Saturday 13 July 2019

විදු පත් ඉරුව
14.09.2016

සමකාසන්න රටක්‌ වුවත් ශ්‍රී ලංකාව දූපතක්‌ වීම, එහි කුඩා වපසරිය තුළ බොහෝ දේශගුණික විපර්යාසයන් ඇති කරවන්නට හේතු වී ඇත. මෙරටට ඉහළ වර්ෂාපතනයක්‌ ගෙන දෙන නිරිතදිග මෝසම දිවයිනේ දකුණු, නිරිත සහ බටහිර කලාප තෙත් කලාපයක්‌ කරන්නට සමත් වන අතර ඒ සදහා ප්‍රධාන කොට ම හේතු වන්නේ නිරිතදිගින් හමන සුළඟට බාධාවකින් තොර ව සාගර ජලය ඔසවාගෙන එන්නට හැකි වීම බව පැහැදිලි ය. සදාකල්හි ම හරිත වර්ණයෙන් බැබළෙන තෙත් කලාපය නිරිතදිග මෝසමෙන් කදිමට ජල පහස ලැබීම මෙන්ම නිවර්තන කලාපය සුපුරුදු උණුසුම ද අඩුවක්‌ නොමැති ව ලැබීම සදා නො නවතින එක්‌ භූ ක්‍රියාවලියක්‌ තීව්‍ර කරන්නට හේතු වන බව බොහෝ දෙනෙක්‌ නො දනිති. ඒ නම් කොතෙක්‌ වැර වෑයම් කළ ද නැවැත්විය නොහැකි "පාෂාණ ජීර්ණය"යි.

ලැබෙන අධික වර්ෂාපතනයත් කදිම උණුසුමත් නිසා වෙනත් කලාපවලට වඩා වැඩියෙන් පාෂාණ ජීර්ණ ක්‍රියාවලිය තෙත් කලාපයේ ඉතා හොඳින් සිදු වේ. එනිසා ම විසල් පස්‌ (Soil) සහ අවසාදිත (Sediment) තට්‌ටු ඇති කරන්නට සමත් වේ. පාෂාණ ජීර්ණය ඉතා අපූරු භූ රසායන ක්‍රියාදාමයකි. පොළෝ අභ්‍යන්තරයේ බිහි වන විපරිත සහ ආගනේය පාෂාණ පමණක්‌ නො ව සාගර අභ්‍යන්තරයේ බිහි වන අවසාදිත පාෂාණ ද ජීර්ණයට ලක්‌ වන්නට නම් පොළොව මතුපිටට පැමිණිය යුතු ම ය. වායුගෝලය හා ගැටීම ඔක්‌සිජන් සහ කාබන්ඩයොක්‌සයිඩ් නමැති වායුන් සමග පාෂාණයේ ඛනිජ ප්‍රතික්‍රියා කරවන්නට වග බලාගනී. ජලයෙන් තෙත් වීම එම ක්‍රියාවලිය සදහා මහඟු උපකාරයක්‌ ලබා දෙන අතර සමහර "ජලජ" ප්‍රතික්‍රියා සදහා ද හේතු වේ.


ෆෙල්ඩ්ස්‌පාර් ඇතුළු යකඩ ඛනිජ ද ජීර්ණයට ලක්‌ වන්නේ වුව ද තිරුවානා ඛනිජය නම් ඉතා ම අඩුවෙන් එම බලපෑමට ලක්‌ වේ. බොහොමයක්‌ ඛනිජවල ඇත්තා වූ සෝඩියම් සහ පොටෑසියම් වැනි කැටායන ජලයේ දිය වී එම ඛනිජවලින් ඉවත් වීම මෙහි දී කැපී පෙනෙන සිදුවීමකි. ඒ අතරේ තම නිවහනට තමා ඉන්නා පරිසරයට ඇලුම් කරන ෆෙල්ඩ්ස්‌පාර් ඛනිජයේ ඇති ඇලුමිනියම් ද යකඩ ඛනිජවල ඇති යකඩ ද ඔක්‌සයිඩ බවට පත් ව එහි ම තැන්පත් වන්නට හේතු වන බව පෙනී යයි. අධිකව මේ ක්‍රියාවලිය සිදු වන මෙරට තෙත් කලාපය සුවිශේෂී ද්විතීයික පාෂාණයක්‌ ඇති කරන්නට හේතු වේ. ඒ ඔබ හොඳින් දන්නා "කබොක්‌" (Laterite) පාෂාණය වන අතර එය බිහි වන්නට හේතු වන්නේ වරින් වර සිදු වන ජලයේත් හිරු රශ්මියේත් බලපෑම බව හොඳින් පැහැදිල කරුණකි. ජීර්ණය හේතුවෙන් වැසි සමයේ ජලයට මුසු වන කැටායන වියළි කාලයේ කේශික ආකර්ෂණය හේතුවෙන් පොළෝ මතුපිටට පැමිණෙන අතර ඊළඟ වැසි සමයේ දී සේදී යයි. දිගු කාලයක්‌ තිස්‌සේ මේ ක්‍රියාදාමය සිදු වන්නේ ක්‍රමයෙන් කබොක්‌ පාෂාණය බිහි කරමිනි. තෙත් කලාපයේ බොහොමයක්‌ තැනිතලා ප්‍රදේශවල මෙය ඉතා හොඳින් සිදු වන්නේ ජීර්ණයෙන් ඇති වන පස්‌ තට්‌ටු බෑවුම් සහිත කලාපවල මෙන් ඛාදනයට ලක්‌ නො වන නිසාවෙනි.

"කබෝකීකරණය" (Laterization) තෙත් කලාපයේ සුලබව සිදු වන භූ රසායනික සංසිද්ධියක්‌ වන අතර, දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වීම නිසා ඉතා ගැඹුරු කබොක්‌ තට්‌ටු නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම කොළඹ සහ කළුතර අතර කලාපයේ බොහොමයක්‌ ස්‌ථානවල කබොක්‌ පාෂාණ දැකිය හැකි වේ. ජලයෙන් තෙත් ව ඇති කල ඉතා මෘදු වන අතර එම නිසා ඉතා පහසුවෙන් පිහියකින් වුව ද කැබැලි කිරීමේ හැකියාව ඇත. එහෙත් වායුගෝලයට නිරාවරණය වූ විට එහි ජලය වෂ්ප වීම හේතු කොටගෙන ද ඔක්‌සිජන් හා යකඩ ඛනිජ ප්‍රතික්‍රියා කර ඔක්‌සයිඩ සැදීම නිසා ද ඉතා තද ද්‍රව්‍යවයක්‌ බවට පත් වේ. යටත්විජිත සමයේ ඉදි කෙරුණ ගොඩනැගිලිවල "කබොක්‌ ගඩොලු" බහුලව යොදාගෙන ඇති බව කොළඹ, කළුතර ප්‍රදේශවල ගොඩනැගිලි නිරීක්‌ෂණයේ දී පෙනී යයි. අලුත් කබොක්‌ තට්‌ටු පොළෝ මතුපිටට නිරාවරණය වූ විට ඉහත කී හේතුන් නිසා ක්‍රමයෙන් ඝනකම් වී ඉතා තද පෘෂ්ඨයක්‌ (Fericrete) නිර්මාණය කරයි. යකඩ බහුල මේ කඨෝර ස්‌තරය වගා කටයුතු කිරීමට නම් සහයෝගයක්‌ ලබා දෙන්නේ නැත.

සවිවර බව මේ කබොක්‌ පාෂාණයේ ප්‍රමුඛ ලක්‌ෂණයක්‌ වේ. එයට හේතුවන්නේ මවු පාෂාණයේ සමහර ඛනිජ ද්‍රව්‍ය සේදී යැමයි. මේ ලක්‌ෂණය භූගත ජලය ගබඩා කරගැනීම සදහා හේතු වන ඉතා විශිෂ්ට ගුණාංගයක්‌ වන අතර ඉතා කදිම භූගත ජලාශ (ජලාධාර) බිහි කරන්නට හේතු වේ. කොළඹ, කළුතර ප්‍රමුඛ දකුණු සහ බස්‌නාහිර ප්‍රදේශයේ භූගත ජලාධාර බොහොමයක්‌ මෙලෙස නිර්මාණය වූ ජලාධාර වේ. යකඩ බහුල භූ ද්‍රව්‍යයක්‌ සමග නිරන්තරයෙන් ම ගැටීම හේතු කොටගෙන මේ ජලාධාරවල ජලයේ ප්‍රතිශතය වැඩි අගයක්‌ ගනී. කබොක්‌ පාෂාණවල කණිනු ලැබූ ළිංවල ජලය මතුපිට මළකඩ තට්‌ටුවක්‌ පා වන්නේ එහෙයිනි. මේ නිසා ජලයට තරමක්‌ තිත්ත රසයක්‌ ගෙන දෙන අතර කබොක්‌, වැලි සහ අඟුරු මිශ්‍රිත පෙරණයක්‌ මගින් පහසුවෙන් ඉවත් කරගැනීමේ හැකියාව ඇත. කබොක්‌ පාෂාණය දූෂිත ජලය පිරිසිදු කිරීම සදහා යොදාගත හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

කබොකීකරණය හේතුවෙන් සාන්ද්‍රගත වන ප්‍රධාන ම මූලද්‍රව්‍යය වන්නේ යකඩ ය. එයට අමතරව ඇලුමිනියම් සහ නිකල් ද මේ අතර වෙයි. සියයට අසූවක්‌ පමණ යකඩ ප්‍රතිශතයකින් හෙබි ශ්‍රී ලංකාවේ කබොක්‌ පාෂාණ ඉතා හොඳ යකඩ ප්‍රභවයකි. ගොතයිට්‌ නමින් හැඳින්වෙන යකඩ හයිෙඩ්‍රාක්‌සයිඩය ද හෙමටයිට්‌ නැමති ඔක්‌සයිඩය ද කබොක්‌වල ප්‍රධාන ඛනිජ සංයුතිය වේ. ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් සාන්ද්‍රගත වූ නිධි හමු නො වේ. එහෙත් ලෝකයේ ඇලුමිනියම් සහ නිකල් ලෝහ නිස්‌සරණය කරන්නේ මෙලෙස නිර්මාණය වූ නිධිවලිනි.

කබොක්‌ පාෂාණය ගැන පළමු තතු ලොවට ඉදිරිපත් කරන ලද්දේ ෆ්‍රeන්සිස්‌ හැමිල්ටන් නමැති විද්‍යාඥයා විසිනි. ඒ 1807 දී වන අතර ඒ දකුණු ඉන්දියාවේ දී සොයාගත් නියෑදි අනුව ය. "Laterite" යන්න "ගඩොලු" යන තේරුම ගෙන එන ලතින් වචනයකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 12 July 2019

විදුපත්ඉරුව
31.09.2019

ප්‍රභාසංශ්ලේෂකයෝ ද, රසාසංශ්ලේෂකයෝ ද ස්‌වයං ශක්‌ති ජනකයෝ වෙති. එහෙයින් ප්‍රභාසංශ්ලේෂකයන්ට හිරු එළිය ලැබෙන තාක්‌ බිය විය යුතු නො වේ. රසාසංශ්ලේෂකයන් හට හිරු එළිය නොමැති වුව ද ජීවය පවත්වාගෙන යැමේ ගැටලුවක්‌ පැන නො නගී. පරිණාමය එතරම් ම විස්‌මයජනක ය. ප්‍රභාසංශ්ලේෂකයෝ රසාසංශ්ලේෂකයන් ගෙන් පරිණාමය වූවෝ වෙති. මේ හරිතප්‍රදධාරීහු ලොව හිරුඑළිය වැටෙන සැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම පැතිර ගියෝ වෙති. ඔවුහු ජලයේ ද ගොඩබිම ද එක සේ ව්‍යාප්ත ව අතීත පෘථිවියේ විවිධ යුගවල දී ප්‍රමුඛව තව තවත් පරිණාමය වී, අවසන අපුෂ්පකයන් වී "හෙලූ බීජ" තනා එයින් ද නො නැවතී තව තවත් පරිනාමිකව ලොව මලින් සරසන්නට සමත් වෙති. ඒ සපුෂ්පකයන් බිහි කිරීමෙනි. හෙලූ බීජ තැනූ අපුෂ්පකයන් ගෙන් දැන උගත් පාඩම් නිසා "පල බර" එමෙන් ම ලොව "උසස්‌ ම ශාක" බවට පත් වූ සපුෂ්පකයෝ තමා නිර්මාණය කළ ඵලයේ දරු බීජ සඟවා අපූරු ආරක්‌ෂාවක්‌ සලසා දුන්නෝ ය.

ඒ කෙසේ වෙතත් හිරු පවතින තාක්‌ ශක්‌ති අහේනියක්‌ සපුෂ්පකයන්ට නො දැනෙන්නේ වුව ද ඔවුහු පවතින්නා වූ පරිසරය විටෙක තම වර්ධනයට අකුල් හෙළන්නෝ ය. ඒ වර්ධනයට අවැසි ඛනිජ ලවණ ප්‍රමාණාත්මකව ලබා නො දීමෙනි. නයිට්‍රජන් අවශ්‍යතාව ඒ අතර ප්‍රබල සාධකයක්‌ වේ. මේ තත්ත්වය බොහෝ විට ඇත්තේ මඩවගුරුමය පහත් බිම්වල ය. නැත හොත් පසේ ඝනකම ඉතා අඩු මවු පාෂාණ තට්‌ටු මත ය. එනිසා මෙතරම් පරිණාමය වූවන් කෙලෙස නම් එම පරිසරය ජයගෙන ඇත්ද යන්න අප විමසා බැලිය යුතු ම ය.

බොහොමයක්‌ ශාක තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නේ පසේ නිපදවෙන නයිට්‍රජන් අඩංගු සංයෝග ඇසුරෙනි. විදුලි කෙටීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස භෞතිකව නිපදවී පසට එක්‌ වන නයිටේ්‍රට හෝ ක්‌ෂුද්‍රජීවීන් ගේ ක්‍රියාවෙන් මූලගැටිතිවල නිපදවෙන නයිට්‍රෙට ඉතා පහසුවෙන් උරාගැනීමේ හැකියාවක්‌ මොවුන් සතු ව ඇත. පොළොව මතුපිටට නිරාවරණය වූ මවු පාෂාණ තට්‌ටුවල ඛනිජ ලවණ රැෙදන්නට තරම් උපස්‌තරයක්‌ නිර්මාණය නො වීම නයිට්‍රජන් හිඟතාවට හේතු වේ. එමෙන් ම වගුරුමය පරිසරවල නයිට්‍රජන් හිඟ වන්නට ප්‍රධාන කාරණාව වන්නේ එහි පවතින නයිට්‍රජන් වායුව බවට පත් ව පද්ධතියෙන් ඉවත් වීමයි. එය ඔක්‌සිජන් රහිත පරිසරයේ ඉන්නා ක්‌ෂුද්‍ර ජීවීන් පසෙහි රැඳී නයිට්‍රජන් වායුගෝලයට මුක්‌ත කරන බැවිනි.

හාජීවීන් ගේ අහිංසකයෝ මේ කරුණේ දී ඉතා රැඩිකල් තීරණයක්‌ ගෙන ඇති බව ඔවුන් ගේ දේහ විලාසය දෙස බැලීමෙන් තේරුම්ගත හැකි ය. ඒ කිසිවක්‌ නො ව තම ජීවය පවත්වාගෙන යැම සඳහා ම "මාංශභක්‌ෂණයට" හුරු වීමයි. විශේෂයෙන් ම මේ පරිසර පද්ධතිවල වෙසෙන සමහර ශාක කෘමි භක්‌ෂණයට පෙලඹී ඇත. එමගින් සතුන් ගේ දේහගත නයිට්‍රජන් උරාගැනීමට මං පාදාගෙන ඇත. මේ සදහා ඉතා සංවිධානාත්මකව විවිධ විකරණයන් සිදු කර ඇත. එහි දී ප්‍රධාන කාරණාව වී ඇත්තේ අදාළ ජීවියා අල්ලාගැනීමයි. විවිධ උගුල් අටවා සතුන් එම උගුලේ පටලා තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නට ඔවුහු බොහෝ සමත්කම් පාන්නෝ ය.

මේ මාංශභක්‌ෂකයන් සතුන් අල්ලාගැනීම සදහා සකස්‌ කර ඇති උගුල් විවිධ ය. සමහරක්‌ ඒ සදහා ම සුවිශේෂී මල්ලක්‌ නිර්මාණය කර ඇත. පත්‍රයේ කෙළවර "මරඋගුල" තැනීම සදහා විකරණය වී ඇති අතර එය අපූරු බඳුනක්‌ වීම විස්‌මයජනක ය. එලෙස සාදන බඳුනේ සතුන් ආකර්ෂණය සදහා ද, ජීර්ණය සදහා ද වැදගත් වන පැණි රසැති දියරයක්‌ පුරවා ඇත. මේ අප කවුරුත් හොඳින් හඳුනන බාඳුරා ශාකයයි. නිවර්තන කලාපයේ රටවල බහුලව දැකිය හැකි මේ ශාක විශේෂ (Nephenthus sp) ගොදුරු කරගන්නේ බොහෝ විට කෘමි සතුන් වන අතර "බාඳුරා පැණිය" වැස්‌සෙන් තනුක වීම වළක්‌වනු වස්‌ ඉහළින් පියනක්‌ ද නිර්මාණය වීම කෙතරම් හොඳින් තම කාර්යය සදහා අනුවර්තනය වී ඇත් ද යන්නට කදිම උදාහරණයක්‌ සපයයි. බඳුනේ කර මතට නගින කෘමි සතුන් ඉතා පහසුවෙන් බඳුන තුළට තල්ලු කරලීම සදහා කරගැට්‌ට සුමුදු කරන්නට ද වගබලාගෙන ඇත. එනිසා බඳුනට එබෙන කිසිදු කෘමියකු යහතින් ආපසු නො යන බව නම් නිසැක ය. විවිධ ලෙස මෙවැනි බඳුන් නිර්මාණය කර සතුන් අල්ලාගන්නා ශාක විශේෂ බොහොමයක්‌ ලොව පවතින අතර අප ගේ වාසනාවට ඔවුන් විශාල සතුන් අල්ලාගැනීම සදහා අනුවර්තනය වී නොමැති ය.

ඉතා වේගවත් චලනයකින් තම ගොදුර ඩැහැගැනීමට විශේෂණය වූ ශාක ද මේ අතර වෙයි. තම පත්‍රයේ කෙළවර බෙදී දෙපෙති තනා උගුල නිර්මාණය කර ඇත. උගුලේ රැඳෙනා කෘමියකු සිර කරගැනීමට මේ ශාකවලට ගත වන්නේ ඇසුරු සැණකි. පත්‍රයේ බාහිර දාරයේ ඇති ඝනකම් රෝම පත්‍රයේ දෙපෙති වැසුණු පසු කෘමියාට ගැලවී යැමට ඇති ඉඩ තවත් අසුරයි. කෘමි සතා ගේ ආගමනය සන්නිවේදනය සදහා පත්‍රය මධ්‍යයේ සියුම් කෙඳි නිර්මාණය වී ඇති අතර කෘමියා එහි ගැටුණු විගස රසායනික සංවේදනයෙන් ඉතා වේගයෙන් පත්‍ර දෙපෙති වසා දමනු ලබන්නේ කෘමියාට ක්‍රියාත්මක වීමට ඉඩක්‌ නො තබා ම ය. "වීනස්‌ ගේ මැසි උගුල" (Venus's flytrap- Dionaea muscipula) මේ බවට කදිම නිදසුනකි.

කෘමි සතුන් ග්‍රහණය කරන්නට ඇලෙනසුලු ද්‍රdව සහිත පෘෂ්ඨ නිර්මාණය කරන්නෝ ද මේ අතර වෙති. මේ සදහා වැදගත් වන මැලියම් වෑස්‌සෙන ග්‍රන්ථි පත්‍රයේ මතුපිට පෘෂ්ඨයේ ඇති අතර පෘෂ්ඨය මත වසන හෝ ගමන් කරන හෝ කෘමි සතා ගේ පාද ද ක්‍රමයෙන් දැඟලීම නිසා මුළු ශරීරය ද ඇලෙයි. එහෙත් විශාල කෘමි සතුනට මේ උගුලෙන් ඉතා පහසුවෙන් ගැලවී යා හැකි ය. කඳුලැස්‌ස (Droseracapensis) ශාකය මෙසේ ඇලෙනසුලු මැලියම් යොදා කෘමීන් අල්ලාගන්නා කෘමි භක්‌ෂකයෙකි. ජලයේ වෙසෙන මාංශ භක්‌ෂකයෝ ද (Utricularia sp) කදිම උගුල් සකසා ඇත. ආසෘතියෙන් ජලය ඉවතට විද රික්‌තයක්‌ තම උගුල් මල්ලේ ඇති කර ජලජ ජීවීන් අල්ලාගැනීමට ඔවුහු සමර්තයෝ ය.

මෙවැනි නානාප්‍රකාර අනුවර්තනයන් ගෙන් සපිරි මාංශභක්‌ෂකයන් මෙලෙස කදිමට පරිසරය ජයගෙන ඇත්තේ අප කවුරුත් සජීවීන් ගේ අහිංසකයන් ගෙන් කිසි දා බලාපොරොත්තු නො වන ක්‍රමවේදයන් ගෙන් වුව ද ඒ සියල්ල දුෂ්කර පරිසරයේ තම ජීවය ගැටගසා ගන්නට පමණක්‌ නො ව තම පරපුරේ අඛණ්‌ඩතාව පවත්වාගෙන යන්නට පමණක්‌ ම බව ද ඉතා හොඳින් මේ සියල්ල විශ්ලේෂණය කළේ නම් අපට පැහැදිලි වනවා ඇත. එය ආත්මාර්ථකාමී මිනිසා ගේ කුරිරු අරමුණුවලින් සදා වියුක්‌ත බව ද ඔබට පැහැදිලි වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 11 July 2019

විදු පත් ඉරුව
17.09.2016

දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව තවමත් දියුණු වෙමින් පවත්නා රටකි. දිගු කලක පටන් සාම්ප්‍රදායික බෝග සහ කෘෂිකාර්මික ආර්ථරිකයක්‌ මත පදනම් වූ ශ්‍රී ලංකාව ඉන් මිදී ආර්îකමයව වැඩි ප්‍රතිලාභ ඉපයිය හැකි නව මානයකට පිවිසෙන්නට තැත් කළ ද අසාර්ථක ක්‍රමවේද සහ දේශපාලනික ඇඟිලිගැසීම් නිසා ඉලක්‌කය හඹා නො යන තැනට පත් වෙමින් ඇති බව වැටහෙයි. විද්‍යාව, තාක්‌ෂණය සහ නවෝත්පාදන කෙරෙහි මෙරට ආර්ථරික විශේෂඥයන් ගේ ද, පරිපාලකයන් ගේ ද ඇති ඇල්මැරුණ උනන්දුව සහ සහයෝගය මේ තත්ත්වයට මූලිකව වගකිව යුතු ය. ස්‌වාභාවික සම්පත් හිඟ මුත් විද්‍යාව සහ අධිතාක්‌ෂණයේ පලදායි භාවිතාව නිසා ලෝකයේ සමහර රටවල් ඉහළ ආර්ථික සමෘද්ධියක්‌ අත්පත් කරගෙන ඇති බව පෙනී යයි. ඒ අතර කොරියාව සිටින්නේ ඉතා ඉහළ තලයක ය. තම දළ දේශීය නිෂ්පාදිතයෙන් (ආදායමෙන්) 4%ක්‌ (2015 දී) පමණ ම මේ වෙනුවෙන් වෙන් කරන්නට පසුබට නො වූ එමෙන් ම එහි නො වරදින ප්‍රතිඵලය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන සහ එම ප්‍රතිඵල ඇස්‌ පනාපිට ම ඔප්පු කර ඇති එම රට නවීන ලෝකය තුළ ආර්ථික සාර්ථකත්වය අත් කරගත හැක්‌කේ කෙසේ ද යන්න පිළිබඳව සෙසු රටවලට කදිම පූර්වාදර්ශයකි.

ශ්‍රී ලාංකිකයකු වන රේ විඡේවර්ධන මහතා ගේ අනභිබවනීය තාක්‌ෂණික නිපැයුම් මෙරට ආර්ථිකයට ජීවය සපයන්නට නොහැකි ව ම අභාවයට ගියේ හෝ අන් රටක අයිතියට ගියේ හෝ අපේ ම ආත්මාර්ථකාමී තීන්දු තීරණ නිසා බව මේ වන විට අප සිය දහස්‌ වාරයක්‌ අසා ඇත. එහෙත් ඉන් උගත් පාඩමක්‌ නම් පෙනෙන්නට නැත. දේශීය නිෂ්පාදන හා නව නිපැයුම් ආර්ථිකයට ශක්‌තියක්‌ වන ලෙස වානිජකරණය කරන්නට උත්සුක නො වන තාක්‌ විද්‍යා, තාක්‌ෂණ සහ නවෝත්පාදනවලින් ලැබෙන ප්‍රතිලාභයක්‌ ගැන සිතන්නට වත් හැකියාවක්‌ නොමැත්තේ ය.

වී පර්යේෂණ ආයතනය සිදු කළ පර්යේෂණ මගින් පසුගිය දශකය තුළ මෙරටට ලබා දී ඇති ආර්ථික ප්‍රතිලාභ කොපමණ දැයි ගණනය කර නොමැති තරම් බව කිව හැකි ය. සහලෙන් ස්‌වයංපෝෂිත බවට වසර ගණනාවක්‌ තිස්‌සේ උදම් අනන අප ඒ අතිරික්‌තය යොදවන්නේ බීර නිෂ්පාදනයට නම් වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණවල අවශ්‍යතාව කුමක්‌ දැයි යන්න ගැටලුවකි. මෙරට අනෙකුත් පර්යේෂණ ආයතන සහ විශ්වවිද්‍යාල සිදු කරන පර්යේෂණ සම්බන්ධව ද මේ තත්ත්වය එක ලෙස අදාළ වේ. ඉතා කාලීන එමෙන් ම ප්‍රායෝගික පර්යේෂණ එම ආයතනවල සිදු කරන බව ඔවුන් පළ කරන පර්යේෂණ පත්‍රිකා දෙස බැලීමේ දී හොඳින් පෙනී යයි.

අද මෙරට සිදු කෙරෙන පර්යේෂණවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය අදින් දශකයකට පෙර තිබූ තත්ත්වයට වඩා ඉතා ඉහළ බව ද සැලකිය හැකි ය. එහෙත් ප්‍රතිශතයක්‌ ලෙස ගත් කල 1%ක්‌ පමණ වූ ප්‍රමාණයක්‌ වත් එම පර්යේෂණ සොයාගැනීම් හෝ ප්‍රතිඵල ආර්ථිකයට ශක්‌තියක්‌ වන ලෙස වානිජකරණයට ලක්‌ කරන්නට මෙරට වැඩපිළිවෙළක්‌ සකස්‌ නො වීම මෙරට දේශපාලනික සහ පරිපාලන ව්‍යqහහයේ අත්‍යන්ත දුර්වලකමක්‌ බව නො කියා ම බැරි ය.

මහජනතාව ගේ මෙන්ම කුඩා දරුවන් ගේ විද්‍යා දැනුම වැඩි කරන්නට, නිර්මාණශීලී බව ඇති කරන්නට විවධ රටවල් විවධ උපක්‍රම භාවිත කරයි. විද්‍යා පර්යේෂණ ඒ අයුරින් ම අපහසුතාවකින් තොර ව කුඩා ළමයින්ට අත්විදින්නට සැලැස්‌වීම ඉන් එක්‌ උපක්‍රමයකි. ඒ සදහා විද්‍යා කේන්ද්‍ර (Science Centres) ඇති කිරීම සෙසු රටවල් අනුගමනය කරන ආකර්ෂණීය ක්‍රමවේදයකි. එම බොහෝ රටවල අඩු ම තරමින් එක්‌ විද්‍යා කේන්ද්‍රයක්‌ හෝ පවතින බව පෙනී යයි. අපට ආසන්න ම රට වන ඉන්දියාවේ විද්‍යා කේන්ද්‍ර සහ විද්‍යා කෞතුකාගාර පනහකට අධික සංඛ්‍යාවක්‌ බිහි වන්නේ විද්‍යා සන්නිවේදනය සහ අධ්‍යාපනය උදෙසා එරට දක්‌වන උනන්දුව සහ දායකත්වය මැනැවින් විදහාපාමිනි. ශ්‍රී ලංකාව තවමත් මේ සම්බන්ධයෙන් සාක්‌ෂාත් කර නො ගත් හීනයක්‌ පමණක්‌ දකිමින් සිටියි.

මෙරට දේශීය භාෂාවන් ගෙන් නිර්මාණය වූ විද්‍යා සහ තාක්‌ෂණික වැඩසටහන් සහ ප්‍රකාශනවල අතිශය හිඟ බව ද මේ කෙරෙහි ශ්‍රී ලංකික ජනතාව ගේ අල්ප වූ දැනුම හා උනන්දුවට හේතු වී ඇත.

අලුතින් ම යමක්‌ පටන්ගැනීමට හැකියාව අප හැමට ම ඇත. විශේෂයෙන් ම මේ වන විටත් ස්‌ථාපිත වූ දැනුමක්‌ හඹා යැම සැම විට ම අසීරු ද නො වේ. වැදගත් වන්නේ නැවතූ තැනින් පටන්ගැනීමයි. ලෝක ව්‍යාප්ත දැනුම, එක්‌ එක්‌ රටවල නිර්මාණය වන දැනුම කෙසේ ද, ඒ මොනවා දැයි දැනගැනීම අතිශය වැදගත් වේ.

දැනුම සම්ප්‍රේෂණය කිරීමේ දී විවිධ ගැටලු ඇති වෙයි. විශේෂයෙන් ම භාෂාවේ භාවිතය පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. බොහොමයක්‌ විද්‍යා දැනුම ප්‍රචාරණය වන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. එනිසා තාක්‌ෂණික යෙදුම් සහිත විද්‍යා ප්‍රකාශන විශේෂයෙන් ම බහුතරය ව්‍යවහාර කරන සිංහල භාෂාවට පෙරළිය යුතු ය. එහෙත් එම යෙදුම් ඉතා හොඳින් සමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකි විය යුතු ය. මෙරට ජනතාවට විද්‍යා සන්නිවේදනය නිසි පරිදි සිදු වන්නේ නැත. ඒ සදහා පවතින අතළොස්‌සක්‌ වූ ප්‍රකාශන සහ ජනමාධ්‍ය වැඩසටහන් ප්‍රමාණවත් නො වන බව පැහැදිලි ය. ඒ එසේ වුව ද ඒ සදහා වැඩපිළිවෙළක්‌ තවමත් ක්‍රියාත්මක මට්‌ටමේ දක්‌නට නොමැත.

අද දින මෙරට දී ඇරඹීමට නියමිත විසල් විද්‍යා සමුළුව ගැන අදහසක්‌ දක්‌වන්නට සිදු වන්නේ මෙවැනි පසුගාමී තත්ත්වයක්‌ අත්දකිමින් නමුත් මේ සමුළුව මෙරට විද්‍යා ක්‌ෂේත්‍රය තුළ සුබවාදී බලාපොරොත්තුවක්‌ දල්වයි. මෙරට විද්‍යා, පර්යේෂණ සහ නවෝත්පාදන ක්‌ෂේත්‍රයන්හි සේවය කරන සහ අධ්‍යාපනය ලබන්නා වූ බහුතරයකට තම දැනුම පුළුල් කරගන්නට පමණක්‌ නො ව ජාත්‍යන්තර අත්දැකීම් සමග සංසන්දනය කරගන්නට ඉතා මහඟු අවස්‌ථාවක්‌ මෙහි දී උදා වනවා නොඅනුමාන ය. මෙරට විද්‍යා, තාක්‌ෂණ සහ නවෝත්පාදන ක්‌ෂේත්‍රයන්හි කල එළියක්‌ දකින්නට මෙවැනි සම්මන්ත්‍රණයකින් විශාල උත්තේජයක්‌ ලැබෙනු ඇත යන්න අපේ බලාපොරොත්තුවයි. වසරකට වරක්‌ හෝ මෙවැනි විශේෂ අවස්‌ථාවක්‌ සංවිධානය කරන්නට හැකි වන්නේ නම් මෙරට ජනතාව තුළ විද්‍යාව හා තාක්‌ෂණය පිළිබඳව ඇති ඇල්මැරුණු උනන්දුව නැවත නැවතත් අවුළුවාලිය හැකි බව සිතිය හැකි ය.

දැනුම පදනම් කරගත් ආර්ථිකයක්‌ වෙත ලෝකය පියමනිමින් සිටියි. ශ්‍රී ලංකාව ද මේ සදහා සූදානම් විය යුතු ය. යාවත්කාලීන වන ගෝලීය දැනුම පලදායක ලෙස භාවිතයට ගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 10 July 2019

විදුපත්ඉරුව
31.08.2016

දහ නව වැනි ශතවර්ෂය අවසාන වන විට ඇමෙරිකා එක්‌සත් ජනපදය වෙනස්‌ ම අයුරකින් විදුලි බල ක්‌ෂේත්රනය දෙසට නෙත් යොමන්නට විය. ඒ වෙන කිසිවකු නිසා නො ව, නව මානයකට එම ක්‌ෂේත්‍රය ගෙන ගිය නිකොලා ටෙස්‌ලා නිසා ම ය. ඔබ මේ පුද්ගලයා පිළිබඳව දන්නවා ඇතැයි සිතමි. ලෝකයේ කොහේ හෝ තැනක නවෝත්පාදන ගැන කතා කරන්නේ නම් ටෙස්‌ලා ගැන ද අනිවාර්යයෙන් ම කතා කෙරෙනු ඇත. ඔහු ඒ තරමට ම කැපී පෙනෙන ලෙස අපූර්ව නව නිපැයුම් මෙලොවට එළි දැක්‌වූවකු බැවිනි. සිදු කළ නව නිපැයුම් සදහා පේටන්ට්‌ බලපත්‍ර 300කට අධික ප්‍රමාණයක්‌ හිමි කරගත් ටෙස්‌ලා ජනප්‍රිය වන්නේ අගනා විදුලි නිපැයුම් සදහා ය.

නව ප්‍රත්‍යාවර්ත විදුලි පරිවර්තක යන්ත්‍රයක්‌ නිපදවීමෙහි ලා ටෙස්‌ලා සිදු කළ මෙහෙය අතිමහත් වන අතර ඔහු ගේ නාමය වඩාත් කතා බහට ලක්‌ වන්නේ ද, ප්‍රසිද්ධියක්‌ උසුලන්නේ ද එනිසා ම ය. ඔහු විදුලි ඉංජිනේරුවරයකු ලෙස පමණක්‌ නො ව කාර්මික ඉංජිනේරුවරයකු, භෞතික විද්‍යාඥයෙකු සහ අනාගතය දකින්නකු ලෙස ද දැක්‌වූ දක්‌ෂතාව ඔහු ගේ ජීවිත කාලය තුළ සිදු කළ නව නිපැයුම් මගින් ලොවට මොනවට පෙන්වා ඇත. එනිසා ම "ලොවෙන් එකෙක්‌ එක දෙයකට වෙයි සමත" යන කියමන ඔහුට නම් නො ගැලපෙන්නේ ම ය.

1856 ජුලි මස 10 වැනි දින ඔස්‌ටි්‍රයාවේ උපත ලද ටෙස්‌ලා පස්‌ දෙනකු ගෙන් හෙබි පවුලේ හතර වැනියා ය. එක්‌ සහෝදරයෙක්‌ ද, සහෝදරියෝ තිදෙනෙක්‌ ද ටෙස්‌ලා ගේ පවුලේ වූ හ. පියා පූජකවරයකු වූ අතර නව නිපැයුම් සදහා පෙලඹවීම සිදු වන්නට ඇත්තේ මවු පාර්ශ්වයෙන් බව ඔහු හා සබැඳි ලිපි ලේඛන පිරික්‌සීමේ දී පෙනී යයි. කුඩා කාලයේ ඉගෙනීමෙහි අති දක්‌ෂයකු වූ ටෙස්‌ලා ගණිත ගැටලු මනෝමය ලෙස විසඳීමට සමතකු බව කියෑවේ. 1973 දී ඔහු ඉතා ම උසස්‌ ලෙස තම උසස්‌ අධ්‍යාපනය නිම කළේ වසර හතරක පාඨමාලාව වසර තුනකට සීමා කරමිනි. එම අවුරුද්දේ ම ටෙස්‌ලා, කොලරා රෝගය වැළඳීම නිසා මාස නවයක පමණ කාලයක්‌ මරණීය තත්ත්වයේ පසු වූ අතර ඉතා අසීරුවෙන් තම ජීවිතය රැකගෙන ඇත. 1875 දී "ග්රේස්‌ තාක්‌ෂණික විශ්වවිද්‍යාලය"ට ඇතුළත් වූ ඔහු තම සම්පූර්ණ කාලය ම ඉගෙනීම කෙරෙහි යොමු කළ බව පෙනේ. එකදු දේශනයක්‌ වත් මග නො හළ ටෙස්‌ලා, දිනකට උදෑසන 3 සිට රාත්‍රී 11 වන තුරු ම අධ්‍යාපනයේ යෙදී සිට ඇති අතර කිසිදු නිවාඩු දිනයක්‌ ලබා නො ගත් බව කියෑවෙයි. එනිසා ම ඉතා ඉහළ ප්‍රතිඵල පෙන්වූ ඔහු ගුරුවරුන් අතර අතිශය ජනප්‍රිය විය. ඔහු ගේ මේ කැප වීම කෙරෙහි උපේක්‌ෂාවෙන් බලා සිටි විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරු එය ඔහු ගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බව පවා පවසමින් ටෙස්‌ලා ගේ පියාට ලියුම් යෑවූ හ.

විවිධ විෂය කරුණු සම්බන්ධව ගුරුවරුන් සමග තර්ක විතර්කවලට එළඹි ටෙස්‌ලාට තම දෙවැනි අවුරුද්ද අවසාන වන විට ලැබී තිබූ ශිෂ්‍යත්වය අහිමි විය. සූදුවට ද ඇබ්බැහි වූ ටෙස්‌ලාට ඉන් පසු උදා වූයේ අතිශය දුර්භාග්‍ය කාලයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරගැනීමට නොහැකි වූ ටෙස්‌ලා ඉන් බැහැර ව විවිධ

රැකියා කරමින් තම බඩ වියත රැකගැනීමට වැර දැරී ය. මේ අතර කාලයේ ඇමෙරිකා එක්‌සත් ජනපදයට සේන්දු වූ එහි සමාගම් කිහිපයක්‌ ම සමග සම්බන්ධ වී විදුලි මෝටර සහ සාම්ප්‍රදායික විදුලි උත්පාදන ක්‍රමවේද දියුණු කිරීමට සමත් විය. එහෙත් තමා අත ගැසූ සැම කටයුත්තක්‌ ම මුල දී සාර්ථක වූ නමුත් ඒ හැම විට ම නිපැයුම් සදහා තමාට ඇති අයිතිය අහිමි වී යැම ඔහුව කබලෙන් ලිපට ඇද දැමීමක්‌ බඳු විය. තමා ලබාගත් පළමු පේටන්ට්‌ බලපත්‍රයද ඔහුට මේ අවධියේ දී ඔහුට අහිමි වූයේ නව නිපැයුම් සදහා එකල වැඩ කළ සමාගමේ අයිතිකරුවන් තුළ තිබූ අකැමැත්ත නිසා ම ය.

1887 දී ප්‍රත්‍යාවර්ත විදුලි දහරාවක්‌ නිපදවිය හැකි ලෙස ප්‍රේරණ මෝටරය වැඩිදියුණු කළ ටෙස්‌ලා ඉන් යම් සාර්ථකත්වයකට පත් විය. යුරෝපයේ සහ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ බෙහෙවින් ජනප්‍රිය වී ගිය මේ නිපැයුම භ්‍රමණය වන චුම්බක ක්‌ෂේත්‍රයක්‌ භාවිතයෙන් බහු කලා විදුලිය නිපදවී ය. මේ විදුලි මෝටරයේ විශේෂත්වය වූයේ විදුලි පරිවර්තකයක්‌ අවශ්‍ය නො වීමයි. කෙසේ නමුත් මින් පසු ඔහු ගේ ජීවිතය සාර්ථකත්වයට පත් වෙමින් තිබුණු බව පැහැදිලි ය. 1891 වන විට ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පුරවැසිභාවය ටෙස්‌ලාට හිමි වූ අතර, "ටෙස්‌ලා දඟරය" නිපදවීමට ඔහු සමත් විය.

ලොව වෙනස්‌ ම මානයකට ගෙනයන්නට සමත් වූ නිකෝලා ටෙස්‌ලා ගේ නව නිපැයුම් අතර ඉහත කී චුම්බක ප්‍රේරණ මෝටරය සහ ටෙස්‌ලා දඟරය වෙයි. එමෙන් ම විද්යුත් ආලෝකය නිපදවීම සදහා ඔහු කළ පර්යේෂණ ඉතා සාර්ථක වූ අතර ප්‍රතිදීප්ත විදුලි පහන් සහ නියෝන් විදුලි පහන් නිපදවීමට ඔහු සමත් වූයේ විදුලි බුබුළු කර්මාන්තය ඒවා නිපදවන්නට දශක හතරකට පමණ පෙර ය. ඔහු ගේ පර්යේෂණාගාරය පිහිටි පරිශ්‍රය නියෝන් විදුලි බුබුළුවලින් සරසා තිබූ බව කියෑවේ. අප කවුරුත් ඉතා හොඳින් දන්නා කාටත් නැති ව ම බැරි දුරස්‌ථ පාලකයේ නිර්මාතෘ ද ඔහු ය. ජලයේ සැඟවුණු සූර්ය ශක්‌තිය නෙළාගත හැකි වන ලෙස ලොව පළමු ජල විදුලි බලාගාරය නයගරා දිය ඇල්ල අසල ඉදි කිරීමට ඔහු සමත් විය.

රේඩියෝව නිපදවීම පිළිබඳව යම් මතභේදාත්මක කරුණු මතු වුව ද එහි අයිතිය 1943 දී අධිකරණය මගින් ටෙස්‌ලා වෙත පිරිනැමූ බව සදහන් වේ. වර්තමානයේ අප විවිධ කාර්යයන් සදහා භාවිත කරන ලේසර් කිරණ සොයාගැනීමේ ගෞරවය හිමි වන්නේ ද ටෙස්‌ලාට ය. එපමණක්‌ නො වේ ඔහු ගේ ඉතා වැදගත් සංකල්පයක්‌ වන "රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය" මේ දශකය තුළ භාවිතයට ගෙන එන ආකාරය පිළිබඳව වර්තමානයේ පර්යේෂණ දිගින් දිගට ම පැවැත්වේ. සොබාදහමේ සැඟවුණු ශක්‌තිය නෙළාගනිමින් ජන ජීවිතය නිදහස්‌ ශක්‌තියෙන් ප්‍රබෝධවත් කරන්නට වෙහෙස වූ මේ අපූරු නිර්මාණ ශිල්පියා 1943 ජනවාරි 7 වැනි දා මිය යන විට වයස අවුරුදු 86ක්‌ ගත කර තිබූ අතර ඉතා විශාල සංඛ්‍යාවක්‌ විදුලි නිර්මාණ ලොවට දායාද කර තිබිණි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 9 July 2019

විදුපත්ඉරුව
03.08.2016

"මහත්තයෝ මේ තියෙන්නේ පුෂ්පරාගයක්‌" මුළු ශරීරය පුරා ම මඩ තවරාගත් ගැමියකු වෙරළු ගෙඩියක්‌ තරම් විශාල වූ තරමක්‌ කහ පැහැගත් ගල් කැටයක්‌ තම සාක්‌කුවෙන් ගෙන මා හට පෙන්වා පැවසුවේ බුලත් කහට රැඳුණු දත් විලිස්‌සමින්, තම මුහුණේ අපූරු සිනාවක්‌ ද මතු කරමින් ය. "මේකේ තියෙන ඔය පුංචි පලුද්ද නො තිබුණා නම් හොඳ මිලක්‌ ගන්න තිබුණා". අහසට යොමු කර ඉර එළිය කදම්බයක්‌ ගල් කැටය විනිවිද යවන්නට කැසකවමින් සිටි මා හට ද තරමක්‌ අයිනකින් වූ පලුද්ද දැකගන්නට හැකි විය. "ඕකට ඕන්නං රුපියල් තිස්‌ දාහක්‌ විතර හම්බ වෙයි. පතලේ වියදම පියවෙන්න වත් මදැයි ඔය".

ඒ 2003 අවුරුද්දේ අවසාන භාගයයි. හල්දුම්මුල්ල මාලදොල ප්‍රදේශයේ මැණික්‌ ඛනිජ පිළිබඳ ගවේෂණයක යෙදෙමිනි මා සිටියේ. ඒ වන විටත් වියළී තිබුණු, ගම හරහා ගලා ගිය දිය පහරක මධ්‍යයේ භූගත උමං හාරමින් වටිනා මැණික්‌ සම්පත් ගොඩ දැමීමට එගම වැසියන් වැර දරමින් සිටි අවස්‌ථාවක ය මා හට මේ කදිම මිනිසා මුණගැසුණේ. "මහත්තයෝ මෙහෙ දැන් මැණික්‌ නැහැ. තියෙන ඒවා ඔක්‌කොම මැරිලා. මීට අවුරුදු ගණනාවකට කලින් නං වෙළෙන්දෝ ගල් අරන් ගියේ ලොකු මලුවල පුරවාගෙන, ලොරිවල පටවාගෙන. මේ ඇළේ හම්බ වුණ ඒ ඉල්ලමට මිනිස්‌සු කිව්වේ නිධානෙ කියලා. යංකො මං තැන පෙන්වන්න."

ඔවුන් කණිමින් සිටි ඇළෙහි ක්‍රමයෙන් කුඩා වන ඉහත්තාවට ඔහු අප රැගෙන ගිය අතර එක්‌තරා තැනක නතර ව දිය සිඳී ගිය කුඩා වළක්‌ මෙන් වූ තැනක්‌ පෙන්වූ ඔහු කටහඬ අවදි කළේ ය. "වෙළෙන්දෝ කෝටිපතියෝ උනේ මෙන්න මෙතනින්. ලැබුණ ඔක්‌කොම් නිල් මැණික්‌. ගෙවුඩත් තිබිලා තියෙනවා. දැන් නං මෙතන හම්බ වෙන්නේ කොට්‌ටර විතරයි." ගල් කැට කිහිපයක්‌ ඇහිඳ ඔහු මා ඇත තැබුවේ ය. ඒවා ඉතා අලංකාර කොරන්ඩම් (Corrundum) ස්‌ඵටික වූ අතර ඒවාට ආවේනික ස්‌ඵටික ස්‌වරුපය එහි කදිමට විය.

අප රට මැණික්‌ සදහා මුළු ලෝකයේ ම ප්‍රසිද්ධ බව අප හොඳින් දන්නා කරුණකි. භූ විද්‍යාවවට අනුව ශ්‍රී ලංකාවේ මැණික්‌ නිධි ප්‍රධාන වර්ග දෙකක්‌ හමු වෙයි. රත්නපුරය වැනි සබරගොමු නිම්නවලින් කදිම ගෝලාකාර ඉල්ලන්කැට මුසු ව හමු වන්නේ පැරැණි ගංගා, ඇල දොළ නිසා තැන්පත් වූ 'ද්විතීයික මැණික්‌ තැන්පතු' ය. දිගුකාලීන ප්‍රවාහනය නිසා පලුදු ඉවත් කරමින් ද, කදිමට රවුම් කරමින් ද, මැණිකේ හොඳ ම කොටස ගංගා පත්ලේ තැන්පත් කරන්නට වගබලාගත් නිසා ය අධික වටිනාකමින් යුත් මැණික්‌ මෙවැනි නිධිවලින් හමු වන්නේ. එහෙත් මෙලස තැන්පත් වන්නට නම් 'ප්‍රාථමික මැණික්‌ නිධි' තිබිය යුතු ම ය. බොහෝ විට මේවා හමු වන්නේ කඳුකරය ආශ්‍රිත ව ය.

ප්‍රාථමික මැණික්‌ නිධි යනු පාෂාණයක්‌ බිහි වන විට ම එහි ඇති වන මැණික්‌ ඛණිජ ය. මේ පාෂාණ පොළොව අභ්‍යන්තරයේ සිට මතුපිටට පැමිණීම හේතුවෙන් කාලයක්‌ යත් ම ජීරණයට නතු වේ. මේ හේතුවෙන් පාෂාණයේ වූ බොහොමයක්‌ ඛණිජ ජීරණයට ලක්‌ වන අතර තිරුවානා සහ මේ මැණික්‌ ඛනිජ ජීරණයට ලක්‌ නො වී ඉතිරි වේ. ජීරණයෙන් බිහි වන පසෙහි නැත හොත් පස්‌ ස්‌ථරයෙහි මේ මැණික්‌ ඛනිජ රැඳී පවතින අතර ඒවා ප්‍රාථමික මැණික්‌ නිධි ලෙස හැඳින්විය හැකි ය. මා ඉහත කියූ මාලදොල ප්‍රදේශයේ කලක හමු වී ඇත්තේ එවැනි වූ ප්‍රාථමික මැණික්‌ නිධියක්‌ වන අතර එම ප්‍රදේශයේ මිනිසුන් ගේ කතා බහට අනුව පෙනී යන්නේ එය ඉතා විශාල එකක්‌ වූ බවයි. එමෙන් ම ඔවුන් ගේ කරුණුවලට අනුව කොරන්ඩම් (Corrundum) කුලයේ මැණික්‌ වර්ග එයින් හමු වී ඇත. කොරන්ඩම් කුලයේ මැණික්‌ වර්ග වන්නේ රතු, නිල්, පුෂ්පරාග, පද්මරාග, ගෙවුඩ, සිල්කි, මිල්කි, µeන්සි යනාදියයි. ප්‍රාථමික නිධිවලින් හමු වන මැණික්‌ හඳුනාගැනීම ඉතා පහසු ය. බොහෝ විට එම ඛනිජවල ස්‌ඵටික ස්‌වරූපය ඉතා හොඳින් දැක බලාගත හැකි ය. ප්‍රාථමික මැණික්‌ නිධිවල බොහෝ විට හමු වන්නේ එක ම වර්ගයක මැණික්‌ වේ. එමෙන් ම බොහොමයක්‌ ඛනිජ ස්‌ඵටිකවල පලුදු අධික ය.

කොරන්ඩම් කුලයේ මැණික්‌ වර්ගවල ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ 'ඇලුමිනා' (
Al2O3) වන අතර එක්‌ එක්‌ මැණික්‌ වර්ගයේ පාට ඇති කරන්නේ එහි වූ අපද්‍රව්‍ය හේතුවෙනි. ඇලුමිනා සපිරි කොරන්ඩම් ස්‌ඵටිකයේ ඇත්තා වූ ක්‍රෝමියම් ඔක්‌සයිඩය (Cr2O3) නිසා මැණිකට රතු පැහැයක්‌ ලබා දෙයි. එමෙන් ම යකඩ මළ (Fe2O3) සහ රූටයිල් (TIO2) මිශ්‍ර වීම නිසා මැණිකට නිල් පැහැයක්‌ ලබා දෙන අතර එසේ නො වුණ කල 'ගෙවුඩ' බිහි වේ. මේ මැණික්‌ සඵටිකීකරණය වන්නේ පැති හයක්‌ බිහි කරන ආකාරයෙන් නිසා ස්‌ඵටිකයට බැරල් හැඩයක්‌ ලැබී ඇත. එහි පාදම මූලික කරගෙන තැන්පත් වන රූටයිල් කෙඳි (ස්‌ඵටික) නිසා මැණිකේ අභ්‍යන්තරයේ විවිධ තාරුකා රටා මැවෙන්නේ අපූරු ආකාරයේ මැණික්‌ බිහි කරමිනි.

ප්‍රාථමික මැණික්‌ නිධිවල හමු වන සැම ස්‌ඵටිකයක්‌ ම මැණික්‌ නො වේ. මැණිකක්‌ වීම සදහා අදාළ ස්‌ඵටිකය පාරදෘශ්‍ය විය යුතු ය, හොඳ පැහැයකින් යුක්‌ත විය යුතු ය. කොට්‌ටර ලෙස හඳුන්වන්නේ එලෙස බිහි නො වූ ස්‌ඵටික වන අතර ඒවා කවර දා වත් මැණික්‌ බවට පත් නො වනු ඇත. කොට්‌ටර වර්ග ද කිහිපයකි. නිල් කොට්‌ටර නිල් මැණික්‌ බවට පත් නො වූ ඒවා වන අතර රතු කොට්‌ටර රතු මැණික්‌ බවට පත් නො වූ කොරන්ඩම් ඛනිජ වේ. මේ අතර සුදු කොට්‌ටර ද හමු වන බව තහවුරු වූ කරුණකි. කොරන්ඩම් කුලය දෘඪතාව අනුව දෙවැනි වන්නේ දියමන්තිවලට පමණි. එහෙයින් සීරීම් සහ ඇතිල්ලීම්වලට හොඳින් ඔරොත්තු දෙන නිසා මැණිකේ පෘෂ්ඨයෙහි දීප්තිය අඩු නො වේ. ප්‍රාථමික මැණික්‌ නිධිවලින් හමු වන්නේ කොරන්ඩම් කුලයේ මැණික්‌ පමණක්‌ නො වේ. වෙනත් මැණික්‌ ඛනිජවල ප්‍රාථමික නිධි හමු වුව ද වඩා ප්‍රචලිත, මේ කුලයේ ප්‍රාථමික නිධි වේ. කෙසේ වෙතත් ප්‍රාථමික නිධි නොමැති ව ද්විතීයික තැන්පතු හටගන්නේ නැත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 8 July 2019

විදු පත් ඉරුව
27.07.2016

මෙවර උසස්‌පෙළ විභාගයට තව වැඩි කාලයක්‌ නැහැ. විභාගයට මුහුණ දීමට දරුවන් ලහි ලහියේ ලැහැස්‌ති වෙමිනුයි ඉන්නේ. ක්‍රමානුකූල බවින් යුතුව ද අනලස්‌ බවින් යුතු ව ද නිසි කලට වැඩ කටයුතු සම්පූර්ණ කළ අය නම් කිසිදු බියක්‌ සැකක්‌ නොමැති ව සතුටින් ඉන්නේ විභාගයට පෙනී සිට තම අභියෝගය ජයගැනීමටයි. ඉගෙනගන්නා බොහෝ කරුණු කාරණා සිතෙහි ධාරණය කරගැනීම තරමක ගැටලුවක්‌ බව අප හැමෝ ම හොඳින් දන්නා කරුණක්‌. එහෙත් හොඳින් මතක හිටින වෙනත් සිද්ධි සමග සම්බන්ධ කරගැනීම මගින් ද තම ජීවිතයට සම්බන්ධ වූ සිදු වීමක්‌ හා සම්බන්ධ කරගැනීම වැනි යමක්‌ මඟින් ද තමා ඉගෙනගන්නා විෂය කරුණු මතක තබාගත හොත් එය බොහෝ කාලයක්‌ මතකයේ රැෙදනවා නිසැකයි.

අප උසස්‌ පෙළ කරන දවස්‌වල උතුරේ කුරිරු ත්‍රස්‌තවාදී යුද්ධය ආරම්භ වෙලයි තිබුණේ. අලිමංකඩ, පුනරින්, පලාලි, පරන්තන් වැනි ග්‍රාම නාම නිතරම අපට කන වැකුණේ මේ යුද්ධය නිසා මයි. මේ අතර උසස්‌පෙළ කරමින් සිටි අපට පරන්තන් යන නම සුවිශේෂී නාමයක්‌ වූවා. එකල උසස්‌ පෙළ රසායන විද්‍යාව හදාරන සිසුනට කාර්මික රසායනය ඉතා කුතුහලය දනවනසුලු පාඩමක්‌. එයට හේතුව වූයේ රසායන විද්‍යාවේ ඉගෙනගත් සිද්ධාන්තවල ප්‍රායෝගික භාවිතය පිළිබඳව එහි සඳහන් වීමයි. උතුරුකරයේ පිහිටි පරන්තන් ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ වූ ඉතා වැදගත් රසායන කර්මාන්තයක්‌ වන කෝස්‌ටික්‌ සෝඩා කම්හලක්‌ පවත්වාගෙන ගිය ස්‌ථානයක්‌. එනිසා මයි උසස්‌ පෙළ රසායන විද්‍යාව හැදෑරූ අපට පරන්තන් ඉතා වැදගත් මෙන්ම කදිම නිදසුනක්‌ වූයේ. එහෙත් යුද්ධය නිසා එම කම්හල වසා දමන්නට සිදු වූ අතර ඒ හා බැඳුණ කර්මාන්ත ගණනාවක්‌ එනිසා අර්බුදයට ලක්‌ වුවා.

කෝස්‌ටික්‌ සෝඩා යනු සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ් (NaOH‍ය) නමැති රසායනික සංයෝගයයි. ප්‍රබල භෂ්මයක්‌ ලෙස පිළිගැනෙන මේ රසායනය විද්‍යාගාරයේ අනිවාර්යයෙන් ම තිබිය යුතු සංයෝගයක්‌. බොහොමයක්‌ ප්‍රායෝගික පරීක්‌ෂණවල දී, විශේෂයන් ම අම්ල භෂ්ම ප්‍රතික්‍රියා නිරීක්‌ෂණයේ දී, බෙහෙවින් යොදාගැනෙන රසායනයක්‌ හෙයින් සිසුන් ගේ මතකයෙන් කිසි දා ගිලිsහී නො යන්නක්‌. සුදු පැහැති පෙති හෝ පෙබලු ලෙස ඇති මේ සංයෝගය ඉතා ප්‍රබල ලෙස විරංජක ගුණ පෙන්වනවා. ක්‌ෂාරීය ලෝහයක්‌ වන සෝඩියම්හි හයිෙඩ්‍රාක්‌සයිඩය වන මේ කෝස්‌ටික්‌ සෝඩා ඉතා හොඳින් ජලයේ දිය වන බව ප්‍රායෝගික පරීක්‌ෂණ අත්විඳ ඇත්නම් ඔබට මතක ඇති බවට නිසැකයි. ඉතා සැර කටුක ගන්ධයකින් යුක්‌ත වූ මේ සංයෝගය ජලයේ දිය වන්නේ තාපය පිට කරමින් බැවින් ද්‍රdවණයේ උෂ්ණත්වය ඉහළ නගින බව ඔබ ගේ මතකයට නැෙගනු ඇති. කෝස්‌ටික්‌ සෝඩා ජලයේ දිය වීම තාපය පිට කරන ප්‍රතික්‍රියා සඳහා කදිම නිදසුනක්‌ වන්නේ එබැවිනුයි.

පරන්තන්හි පිහිටි කෝස්‌ටික්‌ සෝඩා කම්හල සදහා අමුද්‍රව්‍ය සපයාගත්තෙත් මෙරටින් මයි. එම ප්‍රදේශයේ සිදු කළ ලුණු (NaCl) නිෂ්පාදනය නිසා පහසුවෙන් මේ කම්හල පවත්වාගෙන යා හැකි ව තිබුණා. මේ ප්‍රදේශය අධික උෂ්ණ කලාපයක්‌ වූ හෙයින් ලුණු නිෂ්පාදනය සදහා කදිම තෝතැන්නක්‌ නිර්මාණය වී තිබුණා. එපමණක්‌ නො වේ, මුහුදට ඉතා ආසන්නයේ පිහිටි නිසා පහසුවෙන් කරදිය මුහුදෙන් තටාක වෙත හරවා වාෂ්පීකරණයට නතු කරන්නට හැකියාව ඇති බව ඔබට වැටහෙනු ඇති. තටාක කිහිපයකට මාරු කරමින් ලුණු සාන්ද්‍රණගත කිරීම මෙහි දී සිදු වනවා. අවසානයේ දී අධි සාන්ද්‍ර ලවණ ද්‍රdවණයෙන් ලුණු බිහි වන්නේ එහි ද්‍රdව්‍යතා ගුණිතය ඉක්‌මවූ පසුයි. තැන්පත් වූ ලුණු වෙනත් ලවණ හා මිශ්‍ර ව පවතින නිසා එම ලුණු තැන්පතු කඩා ටික කාලයක්‌ ගොඩගසා තබනවා. එවිට විශේෂයෙන් ම CaCl වැනි ලවණ වාතයේ වූ ජල වාෂ්ප උරාගෙන තැනපතු වලින් බේරී ඉවත් වනවා. එම ලවණ පැවතීම ලුණුවලට තිත්ත රසයක්‌ එක්‌ කරන බැවින් එම සංයෝග ඉවත් කිරීම අවශ්‍යයි.

අලිමංකඩින් ආ ලුණු භාවිත කර පරන්තන්වල නිපදවූ කෝස්‌ටික්‌ සෝඩා මෙරට පිහිටුවා තිබූ කඩදාසි කර්මාන්තයට යොදාගත්තා. ඒ සදහා වාලච්ෙච්න ප්‍රදේශයේ කම්හලක්‌ ස්‌ථාපිත කර තිබූ අතර එය මෙරට ජාලගත කම්හල් කලාවේ අපූරු ප්‍රතිඵලයක්‌ වුණා. එක්‌ කර්මාන්තයකින් බිහි වන ඵලයක්‌ තවත් කර්මාන්තයක්‌ සදහා අමුද්‍රව්‍යයක්‌ වූයේ එලෙසයි. පරන්තන්හි නිපදවූ කෝස්‌ටික්‌ සෝඩාවලට අමතර ව එමගින් ආ අතුරු ඵලයක්‌ වූ ක්‌ලෝරීන් (Cl) සදහා ද ඉතා හොඳ වෙළෙඳපොළක්‌ සැකසී තිබුණ බව කියෑවෙනවා. ජල පිරිපහදුව ඇතුළුව බොහෝ දෛනික කටයුතු සදහා වැදගත් වන සංයෝග නිෂ්පාදන කෙරෙහි එමගින් මාර්ගය පෑදී තිබුණා. ඉතා ප්‍රබල අම්ලයක්‌ වන හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ල නිෂ්පාදනය කෝස්‌ටික්‌ සෝඩා කර්මාන්තයේ එම අතුරු ඵලයකින් ඇරඹි තවත් කර්මාන්තයක්‌. මේ අම්ලය විදුලි කෝෂ නිෂ්පාදනයේ දී භාවිතයට ගැනෙන අතර විද්‍යාගාර පරීක්‌ෂණ සදහා අවැසි බව ඔබ හොඳින් ම දන්නා කරුණක්‌.

එහෙත් අද වන විට යුද්ධය අවසන් වී කාලයක්‌ ගත වුණත් පරන්තන්හි කෝස්‌ටික්‌ සෝඩා කම්හල ආරම්භ කිරීමට තවමත් හැකියාවක්‌ ලැබිලා නැහැ. මේ සදහා කිසියම් ආයෝජනයක්‌ කළ හැකි නම් එය දේශීය කර්මාන්ත දියුණුව සදහා ගන්නා ඉතා හොඳ තීරණයක්‌ විය හැකි බවයි අප ගේ හැඟීම. එවැනි අවස්‌ථා සදහා කිසියම් පසුබිමක්‌ පසුගිය කාල වකවානුවේ ගොඩනැගී තිබුණ ද දේශීය අමුද්‍රව්‍ය පදනම් ව සිදු කළ හැකි කර්මාන්ත ඇරඹීම කෙරෙහි අවධානය දැන් දැන් ගිලිහී යමින් තිබෙන බවයි පෙනී යන්නේ. තම සාක්‌කුවට වැටෙන මුදලට ගිජු වන්නේ නම් සහ ඒ ගැන පමණක්‌ සිතන්නේ නම් මෙවැනි කර්මාන්ත ඇරඹීම කෙරෙහි යොමු වන්නට නොහැකි වන අතර එහි වැදගත්කම පවා වටහාගන්නට කිසිවකුට වත් නොහැකි වේ වි. පිටරට මත පමණක්‌ යෑපෙන ආර්ථිකයක්‌ ගොඩනැෙගන්නේ නම් අනාගතයේ දී විද්‍යා පර්යේෂණ සහ නව නිපයුම්වලට ආයුබෝවන් කියන්නට සිදු වේ වි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday 7 July 2019

විදු පත්ඉරුව

අතීතයේ සිට ම විවිධ ආක්‍රමණවලට ලක්‌ වීම නිසා අපේ රටට විවිධාකාරයේ බලපෑම් ඇති වූ බව නොරහසකි. භාෂාව, සංස්‌කෘතිය, ආගම පමණක්‌ නො ව මෙරට ජනයා ගේ ආහාර රටාව පවා වෙනස්‌ කරන්නට විටෙක ඒවා හේතු විය. ඒ අතුරින් ශ්‍රී ලංකාවේ පරිසරය දරුණු ලෙස වෙනස්‌ කර බොහොමයක්‌ දේශීය ශාක සහ සතුන් මෙරටින් පමණක්‌ නො ව මෙලොවින් ම ද අතුගා දමන්නට හේතු වූයේ දහ නව වැනි ශතවර්ෂයේ මහා බ්‍රිතාන්‍යය සිදු කළ ආක්‍රමණය බවට සැකයක්‌ නොමැත. කඳුකරයේ කදිම වන බිම් එළි කර කෝපි සහ තේ ඇතුළු විදේශීය ආර්ථික භෝග නො සිටුවන්නට ශ්‍රී ලාංකේය කඳුකර ජෛව උරුමය තවදුරටත් රැකෙනු ඇත. හඳුන්වා දුන් මෙකී භෝග ආයාසයකින් තොර ව නො වැඩීම එක්‌තරා ආකාරයකට මෙරටේ වාසනාවක්‌ වන්නේ එය ශාක ප්‍රජාව තරමක්‌ දුරට හෝ රැකීමට හේතුවක්‌ වීම නිසාවෙනි. මෙලෙස හඳුන්වා දුන් ආර්ථික භෝග හා එක්‌ ව මෙරටට උරුම වූ තවත් අහිතකර ප්‍රතිඵලයක්‌ වූයේ ආක්‍රමණික ජීවීන් ය.

ශාක ලෝකයේ ආක්‍රමණිකයන් ඉතා දරුණු ය. රටකට ආවේනික වන නමුත් තවත් රටකට ආගන්තුක වන මේ ආක්‍රමණිකයන් කිසිදු ලෙසකින් අනුකම්පාවක්‌ නො දක්‌වා දේශීය ශාක හා කරට කර තරග කර පරිසර පද්ධතියෙන් ඔවුන් ඉවත් කරන්නට සමත් ය. වෙන කවරදාටත් වඩා අධිකව ශ්‍රී ලාංකික පරිසර පද්ධතිය ආගන්තුකයන් විසින් ආක්‍රමණය කෙරෙමින් පවතින බව අප තේරුම්ගත යුතු ය. වත්මනේ මෙරට කඳුකර පරිසරය ඉතා ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරමින් දේශීය ශාකවලට තර්ජනයක්‌ වෙමින් පවතින ආක්‍රමණිකයෙක්‌ වෙයි. හොර රහසේ කාගේත් ඇස්‌ වසා කඳුකර පරිසර පද්ධතිය ආක්‍රමණය කරන මේ ශාකය කුමක්‌ ද? "ගල් ගොරකා" නමින් හැඳින්වුව ද ගොරකා විශේෂයක්‌ නො වන මේ ආක්‍රමණිකයා ගේ විද්‍යාත්මක නාමය වන්නේ Clusia rosea ය. බොහෝ විට දුෂ්කර, පස්‌ නොමැති ස්‌ථානවල වැඩීමට ප්‍රියතාවක්‌ දක්‌වන මේ ශාකය පාෂාණ මතු වූ කඳුකර හෙල් වැනි ස්‌ථානවල සුලබව හමු වේ.

ගල් ගොරකා මෙරටට පැමිණෙන්නේ උද්‍යාන අලංකාර කරන ශාකයක්‌ ලෙසිනි. බටහිර ඉන්දීය කොදෙව් දූපත් නිජබිම කරගත් මේ ශාකය නිවර්තන කලාපීය රටවල තර්ජනයක්‌ ව පවතින බව අධ්‍යයනයන් ගෙන් හෙළි වී තිබේ. අපිශාකයක්‌ ලෙස තම මූලාරම්භය සකස්‌ කරගන්නා මේ ආක්‍රමණිකයා ඉතා සරල ක්‍රමවේදයක්‌ තම ව්‍යාප්තිය සදහා යොදාගෙන ඇත. රතු පැහැති බීජ පිරුණ ඵලය ආහාර කරගන්නා පක්‌ෂීන් හොටෙහි රැෙදන බීජ තවත් ගසක හෝ ගලක තැවරීම නිසා මේ ශාකය ඉතා පහසුවෙන් පැතිරෙයි. හැදී වැඩී විශාල වන ශාකය බොහෝ විට පස හා සම්බන්ධ වන්නේ කඳෙන් සහ අතුවලින් දිගු ව පහළට වැඩෙන මුල් මගිනි. එනිසා මේ ශාකය නුග වර්ගයක්‌ යෑයි පළමු වර දකින්නකුට ක්‌ෂණිකව සිතේ. අලංකාර ලෙස අතුපතර විහිදෙන මේ ශාකය දෙස බලන්නකුට හැඟී යන්නේ මෙරටට ආවේනික වූ දේශීය ශාකයක්‌ ලෙස ම ය. ඉතා වේගයෙන් වර්ධනය වන සහ පැතිරී යන මේ ශාකය හේතුවෙන් කඳුකර ජෛව විවිධත්වය අනතුරේ වැටී ඇති බව අප තේරුම්ගත යුතු ය. ඔබේ වත්තේ මේ ශාකය ඇත්නම් වහා ගලවා පුළුස්‌සා දැමීමට පියවර ගන්නේ නම් එය ඔබ මෙරට පරිසර පද්ධතිය රැකගැනීම සදහා සිදු කරන අනර්ඝ මෙහෙයක්‌ වනවා නොඅනුමාන ය.

ආගන්තුකයෝ මෙරට ආක්‍රමණය කරද්දී ආවේනිකයෝ වඳ වෙමින් යති. මතු කතා කරන්නට යන ආවේනිකයා වඳ වීමට තුඩු දෙන්නේ සංවර්ධන කටයුතු යෑයි කියාගන්නා මිනිසා ගේ ආත්මාර්ථකාමීකම ම ය. ශක්‌ති ජනනය උදෙසා පරිසරය දරුණු ලෙස විනාශ කරන මේ සමයෙහි, මූලික පාරිසරික තත්ත්ව වාර්තා සහ එහි නිර්දේශ කොළ කෑලිවලට පමණක්‌ සීමා වී ඇත්තේ ලබා දෙන මුදලට වෘත්තිකයන් ගේ හෘද සාක්‌ෂිය යට කර ඇති බැවිනි. කිසිවකුත් තවමත් නිසි ඇගයීමක්‌ නො කර ඇති මේ සමයෙහි, කුඩා ජල විදුලි බලාගාර තැනීම තවමත් සිදු කරගෙන යන බව පෙනේ. කැලණි ගංගාව මේ අතුරින් බොහෝ පීඩාවට පත් ව ඇති අතර නුදුරෙහි පිහිටන මෙවැනි ව්‍යාපෘති, ගගේ ස්‌වාභාවිකව පිහිටි ජල මට්‌ටම අධික ව අඩු කරන්නට හේතු වී ඇත. මේ තත්ත්වය ප්‍රබලව බලපාන්නේ මේ ආශ්‍රිත ව වෙසෙන සතුන්ට සහ ශාකවලට බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ.

"ලිප්ස්‌ටික්‌ ගෝබි" නම් වූ මාළුවා ගැන ඔබ බොහෝ දෙනකු අසා නැතුවා විය හැකි ය. කඳුකරයේ ගලා යන ජලපහරවල් ආශ්‍රිතව ජීවත් වන මේ මාළුවා විශේෂයෙන් ම හමු වන්නේ සබරගොමු පරිසරයේ බව සදහන් වේ. මේ මාළුවා ගේ විශේෂත්වය වන්නේ ලංකාවට ආවේනික පමණක්‌ නො ව අතිශයින් ම වඳ වීමේ තර්ජනයට ලක්‌ වූ සත්ත්ව විශේෂයක්‌ වීම ය. කැලණි ගඟ ආශ්‍රිත ව වාර්තා වී ඇති මේ මාළුවා නුදුරේ දී ගංගාව හරස්‌ කර ඉදි කෙරෙන ජල විදුලි බලගාර නිසා මෙලොවින් සමුගන්නට ආසන්න බව කණගාටුවෙන් වුව මෙහි සඳහන් කළ යුතු ය. තම ජීවන චක්‍රයේ අඛණ්‌ඩතාව පවත්වාගෙන යන්නේ ගංගාවේ අඛණ්‌ඩ බව නිසා වීම ය, මෙවැනි ව්‍යාපෘති මේ මාළුවා ගේ පැවැත්මට තර්ජනයක්‌ වී ඇත්තේ. ගලා යන මිරිදියෙහි ගල් පර පත්ලෙහි දමන බිත්තර ගසාගෙන ගොස්‌ කරදිය මිශ්‍ර පරිසරයේ දී මෝරා පැටවුන් බිහි වන අතර මත්ස්‍යයා නැවත තම නිජබිමට පැමිණෙන්නේ ඉහළට පිහිනීමෙනි. මේ අඛණ්‌ඩ බව බව බිඳ වැටීම නිසා ගමන දෙපසට ම නවතින අතර ඉතා ඉක්‌මනින් ම මේ මාළුවා වඳ වන්නට හේතු වනු ඇත. අලංකාර මසකු වන මේ මාළුවා ලෝකයෙන් ම සොයාගත හැකි වන්නේ ලංකාවෙන් ම පමණක්‌ වීම ද ඒ ද මේ ප්‍රදේශයෙන් ම පමණක්‌ වීම ද කෙතරම් සුවිශේෂී දැයි ඔබට වැටහෙනු ඇත. මිනිසා ගේ ආක්‍රමණය නිසා මේ ආවේනිකයාට ඔහු ගේ නිජබිම ද තම ජීවන චර්යා පවත්වාගෙන යැමේ අවස්‌ථාව ද අහිමි වන්නේ ජෛවවිවධත්වය සුරැකීමට බෙරිහන් දෙන පිරිසක්‌ හිඳිනා මේ රටේ දී ම බව සිහිපත් කළ යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...