2015 අප්‍රියෙල් 29බදාදා
සබරගොමුවේ උපන්න කෙනෙක් හැටියට "සීතල දුරුත්තේ මීදුම් බර උදෑසන" කිසි විටකත් අමතක වෙන්නේ නැහැ. යුරෝපීයයන් ගේ ආක්‍රමණවල ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ එකල ආර්ථිකයේ ප්‍රමුඛ බෝගයක් වූ රබර් වගාව අප ප්‍රදේශයේ කඳුකරය වසා තිබූ නොඉඳුල් වනය පලවා හැර බින්න බැස්‌සත්, පොඩි කාලයේ ඒ අපූරු කාල පරිච්ඡේදය මගේ මතකයේ සදා නො මැකෙන ලෙස
රැෙදන්නේ කෘත්‍රිමව ගොඩනගන ලද ඒ පරිසරයේ පවා බොහෝ ස්‌වාභාවිකත්වයට ළං වූ දැ තවදුරටත් දක්‌නට තිබූ බැවිනුයි. ඒ බව කදිමට තහවුරු කරන්නේ උදුවප් පොහොයෙන් ඇරඹෙන ශ්‍රී පාදස්‌ථාන වන්දනාවත් සමග ම එහි ඇදෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් සේ ම එදෙසට පියඹා යන්නා වූ සමනළ රෑන්. නා නා ප්‍රකාර වර්ණයන් ගෙන් යුක්‌ත වූ මේ සුන්දර සමනළ රෑන් උදෑසන මීදුම බිඳගෙන අපේ ගෙදර මිදුල හරහා වහලය උඩින් ශ්‍රී පාදස්‌ථානය දිශාවට පියඹා ගිය ආකාරය හරි ම චමත්කාරජනකයි. එක රෑනක නො ගිණිය හැකි තරම් වූ සමනළයන් වූ බව මගේ මතකය මට කියාපානවා.
නමුත් අද තත්ත්වය නො සිතූ ලෙස වෙනස් වෙලා. ලංකාවේ බොහෝ ස්‌ථාන නාගරීකරණය වෙලා. කැළෑ හෙළි වී සුන්දර ව තිබූ ස්‌වාභාවික පරිසරය, ඉදි වුණු පරිසරයක් බවට පත් වෙලා. අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු වූ වනාන්තර ප්‍රතිශතය දිනෙන් දින ම අඩු වන බවයි පෙනෙන්නේ. කොළ නිල් පැහැ ගත් ශ්‍රී ලාංකේය භූමිය දුඹුරු පැහැ ගැන්වෙමින් තිබෙන බව හොඳට ම පැහැදිලියි. මිනිසා ගේ ආක්‍රමණය එතරම් ම ප්‍රබල වෙලා. එනිසා ම ස්‌වාභාවික පරිසරයේ හිටිය ස්‌වාභාවික පරිසරයේ ම කොටසක් වූ බොහෝ ජීවී විශේෂ වඳ වෙමිනුයි පවතින්නේ. ඔවුනට ඔවුන් ගේ ගම් බිම් අහිමි වෙලා. සමනළයන්ට ඔවුන් ගේ තිඹිරි ගෙය අහිමි වෙලා. එසේ හෙයින් ඔවුන් ගේ පරම්පරාව පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ හින්දා එදා මාස ගණනාවක් පුරාවට සිරිපාදේ ගිය සමනළ රෑන් අද සොයාගැනීමට නොහැකි ලෙස ම අතුරුදන් වෙලා.
බොහොම අපූරු ජීවන චක්‍රයක් පෙන්වන කෘමියකු වන සමනළයා ගේ සමස්‌ත ජීවන ගමන ම රැඳිලා තියෙන්නේ පරිසරයත් එක්‌ක නේ. කොටින් ම කිව්වොත් ගස්‌වැල් මත තමයි ජීවන චක්‍රයේ එක් එක් අවස්‌ථා වැඩෙන්නේ. එක් අවස්‌ථාවක දී භවබෝගවලට තර්ජනයක් වුණත් වැඩිහිටි අවස්‌ථාව වන විට සමනළයා ගෙන් අපට අත් වන්නේ ඉමහත් ප්‍රයෝජනයක්. ඒ, පරාගණය නම් වූ ශාකවල පැවැත්මට අතිශය වැදගත් මේ ක්‍රියාවලියට Rජු දායකත්වය සැපයීමෙන්. මල් හට ගැනීමටත් අවසන ගෙඩි හට ගැනීමටත්, එමගින් ශාකවල ප්‍රගමනය පවත්වාගැනීමත් සදහාත් පරාගණය බොහෝ ශාකවලට ඉතා ම වැදගත් වනවා. පරාගණ ක්‍රියාවලියට බාධාවක් වුණොත් එහෙම මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.
