2015 මැයි 20 බදාදා
මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලබන කාලයේ බොහෝ ක්‍රියාකාරී සංගම් එහි විය. ඒවා අතර මා සිත් ගත්, මා ක්‍රියාකාරී ව වැඩ කටයුතු කළ සංගම් තුනක් විය. ඉන් එකක් වන්නේ පරිසර සංරක්‌ෂණය සම්බන්ධයෙන් මා හට බොහෝ අත්දැකීම් සහ දැනුම ලබා දුන් හන්තාන සංරක්‌ෂණ සංගමයයි. එකල්හි මේ සංගමය විසින් පරිසර සංරක්‌ෂණය උදෙසා බොහෝ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබී ය. සාමාජිකයන් ගේ දැනුම වර්ධනය කෙරෙහි ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර සති අන්තයේ පැවැත්වූ ක්‌ෂේත්‍ර වැඩමුළු මා නිරන්තරයෙන් ම අගය කළ අංගයකි. මේ වැඩමුළු අතර ලයිකන පිළිබඳව පැවැත්වූ වැඩමුළුව පසුකාලීනව මාගේ පර්යේෂණ සඳහා ද බොහෝ උපකාර විය. එනිසා ම ලයිකන ගැන මෙවර විදු පත් ඉරුවෙහි සටහන් කරන්නට සිතුවෙමි.
"ලයිකන" යනු සහජීවී සංගමයකි. ඇල්ගාවක් හෝ නීලහරිත ඇල්ගාවක් දිලීර ජාලයක මධ්‍යයේ ජීවත් වෙමින් එකිනෙකාට උපකාර කර ගන්නා හෙයින් මේ ජීව පද්ධතියට සහජීවී සංගමයක් යෑයි පැවසේ. ඇල්ගාවට හෝ නීලහරිත ඇල්ගාවට ප්‍රභාසංශ්ලේෂණයෙන් ආහාර නිපැදවිය හැකි බව අපි දන්නෙමු. එහෙත් දිලීරයට එසේ කළ නොහැකි ය. ඒ හේතුවෙන් ඇල්ගාවන් නිපදවන ආහාරවලින් කොටසක් මේ දිලීරවලට ලබා දෙයි. එමෙන් ම මේ ඇල්ගාවන්ට අවශ්‍ය ජලය හා ඛනිජ ලවණ ලබා දෙන්නේ දිලීරය මගිනි. එනිසා ම මේ සුවිශේෂී ජීව පද්ධතිය විශේෂිත දුෂ්කර ස්‌ථානවල වැඩීමට හැකියාව ලබා තිබේ.
ඔබ පරිසරය දෙස විමසිල්ලෙන් බැලුව හොත් ශාකවල කඳෙහි, පාෂාණවල මතුපිටෙහි ඇත්තා වූ විවිධ පැහැ ගත් පුල්ලි බොහෝ විට මේ ලයිකන වේ. වාතයේ ආර්ද්‍රතාව අධික ව පැවතීම මේ ලයිකනවල පැවැත්මට බොහෝ උපකාරී වේ. ලයිකනයේ දිලීරය බොහෝ විට තමනට අවශ්‍ය ජලය ලබා ගන්නේ වාතයේ ඇත්තාවූ ජල වාෂ්පවලිනි. ඛනිජ ලවණ ලබාගන්නේ උපස්‌තරය නැත හොත් තමා සවි වී ඇති ශාකයේ කඳෙන් හෝ පාෂාණයෙනි. එනිසා අධික වියළි කාලගුණයක් පවතින විට ලයිකන තැලස ක්‍රමයෙන් නැසී යන අතර පරිසරය යහපත් වන විට නැවත වර්ධනය වේ.
ලයිකන වර්ග බොහෝ ය. උපස්‌තරයට ඇලී පවතින ලයිකන ද, පත්‍රාකාර ලයිකන ද එමෙන් ම කුඩා පඳුරු ආකාර ලයිකන ද ඒ අතර වෙයි. බොහෝ විට පාෂාණ උපස්‌තරය කොට ගන්නා ලයිකන වන්නේ ඉහත කී පළමු ආකාරයයි. ඒවාට බොහෝ දුෂ්කර පාරිසරික තත්ත්ව යටතේ වැඩීමට හැකියාව ඇත. පාෂාණ මතුපිට වැඩෙන මේ ලයිකනවල ඇති දිලීර මගින් නිකුත් කරන කාබොනික අම්ල මගින් පාෂාණය ජීර්ණයට ලක් කරන අතර ජීර්ණිත ඛනිජ ද්‍රව්‍ය දිලීරය විසින් උරා ගැනෙයි. එනිසා ජෛව පාෂාණ ජීරණයෙහි ලා ලයිකන වැදගත් කර්තව්‍යයක් ඉටු කරන අතර පාෂාණ ජීර්ණයේ මූලිකත්වය ගනු ලබන්නේ මොවුන් විසිනි.
ලයිකන කෙරෙහි පවත්නා එක් සුවිශේෂී කරුණක් වෙයි. එනම් දුෂ්කර පරිසර තත්ත්ව යටතේ වැඩීමට හැකි වුවත් දූෂිත පරිසර තත්ත්ව යටතේ වැඩීමට හැකියාවක් නොමැති වීමයි. එනිසා පරිසර දූෂණය බහුලව සිදු වන ප්‍රදේශවල මේ සහජීවී සංගමය දක්‌නට නො ලැබේ. දූෂිත වායුන් මිශ්‍රිත ජල වාෂ්ප උරාගන්නා දිලීරය එහි පවත්නා විෂ සහිත බව හේතුවෙන් මරණයට පත් වේ. දිලීරය මරණයට පත් වීමෙන් ජලය සහ ඛනිජ ලවණ සැපයීම නතර වන හෙයින් ඇල්ගාවන් ද මරණයට පත් වේ. විශේෂයෙන් ම වායු දූෂණය අධික නගරබද පරිසරවල ලයිකන වර්ධනය නො වේ. එනිසා, පරිසරයේ මේ ලයිකනවල පැවතීම එක්‌තරා ආකාරයකට වායු දූෂණය සම්බන්ධයෙන් දර්ශකයක් ලෙස ද භාවිත කළ හැකි ය.
ලයිකන එසේ උපකාරී වුවත් පුරාවිද්‍යාත්මක දෑ කෙරෙහි නම් දක්‌වන්නේ හොඳ හැසිරීමක් නො වේ. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, මහනුවර, තිස්‌සමහාරාමය වැනි පුරාවිද්‍යාත්මක ස්‌ථානවල එළිමහනේ වැඩිපුර ම දක්‌නට ලැබෙන්නේ ගලින් සහ ගඩොලින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි, ස්‌මාරක සහ පිළිම වේ. මේ ස්‌ථානවල සංචාරය කර ඇති ඔබට මේවා වැසී ඇති විවිධ පැහැ ගත් පුල්ලි මතක ඇතිවාට සැකයක් නැත. බොහෝ විට මේ සියල්ල විවිධ ලයිකන වර්ග වේ. මේ පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි, ස්‌මාරක සහ පිළිමවල ලයිකන වර්ධනය වීමෙන් ඒවාට හානි සිදු වන්නේ කෙසේ ද? පෙර සඳහන් කළ පරිදි මේවා උපස්‌තරය කරගන්නා ලයිකන තම දිලීර ජාලය ක්‍රමයෙන් උපස්‌තරය සිදුරු කරමින් එහි අභ්‍යන්තරයට කිඳා බසියි. මේ සඳහා කාබොනික අම්ලවල උදවු උපකාර ලබාගන්නා අතර උපස්‌තරයට තදින් සවි වේ. වැසි කාලගුණික තත්ත්ව යටතේ ඉතා හොඳින් වර්ධනය වන මේ ලයිකන වියළි කාලගුණික තත්වයක දී මරණයට පත් වේ. වියළි කාලගුණය ප්‍රභල වන අවස්‌ථාවේ දී ලයිකන තැලස වියළී හැකිළෙන අතර පසුව උපස්‌තරයෙන් ගිලිහී බිමට පතිත වේ. මේ ගිලිහීමේ දී තවත් දෙයක් සිදු වේ. ඒ උපස්‌තරයේ අභ්‍යන්තරයට විහිදී තදින් සවි වූ දිලීර ජාලය උපස්‌තරයේ කුඩා කොටස් ද ග්‍රහණය කරගනිමින් ම උපස්‌තරයෙන් ගිලිහීමයි. දිගින් දිගට ම මෙසේ සිදු වීමේ දී, එමගින් ඉතා කුඩා වුවත් සැලකිය යුතු හානියක් කාලයක් යත්දී, විශේෂයෙන් ම මේ පුරාවිද්‍යාත්මක ස්‌මාරක සහ පිළිමවලට සිදු වේ.
මා සිදු කළ පර්යේෂණයකින් හෙළි වූයේ දළ වශයෙන් පාෂාණමය ස්‌මාරකයකින් මිලිග්රෑම් 25ක් පමණ වූ උපස්‌තර ප්‍රමාණයක් ග්රෑම් 100ක් පමණ වූ ලයිකන ප්‍රමාණයක් ගිලිහීමේ දී ඉවත් වන බවයි. මේ තත්ත්වය ගඩොල් සහ මැටිවලින් සිදු කළ නිර්මිතයන් සදහා තවත් වැඩි විය හැකි ය. මෙය පුරාවිද්‍යා උරුම සංරක්‌ෂණයේ දී අතිශයින් ම සැලකිය යුතු කරුණකි. එහෙත් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් දියත් කිරීමට නො ව, මේ තත්වය නිසි පරිදි තේරුම්ගැනීමට පවා බහුතරයක් වූ ලාංකික ස්‌මාරක සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ වැඩකටයුතු කරන්නන්ට තවමත් නොහැකි වීම කණගාටුවට කරුණකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment