විපරීත කඩුගන්නාවේ සුන්දරත්වය...!!!
භූ සංචාරිතය 22
This article is originally published on Vidusara 11.08.2020.
භූ සංචාරිතය මා ගෙන එන්නේ බොහෝ දෙනෙනෙකු නොදකින ශ්‍රී ලංකික භූ පරිසරයේ අපූරු සුන්දරත්වය ඔබ වෙත ගෙන එන්නට මිස, මාගේ දැනුමේ වපසරිය පෙන්වන්නට නොවන බව මෙහිලා මා තරයේම සඳහන් කල යුතුය. දශකයට අසන්න කාලයක් මා සේවය කරන ලද්දේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධව යි. එනිසා මාගේ දශක දෙකකට ආසන්න සේවා කාලයේ අර්ධයක්ම මා ගත කරන්නේ පුරාවිද්‍යාත්මක දෑ ඇසුරු කරගෙනය. ම විසින් මෙරට වර්ධනය කරන ලද භූ පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල ශ්‍රී ලාංකික පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙහි ගිලිහුන ගැලපුම ශක්තිමත් කරන්නට අවශ්‍ය මාධ්‍ය සපයන්නට හැකි බව අමතක නොකළ යුතුය. මේ සත්‍යතාවය පිලි නොගන්නා තෙක්ම, භූ විද්‍යාව පුරාවිද්‍යාවේ පදනම නොවේ යැයි සිතන තාක්ම, සමාවන්න, එය ළිං මැඩියන්ගේ කථිකාවතක් පමණක් වනු ඇත.
භූ සංචාරිතයෙන් මා ගෙන එන දේ බොහෝ විට පුරාවිද්‍යාවට සම්බන්ධ බව මාගේ ලිපි ඔබ කියවන්නේ නම් ඔබට වටහා ගන්නට හැකි වේ. මා මිතුරු පුරාවිද්‍යාඥයින් තරයේම මතකයෙහි රඳවා ගත යුතු කරුණ වන්නේ ඒ හරහා මා කිසිම විටක ඔවුන්ගේ දැනුම අවතක්සේරු කරන්නට උත්සාහ නොදරන බවයි. එපමණක් නොව කිසිවිටෙක මා ඔබගේ ක්ෂේත්‍රය ආක්‍රමණය කරන්නට උත්සාහ නොදරන බවයි, මා සැමවිටම උත්සාහ දරනුයේ ඔබගේ මතයට රුකුලක් විය හැකි භූ විද්‍යාත්මක කරුණු ගෙනහැර පෑමයි. ඒ ඔබගේ මතය අතාර්තිකත්වයෙන් මුදවා ගැනීම උදෙසායි. එනිසා වරදවා වටහා ගැනීමක් නොකර මා විසින් ගෙන එන කරුණු ඔබගේ මතයන් සනාථ කිරීම සඳහා උපයෝගී කරගන්නා ලෙසයි මා කාරුණිකව ඉල්ලා සිටින්නේ.
මා අත්දකින ලද භූ පරිසරය මා දකින්නේ මාගේ චිත්තයේ අදිනා ලද සිතුවමක් ලෙසයි. සිතුවමක් යනු බොහෝ පාරිසරික කරුණු මෙන්ම අඳින්නාගේ සිතුවිලි ද විදහා දක්වන ප්‍රකාශණයකි. කොටින්ම එය කලාකරුවාගේ සිතෙහි ඒ මොහොතේ හටගත් භාවාත්මක හැඟීම් වර්ණ සංකලනය තුලින් තව අයෙකුට රස විඳින්නට සැලස්සිමයි. ඔබ “Local Colour” නම් වූ අපූරු සිතුවම් පටය නරඹා ඇත්නම් මා පවසන්නේ කුමක්දැයි ඔබට වැටහෙනු ඇත. නිකොලායි සේරෝෆ් නම් වූ අසහාය කලාකරුවාගේ ජීවන වෘතන්තයෙන් බිඳුවක් සිතුවම් කර ඇති මෙම අපූරු කලා කෘතිය මෑත ඉතිහාසයේ මා නරඹන අපූරු නිර්මාණයකි.
භූ විද්‍යා විෂය හදාරන සෑම සිසුවෙකුටම අනිවාර්යෙන්ම හැදෑරිය යුතු විෂයක් වන්නේ පාෂාණ විද්‍යාවයි (Petrology). ඉන් ද මෙරට බහුතරයක් වූ පාෂාණ විපරීතකරණයට ලක් වීමෙන් ලද හෙයින් “විපරීත පාෂාණ විද්‍යාව” (Metamorphic Petrology) ගැන මනා දැනුමක් ලබා ගත යුතුය, නැතහොත් ක්ෂේත්‍රයේ දී ඔබව අතරමං කරනවා නොඅනුමානයි. විපරීත පාෂාණ විද්‍යාව ශ්‍රී ලංකික භූ විද්‍යා සන්ධර්භයේ කොඳු නාරටිය වන අතර ඔබට මේ තුල නැගී සිටීමට නම් එය ඉතාම හොඳින් අධ්‍යනය කල යුතුය. නමුත් බොහෝ දෙනෙකුගේ ඒ සඳහා ප්‍රසාදයක් නොමැති බව පෙනී යන කාරණයකි. නමුත් මා නම් ඉතා හොඳින් රස විඳි විෂයකි, විපරීත පාෂණ විද්‍යාව.
උච්ච විපරීතකරණයට (Highgrade metamorphism) ලක් වූ පාෂාණ වලින් සමන්විත වන ශ්‍රී ලංකික භූ තලය තුල උච්ච්ත්වයේ උච්චත්වයට ලක්ව උ භුමි භාගයක් මෙරට මාධ්‍ය කඳුකරයේ අපට මුණ ගැහෙයි. ඒ කඩුගන්නාව ප්‍රදේශයයි. ඔබ කොළඹ සිට මහනුවර යන්නේ නම් එම අපූරු පාෂාණ සමුච්චය පසු කරමින් යන බව ඔබ නොදන්නවා ඇත. වන්නි සංකීර්ණයත් උස්බිම් සංකීර්ණයත් අතර සිරවී තිබෙනා මේ අපූරු පාෂාණ සංකීර්ණය හඳුනාගත හැක්කේ මීටර ප්‍රමාණයේ පුළුල් කළු සහ සුදු ඛණිජ තීරු වලිනි. තවදුරටත් විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ මේවා අති බිහිසුණු ලෙස වලිත (Fold) වී අපූරු රටා මවනා බවයි. මෙවැනි රටා මවන පාෂාණ ස්ථර කඩුගන්නාව ප්‍රදේශයේ ඉතා හොඳින් දැක බලා ගත හැක. මේ ප්‍රදේශයේ දී ඔබගේ අවධානය නම් යොමුවන්නේ ඉතා ඇතින් වූ කඳු වළල්ලකින් සිමා වූ සිත මන්මත කරනා හිස් අවකශයට බව මා නොදන්නේ නොවෙයි. නමුත් ඒ වෙළඳසැල් පිටුපසට වන්නට මෙරට භූ විද්‍යා ඉතිහාසයේ අපූරු කතන්දරයක් කියන්නට ලක ලැහැස්ති වන පාෂාණ සමුච්චයක් ඇති බවත් මින් පසු මේ ප්‍රදේශය පසු කරනා ඔබ අමතක නොකළ යුතුය. ඉතා අධික උෂ්ණත්වයකට සහ අධික පීඩනයකට ලක් වී ඉතා දිගු කාලයක් තෙරපි තෙරපී අසාමාන්‍ය ලෙස වලිත වූ එම පාෂාණ සමුච්චය පවසන කතන්දරය අප ඇසිය යුතුය. එය කඩුගන්නාව පාෂාණ සංකීර්ණයේ (Kadugannawa Complex) කතන්දරයයි.
විපරීතකරණය මා දකින්නේ භූ විද්‍යා සන්දර්භය තුල හමුවන ඉතා විශ්මය ජනක භූ සංසිද්ධියක් ලෙසයි. ජලීය මාධ්‍යක් තුල අනු සහ අයන වල සංචරණය පිලිබඳ අපට සිතා ගත හැකිය. එනිසා එහිදී ඇතිවන සංයෝග ගැන පහදා ගැනීම ගැටළුවක් නැත. නමුත් විපරීතකරණය නම් වූ අපූරු ක්‍රියාදාමය සිදුවන්නේ සියල්ල ඝන අවස්ථාවේ දී වීම විශේෂයයි. පාෂාණ යනු ඛණිජ සමුච්චයක් බව අප අමතක නොකළ යුතුය. ඛණිජ යන්නෙන් හැඳින්වෙන්නේ එක් එක් ආකාරයේ රසායනික සංයෝග බව ද අමතක නොකළ යුතුය. ඛණිජ සකස්කරනා රසායනික සංයෝගමය අයන සංචරණය වන්නේ පාෂාණ පද්ධතිය ඝන අවස්ථාවේදී පවතිත්තදීමය. තවත් විශේෂත්වයක් වන්නේ උෂ්ණත්වයේ සහ පීඩනයේ වෙනස්වීමට අනුරූපව පාෂාණ පද්ධතියේ රසායනය වෙනස් නොවී ඛණිජ සංයුතිය පමණක් වෙනස් වීමයි. විපරීතකරණයේ දී එහි ප්‍රභලතාවය තීරණය වන්නේ වැඩි වූ උෂ්ණත්වය සහ පීඩනය මතයි. අප අමතක නොකළ යුත්තේ එය පවතින පාෂාණයේ ඛණිජ වල සටහන් වන බවයි. පීඩනය වැඩි වන්නේ ප්‍රාදේශීය විපරීතකරණයේදී වන අතර ඒ සඳහා හේතුවන්නේ භූ තල ක්‍රියාකාරකම් වල බලපෑමට ලක් වීමයි. භූ තල දෙපසින් ඇතිකරනා දිගු කාලීන පීඩනය නිදහස් කරන්නේ අදාළ උෂ්ණත්වයට සහ පීඩනයට අනුරුපවයි, එසේත් නැතිනම් එම පාරිසරික තත්වයට ගැලපෙන ස්ථායි ඛණිජ සමුච්චයක් බිහිකිරීම මගිනුයි. එමෙන්ම තෙරපෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශානතියට එම ඛණිජ හැඩ ගැසීමෙන් කළු සහ සුදු ඛණිජ තීරු බිහිකරන්නට හේතු වෙයි.
කඩුගන්නාව පාෂාණ සමුච්චයේ ඇති කළු ඛණිජ තීරු බොහෝ විට “බයෝටයිට් මයිකා සහ හෝන්බ්ලෙන්ඩ්” නම් වූ ඛණිජ වලින් සකස් වී ඇත. එහි පවතින සුදු පැහැති ඛණිජ තීරු සමන්විත වන්නේ “ෆෙල්ඩ්ස්පාර් සහ ක්වාර්ට්ස්” නම් වූ ඛණිජ වලිනි. ඒ වාගේම විටින් විට ‘ගානට්’ නම් වූ විසිරුණ රතු පැහැති ඛනිජයක් ද දැක ගත හැකිය. වෙනත් සුළු ඛණිජ ගණනාවක් ද අපට හඳුනාගත හැක. ලද උෂ්ණත්වය සහ පීඩනය කොතරම් අධික වූයේ ද යත් සමහර පාෂාණ කොටස් උණු වී දිය වී ගොස් ඇති බව ද මෙම පාෂාණ වල අපට හඳුනාගත හැක. උෂ්ණත්වයට සහ පිඩනයට ලක්වන අකාරය අනුව ඇතිවන ඛණිජ සමුච්චය අධ්‍යනය කිරීමෙන් විපරීතකරනයේ සම්මත අවස්ථා අපට හඳුනාගත හැක.
කඩුගන්නාවේ පාෂාණ මේ සියලු වද වේදනා ඉවසා සිටින්නේ ඒ පිලිබඳව විමසිල්ලක් ඇති භූ විද්‍යාඥයෙකු මුණ ගැහෙනා තුරුය. වරින් වර සිදු කරනා ලද භූ විද්‍යාත්මක අධනයන මගින් යම් ප්‍රමාණයකට මේ පාෂාණ සමුච්චයේ අතීතය හාර අවුස්සා ඇත. නමුත් තව බොහෝ දේ හෙළි කරන්නට ඇති බව අප අමතක නොකළ යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