2015 07.08
අප කුඩා කල ඉගෙනගත් තේරවිල්ලක් මාගේ මතකයට නැෙගයි. ඒ, "පුංචි ළිඳේ වතුර රසයි" යන්නයි. මා එය ඔබට පහදා දිය යුතු නො වේ. මන්ද අප සියල්ල ඒ කුමක් දැයි හොඳින් ම දන්නා බැවිනි. පිපාසය නිවාලන්නට ද, ශක්‌තිය ලබා දෙන්නට ද "වෑවරය"කට හැකි ය. එමෙන් ම ඛනිජ ලවණවලින් ද එය පොහොසත් ය. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ එය සේලයින් වතුරට බොහෝ සමාන බවයි. ඒ ගස උඩ ඇත්තා වූ පුංචි ළිඳයි.
ගමේ ගස යට ද එවැනි ම වූ පුංචි ළිඳකි. ශක්‌තිය ලබා දෙන්නට නොහැකි වුවත් අප ගේ ගත සිත නිවාලන්නට මේ පුංචි ළිඳට හැකි ය. ඒ "කුඹුකේ ළිඳයි" (කුඹුක් ගසක් යට පිහිටි ළිඳයි). මා කුඩා කල ජීවත් වූ ගමෙහි ද කුඹුකේ ළිඳක් විය. එහි වූ නිල් කැටේට පිරිසිදු සීතල වතුර බීමට බොහෝ ම කදිම ය. මද්දහනේ පවා වතුර සිසිල ය. ඒ අසලින් ම තවත් වඩා විශාල ළිඳකි. ඒ ස්‌නානයට ය. වැඩිහිටියන් අනුමත කරන්නේ එයින් මද්දහනට පෙර ස්‌නානය කිරීමයි. සවස් කාලයේ නෑම ඔවුහු ප්‍රතික්‌ෂේප කරති. එය ඔවුන් ප්‍රත්‍යක්‌ෂයෙන් ම දැනගත්තකි. ගස උඩ පුංචි ළිඳේ වතුර බීමේ දී ද මෙලෙස ම වූ කතාවක් ගැමියන් අතර වෙයි. ඒ මද්දහනට පෙර වෑවර බොන්නේ නම් රන් කාසියක් දී වුව බීම හොඳ බවයි. එහෙත් මද්දහනෙන් පසු සවස් කල රන් කාසියක් සමග වෑවරය ලැබුණ ද නො බොන ලෙසයි. ඒ වෑවර ජලය ගත සිසිල් කරන නිසා සෙම ගතිය ඇවිස්‌සෙන බැවිනි. එය ද බොහෝ කලක සිට ඔවුනට ප්‍රත්‍යක්‌ෂ වූවකි.
මේ කුඹුකේ ළිඳේ දෙතුන් දෙනකුට වඩා එකවර නෑමට වතුර ප්‍රමාණවත් නො වේ. එහෙත් පැය භාගයක් යන්නට මත්තෙන් නැවත හනික පිරිසිදු වතුරෙන් ළිඳ පිරේ. එතරම් ම අපූරුවට දිය උල්පත ප්‍රබල ය. ඒ ජල උල්පතහි මූලාශ්‍ර ප්‍රදේශයේ වූ පොහොසත් වන වැස්‌ම හේතුවෙනි. මෑතකාලීනව සිදු කරන ලද බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ කුඹුක් ශාකයට ජලය පිරිසිදු කිරීමේ හැකියාව ඇති බවයි. කුඹුක් ශාකයට අපූරු මූල පද්ධතියක් වෙයි. ජාලයක් සේ සකස් වූ ද නිරන්තරයෙන් ම ජලය සොයා දිවෙන්නා වූ ද මේ මූලයන් ජලයේ ඇති බැර ලෝහ උරාගන්නා බව මේ පර්යේෂණවලින් පැහැදිලි වී ඇත. ජලාශ්‍රිතව වැඩෙන නිසා ගස ශක්‌තිමත්ව පොළොවට සවි කර තබන්නට කුඩා මුල්වලට රුකුලක් වන්නේ ගසෙහි ඇති කඳන් පාලම් ය. අතුපතර විහිදී යැම මගින් ඇති කරන සෙවණ ළිඳේ සිසිලසට තවත් හේතු වේ.
පැරැණි ගම්වල කුඹුකේ ළිඳ සුපුරුදු දසුනකි. එමෙන් ම එය පිහිටන්නේ වෙල් යාය ඉස්‌මත්තේ ය. ළිඳ පිරී ඉතිරෙන ජලය වෙල ඉස්‌මත්තේ සිට කුඩා දිය කඳුරක් නිර්මාණය කරයි. අවශ්‍ය විටෙක වෙලට ජලය සපයන්නේ මේ දිය කඳුරයි. දියකඳුරු පහළට ගලත් ම ක්‍රමයෙන් විසල් වෙයි. එවිට දෙපස ඉවුරු පිරෙන්නේ කුඹුක් ගස්‌වලිනි. බොහෝ විට විශාල ඔයවල ද කුඩා ගංගාවල ද මෙවැනි ගස් අතීතයේ නම් කදිමට තිබෙන්නට ඇත. එනිසා ම අතීතයේ මෙලෙස ගලා ගිය ජලය ස්‌වාභාවිකව ම පිරිසිදු වන්නට ඇත. ස්‌වාභාවිකත්වය ඉක්‌මවා එය ජය ගන්නට වැර දරන වර්තමානයේ ජල පිරිපහදු ගැන කතා කරන්නට වී ඇත්තේ කරුණු දෙකක් නිසා ය. කෘත්‍රිම ද්‍රව්‍ය පරිසරයට එක් කිරීමෙන් ජලය අපවිත්‍ර වීමත්, ස්‌වාභාවික ජල පිරිපහදු පරිසරයෙන් ඉවත් කිරීමත් ඒ ප්‍රධාන කරුණු වෙයි. අතීතයේ මුතුන් මිත්තන් විසින් ඉදි කරන ලද වාරිමාර්ගවල ද වැව් වටා ද වූයේ කුඹුක් ගස්, මී ගස් වැනි ස්‌වාභාවික ජලය පිරිසිදු කරන්නා වූ ශාක ය.
