Wednesday 30 October 2019

ගලෙන් හැදෙන පරිඝණක
Original article was published in Divaina, 30.10.2019.


අද පරිඝණකය නැතුවම බැරි අංගයක් වෙලා. සියල්ල පරිඝණක ගත වෙන යුගයක තමයි අපි ජිවත් වෙන්නේ. රැහැන් මගින් බැඳී තිබුන දුරකතනය අතට හුරුබුහුටි විරැහැන් අපූරු උපකරණයක් බවට පත් වෙලා.  මුල්ම යුගයේ නිෂ්පාදනය වූ කාමරයක් තරම් වූ අති විශාල උපකරණයක් ලෙස තිබුන පරිඝණකය මෙතරම් හුරුබුහුටි අංගයක් බවට පත් වුනේ කොහොමද? එය නං සොයා බැලිය යුතුම කාරණයක්. කෙටියෙන්ම කිව්වොත් ඒ කිසිවක් නිසා නොවෙයි, ඒ “සිලිකන් චීපය” (Silicon Chip) නිසයි. 


හැටේ දශකයේ මුල් භාගයේ දී සොයාගන්නා ලද සිලිකන් චීපය නිසා ලෝකයේ පරිඝණක  සහ සන්නිවේදන තාක්ෂණයේ සිදුවූයේ සිත ගන්නටවත් බැරි තරම් වූ යෝධ පිම්මකි. ඇත්තටම සිලිකන් චීපය බිහිවෙන්නට හේතුවන්නේ “අර්ධ සන්නායක” (Semiconductor) කරළියට ආවාට පස්සේ. 1782 දී ඇලේසන්ද්රෝ වෝල්ටා තමයි මේ වචනය ලෝකයට හඳුන්වා දුන්නේ. 1921 දී තෝමස් ජෝන් සීබෙක් අර්ධ සන්නායක ගුණය පිළිබඳව අධ්‍යන කටයුතු කරලා තියෙනවා. අපි හොඳින් දන්නා මයිකල් පැරඩේ ත් , 1833 දී තව දුරටත් මේ පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා.  හැබැයි අර්ධ සන්නායක නිෂ්පාදනය සඳහා සිලිකන් භාවිතයට ගැනෙන්නේ 1906. ඒ ඇමෙරිකානු ජාතික ග්‍රින්ලීෆ් විටියර් පිකාර්ඩ් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස. 1964 දී තමයි ඇමෙරිකානු ජාතික ජැක් කිල්බි සහ රොබට් නොයිස් විසින් පළමු සිලිකන් චීපය බිහි කරන්නේ. 


සිලිකන් චීපයන් නිෂ්පාදනය සඳහා සිලිකන් ලෝහය නිස්සාරණය කරන්නේ ‘ක්වාර්ට්ස්’ (quarts), එහෙම නැතිනං අපි කවුරුත් හොඳින් දන්නා ‘තිරුවානා’ ඛණිජයෙන්. මෙම ඛණිජය, ක්වාර්ට්ස්, වලින් තමයි ලෝකයේ පාෂාණ බොහොමයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ජීර්ණයට ඉතා ප්‍රතිරෝධී ඛණිජයක් වන ක්වාර්ට්ස් හි රසායනික සංයුතිය සැකසෙනුයේ සිලිකන් සහ ඔක්සිජන් මුලද්‍රව්‍යයන් වලිනි (SiO2). ක්වාර්ට්ස් ඛණිජය ආග්නේය සහ විපරීත පාෂාණ වල මූලිකම ඛණිජයක්. ලෝකයේ ප්‍රථමයෙන්ම මෙලෙස සිලිකන් වෙන්කරගන්නේ 1824 දී ජෝන් ජේකොබ් බර්සිලියුස් විසින්. 


ලෝකයේ  සිලිකන් අමුද්‍රව්‍ය සපයන රටවල අතර පෙරමුණේ ඉන්නේ චීනය. රුසියාව සහ ඇමෙරිකාව දෙවෙබි සහ ඇතුන්වෙනි ස්ථාන වල ඉන්නා අතර ඉන්දියාවත් සැලකියයුතු ප්‍රමාණයක් සපයනවා. ඉතා පිරිසිදු ක්වාර්ට්ස් සඳහා ශ්‍රී ලංකාව ලොව ප්‍රසිද්ධයි. ඒ වුනත් අපි අමුද්‍රවයක් ලෙස තමයි ක්වාර්ට්ස් (තිරුවානා) ඛණිජය අපනයන කිරීම සිදුකරන්නේ. සමහර විට අප භාවිතා කරන පරිඝණකවල ඇති සිලිකන් චීපයන් නිර්මාණය කර ඇත්තේ අපේම රටෙන් ලබා ගන්නා ලද ක්වාර්ට්ස් වලින් ද විය හැක.  හැබැයි අගය වැඩිකර අපනයනය සඳහා, සිලිකන් ලෝහය ක්වාර්ට්ස් ඛණිජයෙන් වෙන්කිරීම පිළිබඳව අප රට තවමත් උනන්දු වන්නේ නැත. සිලිකන් ලෝහය වෙන්කර අපනයන කල හැකි නම් ඉතා විශාල මුදලක් අප රට ලබා ගත හැකි වෙනවා. විසිවන ශතවර්ෂයෙන් ආරම්භ වූ සිලිකන් යුගය එහෙම නැතිනං පරිඝනක යුගය එන්න එන්න ම වැඩි දියුණු වෙනවා. ඒ නිසා සිලිකන්  නිෂ්පාදන සඳහා තියෙන ඉල්ලුම ඉදිරියේදී තව දුරටත් වැඩි වේවි.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 16 October 2019

සුපිරි සිනාවකට පාෂාණ
Original Article was published in DIVAINA 16.10.2019

සුපිරි සිනාවකට නම් භූ විද්‍යාව ඕනේමයි. නොදන්නවා වුනාට ඔය ලස්සන හිනාව තවත් ලස්සන කරන්නේ භූ සම්පත් නිසා. ඇත්තටම කිව්වොත් ඛණිජ වර්ග නිසා. මොකද දන්නවද එහෙම කියන්නේ ? ඒ අපි පාවිච්චි කරන දත් බෙහෙත් හදන්න ඛණිජ ගණනාවක් යොදාගන්න නිසා. සජල සිලිකා, බෙන්තොනයිට් මැටි සහ හුණු මේ අතර ප්‍රධාන වෙනවා. මොකද හිතන්නේ... අච්චර තද ගල් වලින් මෙච්චර සුමුදූ දත් බෙහෙත් හදනවා කියලා හිතාගන්නත් බෑ නේද ?.

ඉහත සඳහන් කල ඛණිජ දත් බෙහෙත් හදන්න යොදාගන්නේ උලේඛයන් (Abrasive) ලෙසයි. සජල සිලිකා යන්නෙන් හැදින්වෙන්නේ ජලය සහිත සිලිකා යන්නයි. බොහොමයක් දෙනා මේ ගැන දන්නවා. යම් කිසි ඇසුරුමක ඇති දෙයක් වියලිව තියා ගන්න ඕනේ උනාම අපි වියළි සිලිකා භාවිතා කරනවා නේ. ඒවාට ජලය උරා ගත්තාම සජල සිලිකා බවට පත් වෙනවා. සිලිකා සමන්විත වෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ් (SiO2) කියන රසායනයෙන්. තිරුවානා ගල් හැදිලා තියෙන්නෙත් එම රසායනයෙන්ම තමයි.

බෙන්තොනයිට් කියන්නේ මැටි වර්ගයක්. ඇලුමිනියම් සිලිකේටයක් ලෙස හදුන්වන්න පුළුවන්. මැටි ඛණිජ වර්ග ගණනාවක් තියෙනවා. කෙයෝලින් කියන්නත් ඒවගේ මැටි වර්ගයක්. බෙන්තොනයිට් අයිති වෙන්නේ මොන්ට්මොරිලිනයිට් (montmorillonite) කියන මැටි වර්ගයට. ඇත්තටම් මේ මැටි වර්ගය නිපදෙන්නේ ගිනිකඳු මගින් නිර්මාණය වෙන්නේ යමහල් අළු (volcanic ash) ජීර්ණයට ලක් වීමෙන්. බෙන්තොනයිට් වයින්, බීර වැනි නිෂ්පාදන සඳහාද යොදා ගන්නවා.

එතකොට දත් බෙහෙත් හදන්න හුණුත් යොදාගන්නාව කියලා කිවවනේ. කැල්සියම් කාබොනේට් යන රසායනයෙන් තමයි හුණු නිර්මාණය වෙලා තියෙන්නේ. විටක් කනකොට ගන්න හුණු වලත රසායනයත් ඒකමයි. දත් බෙහෙත් හදන්න ගන්න හුණු ලබා ගන්නේ ‘චෝක්’ (chalk) නම් වූ පාෂාණයෙන්. ඉතිහාසයේ සඳහන් වෙන විදියට විසිවෙන ශතවර්ෂයේ මුල් භාගයේ ප්‍රධානම සංඝටකයක් වුනේ හුණු. ඒ විතරක් නොවෙයි සෝඩියම් බයි කාබොනේට් එහෙම නැතිනං බේකින් සෝඩා ත් උලේඛයක් ලෙස දත් බෙහෙත් හදන කොට ගන්නවා.

වසර 4000 කට පෙර සිටම දත් බෙහෙත් භාවිතා කල බවට සාක්ෂි හමු වෙනවා. මුල්ම කාලෙ ග්‍රීසියේ විවිධ ලෝහ රසායනයන් භාවිතා කරලා තියෙනවා. චීනයේ මිනිසුන් කුඩුකර ගත් මාළු ඇටකටු තමයි මේ සඳහා අරන් තියෙන්නේ. අරාබි ජාතිකයන් සිහින්ව කුඩුකරගත් වැලි වගේම පුමයිස් (pumice) කියන ආග්නේය පාෂාණ වලින් දත් පිරිසිදු කරන්න භාවිතාකල බව සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි සමහර රටවල් කුඩුකර ගත ලුණුත් මේ සඳහා යොදාගෙන තියෙනවා. අපේ රටෙත් ඉස්සර මිනිස්සු අඟුරු භාවිතා කල බව අපි හොඳින්ම දන්නාවා නේ.

නවීන බටහිර විද්‍යාව දියුණු වීමත් සමගම තමයි අපූරු දත් බෙහෙත් භාවිතයට එන්නේ. අද වෙනකොට වෙළඳ පොලේ තියෙන දත් බෙහෙත් වර්ග දුටුවාම නම් අපට කීයටවත් හිතෙන්නේ නැහැ ඛණිජ ඒ සඳහා යොදාගන්නවා කියලා.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 9 October 2019

සංරක්‌ෂණයේ අපූර්වත්වය ඇම්බර්
Original Article was published in DIVAINA 09.10.2019
ජුරාසික්‌ පාක්‌ රූප කාව්‍ය ඔබ නැරඹුවේ නම් ඔබට මතකයට නැගේවි එහි වූ ඩයිනොසෝරයන් ප්‍රති නිර්මාණය කරන්නේ එකල විසූ මදුරුවකුගේ වූ ලේවල තිබූ ජාන මගින් බව. මේ අපූරු යෝධ උරගයෝ මෙලොව රජ කළ යුගයක්‌ ද විය. ඒ ආසන්න වශයෙන් වසර මිලියන 200 කට පමණ පෙර වූ ක්‍රිටේසියස්‌ යුගයයි. ඒ යුගයේ බිහි වූ යෝධ උරගයෝ එතැන් පටන් තවත් වසර මිලියන 160 ක්‌ පමණ කාලයක්‌ ජීවත් වූ මොවුන් හදිසියේ මෙලොවින් තුරන් වන්නේ උල්කා පතනයක්‌ හේතුවෙන් යෑයි විද්‍යාඥයෝ පවසති.
 
 ඒ කොහොම වුණත් චිත්‍රපටියේ සඳහන් ඔය කියන මදුරුවා ආරක්‌ෂා වූයේ අපූරු ආකාරයකට යි. මදුරුවා හමුවන්නේ ඇම්බර් (amber) නම් වූ සුවිශේෂී ශාකමය ද්‍රව්‍යයක්‌ තුළ තිබිලා. මොනවද මේ ඇම්බ  කියන්නේ? ඇම්බර් කියල හඳුන්වන්නේ ප්‍රාග් ජීව ධාතුන් (fossilized) බවට පත් වූ ශාකමය මැලියම් (resin). ඇත්තටම මෙහි එක්‌ එක්‌ වර්ග වල මැලියම් මිශ්‍රනයක්‌ තමයි තියෙන්නේ. තරමක්‌ විනිවිද දැකිය හැකි කාබනික ද්‍රවයක්‌ කියලා කියන්නත් පුළුවන්. කොහොම වුණත් ඇම්බර් ඉතා හොඳ ආරක්‌ෂකයෙක්‌. ඒ තුළ හිර වූ ප්‍රාග් ජීව ධාතු (fossil)න් තමයි ආරක්‌ෂා කරන්නේ.
 
 මේ අපූරු ඇම්බර් නිර්මාණය වීමත් බොහොම අපූරුයි. මුලින්ම ශාක මැලියම් අවසාදිතත් සමග තැන්පත් වී කාලයත් සමග කෝපල් (kopal) නම් වූ කාබනිකයක්‌ බවත් වෙනවා. ඊට පස්‌සේ තවත් කාලයක්‌ යනකොට සිදුවන විවිධ රසායනික විපර්යාසයන් නිසා ටර්පීනයක්‌ (terpine) බවට පත් වී අවසාන අදියරේදී ඇම්බර් නිර්මාණය වෙයි. ඇම්බර් බවට පත් වීම නිසා ඈති වූ ප්‍රාග් ජීව ධාතුමය ශාක මැලියම් ස්‌වභාවික ජීර්ණ ක්‍රියාවලියට ප්‍රතිරෝධී බවක්‌ දැක්‌වීම නිසා දිගු කාලයක්‌ පරිසරයේ රැඳිලා තියෙන්න උපකාරී වෙනවා. ඒ හේතුව නිසාම ඇම්බර් තුළ සිරවන අනෙකුත් ජීවි පදාර්ථයන් ද හොඳින් අරක්‌ෂා වෙනවා. බොහොමයක්‌ ඇම්බර් තැන්පතු ඩයිනසෝරයන් ජීවත් වූ ක්‍රිටෙසියස්‌ යුගයේ තැන්පතු වූ ඒවා. එනමුත් ලෝකයේ පරණම ඇම්බර් ලැබෙන්නේ වසර මිලියන 320ක්‌ පමණ පරණ කාබනිපෙරස්‌ (carboniferous) කාලයේ තැන්පත් වූ අවසාදිත සමග.
 
 ඇම්බර් ඛනිජයක්‌ ලෙස සැලකෙන්නේ නැහැ. හේතූව ඇම්බර්වලට කාබනික ද්‍රවයක්‌ වීම. අනෙක්‌ හේතුව තමයි ස්‌ඵටිකිරණය නොවීම. එනිසා ස්‌ඵටිකමය
 
 ව්‍යුහයක්‌ එහි නැහැ. හැබැයි එහි අපූර්වත්වය නිසාම ඇම්බර්වලට මැණික්‌ ලෙස හොඳ වටිනාකමක්‌ වාගේම ඉල්ලුමකුත් තියෙනවා. එහි පැණි පැහැති ස්‌වභාවයත් දිගු කාලයක්‌ නොවෙනස්‌ව එහෙම නැතිනං ජීර්ණයට ප්‍රතිරෝධී වීමත් නිසා තමයි මැණික්‌ වර්ගයක්‌ ලෙස ලෝකයේ පිළිගැනීමක්‌ ලැබිලා තියෙන්නේ. ඇම්බර් එක්‌ එක්‌ වෙනස්‌ පැහැයන් සහිතයි. කහ, කොළ කහ, තැඹිලි, දුඹුරු පමණක්‌ නොවෙයි කළු පැහැයෙනුත් ඇම්බර් මුණ ගැහෙනවා. ඩොමිනියාවෙන් නිල් පැහැති ඇම්බර් ලැබෙන බව සඳහන් වෙනවා.
 
 ග්‍රීසියේ හුන් හිපෝක්‌රෙටස්‌ ගේ කාලයේ ඉඳලා ඇම්බර් ඖශධයක්‌ ලෙස භාවිතා කරලා තියෙන බව ඉතිහාසය පවසනවා. චීනයේ ජනතාව ඇම්බර් මානසික සුවතාවය ස්‌ථාපනය කරගැනීම සඳහා ද භාවිතා කළ බවට සඳහන් වෙනවා. කුඩා ළමුන්ගේ දත් ඇදීමේදී ඇතිවන වේදනවා සමනය කරගැනීම සඳහා ඔවුන්ගේ කරෙහි මාලයක්‌ මෙන් පැලන්දූ බව ද සඳහන්. චීන ජාතිකයන් ඇම්බර් පුළුස්‌සා උත්සව අවස්‌ථාවන්වලදී සුවඳ ඇති කළ බව ද ඉතිහාසයේ සඳහන්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 25 September 2019

මුහුණේ ගාන ගල් කුඩු
Originally published in Divaina, 25.09.2019
පාෂාණ නිර්මාණය වන්නේ ඛණිජ වලින්. ඛණිජ කියන්නේ රසායනික සංයෝග. මේ වනවිට ඛණිජ වර්ග 5000ක්‌ පමණ හඳුනාගෙන තියෙනවා. ඒ අතුරින්, ලෝකයේ තියෙන වඩාත්ම සුසිනිඳුම ඛණිජය වන්නේ ටැල්ක්‌ (talc). ටැල්ක්‌ කියන්නේ මැග්නීසියම්, සිලිකන් සහ ඔක්‌සිජන් වලින් සමන්විත වූ මැටි ඛණිජයක්‌. හයිඩ්රේටඩ් මැග්නීසියම් සිලිකේටයක්‌ කියලා කියන්නත් පුළුවන්. මේ ඛනිජයේ සුසිනිඳු බව නිසාම විවිධ වර්ගවල පවුඩර් (කාන්තා, ළමා සහ පිරිමි) නිෂ්පාදනයට මෙන්ම වෙනත් රූපලාවන්‍ය ආලේපන සඳහාත් ටැල්ක්‌ යොදාගන්නවා. මෙම ටැල්ක්‌ ඛණිජය 'ප්‍රංශ හුණු' ලෙස ද හඳුන්වයි.

ටැල්ක්‌වල තියෙන සුවිශේෂී ගුණය තමයි ඉතා හොඳින් ජලය උරා ගැනීමට හැකි වීම. එනිසා සිහින්ව අඹරාගත් ටැල්ක්‌ මගින් නිෂ්පාදනය කරන පවුඩර් මුහුණේ ආලේප කළ විට තෙතමනය උරා ගෙන මුහුණ වියළිව තබනවා. එවිට තෙතමනය නිසා ඇතිවන දිලීර වර්ධනය නවත්වා දද වැනි සමේ රෝග ඇතිවීම වළක්‌වයි. කොහොම වුණත් ලෝකයේ ළමා ආලේපන සඳහා ටැල්ක්‌ බහුලව යොදාගන්නවා.

ලෝකයේ ඛණිජ වර්ගවල දැඩියාව මනින මිමි හඳුන්වා දුන්නේ මෝහා. ඒ 1812 දී. ඔහුගේ චක්‍රයට අනුව දැඩියාව වැඩිම වන්නේ දියමන්ති, අගය 10 ක්‌. අඩුම වන්නේ ටැල්ක්‌, අගය 1ක්‌. ඔබේ ඇඟිල්ලේ දැඩියාවත් එයට වඩා වැඩියි. ඒ කියන්නේ ටැල්ක්‌ එතරම්ම් සිනිඳුයි. ටැල්ක්‌ යොදාගන්නේ පවුඩර් හදන්න විතරක්‌ නොවෙයි. ප්ලාස්‌ටික්‌, තීන්ත වැනි ආලේපන, කෘතීම රබර් සහ සෙරමික්‌ වැනි නිෂ්පාදන සඳහා ද ටැල්ක්‌ දායක වෙයි. විවිධ ඖෂධ නිෂ්පාදන මෙන්ම සමහර ආහාර රස කාරක ද ටැල්ක්‌ වලින් නිපදවන බව පැවසෙයි.

ලෝකයේ වැඩියෙන්ම වෙළඳපළට ටැල්ක්‌ සපයන්නේ චීනය. එය ආසන්න වශයෙන් 30%ක්‌ එයට අමතරව බ්‍රසීලය, ඇමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් ද ලෝකයට ටැල්ක්‌ සපයන්නන්. ටැල්ක්‌ ඛණිජය බහුලව හමුවන්නේ විපරිත පාෂාණ ආශ්‍රිතව. ඒ වාගේම ටැල්ක්‌ නිධි සමග සමහරවිට ඇස්‌බෙස්‌ටෝස්‌ ඛනිජයත් තියෙනවා. විශේෂයෙන්ම ධවල ඇස්‌බෙස්‌ටෝස්‌ සමග ටැල්ක්‌ මිශ්‍රව තිබෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි දෙකම බොහොම සමාන රසායනයක්‌ වගේම ස්‌ඵටිකමය ස්‌වරූපයක්‌ ද දක්‌නට ලැබීමයි.

ටැල්ක්‌ සමග ඇස්‌බෙස්‌ටෝස්‌ මිශ්‍රව පැවතීමට ඇති හැකියාව නිසා සමහර රටවල් කුඩා ළමුන් සඳහා මෙම නිෂ්පාදන අනුමත කරන්නේ නැහැ. ඒ ඉතා සියුම් අංශු ස්‌වසනය වන නිසා පෙනහළු රෝග මෙන්ම පිළිකා ද ඇතිවිය හැකි නිසා. වැඩිහිටියන්ටද විශේෂයෙන්ම කාන්තාවන්ට මෙමගින් හානි සිදුවන බව පිළිගෙන වන්දි ගෙවූ අවස්‌ථා අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ 

Monday 23 September 2019

විදුපත්ඉරුව
2016.08.17

"පෘථිවි අභ්‍යන්තරයේ ඉන්නා ගල් කන පණුවා ගල් කෑව ද ගල් දෙකක්‌ අතරින් තැබූ කතුර කන්නේ මළකඩ ය". මේ "ගල් කන පණුවා ගේ කතාව" අප අතර එක්‌ කලෙක පැතිර ගිය ජනප්‍රිය හාස්‍යජනක කතාන්දරයකි. සත්‍ය ලෙස ම මෙවැනි ජීවීන් ලොව වෙසෙන්නේ ද යන්න එකල මට ද ඇති වූ පැනයකි. පණුවන් කෙසේ වෙතත් පාෂාණ ආහාර කරගන්නා වෙනත් ජීවීන් විශේෂයක්‌ වෙසෙන බව විද්‍යාඥයන් සොයාගෙන තිබීම කෙතරම් විස්‌මයජනක ද යන්න ඒ ගැන සොයද්දී මට සිතිණි. ඔබට ද මෙය කියවූ පසු එසේ සිතෙනු නිසැක ය. ඇසට නො පෙනෙන ජීවීන් කාණ්‌ඩයක්‌ වන මොවුන් ඔබ ඉතා හොඳින් දන්නා බැක්‌ටීරියාවන් වේ. මොවුන් හඳුන්වන්නේ 'පාෂාණභක්‌ෂක' බැක්‌ටීරියාවන් (lithotrophic bacteria) ලෙස ය.

ඔබ හොඳින් දන්නා පරිදි බැක්‌ටීරියාවන් ඉතා අධික විවිධත්වයක්‌ පෙන්වන ක්‌ෂුද්‍රජීවීන් කාණ්‌ඩයකි. ලොව දසත විසිරි පැතිරී ඇති මොවුන් ඉතා කටුක පරිසරවල පවා ජීවත් වීමට කදිමට හැඩගැසී ඇත. ක්‌ෂුද්‍ර දේහ දරන මේ ජීවීන් ඉතා සරල ඒක සෛලිකයන් ය. ජීවී පරිණාමයේ මූලාරාම්භකයන් ලෙස විදු ලොව පිළිගැනෙන මොවුන් ගේ සරල දේහ ඉතා ම සරල පරිවෘත්තීය ක්‍රියා පෙන්වන විද්‍යාගාර වැනි ය. තම ශක්‌ති අවශ්‍යතාව ආකාර ගණනාවකින් පිරිමසාගන්නා මොවුන් සමහරෙක්‌ ස්‌වයං නිෂ්පාදකයෝ වෙති. ප්‍රභාසංශ්ලේෂකයෝ ද එමෙන් ම රසාසංස්‌ලේෂකයෝ ද ඒ අතර වෙති.

'පාෂාණභක්‌ෂකයෝ' රසාසංශ්ලේෂකයෝ වෙති. ප්‍රභාව අහිමි පරිසර තුළ වෙසෙන මේ අපූරු බැක්‌ටීරියාවන් තම ශක්‌ති අවශ්‍යතාව සපුරාගන්නේ අකාබනික සංයෝග බිඳ හෙළීමෙනි. ඒ සදහා ඔවුන් වෙසෙන පරිසරයේ ඇත්තා වූ විවිධ සංයෝග වර්ග යොදාගනු ලැබේ. මේවා බොහොමයක්‌ පාෂාණකාරක ඛනිජ නිර්මාණය කරන සංයෝග වෙයි. සරල ව පවසන්නේ නම් මොවුන් භක්‌ෂණය කරන්නේ ඛනිජ ය. ශක්‌තිය නිපදවන කැල්වින් චක්‍රය හරහා කාබන්ඩයොක්‌සයිඩ් තිර කිරීමට මොවුනට හැකි ය. මොවුනට ඒ හැකියාව ලැබෙන්නේ මේ සංයෝග බිඳ හෙළීමෙන් ලබාගන්නා ඉලෙක්‌ට්‍රොaනවලිනි. ඔක්‌සිජන් සපිරි පරිසරවල ද ඔක්‌සිජන් රහිත පරිසරවල ද ඉතා කදිමට ජීවත් වීමට මොවුනට හැකියාව ඇත. එහෙත් පරිසර තත්ත්ව වෙනස්‌ වූ විට තම ජීවිතය ගැටගසා ගැනීමට සමහරකුට නොහැකි අතර තවත් කාණ්‌ඩයකට ඒ අපූරු හැකියාව ලැබී ඇත. ඔවුහු වෛකල්පිත පාෂාණභක්‌ෂකයෝ වෙති.

රසාසංශ්ලේෂක පාෂාණභක්‌ෂකයන් බොහෝ විට වෙසෙන්නේ ගල් ගුහාණී වගුරුබිම් වැනි අඳුරු පරිසර තුළ ය. ගැඹුරු මුහුදු පත්ලේ දැන් දැන් පිපිරෙන ගිනිකඳුවල ලාවා මුදාහරින විදාරණ ආශ්‍රිත ව ද පාෂාණභක්‌ෂකයන් හමු වන බවට සාක්‌ෂි ඇත. පොළොව අභ්‍යන්තරයේ ඉතා කටුක තත්ත්ව යටතේ අපූර්ව ජීවන ක්‍රමයකට හැඩගැසී ඇති පාෂාණභක්‌ෂකයෝ බොහොමයක්‌ ඔක්‌සිජනිකෘත තත්ත්ව යටතේ ඉතා හොඳින් ක්‌රිතයාකාරී ය. ඔක්‌සිහරිත අකාබනික සංයෝග ඔක්‌සිකරණය කරමින් දායක සංයෝගයකින් ඉලෙක්‌ට්‍රොaන සොරාගන්නා මේ බැක්‌ටීරියාවන් දෛනික ක්‍රියා සදහා අවශ්‍ය ශක්‌තිය නිපදවාගන්නා අයුරු ඇත්තෙන් ම විස්‌මයජනක ය.

පාෂාණභක්‌ෂකයන් පාෂාණයේ ඛනිජ ආහාර කරගැනීම නිසා පාෂාණය ජීරණයට ලක්‌ වන අතර නව ඛනිජයක්‌ බිහි කරන්නට හේතු වේ. මෙය ජෛවඛනිජකරණය (Biomineralization) ලෙස හඳුන්වන අතර ඒ සදහා හේතු වන්නේ ඔවුන් ගේ ඔක්‌සිකාරක ක්‍රියාවයි. සෑදෙන ඔක්‌සිහරිත සංයෝග පරිසරයේ වඩා ස්‌ථායි සංයෝගයක්‌ ලෙස නිදහස්‌ වේ. උදාහරණයක්‌ ලෙස 'යකඩ භක්‌ෂක' (iron) බැක්‌ටීරියාවන් විසින් ඔක්‌සිහරණය වූ යකඩ ඔක්‌සිකරණය කර යකඩ ඔක්‌සයිඩය (
Fe2O3) නිපදවනු ලැබේ. මේවා බොහෝ විට හිමටයිට්‌ ලෙස ස්‌ඵටිකීකරණය වන අතර වගුරු බිම්, කුඹුරු වැනි ස්‌ථානවල බහුලව හමු වේ. මේ අතර මැන්ගනස්‌ (Manganas) සංයෝග මත යෑපෙන පාෂණභක්‌ෂක විශේෂයක්‌ ද වෙයි. බොහෝ විට ඔවුන් 'යකඩ භක්‌ෂකයන්' හා එක්‌ ව වෙසෙන බවක්‌ පෙනී යයි. යකඩ ඔක්‌සයිඩ අවක්‌ෂේප වන්නා වූ බොහොමයක්‌ ස්‌ථානවල මැන්ගනිස්‌ ඔක්‌සයිඩය (MnO) ද අවක්‌ෂේප වනු දැකිය හැකි ය. ගෙන්දගම් (S) නිපදවන්නට සමර්ථයෝ ද මේ අතර වෙති. ඒ සදහා ඔවුන් භක්‌ෂණයට යොදාගන්නේ පයරයිට්‌ (Payarite) වැනි ගෙන්දගම් අඩංගු ඛනිජ වර්ග වේ. එහි ඇති යකඩ හා ගෙන්දගම් අතර බන්ධනය කඩා බිඳ දමා ඔක්‌සිහරිත ගෙන්දගම් ඔකසිකරණය කර ස්‌ථායි ගෙන්දගම් බවට පත් කරනු ලැබේ. තවත් විශේෂයක්‌ ගෙන්දගම් මත ක්‍රියා කර තවදුරටත් ඔක්‌සිකරණය කර සල්ෆේට නිපදවයි.

පාෂාණභක්‌ෂකයෝ නයිට්‍රජන්, පොටෑසියම්, පොස්‌පරස්‌ සහ හයිඩ්‍රජන්වල සංයෝග මත ද ක්‍රියා කරන අතර එනිසා පෘථිවි ගැඹුරේ සිර වී ඇති මේ සංයෝග පොළොව මතුපිටට ගෙන එන්නට එය හේතුවක්‌ වෙයි. මේ මුලද්‍රව්‍ය සංයෝගවල චක්‍රීය සංසරණයට මොවුන් ගේ භක්‌ෂණය මනා පිටිවහලක්‌ වී ඇත. පාෂාණ භක්‌ෂකයන් ගේ ක්‍රියාකාරිත්වය විටෙක මිනිසාට තර්ජනයක්‌ වන අවස්‌ථා ද නැත්තේ නො වේ. ස්‌වාභාවිකව පරිසරයේ ඇති ආසනික්‌ සංයෝග අද්‍රdව්‍ය නිසා ජලයට නිදහස්‌ වන්නේ නැත. එහෙත් වර්තමානයේ විද්‍යාඥයන් සැක කරන්නේ මොවුන් ගේ ක්‍රියාකාරිත්වය නිසා අද්‍රdව්‍ය ආසනික සංයෝග ද්‍රdව්‍ය වනු ඇති බවයි. එනිසා ආසනික්‌ භූගත ජලයට එකතු වී මිනිසාට හානි ගෙන දෙන්නට හේතු වන බවයි.

පාෂාණභක්‌ෂයන් ගේ ක්‍රියාකාරිත්වයෙන් ඇති වන ඛනිජ එක්‌රැස්‌ වී බිහි වන ඛනිජ නිධි හඳුනාගැනීම එතරම් අපහසු නොමැති බව විද්‍යාඥයෝ පවසති. ඒ මන්ද යත් සියල්ලෝ ම කරන පරිදි, ඔවුන් ද යම්කිසි සාක්‌කි සටහන් තබන බැවිනි. මේ ක්‌ෂුද්‍රයන් ගේ ක්‍රියාවෙන් උපදිනා සංයෝග ඉතා සියුම් වේ. බොහෝ විට ඉතා සියුම් ඛණිකා වන අතර ඒවායේ ප්‍රමාණය නැනෝ මීටර 2-3ක්‌ පමණ වේ. එහෙත් අකාබනික ඛනිජකරණයෙන් බිහි වන සංයෝගවල ස්‌ඵටික වඩා විශාල වන අතර මේවායේ සියුම් ස්‌වරූපය අති විශේෂ වේ. මේ සදහා කදිම උදාහරණයක්‌ වන්නේ ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රදේශයෙන් හමු වන සින්ක්‌ නිධියකි.

කෙසේ වෙතත් මේ අපූර්ව ජීවී විශේෂය විශ්වයේ ජීවය ඇති වීමේ රහස සොයා යන ගමනේ එක සන්ධිස්‌ථානයක්‌ ලෙස ද අපට සැලකිය හැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 19 September 2019

හේලයිට්‌ (Halite) නැතිව බත් කන්නේ නැද්ද?

Originally Published in Divaina, 18.09.2019.

හැබෑටම මේ හේලයිට්‌ හින්දා ගෙවල් දොරවල් වල සන්ඩු සරුවල් වෙනවා විතරක්‌ නොවෙයි ඒවා සමහර වෙලාවට මරණයෙනුත් කෙලවර වෙනවා. අඹු සැමියෝ විරසක වෙලා දික්‌කසාදත් වෙනවා. හේලයිට්‌ අඩු වුණොත් විතරක්‌ නොවෙයි වැඩි වුණත් කන්න බෑ. පදම දන්න කෙනා තමයි උයන්න දක්‌ෂයා. මෙච්චර වටින නැතිවම බැරි හේලයිට්‌ කියන්නේ මොනවද? හේලයිට්‌ කියන්නේ ලුණුවල ජීව විද්‍යාත්මක නාමය. ඔන්න පින්තුරේ තියෙනවා ලුණු ස්‌ඵටිකිකරණය වෙලා හැදෙන ස්‌ඵටික වල හැඩය. ලුණු වල රසායන විද්‍යාත්මක නාමය වන්නේ සෝඩියම් ක්‌ලෝරයිඩ් (NaCl). බොහොමයක්‌ අවස්‌ථාවලදී අධික උෂ්ණය ඇති මුහුදට අසන්න ප්‍රදේශවල මුහුදු වතුරෙන් ලුණු අවක්‌ෂේප වෙනවා. (ලුණු පමණක්‌ නොවෙයි වෙනත් ලවණ වර්ගත් ඒ සමග වෙනවා). ඒ ක්‍රමය භාවිත කරලා තමයි අපි මුහුදු වතුරෙන් කෘතිමව ලුණු නිපදවා ගන්නේ.
 
 මුහුදු වතුර ලුණු රස වෙන්නේ මුහුදේ ලුණු දිය වීම නිසා නම් නොවෙයි. හැබෑටම කොහොමද මුහුදු වතුර ලුණු රස වෙන්නේ? මේ සඳහා හේතුවෙන්නේ ප්‍රධාන භූ විද්‍යාත්මක සංසිද්ධීන් දෙකක්‌. එකක්‌ තමයි ජීර්ණය කියන ක්‍රියාවලිය. මෙමගින් ගොඩබිම ඇති පාෂාණ ජීර්ණයට ලක්‌වෙලා සමහර ඛණිජ ජලයට මුසු වෙනවා. මෙහිදී ඇත්තටම ජලයට මුසුවෙන්නේ ජලයේ පහසුවෙන් දියවෙන ඛණිජ. එහෙම නැතිනම් ඛණිජ සහ පාෂාණ ජීර්ණය නිසා ඇතිවන විවිධ ඇනායන සහ කැටායන. විශේෂයෙන්ම කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම් පොටෑසියම් වැනි කැටායන (ඇල්කලි අයන). එයට අමතරව පාෂාණ ජීර්ණයෙන්, සිලිකේට්‌ සහ කාබොනේට්‌ අයනත් ජලයට එකතු වෙනවා. ඛාදනයෙන් ජල මාර්ගවලට එකතුවෙන මේ අයන ඇල, දොළ, ගංගා ඔස්‌සේ අවසානයේදී මුහුදට එකතු වෙනවා.
 
 අනෙක්‌ ක්‍රියාවලිය තමයි මුහුද අභ්‍යන්තරයේ පිපිරෙන ගිනිකඳු. බොහොමයක්‌ අය දන්නේ නැහැ මුහුද මැද්දේ ගිනිකඳු පිපිරෙනවා කියලා. අත්ලාන්තික්‌ මුහුද මැද්දේ ඇති මාධ්‍ය සාගරික කඳු පන්තිය කේන්ද්‍ර කොට සිදුවෙන ගිනිකඳු වලින් තමයි බොහොමයක්‌ පෘථිවි මධ්‍යයේ වූ රසායනයන් මුහුදු ජලයට එකතු කරන්නේ. බොහොමයක්‌ ගිනිකඳු තල මායිම් ඇසුරු කරගෙන තමයි බිහිවෙන්නේ. එහිදී වැඩිපුරම හයිඩ්‍රජන් සහ ක්‌ලෝරයිඩ් අයන තමයි මුහුදු ජලයට මුසු වෙන්නේ.
 
 මුහුදට එකතුවෙන මෙම රසායනයන්ගෙන් කාබෝනේට සහ සිලිකේට වාගේම කැල්සියම් සහ මැග්නීසියම් අයනත් මුහුදු සතුන්ගේ කවච හදන්නට දායක වෙනවා. ඒ හින්දා ඒවා මුහුදු ජලයේ සාන්ද්‍ර ගතවෙන්නේ අඩුවෙන්. පොටෑසියම් වැනි අයන මුහුදු මැටි වලට උරා ගන්නවා. එයට අමතරව හයිඩ්‍රජන් අයනත් විවිධ රසායනයන් සමග සම්බන්ධ වෙනවා. අවසානයේ දී මුහුදු ජලයේ ඉතුරු වන්නේ එහෙමත් නැතිනම් සාන්ද්‍රගත වන්නේ සෝඩියම් සහ ක්‌ලෝරයිඩ් අයන. එනිසයි මුහුදු ජලය ලුණු රස වෙන්නේ. කොහොම වුණත් මුහුදු ජලයේත් මේවායේ සාන්ද්‍රණය වැඩිවෙනකොට අවක්‌ෂේපයෙන් මුහුදු පත්ලේ තැන්පත් වෙනවා. නැවත නැවත මෙලෙස තැන්පත් වූ ලුණු මුහුදු ජලයට එකතු වෙන්නත් පුළුවන්.
 
 මුහුදු අභ්‍යන්තරයේ නිධිගත වෙන මෙවැනි ලුණු නිධි ඒ ආසන්නයේ වූ අනෙකුත් අවසාදිත සමග පාෂාණ බවට පත් වෙන්නේ අධික ලෙස වාෂ්පීකරණය හේතුවෙන්. තල භූ ක්‍රියාකාරකම් නිසා මුහුදු පත්ලවල් ගොඩබිම් ලෙස මතුවෙන්නට පුළුවන. එහිදී මෙම වාෂ්පීකරණ ක්‍රියාවලිය වඩාත් පහසු වෙනවා. පාෂාණ ස්‌ථර අතර එලෙස තැන්පත් වූ ලුණු (rock salt) ලෝකයේ විවිධ ස්‌ථානවල හමුවේ. ඒ ලුණුත් එදිනෙදා භාවිතයට ගන්න පුළුවන්.

Wednesday 18 September 2019

විදු පත්ඉරුව
29.06.2016

පසු ගිය දිනෙක මා ලද ලිපි අතරින් එක්‌ සුවිශේෂී ලියවිල්ලක්‌ ඔබ හමුවට ගෙන ආ යුතු යෑයි සිතුවෙමි. පහත ඇත්තේ ඒ ලිපියයි. කිසිදු වෙනසක්‌ නො කළ බව කිව යුතු ය.

"වාසනවාට හෝ අවාසනාවට මිනිසා මිහි මත බිහි වී ඇත. වසර මිලියන 2කට මත්තෙන් වානර මගින් ඉවත් වී වෙන ම මාර්ගයක ගමන් කළ මානවයා ශීඝ්‍රයෙන් මෙතෙක්‌ ලද වෙනස නම් ඉතා අධික ය. වෙන කවර සත්ත්වයකුට ද වඩා ස්‌වාභාවික පරිසරයෙන් වියුක්‌ත ව ඉතා කදිම නිර්මිත පරිසරයක අයිතිය හිමි කරගන්නට සමත් වී ඇත. එපමණක්‌ නො වේ. ඒ වෙනුවෙන් ස්‌වාභාවික පරිසරය අමු අමුවේ ම වෙනස්‌ කරන්නට පෙලඹී ඇත. ඒ තම ආත්මාර්ථකාමීකම වඩාත් හොඳින් ලොවට පෙන්වමිනි. ලොව වෙසෙනා සියලු ම සත්ත්වයන් හට පාරිසරික සිමා මායිම් ඇත්තේ මුත් මිනිසාට එසේ නැත. කණගාටුවට කරුණ නම් තමනට අයිති නො වූ වෙනත් සත්ත්වයන් ගේ රාජධානි ද බියක්‌ සැකක්‌ නොමැති ව ආක්‍රමණය කර අත්පත් කරගැනීමයි. ආක්‍රමණයට ලක්‌ වූවන් මේ වන විට වඳ වී ගොසිනි. නැත හොත් වඳවෙමින් පවතින බැවින් රතු දත්ත පොතට ඇතුළත් කරන්නට තරම් මිනිසා අකාරුණික වී ඇත. නැත හොත් වඳ වී යන බැවින් අනාගතයේ තම දරු පරපුරට දැකගන්නට සත්ත්ව උද්‍යානයේ කූඩුවක තබා ඇත.

ස්‌වාභාවික පරිසරයේ වෙසෙනා ජීවීන් සමූහයේ ම එක්‌ ජීවී විශේෂයක්‌ ලෙස බිහි වුව ද මිනිසා තම ආධිපත්‍යය අනෙකුත් ජීවීන් මත බලපවත්වන්නේ සිත් පිත් නැත්තකු ලෙසයි. කලකට පෙර තමා සමග එක්‌ ව නැගී සිටි ජීවීන් ද තමාට එරෙහි වූ ජීවීන් ද ඉතා පහසුවෙන් යටපත් කරන්නට මිනිසා සමත් වී ඇත. කෙටි කාලයක්‌ තුළ තම නිර්මිත පරිසරය ගොඩනැගීම සදහා අපමණ වෙහෙසක්‌ ගත් මිනිසා පරිසරයේ චක්‍රීය බව තේරුම්ගත්තේ බොහෝ පසු ව ය. ඒ වන විට සිදු විය යුතු සියල්ල සිදු වී හමාර ය. මේ සියල්ලට හේතු වී ඇත්තේ මිනිසා ම කියනා පරිදි මිනිසා ගේ අග්‍රගණ්‍ය මොළයේ දියුණුවයි. කොපමණ දියුණු වුවත් දුරදිග නො බැලීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සිදු කළ වෙනස්‌කම් සියල්ල මිනිසාට ම පාරා වළල්ලක්‌ වී පැමිණ හමාර ය. කාලය ගත වෙමින් ඇත. දියුණු මොළයට කාලයකට පසු හෝ මේ බව පසක්‌ වුව ද කළ හැක්‌කක්‌ නොමැති වී ඇත. කෙසේ වුවත් මිනිසා තම දුර්දාන්ත විනාශකාරී මාවතේ දිගට ම ගමන් කරන බවයි පෙනී යන්නේ.

තම ගම්බිම් අහිමි වූ ජීවීන් ජීවත් වීමේ අරගලයට ඉතා භයානක ලෙස මුහුණ දුන් බව ද වඳ නො වූවන් තවමත් ඊට මුහුණ දෙමින් සිටිනා බව ද ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නැත. වනාන්තර සිමාකාරී වීම පමණක්‌ නො ව ඒවා බොහොමයක්‌ වනඋද්‍යානයන් වීම ද නිසා බොහෝ ජීවීන්ට තම නිදහස්‌ චරණය සීමා කරන්නට සිදු වී ඇත. එනිසා අලින්ට, ඉත්තෑවුන්ට, රිලවුන්ට, වඳුරන්ට, මීයන්ට සහ ඌරන්ට තම ජීවිතය උගසට තබා ආහාරය සදහා ගම් වදින්නට ද සිදු වී ඇත. පවතිනා දෙයින් ලැබෙනා දෙයින් කුසගින්න නිවා ගන්නට සිදු වීම නිසා පොලිතින් ද තම ආහාරයේ එක්‌ අංගයක්‌ වී ඇත. තමනට නිවහන සැපයූ විසල් රුක්‌ ගොමු නොමැති නිසා තම දරුවනට අවැසි රැකවරණය සදහා පක්‌ෂීන්, ලේනුන් වැනි සතුනට මිනිසා ගේ නිර්මිත පරිසරය තෝරාගන්නට සිදු වී ඇත. බොහොමයක්‌ සතුනට මිනිසා තැනූ මංමාවත් මරණය ගෙනෙනා ස්‌ථාන බවට පෙරළී ඇත. එනිසා තම පැවැත්ම ස්‌වාභාවිකවරණයට පමණක්‌ තීරණය කළ නොහැකි බව ද ඒ සදහා මානව වරණය ද අතිශයින් බලපානා බව ද ඔබට වැටහෙනු ඇත.

මිනිසා තමාට අවැසි ජීවීන් උදෙසා සුවිශේෂී ආරක්‌ෂණ වැඩපිළිවෙළක්‌ සකසා ඇති බව සත්‍යයකි. කොටසකට පමණක්‌ අතිශය සහන සහ සුබසාධන සපයා ඇත. තම නිර්මිත පරිසරයට ගැටලුවක්‌ වන්නා වූ සියලු ම ජීවීන් ඉන් ඈත් කර තබන්නට හෝ අතුගා දමන්නට හෝ පෙලඹී ඇත. මිනිසා තම පැවැත්ම තහවුරු කරනු වස්‌ සිදු කරනා පර්යේෂණ නිසා සමහර ජීවීනට තම ජීවිතය පවා පුද කිරීමට සිදු ව ඇත. පර්යේෂණ පමණක්‌ නො ව තම අධ්‍යාපනය උදෙසා යෑයි ජීවීන් කුඩුවල දමා ගාල් කර තබන සත්ත්ව උද්‍යාන බිහි කිරීම නිසා ජීවීන්ට තම නිජබිම්වල ජීවත් වීමේ අයිතිය අහිමි කර ඇත. තාක්‌ෂණය මෙතරම් දියුණු වී ඇති මේ සමයෙහි මෙවැනි සත්ත්ව උද්‍යාන නම් වදකාගාර තවමත් පවත්වාගෙන යැම මිනිසා ගේ ක්‍රෑර බව හොඳින් පෙන්වන්නකි. වර්තමානයේ මුදලට කෑගසන්නා වූ සත්ත්ව අයිතිය සුරකින්නන් හට ද මේ බව පසක්‌ නො වීම කෙතරම් කණගාටුවට කරුණක්‌ ද යන්න ඔබට වැටහේ වි.

මිහි මත ඉතිරි වී ඇති බොහොමයක්‌ ජීවීන් මිනිසා ගේ ම නිර්මාණයක්‌ වූ අභයභූමිවලට සීමා කර ඇත. වනාන්තර එලි පෙහෙළි කිරීම නිසා යන එන මං අහිමි වූවන්ට මෙමගින්

රැකවරණයක්‌ සැලසේ යෑයි සිතුව ද ඇත්තෙන් ම එසේ සිදු නො වන බව කිව යුතු ය. සංචාරකයන් පිරිවරා ගත් රථ මහා හඬ නංවමින් වන වැසියන් ගේ නිදහසට අතිශය බාධා කරයි. හුදු විනෝදය පිණිස, ඇස්‌ නිලංකාර කරනා අධි සැර ආලෝක විහිදුවනා උපකරණ රැගෙන යන එන මග රැක සිටීම නිසා වන වැසියන් බියට පත් කරන බව ද විටෙක කෝපයට ද පත් කරන බව ද මේ ආත්මාර්ථකාමී මිනිසුන් දත යුතු ය. එපමණක්‌ නො වේ. වන වැසි මසට ලොල් වූ දඩ වැද්දන් ගේ ග්‍රහණයට අසු වන්නන් ප්‍රමාණය මෙතෙකැයි කිව හැකි නො වේ.

වර්තමානයේ මේ කොයි ආකාරයෙන් හෝ ජීවීන් ගේ වටිනා ජීවිතය නැති වන්නට ඉඩ කඩ බොහෝ ය. ජීවීන් හට ඉන්නට තැනක්‌ නැත. ඔවුනට යන්නට ද තැනක්‌ නැත. අතරමං වන, මිනිසා ගේ නිර්මිත පරිසරයේ ජීවීන්ට වෙන් කළ ඉඩක්‌ නොමැති බව ඔබ තේරුම්ගත යුතු ය. එහෙත් සියලු ම ජීවීන් හට කෙසේ හෝ ජීවත් වීමේ අරගලයක නිරත වීමට සිදු වේ. ඒ සැම අයකුට ම ජීවත් වීමේ පරම අයිතිය ඇති බව මිනිසා තේරුම්ගන්නා තෙක්‌ වුව ද ඒ වන විට ජීවත් වීමට තම අනන්‍ය වූ ගම බිම ඉතුරු වී ඇතැයි කිසිවකුට කිව නොහැකි ය."

"වඳ නො වී සිට තවමත් ජීවත් වීමට අරගල කරන්නෙක්‌" යෑයි ලිපිය අවසානයේ සටහන් තබා තිබිණි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...