ආගන්තුකයෙක් කියන එකයි. මේ ශාකවලට ආගන්තුක ශාක කියලා කියන්නත් පුළුවන්. මේ ආක්‍රමණික ශාක අපේ දේශීය පරිසරයට ආගන්තුක වුණාට බොහොම ඉක්‌මනට පැතිරෙන්න හැකියාව තියෙනවා. එහෙම ඉක්‌මනට පැතිරිලා දේශීය ශාකවල වර්ධනයට තර්ජනයක් වෙන නිසා එහෙම නැතිනම් දේශීය ශාක වැවෙන භුමිය ආක්‍රමණය කරන නිසා තමයි එනමින් මේ ශාක හදුන්වන්නේ. මෙලෙස දේශීය ශාක වැවෙන භුමිය ආක්‍රමණය කිරීම නිසා අපේ ශාක වර්ග සදහට ම වඳ වී යැමේ හැකියාව පවතිනවා. ආක්‍රමණික ශාක වර්ධනය වන්නේ නම් එය වහා නැවැත්විය යුතුයි.
පාතිනියම් පිළිබඳව කතා කරන විට මගේ මතකයට නැෙගන්නේ මේ ආක්‍රමණික ශාකය පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කළ කාල ය. අනූව දශකයේ අගභාගය වන විට තමයි මේ ශාකය පිළිබඳ කතාව කරළියට ආවේ. ආචාර්ය මැග්ඩන් ජයසූරිය තමයි ලාංකික ජනතාවට මේ ආක්‍රමණිකයා පිළිබඳව මුලින් ම හෙළි කළේ. ඉන්දියන් හමුදාව ලංකාවට එන විට ඔවුන් ගෙන ආපු වාහන සමග මේ ශාකවල බීජ ලංකාවට එන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ වන විට ඉන්දියාවේ මේ ශාකය වල් පැළෑටියක් ලෙස බොහොම දරුණුවට පැතිරිලා තිබෙනවා. පසු කාලීනව පාතිනියම් බීජ ඉන්දියාවෙන් ගෙන්වන ලද මිරිස් සහ ලූනු බීජ සමග ද මෙරටට එන්න ඇතැයි විශ්වාස කරනවා. පාතිනියම් බීජවලට බොහෝ කාලයක් පරිසරයේ රැඳී සිටීමේ හැකියාවත්, ඕනෑ ම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාවත්, පහසුවෙන් පැළ වීමේ හැකියාවත් ඇති නිසා බොහොම ඉක්‌මනට ලංකාවේ උතුරු ප්‍රදේශයේ මේ ශාකය පැතිරිලා තියෙනවා. ක්‍රමයෙන් පැතිරුණ මේ අගන්තුකයා බොහොම ලෙහෙසියෙන් දේශීය ශාක සන්තතිය, විශේෂයන්ම පැළ වර්ග පැවැති භූමිය අක්‍රමණය කරමින් කඳුකරයට ම පැතිරුණා. මේවායේ පැතිරීම බොහොම දරුණුවට අපේ කුඹුරුවලට බලපෑවා.
මගේ මතකයේ හැටියට වසර 2000 දී පමණ පරිසර අමාත්‍යංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක් වී මේ ආක්‍රමණිකයා පැරදවීමේ සංග්‍රාමයක් දියත් කළා. විශ්වවිද්‍යාලයයේ එකල බොහෝ ම සක්‍රිය ව තිබූ පරිසර සංගමයක් වන හන්තාන සංරක්‌ෂණ සංගමයටත් ආරාධනාවක් ලැබුණා මේ කර්තව්‍යය සදහා දායක වන ලෙස. බොහොම සතුටින් ඒ ආරාධනාව පිළිගත් අප සංගමයේ බොහෝ සාමාජිකයන් පිරිසක් සමග එයට සහභාගී වුණා. අප සහභාගී වූ පාතිනියම් මර්දනය කිරීමේ එම ව්‍යාපෘතිය දියත් කළේ මේ පැළෑටි බහුලව වර්ධනය වෙලා තිබුණු කන්දකැටිය ප්‍රදේශයේ. එහේ කුඹුරු යායවල් සම්පූර්ණයෙන් ම මේ ආක්‍රමණිකයා බිලි අරගෙන තිබුණා. සමහර පාතිනියම් ශාක අඩි හයක් අටක් පමණ උසට බොහොම සරුවට වැඩිලා තිබුණා. එක ප්‍රදේශයක් තෝරාගත් අප පිරිස එහි සියලු පාතිනියම් පැළ ගලවා අවසානයේ පුළුස්‌සා දැමුවා. සංකේතයක් හැටියට ක්‍රියාත්මක වූ එම සංග්‍රාමය බොහොම සාර්ථකව සිදු වුණා. මේ ක්‍රියාවලියට විශ්වවිද්‍යාලයයේ අප සංගමය සක්‍රීය ව දායක කරගත් සහ එකල අප සංගමයට බොහෝ උපකාර කළ පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්‌ෂවරයකු වන අජිත් ද සිල්වා මහතා ස්‌තුති පූර්වකව මෙහි දී සිහිපත් කළ යුතුයි.
පාතිනියම් මර්දනය කිරීම සදහා ඒ කාලයේ ම නීති ද සම්පාදනය කරනු ලැබුවා. මගේ මතකයේ ඇති විදියට ලංකාවේ කිසි ම ඉඩමක පාතිනියම් තිබිය නොහැකි අතර ඒවා ගලවා ඉවත් කළ යුතුයි. එසේ පවතින්නේ නම් එය දඩුවම් ලැබිය හැකි වරදක්. ඒනිසා අප හැමෝ ම විශේෂයෙන් ම මේ ආක්‍රමණිකයා පිළිබඳව අවධානයෙන් සිට ඒවා මර්දනයට සහාය විය යුතුයි. නමුත් දැන් නම් බොහෝ දෙනකු ගේ මතකයෙන් මේ ආක්‍රමණිකයා පිළිබඳව සහ ඒ හා අදාළ තොරතුරු ගිලිහී ගිහිනුත් ඇති.
ලංකාව මෙලෙස ආක්‍රමණය කර ඇත්තේ පාතිනියම් පමණක් නො වෙයි. තව ආක්‍රමණික ශාක බොහෝ ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. යෝධ නිදිකුම්බා, ගඳපාන, ජපන් ජබර, වෙල් ආත්තා, යුලෙක්‌ස්, හයිඩ්රිල්ලා, කටු පතොක් වැනි ශාක මෙහි ලා සදහන් කළ හැකියි. එපමණක් නො වේ. ආක්‍රමණික සතුන් ද ඇති බව ඔබ දන්නවා ඇති. විශේෂයන් ම සුරතල් සතුන් ලෙස ලංකාවට ගෙන ආ සමහර මාළුන් අද දේශීය විශේෂ සදහා බොහෝ තර්ජනයක් වෙලා. එවැනි එක සතෙක් තමයි "ටෑන්ක් ක්‌ලීනර්" ලෙස හදුන්වන මාළුවා. ඒ වාගේ ම රන්වන් පැහැති ගොලුබෙලි විශේෂය. ඉතින් මෙවැනි සතුන් ද ශාක ද අප රටට ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ නම් හෝ ගෙනැවිත් ඇත්තේ නම් ඔවුන් ස්‌වාභාවික පරිසරයේ නිදහසේ පැතිරීම වැළැක්‌වීමට ඔබ වග බලාගත යුතුයි. මන්ද යත් අපේ ම ජීවී විශේෂ පරිසරයෙන් ඉවත් කිරීමට එය හේතුවක් වන බැවින්.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