වත්මනෙහි අපි තාක්‌ෂණයෙන් සුපෝෂිත වී නවීන වාරිමාර්ග හා ජලාශ තැනුවෝ වෙමු. ජල කළමනාකරණය ගැන ඉහළින් ම කතා කරන්නෝ වෙමු. එහෙත් තවමත් රටෙහි ධන නිධානයක් වන ජල සම්පත රැකගැනීමට කෙතරම් දුරට ක්‍රියාමාර්ග ගෙන ඇත් ද යන්න ප්‍රශ්නයකි. දිනෙන් දින ම සුපිරිසිදු ජල නිධි දූෂණය වෙමින් භාවිතයට ගත හැකි ප්‍රමාණය අඩු වෙමින් පවතී. ජලයට එක් වන විෂ ද්‍රව්‍ය ගැන මතකයට නැෙගන්නේ ජනතාව රෝගී වන විට ය. එක් උදාහරණයක් වන්නේ රජරට ජනතාව පීඩා විඳින වකුගඩු රෝගයයි. තවමත් හරිහැටි හේතුවක් සොයාගැනීමට නොහැකි ව සියල්ලන් ම අතරමං ව වාද පිට වාද පවත්වන්නේ ස්‌වාභාවිකත්වය ජයගන්නට ගත්තා වූ ද ගන්නා වූ ද ක්‍රියාමාර්ග ගැන දෙවරක් නො සිතීමේ ප්‍රතිඵලයක් ලෙස ය.
බුද්ධිමත් අය නම් වත්මනෙහි සිදු කළ මහා පරිමාණ ජලාශ නිර්මාණයේ දී ද කොන්ක්‍රීට් වාරිමාර්ග තැනීමේ දී ද මුතුන් මිත්තන් ගේ තාක්‌ෂණය අධ්‍යයනය කර එහි වූ පරිසර හිතකාමී ක්‍රියාමාර්ග හා තාක්‌ෂණයන් යොදාගන්නවා නිසැක ය. ගිණිය නොහැකි තරම් වූ මහා සහ කුඩා පරිමාණ වැව් පංතීන් නැවත සක්‍රිය කිරීමට උත්සාහ ගන්නවා නිසැක ය. අතීතයේ වියළි කලාපයේ ජනයා එහි ස්‌වභාවයෙන් ම සාන්ද්‍රගත වූ කැල්සියම් සහ මැග්නීසියම් ලවණ හේතුවෙන් කඨ§නත්වය වැඩි වූ භූගත ජලය වෙනුවට වැව් ජලය භාවිතයට ගත්තෝ ය. එහෙත් රසායනික පොහොර ඇතුළු අනෙකුත් කෘත්‍රිම රසායනයන් පරිසරයට එක් කිරීමෙන් මතුපිට ගලායන ජලයෙන් පෝෂණය වූ වැව් දූෂණයට ලක් වී ඇත. එනිසා අද වන විට පානය සඳහා වැව් ජලය පරිහරණය අත් හැර ඇත.
සුරක්‌ෂිත අනාගතයක් සඳහා ජල කළමනාකරණය අත්‍යවශ්‍ය ය. එනිසා ජල විද්‍යාඥයන් එක් වී ස්‌ථිර සහ පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කළ යුතු ය. ඒ අතරට ජල නිධිවල වර්තමාන තත්ත්වය කුමක් ද යන්න වටහාගත යුතු ය. දැනට දූෂණය වී ඇති සහ පිරිසිදු ජල නිධි වෙන් කරගැනීම වැදගත් වේ. දූෂිත ජල නිධි නැවත යථා තත්ත්වයට පත් කළ හැකි දැයි බැලීම සඳහා පර්යේෂණ දියත් කළ යුතු ය. අපට ද මේ සඳහා යමක් කළ හැකි ය. ජලය අපිරිසිදු කරන්නා වූ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය හැකි ය. ජල පිරිපහදු කරන්නා වූ කුඹුක්, මී වැනි ශාක වර්ග ජල මාර්ග සහ ළිං අසල වගා කිරීම ආරම්භ කළ හැකි ය. ඒ අතර, අප ගේ දරුවන් හට ජල සංරක්‌ෂණයේ වැදගත්කම අවබෝධ කරවීම ඉතා වැදගත් කටයුත්තකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment