යම් දිනෙක මෙලොව සියලු සංස්‌කෘතීන් විද්‍යාව වැළඳගත හොත් ඇති වන තත්ත්වය කෙබඳු වේ දැයි සිතිය හැකි ද? එය ඔය කියනා ලෙස එක ම ආකාරයක් වේ ද, නැත හොත් ප්‍රාදේශීයව වෙනස් වේ ද යන්න ඔබට ගැටලුවක් වනු ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳව ඔබට සිතන්නට ඉඩ සලසමින් ඔබ අප ගේ අවධානය යොමු විය යුතු කරුණක් මෙවර විදුපත් ඉරුවේ සඳහන් කළ යුතු යෑයි සිතේ.
නීති සහ රීති යම් සංස්‌කෘතියක යම් රටක පාලනයට අවැසි ය. යම් රටක නීතිය පිළිපැදීම ද, යම් සංස්‌කෘතියක රීතියට ගරු කිරීම ද කළ යුතු ය. වසර සිය දහස් ගණනක තිස්‌සේ ඔවුනොවුනට අනන්‍ය වූ රීතීන් ඒ ඒ සංස්‌කෘතීන් තුළ පැවතිණි. ලිත නීතිය නො වූ කල රීතිය නීතිය වන්නට ඇති බව සිතිය හැකි ය. ඒ කෙසේ වෙතත් ලෝකය තනි යායක් කරන්නට තැත් කරන ඉසව්වේ එක් එක් රටවල අඩු හෝ වැඩි වශයෙන් එකිනෙක වෙනස් වෙමින් වුව ලිත නීති පද්ධතියක් ගෙන එන්නේ කිසියම් ආකාරයකට එක ම පාලන තන්ත්‍රයක් ස්‌ථාපනය කරන්නට ය. එය එක් එක් බටහිර ජාතීන් ලොව පාලනය කරන කාලයේ ස්‌ථාපනය කරන්නට කළ තැත මෙනි.
කුමන නීතිය ගෙන ආව ද, සංස්‌කෘතියක තිබෙන රීති ඉවත දැමිය නොහැකි ය. මන්ද යත් කල්ප කාලාන්තරයක් භාවිතයෙන් ම මේ රීති ස්‌ථාපනය වී ඇත්තේ මානව ගුණාංග නො නැසෙන්නට ය. සංස්‌කෘතියේ පැවැත්ම තහවුරු කරන්නට ය. මානව පැවැත්මේ අඛණ්‌ඩතාවට ය. මෙවැනි සංස්‌කෘතීන් අතර වසර 2000කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්‌ථාපනය වූ සංස්‌කෘතිය අනර්ඝ ය. බෞද්ධ මත මූලික කරගත් රීති සමුදාය මෙරට සමාජයේ යහපැවැත්ම කදිමට තහවුරු කර ඇති බව පෙනී යයි. දවසේ සියලු කර්තව්‍යයන් හමාර කොට නිදහස් මනසකින් යුක්‌තව නින්දට යන්නට මෙරට ජනයාට අවසර ලැබුණේ එනිසා ය.
ආයුබෝවන් යන්න මෙරට සැම ගේ ම මුවග රැව් දුන් වචනයකි. ආයුෂ බොහෝ වේ වා යි තවත් අයකුට පතන්නේ හදවතින් ම ය. එසේ පතන්නට ඔහු පිළිබඳව යහපත් සිතිවිල්ලක් සිතෙහි පැවතිය යුතු ය. කුමන අමනාපයක් තිබුණ ද අලුත් අවුරුද්දේ අලුත් කරන්නේ එම සම්බන්ධයයි. යමකු කෙරෙහි සිතෙහි ඇති වන මෛත්‍රීසහගත සිතිවිලි එම පුද්ගලයා ගේ පමණක් නො ව එයට භාජන වන්නා ගේ සිතෙහි සහනයක් ඇති කරයි. මෛත්‍රී සිතිවිලි මනස සුවපත් කරනවා පමණක් නො ව භෞතික ශරීරයේ රසායනය ද යහපත් කරන අතර එනිසා නිරෝගී ශරීරයක් පවත්වාගෙන යැමට එය උපකාරයක් වෙයි. අයකු ගේ පෙර වැරැදි අමතක කර ඒ සියල්ලට සමාව දී දෙවියකු වන්නට මෙරට ජනයාට හැකි විය. එය වැරැදි කළ පුද්ගලයා ගේ නපුරු සංකල්පනා ඉවත් කර යහපත් වන්නට ලබා දෙන්නේ අගනා අවස්‌ථාවකි, මනා රුකුලකි. වැරැදි කළ ඇත්තන්ට යහපත් වී නැවත සමාජගත වන්නට දිරි දුන්නේ එලෙස ය.
