2017 ජනවාරි 11 බදාදා
වසර 12000 කට පෙර ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපය පිහිටියේ අද පවතින වෙරළට මීටර 100ක් පමණ පහතින් බව භූ විද්‍යාඥයන් පෙන්වා දී ඇත. ඒ අප කවුරුත් දන්නා ලොව අවසාන අයිස් යුගයේ දී ය. එම යුගයේ අවසානය වසර 11000කට පමණ පෙර ආරම්භ වූ අතර මුහුදු මට්‌ටම තවමත් වැඩි වෙමින් පවතියි. සමහර විද්‍යාඥයන් පවසන පරිදි අප තවමත් ගත කරන්නේ එම යුගයේ අවසාන කාල පරිච්ඡෙදයේ ය. එයට හේතුව ලෙස ඔවුන් දක්‌වන්නේ තවමත් ධ්‍රැවාසන්නයේ ඇති අයිස් කඳු දිය වී නොමැති වීමයි. කෙසේ වෙතත් ඉතා පහතින් මුහුදු මට්‌ටම පිහිටීම හේතුවෙන් වසර 6000ක් පමණ කාලයක් දක්‌වා ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ගොඩබිමෙන් සම්බන්ධ ව තිබෙන්නට ඇතැයි යන්න භූ විද්‍යාඥයන් ගේ මතයයි.
ශ්‍රී ලංකාවේ පිහිටි ත්‍රිකුණාමල වරාය ලොව පිහිටි හොඳ ම ස්‌වාභාවික වරායන් ගෙන් එකකි. එසේ වන්නට හේතු වී ඇත්තේ එහි අපූරු භූ සැකැස්‌ම ය. ඊසාන-නිරිත දිශානුගත ව විහිදී යන ලාංකේය භූ ස්‌කන්ධයේ පැලුම් රටාව සුවිශේෂී ලෙස මේ කෙරෙහි බලපා ඇත. මෙරට දිග ම ගංගාව වන මහවැලිය, මහනුවරින් පසු එක එල්ලේ මුහුදට ගලා බසින්නේ මේ සුවිශේෂී පැලුම් රටාව ඔස්‌සේ ය. එම පැල්ම මුහුදට ආසන්න වත් ම බොහෝ ගැඹුරට සෑරී ඉතා ගැඹුරු නිම්නයක් සකස් කොට ඇත. මේ නිම්නය, වසර 11000කට පමණ පෙර එනම් අයිස් යුගයේ වූ පහළ ගිය මුහුදු මට්‌ටම හේතුවෙන් දුර්වල පාෂාණ සහ පාංශු ස්‌ථර ඛාදනය වීමෙන් සකස් වන්නට ඇති බව අප ගේ මතයයි. එමෙන් ම බොහෝ විට මේ ස්‌ථානවල අලංකාර දිය ඇලි සකස් ව තිබෙන්නට ද ඇත. ඒ නිම්නයේ බෑවුම ශීඝ්‍ර හෙයිනි. පසුකාලීනව ක්‍රමයෙන් මුහුදු මට්‌ටම ඉහළ යැම හේතුවෙන් නිම්නය ජලයෙන් යට වී මේ මුහුදු බොක්‌ක නිර්මාණය වන්නට ඇත. මේ ප්‍රදේශයේ ඇති අධික ගැඹුර ලොව විශාලතම සහ ගැඹුරු පත්ලක් සහිත යාත්‍රා ගොඩබිම සමීපයට ගෙන එන්නට සමත් වේ. ඉතිහාසය පිරික්‌සීමේ දී මේ ස්‌වාභාවික මුහුදු බොක්‌ක මානව වෙළෙඳ වංශ කතාවේ සන්ධිස්‌ථානයක් වන්නට ඇත. අවම වසර 3000කට පෙර අන්තර් ජාතික වරායක් ලෙසත් අවට ගොඩබිම කලාපය අතිශය දියුණු වෙළෙඳ නගරයක් ලෙසත් පැවතෙන්නට ඇත්තේ මේ මුහුදු බොක්‌කේ වූ සුවිශේෂී භූ සැකැස්‌ම සහ රුපණය හේතුවෙනි.
