Saturday, 20 July 2019

විදුපත්ඉරුව
19.10.2016

තවදුරටත් ශ්‍රී ලංකාවාසීන්ට ජලය අසීමිත ව භාවිත කළ හැකි සම්පතක්‌ නො වනු ඇත. ඒ බවට මෑතක සිට කරුණු කාරණා සිදු වෙමින් පවතින බව අප කළ නිරීක්‌ෂණවලින් පැහැදිලි වී ඇත. මෙවර ගී්‍රෂ්ම සමය එතරම් දරුණු නො වුව ද බොහෝ ප්‍රදේශවල ජනතාව ජල හිගයෙන් පෙළෙන බව වාර්තා වේ. ඇති වූ ජල හිගය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට නොහැකි වූ කල පසුගිය දිනවල රජරට විශ්ව විද්‍යාලයය හා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයය තාවකාලිකව වසා දමන්නට පවා සිදු විය.

මේ දුෂ්කරතාව වියළි කලාපයේ පමණක්‌ නො ව තෙත් කලාපයේ සමහර ප්‍රදේශවල ජනතාවට පවා අත්දකින්නට සිදු වී ඇත. නිවර්තන කලාපීය රටක්‌ වන අප රටට මෙතරම් ම ජල දුෂ්කරතාවක්‌ ඇති වන්නේ ඇයි දැයි යන්න අත්‍යවශ්‍යයෙන් ම විමසා බැලිය යුතු කාරණයකි. එය තවදුරටත් මගහැරිය නොහැකි ය.

ශ්‍රී ලංකාවේ ජල සම්පත පරිහරණය වන රටාව පිළිබඳව තවමත් විධිමත් අධ්‍යයනයක්‌ සිදු වී නොමැත. ඒ නිසා පවතින ජල මූලාශ්‍ර පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබාගැනීමට නොහැකි වී ඇති බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ. ශීස්‍ර ජනගහන වර්ධනය, නගර නිර්මාණය, පවතින නගර විශාල වීම සහ නව කර්මාන්ත බිහි වීම යනු කරුණු ද මහජනතාව ගේ නො සැලකිල්ල ද හේතු කොට ගෙන බොහොමයක්‌ මතුපිට ජල මූලාශ්‍ර පමණක්‌ නො ව භූගත ජල නිධි පවා ඉතා ම ශීඝ්‍රයෙන් දුෂණයට ලක්‌ වෙමින් පවතින බව දැනගත යුතු කරුණකි. එපමණක්‌ නො වේ. පාර්ශ්ව ගණනාවක්‌ වර්තමානයේ මෙරට ජලයේ අයිතිකරුවන් වීම ද නිසි කළමනාකරණයකින් බැහැර වීමට හේතු වී ඇත. ආයතන අතර අෙන්‍යාන්‍ය සම්බන්ධතාව ගිලිහී ඇති මෙවන් කලක ඒ ගැන අප පුදුම විය යුතු ද නො වේ.

දශක ගණනාවකට පෙර ඉතා කදිමට තම ගෙවත්තේ වූ ළිං ජලය භාවිත කළ මහ නගරවාසීන් දැන් දැන් එම මූලාශ්‍රය නො සලකමින් රජයෙන් ලබා දෙන ජල කරාමයට අත තබන්නට පෙලඹී ඇත. මෙවැනි පරිවර්තන සදහා කරුණු ගණනාවක්‌ හේතු වන බව පෙනී යයි. විවිධ මානව ක්‍රියාකාරකම් නිසා භූගත ජල මූලාශ්‍ර දූෂණයට ලක්‌ වීම මෙහි දී කැපී පෙනෙන කරුණකි. ඉතා ළං ළං ව නිවාස සහ ගොඩනැගිලි බිහි වීම හේතු කොටගෙන නිර්මාණය වූ වැසිකිළි සහ කැසිකිළි හේතුවෙන් මතුපිටට ආසන්න භූ ගත ජල නිධි බොහොමයක්‌ ඉතා පහසුවෙන් කෙළෙසී යැම සිදු ව තිබේ. එපමණක්‌ නො ව බොහොමයක්‌ කුඩා කර්මාන්ත, කාර්යාල සහ නිවාසවල අප ජලය කිසිදු පිරිපහදු කිරීමකින් තොර ව අසළ ඇති මතුපිට ජල මූලාශ්‍රයට හෝ ඉතා පහසුවෙන් ම පසට හෝ එක්‌ කිරීම හේතු කොටගෙන භූගත ජල නිධි ක්‍රමයෙන් අපවිත්‍ර වේ. මේ තත්ත්වය අගනගරයේ ඇත්තා වූ බේරේ වැව ඇතුළු බොහොමයක්‌ ජල මාර්ග නිරීක්‌ෂණය කිරීමෙන් ඉතා හොඳින් පැහැදිලි වේ.

නගරයෙන් එපිට ග්‍රාමීය ප්‍රදේශවල වුව දැන් දැන් බොහොමයක්‌ සංවර්ධන කටයුතු සිදු වෙමින් පැවතීම හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශ විනාශ වෙමින් පවතී. නව මංමාවත් තැනීම සහ නව නිවාස ඉදි කිරීම පමණක්‌ නො ව කිසිදු කළමනාකරණයකින් තොර ව අවසර දෙන සහ දී ඇති කුඩා ජල විදුලිබලාගාර ඉදි වීම හේතුවෙන් ද කඳුකර ජල පෝෂක ප්‍රදේශ කෙළෙසී ගොස්‌ ඇත. වග විභාගයකින් තොර ව සිදු කරන සංවර්ධන කටයුතු හේතුවෙන් කඳුකරයේ බොහොමයක්‌ ස්‌ථාන අස්‌ථාවර වෙමින් පවතින බව අනාවරණය වෙමින් පවතී. කුඩා කුඩා ඉඩම් කට්‌ටිවල තේ වැනි බෝග වගාවන් ව්‍යාප්ත වීම ද එක්‌තරා ආකාරයකට ජල පෝෂක ප්‍රදේශ දුර්වල කරන්නට හේතු වී ඇත. වර්ෂාවෙන් ලැබෙන ජලය රඳවාගැනීමට නොහැකි වාතාවරණයක්‌ මේ කඳුකර ජල පෝෂක ප්‍රදේශවල නිර්මාණය වෙමින් පවතින බව අප තේරුම්ගත යුත්තකි. එනිසා අභ්‍යන්තර ජල නිධි ප්‍රති පෝෂණය වීම ක්‍රමයෙන් ඇහිරෙන අතර කඳුකරයේ සිට දිවයිනේ පහළ තැනිතලා කරා විහිදෙන භූගත ජල මාර්ග දුර්වල කරන්නට සමත් වේ. එය තැනිතලා ප්‍රදේශවල ඇත්තා වූ භූගත ජල නිධි ප්‍රති පෝෂණය වීම ක්‍රමයෙන් අඩාළ කරනු ඇත.

කෘෂිකාර්මික කටයුතුවල දී ඉතා අධික ව භාවිත කරන රසායනික ද්‍රව්‍යය මේ වන විටත් බොහොමයක්‌ මතුපිට ජල මූලාශ්‍ර අපිරිසිදු කර ඇත. මේ තත්ත්වය ඉතා බරපතළ ලෙස වියළි කලාපයේ ජනතාව අත්විඳිමින් සිටින බව නොරහසකි. ලෝකය ජයගන්නට යැමේ දී කල්පනාකාරී නො වීමේ සහ දුරදිග නො බැලීමේ ප්‍රතිඵල භුක්‌ති විඳීමක්‌ ලෙස රජරට වකුගඩු රෝගය අප හැඳින්විය යුතු ව ඇත.

අපිරිසිදු වූ ජල නිධි සහ මූලාශ්‍ර නැවත යථා තත්ත්වයට ගෙන ඒමට මහත් වෙහෙසක්‌ දැරිය යුතු ය. එහෙත් අල්ප පරිමාණයෙන් එය සිදු කළ හැකි වුව ද මහා පරිමාණයෙන් දූෂණය වූ ජල නිධි පිරිසිදු කරන්නේ කෙසේ ද යන්න මහත් ගැටලුවකි. එනිසා පවතිනා පිරිසිදු ජල මූලාශ්‍ර සහ ජල නිධි ඉතා ක්‍රමවත් ව පාලනය සහ

රැකගැනීම කළ යුතු ය. මේ සදහා විධිමත් ලෙස ජල මූලාශ්‍ර සහ ජල නිධි සිතියම්ගත කිරීම සහ පිරිසිදු ජල පරිමාණයන් ගණනය කළ යුතු ය. පවත්නා තත්ත්වය අනුව අතිශය සංවේදී සහ විනාශ වී යැමට ඉතා ආසන්න ජල නිධි සංරක්‌ෂණය සදහා කඩිනම් වැඩපිළිවෙළක්‌ සැකසිය යුතු ය. මෙහි දී ජල කළමනාකරණයක්‌ අත්‍යවශ්‍ය වුව ද එය නම් ඉතා කල්පනාකාරීව සිදු කළ යුත්තකි. සැම විට ම පාරිභෝගික ජනතාව ද සාමාන්‍ය ජනතාවට ඇත්තා වූ ජලය පිළිsබඳ අයිතිය සුරැකිය යුතු ම ය. ඒ සදහා ඔවුන්ට ඇත්තා වූ අයිතිය තහවුරු විය යුතු ය.

