Wednesday 21 August 2024

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  02

2024 අගෝස්තු මස 21 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි. 

ශ්‍රී ලංකාවේ උත්තර ප්‍රදේශයේ භූ විද්‍යාත්මක පසුබිම අපට ගෙන එන්නේ කදිම කතන්දරයකි. එම ප්‍රදේශය නිර්මාණය වි ඇත්තේ අවසාදිත හුණුගල් පාෂාණ වලින්. අවසාදිත හුණුගල් තීරයක් ලෙස පුත්තලමෙන් පටන් ගෙන පුනරීන් හරහා යාපන අර්ධද්වීපය පුරා පැතිරී ඇත්තේය. මෙම අවසාදිත පාෂාණයේ සුවිශේෂිතාවය වන්නේ එතුල ඉපැරණි ප්‍රාග් ජීව ධාතුන් පැවතීමයි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් කලෙක එකම ගොඩබිමක් විය. ඒ වසර මිලියන 300 කට පමණ පෙරය. ඉන්පසු ඇති වූ අපසාරී තලමායිම ඔස්සේ ඉන්දියානු මහද්වීපයෙන් ශ්‍රී ලංකා භූ ස්කන්ධය වෙන්වීම ආරම්භ විය. කලෙක විලක්ව පැවති ජලතීරුව ක්‍රමයෙන් ඉන්දියානු සාගරය හා සම්බන්ධය වී කාවරී ද්‍රෝණිය නිර්මාණය කලේ නව මුහුදු පත්ලක් දෙරට අතර ඇති කරමින්. දිගින් දිගටම සිදු වූ අපසාරී තල මායිමේ ක්‍රියාකාරිත්වය දෙරට අතර දුර වැඩිකළ අතර නොගැඹුරු මුහුද තවත් පුළුල් කරවීය.

නොගැඹුරු මුහුද දියවූ කාබනේට හුණු වලින් එකල පොහොසත් විය. සුර්ර්ය තාපයෙන් හුණු සාන්ද්‍රණ ගත වීම නිසා එම හුණු ජලයේ දියවී පැවතිය හැකි ප්‍රශස්තයට පැමිණීම හුණු අවක්ෂේපණය සඳහා හේතු විය. කාබෝනේට හුණු අවක්ෂේපණයෙන් සෑදෙන අවසාදිත කාබෝනේට මඩ ලෙස හැදින් වේ. මෙම අවසාදිත ක්‍රමයෙන් නිධිගත වී කබෝනේට මඩ තට්ටු නිර්මාණය කරන්නට හේතු විය. කාබෝනේට මඩ ඛණිකා විවිධ ප්‍රමාණවලින් යුක්ත වූ අතර විවිධ හැඩයෙන් ද යුක්ත විය.

වසර මිලියන් 300 ක පමණ කාලයේ මුහුද අරක් ගත්තේ මුහුදු බෙල්ලන්ගෙනි. නොගැඹුරු කලාප ගල්මල් වලින් හැඩවිය. දෙපියන් බෙල්ලන් මුතු බෙල්ලන් බහුල විය. ඔවුන්ගේ පරිණාමය දිගින් දිටම සිදු විය. සමහරුන් ගේ මරණයෙන් පසු කවච මුහුදු පතුලෙ තැන්පත් විය. ඒ කබෝනේට මඩ අතරයි. කබෝනේට මඩ අතර එරී ගිය ඔවුන් ප්‍රතිඛණිජකරණයෙන් ප්‍රාග් ජීව ධාතුන් බවට පත් විය. කබෝනේට මඩ සමග තැන්පත්ව තිබු සිලිකා කලිල ද මේ සඳහා දායකත්වය සැපයිය. එනිසා සමහර කවච ප්‍රතිඛනිජකරණයට ලක් වූයේ සිලිකා මඩ වලින්.

අපසාරී තලමායිමේ ක්‍රියාකාරිත්වය දිගින් දිගටම සිදු විය. එනිසා කාලයත් සමග දෙරට අතර මුහුදු අවකාශය පුළුල් විය. මේ අතර මුහුදු කලාපය ක්‍රමයෙන් උක්ෂිප්ත වී ශ්‍රී ලාංකේය ගොඩබිමට ඈඳුන නව භූ ස්කන්ධයක් නිර්මාණය කරන්නට හේතුවිය. මෙමගින් ක්‍රමයෙන් යාපන අර්ධද්වීපය නිර්මාණයට මග පෑදුනි. එම ගොඩබිම් කලාපය මුහුදු බෙල්ලන්ගේ ප්‍රාග්ජිව ධාතූන්ගෙන් සුපෝෂිත හුණුගල් පාෂාණයකින් සමන්විත වූවකි. මයෝසීන යුගයේ ජීවත් වූ මුහුදු බෙල්ලන් නිසා එයට මයෝසීන හුණුගල ලෙස ශ්‍රී ලංකාව තුල නම පට බැඳී ඇත.

එලස හැඳින්වුවත් ක්‍රමවත් නිරපේක්ෂ කාලනිර්නයක් කර නොතිබූ කලෙක මමත් හොන්කොන් විශ්වවිද්‍යාලයේ මාගේ පර්යේෂණ සගයෙකුත් සමග සිදුකල කාලනිර්ණ පර්යේෂණයකින් මෙම නිධිය වසර මිලියන 15 සිට 23 දක්වා වූ කාල පරාසයක් තුලදී නිර්මාණය වූවක් බව ප්‍රථම වරට තහවුරු විය. ඒ සඳහා යොදා ගැනුනේ ස්ට්‍රොන්චියම් විකිර්ණශිලි මූලද්‍රවයයි. මෙම කාලය ඔලිගොසීන කාලයේ සිට මධ්‍යම මයෝසීන කාලය දක්වා දිවයන බව පැහැදිලිය. හුණුගල් මඩ තැන්පත් වූ රටාව සහ බෙල්ලන්ගේ ප්‍රාග් ජීව ධාතුන් සහ ඒවායේ විවිධත්වය හඳුනාගැනීම සිදුකල යුතුව ඇති අතර එමගින් තව බොහෝ කරුණු අනාවරණය කරගැනීමට හැකිවනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

කොළඹ විශ්වවිද්‍යාලය 


Wednesday 7 August 2024

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  01

2024 අගෝස්තු මස 07 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි. 

බොහෝ කලකට පසු මා ඔබ හමුවට නවතම භූ විද්‍යා තතු ගෙන එන්නේ මෙම “පත්මෙගේ භූ විද්‍යා අන්දර  ” තුළිනුයි. විදුපත් ඉරුවෙන් සහ භූ සංචාරිතයෙන් මාගේ භූ විද්‍යා අත්දැකීම් ඔබ හා බෙදා හදා ගැනීමට ලැබීම සතුටක්. එම තොරතුරු ආසාවෙන් කියවන පිරිසක් තවමත් සිටින බවට බොහෝ සාක්ෂි මම අත්දකිමින් සිටිමි. භූ විද්‍යා අන්දර  තුළිනුත් විෂය මූලික කරගත් අත්දැකීම් සමග යම් නව දැනුමක් ගෙන එන්නටයි මාගේ බලාපොරොත්තුව වන්නේ.

ශ්‍රී ලංකාව භූ සම්පත් උකහා ගත් පැරැන්නන් සිටි රටකි. ඒ අතර ලෝහ උකහා ගැනීම සඳහා නම දිනාගත් ශිෂ්ටාචාරයක් තිබු රටකි. රත්‍රන් වල පටන් තඹ යකඩ ලෝහය දක්වා වූ ලෝහ උකහා ගැනීම කෙරෙහිම විශේෂණය වූ මෙරට වැසියෝ ඒ සඳහා අපුරු තාක්ෂණයක හිමි කරුවෝ වුහ. ඒ සඳහා ඉතිහාසගත කරුණු පමණක් නොව පුරාවිද්‍යාත්මක සාක්ෂි ද නැතුවා නොවේ. ඉපැරණි යකඩ තාක්ෂණයේ සුවිශේෂිතා මේ වන විටත් බොහෝ අවසථාවලදී සාකච්චාවට භාජනය වි ඇති අතර මෙරටුන්ගේ පමණක් නොව විදේශිකයන්ගේද අවධානය යොමු වි ඇති බව නොරහසකි.  

ඒ කෙසේ වෙතත් භූ විද්‍යාඥයෙකු ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මා ගත කල වසර දහයකට ආසන්න කාලයේ මා තුල හට ගත් ආසාව වූයේ ලෝහ නිස්සරණය පිළිබඳව සිදුකල හැකි පර්යේෂණ අවස්ථා සොයා බැලීමයි. මෙහිදී පුරවිද්‍ය්ඥයින් සමග සිදුකල කතා බහේදී අනාවරණය වුයේ යපස් ලෙස හැදින්වෙන්නේ කුමන වර්ගයක ඛනිජයක් ද යන්න්සෝය බැලිය යුතු බවයි. වසර දහයකට පමණ පෙර පුරාවිද්‍යා පශ්චාත් උපාදි අවයතනය මගින් සිදුකල සේරුවිල තඹ නිධිය සහ යකඩ තාක්ෂණය සම්බන්ධව කල පර්යේෂණයට දායකත්ව ලබා දෙන්නට මට හැකි විය. අප සිදුකල පර්යේෂණයට අනුව එහිදී අනාවරණය වූයේ එම ප්‍රදේශයේ යකඩ නිස්සරණය සඳහා හිම්ටයිට් නම් ද්විතියක යකඩ ඛනිජය යොදාගත් බවයි.

මේ කරුණ තවත් සනාථ කරගැනීම සඳහා මෙම වසරේ දී  තවත් පර්යේෂණයක් මා දියත් කල අතර ඒ සඳහා තෝරා ගනු ලැබූවේ පැරණි යකඩ නිස්සරණ තාක්ෂණය සඳහා සුප්‍රකට බලන්ගොඩ, සමනල වැව ප්‍රදේශයයි. මේ සඳහා මා උගන්වන විශ්ව විද්‍යාලයේ භූ ගෝල විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු ගේ සහය ලබා ගත් අතර එම පර්යේෂණය ඉතා සාර්ථක එකක් විය. එහිදී ද ප්‍රථම වරට අනාවරණය වූයේ යකඩ නිස්සරණය සඳහා භාවිතා කල යපස් නිර්මාණය වී තිබුනේ හිමටයිට් නම් වූ ද්විතියික යකඩ ඛනිජයෙන් බවයි. මෙම පර්යේෂණය සඳහා භූ විද්‍යාත්මක ක්‍රම වේද භාවිතා කරන ලදී.

මෙම පර්යේෂණ දෙකටම අනුව පැහැදිලි වන කාරණාව නම් මෙරට යකඩ නිස්සරණය සඳහා යොදාගත් ඛනිජය හිමටයිට්  බවයි. හිමටයිට් යනු වෙනත් යකඩ ඛණිජ රසායනිකව සිදුවන ජීර්ණයෙන් ද්විතියිකව බිහිවන ඛනිජයකි. මේ සඳහා වඩා යෝග්‍ය වන්නේ තෙත් පරිසරයක් සහ උණුසුම් කාලගුණයක්. මේ පිළිබඳව තවත් කරනු රාශියක් අනාවරණය කර ගත යුතය එනිසා මෙම පර්යේෂණ ඉදිරියටත් කරගෙන යාමට අදහස් කරන අතර අප හා එක්වන්නට කැමති සියලු දෙනාම ගෞරවයෙන් පිලිගනිමි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

කොළඹ විශ්ව විද්‍යාලය

Wednesday 10 July 2024

 

ආදම්ගේ පාලම හෙවත් රාම සේතු ගොඩබිම් සම්බන්ධය

විදුසර 09/07.2024

කොපර්නිකස් සෙන්ටිනෙල් 2 නමු වූ චන්ද්‍රිකාව මේ ස්ථානයේ ලබාගත් චන්ද්‍රිකා චායාරුප වලට අනුව යම් කිසි ඉදිකිරීමක් දක්නට ලැබෙන බව පැවසෙයි. කොපර්නිකස් සෙන්ටිනෙල් 2 නම් වූ චන්ද්‍රිකාවට කිලෝමීටර් 48 ක් පුරා පවතින මෙම පාලම ඉදිකළ ව්‍යුහයක් ලෙස දිස්වන්නේ ඉහත දැක වූ කාරණාව නිසා විය හැක. මෙම චායාරූපය රාම සේතු නොගැඹුරු කලාපය කදිමට පෙන්වයි. ඒ මත වැඩුන කොරල් වැනි ජීවීන්ගේ ගහනයන් ද කදිමට පිළිබිඹු වන බව පැවසේ.

කලක පටන් රාවණා පුවත සමග ගෙතුන මෙම ආදම්ගේ පාලම මිනිසුන් තුල කුතුහලයක් පමණක් නොව ගෞරවයක් ඇතිකරන්නට සමත් වි තිබේ. එම කතා පුවතට අනුව මෙම පාලම ඉදිකරන්නේ රාමාගේ වානර සේනාව විසිනුයි. සංස්කෘතිකව පමණක් නොව ඉතිහාසඥයින්ටත්, පුරාවිද්‍යාඥයින්ටත් භූ විද්‍යාඥයින්ටත් එකසේ වැදගත් වන මෙම ව්හුහය පිලිබඳ විවිධ කරුණු අනාවරණය වීම සමහර මත තහවුරු කරන්නට උපකාරී වේ. භූ විද්‍යඥයින්ගේ අදහස වන්නේ මුහුදු මට්ටම උච්චාවචනය වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය බිහිවන්නට ඇති බවයි.

වසර 22000 කට පෙර ශ්‍රී ලංකාව වටා වූ මුහුද තිබුනේ අදට වඩා මීටර 120 ක් පමණ පහලිනි. එසේවීම නිසාම ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් මන්නාරම දුපත සහ රාමේශ්වරම් දුපත හරහා ගොඩබිමෙන් සම්බන්ධ විය. මෙම ගොඩබිම් සම්බන්ධය/පාලම මුහුදු මට්ටම උච්චාවචනය වීමේ ප්‍රතිඵලයක් විය. ශිත යුගය ක්‍රමයෙන් අහවර වි උණුසුම් කාලය එළඹෙත්ම මුහුදු මට්ටම ඉහල යාම නිසා මෙම ගොඩබිම් සම්බන්ධය ක්‍රමයෙන් ජලයෙන් ඇහිරෙන්නට විය. මීටරයේ සිට මීටර 10 දක්වා ගැඹුරක් ඇතිකරමින් මෙම භූ ස්කන්ධය වත්මන් භූ විෂමතාවයක් පෙන්වයි. විද්‍යඥයින් පිළිගන්නා ලෙස ශිත දේශගුණය උණුසුම් දේශගුණයට පෙරලීම වසර 11000 කදී සිදු වී තිබේ. ක්‍රමිකව සිදු වූ මෙම මුහුදු මට්ටම් ඉහල යාම නිසා ගොඩබිම් සම්බන්ධය එකවර නැති නොවන්නට ඇත. ඒ වාගේම යට වූ ස්ථාන හරහා මෙම සම්බන්ධය පවත්වාගන්නට අවැසි තැන පාලම් ඉදිවන්නට ඇත. එය ක්‍රමිකව වර්ධනය වී බොහෝ දුරක් සඳහා පාලම් ඉදිවීම දෙරට අතර සම්බන්ධය තහවුරු කරන්නට ඇත.

