පසුගිය දිනෙක දිවයිනේ වයඹදිග පිහිටි වනජීවී අභය භූමියක් වන විල්පත්තු අභය භුමිය නැරඹීමට අවස්‌ථාව ලැබුණා. බොහෝ කාලයක සිට එය දැකබලා ගැනීමේ අවශ්‍යතාව තිබුණත් මෙවර තමයි එය සාක්‌ෂාත් වුණේ. මේ අභයභුමිය පිහිටා තිබෙන්නේ දිවයිනේ අර්ධශුෂ්ක යෑයි හඳුන්වන දේශගුණික කලාපයේ. මේ ප්‍රදේශයට වර්ෂාව ඉතා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ ඊසානදිග මෝසමෙන්. උණුසුම නං බොහොම වැඩියි.
හැබැයි අප ගිය දිනවල වර්ෂාව ලැබිලා වැඩි කාලයක් ඉක්‌ම ගිහින් තිබුණේa නැහැ. ඒක නිසා බොහොම අපූරුවට ඇසට සුව දායක කොළ පැහැය පිරිලා ඉතිරිලා තිබුණා. ඒක නිසා ම ද කොහෙ ද සිසිලසත් හොඳට දැනුණා. මේ විල්පත්තු අභය භුමිය දෙපසින් ගංගාවල් දෙකක් ගලා බසිනවා. එකක් තමයි මල්වතු ඔය. අනෙක අරවි ආරු. මේ දෙක පිටාර ගැලීමෙන් අභය භූමිය පෝෂණය ලබනවා. වර්ෂා කාලයේ දී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ප්‍රවාහනයට ඇති අපහසුතාව. මෙහි ඇති සුවිශේෂී කරුණ තමයි ස්‌වාභාවික විල් බොහෝ සංඛ්‍යාවක් පැවතීම. විශාල විල් හතළිsහකට අධික ප්‍රමාණයක් ඇති බවයි පැවසෙන්නේ. විල් ඇති පළාත නැත හොත් ප්‍රදේශය, පත්තුව, විල්පත්තුව ලෙස හැදින්වෙන බවයි මගේ හැඟීම.
කොහොම වුණත් මා පවසන්න යන්නේ ටිකක් දුක්‌මුසු කතාවක්. මේ කෙළිsන් ම විල්පත්තුවට සම්බන්ධ නැති වුණත් ඒකටත් අදාළයි. අභයභූමියක් ලෙස නම් කෙරුණත් සංචාරකයන් නිසා මෙවැනි අභයභූමිවල ඉන්න සතුනට ඇත්තෙන් ම ඔවුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙත ගත කළ හැකි ද? දිනකට කෙතරම් සංචාරකයන් පිරිසක් මේ අභය භුමිවලට පැමිණෙනවා ද? එනිසා මේ සතුනට ද පරිසරයට ද සිදු වන හානිය කොපමණ ද යන්න තක්‌සේරු කිරීමට කාලය ඇවිත් කියා මට හිතෙනවා. පහත සදහන් කරන සිදුවීම් අපට ඒ ගැන දෙපාරක් හිතන්න පොලඹවනවා.
විල්පත්තු අභය භූමියත් යාල අභය භූමියත් දිවියන් දැක බලාගැනීම සදහා සංචාරකයන් අතර ප්‍රසිද්ධියක් උසුලනවා. ඒක නිසා ම එක්‌තරා ආකාරයකට මේ සඳහා සංචාරකයන් අතර තරගකාරිත්වයක් හටගැනීම පුදුම විය යුතු නැහැ. පසු ගිය දිනෙක ජාතික පුවත්පතක පළ වූ පුවතකින් කියවුණේ මේ තරගකාරිත්වයට වගකිව යුතු වන්නේ මේ සදහා ප්‍රවාහන පහසුකම් සපයන රියදුරන් බවයි. නිශ්චිත නිල ස්‌ථානවලින් මේ දිවියන් (අලින් වැනි වෙනත් සතුන් ද විය හැකි ය) දැක බලාගැනීමට හැකි වීමෙන් ඒවා මේ රියදුරන් ගේ නියත ඉලක්‌ක ස්‌ථාන වෙලා. මේ ස්‌ථානවල බොහෝ වේලා
රැඳී සිටිමින් ද තම මිතුරු සගයන්ට ජංගම දුරකථනවලින් දැනුම් දෙමින් එතනට කැඳවීමෙන් ද ඔවුන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත මේ සතුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙතට බාධා නො වන්නේ යෑයි පවසන්නේ කෙසේ ද? සංචාරකයන් පිනවීම උදෙසා හොඳ හිතින් ඔවුන් මෙසේ හැසිරුණත් ඇත්තෙන් ම සතුන් ගේ පැත්තෙන් නං ඉතා ම අසුබදායක දෙයක් බවයි මගේ හැඟීම. එමෙන් ම විශේෂයෙන් ම දේශීය සංචාරකයන් තම තමා ගෙනියන්නා වූ නොයෙකුත් කෘත්‍රිම කෑම වර්ග එහි හලා ඒමටත් සතුනට කෙළින් ම කෑම දීමටත් පෙලඹී ඇති බව එම පුවතෙහි සදහන් වුණා. ස්‌වාභාවික සහ තම තමනට ආවේනික ආහාර රටාවකට උරුම වූ මේ සතුනට කෘත්‍රිම ආහාර ශරීරගත වීමෙන් ඔවුන් කෙතරම් අපහසුතාවකට පත් වනවා ඇත් ද? ඔවුන් ගේ ජීව ක්‍රියාදාමය හදිසියේ වෙනස් වීමෙන් ඔවුන් ලංකාවෙන් තුරන් වීමටත් ඉඩ තිබෙනවා. මෙලෙස තර්ජනයට ලක් වන්නේ ලංකාවට අවේනික සතුන් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එවැනි සතුන් මුළු මිහිමතින් ම තුරන් ව යැමටත් මෙය හේතු විය හැකියි.
අලින්, දිවියන්, වලසුන් සහ වල් හරකුන් වැනි විශාල සතුන් නම් ඔවුන්ට බාධාවක් වන විට එයට එරෙහි ව සටන් වදිනු ඇති. අලින් සම්බන්ධයෙන් නම් කොතෙකුත් මේ සදහා උදාහරණ තියෙනවා. නමුත් අසරණ කුඩා සතුන්ට වන්නේ කුමක් ද? මෙවැනි සිදුවීම් තව කොතෙකුත් සිදු විය හැකියි. මිනිසා තම ආධිපත්‍යයට ලොව නතු කරගැනීමේ දී සතුනට සහ පරිසරයට සිදු වන අලකලංචිය නැවතිලා නැහැ. සතුන් ගේ සුබසාධනය උදෙසා ඔවුනට නිදහසේ ඉන්නට භුමි වෙන් කර දුන්නත්, ඒ නිදහස භුක්‌ති විඳීමට නොහැකි වි ඇත්තේත් මිනිසා ගේ මේ වල් වැදීමේ ආශාවයි.
කොහොම වුණත් කිසියම් සාරධර්ම පද්ධතියක් වන සතුන් නිරීක්‌ෂණයේ දී හදුන්වා දිය යුතු වෙනවා. අප හැමෝ ම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එම නීති රීතීන් සැම විට ම සංචාරකයන් පිනවීමට නො ව වන සතුන් ගේ ආරක්‌ෂාව සහ සුබසාධනය සදහා ඉලක්‌කගත විය යුතුයි. සංචාරකයන් ලෙස අපට ද අති විශාල කාර්යභාරයක් මෙහි දී කළ හැකි ව තිබෙනවා. නිති රීති කෙසේ වෙතත් චාරිත්‍ර වාරිත්‍ර ලෙස හෝ පුරුදු පුහුණු කළ යුතු ආචාරධර්ම සමූහයක් මේ සතුන් ගේ ද පරිසරයේ ද යහපත උදෙසා නිර්මාණය කළ යුතුයි. ඒවා සමාජයට හදුන්වා දී පුරුදු පුහුණු කළ යුතුයි. අප ගේ කුඩා දුවාදරුවන්ට ඉගැන්විය යුතුයි. මෙවැනි ස්‌ථානවලට පමණක් නො ව ලොව සෑම ස්‌ථානයකමත් මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. ලොව ප්‍රථම අභයභුමිය පිහිටුවූ මේ සිරිලක් දිවයිනෙහි මෙවැනි දෑ යළි යළි සිදු නො වීමට වගබලාගැනීම අප සියල්ලන් ගේ ම යුතුකමක්. වගකීමක්.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
2015 පෙබරවාරි 25 බදාදා