හුදෙක්‌ ම තම කාරිය කරගන්නට පමණක්‌ කැස කවන මෙවන් කාලයක ජල කළමනාකරණයක්‌ ගැන කතා කිරීම එක්‌තරා ආකාරයකට විහිළුවක්‌ පමණක්‌ වනු ඇතැයි ද සිතේ. එය එසේ වෙතත් ඇති වෙමින් පවත්නා ජල දුෂ්කරතාව හමුවේ අනාගතයේ දී අප සියල්ලන්ට ම පීඩා විඳින්නට සිදු වනවා නොඅනුමාන ය. මේ බව ජනතාවත් පාලක පක්‌ෂයත් මනාව තේරුම් නො ගන්නේ නම් ගැටලුව තව දුරටත් උග්‍ර වනවා හැරෙන්නට කිසි දිනෙක විසඳුමක්‌ නම් පහළ නො වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 18 July 2019

විදුපත් ඉරුව
12.10.2016

වායුගෝලයට ප්‍රථමයෙන් ම ඔක්‌සිජන් වායුව එකතු වූයේ ප්‍රභාසංශ්ලේෂීන් බිහි වීමෙන් අනතුරු ව ය. එය ඉතා ධනාත්මක ලෙස ïවයේ පරිණාමයට හේතු විය. ප්‍රභාසංශ්ලේෂණයේ අතුරුඵලය තවත් එක ජීවී කාණ්‌ඩයක ඉරණම තීන්දු කරන්නට හේතු වීම ම ස්‌වාභාවික නිර්මාණයේ කෙතරම් අපූර්වත්වයක්‌ ද යන්න ඔබට වැටහෙනු ඇත. දහවල දී ඔක්‌සිජන් පිට කරන ලෙස ම රාත්‍රියට ද ඔක්‌සිජන් පිට කළ හැකි ශාක වෙයි ද? එසේ නම් එවැනි ශාක රාත්‍රියේ දී ප්‍රභාසංශ්ලේෂණය කළ යුතුයි කියා ඔබට එක වර ම සිතෙනු ඇත. හිරුඑළිය ඇති විට දී පමණක්‌ සිදු වන මේ කාබන් තිර කිරීමේ ක්‍රියාවලිය රාත්‍රියේ නම් ස්‌වාභාවිකව කෙසේ වත් සිදු නො වනු ඇත. එහෙත් රාත්‍රී කාලයේ දී ඔක්‌සිජන් පිට කරන ශාක වාර්තා වන බවට සාක්‌ෂි ඇත. එවැනි ශාක රාත්‍රියේ ඔක්‌සිජන් පිට කරන ක්‍රියාදාමය කුමක්‌ දැයි ඔබට කුතුහලයක්‌ පැනනැෙගනු ඇත.

ප්‍රභාශ්වසනය ප්‍රභාසංශ්ලේෂී ශාකවල දැකිය හැකි "තිර කළ කාබන්" සහ "ශක්‌තිය" (ATP) වැය කරන ප්‍රතික්‍රියාවකි. එය ප්‍රභාසංශ්ලෙෂකයන්ට අතිශය අවාසිදායක තත්ත්වයක්‌ නිර්මාණය කරයි. සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ ශාක උරාගන්නා කාබන්ඩයොක්‌සයිඩ් "රුබියෝලෝස්‌" සමග ප්‍රතික්‍රියා කර කාබන් තුනේ සංයෝගයන් නිපදවයි. එමගින් ශක්‌තිය වැය කර අවසානයේ දී ග්ලූකෝස්‌ අණුවක්‌ නිර්මාණය කරන අතර ඉතිරි කාබන් තුනේ කාබනික සංයෝගය රුබියලෝස්‌ ප්‍රතිනිර්මාණය සදහා භාවිත කෙරෙයි. මෙහි දී වඩා වැදගත් වන ප්‍රධාන ම ප්‍රොaටීනය වන්නේ "රුබිස්‌කෝ" නම් වූ උත්ප්‍රේරකයයි. පරිසරය වඩාත් උණුසුම් වන විට රුබිස්‌කෝහි කැමැත්ත ඔක්‌සිජන් වෙත යොමු වේ. එනිසා රුබියෝලෝස්‌ සමග ප්‍රතික්‍රියා කරන්නට ඔක්‌සිජන් පොලඹවයි. මේ සදහා කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ පහත වැටීම ද එක්‌තරා ආකාරයකට හේතු වෙයි. පරිසරය වඩාත් උණුසුම් වන විට ශාක තුළ ඇති ජලය වාෂ්ප වී යැම වළකාලීම සදහා පූටිකා වසා දමනු ලැබේ. එනිසා කාබන්ඩයොක්‌සයිඩ් උරාගැනීම අඩාළ වන අතර ම ප්‍රභාසංශ්ලෙෂණයෙන් නිපදවෙන ඔක්‌සිජන් අණු පිට වීම ද වළකාලයි. මේ වායු දෙකෙහි අනුපාතය වෙනස්‌ වීම නිසා සාපේක්‌ෂව ඔක්‌සිජන් සාන්ද්‍රණය වැඩි වී රුබිස්‌කෝ උත්ප්‍රේරකයේ අවධානය ඔක්‌සිජන් වෙතට යොමු වේ.

ප්‍රභාශ්වසනයේ දී රුබියෝලෝස්‌ වෙතට ඔක්‌සිජන් යොමු කිරීම නිසා නිපදවෙන්නේ ග්ලූකෝස්‌ නිෂ්පාදනයට හේතු වන කාබනික සංයෝග නො වේ. නිපදවෙන එම සංයෝග හේතු වන්නේ අවසානයේ දී කාබන්ඩයොක්‌සයිඩ් නිපදවීම සදහා වන අතර එහි දී සිදු වන අනෙක්‌ අවාසිදායක තත්ත්වය නම් ශ්වසනයෙන් නිපදවූ ශක්‌තිය ද වැය වීමයි. වියළි උණුසුම් දේශගුණයක්‌ සහිත අවස්‌ථාවල දී විශේෂයෙන් ම කාන්තාර ප්‍රදේශවල ඇත්තා වූ ශාකවලට මෙය විශාල ගැටලුවක්‌ වන අතර එනිසා ම එම තත්ත්වය මගහරවා ගනිමින් ජීවය පවත්වාගෙන යැම සදහා පරිණාමිකව ගැලෙපන යාන්ත්‍රණයන් ඔවුන් නිර්මාණය කර ඇත.

බොහොමයක්‌ ශාකවල කාබන්ඩයොක්‌සයිඩ් තිර කිරීමේ දී නිපදවෙන්නේ කාබන් තුනේ සංයෝග වන අතර මේ සුවිශේෂී ශාක නිර්මාණය කරන්නේ කාබන් හතරේ සංයෝග වේ. මෙහි දී පත්‍රය තුළට ඇතුළු වන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතික්‍රියා කිරීම සදහා තෝරාගන්නේ රුබියෝලෝස්‌ නො ව පොස්‌පිනෝපයෝරුවේට්‌ (PEP) නම් කාබන් තුනේ සංයෝගයකි. එය උත්ප්‍රේරකයක්‌ වන අතර එමගින් අවසානයේ දී කාබනික අම්ලයක්‌ වන "මැලේට්‌" නිෂ්පාදනය කෙරේ. මැලේට්‌ කාබන් හතරේ අණුවකි. මේ උත්ප්‍රේරකයේ විශේෂත්වය වන්නේ ඔක්‌සිජන් මගහැර කබන් පමණක්‌ තිර කිරීමට උපකාරී වීමයි. එනම් ප්‍රභාශ්වසනය සිදු වීම වැළැක්‌වීමයි.

අධික උණුසුම හේතුවෙන් පූටිකා වසා උත්ස්‌වේදනය වළක්‌වාලීම සිදු කරන කාන්තාරවාසී ශාක සිසිල් රාත්‍රියේ දී පූටිකා හැර දමා කාබන් ඩයොක්‌සයිඩ් පත්‍රය තුළට යහමින් ලබාගනිමින් මැලේට්‌ නිෂ්පාදනය කර පත්‍ර සෛල තුළ ගබඩා කරගනී. මෙලෙස යහමින් නිෂ්පාදනය කරගත් කාබන් හතරේ සංයෝගය වන මැලේට්‌ නැවත භාවිතයට ගැනෙන්නේ හිරු එළිය ඇති විට ය. එනම් දහවල් කාලයේ දී පමණි. එනිසා මේ ශාක ද ඔක්‌සිජන් නිපදවන්නේ දහවල දී පමණි. යහමින් නිපදවූ මැලේට්‌ කැල්වින් චක්‍රයට යොමු කර ග්ලූකෝස්‌ නිපදවා කබන් තිර කිරීම කාන්තරවාසී ශාකවල කදිම පරිණාමීය හැඩගැසීමකි. මේ ශාකවල අනෙක්‌ විශේෂත්වය වන්නේ නිපදවූ ඔක්‌සිජන් පිට කරන්නේ රාත්‍රියේ වීමයි. මේ ශාක "CAM (Crassulacean Acid Metabolism) ශාක ලෙස හඳුන්වන ලැබේ.