මහාචාර්ය කටුපොත මහතා කර ඇති පර්යේෂණවලට අනුව අදින් වසර 11,000 ට පසු අවස්ථා තුනකදී මුහුදු මට්ටම අද පවතින මට්ටමට වඩා වැඩි වී තිබේ. වසර 6000 දී පමණ සිදු වූ එවැනි උච්චවචනයකදී  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙම ගොඩබිම් සම්බන්ධය බිඳෙන්නට ඇත. කෙසේවෙතත් 15 වැනි සියවස පමණ වනතුරුම මේ ගොඩබිම් පාලම හරහා දෙරට අතර ගමන් කරන්නට හැකිව තිබු බව භූ විද්‍යාඥයින් විස්වාස කරයි. පසුව ඇති වූ දරනු කුණාටු හේතුකොටගෙන මේ ගොඩබිම් මාර්ගයේ කොටසක් මුහුදබත් වන්නට ඇතැයි සැලකේ. රාම සේතුව හෙවත්  ආදම්ගේ පාලම වර්තමානයේ පවතින තත්වයට පත්වන්නට ඇත්තේ ඉන් අනතුරුවය. දැනට තිබෙන විද්‍යාත්මක සාක්ෂි අනුව පෙනෙන්නේ ආදම්ගේ පාලම හෙවත් රාම්සේතුව මිනිස් දෑතින් කෙරුණ නිර්මාණයකට වඩා ස්වභාවික නිර්මාණයක් විය හැකි බවයි

ආචාර්ය පත්මකුමාර ජයසිංහ/ භූ විද්‍යඥ


Thursday 16 May 2024

මානව විද්‍යාව එදා සහ අද

Vidusara 15th May, 2024

මානව විද්‍යාව ලෙස හඳුන්වන්නේ මනුෂ්‍යත්වය පිලිබඳ වූ ක්‍රමවත් හැදෑරීම ලෙසයි. එය තවදුරටත් මානව සමාජය සහ සංස්කෘතිය සහ ඒවායේ වර්ධනයන් පිලිබඳ සවිස්තරාත්මකව අධ්‍යනය කරයි. කවුරුත් පිළිගත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්ධකෝෂය අර්ථකතනය කරන්නේ “මානව ජාතින් සහ  ඒවායේ ආරම්භය, වර්ධනය මෙන්ම සිරිත් විරිත් සහ විශ්වාස පිළිබඳව අධ්‍යනය කිරීම” යනුවෙනි.

මානව විද්‍යාව ප්‍රධාන විෂය දහරාවන් තුනකට බෙදෙන අතර ඒවා සමාජසංස්කෘතික මානව විද්‍යාව, ජෛව මානව විද්‍යාව සහ පුරාවිද්‍යාව ලෙස හැඳින්විය හැක. ඒ අතර භාෂාමය මානව විද්‍යාව ලෙස විෂයක් වර්ධනය වෙමින් පවතී. මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා සහ ක්‍රියාකාරිත්වය, සිරිත් විරිත්, ඇදැහිලි සහ විශ්වාස පිළිබඳව අධ්‍යනය කරන්නේ සමාජසංස්කෘතික මානවවිද්‍යාව විෂය දහරාව තුළිනුයි. ජෛව මානව විද්‍යාව මානවයාගේ ජෛව විද්‍යාත්මක පරිණාමය, පැවැත්ම සහ විශේෂ වඳවීම් ගැනද අධ්‍යනය කරයි. පැරණි මානවයන්ගේ භාවිත ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය සංස්කෘතිය ගැන පුරාවිද්‍යා මානවවිද්‍යාව තුලින් සාකච්ඡා කරයි.

දහඅටවන ශතවර්ෂයේදී පමණ ඉංගිරිසියට පෙරළුණ මෙම වචනය ප්‍රංශ භාෂාවෙන් “ඇන්ත්‍රෝපෝලොජියා” නම් විය. ග්‍රීක භාෂාවෙන් සම්භවය වූ මෙම වචනය ‘ඇන්ත්‍රෝස්’ සහ ‘ලොජියා’ නම් වචන දෙකෙහි එකතුවකි.  එමගින් කියවෙන්නේ මානවයා පිලිබඳ හැදෑරීම යන්නයි. වර්තමාන භාවිතය ප්‍රංශ - ජර්මානු පුනුරුදයේ දී ආරම්භ වූ බව පැවසේ. ග්‍රීක දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල්ගේ පොත්පත්වල ද සඳහන්ව තිබු බව හෙළි වේ. ලන්ඩනයේ මානවවිද්‍යඥයින්ගේ සංගමයේ පුරෝගාමියා සහ සභාපති වූ ජේම්ස් හන්ට් නමැති මානවවිද්‍යාඥයා එහිදී සිදුකල කතාවක මෙම වචනය සඳහන් කළේය. කෙසේවෙතත් මෙම වචනය ඇරිස්ටෝටල් සඳහන් කරන විට මෙතරම් දුරකට මෙම විෂය වර්ධනය නොවී තිබෙන්නට ඇති බවයි පෙන්නුම් කරන්නේ.  

මානවය පරිණාමය වන්නේ වසර මිලියන හතකට පමණ පෙර බව පර්යේෂණ වාර්තා පෙන්නුම් කරයි. වසර මිලියන 85 කට පමණ පෙර අනෙකුත් ක්ෂිරපායින්ගේ වෙන් වූ ප්‍රයිමාටාවන්ගෙන් මානව පරිණාමය සිදු වූ බව පර්යේෂණවලින් පෙන්වා දෙයි. ඒ එසේවුවත් හොමිනින් නම් වූ පූර්වජයන් (පූර්ව මානවයන් සහ චිම්පංසීන්) ගොරිල්ලාවන්ගෙන් වෙන්වන්නේ වසර මිලියන අටකට පමණ පෙරයි. පූර්ව මානවයා චිම්පංසීන්ගෙන් වෙන්වන්නේ වසර මිලියන 7කට පමණ පෙර බවයි සඳහන් වේ.

පිළිගත් මතය වන්නේ මානව වර්ගයා බිහිවන්නට ඇත්තේ අප්‍රිකාවේ බවයි. ඉන්පසු ලෝකය පුරා විසිරි පැතිරී යන්නට ඇති බවද පර්යේෂණ වාර්තා සඳහන් කරයි. මානව පරිණාමයේ ප්‍රධාන අවධි හතරකින් සිදු වූ බව සොයාගෙන ඇත. පළමු අවධිය වසර මිලියන හතේ සිට හතර දක්වා වූ කාලයයි. පුර්වජ හොමිනින් වන සහෙලන්ත්‍රෝපස්, ඕර්රෝරින් සහ ආඩිපිතෙකස් බිහිවන්නේ මෙම කාලයේයි. මෙම මානවයන් ඍජු කායෙන් යුක්තව ද්විපාද සංරචරණයේ යෙදුනවූවන් බවයි පර්යේෂණ පෙන්වා දෙන්නේ. දෙවන අවධිය වසර මිලියන හතර කාලයේ බවත් තෙවන අවධිය වසර මිලියන 2.7ක පමණ කාලයේ දී සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. හතරවන අවධිය වන විට හෝමෝ නම් ඝනය බිහි වූ බව පර්යේෂණ පෙන්වා දෙන අතර ඒ වසර ලිනිය 2.5 ත් 1.8 ත් අතර කාලයේ දී බව සඳහන් වේ.

හෝමෝ හැබිලිස් ආයුධ අතට ගත් පළමු මානව වර්ගය වන අතර ශිලා ආයුධ නිර්මාණය සහ භාවිතය පිලිබඳ වූ නව සංස්කෘතියක් බිහිකරන්නට එය හේතුවන්නට ඇත. හතරවන අවධියේ සිදු වූ පරිණාමය කපාල ධාරිතාව වර්ධනය කරමින් විශාල මොළයකට හිමිකම් කියන්නෙක් බවට හෝමෝ හැබිලිස් පත්කරන්නට ඇත. එය වෙනස් සංස්කෘතියක් බිහිකරන්නට අඩිතාලම දමන්නට ඇති බවට සැකයක් නොමැත. ආයුධ නිර්මාණය, ඒ සඳහා සුදුසු ද්‍රව්‍ය සොයාගැනීම සහ භාවිතය මෙම පරිවර්තනය සඳහා හේතුවන්නට ඇත. මෙම මානවයාගේ ඛණිජ පිලිබඳ දැනුම වර්ධනය කරමින් කැපුම්දාර ඇතිකරමින් බිඳීයන තිරුවානා, ෆ්ලින්ට්, කහඳ, ඔබ්සිඩියන් වැනි ඛණිජ පරිසරයෙන් වෙන්කර හඳුනාගන්නට ඔවුන්ගේ විශාල මොළය බොහෝ උපකාරිවන්නට ඇත. දඩයම් කල ආහාරය කැබලි කරන්නට සහ වෙන්කරන්නට හැකිබව මෙමගින් උගෙනගන්නට ඇත. එය ඔවුන්ගේ සංස්කෘතියේ නව නැම්මක් ඇතිකරන්නට සහ ඉදිරියට වර්ධනය වන්නට සහය වන්නට ඇත.

මේ සම්බන්ධව තව දුරටත් විශ්ලේෂණය කිරීමේ දී පෙනීයන්නේ ඔවුන්ගේ සමාජ සංස්කෘතිය තුල මේ පිළිබඳව සංනිවේදනය සඳහා වචන හෝ සංකේත බිහිවන්නට ඇති බවයි. ඛණිජ වර්ග වෙන්කරන්නට, එය ඇති ස්ථාන පෙන්වා දෙන්නට, ආයුධය සාදාගන්නා ආකාරය පෙන්වා දෙන්නට යම් භාෂාමය දියුණුවක් ඇති වන්නට ඇත. එය භාෂාවේ ප්‍රගමණය සඳහා හේතුවන්නට ඇත.

ගින්දර භාවිතය සොයාගන්නා ලද මානවයා හෝමෝ ඉරෙක්ටස් වෙයි. ඔහුගේ කපාල ධාරිතාව හැබිලිස්ට වඩා බොහෝ වැඩිය. එය දෙගුණයක් පමණ බව සොයාගෙන ඇත. වඩා සංකීර්ණ ආයුධ නිර්මාණය සහ භාවිතය සිදුකරන්නට ඇති බව විශ්වාස කෙරේ. ගින්දර භාවිතය ආහාර පිළියෙළ කිරීම කෙරෙහි මොවුන් උනන්දු කරන්නට ඇත. ආහාර නව්‍යකරණය කරමින් විවිධ වෙනස්කම් වලට ලක්කරන්නට ඔවුන්ට හැකිවන්නට ඇත. එය නව සංස්කෘතියක ආරම්භයක් විය. මෙමගින් භාෂාව තවදුරත් පෝෂණය වන්නට ඇත. එපමණක් නොව මොවුන් අප්‍රිකාව අතහැර ගිය ප්‍රථම මානව වර්ගයා බව සඳහන් වේ. ඒ වසර මිලියන 1.8 ක් පමණ කාලයේය.

නුතන මානවයාගේ පූර්වජයන් වන්නට ඇතැයි සැලකෙන මෙම හෝමෝ ඉරෙක්ටස් ගේ උප විශේෂ කිහිපයක්ම තිබු බව පර්යේෂණ වලින් හෙළි වී තිබේ. අප්‍රිකාව හැර යන්නට ප්‍රථම මෙම මානවයා හෝමෝ සේපියන්ස් නම් වූ විශේෂය බවට පරිවර්තනය විය. ඒ  වසර 300000 කට පමණ පෙරය. හෝමෝ සේපියන් නියන්ඩතාලෙන්සිස් නම් වූ උපවිශේෂය ප්ලයිස්ටෝසීන යුගයේ දී හෝමෝ සේපියන්ස් සේපියන්ස් සමග තරඟයක නියැලීම මෙන්ම දේශගුණ විපර්යාසයට හැඩ ගැසෙන්නට නොහැකි වීම අවසානයේදී නූතන මානවයා මේ ලෝකයේ ඉතිරි කරන්නට හේතුවන්නට ඇතැයි සිතිය හැක. මේ සඳහා වඩා සාධාරණ සාධක ලෙස සැලකිය හැකිවන්නේ මොවුන්ගේ කපාල ධාරිතාව විශ්මය ජනක ලෙස වැඩිවීමයි. එමගින් පාරිසරික හැඩගැස්ම සඳහා ඔවුන්ගේ අනුවර්තන වඩා සාර්ථක ලෙස හසුරුවන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්නට ඇත. ඒත් සමගම සිදු වූ භාෂාවේ සහ එය හැසිරවීමේ දියුණුව නිසා නූතන මානව සන්නිවේදනයේ ප්‍රගමණය අතිසාර්ථක වී ඇත.

ඒ වාගේම වසර 11,000 කට පමණ පෙර ගෝලීය කාලගුණයේ සිදු වූ ප්‍රාමාණික යහපත් බව නූතන මානවයා තව දුරටත් සමාජශීලි කරන්නට හේතු වූ අතර වසර 8000 – 6000 ක කාලයේදී ශිෂ්ඨාචාර බිහිකරන්නට තරම් බුද්ධිමත් තත්වයකට පත් වූ බව පැහැදිලිය.  බුද්ධිමත්බව මානවයා සිතන්නට හැකි සත්ත්වයෙකු බවට පත් කල ඇත, එය ඔවුන්ගේ සමාජශීලීබාවය වැඩි දියුණු කරන්නට හේතු විය. එකිනෙකාට උදවු කරගැනීම තුලින් තම අවශ්‍යතා හැකි ඉක්මනින් සපුරා ගන්නට අවැසි පසුබිම සකස්වීම නිදහස් කාලයක් ඔවුන්ට උරුමකර දෙන්නට සමත් විය. එය වඩා වඩා සිතුවිලි මෙහයවන්නට ඒ තුලින් නව නිර්මාණ බිහිකරන්නට සමත් විය. ගැටළු නිරාකරණය කරගනිමින් පරිණාමයේ ඉදිරියට පියනැගීම අද වැනි සමාජ තත්වයක් බිහිකරන්නට සමත් විය. එමගින් මානව විද්‍යාව වැනි විෂයයන් නිර්මාණය කරගනිමින් ඔවුන්ගේ අතීතය, පරිණාමය සහ භෞතික සහ සමාජ ප්‍රගමණය මෙන්ම වත්මන් තත්ත්වය සහ අනාගත පරිකල්පන ගොතන්නට නූතන මානවයා සමත්වීමම කොතරම් ආශ්චර්ය ජනකදැයි ඔබට සිතෙනු ඇත.

ඒ අනුව පැරණි ග්‍රීක දාර්ශනිකයන්ගේ දර්ශනවාදී අදහස්වල පටලැවුන මානව සොබාවය සහ සමාජ සංස්කෘතිය වචනවලට පෙරලවී අපුරු ලියවිලි බවට පත් විය. ක්‍රිස්තු පූර්ව හතරවන ශතවර්ෂයේ විසු හෙරඩෝටස් නම් වූ ග්‍රීක ඉතිහාසඥයාගේ අදහස් මෙම මානව විද්‍යාව නම්  විෂය බිහිකරන්නට මූලික වන්නට ඇතැයි විශ්වාස කෙරේ. පබිලියස් කොරනේලිස් ටැසිටස් නම් රෝම ඉතිහාසඥයා ද ක්‍රිස්තුවර්ෂ පලමු ශත වර්ෂයේ දී පමණ යුරෝපයේ විසු පැරණි මිනිස් කාණ්ඩ ගැන තම ලියවිලිවල සඳහන් කර ඇත.

පස්වන සියවසේ දී පමණ බිඳවැටෙන රෝම ශිෂ්ඨාචාරයෙන් පසුව එළබෙන්නේ මධ්‍යතන යුගයටයි. දහවන ශතවර්ෂයේ දී පමණ විසු ඉබ්න් අහ්මඩ් අල් බිරුනි නම්  වූ පර්සියානු ජාතික විද්‍යාඥයා ඉන්දියානු මහද්වීපයේ විසූවන් ගැන අධ්‍යනය කරන ලද බව සඳහන් වේ. එපමණක් නොව මැදපෙරදිග සහ දකුණු ආසියානු රටවල වැසියන්ගේ ආගම සහ සංස්කෘතිය ගැන දීර්ඝ පර්යේෂණ වාර්තා සකස්කර ඇත.

යුරෝපියානු නොවන සමාජයන් ගැන වාර්තා සකස් කල, නුතන මානව විද්‍යාවේ ප්‍රාරම්භාකයෙකු ලෙස සැලකෙන, මධ්‍යතන යුගයේ විසූ ජෝන් ඔෆ් ප්ලේනෝ කාර්පිනි නම් වූ විද්‍යාඥයා මොන්ගෝලියානු ජාතිකයන් ගැන ලියූ වාර්තාව බෙහෙවින් වෙනස් සමාජ සංස්කෘතියක් ගැන කියැවෙන බව සැලකේ.

මධ්‍යතන යුගයේ (අටවන සහ පහළොස්වන ශතවර්ෂය අතර කාලය තුල) ලියැවුන බොහෝ ඉතිහාසය සහ භූ ගෝලය සම්බන්ධ සංචාරක වාර්තා වල ප්‍රධාන ලක්ෂණයක් වූයේ මානව විද්‍යාව ගැන සඳහන් වීමයි. මධ්‍යතන යුගයේ දී ඇති වූ නගර වල විසු මිනිසුන්ගේ සංස්කෘතිය එම නගරවලට අනුරූප ලාක්ෂණිකතා පෙන්නුම් කරන බව එම වාර්තාවල සඳහන් වේ. මෙමගින් එම නගරවාසීන්ගේ හැසිරීම සහ සංස්කෘතිය සංසන්දනයකට ලක් වූ අතර සමානතා සහ විෂමතා පිළිබඳව කතා බහට ලක් විය.

ඉබ්න් බතුතා, ඉබ්න් ජෝබයිර්, මොසබ්බාහි, මැග්රයිසී, මාර්කෝ පෝලෝ, අබ්දාරි, නසීර් කොස්රෝව් සහ බිරුනිගේ වාර්තා මධ්‍යතන යුගය පිළිබිඹු කරන මානව විද්‍යාවේ අගනා වටිනා සටහන් බව පිළිගැනේ. ක්‍රිස්ටෝපර් කොලොම්බස් සහ වස්කෝ ද ගාමා ගේ දේශ ගවේෂණ වාර්තා ද මෙම විෂය සඳහා වටිනා කරුණු එක්කර ඇති බව හොඳින් පැහැදිලි වේ. මොවුන් සොබාදහම සහ භූ ගෝලය  මානව විද්‍යාව සමග සම්මිශ්‍රණය කරමින් සිදුකරන ලද මෙම අධ්‍යන මානවයාගේ සංස්කෘතික සහ සමාජීය වෙනස්කම් ගෝලීය අවකාශය තුල කදිමට පෙලගස්වන්නට සමත් වී ඇත.

මධ්‍යතන යුගයෙන් පසු එනම් දහසයවන ශතවර්ෂය පමණ වනවිට පැන නගින දර්ශනයේ සහ විද්‍යාවේ පුනුරුදය මානව විද්‍යාව නව මාවතකට තල්ලු කරන්නට සමත් විය. දාහත්වන සහ දහඅටවන ශතවර්ෂවලදී සිදු වූ බුද්ධිමය සහ දර්ශණයේ සිදු වූ මහා ප්‍රබෝධය මෙලෙස මානව විද්‍යාව නව පැතිකඩ නිර්මාණය කරන්නට දායක වන්නට ඇතැයි සැලකිය හැකිය. මෙම කාලය තුල මානව විද්‍යාව වඩා ක්‍රමවත් අධ්‍යනයකට ලක් වූ බව පැහැදිලි වේ. ඉතා අගනා වටිනා ග්‍රන්ථයක් ලියමින් ඉමානුවෙල් කාන්ට් නම් දර්ශනිකා මානව විද්‍යාවට මහඟු සේවයක් සිදුකල බව සඳහන් වේ. 1972 දී පමණ මොහු මානව විද්‍යාව උගන්වන්නට වාර්ෂික පාඨමාලාවක් පටන් ගත්තේය. මෙකල බිහි වූ විල්හෙල්ම් දිල්තේ සහ ජෝන් ගොට්ෆ්‍රයිඩ් හේඩර් නම දාර්ශනිකයන් දෙදෙනාගේ සංස්කෘතීන් ගැන සිදුකල පර්යේෂණ මානව විද්‍යාවේ වර්ධනයට ඉවහල් වූ බව කියැවේ.

බෆන් නම් වූ සොබාවික විද්‍යඥයාගේ ලිපි මගින් විස්තර වන්නේ ආයතනික මට්ටමෙන් මානව විද්‍යාව මතුවන්නේ සොබාවික විද්‍යා ඉතිහාසය තුලින් බවයි. මානව විද්‍යාව තුල සංස්කෘතිය, භාෂාව, මනෝවිද්‍යාව වැනි විෂයයන් අධ්‍යනය සොබාවික විද්‍යා විෂය ධාරාව තුල ශාක සහ සතුන් ගැන අධ්‍යනයට සමාන බවයි පැවසෙන්නේ. ලුවිස් හෙන්රි මෝර්ගන් නම් වූ මානව විද්‍යඥයා උතුරු ඇමෙරිකානු දේශීයයන් ගැන ද බීවරයන් ගැනද කියවෙන පර්යේෂණ පත්‍රිකාවක් ඉදරිපත් කරන්නේ එනිසාමයි. අප්‍රිකානු දේශීය ජනතාවගේ භාණ්ඩ සහ ආයුධ සොබාවික විද්‍යා කෞතුකාගාරයේ සතුන්ගේ ප්‍රාග් ජීවධාතූන් සමග තබන්නේද මෙනිසාම බව පැවසේ.

මානව විද්‍යාව තුල ‘මනුෂ්‍යත්වය’ නම් වූ නව විෂය දහරාව පැන නගින්නට හේතුවන්නේ සොබාවික විද්‍යාවේ පර්යේෂණ ක්‍රමවේදය ද වර්ධනය වන නව ක්‍රමවේද සහිත ව්‍යුහාත්මක සම්මුඛ සාකච්ඡා පමණක් නොව ව්‍යුහාත්මක නොවන සහභාගිවන්නගේ දැක්ම ද පදනම් කරගෙන බව පැවසේ. හෝමෝ නම් මානව ඝනයේ සුවිශේෂී  ලාක්ෂණිකතා පදනම් කරගෙන සිතීමේ සහ ක්‍රියාත්මක වීමේ හැකියාව මත සංස්කෘතිය බිහි වූ බව මානව විද්‍යාඥයින් විශ්වාස කරයි.

විසිවන ශතවර්ෂය වනවිට ඇමෙරිකානුවන් ඔවුන්ගේ දේශයේ මානව විද්‍යාව හදාරන්නට උත්සුක විය. 1967 දී මාවින් හැරිස් නම් වූ මානව විද්‍යාඥයා මානව විද්‍යා සංකල්ප වල වර්ධනය නම් වූ පර්යේෂන්ත්මක ග්‍රන්ථය ඉදිරිපත් කරන ලද අතර මානව විද්‍යාවේ වර්ධනය සම්බන්ධව අධ්‍යනය කරන්නට අධ්‍යන ආයතනයක් බිහිකරන්නට සමත්විය. වමෙම කාලවකවානුවේ යුරෝපීයයන් විශ්වාස කරන ලද්දේ සියලු මිනිසුන් අතර ඔවුන් වඩා ශිලාචාර සහ සංස්කෘතික ජාතියක් බවයි. ඒ ඔස්සේ යම් වර්ධනයක් ද මානව විද්‍යාවට එක් විය. මෙම සිතුවිල්ල අභියෝගයට ලක් කරන ලද්දේ ජර්මානු ජාතික මානව විද්‍යාඥයෙකු වන ප්‍රාන්ස් බෝස් නැමැත්තායි. ඔහුගේ එම අධ්‍යනය සහ මතය තවත් ඇමරිකානු සහ යුරෝපියානුවන් සමහරකගේ මතය වෙනස් කරමින් සියලු ජාතින් එකසමාන ලෙස සලකන්නට මාර්ගය පෑදුනි. මෙය බෝසියන් විප්ලවය ලෙස හැදින්වේ.

සංස්කෘතික මානව විද්‍යාව ලෙස නව විෂය ක්ෂේත්‍රයක් නිර්මාණය වන්නට මාර්ගය පෑදෙන්නේද මෙම කාලයේයි. නුතන මානව විද්‍යාව තව දුරටත් විකසනය වෙමින් ප්‍රයෝගික මානව විද්‍යාව බිහිවන්නේ එදිනෙදා ජීවිතයේදී සහ සමාජයේදී පැනනගින ගැටළු නිරාකරණය කරගැනීම සඳහායි. මානව පරිණාමය සහ විකසනය පදනම් කරගනිමින් බිහිවන ජෛව මානව විද්‍යාව මිනිසාගේ ජෛව විද්‍යාත්මක පරිණාමික පිලිබඳ අධ්‍යනයට බදුන් කරයි.

විසිඑක්වන ශතවර්ෂය ආරම්භ වනවිට මානව විද්‍යාව තවදුරටත් විකසනය වෙමින් සංස්කෘතීන් අතර අන්තර් සම්බන්ධතා අධ්‍යයනයට වාගේම ගෝලීයකරණය තුල මිනිසුන් , සමාජය, සංස්කෘතීන් සහ අදහස් වල වර්ධනයන්, පරිවර්තනයන් සහ විකසනයන් පිලිබඳ අධ්‍යනය කරන්නටත් සංචරණය සහ ඩයස්පෝරාව ගැන අධ්‍යනය කරන්නටත් හේතු විය.

කාර්මික විප්ලවයත් සමග ඇරඹි තාක්ෂණික යුගය මානව විද්‍යාව තවදුරත් සංකීර්ණ කරන්නට බලපෑ ප්‍රධාන කාරණාවකි. මානව සමජයේ යහපත සදහා පමණක් නොව යුධ කටයුතු සඳහා ද පරිවර්තන සිදුකරමින් මානව සමාජය අභියෝගයට ලක්කරන ලද මෙම තාක්ෂණික වර්ධනය මානව ශිෂ්ඨාචාරයට නව සංකල්ප බිහිකරගනිමින් මානව වර්ගය අරක්ෂා කරගැනීමට සිදුවීම මානවවිද්‍යාව නව මානයකට තල්ලු කරන්නට හේතුවිය. කාර්මික විප්ලවයේ ප්‍රතිපල ලෙස අද අත්විඳින දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵල හේතුවන් පරිසරය සහ මානවයා අතර සම්බන්ධය නැවත වරක් සිතන්නටත් මානවයා සියල්ලට ඉහලින් යන සංකල්පයෙන් බැහැරවීමත් මානව විද්‍යවේ අපූරු කාලීන ප්‍රගමනයක් බව කිව යුතුය.

මානව විද්‍යාව ක්‍රමිකව වර්ධනය වේ. එය සමාජයේ සහ සංස්කෘතියේ ප්‍රගමනයෙන් වියුක්ත නොවන බවත් ඊට සමාන්තර බව අප තේරුම් ගත යුතුය. වර්තමානය පවතින්නේ අංකිත තාක්ෂණයත් සමගයි. එය දැන් දැන් එහි වඩා දියුණු මට්ටම් වන කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය සහ පිටසක්වල සංචාර සමග අත්වැල් බැඳගන්නට ද නියමිතය. එනිසා මානව විද්‍යාවේ ප්‍රගමනය අනාගතයේදී බොහෝ වෙනස්කම් වලට භාජනය වන්නට නම් නියමිත බව කිව යුතුය. එමෙන්ම  මානවයාට බොහෝ තීක්ෂණ ලෙස තම බුද්ධිය භාවිතකරමින් තම මානව වර්ගය සහ පරිසරය එක්තැන් කරන්නටත් පිටසක්වලයන් සමග සම්බන්දකම් පවත්වාගනිමින් තම පැවැත්ම තහවුරුගන්නටත් අවශ්‍ය පසුබිම වර්ධනය වන මානවවිද්‍යාව සපයනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Thursday 25 April 2024

 අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය (The Atlantic Meridional Overturning Circulation) නිසල වෙයිද ?

සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු සාගරයේ පවා දැකිය හැකිය. ඒවා සාගරය තුලින් ගලායන ගංගා වැනිය. ඒවා සාගර මතුපිට සිට අභ්‍යන්තරය දක්වා ගලා යයි. එවැනි ජල ගංගාවක් වනුයේ “අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය’ ලෙස හඳුන්වාදෙන ජල සංසරණයයි. මෙමගින් උණුසුම් ජලය උතුරටත් එහි සීතල ජලය දකුණටත් හුවමාරු කරයි. මෙම හුවමාරුව අපි නොසිතන ලෙස ගෝලීය උණුසුම තුලනය කරමින් දේශගුණික විපර්යාසයන් සමනය කරන්නට සහ දක්වයි.

මෙම ක්‍රියාවලිය නැවතුණහොත් කුමක් සිදු වේද? එවිට නිවර්තන උණුසුම උතුරට සංසරණය වන්නේත් උතුර අර්ධ ගෝලයේ සිතල දකුණට සංසරණය වන්නේත් නැත. එය ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ තත්වයන් වර්ධනය කරන්නට හේතු වෙයි. නිවර්තන කලාපයේ තවත් උණුසුම් කරන අතර උතුරු ප්‍රදේශය තවත් සීතල කරයි. එපමණක් නොව වර්ෂාපතන රටාවන් වෙනස් කරන්නටත්, කුණාටු ඇති කරන්නටත් අත්ලාන්තික් වෙරළ කලාපයේ මුහුදු මට්ටම ඉහල නංවන්නටත් හේතු විය හැක. මේ වන විට විද්‍යඥයින් මෙම තාප හුමාරුව සිදු කරන ජල සංසරණයේ වේගය අඩු වී දුර්වල වී ඇතිබව සොයාගෙන ඇත. එනිසා ඉහත සඳහන් කල විපර්යාසයන් සිදුවන්නට බොහෝ ඉඩකඩ ඇත.

සාගර තරංග බිහිවන්නේ හමායන සුලඟ සහ ජලයේ ලවණ සාන්ද්‍රණය නිසා හටගන්නා ජල ඝනත්ව වෙනස හේතුවෙනි. ලවණ සාන්ද්‍රණය වර්ධනය වීම ඝනත්වය වැඩිකරන්නට හේතුවන අතර එනිසා එම ජලය සාගර අභ්‍යන්තරයට කිඳා බසී. මෙම සංසරණය තප්තලවණ සංසරණය ලෙස හඳුන්වයි. සිතල ලවණ ජලය පතුලට රිංගා යන අතර උන්සුම ලවණ ජලය මතුපිට රැඳී සිටී. අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ගෝලීය සාගර වාහක කලාපයේ සුවිශේෂී සාමාජිකයෙකු වන අතර ගෝලීය උණුසුම තුලනය සඳහා ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි.

ඇමෙරිකාවේ නැගෙහිර වෙරළට ආසන්නයෙන් ගලා යන ගල්ෆ් ප්‍රවාහය ද උතුරු අත්ලාන්තික් ප්‍රවාහයද උතුර උන්සුම් කරන අතර මේ ප්‍රවාහ දෙකම ගෙනෙන තාපය නිදහස් කර සිසිලනය වන්නේ ජලය තව තවත් බර කරමින්. ඝනත්වය ඉහල යාම නිසා එක එල්ලේ ගැඹුරට කිඳා බසින මෙම ප්‍රවාහ සාගර ද්‍රෝණියේ අභ්‍යන්තරයෙන් දකුණට ගලා යයි.

මේ වනවිට විද්‍යඥයින් පසුගිය දශක ගණනාව තිස්සේ සිදුකල පර්යේෂණ වලින් සොයාගෙන ඇත්තේ මෙම ක්‍රියාදාමයෙහි වේගය දුර්වලව ගොස් ඇති බවයි. වේගය අඩුවීම මෙන්ම බලය ද ක්‍රමයෙන් අඩුවී ඇති බවයි. මෙම වෙනස සඳහා හේතු විය හැක්කේ සගරජල මතුපිට ක්‍රමයෙන් දීර්ඝ කාලීනව වැඩිවෙමින් පැවතීමත් ලවණ සාන්ද්‍රණය වැඩිවීමත් යන කරුණු යැයි විද්‍යඥයින් විශ්වාස කරයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Citation: Mishonov A, Seidov D and Reagan J (2024) Revisiting the multidecadal variability of North Atlantic Ocean circulation and climate. Front. Mar. Sci. 11:1345426. doi: 10.3389/fmars.2024.1345426

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Monday 15 April 2024

 ඛණිජ ගැන දුර්මත..................!!!

භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජනතාව නොමගයවන සුළුය. පුරාවිද්යාවේ අර්ථකථන සඳහා භුවිද්‍යාවේ අවශ්‍යතාව පසුගිය දශක දෙකකට ආසන්න කාලයක සිටම මම පෙන්වමින් සිටියෙමි. කී දෙනෙකු එය තේරුම් ගත්තාදැයි නොදනී. 

වරින්වර සමහර විද්වතුන් සිදුකරන ප්‍රකාශ අර්ථශුන්‍ය වගකීම් විරහිත ඒවා බව පැහැදිලි වේ. එහෙන් මෙහෙන් අහුලාගත් සමහර කරුණු නිසි අවබෝධයකින් තොරව භාවිතා කිරීම අතිශය භයානකය. එමගින් දන්නා ඉතිහාසය ද විකෘත කෙරේ. එක් මහාචාර්යවරයෙකු විසින් ලියන ලද පර්යේෂණ ග්‍රන්ථයක (සිංහල) කඳුකරයේ ජනතාව “ඇල්මන්ඩින් ගානට්” වලින් යකඩ නිස්සාරණය කරන ලද බවද සඳහන් වේ. එය පිළිගත නොහැකි නොමග යවන සුළු ප්‍රකාශයකි. අප විසින් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වන්නේ හිම්ටයිට් නම් වූ යකඩ ඛනිජය මේ සඳහා යොදාගත් බවයි. මේ සඳහා ක්ෂේත්‍ර සාක්ෂි උඩවලව, හල්දුම්මුල්ල වැනි ප්‍රදේශ වලින් පමණක් නොව සේරුවල ප්‍රදේශයෙන් පවා හමුවන බව මෙහිලා සඳහන් කල යුතුය. 

සේරුවිල ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ තඹ නිධිය පැවතීම හේතුකොටගෙනය. තඹ ප්‍රයෝජනයට ගැනීම “මාගේ මතය” අනුව වසර 6000 ක අතීතයට දිවෙනු ඇති. තඹ ලෝහය නිස්සරණය කිරීම සේරුවිල වැව අවට ගජරාමෙට සිදුව ඇති බවට ඉතා පැහැදිලි සාක්ෂි හමුවේ. “තඹොර” ගොඩගැසුන විසල් කඳු ඒ අවට කලාපයේ ඕනෑ තරම් සොයාගත හැකිය. “තඹොර” පෙනුමට තද කළුපැහැ ගන්නා නමුත් හිරු එළියට ඇල්ලු කල කළුනිල් පැහැයකින් දිස් වේ. ඒ තඹ ලෝහ කැටායනය එහි ඇති බැවිනි. තඹ නිස්සාරණය දැනසිටි මිනිසුන් එහි නිල් පැහැය නොදැන සිටියා විය නොහැක. එනිසා ශ්‍රී ලංකාවේ වර්ණ එකතුවට එක් වූ පැරණිම වර්ණයක් වන්නට ඇත්තේ නිල් පැහැයයි. මෙරට බොහෝ දේවල් නීල පැහැයෙන් වර්ණ ගැන්වෙන්නට ඇත. 

නිල් පැහැය නිල් පැහැය මිස එය කොළ පැහැය නොවන බව ද අප අමතක නොකළ යුතුය. නිල් පැහැය පසුකාලීනව කොළ පැහැයට හැරෙන්නට ඇති බව මාගේ මතයයි. තඹ කැටායනය වායුගෝලයේ ඔක්සිජන් සමග මිශ්‍රව ඇතිවන ‘තඹමල’ මේ සඳහා හේතුවන්නට ඇත. තඹමල කොළ පැහැතිය. පිත්තල භාණ්ඩවල කොළපැහැය ඇතිවනු ඔබ දැක ඇත. එයට හේතුව වන්නේ ‘තඹමල’ ඇතිවීමයි.  

සොබාවික ඛණිජ පබළු කර්මාන්තය සඳහා යොදාගත් බවට ඕනෑතරම් පුරාවිද්‍යාත්මක සංක්ෂි හමුවේ. හොඳම එවැනි පබළු එකතුවක් හමුවන්නේ ජේතවනයෙනි. මා කරන ලද පර්යේෂණවලින් හෙළි වූයේ එහි ගානට්, පලිඟු වැනි මැණික් වලට අමතරව නිල් මැණික්, පුෂ්පරාග සහ ගෙවුඩ වැනි ඉතා වටිනා මැණික්වලින් ද නිමවන ලද පබළු හමුවන බවයි. එයට අමතරව ඉතා විශාල ප්‍රමාණයක් වීදුරු පබළු හමුවන බව වාර්තා වේ. මේවා කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද එවායි. මේ සඳහා මුල් බීජය සපයන්නට ඇත්තේ තඹ නිස්සරණයෙන් බිහිවන “තඹොර” විය හැක. අතුරු ප්‍රතිඵලයක් ලෙස බිහිවූ “තඹොර” කැබලිවල වර්ණය ඉතා අපූරු බවින් එය පළඳනාවක් ලෙස භාවිතා කරන්නට ඇත. එමගින් කෘත්‍රිම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අදහස ලබා දෙන්නට ඇත.  එනිසා ම අපට නිගමනය කල හැක්කේ නිල් පැහැය සහ පබළු කර්මාන්තය ස්වදේශීය නිර්මාණයක් මිස ලැපිස් ලැසුයි හරහා බිහි වූවාක් නොවන බවයි. 

