Saturday 24 August 2019

විදු පත් ඉරුව
12.04.2017

බක්‌ මහේ විශේෂත්වය ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන සිංහල අලුත් අවුරුද්දයි. කවරකු කෙසේ කීවත්, කවර අර්ථකතන දුන්නත් සිංහලයා ගේ නිර්මාණශීලිත්වය සහ අදීනත්වය හඬ ගා කියන්නේ මෙමගින් බව බොහෝ දෙනකු තේරුම් ගන්නේ නැත. ඉතා කදිම අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරිපුන් සිංහල අලුත් අවුරුද්ද ගෙවී යන වසරේ අවසානයත් එළඹෙන වසරේ ආරම්භයත් සනිටුහන් කරයි.

සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර ජලයට ලැබෙන්නේ ද ඉහළ ප්‍රමුඛතාවකි. සැම සුබ කටයුත්තක්‌ ද පටන් ගැන්මේ දී ඉදිරියට එන ජලය පිරි කළය ගෙන එන්නේ සුබ පණිවිඩයකි. ජීවයේ අඛණ්‌ඩතාව රඳා පවත්නේ ජලය මත බව හොඳින් තේරුම්ගත් අපේ මුතුන් මිත්තෝ ජලයට ගෞරව කළ හ. එමෙන් ම එය රැකගැනීම සදහා කදිම සංරක්‌ෂණ ක්‍රමවේද නිර්මාණය කළ හ. ජලය රැස්‌ කර, නැති කල ප්‍රයෝජනයට ගැනීමට උපාය උපක්‍රම ලෙස ඉතා කදිම විස්‌මයජනක වාරි තාක්‌ෂණයක්‌ බිහි කළ හ. සැමට භාවිතයට ගත හැකි ලෙස දියුණු භෞතික මෙන්ම සමාජ ක්‍රමවේද ද ඇති කළ හ. ඒ එතරමට ජලයේ වටිනාකම හඳුනාගෙන තිබූ බැවිනි.

නා නා අයුරින් අපට පිහිට වන ජලයට ප්‍රතිඋපකාර කරන්නට සිංහලයාට වැදගත් වූ සිංහල අලුත් අවුරුද්දේ ඔවුන් අමතක කරන්නේ නැත. සිංහලයා, ඉතා වැදගත් චාරිත්‍රයක්‌ වූ සැමට පළමු සිදු කරන ගනුදෙනු චාරිත්‍රයේ, ප්‍රමුඛතාව දෙන්නේ ජලයත් සමග කරන ගනුදෙනුවට ය. කළයත් රැගෙන යන ගෘහ මූලික කාන්තාව (අම්මා) කළය ජලයෙන් පුරවා ගන්නේ ළිඳට කාසියක්‌ ද අඟුරු කැබැල්ලක්‌ ද එක්‌ කරමිනි. කාසිය මුදල් ගනුදෙනුව පිළිබිඹු කරන අතර අඟුරු කැබැල්ල ප්‍රතිඋපකාරය සංකේතවත් කරයි. අඟරු කදිමට විෂ උරා ජලයෙන් එම විෂ ඉවත් කරන බව මා ඔබට අමුතුවෙන් විස්‌තර කරන්නට අවැසි වන්නේ නැත.

එවැනි සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ අප අද ජලයට කෙතරම් කුරිරු ලෙස සලකන්නේ ද යන්න කතා කළ යුතු ය. අධිරාජ්‍යවාදී පාලන කාලයේ පටන් සිදු වූ සමාජ පෙරළිය මෙරට සංස්‌කෘතිය උඩු යටිකුරු කර ඇති අයුරු රුසියානු ලේඛකයකු වූ මෙරට සංචාරය කළ ඉවාන් බූනින් කදිමට සිය නිර්මාණවල සඳහන් කරයි. පළමුව සිදු වූ මෙරට නාගරික ජනතාව ගේ පෙරළිය ඔහු ගේ නිර්මාණවල පැහැදිලි කර ඇති අයුරු ආකර්ෂණීය ය. පරිසරය තම ජීවයේ කොටසක්‌ ලෙස සලකමින් තිබූ ජාතියක්‌ විනාශ මුඛයට ඇද දමා ඇති අයුරු දැන් දැන් සිදු කරන පාරිසරික දූෂණය අපට පසක්‌ කර දෙන බව පැවසිය යුතු ය.

එලෙස විකසනය වූ කොළඹ අද වන විට නාගරීකරණයේ උච්චතම අවස්‌ථාව පසු කරන බව හොඳින් පැහැදිලි වේ. මතුපිට ජල මූලාශ්‍ර සියල්ල නැවත භාවිතයට ගත නොහැකි ලෙස දරුණු ලෙස දූෂණයට ලක්‌ වී ඇති බව බේරේ වැව දෙස බැලීමේ දී පැහැදිලි වේ. කොළඹ ජනතාව ගේ සියලු කුණු කන්දල් කිසිදු වග විභාගයකින් තොර ව එක්‌ කිරීම නිසා අඳුරු පැහැති ජලයෙන් පිරි බේරේ වැව ද ඒ ආශ්‍රිත ඇළ මාර්ග පද්ධතිය ද අද අපට කියාපාන්නේ අපූරු ජලසංස්‌කෘතියක අවසානයයි. මෙතරම් වටිනාකමකින් යුක්‌ත ජල සම්පත භාවිතයට ගැනීමට නොහැකි වීම තුළ පිටස්‌තර ජල සැපයුම මත ම යෑපෙන්නට අද අපට සිදු වී ඇත. හදිසි ජල විසන්ධි වීම් නිසා නාගරික ජනතාව කෙතරම් අපහසුතාවට පත් වන්නේ ද බව කිව යුතු නො වේ.

දිනෙන් දින වර්ධනය වන ජල දූෂණය නවතාලිය නොහැකි වේ යෑයි අප සිතිය යුතු නැත. මේ සදහා අවැසි වන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ පමණි. ඒ තුළ ජල සංරක්‌ෂණයේ වැදගත්කම අවබෝධ කරගත යුතු ය. කොළඹ ඇල වේලි තුළින් ගලා යන ජලය සුපිරිසුදු විය යුතු බව ය අප ගේ හැඟීම.

මේ සදහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? මෙහි දී නීතිරීති තදින් ක්‍රියාත්මක කළ යුතු ය. දූෂිත වූ ජලය එකතු කිරීම වහා නතර කළ යුතු ය. නිවෙස්‌වල මෙන්ම ආපන ශාලා ඇතුළු සියලු වෙළෙඳසල්වල එකතු වන අප ජලය පිරිපහදු නො කර බේරේ වැව සහ ඒ අවට ජල මූලාශ්‍රවලට එකතු කිරීම නො කළ යුතු ය. ඒ සදහා පිරිපහදු ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතු ය. ඉතා පහසුවෙන් ක්‌ෂුද්‍ර පෙරහන් මගින් ජලයෙන් දූෂකකාරක පෙරා වෙන් කළ හැකි ය. නැත හොත් වෙනත් ක්‍රමවේදයක්‌ උත්පාදනය කළ යුතු ය. නාවෝත්පාදකයන්ට මෙය කදිම අවසථාවක්‌ මෙන්ම අභියෝගයක්‌ ද වනු ඇත.