මාංශලමය පත්‍ර සහිත වීම බොහොමයක්‌ කාන්තරවාසී ශාකවල සුවිශේෂී ගුණයකි. ඒ යහමින් ජලය ගබඩා කරගැනීම සදහා ය. එමෙන් ම ඉටිමය වැස්‌මක්‌ පත්‍රයේ මතුපිට නිර්මාණය වීම ද පූටිකා දහවල දී වැසී තිබීම ද ඒ සදහා වූ හැඩගැසීම් වේ. පතොක්‌ වර්ග, කෝමාරිකා, දලුක්‌ වර්ග පමණක්‌ නො ව නුග කුලයේ සමහර ශාක ද එලෙස පරිණාමය වී ඇත. එමෙන් ම ජල සංරක්‌ෂණයේ අවශ්‍යතාව දැකිය හැකි ඕකිඩ් වැනි ශාකවල ද, වැලිස්‌නේරියා වැනි ජලජ ශාකවල ද මේ අපූරු අනුවර්තනය දැකිය හැකි ය. රාත්‍රියේ ගබඩා කරගත් කාබන්ඩයොක්‌සයිඩ් භාවිතයෙන් දහවල දී ග්ලූකෝස්‌ නිර්මාණය කරන මේ ශාක නිපදවෙන අතුරුඵලය රාත්‍රිය වන තුරු පත්‍ර තුළ රඳවා රාත්‍රියට පිට කරයි. එනිසා මේ ශාක ගෙවල් තුළ තබාගැනීම එක්‌තරා ආකාරයකට වාසිදායක තත්ත්වයක්‌ නිර්මාණය කළ ද රාත්‍රිය පුරාවට ම ඔක්‌සිජන් ලබා නො දෙනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 17 July 2019

විදුපත්ඉරුව
05.10.2016

"ශ්‍රී ලංකාව බොහොමයක්‌ ඛනිජ අපනයනය කරන්නේ අමුද්‍රව්‍ය හැටියට මිස ඒවායේ නිෂ්පාදන ලෙස නො වේ. ඒ නිසා ශ්‍රී ලංකාවට ලැබෙන්නේ අමුද්‍රව්‍ය වටිනාකමට වඩා වැඩි දෙයක්‌ නො වේ. විශේෂයෙන් ම තිරුවානා, ෆෙල්ඩ්ස්‌පාර්, ඉල්මනයිට්‌, රූටයිල් වැනි ඛනිජවලට අදාළ නියම මිල මෙරට ලබා ගන්නේ නැති බවයි මා ගේ අදහස" යනුවෙන් පසුගිය වතාවක මෙරටට පැමිණි මා ගේ ඕස්‌ටේ්‍රලියානු පර්යේෂණ සගයා කියා සිටි බව නැවත මතකයට නැගුණේ එක්‌තරා පුද්ගලයකු මා ගෙන් ෆෙල්ඩ්ස්‌පාර් නිධි පිළිබඳව විමසීම් කරන විටයි. ශ්‍රී ලංකාව ඛනිජවලින් පොහොසත් රටක්‌ බව අමුතුවෙන් ඔබට මතක්‌ කළ යුතු නැහැ. එනිසා ම ලෝකයේ විවධ රටවල අවධානය අප රට වෙත යොමු වී ඇති බව ඉතා හොඳින් පැහැදිලියි.

වර්ග කිලෝමීටර 65625ක්‌ වන මේ කුඩා දිවයින නිර්මාණය වී ඇත්තේ විවිධාකාරයේ පාෂාණවලින් වන අතර ඒවා බොහොමයක්‌ විපරීත පාෂාණ. මෙරට වපසරියෙන් 20%කට අඩු ප්‍රමාණයක්‌ නිර්මාණය වන්නේ අවසාදිත පාෂාණවලින්. මේ පාෂාණ සියල්ල නිර්මාණය වන්නේ ඛනිජවලින් වන අතර ඛනිජ යනු රසායනික සංයෝග. එහෙත් ඛනිජ නො වන රසායනික ඇති අතර එම රසායනික සංයෝගවලින් මේ ඛනිජ වෙන් වන්නේ මේවායේ ඇති සුවිශේෂී ලක්‌ෂණ නිසා මයි. ලොව පවතින සත්‍ය ඛනිජ සියල්ල ඝන ද්‍රව්‍ය වන අතර ඒවා ස්‌වාභාවික පරිසරයේ නිර්මාණය වනවා. ඒ සදහා සුවිශේෂී ක්‍රියාදාමයන් හේතු වන අතර එහි දී රසායනික ප්‍රතික්‍රියාවන් මූලික වනවා. ස්‌වාභාවික පරිසරයේ වෙසෙන ජීවීන් ද විටෙක ඛනිජ නිර්මාණය සදහා දායකත්වය සපයන අතර එමගින් අපූරු ඛනිජ වර්ග ලොවට බිහි කෙරෙනවා.

බොහෝ ඛනිජ ප්‍රමාණයක්‌ ලොව පවතින අතර ඒවා එකිනෙකින් වෙන් කර හඳුනාගැනීම ඉතා වැදගත් කාරියක්‌. ඛනිජ හඳුනාගැනීමේ දී බෙහෙවින් ඉවහල් වන්නේ එහි භෞතික ගුණාංග වන අතර අතිශය අසීරු අවස්‌ථාවක දී හෝ ඛනිජයේ අනන්‍යතාව තහවුරු කිරීමේ දී රසායනික ගුණාංගයන් ද උපයෝගී කරගැනෙනවා. ඛනිජයක භෞතික ගුණාංග වන්නේ එහි වර්ණය, ස්‌ඵටික හැඩය, කුඩුවල පැහැය, දැඩියාව, ප්‍රභාව, පැලු¨ම් තල සහ ඝනත්වයයි. මේ අතර විටෙක එම ඛනිජවල චුම්බක ගුණය, ආතන්‍ය සහ විතන්‍ය බව යනාදිය පමණක්‌ නො ව විදුලි සන්නායකතාව ද සලකා බැලිය හැකියි.

බොහෝ විට ඛනිජයක පැහැය තීරණය කරන්නේ එහි ඇති රසායනික සංයෝගය වන අතර ඛනිජයක ඇති අපද්‍රව්‍ය ද පැහැය ඇති කිරීම කෙරෙහි බලපෑමක්‌ සිදු කරනවා. ඛනිජය නිර්මාණය වී ඇති රසායනික සංයෝගයේ බන්ධන ආලෝක ශක්‌තිය උරාගන්නා අතර එහි වර්ණාවලියේ කිසියම් ශක්‌ති ඛණ්‌ඩයක්‌ උරා නො ගන්නා විට එම ශක්‌ති ඛණ්‌ඩයට අදාළ වර්ණය ඛනිජයේ වර්ණය ලෙස අපට දිස්‌ වනවා. එනිසා ඉතා අලංකාර වර්ණවත් ඛනිජ බොහොමයක්‌ ඉතා පහසුවෙන් වර්ණය පමණක්‌ භාවිත කර හඳුනාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ලොව පවතින බොහොමයක්‌ වර්ණවත් ඛනිජ මැණික්‌ ඛනිජ ලෙස අප අතරට පැමිණ තිබීම සුවිශේෂයි.

සැම ඛනිජයකට ම නිශ්චිත රසායනික සංයුතියක්‌ ඇති අතර එක ම ඛනිජයේ විවිධ නියදිවල රසායනික සංයුතිය වෙනස්‌ වන්නේ නැහැ. ඛනිජ යනු ස්‌ඵටිකීකරණය වූ ඝන ද්‍රව්‍ය වන අතර එනිසා සැම ඛනිජයකට ම ඉතා අලංකාර නිශ්චිත හැඩයක්‌ තිබෙනවා. එහෙත් එකිනෙකට වෙනස්‌ ඛනිජවල මේ හැඩයන් එකිනෙකින් වෙනස්‌. ඛනිජ ස්‌ඵටිකවල හැඩයන් අනුව ස්‌ඵටිකීකරණය වන ස්‌ඵටික පද්ධති හයක්‌ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකියි. මේ පද්ධති හයට අමතරව මෙලොව ඛනිජ ස්‌ඵටික බිහි කරන්නේ නැහැ. බොහෝ විට ස්‌වභාවයේ හමු වන්නේ මේ පද්ධති හයේ මුණගැහෙන සරල හැඩයන් නො ව එම සරල හැඩ මිශ්‍ර ව බිහි කරන තරමක්‌ සංකීර්ණ ස්‌ඵටික හැඩයන්.