සමනළයන් ඇතුළු බොහොමයක් සතුන්ට තම ජීවිත ද පරම්පරාව ද පවත්වාගැනීමට නොහැකි වෙලා තියෙන්නේ මිනිසා ගේ අත්තනෝමතික ක්‍රියා නිසයි. ඒ අතර වනාන්තර එළි පෙහෙළි කිරීමට අමතරව තවත් කරුණු තියෙනවා. වගවිභාගයක් නැති ව රසායනික පොහොර, කෘමිනාශක සහ වල්පළෑටිනාශක භාවිතය බොහොම දරුණු ලෙස පරිසර පද්ධතියෙන් මේ ජීවීන් සදහට ම ඉවත් කරන්න හේතු වෙලා තියෙනවා. පරිසර සමතුලිතතාව බිඳ වැටීම Rජුව ද වක්‍රව ද මේ සදහා හේතු වනවා. අනෙක් අතින් අප ගේ නො සන්සිඳෙන අවශ්‍යතා සදහා දිනෙන් දින ස්‌ථාපිත වන කර්මාන්තවලින් බැහැර කරන අපද්‍රව්‍යත් හේතු වෙනවා. විශේෂයන් ම ජලයට සහ වායුගෝලයට නිදහස් කරන විෂ ද්‍රව්‍ය ඉතා අහිතකර ලෙස මෙවැනි සියුම් සහ බොහෝ සංවේදී ජීවීන් කෙරෙහි බලපානවා. ඒ කෙසේ වෙතත් සමනළයන් ගේ නිජබිම් විනාශ කිරීමෙන් නො නැවතී දිගින් දිගට ම එම පරිසරයට විෂ පොවන්නට ද පෙලඹී සිටින අප බොහෝ විට සිදු කරනුයේ සැමරීම් දිනවල දී පමණක් පරිසරයේ වටිනාකම ගැන කතා කර පසු දින සිට සියල්ල අමතක කිරීමයි.
අප කන අඹ ගෙඩියේත් පැපොල් ගෙඩියේත් වටිනාකම තක්‌සේරු කරන්න පුළුවන්. නමුත් ඒ වටිනාකමට සමනළයන් ගේ (මීමැස්‌සන් ගේත්) පරාගණ ක්‍රියාවලියේ වටිනාකම අපි එකතු කරනවා ද? වර්තමානයේ නම් අපි එකතු කරන්නේ පොහොර සහ කෘමිනාශක සදහා ගිය වියදමත් අපිට අවශ්‍ය වන ලාබයත් පමණයි. සමනළයන් (මීමැස්‌සනුත් ඇතුළුව) නිසා සිදු වන පරාගණය හේතුවෙන් ගස්‌වල ඵල හට ගැනීම සහ එමගින් ඊළඟ පරම්පරාව පැතිරීම ද එනිසා ම ශාකවල පැවැත්ම තහවුරු වීම හේතුවෙන් පරිසරයට ඔක්‌සිජන් වායුව පිට කිරීම ද පරිසරයේ කාබන්ඩයොක්‌සයිඩ් උරාගැනීම ද ඒ හේතුවෙන් පරිසරය උණුසුම් වීම් වළක්‌වාලීම ද යනාදී දාම ක්‍රියා සියල්ල එක් කළ විට ඒ සියල්ලෙන් ම ලැබෙන ආර්ථික වාසි ගණනය කළ හොත් ඒ සදහා මුල් වූ සමනළයා ගෙන් සිදු වන සේවය කොපමණ වැදගත් ද යන්න අමුතුවෙන් විස්‌තර කළ යුතු නැහැ. එය වඩාත් හොඳින් තේරුම්ගත හැක්‌කේ සමනළයන් නැති දාක සිදු වන දෙය ගැන විශ්ලේෂණය කිරීමෙන්. එනිසා අප තේරුම්ගත යුත්තේ වත්මන වන විට පරිසර දූෂණයේ බොහෝ දුර ගොහින් ඇති මුත් ආපසු හැරී සංරක්‌ෂණ මාර්ගයේ යැමට තවමත් කාල වේලා ඇති බවයි.
සමනළයන් ගේ පැවැත්ම පරිසරයේ නිකෙලෙස් බව නැතිනම් සුපිරිසිදු බව කියාපාන එක්‌තරා සාධකයක් කියලත් කියන්න පුළුවන්. පරිසර දූෂණයට තිත තැබීමට හැකි නම් දැනට ඉතිරි වී ඇති සමනළ විශේෂ හෝ රැකගත හැකියි. පෞද්ගලික මට්‌ටමින් ද මේ සදහා ඔබ අප සියල්ලන්ට එක් විය හැක්‌කේ කෙසේ ද? බොහොම සරලව ගත හොත් සමනළයන් ගේ ජීවන චක්‍රය පවත්වාගැනීමට සුදුසු බිමක් සාදා දිය හැකි නම් තරමක් හෝ දුරට තත්ත්වය ගොඩනැගිය හැකි වේ වි. ඔබේ ගෙවත්ත අලංකාර කිරීමේ දී සමනළයන්ට යෝග්‍ය වන ශාක සහ මල් වර්ග යොදාගත හැකි නම් ඔබේ ගෙවත්තට සමනළයන් නැවත පැමිණෙනවා නිසැකයි. ඊළඟට ගෙඩි නො හැදෙන අඹ ගහේ ගෙඩි හැදෙනු ඇති. එය පරිසර දූෂණය නිසාත් කාර්යබහුල රාජකාරි නිසාත් හෙම්බත් වූ ඔබේ සිතට සැනසුමක් ගෙන දෙන එක ගැන නම් කිසි ම සැකයක් නැහැ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