Wednesday 18 January 2017

විදුපත් ඉරුව

2015  දෙසැම්බර් 09 බදාදා

2013 වර්ෂය දේශගුණික විපර්යාසය ගැන කතා කරන විට ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌ බවට පත් වූයේ ප්‍රථම වරට වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 400යේ සීමාව පසු කළ බැවිනි. එයින් පසුකාලීනව උච්චාවචනය වූ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මේ වන විට මේ සීමාව කිහිප වතාවක්‌ ම පසු කර ඇති බව "කීලින්" චක්‍රය විමසීමේ දී ඔබට හොඳින් පැහැදිලි වෙනවා නිසැක ය.

1750 වසර සැලකෙන්නේ කාර්මික විප්ලවය ඇරඹුණු වසර ලෙස ය. එකල වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 280ක්‌ ව පැවැති අතර වසර 2015 වන විට 40%කින් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩි කිරීමට "කෑදර" මානව ක්‍රියාකාරකම් හේතු වී ඇත. ඒ අතුරින් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩි වීම කෙරෙහි කාබනික ඉන්ධන දහනය ඉතා ප්‍රබලව බලපාන බව අමුතුවෙන් ඔබට පහදා දිය යුතු නො වේ. එම ක්‍රියාවලිය අඩු කළ හැකි සැම ක්‍රියාදාමයක්‌ ම කරළියට ගෙන ඒම පාරිසරික සංරක්‌ෂණයේ මූලික බලාපොරොත්තුවක්‌ විය යුතු බව මෙහි ලා සදහන් කළ යුතු ය.

සූර්ය ශක්‌තිය, සුළං බලය සහ ජල විදුලිය හරිත ශක්‌තියේ ප්‍රමුඛතාව ගත්ත ද ශ්‍රී ලංකාවේ ජල විදුලිය කෙරෙහි වූ බලාපොරොත්තුව දැන් දැන් වියෑකෙමින් යන්නේ බොහොමයක්‌ අවස්‌ථා ප්‍රයෝජනයට ගෙන ඇති බැවිනි. එමෙන් ම එය Rජුව ම වාර්ෂික කාලගුණ රටාව මත ද රඳා පවතින බැවින් සමහර කාලවල දී උපරිම පල නෙළාගැනීමට නොහැකි ය. සුළං බලශක්‌ති බලාගාර ද කිසියම් ප්‍රමාණයකට මෙරට විකසිත වුව ද ඒ ද සීමාසහිත වන්නේ කාර්යක්‌ෂම සුළං බලශක්‌ති උත්පාදන ස්‌ථාන ද සීමාසහිත වීමෙනි. තවමත් නිසි පරිදි විකසනය නො වුව ද සූර්ය ශක්‌ති පෙරණයන් මෙරට දී මිල දී ගැනීමට අධික මිලක්‌ වැය වීම සාමාන්‍ය ජනතාව අතර ඒවා ජනප්‍රිය නො වීමට ප්‍රධාන හේතුව වී ඇත. එපමණක්‌ නො ව උකහාගන්නා ශක්‌තියෙන් වැඩි ප්‍රමාණයක්‌ වැඩි කාලයක්‌ ගබඩා කළ හැකි කාර්යක්‌ෂම සහ දැකුම්කලු විද්යුත් කෝෂ නිපදවී නො තිබීම ද තවත් එක්‌ හේතුවකි.

මෙරට බලශක්‌ති පරිභෝජනය සලකා බැලීමේ දී 2014 වසරේ දී ප්‍රවාහනය සදහා වැය කර ඇති බලශක්‌ති ප්‍රමාණය සම්පූර්ණ බලශක්‌ති පරිභෝජනයෙන් සියයට 30ක්‌ පමණ වූ විශාල ප්‍රමාණයක්‌ බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියෙහි වෙබ් පිටුව බැලීමේ දී පෙනී යයි. මෙය බලශක්‌ති සංරක්‌ෂකයන් ගේ විධිමත් සැලකිල්ලට භාජන විය යුතු ය. මෙරට ඇති බහුතරයක්‌ (සියයට අනූ නවයක්‌ ම) කාබනික ඉන්ධන දහනයෙන් දිවෙන වාහන වේ. දහනවවැනි ශතවර්ෂයේ විසූ සුප්‍රකට විදුලි ඉංජිනේරුවරයකු වන "නිකොලා ටෙස්‌ලා" විදුලි මෝටරය ලොවට හදුන්වා දෙමින් ද එමගින් විදුලි මෝටර් රථය හදුන්වා දෙමින් ද සිදු කළ පෙරළිය අතිමහත් ය. එහෙත් නියමිත කල්හි එය භාවිතයට නො ගැනීම ලෝකය වෙනස්‌ ම මාවතකට ඇද දැමුණ බව පැහැදිලි වේ. කෙසේ වෙතත් කාලය ගත වී හෝ විදුලි කාරය අද වන විට ලෝක ප්‍රවාහන ක්‌ෂේත්‍රයට පැමිණීම ඉතා වැදගත් සිදුවීමකි.

එම විදුලි කාරය මෙරටට ද පසුගිය වසරේ හදුන්වා දුන් අතර එය මෙරට බලශක්‌ති සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ පිරිස්‌වලට පමණක්‌ නො ව පරිසරයට ආදරය කරන්නන්ට ද ඉතා සුබ ආරංචියක්‌ බව විශ්වාස කළ හැකි ය. මන්ද යත් මේ විද්යුත් වාහන ලොව උණුසුම් කිරීමට හේතු සාධක වන ප්‍රධාන හරිතාගාර වායුව වන කබන්ඩයොක්‌සයිඩ් නො නිපදවන නිසා ය. විද්යුත් කාරය ශ්‍රී ලංකාවේ බලශක්‌ති අර්බුදයට පිළියමක්‌ මෙන්ම වායුගෝලීය සිසිලනය සදහා භාවිත කළ හැකි ද යන්න අද බොහෝ දෙනකු ප්‍රශ්න කරනු දක්‌නට ලැබේ. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණු කාරණා කිහිපයකි. පාරිසරික සංරක්‌ෂණය සැලකිල්ලට ගන්නේ නම් අප ගේ අදහස වන්නේ මේ සංකල්පය අතිශය නිර්මාණශීලී බවයි. කාබනික ඉන්ධනවලින් දිවෙන වාහන කුඩා ප්‍රමාණවලින් වුව ද ඉතා විශාල සංඛ්‍යාවකින් ඉතා විශාල ප්‍රදේශයක්‌ පුරා හරිතාගාර වායුව පිට කරන යන්ත්‍ර බව ඔබට වැටහෙනු ඇත. එනිසා ම මේ විමෝචන පාලනය කළ නොහැකි බව ඉතා හොඳින් වැටහෙනු ඇත. විද්යුත් වාහන කරළියට ඒම, පාලනය කළ නොහැකි එවැනි විමෝචන සීමා කරන අතර විශාල ප්‍රදේශයක්‌ පුරා හරිතාගාර වායු පැතිරීම වළකාලයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටක නිපදවෙන සම්පූර්ණ විද්යුත් ශක්‌තිය සුපිරිසිදු නො වේ. නිපදවෙන විද්යුතයෙන් අඩක්‌ පමණ ම කාබනික ඉන්ධන දහනයෙන් නිපදවෙන අතර එනිසා ම අයකුට මෙරට විද්යුත් වාහන ප්‍රචලිත කිරීම ප්‍රායෝගික ද යන්න ප්‍රශ්න කළ හැකි ය. බැලූ බැල්මට එය Rණාත්මක ලෙස පෙනුණ ද ධනාත්මකව ද භාවිත කළ හැකි ය. විද්යුත් වාහන වැඩි වීම මගින් විද්යුතය භාවිත කිරීම වැඩි වේ. එහෙත් එම වැඩි වන විද්යුතය නිපදවීමට කාබනික ඉන්ධන දහනයෙන් ක්‍රියා කරන බලාගාර (ඩීසල් සහ ගල් අඟුරු බලාගාර) වැඩියෙන් ක්‍රියාත්මක කිරීමට සිදු වුව ද සීමිත ස්‌ථාන කිහිපයකින් පමණක්‌ එම විමෝචන සිදු වන බැවින් විමෝචනයන් ප්‍රායෝගිකව පාලනය කිරීම අපහසු කාරියක්‌ නො වේ. ඒ සදහා නවීන ක්‍රමවේද භාවිත කළ හැකි ය. (හුනුදියර මගින්
CO2  සහ SO2 උරාගන්නට සැලැස්‌වීම වැනි ක්‍රම). එනිසා ම ඉතා විශාල ප්‍රදේශයක්‌ පුරා පිට වන හරිතාගාර වායුව නවතාලීමට හැකි වීම මෙහි ඇති ප්‍රධාන වාසිය බව ඔබට පෙනී යනු ඇත.

එපමණක්‌ නො ව ශ්‍රී ලංකාවේ දිනක ශක්‌ති පාරිභෝජන රටාව හේතුවෙන් අප මුහුණපාන ගැටලුවක්‌ වෙයි. එනම් උදෑසන සහ රාත්‍රියේ ඇති වන අධික ශක්‌ති පරිභෝජනය නිසා පවතින අධික ඉල්ලුමයි. එනිසා එම කාලය තුළ විදුලි බලාගාර බොහොමයක්‌ ක්‍රියාත්මක කිරීමට සිදු වේ. ඒ අතර කාබනික ඉන්ධන දහනයෙන් වැඩ කරන බලාගාර නො නවත්වා ක්‍රියාත්මක කිරීමට සිදු වීම ද තවත් හේතුවකි. එනිසා දෛනික ඉන්ධන පරිභෝජන රටාවේ සිදු වන අධික උච්චාවචනය තුලනය කිරීමට අනෙකුත් වෙලාවන්හි දී විද්යුත් ශක්‌තිය භාවිතයට ගැනීම කළ යුතු දෙයකි. එය කිසියම් ප්‍රමාණයකට අධික ඉල්ලුම සමනය කර මුළු දවස පුරා බෙදාහරිමින් ශක්‌ති පරිභෝජනය තුලනය කිරීමට පහසුවක්‌ වේ. කෙසේ වෙතත් මේ තුලනය සදහා ද කිසියම් ප්‍රමාණයකට විද්යුත් කාරය ප්‍රයෝජනයට ගත හැකි බව අප ගේ විශ්වාසයයි. ඒ විශේෂයෙන් ම මධයම රාත්‍රියේ දී කාරය ආරෝපණය කිරීම මගිනි. විද්යුත් වාහන භාවිතය, මෙරට ශක්‌ති කළමනාකරණයට කිසියම් ලෙසකින් Rජු දායකත්වයක්‌ ලබා දෙන බව අප ගේ හැඟීමයි.

විද්යුත් වාහන ප්‍රචලිත වීම ඒ හා සබැඳුණ අනෙකුත් නිෂ්පාදන දියුණු වීමට එක හේතුවක්‌ වේ. විශේෂයෙන් ම විද්යුතය ගබඩා කරන විද්යුත් කෝෂ කර්මාන්තයේ මනා විකසනය මේ අතර ප්‍රමුඛ වේ. ඉතා කාර්යක්‌ෂම වැඩි අරෝපණ ප්‍රමාණයක්‌ ගබඩා කළ හැකි විද්යුත් කෝෂ නිර්මාණය වීම සූර්ය ශක්‌තිය ගබඩා කිරීමෙහි ලා ද වැදගත් වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...