මේ ස්‌ඵටික හැඩයන් නිර්මාණය සදහා මූලික වන්නේ ඛනිජවල ඇත්තා වූ විවිධ රසායනිකයන් විවිධ ආකාරයෙන් එකිනෙක සම්බන්ධ වීමයි. ඔවුන් එලෙස සම්බන්ධ වී අවකාශයේ මවනා රටාවන් ස්‌ඵටික හැඩයන් සදහා හේතු වනවා. සරල ම රසායනිකය අඩංගු ඛනිජ ස්‌ඵටිකයේ සිට සංකීර්ණ රසායනිකය මගින් මවන ඛනිජ ස්‌ඵටිකයේ පවා මේ නො නවතින අපූරු රටාවන් ඇති අතර එය ලොකු කුඩා විවිධ ප්‍රමාණවලින් භූ අවකාශය හැඩ ගන්වන්නට සමත්. මෙවැනි ස්‌වාභාවිකව මුණගැසෙන අපූරු ස්‌ඵටිකයන් විටෙක සියල්ල පුදුමයට පත් කරන්නේ ඒ වෙතට අප ආශක්‌ත කරමින්.

ලෝකය නිර්මාණය කර ඇති කබොලෙහි ප්‍රධාන වශයෙන් ම ඇත්තා වූ රසායනිකයන් වන්නේ සිලිකන්, ඇලුමිනියම් සහ ඔක්‌සිජන් වන අතර එනිසා ම එහි ඇත්තා වූ බොහොමයක්‌ ඛනිජ ඉහත කී රසායනිකයන් ගෙන් සමන්විතයි. මේ ඛනිජ සිලිකේට ඛනිජ ලෙස හඳුන්වනු ලැබෙනවා. කබොලෙහි 90%ක්‌ පමණ ම සමන්විත වන්නේ සිලිකේට ඛනිජවලින්.

ලොව ඛනිජ වර්ග 5300ක්‌ පමණ මේ වන විට වාර්තා වී තිබෙනවා. ඛනිජයක්‌ හඳුනාගැනීමෙන් පසු එම ඛනිජය අන්තර්ජාතික ඛනිජ සංගමයේ ලියාපදිංචි කළ යුතු අතර වත්මනේ එහි ලියාපදිංචි කර ඇති සත්‍ය ඛනිජ ප්‍රමාණය 5070ක්‌ පමණ වනවා. 1958 දී බිහි කළ මේ අන්තර්ජාතික සංගමයෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඛනිජ විද්‍යාව ලොව ප්‍රචලිත කිරීමත්, ඛනිජ පළිබඳ පර්යේෂණ ව්‍යාප්ත කිරීමත්.

ශ්‍රී ලංකාව ඛනිජවලින් පොහොසත් වුවත් එහි නිසි පල ප්‍රයෝජන නෙළාගැනීමට අපොහොසත් වීම එක්‌තරා ආකාරයකට අභාග්‍යයක්‌ වන අතර ඒ සදහා හේතු වන්නේ මෙරට විද්වතුන් ගේ ද පරිපාලකයන් ගේ ද දුර්වලතා සහ මැළිකම් ද කියා විටෙක අපට සිතෙනවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 16 July 2019

විදුපත්ඉරුව
28.09.2016

මහත්තයෝ මේ බැම්ම තවමත් ශක්‌තිමත්ව තියෙන්නේ මෝරපු ගලෙන් බැඳපු නිසයි. එක ළපටි ගලක්‌ වත් මේකට ගත්තේ නැහැ". පසුගිය දවස්‌වල නාය යැම් පර්යේෂණ කටයුතුවල නියෑළෙද්දී මට හමු වූ එක්‌තරා පුද්ගලයෙක්‌ එසේ ප්‍රකාශ කළේ ය. ඉතා හොඳින් බැඳ තිබූ බැම්ම නිසා ඔහු ගේ ගෙය අසල කණ්‌ඩිය කඩා නො වැටී තිබිණි. එහෙත් අක්‍රමවත් ව බැඳ තිබූ අසල තවත් ගෙදරක බැම්ම මුළුමනින් ම ඇදවැටී තිබුණු අතර එනිසා එම ගෙදරට ද තරමක්‌ හානි වී තිබිණි. තවදුරටත් ඒ පුද්ගලයා සමග සංවාදයේ යෙදෙද්දී වරෙක ඔහු මෙසේ ද පැවසුවේ ය. "මේ හරියේ පොළොව ඇතුළේ තියෙන කළුගල් තවම වැවෙන ඒවා. එක හින්දා වැඩිපුර හම්බ වෙන්නේ ළපටි ගල්. ඒක තමා ඔය උඩින් ම තියන්නේ. තව කාලයක්‌ යන කොට මේවා හොඳට මෝරපු කළු ගල් වේ වි". ඇත්තට ම පොළොව ඇතුළේ ඇති ගල් වැඩෙනවා ද? ඉහළින් තිබෙන කුඩු ගල කාලයක්‌ යද්දී කළුගලක්‌ වෙන්නට පුළුවන් ද? සමහර පුදගලයන් ගේ පාෂාණ පිළිබඳව ඇති දැනුම කෙතරම් සාවද්‍ය ද යන්න මින් අපට පැහැදිලි වේ.

පාෂාණ යනු පොළොව නිර්මාණය කරන තැනුම් ඒකක වේ. පෘථිවියේ කබොල නිර්මාණය කෙරෙන්නේ පාෂාණවලිනි. ඊට ඉහළින් විවිධ කාලවල දී නිර්මාණය වූ පස්‌ සහ අවසාදිත තට්‌ටුවක්‌ ඇත. සමහර ස්‌ථානවල පස්‌ නොමැති ව නිරාවරණය වූ පාෂාණ කලාප දක්‌නට හැකි වේ. පාෂාණ නිර්මාණය වන්නේ කෙසේ ද? ලෝකයේ ප්‍රධාන පාෂාණ වර්ග තුනකි. ආග්නේය පාෂාණ, විපරිත පාෂාණ සහ අවසාදිත පාෂාණ ලෙස ඒවා නම් කෙරෙන අතර, ආග්නේය පාෂාණ ප්‍රාථමික පාෂාණ ලෙස හැඳින්විය හැකි ය. මේ පාෂාණ යනු ඛනිජ සමූහයක එකතුවකි. සමහර පාෂාණ නිර්මාණය සදහා එක ඛනිජයක්‌ පමණක්‌ දායක වී ඇත. ඒවා "ඒක ඛනිජ පාෂාණ" ලෙස හැඳින්වේ. හුණුගල්, කිරිගරුඬ සහ තිරුවාන ගල් එවැනි පාෂාණ සදහා උදාහරණ වේ. එකකට වැඩි ඛනිජ සංඛ්‍යාවක්‌ දායක වී නිර්මාණය කෙරෙන ඛනිජ බහු ඛනිජ පාෂණ ලෙස නම් කළ හැකි ය. නයිස්‌ පාෂාණය සහ ග්‍රැනයිට්‌ පාෂාණ බහු ඛනිජ පාෂාණ වේ. පාෂාණ නිර්මාණය කරන්නට බහුලව දායක වන ඛනිජ පාෂාණකාරක ඛනිජ ලෙස හැඳින්විය හැකි ය. පාෂාණකාරක ඛනිජ 10ක්‌ පමණ ඇත. මින් ප්‍රධාන සහ බහුල ව ම දායක වන ඛනිජය වන්නේ තිරුවානා ඛනිජයයි. එනිසා ලොව බහුලව ම හමු වන ඛනිජය ලෙස වුව ද අපට හැඳින්විය හැකි ය. පෙල්ඩ්ස්‌පාර් ඛනිජය ද බොහොමයක්‌ පාෂාණවල හමු වේ. ප්‍රධාන වශයෙන් පෙල්ඩ්ස්‌පාර් වර්ග තුනකි. මයිකා වර්ග ද කිහිපයක්‌ හමු වේ. ඒ අතර බයෝටයිට්‌ මයිකා ප්‍රධාන වේ. ඇම්පිබෝල් සහ පයිරොක්‌සින් කුලයේ ඛනිජ ගණනාවක්‌ ද පාෂාණ නිර්මාණය සදහා දායක වේ.

අවුරුදු බිලියන 4.6කට පෙර ප්‍රාග් පෘථිවිය ගිනිගෙන දැවෙන ගෝලයකි. ඉතා අධික උණුසුම ඇති වූයේ විශාල වශයෙන් ගිනිකඳු පිපිරුණු නිසා ය. ග්‍රහක කැබැලි ඇද වැටීම ද මේ තත්ත්වය උග්‍ර කරවී ය. එනිසා මුල් අවස්‌ථාවේ පාෂාණ බිහි වූයේ නැත. නැත හොත් බිහි වූ පාෂාණ නැවත ද්‍රව වී ලාවා බවට ම පත් විය. ක්‍රමයෙන් සිදු වූ සිසිලනය ස්‌ථායි පාෂාණ තට්‌ටු බිහි කරන්නට හේතු විය. මේ පාෂාණ සියල්ල ම පාහේ ආග්නේය පාෂාණ විය. එපමණක්‌ නො වේ. අද පවා ඒ පාෂාණ බිහි වන්නේ ද්‍රව මැග්මා සිසිලනයෙනි. ආග්නේය පාෂාණ, ලොව ප්‍රාථමික පාෂාණ ලෙස හඳුන්වන්නේ එනිසා ය. එහෙත් අවසාදිත පාෂාණ නිර්මාණය වන්නේ මුහුදු පත්ලේ තැන්පත් වූ අවසාදිතවලිනි. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මේ අවසාදිත තැන්පතු පීඩනයට සහ උණුසුමට ලක්‌ වීම හේතු කොටගෙන ඒවා අවසාදිත පාෂාණ බවට පත් වේ. මෙලෙස සකස්‌ වූ ආගනේය සහ අවසාදිත පාෂාණ පොළොව අභ්‍යන්තරයේ දී අධික තාපයට සහ පීඩනයට ලක්‌ වීම විපරිත පාෂාණ බිහි කරන්නට හේතු වේ.