කානිලියන් සම්බන්ධයෙන් ද ඇත්තේ මෙවැනිම වූ වැරදි සංකල්පයකි. කානිලියන් කෘත්‍රිම නිෂ්පාදනයකි. එය නිර්මාණය කරන්නට ලබාගන්නේ කහඳ නම් වූ ද්විතියක තිරුවානා ඛණිජ වර්ගයි. සෑම කහඳ වර්ගයක්ම ඒ සඳහා යොදාගත නොහැක. යකඩ කැටායනය එහි සංයුතියේ ප්‍රමුඛ වේ. ඒවා රත් කිරීමේදී වඩා රතු පැහැයට හැරෙන්නේ ඔක්සිහාරක යකඩ අයන ද ඔක්සිකරණය වන නිසාවෙනි. අගස්ති සහ ඔනික්ස් ද කහඳ වර්ග වේ. ශ්‍රී ලංකාවේ ඕනෑ තරම් කහඳ හමුවේ. එනිසා පිටරටින් ගෙන ඒමේ අවශ්‍යතාවක් නැත. කානිලියන් සොබාවිකව හමුනොවුන ද ඉහත පරිදි සාදාගත හැක. එනිසා පිටරටින් ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැත.

 අපගේ අතීත මුතුන් මිත්තන් ලෝකය සමග ගනු දෙනු කරන ලද්දන්ය.  ඒ බවට කිසිම සැකයක් නොමැත. ඊසාන දිග මෝසමෙන් මෙරටට එන වෙළෙන්දෝ නිරිත දිග මෝසමෙන් කුරුඳු ද රැගෙන මෙරටින් ගියෝය. මේ සඳහා ත්‍රිකුණාමලය කදිම වරායක් සපයන්නට ඇත.  ඒ අවට පොහොසත් වෙළඳ නගරයක් නිර්මාණය වන්නට ඇත. එය සමහර විට වසර 6000 කට පෙර මෙරට ශිෂ්ටාචාරයේ මූලික අඩිතාලම දැමූ පුලස්ති ඍෂිගේම නිර්මාණයක් විය හැක. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

භූවිද්‍යාඥ/භුපුරාවිද්‍යාඥ



Saturday 6 April 2024


භූ සම්පත්, ජනාවාස සහ සංස්කෘතීන්............!!!

අවශ්‍යතා පදනම් කරගෙන බිහි වූ ශිෂ්ටාචාර ලොව පළමු ශිෂ්ටාචාර වේ. ඒවා බොහෝ විට භූ සම්පත් මූලික කරගෙන බිහි වූ ඒවායි. ජලය මූලික අවශ්‍යතාව කරගත් ඉන්දුනිම්න, හරප්පා සහ නයිල් වැනි ශිෂ්ටාචාර මේ සඳහා කදිම උදාහරණ වේ. එයට අමතරව වෙනත් භූ සම්පත් කේන්ද්‍ර කරගත් ජනාවාස, සමාජ සහ සංස්කෘතීන් ද බිහි වි ඇත. වර්තමානයේ ඔස්ට්‍රේලියාව වැනි රටවල ආර්ථික ලෝහ වන රත්තරන්, තඹ සහ යකඩ වැනි ලෝහ ආකාර මූලික කරගෙන බිහි වූ එවැනි ජනාවාස සහ සංස්කෘතීන් තුල යම් සුවිශේෂීතා දැකිය හැකි වේ. පැරණි කර්මාන්ත වන මැටි කර්මාන්තය, ලෝහ කර්මාන්තය, ලුණු කර්මාන්තය වැනි කර්මාන්ත නිසා අපුරු සාමාජ සංස්කෘතීන් බිහිවන බව අමතුවෙන් පැවසිය යුතු නොවේ. වාග් සම්ප්‍රදායන්ගේ විවිධත්වය සහ මානව හැසිරීමේ විවිධත්වය ඒ තුල දැකිය හැකිය. මෙය වඩාත් තීවෘ වන්නේ කාලගුණය සහ දේශගුණය ඒ මත බල පවත්වන විටයි. ලෝකයේ ඕනෑම සංස්කෘතියක් හැඩගැසෙන්නේ දේශගුණයේ බලපෑම තුලයි.


මානව විද්‍යාව හදාරන්නන් ගේ අවධානය ශ්‍රී ලංකාවේ එවැනි ජනාවාස සහ සමාජ සංස්කෘතීන් වෙත යොමු විය යුතුය. උදාහරණයක් ලෙස අනුරාධපුර සහ පොළොන්නරු යුගවලදී බොහෝ ගොඩනැගිලි පාෂාණමය නැතහොත් ශිලාමය වේ. ඒ තුලින් බිහි වූ සමාජය සහ සංස්කෘතිය දැන් වන විට බිඳ වැටි හමාරය. ඒ තව දුරටත් ශිලා කර්මාන්තය මෙරට ප්‍රමුඛ නොවීම හේතු කොටගෙනයි. එනිසා වර්තමානයේ එහි ඉඟියක් සොයා ගැනීම ඇති දුෂ්කර කාරියකි. නමුත් පාෂාණ නිර්මාණ දෙස් බැලීමේදී එය අතිශය දියුණු සමාජ සන්දර්භයක් ගොඩනගන්නට ඇති බව පෙනීයන් කාරණාවකි. ඒ සඳහා පාෂාණ නෙලීම සම්බන්ධයෙන් මා සිදුකල පර්යේෂණ වඩා හොඳ ප්‍රව්ශයක් ලබා දෙයි. අනුරාධපුර යුගය වඩා භෞතික ක්‍රමවේදවලට සමීප බවත් පොළොන්නරු යුගය රසායනික ක්‍රමවේද භාවිතා කල බවත් තහවුරු වේ. එවන් වූ වෙනස්කම් කොතරම් වූ තරමකට මානව ක්‍රියා විවිධත්වයක් ඇතිකරන්නට ඇතිද යන්න සිතා බැලිය යුතු කාරණාවකි.

සේරුවිල තඹ නිධිය වටා ගොඩ නැගුන ඒ සුවිශේෂී ජනාවාස සහ සංස්කෘතිය ද මේ වන විට වැනසී ගොස් ඇති බව සැබෑවකි. එවන් වූ ලෝහ ඛණිජ නිධියක් සකස්වන්නේ අභ්‍යන්තරයේ රත්තරන් ද බාහිරයෙන් තඹ ද එයට බාහිරයෙන් යකඩ ද පවතින පරිධිය. එනිසා මුල්ම කාලයේ දී මෙම නිධියේ වූ රත්තරන් උකහා ගන්නට ඇත. ඉන්පසු තඹ ද අවසානයේ යකඩ ද නිස්සරණය කර ගන්නට ඇත. ඒ සඳහා සාධාරණ සාක්ෂි ඇති බව අප සිදුකල පර්යේෂණ වලින් කදිමට පැහැදිලි වේ. මෙවැනි ලෝහ නිස්සරණය කරන්නා වූ ස්ථාන පදනම් කරගත් ජනාවාසයක් කෙසේ වන්නට ඇත්දැයි අපට ප්‍රතිනිර්මාණය කරන්නට හැකිය. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි බොහොමයක් තාමත් ඒ ප්‍රදේශයේ පවතින බව නම් සැබෑවකි.

ශ්‍රිලංකාවේ පුරාණ යකඩ තාක්ෂණය හා බැඳුන සංස්කෘතිය වුව තවමත් නිසි පරිදි අධ්‍යනයකට ලක්වී නොමැත. එනිසා ශ්‍රී ලාංකික මානව විද්‍යඥයින් සහ භූ විද්‍යඥයින් එක්ව මෙම ක්ෂේත්‍ර විවිධ මාතෘකා ඔස්සේ අධ්‍යනය සහ පර්යේෂණ වලට ලක් කල යුතුය. එය වර්තමාන මානව සමාජයේ ප්‍රගමනය සඳහා ඉතා හොඳ කාරණා වනු ඇත. 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ  








  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...