Monday 1 July 2019

විදුපත්ඉරුව
08.06.2016

"යා දෙත නොරත රත - සමග පෑහීමක්‌ නැත" යෑයි අපේ මුතුන් මිත්තන් පැවසුවේ යමක ඇති නො ගැළපීම පැවසීමට ය. "බානේ බැන්ද එළ හරකා ගොඩට අදිනා හෙයින් ද ඊට නොදෙවෙනි ව මී හරකා මඩට අදිනා හෙයින් ද හානා හීයක්‌ නැත්තේ ය, ඒ හෙයින් මඩ තැබූ නියර ම රැහෙන්නා සේ ය" යන්නෙන් ද පැහැදිලි වන්නේ එය ම ය. ඒ නො ගැළපීම නිසා සිදු වන අනර්ථයක්‌ බව සක්‌ සුදක්‌ සේ පැහැදිලි වන සත්‍යයකි. ස්‌වාභාවික සංසිද්ධියක්‌ හේතු කොටගෙන මෙවර සිදු වූ නාය යැම් ව්‍යසනය ද මීට නිදසුන් සපයයි.

පෙර සතියේ මා කී පරිදි ම තවමත් නාය යැම් පරීක්‌ෂා කිරීමේ නියුතු වන්නට අපට සිදු වී තිබේ. විශේෂයෙන් ම කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ බොහෝ ස්‌ථාන නාය යැමේ අවදානමේ ඇති බැවිනි, අනෙකුත් ප්‍රදේශවල මෙන් ඉතා විගසින් පරීක්‌ෂණ කටයුතු නිම කළ නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇත්තේ. මෙලෙස මෙතරම් ම ප්‍රමාණයක්‌ වූ ස්‌ථානවලට නාය යැමේ ප්‍රවණතා ඇති වන්නට හේතු වී ඇත්තේ කවරක්‌ ද? පසුගිය දෙසතිය තුළ මා සිදු කළ නිරීක්‌ෂණවල දී තහවුරු වූ එක දෙයක්‌ ඇත. එය නම් නාය යැම සදහා කෙතරම් සාධක බලපෑව ද භූමි පරිහරණ රටාවේ සිදු වී ඇති වෙනස මේ සදහා ප්‍රබල ව බලපා ඇති බවයි. මා නිරීක්‌ෂණයට භාජන කළ බොහොමයක්‌ ස්‌ථාන කුමන හෝ හේතුවක්‌ නිසා එළිපෙහෙළි කළ තැන් වන අතර ඒ බොහොමයක්‌ ස්‌ථාන එලෙස එළිපෙහෙළි කර ඇත්තේ තේ වගාව සදහා වීම අතිශය සැලකිල්ලට බඳුන් විය යුතු කරුණකි. ඒ අතර රබර් වගාව, කුරුදු වගාව පමණක්‌ නො ව අලුතින් මාර්ග තැනීම, නිවාස ඉදිකිරීම වැනි සංවර්ධන කටයුතු ද වේ.

කෙසේ වෙතත් මෙලෙස බෝග වගාව සදහා සිදු කර ඇති භුමියෙහි වෙනස්‌කම්, ආනතිය ඉතා අධික බෑවුමකට, හෙලකට හෝ කන්දකට ඉතා තද වර්ෂාපතනයක්‌ මධ්‍යයේ දරාගත නොහැකි ය. නිරාවරණය වූ භූමියේ පසට උරාගන්නා අධික ජලය මගින් ඇති කෙරෙන පීඩනය, පස්‌ අංශුවල බන්ධනයන් ලිහිල් කිරීම සහ පසෙහි බර වැඩි කිරීම කෙතරම් ප්‍රබල ලෙස සිදු කර ඇත් දැයි නාය ගිය සහ නාය යැමේ ලක්‌ෂණ පෙන්නුම් කළ බොහෝ ස්‌ථාන නිරීක්‌ෂණයෙන් දත හැකි ය. මේ වගා කටයුතුවල දී සිදු වී ඇති ප්‍රධාන ම දුර්වලතාව නම් ක්‍රමානුකුල බවක්‌ නොමැති වීම සහ එක්‌ එක්‌ භූමි අතර අන්තර් සම්බන්ධතාවක්‌ ඇති නො වීමයි. ඒ සදහා හේතු වන්නේ කුඩා පරිමාණයේ තේ වගාවන් සිදු වීම සහ එය ප්‍රචලිත කිරීම බව අමුතුවෙන් වටහාගැනීම අනවශ්‍ය ය. මහා පරිමාණයේ බෝග වගාවක දී දැකිය හැකි ක්‍රමවත් කානු පද්ධතියක්‌ නොමැති වීම, ගල් වැටි නොමැති වීම වැනි හේතු ද පස ආරක්‌ෂා කරන යටි වගාවක්‌ නොමැති වීම සහ එළි කිරීම නිසා නිරන්තරයෙන් ම පසට හානි පැමිණීම වැනි කරුණු මේ නිරීක්‌ෂණ කටයුතුවල දී පැහැදිලි වූ ලක්‌ෂණයන් ය.

ආර්ථික සංවර්ධනය උදෙසා සිදු කෙරුණ මෙවැනි බෝග වගා ප්‍රචලිතය මා දකිනා පරිදි කඳුකරයට නො ගැළපෙන්නේ ම ය. කඳුකරය යනු ඉතා සංවේදී කලාපයක්‌ වේ. කඳුකරයේ බෝග වගාව හේතුවෙන් උපයාගන්නා වූ මුදල වසර ගණනාවකට පසු ඇති වන මෙවැනි එක්‌ නාය යැම් ව්‍යසනයකින් ගිල දමන්නට හැකි බව ඔබට පැහැදිලි වනු ඇත. මා මුලින් පැවසූ නො ගැළපීම මතු වන්නේ මෙතැන ය. සංවේදී කඳුකරයේ භුමි පරිහරණය ඉතා පරෙස්‌සමෙන් කළ යුතු ය. අර්ථික බෝග වගාව සදහා කඳුකරය භාවිත කරන්නේ නම් පස සංරක්‌ෂණය සහ පස තුළ ජල පාලනය අංක එකට සලකා බැලිය යුතු ය. එලෙස කළ හැකි බෝග පමණක්‌ මෙහි දී භාවිත කළ යුතු ය. නො ගැළපෙන බෝග පමණක්‌ නො ව ගැළපෙන බෝග වුව ද නො ගැළපෙන ලෙස සිටුවන්නේ නම් එය නාය යැම් සදහා අත වනන්නක්‌ බව ඔබට වැටහෙනු ඇත. බොහොමයක්‌ කඳුකර ස්‌ථානවල පහළ පවතින්නේ මානව ජනාවාස ය. තම නිවසට ඉහළින් වූ භුමිය අපරීක්‌ෂාකාරී ලෙස පරිහරණය කරන්නේ නම් ඔබට ඔබ ගේ ජීවිතය

රැකගැනීමේ අවස්‌ථාව අහිමි කරන බව ඔබ තදින් ම සිත්හි තබාගත යුතු ය. ජීවිතය අනතුරට හෙළා ලබාගන්නා ආර්ථික සංවර්ධනය නම් කුමකට ද යන්න ඔබට වැටහිය යුතු ය.

අධිරාජ්‍ය යුගයේ දී කඳුකරයේ ආර්ථික බෝග වගාව සදහා සිදු කළ වෙනස්‌කම් යම් තාක්‌ දුරකට සමනය කර ඇත්තේ කඳුකර භුමියේ ක්‍රමවත් කානු පද්ධතිය සහ පාංශු සංරක්‌ෂණ ක්‍රමවේදයන් ගෙනි. එහෙත් වර්තමානයේ නිරන්තරව ම සිදු විය යුතු පාලනය ගිලිහී යැමට තවත් එක්‌ හේතුවක්‌ වන්නේ පෞද්ගලික අංශය වෙත එම වතු පැවරීම ය. ලාබය පමණක්‌ ම සලකා සිදු කළ යුතු අනිවාර්ය භුමි සංවර්ධන කටයුතු නො කිරීම ද කඳුකරයේ නාය යැම් සදහා හේතු වී ඇති බව පැහැදිලි වන කරුණකි.

මේ අතර සිහි තබාගත යුතු තවත් කාරණයක්‌ වෙයි. එය නම් සුදුසු කල්හි බෝග වගාව සිදු කිරීමයි. පස නිරාවරණය වන සේ එළිපෙහෙළි කළ භුමි වර්ෂා කාලය වන තෙක්‌ පැවතීම ද ගැටලුසහගත ය. පැරැන්නන් තම සාම්ප්‍රදායික වගා කටයුතු සදහා නිසි කාලය තෝරාගත්තේ පාරම්පරික දැනුමෙනි. එහෙත් තේ, රබර් හා කුරුඳු වැනි බෝග එලෙස නො වේ. මේ සදහා දැන් දැන් විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කළ ද භූ විෂමතාව පරිහරණය කළ යුත්තේ කෙලෙස දැයි තවමත් නිසි පරිදි අධ්‍යයනය වී නොමැති බව පෙනී යයි.

කඳුකරය ආරක්‌ෂා කරගැනීම ද බෝග වගාවෙන් ලබන ආර්ථික සංවර්ධනය ද එළ හරකා සහ මී හරකා ගේ ක්‍රියාව මෙන් වුව හොත් සිදු වන්නේ මේ ආකාරයට නාය යැම් තව තව වර්ධනය වීමයි. එනිසා මේ ෙéත්‍රය එකිනෙක මනා ලෙස සම්බන්ධ විය යුතු ය. තිරසාර බව පවත්වාගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

Post a Comment

මානව විද්‍යාව එදා සහ අද Vidusara 15th May, 2024 මානව විද්‍යාව ලෙස හඳුන්වන්නේ මනුෂ්‍යත්වය පිලිබඳ වූ ක්‍රමවත් හැදෑරීම ලෙසයි. එය තවදුරටත් මාන...