පොළොව මතුපිටට යම් පාෂාණයක්‌ ආවේ ද, ජීර්ණ ක්‍රියාවලියෙන් නම් බේරීමක්‌ නැත්තේ ය. එනිසා වායුගෝලයට නිරාවරණය වූ පාෂාණ අත්‍යන්තයෙන් ම ජීර්ණයට ලක්‌ වන්නේ ම ය. ඒ පොළොව මතුපිට පරිසරයට ඔරොත්තු දෙන්නා වූ ඛනිජ බිහි කරන්නට ය. ජලය ද, කාබන්ඩයොක්‌සයිඩ් වායුව ද, ඔක්‌සිජන් වායුව ද සමග ප්‍රතික්‍රියා කරන පාෂාණකාරක ඛනිජ ජීර්ණය හේතුවෙන් ද්විතීයික ඛනිජ නිර්මාණය කරයි. මැටි ඛනිජ ද යකඩ ඔක්‌සයිඩ ද මේ අතර ප්‍රමුඛ වේ. එහෙත් තිරුවානා ඛනිජය ජීර්ණයට ලක්‌ වන්නේ ඉතා අඩුවෙනි. භෞතික ජීර්ණය පාෂාණ කුඩා කැබැලිවලට වෙන් කරන අතර රසායනික ජීර්ණය හේතුවෙන් මේවා වෙනත් රසායනික සංයෝග බවට පත් කරයි. බොහොමයක්‌ පාෂාණ පොළොව මතුපිටට පැමිණෙද්දී කුස්‌තුර සහ පැලුම් ඇති වන නිසා යම් සවිවරතාවක්‌ ඇති කරගනී. මේ දුර්වල කලාප ඔස්‌සේ ජලය සහ ඉහත කී වායුන් රිංගා ගොස්‌ ජීර්ණ ක්‍රියාවලිය පාෂාණ අභ්‍යන්තරයේ වුව ද සිදු කිරීමට වගබලාගනී. ජීර්ණය හේතුවෙන් අවසානයේ දී බිහි කරන්නේ පසයි. මෙලස ඇති වන පස්‌ තට්‌ටු විවිධ හේතුන් නිසා ඛාදනයට ලක්‌ වන ඇතර වෙනත් ස්‌ථානවල තැන්පත් වීමෙන් අවසාදිත බිහි කරයි. එනිසා හැම විට ම පාෂාණයට ඉහළින් පස්‌ හෝ අවසාදිත හෝ අඩක්‌ ජීර්ණයට ලක්‌ වූ පාෂාණ කොටස්‌ හමු වේ. අඩක්‌ ජීර්ණයට ලක්‌ වූ පාෂාණ (කුදුගල්) යනු ළපටි පාෂාණ නො වේ. එමගින් එම ස්‌ථානයේ පහළින් වූ පාෂාණය නිර්මාණය සිදු නො වන බව ඔබ මතක තබාගත යුතු ය. පොළොව මතුපිට දී සිදු වන්නේ බිහි වූ පාෂාණ විනාශ වීම මිස නැවත නිර්මාණය වීම නො වේ. එනිසා කුඩුගල් කෙදිනක වත් මෝරන්නේ ද නැත.

පසුගිය සතියේ මෙහි සදහන් කෙරුණා වූ එක කරුණක්‌ සම්බන්ධව යම් නිවැරැදි කිරීමක්‌ කළ යුතු ය. ඒ මෙරට සිය දිවි හානි කරගැනීමේ "ස්‌ථාන" පිළිබඳ ව ය. මා මිතුරු ධනේෂ් විසුම්පෙරුම මහතා බුකියේ (fb) සටහනක්‌ තබමින් මා දැනුවත් කළේ මෙරට ඇත්තේ 22 වැනි ස්‌ථානයේ බවත් ශීඝ්‍රයෙන් මෙරට සියදිවි හානි කරගැනීම් අඩු වෙමින් පවතින බවත් පවසමිනි. ඒ සම්බන්ධව මා ඉතා ඉහළින් ම ඒ මහතාට කෘතඥ වන අතර ඒ මහතා විදුසරෙහි 2016.07.06 දින ලියූ ලිපිය කියවා ඔබ ගේ දැනුම ද යාවත්කාලීන සහ නිවැරැදි කරගන්නා ලෙස පාඨක ඔබ ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 15 July 2019

විදු පත් ඉරුව
21.09.2016

මේ වසර අවසාන වන විට ලෝක ජනගහනය බිලියන 7.4 සීමාව ඉක්‌මවා යනු ඇතැයි ද, 2024 වන විට එය බිලියන 8 සීමාවට ළං වනු ඇතැයි ද විශේෂඥයන් ගණනය කර ඇත. ආසන්න වශයෙන් සැම වසරක දී ම මිලියන 131ක්‌ පමණ දරුවන් මෙලොවට බිහි වන අතර වැඩිහිටි පුද්ගලයන් මිලියන 55ක්‌ පමණ වසරක දී මිය යන බව ය ලෝක ජනගහන දත්ත පෙන්වා දෙන්නේ. එනම් සැම තත්පරයක දී ම ආසන්න වශයෙන් දරුවන් හතර දෙනකු උපදින අතර පුද්ගලයන් දෙදෙනකු බැගින් මිය යයි. ලෝකයේ දියුණුවත් සමග ම මර්ත්‍යතාව (Mortality) අඩු වෙමිනුයි යයි. එනිසා දිනෙන් දින ලෝකයේ ජනගහනය ඉතා ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් ඇත. ඉහත දත්තවලින් ඒ බව ඉතා හොඳින් පැහැදිලි වේ.

ලෝකයේ වැඩි ම ජනගහනයක්‌ ඇත්තේ චීනයේ බව අමුතුවෙන් ඔබට පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. අද වන විට එරට ජනගහනය බිලියන 1.38ක්‌ වන අතර එම ප්‍රමාණය ලෝක ජනගහනයෙන් සියයට විස්‌සක්‌ පමණ වේ. එහි තේරුම ලොව සැම පස්‌ දෙනකු ගෙන් එක්‌ අයකු ම චීන ජාතිකයකු වන බවයි. ලොව වැඩි ම සම්පත් ප්‍රමාණයක්‌ පරිභෝජනය කරන රටක්‌ හැටියටත් ඒ අනුව චීනය නම් කරන්න හැකි බව පෙනේ. එසේ වුව ද ඇමෙරිකාව පසු කරන්නට නම් චීනයට තවම හැකියාවක්‌ ලැබී නැත. චීනය ජන ඝනත්වය අනුව වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 150ක්‌ පමණ සිටින රටක්‌ වන අතර ලෝකයේ බොහෝ රටවල මෙන් වැඩි ප්‍රමාණයක්‌ ජනතාව නගරාශ්‍රිත ව ජීවත් වේ. එහෙත් වර්තමානයේ චීන ජනගහන දත්ත පෙන්වන්නේ ජනගහන වර්ධනය ක්‍රමයෙන් අඩු වන බවයි. මේ වන විට එය 0.47%ක්‌ වන අතර එනිසා ලෝකයේ රටවල ජනගහන වර්ධන රටා අනුව 159 වැනි ස්‌ථානය හිමි කරගනී.

ලෝකයේ රටවල් අතුරින් වැඩි ම ජනගහන වර්ධන වේගයක්‌ මේ වන විට පෙන්නුම් කරන්නේ ලෙබනනය බව වාර්තා වේ. එය 9.37%කි. මිලියන 4.5කට ආසන්න ජනගහනයක්‌ වෙසෙන ලෙබනනයේ ජන ඝනත්වය අනුව වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 362ක්‌ පමණ වෙසෙන බව පෙනී යයි. ඊළඟට වැඩි ම ජනගහන වර්ධනයක්‌ ඇති රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එය 4.36%ක්‌ පමණ වේ. තෙවනුව දකුණු සුඩානය වන අතර එහි වර්ධන වේගය 4.12% පමණ වේ.ඒ අනුව ලෙබනනයේ ජනගහන වර්ධනය කොපමණ වේගවත් දැයි ඔබට හොඳින් වැටහෙනු ඇත. හතරවැනි ස්‌ථානය හිමි කරගෙන ඇත්තේ ජෝදානයයි.

ලෝකයේ වැඩි ම මර්ත්‍යතාවක්‌ පෙන්වන්නේ දකුණු අප්‍රිකාවයි. වසරක දී සැම මිනිසුන් දහසකට ම 17 දෙනකු එහි මිය යන බව වාර්තා වේ. යුක්‌රේනයේ එය 16 දෙනකු පමණ වේ. තෙවැනි තැන ගන්නා ලෙසොතෝහි එය 15කි. චැද්, ගිනි බිසව්, බල්ගේරියාව, ඇෆ්ගනිස්‌තානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සෝමාලියාව යනාදී අප්‍රිකානු සහ සමහර මැදපෙරදිග රටවල් මෙහි දී පෙරමුණ ගන්නා බව වාර්තා අනුව පෙනී යයි. මේ මරණවලට ප්‍රධානව බලපාන්නේ කවර කාරණා යෑයි ඔබ සිතන්නේ ද? පළමුවැන්න වන්නේ ඒඩ්ස්‌, ඉබෝලා වැනි වසංගත ඇති වීමයි. දෙවැන්න අභ්‍යන්තර ආරවුල් නිසා ඇති වන යුද්ධයන් ය.

ඉහත කී එක්‌ එක්‌ රටවල් සම්බන්ධයෙන් එය සත්‍ය වුවත් සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ඒ සදහා හේතු වන මූලික සාධක තරමක්‌ වෙනස්‌ බව වාර්තා වේ. වසර ගණනාවක්‌ තිස්‌සේ එක්‌ රැස්‌ කරන ලද දත්තවලට අනුව පෙනී යන්නේ මේ සදහා ප්‍රධානව බලපාන අභ්‍යන්තර සාධකය වන්නේ මිනිසුන්ට සෑදෙන වසංගත නො වන ලෙඩ රෝග (බෝ නො වන රෝග) බවයි. වසංගත නො වන ලෙඩ රෝග ලෝක ජනගහනයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක්‌ වූ මරණවලට හේතු වී ඇත. එයින් ද හදිසි හෘදයාබාධ සහ ආඝාත ප්‍රමුඛ මාරකය වී ඇති බව පෙන්නුම් කරයි. ශ්වසන ආබාධ ද ඉදිරියට පැමිණෙමින් ඇත. ලෝකයේ මිනිසුන් ඉදිරියේ දී අනුගමනය කරන ආහාර රටා සහ ජීවන ක්‍රමවේද නිසා මේ තත්ත්වය තවත් උත්සන්න වනු ඇතැයි අපට අනුමාන කළ හැකි ය. එනම් තව කාලයක්‌ යද්දී මනුෂ්‍ය මරණය තවදුරටත් සවාභාවික නො වනු ඇත.

මානසික ආතතතිය බොහෝ දියුණු රටවල බොහෝ මිනිසුන් අතර පවත්නා රෝගී තත්ත්වයකි. ඒ සදහා හේතු වන්නේ අධික ලෙස රාජකාරිවල නිරත වීම බව ද එහි දී ඇති වන විවිධ ගැටලුකාරී තත්ත්වයන් බව ද සොයාගෙන ඇත. විශේෂයෙන් ම බොහොමයක්‌ පෞද්ගලික අංශවල රාජකාරියේ නිරත වූවන් මේ තත්ත්වයෙන් බොහෝ පීඩා විඳින බව හෙළි වී ඇත. අධික ලෙස නිදිවැරිම ද මේ තත්ත්වය උග්‍ර කරන තවත් සාධකයකි. හිතවතුන් ගෙන් සහ ඥාතීන් ගෙන් වෙන් වී කාලයක්‌ තනි ව විසීම ද මේ තත්ත්වයට හේතු විය හැකි බව නවතම පර්යේෂණවලින් පැහැදිලි කර ඇත. තම ගැටලු සදහා නිසි පිළිතුරු නො ලැබීම සහ වැඩකටයුතුවල දී නිරතුරුව ම අසාර්ථක වීම ද දිගුකාලීනව මේ තත්ත්වය ඇති කරයි. ආතතියේ අවසානය සියදිවි හානි කරගැනීමයි. සියදිවි හානි කරගැනීම් වැඩි ම ප්‍රමාණයක්‌ වාර්තා වන්නේ ගයනාවෙනි. ඒ ප්‍රමාණය වසරක දී පුද්ගලයන් ලක්‌ෂයකට 44ක්‌ පමණ වී ඇත. දකුණු අප්‍රිකාවේ දී එය 29ක්‌ පමණ වී ඇත. මෙහි දී තෙවැනි වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ ප්‍රමාණය ආසන්න වශයෙන් 28ක්‌ පමණ වේ. මෙවැනි තත්වයකට ශ්‍රී ලංකාව පත් වූයේ මන්දැයි යන්න ඉතා විමසිල්ලෙන් සොයා බැලිය යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday, 13 July 2019

විදු පත් ඉරුව
14.09.2016

සමකාසන්න රටක්‌ වුවත් ශ්‍රී ලංකාව දූපතක්‌ වීම, එහි කුඩා වපසරිය තුළ බොහෝ දේශගුණික විපර්යාසයන් ඇති කරවන්නට හේතු වී ඇත. මෙරටට ඉහළ වර්ෂාපතනයක්‌ ගෙන දෙන නිරිතදිග මෝසම දිවයිනේ දකුණු, නිරිත සහ බටහිර කලාප තෙත් කලාපයක්‌ කරන්නට සමත් වන අතර ඒ සදහා ප්‍රධාන කොට ම හේතු වන්නේ නිරිතදිගින් හමන සුළඟට බාධාවකින් තොර ව සාගර ජලය ඔසවාගෙන එන්නට හැකි වීම බව පැහැදිලි ය. සදාකල්හි ම හරිත වර්ණයෙන් බැබළෙන තෙත් කලාපය නිරිතදිග මෝසමෙන් කදිමට ජල පහස ලැබීම මෙන්ම නිවර්තන කලාපය සුපුරුදු උණුසුම ද අඩුවක්‌ නොමැති ව ලැබීම සදා නො නවතින එක්‌ භූ ක්‍රියාවලියක්‌ තීව්‍ර කරන්නට හේතු වන බව බොහෝ දෙනෙක්‌ නො දනිති. ඒ නම් කොතෙක්‌ වැර වෑයම් කළ ද නැවැත්විය නොහැකි "පාෂාණ ජීර්ණය"යි.

ලැබෙන අධික වර්ෂාපතනයත් කදිම උණුසුමත් නිසා වෙනත් කලාපවලට වඩා වැඩියෙන් පාෂාණ ජීර්ණ ක්‍රියාවලිය තෙත් කලාපයේ ඉතා හොඳින් සිදු වේ. එනිසා ම විසල් පස්‌ (Soil) සහ අවසාදිත (Sediment) තට්‌ටු ඇති කරන්නට සමත් වේ. පාෂාණ ජීර්ණය ඉතා අපූරු භූ රසායන ක්‍රියාදාමයකි. පොළෝ අභ්‍යන්තරයේ බිහි වන විපරිත සහ ආගනේය පාෂාණ පමණක්‌ නො ව සාගර අභ්‍යන්තරයේ බිහි වන අවසාදිත පාෂාණ ද ජීර්ණයට ලක්‌ වන්නට නම් පොළොව මතුපිටට පැමිණිය යුතු ම ය. වායුගෝලය හා ගැටීම ඔක්‌සිජන් සහ කාබන්ඩයොක්‌සයිඩ් නමැති වායුන් සමග පාෂාණයේ ඛනිජ ප්‍රතික්‍රියා කරවන්නට වග බලාගනී. ජලයෙන් තෙත් වීම එම ක්‍රියාවලිය සදහා මහඟු උපකාරයක්‌ ලබා දෙන අතර සමහර "ජලජ" ප්‍රතික්‍රියා සදහා ද හේතු වේ.


