විදුපත් ඉරුව
2017 ජුනි 28 බදාදා
මිත්‍යාව පැතිරෙන්නට වැඩි කාලයක් ගතවන්නේ නැත. තටු ලද මිත්‍යාව රසකර
බෙදන්නට මෙරට ජනමාධ්‍ය එකිනෙකා පොරකන්නේ වෙනත් තොරතුරු නැතිවාක් මෙනි. රාවණා ද
අංගම් පොරද ඇතුළුව අතීත දියුණු තාක්ෂණයක් ගැන පුන පුනා දොඩන්නේ කොතරම් දුරට ඒ බවට සාක්ෂ්‍ය
ඇතිවද යන්න විමසා බැලිය යුතුය. මේ සටහන රාවණා කථා කේන්ද්‍ර කර නොගත්තද මෙරට
පැතිරෙන යම් මිත්‍යා මත කිහිපයක් ද මෙහිදී විමසා බලයි.
වියැකෙමින් යන මධ්‍ය කඳුකරයේ ශේෂයන් මාතලෙන් ඔබ්බට වූ උතුරු දිසාවෙන් බොහෝ තැන්හි හමුවෙන්නේ අපූරු භූ
විෂමතාවන් නිර්මාණය කරමිනි. අත්‍යන්ත ජිරණයේ සහ ඛාදනයේ ප්‍රතිපලයක් ලෙස බිමට සමතලා
කරන්නට දරන වැර වෑයමෙන් මිදී බොහෝ අසීරුවෙන් නැගී සිටිනා හුදකලා කන්දකි සිගිරිය.
අපූරු පුරාවිද්‍යාත්මක වටිනාකමක් මෙරටට එක්කල අනභිබවනීය මේ හුදකලා කන්දේ ඉදිවූ
මානව ඉතිහාසයේ සන්ධිස්ථානය තවමත් නිසි පරිදි විමර්ශනයට කලක් නොවීම කණගාටුවට
හේතුවක් පමණක් නොව අහුමුලු වලිගකොට අල්ලා ලබා දෙනා නිගමන පුස්සක්ම වන බව අමුතුවෙන්
කිව යුතු නොවේ.
අයෙකුට මේ ස්ථානය රාවනා ගේ ගුවන් තොටුපලය. ඔවුන් කියනා පරිදි දඬුමොනරය
මෙහි නවත්වා ගුවන් ගත කරන ලද්දේ මෙහි සිටය. එතරම්ම දියුණු තාක්ෂණයක් ගැන වහසි බස්
දොඩනා මෙම නඩය කන්දක සිට ගුවන්ගත කරනා
ගුවන් රථයක් ගැන දෙන අර්ථකථනය නිවැරදිද? පහත් බිමක සිට ඉහලට ඔසවන්නට තරම්
තාක්ෂණයක් නොතිබූ මෙම මෑත ඉතිහාසයේ රයිට් සහෝදරයෝ ද උස් බිමක සිට ගුවන් යානා ගුවන්
ගත කිරීමේ හැකියාව සොයා බැලූහ.
තවත් අයෙකුට අනුව සීගිරිය නිර්මාණය වී ඇත්තේ ගිනිකන්දක් පුපුරායාමේ ප්‍රතිපලයක්
ලෙසිනි. භූ විද්‍යාත්මක ඉතිහාසයේ ශ්‍රී ලංකවේ ගිනිකඳු නිර්මාණය වී නොමැත. ඉදිරියට
එසේ සිදුවන්නට ඇති හැකියාව බොහෝ අඩුය. වන්නි සංකීර්ණය නිර්මාණය කල විපරිත පාෂාණ
ගොනුවක අවිධිමත් ජීර්ණය මෙම අපූරු හුදකලා කන්ද නිර්මාණය කල බවට කිසිම සැකයක් නැත.
ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි අපමණය. උතුරු දකුණු දිශානුගතව විහිදෙන එකමත එක පිහිටි
පාෂාණ තට්ටු තුනක එකමුතුව මෙම සිගිරිය නිර්මාණය කරන්නට හේතු වී ඇත. අක්‍රමවත් සහ
වේගවත් ජිර්නයක ප්‍රථිපලයක් ලෙස අවට වූ අනෙකුත් පාෂාණ කලාප ඛාදනයෙන් දියකර හරින්නට
මෙරට භූ විද්‍යාත්මක ඉතිහාසයේ එක් කාලවකවානුවක තිබූ පාරිසරික තත්වය බලපාන්නට ඇති
බව පෙනී යයි. සීගිරි ගලේ තවමත් පවතින විවිධ හැඩති සහ විවිධ ප්‍රමාණවල කුහරයන් නැතහොත්
කුඩා ගුහා මේ සඳහා සාක්ෂි දරයි. ඔබ ඉතා ආසාවෙන් නරඹන චිත්‍ර නිර්මාණය කර ඇත්තේද
එවැනි ගුහා වලය.
සිහගිරි නම නිර්මාණය වන්නේ සිංහ මූර්තිය නිසාවෙනි. ගිරියෙන් ඇතුළුවන්නට
කල නිර්මාණය ඉතා අපුරුය. නමුත් අයෙක් පවසන්නේ මෙම මූර්තිය සිංහයකුගේ නොව
ගුරුලෙකුගේ බවයි. ඉන් ද නොනැවතී එය රාවණාට ද සම්බන්ධ කරයි. ගුරුලෙකුගේ බවට පවසන්නට
හේතුවන්නේ පාදයේ ඇති ඇඟිලි සංඛ්‍යාවයි. මුර්තියේ දැනට පෙනෙන්නට ඇත්තේ ඇඟිලි සතරකි.
හැටේ දශකයේ සිදුකල සංරක්ෂණයේ අඩුපාඩුවක් නිසා සිංහයාට එක් ඇඟිල්ලක් අහිමි විය.
සංරක්ෂයෝ හතරවැනි සහ පස් වැනි ඇඟිලි දෙකම අල්ලා එක් ඇඟිල්ලක් තනා ඇත. එය නොදන්නා
කමකට කලාද නැතහොත් ඉතිහාසයේ සත්‍ය කරුණු
සඟවන්නට කල වෑයමක්දැයි යමකිසි සැකයක් පහළවෙයි.
එකල සංරක්ෂකයෝ ප්‍රමුඛ මාධ්‍ය කරගත්තේ සිමෙන්තිය. ඉවක් බවක් නොමැතිව
ඔවුන් සීගිරියේ හතරඅත සිමෙන්ති දමා සංරක්ෂණය කළේය. කැටපත් පවුරද සිමෙන්ති
සංරක්ෂණයට නතු විය. ආරක්ෂාවට පවුරේ ඉහළින් යෙදු සිමෙන්ති ආවරණය අද එම පවුර නසන
කොඩිවිනය බවට පත් වී ඇත. සිමෙන්ති වල ඇති ජිප්සම් එකතුවී දිලිසෙන පිටත ආවරණය
ගැලවෙන්නට පටන් ගෙන ඇත. මෙය අවම තරමින් දශක තුනක සිටවත් සිදුවෙමින් පවතින් බව පෙනී
යයි. බලධාරීන් මේ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති වීම ඉතා කනගාටුවට කරුණකි.
සීගිරියේ තැනින් තැන දක්නට ලැබෙන ගලේ කෙටු ගඩොලක ප්‍රමාණයේ පාදම්
සලකුණු කියාපාන්නේ අතිවිශාල ගඩොල් ආවරණයක් තිබුන බවයි. කැටපත් පවුරද චිත්‍රණය කර
තිබු ගල මතුපිටද ඒ බවට කදිම සාක්ෂි වෙයි. කැටපත් පවුරේ දිලිසෙන සුළු මතුපිට ඇතුලත
අඳුර දුරුකොට ලැබෙනා කුඩා ආලෝකයෙන් වුව මහත් ලෝකයක් සපයන්නට හේතු වී ඇති බව
පෙනෙයි. තට්ටු නිවාස සංකීර්ණයක් සේ ගලවටා යා හැකි ආවරණිත ගෘහ නිර්මාණයක් වන්නට ඇති
බව මගේ මතයයි මස්තකයේ රජු ප්‍රමුඛ රාජකීයන් සඳහා මාළිගා ඉදිවන්නට ඇත. මෑත කාලයේ
අංකිත තාක්ෂණය ඔස්සේ සමහරු සිගිරිය ප්‍රතිනිර්මාණය කරන අයුරු දැක තිබේ. ඔවුන් කී
දෙනෙකු ප්‍රතිනිර්මාණය සඳහා මෙම පුරාවිද්‍යාත්මක සාක්ෂි උපයෝගී කර ගත්තේදැයි විමසා
බැලිය යුතුය.
මෙරට පුරාවිද්‍යාවේ නිර්මාණශීලි විද්‍යාත්මක විමර්ශනයන් සිදුවන්නේ
නැත. ඒ මන්ද යත් ඔවුන් බොහෝ දෙනෙකුට විද්‍යාව අඳුකොළ වී ඇති නිසාවෙනි. කැණීමකින්
හෝ ගවේෂණයකින් සොයා ගන්නා ලද දෑ කරුණු ලෙස ම පවසන්නට පමණක් පුරුදු වී ඇති බව බොහෝ
දෙනා පල කරනා ග්‍රන්ථ හෝ පර්යේෂණ පත්‍රිකා වලින් පැහැදිළි වෙයි. ඒ අතර සමහරු අතිශයෝක්තිය
පමණක් පෙරදැරිව තම මත පල කරන බව පෙනී යයි. කැණීමෙන් ලැබුන මැටි බඳුනේ රටාවන් ස්වර
බවට හරවා එමගින් අතීත කාලයේ පරිසරය දකින්නට තරම් සුක්‍ෂම ලෙස දියුණු කරන ලද
පුරාවිද්‍යාවක් ඔවුන් සතු බව මේ මෑතකදී විකාශනය කරන ලද ජාතික රුපවාහිනි
වැඩසටහනකින් මොනවට පැහැදිළි විය. එනිසා ඔවුනට මෙම බටහිර විද්‍යාව කෙසේවත් පලක් නැත.
ඒ බවට හොඳම සාක්ෂ්‍ය වන්නේ කලකදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ විද්‍යා පර්යේෂණාගාරයේ
රසායනාගාරය තේ සැදීමේ කාමර සඳහා යොදා ගැනීමට කල තැතයි.
කෙසේ වෙතත් මිත්‍යාවට රැඳිය හැක්කේ එයට මිත්‍යාවක් ලෙසම පවත්න්නට ඉඩ
හැරීමෙන් පමණකි. එය සත්‍ය බවට කෙදිනකවත් පත්කළ නොහැක.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