Wednesday 7 August 2019

විදුපත්ඉරුව
14.12. 2016

පසුගිය මාස කිහිපයේ බොහෝ වාර ගණනක්‌ යාපනය අර්ධද්වීපය කරා යන්නට මට සිදු වූයේ එහි සිදු කරමින් පවතින විශේෂ පර්යේෂණයක්‌ උදෙසා s. පසු ගිය ජනවාරියේ අච්චුවේලි ප්‍රදේශයේ වගා බිමක සිදු වූ ගිලා බැසීමට (Sunsidence) හේතුව කුමක්‌ දැයි සෙවීම එහි මූලික අරමුණ විය. එය කේන්ද්‍ර කරගනිමින් විවිධ පර්යේෂණ ක්‍රමවේද යොදාගෙන අප ගේ පර්යේෂණය මේ දිනවල දියත් කෙරෙමින් පවතියි.

භූ අභ්‍යන්තරයේ සිදු වූ විපර්යාසයන් අනාවරණය කරගැනීම සදහා දුරස්‌ථ භූභෞතික ක්‍රමවේද (Remote sensing techniques) යොදාගන්නට හැකි අතර මේ ප්‍රදේශය ගවේෂණය සදහා විවිධ ක්‍රමවේද තුනක්‌ යොදාගන්නා ලදි. 'විදුලි ප්‍රතිරෝධකතා තාක්‌ෂණය' (Resistivity technology), 'භූ කම්පා තරංග තාක්‌ෂණය' (Seismic technology) සහ 'මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය' (Ground penetrating radar- GPR) මේ ප්‍රදේශයේ භූ අභ්‍යන්තර සැකැස්‌ම නිර්ණය කිරීම සදහා අප යොදාගත් අතර එමගින් අපූරු කරුණු රාශියක්‌ එක්‌ රැස්‌ කරගත හැකි විය. අප මෙහි දී යොදාගත් 'මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය' අපට නවමු අත්දැකීමක්‌ එක්‌ කළ අතර එය ශ්‍රී ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට එක්‌ කළ නවතම පර්යේෂණ ක්‍රමවේදයක්‌ විය. මෙය 'මිහි විදුම්' සදහා වන විකල්පයක්‌ ද වෙයි.

මෙරට භූ විද්‍යා ක්‌ෂේත්‍රයට මෙය නව අත්දැකීමක්‌ වුව ද ලෝකයට නම් එය අලුත් දෙයක්‌ නො වේ. මන්ද යත් මේ තාක්‌ෂණය භාවිතයට ගැනෙන්නේ ශත වර්ෂයකට අධික කාලයක සිට බැවිනි. රේඩාර් තාක්‌ෂණයේ දී භාවිත කෙරෙන්නේ ගුවන් විදුලි තරංග ය. දහ නව වැනි ශතවර්ෂයේ අගභාගයේ දී ජර්මානු ජාතික විද්‍යාඥයකු වන 'හෙයින්රිච් හර්ට්‌ස්‌' විසින් ගුවන් යානා සහ ජෙට්‌ යානා වැනි විවිධ දුරස්‌ථ වස්‌තූන් අනාවරණය කරගත හැකි බව ලොවට පැහැදිලි කරන ලදි. ඒ සදහා මුලින් ම උපකරණ නිපදවූවෝ රුසියානුවෝ ය. දෙවැනි මහා ලෝක යුද්ධය මුල් කරගෙන වැඩි දියුණු කරන ලද මේ තාක්‌ෂණය නිසා රුසියානුවන්ට බොහෝ වාසි අත් විය. අහසේ ද පොළොවේ ද මුහුදේ ද ගමනාගමනය ඔවුනට පහසු කරවන්නට හේතු විය.

රේඩාර් තරංග මගින් භූ අභ්‍යන්තරයේ වන විවිධ වස්‌තුන් සහ ව්‍යqහයන් පිළිබඳ යම් චිත්‍රයක්‌ අනාවරණය කරගත හැකි බව ගොතෙල්µa ලෙම්බැක්‌ සහ හෙයින්රික්‌ ලෝවී විසින් 1910 දී ලොවට හෙළි කරන ලදි. රේඩාර් තාක්‌ෂණයේ දී යොදාගන්නා ක්‌ෂුද්‍ර තරංග වන ගුවන් විදුලි තරංගවල සංඛ්‍යාතය අනුව විනිවිද යන ගැඹුර තීරණය වේ. රේඩාර් තරංගයේ සංඛ්‍යාතය අඩු වන විට වැඩි ගැඹුරකුත්, වැඩි වන විට අඩු දුරකුත් විනිවිද යා හැකි බව ය පෙනී යන්නේ. ඒ අනුව සම්ප්‍රේෂණය සහ ග්‍රහණය සදහා යොදාගන්නා 'ඇන්ටෙනා'වල දිග ද තීරණය වේ. සංඛ්‍යාතය අඩු තරංග නිපදවීම සදහා දිගු ඇන්ටෙනා ද, සංඛ්‍යාතය වැඩි තරංග නිපදවීම සදහා කුඩා ඇන්ටෙනා ද යොදාගනී.

'මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය' බොහෝ දේ සදහා යොදාගත හැකි ය. මෙහි යෙදීම් විශේෂයෙන් ම භූ විද්‍යාවේ දී ද, ඉංජිනේරු අංශවල දී ද, පුරාවිද්‍යාවේ දී ද අතිශය වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරයි.

අවසාදිත සහ පසෙහි ගැඹුර සහ මවු පාෂාණයට ඇති ගැඹුර නිර්ණය සදහා ද ඛනිජ සම්පත් ගවේෂණය සදහා ද, භූ අස්‌ථාවරත්වයන් නිර්ණය සදහා ද යොදාගත හැකි බව භූ විද්‍යාඥයන් පෙන්නුම් කර ඇත. මේ සදහා තාක්‌ෂණය පිළිබඳව පමණක්‌ නො ව භූ විද්‍යාව පිළිබඳව ද හසළ දැනුමක්‌ තිබීම ඉතා අතවශ්‍ය කරුණකි. අච්චුවේලි ප්‍රදේශයේ ගිලා බැසීම බොහෝ විට සිදු වන්නට ඇත්තේ භූ අභ්‍යන්තරයේ වන කුහර කඩා වැටීම නිසා විය හැකි බව අප අනුමාන කරන අතර මේ කුහර නිර්මාණය වන්නට ඇත්තේ අවසාදිත හුණුගල්වල අධික දිය වීම නිසා වේ. රේඩාර් තරංග භූ අභ්‍යන්තරය විනිවිද ගොස්‌ මේ කුහර ඇති ස්‌ථාන පෙන්වා දෙනු ලබයි.

රේඩාර් තරංගවල වේගය එක්‌ එක්‌ මාධ්‍යයේ දී වෙනස්‌ වේ. වාතයේ දී ඉතා හොඳින් ගමන් කරන රේඩාර් තරංග ජලයේ දී ඉතා දුබල වේ. මැටි වැනි අපාරගම්‍ය මාධ්‍යයක්‌ හමුවේ ද ඉතා දුබල වන මේ තරංග වැලි වැනි මාධ්‍යයක දී ඉතා කදිමට වේගය පවත්වාගනී. එනිසා විවිධ මාධ්‍යවල දී ඇති වන මේ වෙනස නිසා ඇති වන ප්‍රතිවර්ත්‍ය තරංග මගින් අපට කදිම චිත්‍රයක්‌ මවා දෙයි. භූ විද්‍යාත්මක දැනුම ද, තරංගවල හැසිරීම ද හොඳින් ග්‍රහණය කරගත් විට භූ අභ්‍යන්තරික ව්‍යqහයන් සහ සැකැස්‌ම මැනැවින් නිර්ණය කළ හැකි වේ.

ඉංජිනේරු තාක්‌ෂණයේ දී ද මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය භූ අභ්‍යන්තරික ව්‍යqහයන් සහ ඇතිරීම්වල නිමාව නිර්ණය කිරීම යොදාගත හැකි ය. එමෙන් ම භූ අභ්‍යන්තරයේ එලන විවිධ නළවල පැතිරීම නිර්ණය සදහා ද යොදාගත හැකි ය. මෙහි දී වඩා වැදගත් වන්නේ මාර්ගවල අභ්‍යන්තරයේ එලා ඇති නළවල පැතිරීම නිගමනය කිරීමයි. එපමණක්‌ නො ව ගොඩනැගිලි තුළ වූ නළ මාර්ග ද, බිත්තිවල විවිධ අස්‌ථාවරත්වයන් ද නිගමනය මෙමගින් කළ හැකි වේ.

පුරාවිද්‍යාවේ දී ද කාලයත් සමග භූ අභ්‍යන්තරයේ සැඟව ගිය පුරාවිද්‍යාත්මක ස්‌ථාන සහ භාණ්‌ඩ සෙවීම සදහා කදිම ප්‍රස්‌තාවක්‌ මෙමගින් ලබා දෙයි. ඉතා අඩු ගැඹුරක්‌ සදහා භාවිත කළ හැකි වීම මෙහි සුවිශේෂීතාවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතු ව ඇති මේ මිහි විනිවිදුම් රේඩාර් උපකරණය මගින් මීටර 30ක පමණ ගැඹුරක්‌ අනාවරණය කළ හැකි ය. ඉදිරියේ දී නාය යැම් පර්යේෂණ සදහා මෙය යොදාගැනීමට නියමිත අතර එමගින් නව පර්යේෂණ ක්‍රමවේදයක්‌ ස්‌ථාපනය අරමුණ වේ. යාපනය ප්‍රදේශයේ සිදු කරන පර්ය්ෂණ මගින් ගිලාබැසීම් ආපදා සදහා නවතම සිතියම් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් ඉදිරියේ දී සිදු කරන ගොඩනැගිලි ඉදිකිරීම් සදහා අවශ්‍ය වන භූ විද්‍යාත්මක උපදේශනය උදෙසා කදිම ප්‍රවේශයක්‌ සපයයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...