ෆෙල්ඩ්ස්‌පාර් ඇතුළු යකඩ ඛනිජ ද ජීර්ණයට ලක්‌ වන්නේ වුව ද තිරුවානා ඛනිජය නම් ඉතා ම අඩුවෙන් එම බලපෑමට ලක්‌ වේ. බොහොමයක්‌ ඛනිජවල ඇත්තා වූ සෝඩියම් සහ පොටෑසියම් වැනි කැටායන ජලයේ දිය වී එම ඛනිජවලින් ඉවත් වීම මෙහි දී කැපී පෙනෙන සිදුවීමකි. ඒ අතරේ තම නිවහනට තමා ඉන්නා පරිසරයට ඇලුම් කරන ෆෙල්ඩ්ස්‌පාර් ඛනිජයේ ඇති ඇලුමිනියම් ද යකඩ ඛනිජවල ඇති යකඩ ද ඔක්‌සයිඩ බවට පත් ව එහි ම තැන්පත් වන්නට හේතු වන බව පෙනී යයි. අධිකව මේ ක්‍රියාවලිය සිදු වන මෙරට තෙත් කලාපය සුවිශේෂී ද්විතීයික පාෂාණයක්‌ ඇති කරන්නට හේතු වේ. ඒ ඔබ හොඳින් දන්නා "කබොක්‌" (Laterite) පාෂාණය වන අතර එය බිහි වන්නට හේතු වන්නේ වරින් වර සිදු වන ජලයේත් හිරු රශ්මියේත් බලපෑම බව හොඳින් පැහැදිල කරුණකි. ජීර්ණය හේතුවෙන් වැසි සමයේ ජලයට මුසු වන කැටායන වියළි කාලයේ කේශික ආකර්ෂණය හේතුවෙන් පොළෝ මතුපිටට පැමිණෙන අතර ඊළඟ වැසි සමයේ දී සේදී යයි. දිගු කාලයක්‌ තිස්‌සේ මේ ක්‍රියාදාමය සිදු වන්නේ ක්‍රමයෙන් කබොක්‌ පාෂාණය බිහි කරමිනි. තෙත් කලාපයේ බොහොමයක්‌ තැනිතලා ප්‍රදේශවල මෙය ඉතා හොඳින් සිදු වන්නේ ජීර්ණයෙන් ඇති වන පස්‌ තට්‌ටු බෑවුම් සහිත කලාපවල මෙන් ඛාදනයට ලක්‌ නො වන නිසාවෙනි.

"කබෝකීකරණය" (Laterization) තෙත් කලාපයේ සුලබව සිදු වන භූ රසායනික සංසිද්ධියක්‌ වන අතර, දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වීම නිසා ඉතා ගැඹුරු කබොක්‌ තට්‌ටු නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම කොළඹ සහ කළුතර අතර කලාපයේ බොහොමයක්‌ ස්‌ථානවල කබොක්‌ පාෂාණ දැකිය හැකි වේ. ජලයෙන් තෙත් ව ඇති කල ඉතා මෘදු වන අතර එම නිසා ඉතා පහසුවෙන් පිහියකින් වුව ද කැබැලි කිරීමේ හැකියාව ඇත. එහෙත් වායුගෝලයට නිරාවරණය වූ විට එහි ජලය වෂ්ප වීම හේතු කොටගෙන ද ඔක්‌සිජන් හා යකඩ ඛනිජ ප්‍රතික්‍රියා කර ඔක්‌සයිඩ සැදීම නිසා ද ඉතා තද ද්‍රව්‍යවයක්‌ බවට පත් වේ. යටත්විජිත සමයේ ඉදි කෙරුණ ගොඩනැගිලිවල "කබොක්‌ ගඩොලු" බහුලව යොදාගෙන ඇති බව කොළඹ, කළුතර ප්‍රදේශවල ගොඩනැගිලි නිරීක්‌ෂණයේ දී පෙනී යයි. අලුත් කබොක්‌ තට්‌ටු පොළෝ මතුපිටට නිරාවරණය වූ විට ඉහත කී හේතුන් නිසා ක්‍රමයෙන් ඝනකම් වී ඉතා තද පෘෂ්ඨයක්‌ (Fericrete) නිර්මාණය කරයි. යකඩ බහුල මේ කඨෝර ස්‌තරය වගා කටයුතු කිරීමට නම් සහයෝගයක්‌ ලබා දෙන්නේ නැත.

සවිවර බව මේ කබොක්‌ පාෂාණයේ ප්‍රමුඛ ලක්‌ෂණයක්‌ වේ. එයට හේතුවන්නේ මවු පාෂාණයේ සමහර ඛනිජ ද්‍රව්‍ය සේදී යැමයි. මේ ලක්‌ෂණය භූගත ජලය ගබඩා කරගැනීම සදහා හේතු වන ඉතා විශිෂ්ට ගුණාංගයක්‌ වන අතර ඉතා කදිම භූගත ජලාශ (ජලාධාර) බිහි කරන්නට හේතු වේ. කොළඹ, කළුතර ප්‍රමුඛ දකුණු සහ බස්‌නාහිර ප්‍රදේශයේ භූගත ජලාධාර බොහොමයක්‌ මෙලෙස නිර්මාණය වූ ජලාධාර වේ. යකඩ බහුල භූ ද්‍රව්‍යයක්‌ සමග නිරන්තරයෙන් ම ගැටීම හේතු කොටගෙන මේ ජලාධාරවල ජලයේ ප්‍රතිශතය වැඩි අගයක්‌ ගනී. කබොක්‌ පාෂාණවල කණිනු ලැබූ ළිංවල ජලය මතුපිට මළකඩ තට්‌ටුවක්‌ පා වන්නේ එහෙයිනි. මේ නිසා ජලයට තරමක්‌ තිත්ත රසයක්‌ ගෙන දෙන අතර කබොක්‌, වැලි සහ අඟුරු මිශ්‍රිත පෙරණයක්‌ මගින් පහසුවෙන් ඉවත් කරගැනීමේ හැකියාව ඇත. කබොක්‌ පාෂාණය දූෂිත ජලය පිරිසිදු කිරීම සදහා යොදාගත හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

කබොකීකරණය හේතුවෙන් සාන්ද්‍රගත වන ප්‍රධාන ම මූලද්‍රව්‍යය වන්නේ යකඩ ය. එයට අමතරව ඇලුමිනියම් සහ නිකල් ද මේ අතර වෙයි. සියයට අසූවක්‌ පමණ යකඩ ප්‍රතිශතයකින් හෙබි ශ්‍රී ලංකාවේ කබොක්‌ පාෂාණ ඉතා හොඳ යකඩ ප්‍රභවයකි. ගොතයිට්‌ නමින් හැඳින්වෙන යකඩ හයිෙඩ්‍රාක්‌සයිඩය ද හෙමටයිට්‌ නැමති ඔක්‌සයිඩය ද කබොක්‌වල ප්‍රධාන ඛනිජ සංයුතිය වේ. ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් සාන්ද්‍රගත වූ නිධි හමු නො වේ. එහෙත් ලෝකයේ ඇලුමිනියම් සහ නිකල් ලෝහ නිස්‌සරණය කරන්නේ මෙලෙස නිර්මාණය වූ නිධිවලිනි.

කබොක්‌ පාෂාණය ගැන පළමු තතු ලොවට ඉදිරිපත් කරන ලද්දේ ෆ්‍රeන්සිස්‌ හැමිල්ටන් නමැති විද්‍යාඥයා විසිනි. ඒ 1807 දී වන අතර ඒ දකුණු ඉන්දියාවේ දී සොයාගත් නියෑදි අනුව ය. "Laterite" යන්න "ගඩොලු" යන තේරුම ගෙන එන ලතින් වචනයකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 12 July 2019

විදුපත්ඉරුව
31.09.2019

ප්‍රභාසංශ්ලේෂකයෝ ද, රසාසංශ්ලේෂකයෝ ද ස්‌වයං ශක්‌ති ජනකයෝ වෙති. එහෙයින් ප්‍රභාසංශ්ලේෂකයන්ට හිරු එළිය ලැබෙන තාක්‌ බිය විය යුතු නො වේ. රසාසංශ්ලේෂකයන් හට හිරු එළිය නොමැති වුව ද ජීවය පවත්වාගෙන යැමේ ගැටලුවක්‌ පැන නො නගී. පරිණාමය එතරම් ම විස්‌මයජනක ය. ප්‍රභාසංශ්ලේෂකයෝ රසාසංශ්ලේෂකයන් ගෙන් පරිණාමය වූවෝ වෙති. මේ හරිතප්‍රදධාරීහු ලොව හිරුඑළිය වැටෙන සැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම පැතිර ගියෝ වෙති. ඔවුහු ජලයේ ද ගොඩබිම ද එක සේ ව්‍යාප්ත ව අතීත පෘථිවියේ විවිධ යුගවල දී ප්‍රමුඛව තව තවත් පරිණාමය වී, අවසන අපුෂ්පකයන් වී "හෙලූ බීජ" තනා එයින් ද නො නැවතී තව තවත් පරිනාමිකව ලොව මලින් සරසන්නට සමත් වෙති. ඒ සපුෂ්පකයන් බිහි කිරීමෙනි. හෙලූ බීජ තැනූ අපුෂ්පකයන් ගෙන් දැන උගත් පාඩම් නිසා "පල බර" එමෙන් ම ලොව "උසස්‌ ම ශාක" බවට පත් වූ සපුෂ්පකයෝ තමා නිර්මාණය කළ ඵලයේ දරු බීජ සඟවා අපූරු ආරක්‌ෂාවක්‌ සලසා දුන්නෝ ය.

ඒ කෙසේ වෙතත් හිරු පවතින තාක්‌ ශක්‌ති අහේනියක්‌ සපුෂ්පකයන්ට නො දැනෙන්නේ වුව ද ඔවුහු පවතින්නා වූ පරිසරය විටෙක තම වර්ධනයට අකුල් හෙළන්නෝ ය. ඒ වර්ධනයට අවැසි ඛනිජ ලවණ ප්‍රමාණාත්මකව ලබා නො දීමෙනි. නයිට්‍රජන් අවශ්‍යතාව ඒ අතර ප්‍රබල සාධකයක්‌ වේ. මේ තත්ත්වය බොහෝ විට ඇත්තේ මඩවගුරුමය පහත් බිම්වල ය. නැත හොත් පසේ ඝනකම ඉතා අඩු මවු පාෂාණ තට්‌ටු මත ය. එනිසා මෙතරම් පරිණාමය වූවන් කෙලෙස නම් එම පරිසරය ජයගෙන ඇත්ද යන්න අප විමසා බැලිය යුතු ම ය.