නැවත නැවත දූෂිත ජලය එකතු වීම නැවැත්වීම තුළ තවදුරටත් මේ ජල නිධිවලට දූෂකකාරක එකතු වීම නවතිනු ඇත. දැන් කළ යුත්තේ එහි වූ දුෂිත ජලය පිරිසිදු කිරීමයි. මේ සදහා විවිධ ස්‌ථානවල සවි කළ හෝ පා වන ජල පෙරණයන් භාවිත කළ හැකි ය. මූලිකව කිසියම් ආකාරයකට බලශක්‌ති වැය වීමක්‌ සිදු වන මුත් එයට වඩා වැදගත් වන්නේ කොළඹ මතුපිට ජල නිධිවල සුපිරිසිදුභාවයයි. ජල පිරිපහදුව සදහා ජෛවීය ක්‍රමවේද වුව භාවිත කළ හැකි ය. මෙරට නවොත්පාදකයන් ගේ දෙවැනි අභියෝගය වන්නේ මෙයයි. දූෂිත මතුපිට ජලය පිරිසිදු කළ හැකි ක්‍රමවේදයක්‌ යෝජනා කර ක්‍රියාත්මක කිරීමයි.

කොළඹ මතුපිට ජල නිධි නැවත යථා තත්ත්වයට පත් වන දවස ගැන අදහසක්‌ නොමැති වුවත් එවැනි සිහිනයක්‌ ගැන වත් අප සිතිය යුතු ය. මෙරට විවිධ පර්යේෂණ ආයතනවල අයාලේ යන පර්යේෂණ සහ මෙරට මරි මෝඩ පාලකයන් ගේ කෙස්‌ පැලෙන තර්ක කිරුළු පළඳින තාක්‌ මෙන්ම මුදල ද, තම පෞද්ගලික අවශ්‍යතාවල ද පමණක්‌ ප්‍රමුඛ කරගත් මෝඩ ඡන්දදායකයන් ද සිටින තාක්‌ මෙය කළ නොහැකි බව පසු ගිය කාල වකවානුව පුරා ම ඉතා කදිම උදාහරණ දෙමින් නැවත නවතත් අප හට ඔප්පු කර ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 23 August 2019

විදු පත් ඉරුව
29.03.2017

පෘථරිවිය බිහි වූයේ මින් වසර බිලියන 4.6 කට පෙර ය. මහා පිපිරුම නිසා විසිරුණු දුහුවිලි වලාවක්‌ ක්‍රමයෙන් සංකෝචනය වීමෙන් පෘථරිවිය සහිත මේ සූර්යග්‍රහ මණ්‌ඩලය නිර්මාණය විය. එහි ජීවයේ නියමුවා වූයේ පෘථරිවියයි. දසත පැතිර තිබූ දුහුවිලි අධික තාපයක්‌ සමග සංකෝචනය වූයේ ඝනැති පාෂාණ නිර්මාණය කරමිනි. ක්‍රමයෙන් සිසිලනයට ලක්‌ වූ පාෂාණ තට්‌ටු වරෙක එක්‌ වෙමින් ද නැවත වෙන් වෙමින් ද නො නවතින ගමනක නිරත වෙමින් පවතී. මේ අතර ජීර්ණයට ලක්‌ වූ මිහිපිට වූ පාෂාණ අවසාදිත නිර්මාණය කරමින් මුහුදු පත්ලේ තැන්පත් විණි. තවත් වරෙක මිහි ලිය ගිලගත් පාෂාණ තට්‌ටු දිය කරමින් ලෝදිය නිපැදවිණි.

එලෙස නිර්මාණය වූ පෘථරිවි තල අතර වූ එක්‌ අපූරු තලයක ය අප රට පිහිටන්නේ. ජුරාසික යුගයේ දී ම ඉන්දියානු තලයෙන් වෙන් ව තනි ව ගමනක යෙදෙන ශ්‍රී ලාංකීය භූ තලය අද දවසේ ඔබ අප ගේ නිවහන වන්නේ ය. දූපතක්‌ ලෙස මෙදින එය දිස්‌ වන්නට හේතු වූයේ එම වෙන් වීමයි. භූ විද්‍යාඥයන් පවසන අන්දමට වසරකට මිලිමීටර එකක පමණ වේගයකින් ඉන්දියාවෙන් වෙන් ව ඕස්‌ටේ්‍රලියාව දෙසට පා වෙමින් පවතින ශ්‍රී ලාංකේය භුමි භාගය කාවරී ෙද්‍රdaණිය කෙමෙන් පුළුල් කරයි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පසුබිම ඔබ අප සියලු දෙනා දැනගත යුතු ව ඇත. ප්‍රොaටෙරොසොයික්‌ යුගය ශ්‍රී ලංකා භුමි භාගය නිර්මාණය කරන්නට හේතු වූ කාලවකවානුවයි. ඒ වසර මිලියන 2000කට පමණ පෙර ය. ලොව බිහි වූ මුල් ම පාෂාණ ගිනිකඳු පිපිරීම් නිසා ද භූ තල ක්‍රියාකාරකම් නිසා ද නැවත නැවත චක්‍රීයකරණය වන්නට විය. මෙහි දී ජීර්ණය ද ප්‍රමුඛ කාර්යභාරයක්‌ ඉටු කළේ ය. එමගින් බිහි වූ අවසාදිත මුහුදු පත්ලේ තැන්පත් වූ අතර වරින් වර පොළෝ අභ්‍යන්තරයෙන් පිපිරී ඉහළට ආ ලෝදිය සමග මිශ්‍ර විය. ශ්‍රී ලාංකේය භූමි භාගයේ නිර්මාණය එසේ ඇරඹුණු අතර එය එතරම් ම සරල සිදුවීමක්‌ නො වන බව ද අප සිහි තබාගත යුතු ය. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදු වන මෙවැනි පෘථිවි ක්‍රියාදාමයන් සැම විට ම සංකීර්ණ වෙයි.

වසර මිලියන පන් සියයක්‌ පමණ වූ කාලයේ සිදු වූ තවත් අපූරු ක්‍රියාවලියක්‌ හේතුවෙන් ෙද්‍රdණිගත වූ ඉහත කී පූර්වජ අවසාදිතවල ද අවසාදිත පාෂාණවල ද සිදු වූ විපරියාසය ශ්‍රී ලංකා භුමිභාගය නිර්මාණයට හේතු විය. එය විපරිතකරණය නම් වේ. පෘථිවි තල අතර වූ තෙරපීම මේ විපරිතකරණය සිදු කරවී ය. අවසාදිතකරණය හේතුවෙන් මුහුදු පත්ලේ නිර්මාණය වූ පූර්වජ අවසාදිත සහ අවසාදිත පාෂාණ මෙනිසා විපරිතකරණය විය. ඒ හා සමග වූ ලෝදියෙන් නිර්මාණය වූ පාෂාණ ද විපරිතකරණයට ලක්‌ විය. විපරිතකරණය මුළුමනින් ම වෙනස්‌ වූ පාෂාණ ගොනු බිහි කරන්නට හේතු විය.

මේ විපරිතකරණයෙන් ශ්‍රී ලකා භුමි භාගය නිර්මාණය කළ පාෂාණ බහුතරයක්‌ විපරිත පාෂාණ බවට පත් විණි. විපරිතකරණයේ අපූරු සිහිවටන එම පාෂාණ තුළ තැන්පත් කෙරිණි. ඝන මාධ්‍යයේ සිදු වූ ප්‍රතිඛනිජකරණය විපරිතකරණය සිදු වන විට තිබූ පාරිසරික තත්ත්වවලට ගැලපුණු කදිමට ඛනිජ බිහි කරන්නට හේතු විය. ඝන මාධ්‍යයේ සිදු වන ස්‌ඵටිකීකරණය විස්‌මයජනක භූ රසායනික ක්‍රියාවලියකි. විපරිතකරණය සිදු වෙද්දී ඇති වන පීඩනය ද අධික තාපය ද මේ ප්‍රතිඛනිජකරණයට මගපාදයි. ඛනිජ යනු රසායනික සංයෝග වේ. ඒවා නිර්මාණය වන්නේ විවිධ මූලද්‍රව්‍ය මිශ්‍රණයෙන් වන අතර විපරිතකරණයේ දී වෙනත් ඛනිජ බවට පත් වීමේ දී මේ මූලද්‍රව්‍ය ද පැරැණි ඛනිජ තුළින් ගිලිහී නැවත මිශ්‍ර ව අලුත් ඛනිජ බිහි කරයි. ඇදහිය නොහැකි කරුණ වන්නේ මේ සියල්ල ඝන මාධ්‍යයේ සිදු වීමයි. විපරිතකරණයේ විස්‌මය එයයි.

විපරිතකරණයේ දී අවසාදිත සහ අවසාදිත පාෂාණ සුවිශේෂී විපරිත පාෂාණ බවට පත් වේ. බොහොමයක්‌ අවසාදිතවලට ලාක්‌ෂණික වනුයේ ඇලුමිනියම් අධික වීමයි. එහෙත් විපරිතකරණයෙන් බිහි වන පාෂාණවල රසායනයේ වෙනසක්‌ සිදු නො වේ. සිදු වන්නේ ඛනිජ සංයුතිය වෙනස්‌ වීමයි. එනිසා ඇලුමිනියම් වැඩි විපරිත ඛනිජ බිහි වනුයේ නව පාෂාණ නිර්මාණය කරමිනි. රබහා, කොරන්ඩම්, සිලිමනයිට්‌ හා කයනයිට්‌ වැනි ඛනිජ ඇලුමිනියම් අධික පාෂාණවල ලාක්‌ෂණික වේ. මේ ඛනිජ බොහොමයක්‌ ශ්වේත වර්ණ වේ.

අවසාදිතවල සහ අවසාදිත පාෂාණවල වූ 'ප්‍රාග් ජීව ධාතුන්' සහ ඒවායේ සටහන් විපරිතකරණය නිසා විනාශ වී යයි. එනිසා සියලු විපරිත පාෂාණවල මෙවැනි 'ප්‍රාග් ජීව ධාතුන්' රැඳෙන්නේ නැත. අවසාදිත පාෂාණවල වූ සියලු ලක්‌ෂණ මෙනිසා ඉතිරි වන්නේ නැත. එපමණක්‌ නො ව, ලෝදිය මගින් නිර්මාණය වූ පාෂාණවල වූ ලක්‌ෂණ ද ඛනිජ සංයුතිය ද වියෑකී යන්නේ විපරිතකරණය නිසාවෙනි. ඓහෙත් රසායනයන්හි නො සිදු වූ වෙනස්‌කම් නිසා විපරිතකරණයෙන් පසු මේ පාෂාණ වර්ග කර හඳුනාගැනීම එතරම් ම අපහසු නො වේ.

ශ්‍රී ලංකාව බිහි කළ බොහොමයක්‌ විපරිත පාෂාණ නයිස්‌ නම් වූ වර්ගයට අයත් වේ. ඉහළ ම තත්ත්වවල දී නිර්මාණය වූ උසස්‌ විපරිත පාෂාණ වන මේ පාෂාණ එයට ලාක්‌ෂණික වන එකිනෙක පරයා සැකසුණු කළු සහ සුදු පැහැ වර්ණ රටාවන් ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ භුමිය නිර්මාණය වන්නේ ප්‍රධාන පාෂාණ සංකීර්ණ තුනක්‌ මගින් වන අතර ඒවායේ පූර්වජයන් ගේ බිහි වූ කාල සීමාව පදනම් කරගත් කාල නිර්ණයෙන් මූලිකව වෙන් කර හඳුනාගනී. ඊසාන-නිරිත දිශානුගත ව විහිදෙන මේ පාෂාණ සංකීර්ණ තුන හඳුන්වන්නේ උතුරේ සිට වන්නි, උස්‌බිම් සහ විජයානු සංකීර්ණ ලෙස ය. මධ්‍යයේ වන උස්‌බිම් සංකීර්ණය වසර මිලියන 2100ක්‌ පමණ පැරැණි අතර ඉතිරි සංකීර්ණ දෙක වසර මිලියන 1100ක්‌ පමණ වෙතැයි ගණනය කර ඇත. ඒ අනුව භූ විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාව පිහිටන්නේ ලොව පැරැණි ම පාෂාණ කලාපයක බව ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 19 August 2019

විදුපත් ඉරුව
08.03.2017

පසුගිය ඉරිදා එක්‌තරා රූපවාහිනි නාළිකාවක විකාශනය වූ ප්‍රවෘත්ති අතර වැදගත් ප්‍රවෘත්තියක්‌ විය. කලාතුරකින් හෝ එවැනි ප්‍රවෘත්ති විකාශනය වීම ගැන සතුටට පත් විය යුතු අතර එමගින් කියවුණේ රජයේ පරිපාලන ආයතන දෙකක්‌ අතර ගැටලුවකි. එහි මූලික කරුණ වී තිබුණේ අලින් 'කුණු' කෑමයි. පහසුවටත් ලේසියටත් ආහාර සොයාගැනීමේ මගක්‌ ඇති කරගත් මේ 'ගොන් අලින්' ද ඔවුන් ගේ වපසරිය ආසන්නයට ගෙනැවිත් දමන මානව කුණු කසළ අවුස්‌සමින් 'මිනිස්‌ ඉඳුල්' ගිල දමන්නට පුරුදු වීම උන් ගේ ම අවාසනාව ය.

තම පරිපාලන ව්‍යqහය තුළ ගොඩගැහෙන කුණුවලට කරගන්නට දෙයක්‌ නොමැති කල කොහේ හෝ ගොස්‌ අතහරින්නට තැත් කරන මෙවන් කලෙක මේ කුණු ගොඩ නිසා අලින්ට සිදු වන්නට යන විපත්තිය අදාළ වගකිවයුත්තන්ට සුළුවෙන් හෝ මතක්‌ වීම කටින් බතල කොළ සිටුවන මැති ඇමතිවරුන් සිටින මෙවන් කලෙක එක්‌තරා අතකට පුදුමයට කරුණකි. කෙසේ වුවත් මේ ගැටලුව විසඳෙන්නට තවත් බොහෝ කලක්‌ ගත වන බව නම් පවතින වර්තමාන පරිපාලන ක්‍රමය තුළ පුදුමයක්‌ නොවේ. එනිසා කුණු බුදින්නට පුරුදු වූ අලින් රැකගැනීම සිහිනයක්‌ විය හැකි අතර දිගින් දිගට ම පොලිතින් වැනි අපද්‍රව්‍ය ඉඳුල් සමග ගිල දැමීමෙන් වැඩි කලක්‌ යන්නට මත්තෙන් ආහාර මාර්ගය සිර වී ඉතා කටුක දුකක්‌ විඳ තම ජීවිතයෙන් සමුගන්නට මේ සතුන්ට සිදු වනු ඇත. ඔවුනට ඒ තත්ත්වය අත් කර දෙන්නට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන, උත්සව දිනයට පමණක්‌ ගහක්‌ සිටුවා ජෛව විවිධත්වය රැකගැනීමේ උදාර මෙහෙයක යෙදී සිටින ශ්‍රී ලංකාවේ කකුල් දෙකේ තිරිසනුන්ට, අලින් මිය ගිය පසු, මෙතුවක්‌ කල් තමන් සිදු කළ ක්‍රියාදාමයේ ප්‍රතිඵල දැකගත හැකි වනු ඇත.

මෙගා කතා කියන උදවිය ගේ දාහක්‌ පොරොන්දු කුණු වී යන්නේ කුණු ප්‍රශ්නයට විසඳුමක්‌ සොයාගත නොහැකි වී ඇති විට ය. පොළොව ඇද වීම නිසා නටන්නට නොහැකි බව දැන් දැන් ඔවුන් පවසන බව පෙනී යයි. මේ සදහා බොහෝ විසඳුම් පොතෙන් ගෙන හැර පානා මුත් ප්‍රායෝගික භාවිතය ගැන කිසිදු අත්දැකීමක්‌ නොමැති වීම නිසා බොහෝ ව්‍යාපෘති සාර්ථක කරගැනීමට නොහැකි ව අත්හැර දැමී ඇත. මේ තත්ත්වය එලෙස ම පවතුණ හොත් ඉදිරියේ දී ද සාර්ථක නො වනු ඇත. දිනෙන් දින වර්ධනය වන පොලිතින් භාවිතය නිසා නො දිරන අපද්‍රව්‍ය තට්‌ටුව ඝනකම් වන්නටත්, එමගින් ලෝකයේ මතුපිට වැසී යන්නටත්, සාගර පිරී යන්නටත් වැඩි කලක්‌ ගත නො වනු ඇත.

මෙවැනි තත්ත්ව ඇති වන්නට බොහෝ විට හේතු වන්නේ ආත්මාර්ථකාමීකම ම බව අමුතුවෙන් සදහන් කරන්නට අවශ්‍ය වන්නේ නැත. එක්‌ එක්‌ පුද්ගලයන් තමන් ගේ වපසරිය තුළ සිදු කළ යුතු කාර්යභාරය මැනැවින් හඳුනා නො ගැනීම ද මෙවැනි විකෘතීන් සදහා හේතු වන බව අප මතක තබාගත යුතු ය. අප සතු වගකීම් මොනවා දැයි යන්න පමණක්‌ නො ව අනාගතයේ බිහි වන දරුවන් ගේ සුරක්‌ෂිතභාවය කුමක්‌ ද හා එය කෙලෙස අරක්‌ෂා කළ යුතු ද යන්න පවා ඉතා ගැඹුරෙන් සිහි තබාගෙන කටයුතු කළ යුතු ය. තම විෂය ක්‌ෂේත්‍රය තුළ තමා සතු වගකීම පැහැර හරිනා, අනුන් ගේ කස්‌තිරමේ ගුණ දොස්‌ විවේචනය කරනා බොහොමයක්‌ දෙනා මේ සමාජයේ මං මුළාවූවෝ වෙති. වර්තමානයේ ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ අතිශය පෞද්ගලික සිදුවීම් පවා විවේචනය කරමින් 'බුකියේ' පෙළහර පානා පඬියන් ගේ ක්‍රියාකලාපය අතිශය හාස්‍යජනක වෙයි. යමකු ගේ පෞද්ගලිකත්වය කුමක්‌ දැයි පවා තේරුම්ගැනීමට නොහැකි මෙවැන්නන් කුණු බුදිනා තවත් සතුන් පිරිසක්‌ නො වන්නේ ද?

කුණු ගොඩගැහෙන, ගහකොළ හිඟ වන සමයක කෙසේ නම් නිසි කල වැසි බලාපොරොත්තු විය හැකි ද? එනිසා ම කඩිමුඩියේ තැනූ ජලාශ හිඳී යන්නට පටන්ගෙන ඇත. සියයට 30ක පමණ ධාරිතාවක්‌ පමණක්‌ ඇති ව හෝ මුළු රටට ම විදුලිය දෙන්නට උත්සාහ කිරීම අගය කළ යුතු ය. අඩුව පුරවන්නට ඩීසල් බලාගාර වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරවන්නට සිදු වේ. එවිට අමතර මුදලක්‌ විදුලිය සදහා වැය වන බව සිහි තබාගත යුතු ය. ඒ වැය වීම රටේ ජනතාවට ආලෝකය ලබා දෙන්නට බව ද අප හොඳින් ම සිහි තබාගත යුතු ය.

මෙවන් සමයක ජනතාව ගේ වගකීම එම වැය වීම් අඩු කරලන්නට කටයුතු කිරීම නො වන්නේ ද? අනවශ්‍ය එකදු හෝ විදුලි පහනක්‌, විදුලි පංකාවක්‌, වායු සිසිලනයක්‌ හෝ නිවා දමා අපට ද ඒ සදහා දායක විය හැකි ය. එය අප ගේ නිල වගකීමක්‌ නො වුව ද ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බව ද වටහාගත යුතු ය. අනවශ්‍ය විදුලි වැය වීම් වළකාලීම තවත් එක්‌ දිනක්‌ හෝ අඳුරේ සිටීමෙන් අප වළකාලයි. බොහෝ දෙනකු තේරුම්ගත යුතු දෙයක්‌ වෙයි. ඒ මුදල් ගෙවා වැඩි වැඩියෙන් විදුලිය භාවිත කරන්නට හැකි වුව ද එය එහි දී වැය වන සම්පත් නැවත ලබා දීමට තරම් හේතු නො වන බවයි.

අපතේ යන කුණු භාවිත කර ශක්‌තිය ජනනය කරන්නට හැකි බව ලොව බොහෝ රටවල මෙන්ම මෙරට ද වරින් වර පෙන්වා දී තිබේ. ප්‍රත්‍යක්‌ෂ සත්‍යය තුළ මෙය ප්‍රායෝගික බව පෙන්වා දී ඇත. එසේ නම් අප ගේ ප්‍රාදේශීය පරිපාලන ආයතන මේ සදහා ක්‍රියාත්මක නො වන්නේ මන්දැයි යන්න ගැටලුවකි. විසඳුම පෙන්වා දී තිබිය දීත් කුණු ප්‍රශ්නය හිගන්නා ගේ තුවාලයක්‌ බවට පත් වී ඇත් දැයි අයකුට සිතෙන්නට හැකි ය. මෙගා ව්‍යාපෘති නො වුණාට කම් නැත. සුළුවෙන් හෝ පටන්ගෙන කුණු ප්‍රශ්නයට පමණක්‌ නො ව බලශක්‌ති ජනනයට ද සහායක්‌ වන්නට හැකි බව පෙන්වා දෙන්නට හැකි පරිපාලන ආයතන බිහි වේ නම් කොපමණ අගේ දෘ ඒ සදහා අවැසි ඔළුගෙඩි සෙවීම නම් ගැටලුවක්‌ වනු නොඅනුමාන ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday 18 August 2019

විදුපත් ඉරුව
01.03.2017

ඇස්‌ ඇත්තෝ ලෝකය දකිති. නුවණැස ඇත්තෝ ලෝකය විනිවිද දකිතැයි පැවසෙයි. මේ කිසිවක්‌ නැත්තන් කෙසේ නම් ලෝකය දකින්න ද?

මිනිසා ඇතුළු වානරයෝ කදිමට වර්ණවත් ලෝකය දකිති. එහෙත් ඉතිරි ක්‌ෂීරපායිහු ද, පක්‌ෂීහු ද, උරගයෝ ද, උභයජීවීහු ද, මත්ස්‍යයෝ ද ඒක වර්ණයෙන් හෝ ද්වි වර්ණයෙන් ලෝකය හඳුනාගනිති. කෘමීන් වැනි අපෘෂ්ඨවංශිකයන් හට කදිම වූ අක්‌ෂි පද්ධතියක්‌ ම පිහිටා ඇත. මේ ඇස්‌ තනි තනි ව හෝ සියල්ල එක්‌ ව හෝ ඔවුනට පෙනීම ලබා දෙයි.

අක්‌ෂි පිහිටීම මගින් අපට පරිසරයේ ස්‌වරූපය පහදා දෙයි. අප ගේ අක්‌ෂි පරිසරයේ වර්ණවත් හැඩ තලවල සුසංයෝජනය මැනැවින් පෙන්නුම් කරයි. එහෙත් අක්‌ෂි රහිත ඇත්තන් මෙවැනි දෑ තේරුම්ගන්නේ කෙසේ ද? ඇස්‌ අවශ්‍ය ම බව සිතා සිටින්නේ ඇස්‌ ඇත්තන් පමණකි. තමන් ඉන්නා පරිසරය හඳුනාගැනීමට හෝ තේරුම්ගැනීමට හෝ ඇස්‌ සැම විට ම අවශ්‍ය වන්නේ නැත.

ඇස්‌ ඇත්තන්ට දකින්නට ආලෝකය අවශ්‍ය ම වේ. එනිසා දහවල දී දක්‌නා දේ රාත්‍රියේ නිසි පරිදි සැවොම දකින්නේ නැත. මේ අතර සමහර සත්තු රාත්‍රිය විනිවිද දකින්නට හැකියාවක්‌ ඇත්තෝ වෙති. අප ගේ ජීවිතයේ ආයු කාලයෙන් අඩු ම තරමින් අඩක්‌ වත් සිටින්නට වන්නේ අඳුරේ ය. මේ බව තේරුම්ගත් මිනිසා, හිරු ගේ ආලෝකය නොමැති කල භාවිතයට ගැනීමට කෘත්‍රිම ලෙස ආලෝකය නිපදවා ඇත. එමගින් අද වන විට ලෝකය ආලෝකවත් කර ඇත. එනිසා 'දැකීමට' නම් මිනිසාට රාත්‍රිය වුව ගැටලුවක්‌ නැත. ඒ ඔහු ගේ දියුණු මොළයට පින් සිදු වන්නට ය.

මේ අතර සදා අඳුරේ සිටින්නෝ ද වෙති. ඒ වෙන කිසිවක්‌ නිසා නො ව ඔවුන් වෙසෙන පරිසරයට හිරු කිරණ ගමන් නො කරන නිසා වේ. එපමණක්‌ නො වේ. ඔවුනට කිසි දාක හිරු කිරණ පහස ලැබීමට ද අවශ්‍ය නැත. ඔවුන් හැඩගැසී ඇත්තේ සදා අඳුරේ විසීමට ය. මෙවැනි පරිසර ලෝකයේ බොහෝ වෙයි. භූගත ගුහා මේ අතර සුවීශේෂී වෙයි. එපමණක්‌ නො ව මහා සාගරයේ ගැඹුරු පත්ල ද හිරු එළිය ඉවසන්නේ නැත. භූ අHන්තරයේ වෙසෙන පාංශු ජීවීහු ද ආලෝකයෙන් සැඟව ගියෝ වෙත්. ආලෝකය නොමැති කල මොවුන් දකින්නේ කෙසේ ද?

ඔවුන් ගේ දැක්‌ම නම් පුදුමසහගත වෙයි. ඇස්‌ නොමැති විට එමගින් ලැබෙන තොරතුරු ලබාගන්නට ඔවුහු වෙනත් අවයව භාවිතයට ගනිති. සමහර සත්තු මේ සදහා ඔවුන් ගේ සංවේදක ස්‌ඵර්ශක යොදාගනිති. මේ සංවේදක ස්‌පර්ශක මගින් ඉතා කදිමට පරිසරයේ වෙනස්‌කම් ග්‍රහණය කරගැනීමට ඔවුනට හැකියාව ඇත. ලෝකයේ දැනට හඳුනාගෙන ඇති කෘබේරා-වෙරන්ජා නම් වූ ගැඹුරු ම ගල්ගුහාවේ වාසය කරන තටු රහිත කෘමි විශේෂයක්‌ වන 'සර්පිල නගුටා' (Springtail) නම් වූ සත්ත්වයා තම දැකීම පවත්වාගෙන යන්නේ ස්‌පර්ශක ආධාරයෙන් ලබාගන්නා තොරතුරු මගිනි. එවැනි ම තත්ත්වයක්‌ පෙන්නුම් කරන 'රිදී මසුවා' (Silver fish) නම් කෘමියා ද එක්‌ ගෝනුසු විශේෂයක්‌ ද වෙසෙන්නේ මෙක්‌සිකෝවේ පිහිටියා වූ ගල් ගුහාවක අඩි තුන් දහසක්‌ පමණ ගැඹුරේ ය.

ගැඹුරු සාගර පත්ලේ වෙසෙන ජලජයෝ ද මෙවැනි අනුවර්තන පෙන්නුම් කරත්. ඔවුන් බොහොමයක්‌ අන්ධයන් වන අතර පරිසරයේ සිදු වන පීඩනයේ සහ ගන්ධයේ වෙනස්‌කම් මගින් පණිවිඩ ලබාගන්නට හුරු වී ඇත. මොවුන් ගේ සංවේදනය ඉතා තියුණු වන අතර ඒ සඳහා මූලික හේතුව වන්නේ ඔවුන් වෙසෙන පරිසරයේ සුවිශේෂීතාවයි. ආහාර නිෂ්පාදනය අවම වීම නිසා ඉතා අඩු ඵලදායිතාවකින් යුක්‌ත මේ පරිසරයේ වෙසෙන්නන් හට ලැබෙන කුමන හෝ ආහාරයකින් සෑහීමකට පත් වන්නට සිදු වේ. බොහොමයක්‌ අක්‌ෂි රහිත ජීවීන් ආහාර කරගන්නේ මළ කාබනික ද්‍රව්‍ය වන අතර ඉඳහිට හෝ ලැබෙන සජීවී ගොදුර ඩහැ ගැනීමට තම අවයව ඉතා හොඳින් විශේෂණය කර ඇත.

අඳුරේ වෙසෙන්නට තීරණය කළ ද 'ඇස්‌ අත්හරින්නට අකැමැත්තෝ ද වෙති. ගැඹුරු සාගර පත්ලේ විසූව ද අක්‌ෂි ඇත්තෝ ආලෝක අවශ්‍යතාව සංසිදුවාගන්නේ ස්‌වයං නිෂ්පාදනය මඟිනි. ඒ සඳහා ඔවුන් විශේෂිත වූ අවයව වර්ධනය කරගෙන ඇත. පරිණාමයේ විචිත්‍රත්වය ලොවට හෙළි කරනා 'පිටගෙඩි කාලයකා' (Hampback blackdevil) නම් වූ අපූරු මත්ස්‍යයා තම ගොදුර අල්ලාගැනීම සදහා අලෝකමය 'ඇම' යොදාගනී. ඉතා කුඩා සිහින් ඇස්‌ මගින් ආලෝක ගොදුර වෙත පනින සතුන් ක්‌ෂණයකින් අල්ලාගැනීම සදහා තියුණු දත් සහිත විශාල මුඛයක්‌ පිහිටා ඇත. මොවුන් ගේ මේ 'ආලෝක ඇම' තම හිසට ඉහළින් වර්ධනය වූ සිහින් දණ්‌ඩකට සවි වී ඇත. මුළු ශරීරය ම ආලෝකනය කරගත් මුහුදු පත්ලේ වෙසෙන දිගු නැහැයක්‌ ඇති 'චිමාරා' (Broadnose chimaera) නම් වූ මත්ස්‍යයා ගේ ඇස්‌ ඉතා සංවේදී වන අතර අඩු ආලෝකයේ ඉතා හොඳින් පෙනීමට සකස්‌ වී ඇත. මෙවන් වූ බොහොමයක්‌ සත්ත්වයන් අඳුරු පරිසරවල දැකිය හැකි අතර ඔවුන් බොහෝ දෙනකු දහවල සහ රාත්‍රියේ සුන්දරත්වය අත්විඳින්නේ නැත.

ආලෝකවත් වූ පරිසරවල විසූව ද ඇස්‌ නොමත්තෝ ද වෙති. ඒ පරිණාමික ක්‍රියාවලියේ මූලික අවස්‌ථාවේ සිටින්නන් ය. පරිණාමයේ ඔවුන් ගේ ස්‌ථානය පසු කර ගිය ජීවීන් හට අක්‌ෂි හිමි විය. 'ලොඩියන්' (Jely Fish) ගේ ද, කොරල් පර සාදන ජීවීන් ගේ ද, අක්‌ෂි වර්ධනය වී නොමැත. නෙමටෝඩා ජීවීන් ද පරිසරය ග්‍රහණය කරගන්නේ අක්‌ෂි උපකාරයෙන් නො වේ.

ජීවී ලෝකයේ ඇස්‌ ඇත්තෝ ද ඇස්‌ නැත්තෝ ද ආලෝකය තිබුණ ද, නො තිබුණ ද තම වටපිටාව මැනැවින් හඳුනාගනිති. එම ජීවී ලෝකයේ ම වෙසෙන නුවණැස පහළ කරගත් වර්තමාන මිනිසා ගේ දැක්‌ම අනෙකුත් සියලු ජීවීන් ගේ පැවැත්මට තර්ජනයක්‌ බව ය පෙනෙන්නේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 17 August 2019

විදුපත් ඉරුව
22.03.2017

අලින්ටත් ළමයින්ටත් නලියන්ට ම ය හිත. ඔවුනට එක ලෙස එක තැනක සිටින්නට නම් බැරි ය. ඒ වාගේ ම ඔවුන් ගේ දඟකාරකම් නො බලා ඉන්නට අපට ද කොහෙත් ම බැරි ය. ඔවුන් ඉතා විමසිලිමත් ය. පසුගිය දිනෙක එලෙස විමසිලිමත් වූ විදුසර කියවන දයාබර දැරියක්‌ ඉතා කදිම පැනයක්‌ මගෙන් විමසා සිටියා ය. ඒ අප ගේ ව්‍යවහාරයේ ඇති අලි ඇතුනට සම්බන්ධ උපහැරණයක සත්‍යතාව පිළිබඳව ය. යම්කිසි දෙයක ප්‍රතිඵල රහිත බව, හිස්‌, නිෂ්ඵල බව කියා සිටින්නට අවශ්‍ය වූ විටෙක අප හොඳින් දන්නා උපහැරණයක්‌ වන 'අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ' යෑයි අපි පවසමු. අප පැරැන්නන් පවසන පරිදි අලින් දිවුල් නො විකා ගෙඩි පිටින් ම ගිලින බැවින් ගෙඩියේ මදය අලි උදරයේ දී ජීර්ණය වීම නිසා පුහු දිවුල් අලි බෙටි සමග බැහැර වේ.

මේ කුඩා දැරිය මගෙන් විමසා සිටියේ මෙහි සත්‍යතාවයි. අප හොඳින් දන්නා පරිදි අලි ඇතුන් ශාක භක්‌ෂකයන් බැවින් විකා ගිලීම සඳහා කදිමට සකස්‌ වූ අපූරු දන්ත පද්ධතියක්‌ ඇත. ඒ සදහා සාක්‌ෂි දරන්නේ හොඳින් සකස්‌ වූ පුරශ්චාර්වක සහ චාර්වක දත් පන්තියයි. අලි මුඛයේ අගිස්‌සේ එලෙස සකස්‌ වූ යෝධ දත් තල්මහ ගේ දත්වලට වඩා විශාල ය. අලි මුඛයේ ඉදිරියට ඇදෙන දළවලට අමතරව වරක දී දත් 24ක්‌ පවතින බව සඳහන් වේ. පුර්ශ්චාර්වක 3ක්‌ ද, චාර්වක 3ක්‌ ද ලෙස එක්‌ පසෙක ඇති අතර දෙපස 12ක්‌ ද වේ. උඩු ඇන්දේ සහ යටි ඇන්දේ ඒ අනුව එකතුව 24 කි. දළය ලෙස වැඩෙන්නේ උඩු ඇන්දේ රදනක දතයි. නො නවතින ඝන ආහාර ඇඹරීම නිසා ළදරු අවධියේ සිට ම වයස යන තුරු ම වරින් වර සය වතාවක්‌ පමණ පැරැණි දත් වැටී අලුත් දත් ලැබීම කදිම සිදුවීමකි. මුඛයේ අගිස්‌සෙන් බිහි ව එළියට එන දත් ක්‍රමයෙන් ඇන්දේ ඉදිරියට තල්ලු වන අතර එයට පිටුපසින් නව දත් බිහි වන බව විද්‍යාඥයෝ පවසති. දත් ගෙවෙමින් ක්‍රමයෙන් ඉදිරියට යත් ම ඒවා ගැලවී වැටෙන අතර එයට පිටුපසින් වැඩෙන දත් එම ස්‌ථානය අත් කරගනී.

බර කිලෝග්රෑම් 150ක්‌ පමණ වූ ශාක කොටස්‌ දවසක දී පරිභෝජනය කරන්නට පෙලඹෙන මේ යෝධ සත්ත්වයා ළපටි කොළ අතු පමණක්‌ නො ව ගස්‌ කඳන්වල පොතු ද මුල් ද කා දමන බව සොයාගෙන ඇත. විශාල වපසරියක්‌ පුරා ඇවිදිමින් මෙපමණ ප්‍රමාණයක්‌ සෙමින් සෙමින් දිගු නහය ද පාදය ද අධාරයෙන් කඩා ගලවා ගුලි කර මුව තුළට ඔබාගන්නා අයුරු කදිම ය. කාෂ්ඨීය කොටස සමග ම මුව තුළට ඔබාගන්නා ශාකමය ද්‍රව්‍ය ඔවුන් ගේ දත්වල ඇඹරීමේ ක්‍රියාවලියෙන් ගැලවී මුව තුළට රිංගා යන්නට නම් කොහෙත් ම හැකියාවක්‌ ලැබෙන්නේ නැත.

අලි ඇත්තු පලතුරු කෑමට ද රුසියෝ ය. ශ්‍රී ලංකාවේ හමු වන බොහොමයක්‌ පලතුරුවලට ඔවුහු වගකියති. කෙසෙල්, අන්නාසි, කොමඩු වැනි පලතුරු පමණක්‌ නො ව උක්‌ ගස්‌ වැනි සීනි පිරුණ ආහාරවලට ඔවුහු ඉමහත් කැමැත්තක්‌ දක්‌වති. වියළි හෝ අර්ධ ශුෂ්ක කලාපයේ ඉන්නා අලි ඇතුන් ගේ ප්‍රියතම පලතුරක්‌ වන්නේ කාෂ්ඨීය ආවරණයකින් යුක්‌ත දිවුල් ය.

ජන ව්‍යවහාරයේ ඇති කියමනක්‌ වන 'වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කඡ්ජක්‌ දැ'යි අසන්නට සිතෙන්නේ මෙවන් අවස්‌ථාවක ය. එලෙස විසල් අතු සහ ශාක කොටස්‌ තම ආහාරය කරගන්නා අලි ඇතුන් ජීර්ණයේ පහසුව පිණිස කදිමට විකා ගිලිද්දී කුඩා දිවුල් ගෙඩිය පමණක්‌ නො විකා ගිලී දැයි ඔබට අසන්නට සිත් නො වන්නේ ද? අලි ඇතුන් ගේ ආහාර ජීර්ණ රටාව අනුව එලෙස වන්නට කිසි ම හේතුවක්‌ නො වන්නේ ය. අලි ඇතුන් ගේ ආහාර ජීර්ණ පද්ධතිය සකස්‌ වී ඇත්තේ ඉතා හොඳින් ඝන ආහාර ජීර්ණය වන පරිදි ය.

පුහු දිවුල් විවිධ කෘමි සතුන් ගේ ආක්‍රමණයන් නිසා හටගත හැකි ය. මේ පිළිබඳව නිශ්චිත කරුණු කාරණා ගොනු කරගැනීම ඔබට එතරම් අපහසුවක්‌ නො වනු ඇත. ඒ ඔබ ඉතා හොඳින් විමසිලිමත් වුව හොත් පමණකි. බොහෝ දේ පිළිබඳව දුටු පමණින් තීරණවලට එළඹීම එතරම් සුදුසු නො වේ. එලෙස කෘමි සතුන් ගේ ප්‍රහාරවලට නතු වූ දිවුල් ගෙඩියක්‌ අලින් ගේ මළපහ මතට වැටීම අප ගේ පුරාණ මුතුන් මිත්තන් නොමග යෑවුවා විය හැකි ය. කෙසේ වෙතත් යමකු කිවූ පමණින් ම විශ්වාස කිරීම ද කළ යුතු නො වේ.

විද්‍යා පර්යේෂණයක දී එක්‌ වරක්‌ ලබන ප්‍රතිඵල නැවත නැවතත් ලැබෙන්නේ නම් එමගින් හෙළි වන කරුණුවල සත්‍යතාව සදහා එය හේතු වන බව කිව යුතු ය. යමක්‌ පිළිබඳව, යම් පැහැදිලි කිරීමක්‌ පිළිබඳව, විශ්වාසය තැබිය හැක්‌කේ එවිට ය. යමකු යෝජනා කරන යම් දෙයක්‌, ක්‍රියාවලියක්‌ තවත් අයකුට අත්හදා බැලිය හැකි විය යුතු ය. බුදුන් දේශනා කර ඇති දහමේ ද කියා ඇත්තේ යමකු කිවූ පමණින් ම විශ්වාස නො කොට තමන් අත්විඳ එය තේරුම්ගන්නා ලෙස ය.

සංවර්ධනයේ කුරිරු බලපෑම්වලට නිරන්තරයෙන් ම භාජන වෙමින් තම පැවැත්ම ඉතා අසීරුවෙන් තහවුරු කරගැනීමට වෙහෙසන ශ්‍රී ලාංකේය අලි ඇතුන් ගේ ආරක්‌ෂාව පිළිබඳව නිසි පියවර නො ගන්නා බව දිනෙන් දින මරණයට පත් වන මේ යෝධයන් ගේ ප්‍රමාණය මොනවට පැහැදිලි කරයි. දිනෙන් දින හැකිළෙන තම නිජබිම් ක්‍රමයෙන් අහිමි වීම නිසා ගම් වදින මේ අහිංසකයන් දරුණු වී අපට හානි කරන්නේ මන්දැයි අප තේරුම්ගත යුතු ය. එසේ නො කොට ඔවුනට වෙඩි තබා ඝාතනය කිරීම, ලොව වෙසෙන බුද්ධිමතා ගේ යුතුකම නො වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 16 August 2019

ජෛවචුම්භකත්වය මගින් පාර සොයන ක්ෂුද්‍රයෝ....!!
බැක්ටීරියාවන් ප්‍රාථමික ජීවින් කොට්ටාශයක් වුවත් අපූරු හැසිරීම් ඇත්තවුන් බව පෙනී යනවා. ඔවුන්ගෙන් සමහර විශේෂ පාර සොයාගන්නට භූ චුම්භකත්වය භාවිතයට ගනු ලබන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ඔක්සිජන් තියෙන ඉස්සව්ව නිවරදිව හඳුනාගන්න තමයි ඔවුන් මේ උපක්‍රමය භාවිතා කරන්නේ. මේ සඳහා ඔවුන්ගේ දේහයන්වල තියෙනවා විශේෂ ඉන්ද්‍රියයක්. ඒක හඳුන්වන්නේ චුම්බසෝම (magnetosomes) නමින්. මේ ඉන්ද්‍රියය තුල මැග්නටයිට් (යකඩ ඔක්සයිඩ) සහ ග්‍රිගයිට් (යකඩ සල්ෆයිඩ) නම් ඛණිජ අඩංගු වෙනවා. ‘චුම්භසංචරිත’ (Magnetotactic) බැක්ටීරියාවන් ලෙස හඳුන්වන්නට හැකි මේ ක්ෂුද්‍රයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ දේහයන් තුල ඉහත කි ඛණිජයන් නිපදවන්නට හැකි වීමයි. මේ පිළිබඳව මුලින්ම ලෝකයට නිරාවරණය කලේ 1975 දී.


විදු පත්ඉරුව
18.02.2017

විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විද්‍යාත්මක සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුව ම විචිත්‍රවත් වෙයි. පසුගිය ජනේරුවේ අග භාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක්‌ නිසා විද්‍යා ලෝකය මේ වන විටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් සිටියි.'ලෝහමය හයිඩ්‍රජන්' යනු මෙතුවක්‌ කල් විද්‍යාඥයන් අතර සිහිනයක්‌ ව තිබූ කල්පිත පදාර්ථමය අවස්‌ථාවක්‌ වේ. දැන්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ යන දෙපළ විද්‍යාත්මක පත්‍රිකාවක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිළිබඳ පර්යේෂණ කරන මෙන්ම නිරන්තර අවදියෙන් සිටින බොහෝ විද්වතුන් ගේ අවධානයට ලක්‌ වූ මේ පත්‍රිකාව සමහර ගැටලු නිසා තරමක්‌ විවේචනයට ලක්‌ වුව ද බොහෝ දෙනකු ගේ පැසසුමට ලක්‌ වී තිබේ.

අප දන්නා පරිදි හයිඩ්‍රජන්, ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍යය වේ. සොබාවික පරිසරයේ දී වායුවක්‌ ලෙස හැසිරෙන මේ මුලද්‍රව්‍යය ද්‍රවයක්‌ කිරීමට නම් අධික සිසිලනයකට ලක්‌ කළ යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක -259.16ක්‌ පමණ වෙයි. ඝනයක්‌ බවට පත් කරන්නට අවැසි නම් තව තව සිසිල් කළ යුතුවා මෙන්ම අධික පීඩනයකට ද ලක්‌ කළ යුතු වේ. හාවර්ඩ් සරසවියේ විද්වතුන් දෙපළ හයිඩ්‍රජන් වායුව ලෝහමය තත්ත්වයට පත් කිරීම සදහා ලබා දුන් පීඩනය ගිගා පැස්‌කල් 495ක්‌ පමණ වන අතර එය පෘථිවි මධ්‍යයේ පවතින්නා වූ පීඩනයටත් වඩා අධික බව පෙනී යයි. අවර්ණ හයිඩ්‍රජන් වායුව ක්‍රමයෙන් අධික පීඩනයට ලක්‌ කරන විට මුලින් ම කළු පැහැති ඝනයක්‌ බවට පත් වන බවත් එය අර්ධ සන්නායක ගුණ පෙන්වන බවත් තවදුරටත් පීඩනය වැඩි කළ විට ලෝහමය හයිඩ්‍රජන් නිපදවෙන බවත් පෙන්වා දී තිබේ. එලෙස නිපදවූ හයිඩ්‍රජන්වල ලෝහමය අවස්‌ථාව නිසැකව ම නිශ්චය කරගැනීම සදහා ඉදිරියේ දී ඉලිනොයි සරසවිය වෙත ගෙන ගොස්‌ X කිරණ පර්යේෂණවලට ලක්‌ කිරීමට අදහස්‌ කරන බව පර්යේෂකයෝ දෙපළ පවසති.

මෙලෙස නිපදවන ලෝහමය හයිඩ්‍රජන්වල අනගත පැවැත්ම කෙබඳු වේ ද යන්න විද්‍යාඥයන් කතා බහට ලක්‌ කළ කරුණකි. බොහෝ දෙනකු ගේ අදහස වූයේ වරක්‌ අධික පීඩනයට ලක්‌ කර ලෝහමය හයිඩ්‍රජන් නිපදවූ විට ලබා දුන් පීඩනය සහ උෂ්ණත්වය ඉවත් කළ පසු ද ලෝහමය ස්‌වභාවයෙන් ම පවතින බවයි. මෙවැනි ද්‍රව්‍යයන් 'විරූපණ ස්‌ථායි' (MetaStable) ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒ ඔබ අප දන්නා පෘථිවි මධ්‍යයෙ දී අධික පීඩනයකට ලක්‌ ව උත්පාදනය වන දියමන්ති සහ මිනිරන් පෘථිවි මතුපිට පවතින ලෙසිනි. ලෝහමය හයිඩ්‍රජන් නිපදවීමට හැකි නම් ඉතා විශිෂ්ට වෙනසකට ලෝකය පත් විය හැකි බව ය විද්‍යාඥයන් ගේ අදහස.

අද ලෝකයේ විද්යුතය ගමන් කරවීම සඳහා යොදාගන්නේ ලෝහ බව මා ඔබට අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. විශේෂඥයන් පවසන පරිදි විද්යුතය සන්නයනය කිරීමේ දී අවම වශයෙන් 15%ක්‌ වත් විද්යුතය අපතේ යන බව පැවසේ. සොබාවිකව පවතින ලෝහ අතුරින් රිදී සහ තඹ ඉතා හොඳ සන්නායකතාවක්‌ පෙන්වූව ද එම ද්‍රව්‍යවල ද කිසියම් ප්‍රතිරෝධයක්‌ ඇති නිසා මේ තත්ත්වය උද්ගත වන බව පැවසේ. එහෙත් ලෝහමය හයිඩ්‍රජන් භාවිත කළ හැකි නම් 100%ක්‌ විද්යුතය සන්නයනය කළ හැකි බව ය විද්‍යාඥයන් ගේ අදහස. ඔවුන් පවසන පරිදි හයිඩ්‍රජන් ලෝහය විද්යුතය සන්නයනයට කිසිදු ප්‍රතිරෝධයක්‌ නො පෙන්වන සුපිරි සන්නායක සතු ගුණ පෙන්වයි. ලෝහමය හයිඩ්‍රජන්වල තවත් එක්‌ අපූරු යොදාගැනීමක්‌ ලෙස යෝජනා කෙරෙන්නේ එය අභ්‍යවකාශ යානා ඉන්ධන ලෙස යොදාගැනීමට ඇති හැකියාවයි. එමගින් ඉතා හොඳ ශක්‌තියක්‌ සහ දූෂණය අවම වන ප්‍රතිඵලයක්‌ අත් කර දෙන බව විද්‍යාඥයයෝ පවසති. හයිඩ්‍රජන් ලෝහය ඉන්ධනයක්‌ ලෙස යොදාගැනීමේ තවත් වාසියක්‌ ලෙස ඔවුන් දකින්නේ වෙන දා යොදාගන්නා ද්‍රව හයිඩ්‍රජන්වල ප්‍රමාණයට වඩා අඩු ලෝහමය හයිඩ්‍රජන් ඉන්ධන ප්‍රමාණයක්‌ භාවිත කර වැඩි දුරක්‌ යැමට හැකි වීමයි. කෙසේ වෙතත් ලෝහමය ඉන්ධන මහා පරිමාණයෙන් නිපදවීමට හැකි වන්නේ නම් තවත් නොයෙකුත් යෙදීම් සදහා ඉඩ ප්‍රස්‌ථා මතු වනු ඇත.

ලෝහමය හයිඩ්‍රජන් පිළිබඳ අදහස මුලින් ම ලොවට ඉදිරිපත් කරන ලද්දේ විග්නර් සහ හනින්ටන් නමැති විද්‍යාඥයන් දෙදෙනා විසින් 1935 දී ය. ඔවුන් පැවසුවේ ගිගා පැස්‌කල් 25 දී පමණ හයිඩ්‍රජන් ලෝහමය තත්ත්වයට පත් කළ හැකි බවයි. එදා සිට අද දක්‌වා ම නොයෙකුත් පීඩන තත්ත්වවල මේ පර්යේෂණය සිදු කර ඇති අතර එමගින් විග්නර් සහ හනින්ටන් උපකල්පනය කළ පීඩනයට වඩා ඉතා අධික පීඩනයක්‌ අවැසි බව පැහැදිලි වී ඇත.

මතභේදාත්මක කරුණු කාරණා ඉස්‌මතු වුව ද ඉතා අගය කළ යුතු මෙන්ම ලෝකය පියවර ගණනාවකින් ඉදිරියට ගෙන යන පර්යේෂණයක්‌ ලෙස මෙය හැඳින්විය යුතු ය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපටද වඩා සතුටු දායක පුවතක්‌ වන්නේ මේ පර්යේෂණයේ සම අයිතිකරුවකු වී ඇත්තේ ද ශ්‍රී ලාංකිකයකු බැවිනි. කාලීන ව ඉතා අපූරු පර්යේෂණ අවස්‌ථාවක්‌ ලැබීමට ආචාර්ය රංග ඩයස්‌ මහතා වාසනාවන්ත වී ඇති බව අප පිළිගත යුතු ය. මන්ද යත් මෙරට දී මෙවැනි පර්යේෂණයක්‌ සිදු කිරීම සදහා අවශ්‍ය වන පසුබිම තවමත් නිර්මාණය වී නොමැති බැවිනි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...