11.05.2016
මුහුදු
මට්‌ටම ඉහළ යැම ගැන බොහෝ කලක සිට අපි කතා කරන්නෙමු. ඒ ක්‍රමයෙන් වැඩි වන ගෝලීය
උෂ්ණත්වය හේතුවෙන් බව ලොකු කුඩා අපි බොහෝ දෙනා ඉතා හොඳින් දැන සිටින්නෙමු. සාගර
ජල මට්‌ටම ඉහළ යැමේ ප්‍රතිඵල ද මේ වන විට අපි හොඳින් වටහාගෙන ඇත්තෙමු. එහෙත්
ෆොසිල ඉන්ධන දහනයත්, වනාන්තර විනාශ කිරීමත් ඇතුළු මේ සදහා හේතු වන අනෙකුත්
ක්‍රියාකාරකම් නවතා නොමැති බව මනාව පැහැදිලි වේ. කෙසේ වෙතත් මුහුදු මට්‌ටම
උච්චාවචනය වීම අද ඊයේක ආරම්භ වූවක් නො වේ. පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ඒ
පැරැණි උච්චාවචනයන් සිදු වීම සදහා බොහෝ විට හේතු වී ඇත්තේ ස්‌වාභාවික කරුණු
කාරණා ම වන බවයි.
අයිස් යුග ඇති වීම මුහුදු මට්‌ටම පහත හෙළීම සදහා එක් හේතුවක් වන අතර එය ලෝකයේ වියළි කාලගුණික තත්ත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ. මේ සීතල වියළි කාලගුණික තත්ත්වයන් නිසා ලෝකයේ බොහෝ වෙනස්‌කම් සිදු වී ඇති බව භූවිද්‍යාඥයන් ගේ පර්යේෂණවලින් තහවුරු වී ඇත.
ලෝකයේ ආරම්භයේ සිට සැලකු විට ප්‍රධාන වශයෙන් අයිස් යුග පහක් තිබී ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මානවයා ගේ ආරම්භයත් සමග සැලකු කල පැරැණි ම අයිස් යුගය වාර්තා වී ඇත්තේ මෙයට වසර බිලියන 2.4-2.1ක් කලිනි. ඒ ප්රෝටෙරෝසොයික් (Proterosoic) යුගයේ ය. මේ කාලය සාගරවල බහුලව හරිත ඇල්ගාවන් වර්ධනය වූ කාලයයි. ප්‍රභාසංශ්ලේෂණය ප්‍රමුඛ වූ මේ කාලයේ දී වායුගෝලය ඔක්‌සිජන් වායුවෙන් අනූන විය. මේ අයිස් යුගය හියුරෝනියන් (Huronian) ලෙස හදුන්වන ලැබේ. දෙවැනි අයිස් යුගය වන ක්‍රියෝජෙනියන් (Cryogenian) වාර්තා වන්නේ වසර මිලියන 850-650 අතර කාලයේ දී ය. මේ කාලයේ දී ධ්‍රැවාසන්නයේ වූ අයිස් තට්‌ටු සමකාසන්නයටම පැතිරී ඇත. මේ යුගය අවසාන වත් ම ජීවයේ මහා විවිධාංගිකරණය ඇති වූ අතර එම නිසා නා නා ජීවින් ලොව පහළ විය. එකල ඇති වූ අධික ගිනිකඳු පිපිරීමෙන් නිකුත් වූ හරිතාගාර වායුන් නිසා මේ අයිස් යුගය අවසාන වී ඇත. තෙවැනි අයිස් යුගය ඇන්ඩියන්-සහරන් (Andean-Saharan) ලොව ඇති වන්නේ වසර මිලියන 460-430 අතර කාලයේ දී ය. මේ කාලයේ දී සාගරවාසී ජීවීන් 60%ක් පමණ වඳ වී ගොස් ඇති අතර මත්ස්‍ය විවිධත්වය ඇති විය. කාරූ (Karoo) අයිස් යුගය වසර මිලියන 360-260ක පමණ කාලයේ දී ඇති විණි යෑයි පර්යේෂණවලින් තහවුරු වී ඇත. එකල්හි ගොඩබිම බහුල වූ වෘක්‌ෂලතා හේතුවෙන් වායුගෝලයට නිදහස් කරන ලද අධික ඔක්‌සිජන් ප්‍රමාණය මේ අයිස් යුගය සඳහා හේතු වන්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
අවසාන අයිස් යුගය වන ප්ලියෝසීන-චාතුර්ත (Plieocene-Quaternary) අයිස් යුගය වසර මිලියන 2.8කට පමණ පෙර ආරම්භ වී ඇත. මේ යුගය පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් හට වැදගත් යුගයක් වන්නේ මානවයා ගේ ආරම්භය සිදු වන්නේ මේ යුගයේ බැවිනි. මේ අයිස් යුගයේ අවසනය ආරම්භ වන්නේ වසර 20,000-10,000ක පමණ කාලයේ දී ය. අයිස් යුග අතර කාලය "අන්තර් අයිස් යුග" ලෙස හදුන්වන අතර, මේ කාලය බොහෝ විට ලොව කොහේ හෝ අයිස් නො තිබන්නට ඇති බව විස්‌වාස කෙරෙයි. අද ගත වන මේ කාලය හොලොසින (Holocine) ලෙස හදුන්වන අතර මේ කාලය චාතුර්ථ අවධියේ අවසාන කාල සීමාවයි. එනම් අප මේ ගත කරන්නේ අවසාන අයිස් යුගයේ අවසාන භාගයේ ය. කෙසේ වෙතත් මේ කාලයේ අවසාන වසර 10,000 අතර ශ්‍රී ලංකා වෙරළාසන්නයෙන් සොයාගත් සාධක අනුව තෙවරක් ම මුහුදු මට්‌ටම උච්චාවචනය වී ඇත. අයිස් යුග ඇති වූ සැම කල්හි ම ලොව බොහෝ සේ වියළි කාලගුණික ස්‌වරුපයක් ගෙන ඇති බැවින් මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ද බල නො පාන්නට හේතුවක් නොමැත. මෙරට ද එසේ සටහන් වූ වියළි කාලගුණික තත්ත්වයන් තුනක් ඇති බව භූ විද්‍යාඥයන් විසින් දැනට සිදු කරන ලද පර්යේෂණවලින් හෙළි වී ඇත.
බුන්දල සහ පතිරාජවෙල ඓතිහාසික වශයෙන් මෙන්ම භූ විද්‍යාත්මකව ද වැදගත්මක් ඇත්තා වූ ස්‌ථාන දෙකකි. මේ ස්‌ථානවල පවතින වැලි කඳු මෙලෙස අවසාන අයිස් යුගයේ වියළි කාලගුණික තත්ත්වය පිළිබිඹු කරන කදිම සාධක වෙයි. මේ වැලි කඳු වසර 80000ක් පමණ
පැරැණි බව භූ කාල නිර්ණ ක්‍රම මගින් සොයාගෙන ඇත. ශ්‍රී ලංකා මානව වංශ කතාවේ දැනට පැරැණි ම සාධක හමු වී ඇත්තේ ද මේ පතිරාජවෙල සිදු කෙරුණ කැණීමකින් බව කියෑවේ. පුරාවිද්‍යාඥයන් ගේ පර්යේෂණවලට අනුව වසර එක් ලක්‌ෂ විසි පන් දහසක් (125000) පමණ පැරැණි ගල් ආයුධ මේ ස්‌ථානයෙන් හමු වී ඇත. එහෙත් මේ සාධක අතිශය මතභේදාත්මක බව කිව යුතු ය. මේ සාධකවලට පසු මේ වන තෙක් වෙනත් කිසි ම ස්‌ථානයකින් හෝ නැවත තහවුරු කරන සාධක හමු නො වීම ද ඉන් එක හේතුවකි.
භූ රුපණය සැලකීමේ දී මේ ස්‌ථානය වර්තමාන මුහුදු මට්‌ටමේ සිට මීටර 15ක් පමණ උසකින් පිහිටා ඇති අතර, කැණීමට අනුව මේ ගල් ආයුධ ලැබෙන්නේ ගංගා ගැලීමෙන් ඇති වූ අවසාදිත තැන්පතුවක ය. එසේ නම් මේ ගංගා තැන්පතුව වර්තමාන මුහුදු මට්‌ටමට වඩා ඉහළින් පිහිටන්නේ කෙසේ ද යන්න පැරැණි මුහුදු මට්‌ටම් උච්චාවචනය හා සබැඳේ. පෙබලු සහ බොරළුවලින් සමන්විත මේ තැන්පතුව භූ විද්‍යාත්මක විශ්ලේෂණවලට අනුව පෙනී යන්නේ ගංගාවක මධ්‍යම අවධියේ තැන්පතුවක් බවයි. එසේ නම් ගංගාවේ වෘද්ධ අවධිය පිහිටන්නේ තව බොහෝ පහළිනි. මෙමගින් පැහැදිලි වන්නේ මේ තැන්පතුව නිර්මාණය වන්නේ මුහුදු මට්‌ටම පහළ ගිය කාලයක බවයි. කෙසේ වෙතත් වෙරළ තීරයේ උච්චාවචනයන් පිළිබඳ අධ්‍යයනයන් වඩා පුළුල් පරාසයක් පැතිරී යා යුතු අතර එය භූ විද්‍යාඥයන් හට පමණක් නො ව මානව වංශ කතාව හදාරන පුරාවිද්‍යාඥයන් හට හට ද ඉතා වැදගත් බව පැවසිය යුතු ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