බොහොමයක්‌ ශාක තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නේ පසේ නිපදවෙන නයිට්‍රජන් අඩංගු සංයෝග ඇසුරෙනි. විදුලි කෙටීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස භෞතිකව නිපදවී පසට එක්‌ වන නයිටේ්‍රට හෝ ක්‌ෂුද්‍රජීවීන් ගේ ක්‍රියාවෙන් මූලගැටිතිවල නිපදවෙන නයිට්‍රෙට ඉතා පහසුවෙන් උරාගැනීමේ හැකියාවක්‌ මොවුන් සතු ව ඇත. පොළොව මතුපිටට නිරාවරණය වූ මවු පාෂාණ තට්‌ටුවල ඛනිජ ලවණ රැෙදන්නට තරම් උපස්‌තරයක්‌ නිර්මාණය නො වීම නයිට්‍රජන් හිඟතාවට හේතු වේ. එමෙන් ම වගුරුමය පරිසරවල නයිට්‍රජන් හිඟ වන්නට ප්‍රධාන කාරණාව වන්නේ එහි පවතින නයිට්‍රජන් වායුව බවට පත් ව පද්ධතියෙන් ඉවත් වීමයි. එය ඔක්‌සිජන් රහිත පරිසරයේ ඉන්නා ක්‌ෂුද්‍ර ජීවීන් පසෙහි රැඳී නයිට්‍රජන් වායුගෝලයට මුක්‌ත කරන බැවිනි.

හාජීවීන් ගේ අහිංසකයෝ මේ කරුණේ දී ඉතා රැඩිකල් තීරණයක්‌ ගෙන ඇති බව ඔවුන් ගේ දේහ විලාසය දෙස බැලීමෙන් තේරුම්ගත හැකි ය. ඒ කිසිවක්‌ නො ව තම ජීවය පවත්වාගෙන යැම සඳහා ම "මාංශභක්‌ෂණයට" හුරු වීමයි. විශේෂයෙන් ම මේ පරිසර පද්ධතිවල වෙසෙන සමහර ශාක කෘමි භක්‌ෂණයට පෙලඹී ඇත. එමගින් සතුන් ගේ දේහගත නයිට්‍රජන් උරාගැනීමට මං පාදාගෙන ඇත. මේ සදහා ඉතා සංවිධානාත්මකව විවිධ විකරණයන් සිදු කර ඇත. එහි දී ප්‍රධාන කාරණාව වී ඇත්තේ අදාළ ජීවියා අල්ලාගැනීමයි. විවිධ උගුල් අටවා සතුන් එම උගුලේ පටලා තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නට ඔවුහු බොහෝ සමත්කම් පාන්නෝ ය.

මේ මාංශභක්‌ෂකයන් සතුන් අල්ලාගැනීම සදහා සකස්‌ කර ඇති උගුල් විවිධ ය. සමහරක්‌ ඒ සදහා ම සුවිශේෂී මල්ලක්‌ නිර්මාණය කර ඇත. පත්‍රයේ කෙළවර "මරඋගුල" තැනීම සදහා විකරණය වී ඇති අතර එය අපූරු බඳුනක්‌ වීම විස්‌මයජනක ය. එලෙස සාදන බඳුනේ සතුන් ආකර්ෂණය සදහා ද, ජීර්ණය සදහා ද වැදගත් වන පැණි රසැති දියරයක්‌ පුරවා ඇත. මේ අප කවුරුත් හොඳින් හඳුනන බාඳුරා ශාකයයි. නිවර්තන කලාපයේ රටවල බහුලව දැකිය හැකි මේ ශාක විශේෂ (Nephenthus sp) ගොදුරු කරගන්නේ බොහෝ විට කෘමි සතුන් වන අතර "බාඳුරා පැණිය" වැස්‌සෙන් තනුක වීම වළක්‌වනු වස්‌ ඉහළින් පියනක්‌ ද නිර්මාණය වීම කෙතරම් හොඳින් තම කාර්යය සදහා අනුවර්තනය වී ඇත් ද යන්නට කදිම උදාහරණයක්‌ සපයයි. බඳුනේ කර මතට නගින කෘමි සතුන් ඉතා පහසුවෙන් බඳුන තුළට තල්ලු කරලීම සදහා කරගැට්‌ට සුමුදු කරන්නට ද වගබලාගෙන ඇත. එනිසා බඳුනට එබෙන කිසිදු කෘමියකු යහතින් ආපසු නො යන බව නම් නිසැක ය. විවිධ ලෙස මෙවැනි බඳුන් නිර්මාණය කර සතුන් අල්ලාගන්නා ශාක විශේෂ බොහොමයක්‌ ලොව පවතින අතර අප ගේ වාසනාවට ඔවුන් විශාල සතුන් අල්ලාගැනීම සදහා අනුවර්තනය වී නොමැති ය.

ඉතා වේගවත් චලනයකින් තම ගොදුර ඩැහැගැනීමට විශේෂණය වූ ශාක ද මේ අතර වෙයි. තම පත්‍රයේ කෙළවර බෙදී දෙපෙති තනා උගුල නිර්මාණය කර ඇත. උගුලේ රැඳෙනා කෘමියකු සිර කරගැනීමට මේ ශාකවලට ගත වන්නේ ඇසුරු සැණකි. පත්‍රයේ බාහිර දාරයේ ඇති ඝනකම් රෝම පත්‍රයේ දෙපෙති වැසුණු පසු කෘමියාට ගැලවී යැමට ඇති ඉඩ තවත් අසුරයි. කෘමි සතා ගේ ආගමනය සන්නිවේදනය සදහා පත්‍රය මධ්‍යයේ සියුම් කෙඳි නිර්මාණය වී ඇති අතර කෘමියා එහි ගැටුණු විගස රසායනික සංවේදනයෙන් ඉතා වේගයෙන් පත්‍ර දෙපෙති වසා දමනු ලබන්නේ කෘමියාට ක්‍රියාත්මක වීමට ඉඩක්‌ නො තබා ම ය. "වීනස්‌ ගේ මැසි උගුල" (Venus's flytrap- Dionaea muscipula) මේ බවට කදිම නිදසුනකි.

කෘමි සතුන් ග්‍රහණය කරන්නට ඇලෙනසුලු ද්‍රdව සහිත පෘෂ්ඨ නිර්මාණය කරන්නෝ ද මේ අතර වෙති. මේ සදහා වැදගත් වන මැලියම් වෑස්‌සෙන ග්‍රන්ථි පත්‍රයේ මතුපිට පෘෂ්ඨයේ ඇති අතර පෘෂ්ඨය මත වසන හෝ ගමන් කරන හෝ කෘමි සතා ගේ පාද ද ක්‍රමයෙන් දැඟලීම නිසා මුළු ශරීරය ද ඇලෙයි. එහෙත් විශාල කෘමි සතුනට මේ උගුලෙන් ඉතා පහසුවෙන් ගැලවී යා හැකි ය. කඳුලැස්‌ස (Droseracapensis) ශාකය මෙසේ ඇලෙනසුලු මැලියම් යොදා කෘමීන් අල්ලාගන්නා කෘමි භක්‌ෂකයෙකි. ජලයේ වෙසෙන මාංශ භක්‌ෂකයෝ ද (Utricularia sp) කදිම උගුල් සකසා ඇත. ආසෘතියෙන් ජලය ඉවතට විද රික්‌තයක්‌ තම උගුල් මල්ලේ ඇති කර ජලජ ජීවීන් අල්ලාගැනීමට ඔවුහු සමර්තයෝ ය.

මෙවැනි නානාප්‍රකාර අනුවර්තනයන් ගෙන් සපිරි මාංශභක්‌ෂකයන් මෙලෙස කදිමට පරිසරය ජයගෙන ඇත්තේ අප කවුරුත් සජීවීන් ගේ අහිංසකයන් ගෙන් කිසි දා බලාපොරොත්තු නො වන ක්‍රමවේදයන් ගෙන් වුව ද ඒ සියල්ල දුෂ්කර පරිසරයේ තම ජීවය ගැටගසා ගන්නට පමණක්‌ නො ව තම පරපුරේ අඛණ්‌ඩතාව පවත්වාගෙන යන්නට පමණක්‌ ම බව ද ඉතා හොඳින් මේ සියල්ල විශ්ලේෂණය කළේ නම් අපට පැහැදිලි වනවා ඇත. එය ආත්මාර්ථකාමී මිනිසා ගේ කුරිරු අරමුණුවලින් සදා වියුක්‌ත බව ද ඔබට පැහැදිලි වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...