වයඹදිග වෙරළෙහි පිහිටි මන්නාරම ප්‍රදේශය ඉපැරැණි වරායක් සදහා ප්‍රසිද්ධියක් උසුලයි. මේ ප්‍රදේශය එකල මාන්තායි ලෙස ද හදුන්වා ඇති අතර කරන ලද පුරා විද්‍යාත්මක පර්යේෂණවලට අනුව වෙළෙඳ නගරයක ලක්‌ෂණ පෙන්නුම් කරන බව පෙනී යයි. එහෙත් භූ විද්‍යාත්මක සාධක සැලකීමේ දී ත්‍රිකුණාමලය (ගෝකන්න) තරම් වූ මනාව පිහිටි ස්‌වාභාවික වරායක් නො වන බව පැහැදිලි වේ. එයට හේතු කවරේ ද...? ප්‍රධාන ම හේතුව නම් ත්‍රිකුණාමලයේ පිහිටන ආකාරයට ගැඹුරු අගාධමය ස්‌වරූපයක් මන්නාරමෙහි නොමැති වීමයි. එනිසා පැහැදිලිව ම විශාල නැව් මන්නාරම් වරාය වෙත එන්නට හැකියාවක් නොමැත. මන්නාරම සහ ඉන්දියාව අතර මුහුදු තීරය ඉතා පටු වන අතර ගැඹුර අඩු ය. මේ නොගැඹුරු මුහුදු කලාපයෙහි වඩාත් පහසුවෙන් භාවිත කළ හැක්‌කේ පැතලි පත්ලක් සහිත යාත්‍රා වන අතර බොහෝ විට ඒවා කුඩා පරිමාණයේ ඒවා වන්නට ඇත.
භූ විද්‍යාත්මකව සැලකූ විට මේ පටු මුහුදු තීරය සකස් වූයේ කෙසේ ද යන්න භූ තල කාරක මතයෙන් පැහැදිලි කළ හැකි ය. වසර මිලියන 230-300 අතර කාලය වන විට ශ්‍රී ලාංකේය භූ තලය සහ ඉන්දියානු භූ තලය එක ම ගොඩබිමක් ව පැවැති අතර එම කාලය ලොව ඩයිනොසෝරයන් සැරිසැරූ යුගයයි. එම කාලයේ දී ඇති වූ අපසාරී භූ තල මායිමක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූ ස්‌කන්ධය ඉන්දියාවෙන් වෙන් වන්නට පටන් ගත්තේ ය. ක්‍රමයෙන් වර්ධනය වූ මේ පැල්ම හේතුවෙන් කාවරි ෙද්‍රdaණිය හටගත් අතර මේ ෙද්‍රdaණිය දෙපස මුහුද හා සම්බන්ධ වීමෙන් මේ කුඩා පටු මුහුදු කලාපය බිහි විය. භූ තල ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් දකුණු-ගිනිකොන දෙසට තල්ලු වූ අතර අද ද ක්‍රමයෙන් ඉන්දියාවෙන් ඈත් වෙමින් පවතී. ජුරාසික යුගයේ ඇරඹි මේ තල්ලු වීම හේතුවෙන් මේ මුහුදු කලාපයේ මයෝසින යුගයේ දී හුණුගල් තට්‌ටුවක් අවසාදනය වූ අතර පසුකාලීනව උක්‌ෂිප්ත වීම හේතුවෙන් ශ්‍රී ලාංකේය විපරිත පාෂාණ පිහිටි භූ තලයට ඈදුණු කොටසක් විය.
කෙසේ වෙතත් අවසාන අයිස් යුගයට පසු එළඹි කාලයේ තෙවරක් ම මුහුදු මට්‌ටම අද පවතින මට්‌ටමට වඩා ඉහළ ගිය බවත් එලෙස ම පහළ මට්‌ටමක පවතින බවත් පර්යේෂණ වාර්තා පෙන්නුම් කරයි. එනිසා භූ තලකාරක ක්‍රියා හේතුවෙන් ඉන්දියාවෙන් ලංකාව ඈත් වුවත් මුහුදු මට්‌ටම පහළ යැම නිසා මන්නාරම සහ තමිල්නාඩු මුහුදු කලාපය අතරින් සම්බන්ධ වී ඇත. අදටත් අප රාමා ගේ පාලම යෑයි හදුන්වන්නේ මේ ගොඩබිම් කලාපයයි. ඈත අතීතයේ සිට ම මෙලෙස වරින් වර ඉන්දියාව හා සම්බන්ධ වීමෙන් ජාන සමුච්චය මිශ්‍ර වීමෙන් ද පසුකාලීනව සංස්‌කෘතීන් මිශ්‍ර වීමෙන් ද ලාංකේය ජීව පද්ධතිය වෙනසකට භාජන වන්නට ඇත. (මෙය අනෙක් අතට ද වලංගු වේ.)
නොගැඹුරු මුහුදු කලාපයක් නොමැති ව වුවත් වෙළෙඳ නගරයක් සහ වෙළෙඳ මධ්‍යස්‌ථානයක් ලෙස මාන්තායි පරිණාමය වන්නට ඇත්තේ මේ පටු මුහුදු කලාපය හරහා ඉතා පහසුවෙන් ඉන්දියානු අර්ධද්වීපය හා සම්බන්ධ විය හැකි වීමෙනි. එලෙස සම්බන්ධ වීම යනු ගොඩබිම හරහා ලෝකයේ අනෙකුත් රටවල් හා පහසුවෙන් සම්බන්ධ වීමයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment