2017 අප්‍රේල් 26 බදාදා
පසුගිය කාලයේ අප කතා බහට ලක් කළේ කඳු නාය යැම් ගැන ය. එනිසා අවතැන් වූවන් ගැන ය. ආපදාවට ලක් වූවන් එම ස්‌ථානවලින් ඉවත් කර සුරක්‌ෂිත ස්‌ථානවල රැඳවීම ගැන ය. පුදුමයක මහතෘ මෙන්න කඳු නොමැති කොළඹ නාය යන්නට පටන්ගෙන. නාය යන්නේ කුණු කඳු ය. මීටර පනහක් පමණ උසට ගොඩනැගුණ මීතොටමුල්ල කසළ කන්ද පසුගිය දා නාය ගියේ ය. ඒ මිනිස් ජීවිත 32ක් අහිමි කරමිනි. තවත් සිය ගණනකට උන්හිටි තැන් අහිමි කරමිනි. දේපළ විශාල ප්‍රමාණයක් හානියට ලක් කරමිනි.
'කුණු කන්ද නාය ගියා නම් මිනිස්‌සු මැරෙන්න ඇත්තේ කුණුවලට යට වෙලා නේ' බොහෝ දෙනෙක් පැවසූ හ. එහෙත් පින්තූර රුප රාමුවල එවැනි දෙයක් දිස් වූයේ නැත. හානියට ලක් වූ නිවාස පිහිටි ස්‌ථාන කුණුවලින් යට වී තිබුණේ නැත. එසේ නම් මිනිසුන් මැරුණේ, දේපළ හානි වූයේ කෙසේ ද? හානියට ලක් වූ ප්‍රදේශය ස්‌වාභාවික භුමි මට්‌ටමෙන් බොහෝ එසවී තිබුණු බව ඉතා හොඳින් පැහැදිලි විය. මෙහි දී සිදු වූ භූ විද්‍යාත්මක ක්‍රියාවලිය කුමක් විය හැකි ද? සමහරුන් පැවසුවේ මීතේන් වායුව නිසා සිදු වූ පිපිරීමක් නිසා කුණු කන්ද නාය ගිය බවයි.
මේ කසළ බැහැර කර ඇත්තේ පැරැණි කුඹුරකට ය. පහත් බිම් වන මෙවැනි ස්‌ථානයන්හි පස ගසාගෙන අවුත් තැන්පත් වූ සමහර විට කාබනික ද්‍රව්‍ය වැඩි අවසාදිත වේ. කලකට ඉහත දී සිදු කළ පර්යේෂණවලින් පැහැදිලි වී ඇත්තේ මේ ස්‌ථානය නිර්මාණය වී ඇත්තේ ඉහත කී ආකාරයේ පසකින් බවයි. මෙවැනි පස්/අවසාදිතවලින් සකස් වූ භූමියක දරාගැනීමේ හැකියාව අඩු නිසා අධික බර පැටවීමේ දී දෙපසට විස්‌ථාපනය වීමේ හැකියාව පවතී. මෙය ඇත්තෙන් ම මැටි ගොඩකට ගලක් පැටවූවා වැනි ය.
කසළ ටොන් ගණනාවක් වසර ගණනාවක් තිස්‌සේ මේ ස්‌ථානයට බැහැර කිරීම නිසා, ඉතා විශාල කුණු කන්දක් නිර්මාණය විය. තෙතමනය සහිත කසළ වෙන් කිරීමකින් තොර වීම නිසා සියලු කුණු මෙහි ගොඩගැසුණ අතර කුණු ප්‍රමාණය වැඩි වත් ම සමතුලිත ව තිබූ භුමිය යටට තෙරපෙන්නට විය. මේ තෙරපීම් සැම විට ම දුර්වල කලාප ඔස්‌සේ වර්ධනය වී ඇති අතර වසර ගණනාවකට ඉහත දී සිට මෙහි ප්‍රතිඵල සැමට දිස් වන්නට විය. මේ ආසන්නයේ වූ ගෙවල්වල බිත්ති ඉරිතැලීම්, පොළෝ පිපිරීම් මෙන්ම එකිනෙක ආසන්නයේ වූ ගෙවල් ළං වන බව ද එහි දී ප්‍රදේශවාසීහු නිරීක්‌ෂණය කළ හ. කුණුවල බර වැඩි වීම හේතු කොටගෙන පහළට එල්ල වූ තෙරපුම පසෙහි ස්‌වභාවය හේතු කොටගෙන භූ අභ්‍යන්තරයෙන් පාර්ශ්විකව ද පැතිරෙන්නට හේතු වී තිබේ. (රූපය 1)
මෙලෙස පාර්ශ්විකව පැතිරුණ තෙරපුමට එක්‌තරා දුරක දී සීමාකාරී වන්නට සිදු වන්නේ ඔබ්බෙන් පිහිටි කබොක් භුමිය ආරම්භ වීමෙනි. කබොක ඉතා තද ශක්‌තිමත් ද්විතීයික පාෂාණයක් වන අතර ඉතා කදිමට බර දරාගැනීමේත් තෙරපුම දරා ගැනීමේත් හැකියාව පවතී. දිගින් දිගට ම සිදු වූ කසළ පැටවීම නිසා පහළට ද පාර්ශ්විකව ද වැඩි වූ තෙරපුමට ලක් වූ අවසාදිත කබොක් තට්‌ටුවේ දරාගැනීම නිසා ක්‍රමයෙන් ඒ ආසන්නයෙන් ඉහළට එසවෙන්නේ ඒ සදහා පහසුවෙන් ඉහළට අවකාශය සකස් කරගත හැකි නිසාවෙනි. වසරකට පමණ පෙර කාලය තුළ මේ තත්ත්වය නිරීක්‌ෂණය කළ බව ප්‍රදේශවාසීහු පවසති.
කාලයත් සමග වැඩි බර තුලනය කරගෙන සිටිය ද තවදුරටත් දරාගැනීමේ හැකියාව 14 වැනි දා පස්‌වරුව වන විට මේ අවසාදිත තට්‌ටුවලට හැකියාව තිබුණේ නැත. එනිසා ඉතා ක්‌ෂණයකින් මීටර 50ක් පමණ උස කසළ කන්දෙහි බරෙන් තෙරපී මිරිකි මිරිකී තිබු අවසාදිත පාර්ශ්විකව තල්ලු වී තෙරපුම නිදහස් කළේ කබොක ආසන්නයේ වූ භුමිය ඉහළට ඔසවා දමමිනි. ඉතා වේගයෙන් සිදු වූ මේ සිදුවීම නිසා භුමියේ ගොඩනගා තිබූ නිවාස සුන්බුන් බවට පත් විය. (රූපය 3)
කසළ අපජලය කළමනාකරණය නො කිරීමත්, කසළ ගොඩගැසීම ක්‍රමානුකුලව සිදු නො වීමත් භූ අභ්‍යන්තර ජල මට්‌ටම වැඩි වන්නට හේතු වෙයි. මෙනිසා තත්ත්වය තවදුරටත් අයහපත් කරන අතර භූ අභ්‍යන්තර අවසාදිත/පස්‌වල දරාගැනීමේ හැකියාව තව තවත් හීන කරයි.
ශ්‍රී ලංකාවේ මෙවන් ඇබැද්දියක් සිදු වූ ප්‍රථම වතාව ය මෙය. මෙවැනි පරිසරවල බොහෝ විට සිදු වන්නේ මීතේන් වායුව නිසා ඇති වන ගිනි ගැනීම් ය. නැත හොත් අභ්‍යන්තර පිපිරීම් ය. එහෙත් සිදු ව ඇති සංසිද්ධිය හේතුවෙන් සටහන් වූ සාක්‌ෂි හොඳින් ග්‍රහණය කළේ නම් අප ඉහත කළ පැහැදිලි කිරීම මේ සදහා හේතු වූ කරුණ කුමක් දැයි හෙළි කරයි.
මේ කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙහි ලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ක්‍රියා කළ ආකාරය පැසසුම්සහගත ය. තම අවුරුදු නිවාඩුව පවා අහිමි කරගනිමින් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් ඔවුන් සිදු කළ කැප කිරීම මෙරට සියලු විද්‍යා වෘත්තිකයන් හට කදිම ආදර්ශයකි. එහි අධ්‍යක්‌ෂ ජනරාල්තුමන් වන ආචාර්ය ආසිරි කරුණාවර්ධන, නාය යැම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‌ෂ, ආර්.එම්.එස්. බණ්‌ඩාර සහ භූ තාක්‌ෂණ ඉංජිනේරු අංශයේ අධ්‍යක්‌ෂ කේ. එන්. බණ්‌ඩාර යන මහත්වරුන් එහි අවදානම් තත්වය සමනය කිරීමට අවශ්‍ය තාක්‌ෂණික සහාය ලබා දීමෙහි ලා පෙරමුණ ගැනීම ඉතා අගය කළ යුතු ය. එමෙන් ම එම හදිසි අවස්‌ථාවේ සිට මේ වන තෙක් ආරක්‌ෂක අංශ අමිල මෙහයක් ඉටු කරමින් සිටින අතර ඔවුන් ගේ ඉවසීම, කැප වීම සහ නොපමාව කටයුතු සිදු කිරීම ඉතා ම ප්‍රශංසනීය ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment