Thursday 6 April 2017


විදුපත් ඉරුව

2017 අප්‍රේල් 04 බදාදා

හරප්පන් ශිෂ්ටාචාරය වසර 3000 ට පමණ පෙර ඉන්දියානු මහද්වීපයේ තිබූ ප්‍රභල සහ දියුණු ශිෂ්ටාචාරයකි. ඉන්දු නිම්නය කේන්ද්‍ර ක‍ර බිහි වූ වෙළඳ නගරයක් වූ මොහෙන්ජෝ-දාරෝව එතරම්ම ප්‍රභලව තිබුනද එහි අඛණ්ඩ බව පවත්වා ගන්නට හැකි වූයේ නැහැ. කාලගුණික විපරියාසයන් හේතුවෙන් එම අපූරු ශිෂ්ටාචාරය මෙලොවින් අතුගා දමන්නට හේතු වූ බවයි විද්‍යාඥයින්ගේ මතය වන්නේ. පරිසරයට බලපෑමක් කරන්නට තරම් වූ ප්‍රභලත්වයක් ඔවුන් සතු නොවූ නිසාදෝ ස්වාභාවිකත්වය ඇතිකළ වෙනස්කම් දරා ගන්නට ඔවුනට හැකි වී නැහැ.

අදූරදර්ශී මානව ක්‍රියා අදවන විට ලෝක පරිසරය ප්‍රභල ලෙස වෙනස් කරමින් ඉන්නා බව අප ඉතා හොඳින්ම දන්නා කරුණක්. එනිසාම කාලගුණික විපරියසයන් ආරම්භ වී එහි ප්‍රතිඵල පෘථිවිවාසි අප සියල්ල භුක්ති විඳිමින් සිටියි. ලෝක උණුසුම ඉහල යාම නිසා එකිනෙක බැඳුන තවත් බොහෝ දිගු දාම ක්‍රියා ආරම්භ වී සංකීර්ණ තත්වයක් ඇති වී තිබෙන බව තේරුම් ගත යුතුය. ධ්‍රැවාසන්න හිම දිය වී සාගර පිරෙන්නේ මුහුදු මට්ටම ඉහල දමමිනි. එනිසා සමහර දුපත් යටවී ජිවත් වන්නට අවැසි ඉඩකඩ අඩු වී යයි. ලෝක උණුසුම් වැඩිකරන තාපය ගිලගන්නා සාගර ජලය ඉදිමෙන්නේත් එනිසාමය. අකල් වැසි මෙන්ම අකල් වියළි කාලයන් ද ඇතිවන්නේත් මෝසම් කාලයන් වෙනස් වන්නේත් එනිසා බව විද්‍යාඥයින්ගේ මතයයි.

ගස් කපා වනාන්තර විනාශ කිරීම හේතුවෙන් මතු පිට සශ්‍රික පස් වැස්ම ගසා ගෙන යෑම ද එනිසාම මුඩු බිම් ඇතිවීමද ආහාර නිෂ්පාදනය සඳහා සිමා ඇති කරයි. නිසරු බිම් අස්වද්දන්ට නව තාක්ෂණය පිහිටට ආවද එයද ගහෙන් වැටුන මිනිසාට ගොනා ඇනීමක් බඳු වී ඇත. ශ්‍රී ලංකාව විෂයෙහි ඒ සදහා කදිම නිදසුන් ඇත. කෘෂිකර්මය උදෙසා නව ආරක ගමනක් යන්නට ශ්‍රී ලංකික විද්‍යාඥයෝ අත්හදා බලමින් පැවතී බටහිර තාක්ෂණය සහ විද්‍යා දැනුම යොදා ගත්තේ වුවද එය මේ වනවිට බොහෝ ගැටළු මතු කර ඇත.

රජරට වකුගඩු රෝගය මේ වන විට රජකමට සුදුසු ගොවියා අසරණ කර ඇත. ඔවුන් පසු වන්නේ මරණිය මොහතකය. නව තාක්ෂණය සමග ආ රසායනික පොහොර මතු පිට ජල මුලාශ්‍ර වලට එක් වීම හේතුකොටගෙන රජරට ජනතාවගේ සාම්ප්‍රදායික පානීය ජල සම්පත් අහිමි කළේය. එනිසා කටිනත්වය අධික භූ ගත ජල පානයට හුරු වූ , වසර සිය ගණනක් තිස්සේ සුමට ජල පානයට හුරු වූ ඔවුන්ගේ වකුගඩු හදිසි වෙනස ග්‍රහණය කර ගත්තේ නැත.  එනිසාම ඔවුන් ලෙඩ වන්නට විය. මේ තත්වය තවමත් නිසි පරිදී යමෙක් තේරුම් ගත්තේනම් වකුගඩු රෝගයට තවමත් පිලියමක් සොයා නොගත්තේ යැයි නොකියනු ඇත. තවමත් සාකච්චා සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේ එනිසා විය හැකියි. ඵල නොලබනා කතාවට අප බොහෝ දක්ෂයෝ වෙමු.

මෙහි සඳහන් කරන කල් පිටියේ කතාවෙන් කියවෙන්නේ ද තාක්ෂණයේ සහ නවීන විද්‍යාවේ කෙරුම් නිසා සිදුව තිබෙන අභාග්‍යය යි. කල්පිටිය භුමි අර්ධය සකස් වන්නේ අත්‍යන්තයෙන්ම වැලි වලිනි. නිසරු බිමක් මුත් එහි බොහෝ වගාවන් සිදුකරන්නේ විශ්මය ජනක ලෙසයි. වැලි පොලව අස්වද්දන්නට ඔවුන් යොදා ගන්නේ නවීන තාක්ෂණයයි. අධික ලෙස රසායනික පොහොර භාවිතය සාමාන්‍යකරණය වී ඇත්තේ වසර ගණනාවක සිටයි. වගාවට දමනා ජලය වැලි පොළොවේ නොරැදෙන හේතුවෙන් නිරන්තරයෙන්ම ජලය පොම්ප කරන්නට සිදුවේ. නැවතත් සියලු පොහොර රැගෙන භූ ගත ජලයට මිශ්‍ර වන්නට වැඩි කාලයක් අවැසි වන්නේ නැත. සියුම් වැලි අතරින් පහලට බසිනා පොහොර මිශ්‍ර ජලය නැවත නැවතත් භාවිතයට ගන්නට හැකිවන්නේ එහි පවතින සුවිශේෂී භූ විද්‍යාත්මක පසු බිම නිසයි.

කල්පිටිය ජනතාව බිමට ගන්නේ ද මෙම භූගත ජලයයි. සෑම නිවසකම නල ලිඳක් ඉදි කර ඇති අතර එම ජලය වගාවට ද යොදා ගනී. පොහොර මිශ්‍ර වීම නිසා මෙම භූ ගත ජලයේ නයිට්‍රේට ප්‍රමාණය වැඩි කරන්නට හේතු වී ඇති බව කලකට ඉහතදී මා සිදු කල පර්යේෂණයකින් පැහැදිළි විය. තිබිය යුතු නිර්දේශිත අගය මෙන්  දස ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් නයිට්‍රේට මෙම ජලයේ අඩංගු බව එහිදී ඔප්පු විය. නයිට්‍රේට මිශ්‍රිත ජලය පානය කිරීම අගුණ වන්නේ විවිධ සෞඛ්‍ය ගැටළු ඇති කරන බැවිනි. දරුවන් ලැබෙන්නට ඉන්නා කාන්තාවන් මෙම ජලය පානය කිරීමෙන් නිල් පැහැති දරුවන් බිහි කරන්නේ නයිට්‍රේට දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම අඩු කරන බැවිනි.

ඇතිව තිබෙන ව්‍යවසනය වාසියක් බවට පත් කරගන්නත් එමගින් එය සමනය කර ගන්නත් ප්‍රඥාවන්තයෝ උත්සුක වෙයි. කල්පිටිය මෙම තත්වය සමනය කර පිරිසිදු ජල නිධි රැක ගත යුතු වන්නේ එවැනි කදිම ජල නිධි වෙරළාසන්නයේ නොලැබෙන හෙයිනි. කල්පිටියේ භූ විද්යාත්මක් පසුබිම නිර්මාණය කරනා තත්වය අපුරුය. එනිසා පොහොර මිශ්‍රිත ජලය යාබද ජල නිධි සමග මිශ්‍ර වන්නේ නැත. එන්න එන්නට නයිට්‍රේට වැඩි වන්නේ මය. ස්වභාවිකව නයිට්‍රේට අඩුවන්නට බොහෝ කාලයක් ගත වේ. ඒ ද වගා නොකළ සිටිය යුතුය. නමුත් නයිට්‍රේට මිශ්‍රිත ජලය වගාවට භාවිතා කරන්නට හැකි ක්‍රම වේදයක් මාගේ පර්යේෂණ තුල මා සොයා බැලූ අතර එය සාර්ථක වූ අතර එනිසා අමතර පොහොර භාවිතය කලක් යනතුරු අත්හරිය හැකි බව පැහැදිළි විය. පර්යේෂණ පත්‍රිකාවක් ලෙස එම සොයා ගැනීම පළවූ නමුත් මෙරට කෘෂිකර්මය ගැන තීන්දු තීරණ ගන්නා නිලදරුවන්ගේ අවධානයට ලක් වුයේද යන්න ගැටලුවකි.

   

ආචාර්ය පත්මකුමාර ජයසිංහ




No comments:

Post a Comment

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...