ආගන්තුක සත්කාර අතින් ද ලොව ප්‍රමුඛ ම ජාතියක් වන්නට ශ්‍රී ලාංකිකයෝ අති දක්‌ෂයෝ වූ හ. ගෙදරට ගෙවදින කිසිවකුට හෝ වතුර උගුරක්, බුලත් වඩියක් නො දී පිටත් නො කෙරිණි. සැම විට ම සකස් වූ බුලත් හෙප්පුවක් සැම ගෙදරක ම විය. නිතර ම ගිනි ගෙයි වතුර රත් විය. බඩගින්නෙහි අමාරුකම ඔවුහු එකල දැන සිටිය හ. ජීවිතය ගෙන යන්නට ආහාර අවැසි බව ද, බඩගිනි නිවීම අයකු ගේ මනස ද සුවපත් කරන බව ද ඔවුහු මනා ලෙස දැන සිටිය හ. බුදුන් වදාළ ධර්මය දානයෙහි වටිනාකම ඉතා අපූරුවට උදාහරණ සහිතව පෙන්වා දී ඇත්තේ එම ශාරීරික අවශ්‍යතාව සපුරා නො දී කරන කිසිදු කර්තව්‍යයක් සඵල නො වන බැවිනි. මේ යහගුණය තවමත් ග්‍රාමීය සමාජය තුළ තිබෙන බව මම අත්දැකීමෙන් ම දනිමි.
කෘතගුණ සැලකීම මෙරට සංස්‌කෘතියේ එවැනි තවත් අපූරු ගුණාංගයකි. උදව් අවැසි විට කියන තෙක් නො සිට පැමිණ සොයා බලා කර දීම එකල අපේ ජනයා අතරේ විය. ඔවුහු එය අගය කොට ප්‍රතිඋපකාර කිරීම අත්‍යන්ත යුතුකමක් ලෙස සැලකූ හ. එකල මෙරට බොහෝ ජනයා ගේ කර්තව්‍යයන් සිදු වූයේ මෙලෙස ය. එකිනෙකාට උදවු කරගනිමින් තම සමාජ සම්බන්ධතා තර කරගැනිණි. ඝෘජු ව කෘතගුණ සැලකීමට නොහැකි වූ විට තවත් අයකුට එවැනි අවශ්‍යතා අවැසි විට කර දෙන්නට නොපසුබට වූ සංස්‌කෘතියක් අප සතු විය. තවමත් මෙරට සමාජයේ ඒ සඳහා උදාහරණ ඇත. එවැනි ගුණාංග ප්‍රගුණ කරගැනීම සමාජ සන්දර්භයේ මනා ස්‌ථාපනය සඳහා හේතු වේ.
ස්‌තූතිය, කෘතගුණ සැලකීමේ මූලිකම අඩිතාලම වෙයි. මෙරට සංස්‌කෘතියේ එම ගුණාංගය මානවයා ගෙන් ඔබ්බට ගොස් තිබුණු බව පෙනී යයි. ගොවියා තමාට උපකාර කළ කැත්තට උදැල්ලට ආදි උපකරණවලට පවා වැඳ නමස්‌කාර කළේ එහෙයිනි. කමතට අම්බරුවාට නිසි ගෞරවය ලබා දුන්නේ එහෙයිනි. ගසක් කපන විට තමාට කළ උදවු උපකාරය සිහි කොට වැඳ අවසර ඉල්ලූයේ එහෙයිනි. ජීවයේ අඛණ්‌ඩ බව රැක දෙන ජලයට අලුත් අවුරුද්දේ කෘතගුණ සලකන්නේ එහෙයිනි. එය ගෝත්‍රික බවෙන් ඔබ්බට ගිය අපූරු මානව ගුණාංගයක් බව අප සිහිතබා ගත යුතු ය.
කුමන හෝ විද්‍යාවක් විද්‍යාත්මක වන්නේ මෙවැනි ගුණාංගය ආරෝපණය වූ විට බව ය මා ගේ හැඟීම වන්නේ. එසේ නොමැති කල මිනිසා නසන උපකරණ සමගින් ක්‍රමවේද ඇති වන්නේ ම ය. එනිසා ම විද්‍යාත්මක චින්තනය තුළ සංස්‌කෘතික ගුණාංග හෝ ආගමික ගුණාංග හෝ නැති විය යුතු නැත.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment