මන්දාරම් නුවර ගල්ගුහා;
මගේ පළමු ගල්ගුහා චාරිකාව
පත්මෙගේ භූ සංචාරිතය 10
This article is originally published on Vidusara, 18.03.2020.
මන්දාරම් නුවර කියන්නේ පිදුරුතලාගල
කඳු වැටියට උතුරින් වූ මොහොර පාමුල ඇති අපුරු ගම්මානයක්. පිදුරුතලාගල කඳු වැටියේ
මොහොරෙන් ඇද හැලෙන මිදුම් සේලයන් නිසා නිතරම වැසීයන, සීතලෙන් අනූන වූ, මේ කදිම ගම්මානය
එළවළු වගාවටම ගැලෙපන අපූරු තෝතැන්නක්. විවිධ කාරණා නිසා අවස්ථා ගණනාවක්ම මේ ප්‍රදේශයේ සංචාරය කරන්නට
මට හැකියාව ලැබුනා. හැබැයි මේ හැම අවස්ථාවකම අත් දෙක බැඳගෙන සීතල ඉවසන්නට වීම තමයි
මා ලද දරුණුම අත්දැකීම වූයේ.
මන්දාරම් නුවර පළමු සංචාරයට
හේතුවෙන්නේ ගල්ගුහාවක් අධ්‍යනය කරන්නට අවැසි වීමයි. ඒ මා මිතුරු බැචා (batchmate) වූ
මනෝජ් ප්‍රසන්නගේ ආරාධනයෙන්. මනෝජ් වැඩ කරන්නේ පරිසර අමාත්‍යංශයේ. ඒ දවස්වල කඳුකර
දිනය වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් තමයි සිටියේ. පිදුරුතලාගල කඳුවැටියේ පිහිටි මේ සුවිශේෂී
භූ රූපණය අධ්‍යනය කල යුතු යැයි ඔහු කිහිප වතාවක්ම මා හා පවසා සිටියේ මාගේ උනන්දුව තව
තවත් වැඩි කරමින්. “ඉබ්බා දියට දමන්නට හදන විට ඇන්නෑවේ කිව්වා” සේ මා ද ගමන සඳහා එක
පයින්ම කැමැත්ත පල කලෙමි. මේ ගමන සඳහා කැමැත්ත පල කරන්නට තවත් හේතුවක් වූයේ භූ විද්‍යාඥයෙකු
ලෙස සංචාරය සඳහා මා තුල වූ අසීමාන්තික ආශාවයි. එනිසා නිතරම මාගේ මනසේ හට ගන්නා මානසික
සුවය භෞතික ශරීරයේ හට ගන්නා කුමන අසීරුතාවයක් වුව විඳ දරා ගැනීමට හැකියාව ලබා දී
තිබුණි.
මන්දාරම් නුවර වූ ගෝනකැලේ
තේ කර්මාන්ත ශාලාව පසුකරමින් ගෝනකැලේ තේ වත්තේ ඉහල කෙළවරක පිහිටි මේ අපූරු භූ රූපණය
සකස්වී තිබුනේ කිරිගරුඬ (marble) පාෂාණයක. කිරිගරුඬ පාෂාණ කියන්නේ විපරීතකරණය වූ හුණුගල්
(limestone). භූ තල ක්‍රියාකාරකම් නිසාවෙන් ඇතිවන අධික උෂ්ණත්වය සහ පීඩනය හමුවේ තම
රසායනික සංයුතිය නොවෙනස්ව තබා ගනිමින් ඛණිජ සංයුතිය වෙනස් කරගනිමින් රූපණය පමණක් වෙනස්කර
ගන්නට උත්සාහ දැරීම එක් එක් පාෂාණවල විපරීතකරණයේ (metamorphism) පොදු සංසිද්ධියක්.
කොහොම උනත් හුනුගල්වල දක්නට ලැබෙන්නේ අවසාදනය නිසාවෙන් බිහිවන කැල්සයිට් (calcite)
ඛණිජය. මෙම ඛණිජ සංයුතිය විපරීතකරණය වන විට සිදුවන්නේ ප්‍රතිස්ඵටිකිකරණය
(recrystalඉළtion) වී නැවත කැල්සයිට් ඛණිජයම බිහිවීමයි. ඒ කෙසේවෙතත් වයනයේ (texture)
පැහැදිලි වෙනසක් දැක ගත හැකියි. එයට අමතරව හුනුගලෙහි සිලිකා (SiO2) ඇතිවිට
විපරීතකරණයේ අදාල අවස්ථාවට ගැලපෙන සිලිකා ඛණිජ බිහි වී විපරීතකරණයේ යම් යම් ලක්ෂණ ඇතිකරමින්
ඒ බව පාෂාණයේ සටහන් කරයි. එනිසා ඉතා පැහැදිළිව අවසාදිත හුණුගලින් විපරීතකරණයෙන්
බිහි වූ කිරිගරුඬ පාෂාණය භූ විද්‍යාඥයෙකු හටනම් හොඳින් හඳුනා ගත හැකියි.
ගල්ගුහාව නිර්මාණය වී තිබුනේ
විශාල කිරිගරුඬ ගල් ගෙඩි (boulders) කිහිපයක් එකිනෙක එකමත රැඳීමෙන්. ඒ අසල වූ කිරිගරුඬ
පාෂාණයෙන් බිඳී පහලට පෙරලී ආඅ ගල් ගෙඩි. මේ විශාල කිරිගරුඬ ගල් ගෙඩි එක මත එක පිහිටීම
ඇතුලත කුහරයක් සකස් කරන්නට තරම් වූ ප්‍රභල පිහිටීමකි. අප ඉතා හොඳින් දන්නා දෙයක් තමයි
කැල්සයිට් ඛණිජයේ රසායනිකය වන කැල්සියම් කාබෝනේට් බොහොම පහසුවෙන් ජලයේ දියවන බව.
ජලය කොහොමත් තරමක් ආම්ලිකයි. ඒකට හේතුව වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව දියවීමත්,
කාබනික ද්‍රව්‍ය වියෝජනයෙන් ඇතිකරන කාබනික අම්ල දියවීමත් හේතුවෙන්. එනිසා කිරිගරුඬ
පාෂාණය දියවී සෑදෙන කැල්සියම් හයිද්රෝක්සයිඩය ගලා ගොස් නැවත තවත් තැනක දී
වාෂ්පීකරණය හේතුවෙන් සිදුවන සාන්ද්‍රණකරණයෙන් කැල්සියම් කබෝනේටය යලි බිහිවීමයි සිදුවන්නේ.
එවිට නැවත ප්‍රතිස්ඵටිකීකරණයෙන් දළු ලන හිරිලඹ සහ හිරිටැඹ නිර්මාණය වෙයි. මේ ක්‍රියාවලිය
නිසා එකිනෙක හේත්තු වූ ගල් ගෙඩි එකට ඇලී (amalgamate) ගොස් තිබෙනවා. එය ඉතා ශක්තිමත්
ව්‍යුහයක් සකස් කරන්නට හේතු වී තිබෙනවා.
ගල් ගුහාවේ කුහරය තුලින්
ගලා යන කුඩා දිය පහරක් ද දැක ගන්නට පුළුවන්. තෙත සහිත වාතාවරණයක් ගුහාව තුල නිර්මාණය
වන්නේ එබැවිනි. එනිසා මේ ව්‍යුහය කදිම ක්ෂුද්‍ර පරිසරයක් ගොඩ නගන්නට සමත් වී තිබෙනවා.
මේ ආශ්‍රිතව තම වාසස්ථානය කරගත් විවිධ ආකාරයේ ජීවීන් සමූහයක් ඇති බව අපට දැනගන්නට ලැබුණි.
ජෛව විවිධත්වයේ අපූර්වත්වය අත් විඳින්නට කදිම පරිසරයක් බව මෙහි ලා සඳහන් කල යුතුය.
අප කල අධ්‍යනයෙන් පැහැදිලිවූයේ විස්සකට අධික සත්ත්ව විශේෂ වර්ග වාර්තාවන බවයි.
කෘමි විශේෂ, උභයජිවින්, උරගයන්, පමණක් නොව කුරුල්ලන් සහ ක්ෂීරපායින් ද මෙම අපුරු භූ
රූපණය ඇසුරුකරමින් ජිවත්වන බවයි. සීතල අඳුරු පරිසරය කොතරම් චමත්කාර ජනක
විවිධත්වයක් එක් කර ඇත්ද යන්න මෙවැනි භූ රූපණ අධ්‍යනයෙන් හොඳින් පැහැදිලි වෙයි.
මන්දාරම්නුවර ගල්ගුහා සංචාරය
මාගේ පළමු විද්‍යත්මක ගල්ගුහා අධ්‍යනයයි. 2008 වර්සරේ දී අප සිදුකල මේ පර්යේෂණ සංචාරයෙන්
ලද අත්දැකීම පර්යේෂණ පත්‍රිකාවකට ගොනුකර 2009 වසරේ ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ වාර්ෂික
පර්යේෂණ සැසියේ දී ප්‍රසිද්ධ කරන්නට හැකි විය. එම පත්‍රිකාව එහි වූ භූ විද්‍යාඥයින්ගේ
බොහෝ පැසසීමට ලක් වූ බව සඳහන් කල යුතුය. මන්දයත් එය එම පර්යේෂණ සැසියට අලුත්ම මාතෘකාවක්
ලබා දුන් බැවිනි. ඉන් ආරම්භ වූ මාගේ ගල්ගුහා අධ්‍යන කටයුතු පසු කාලීනව බොහෝ
පර්යේෂණ පත්‍රිකා බිහිකරන්නට හේතුවිය.
ඒ අතර ශ්‍රී ලංකවේ පළමු ගලගුහා අධ්‍යනය කවය වන LICAS
(lanka institute of cave science) හා එක්වන්නට වාසනාව ලද්දෙන් ඉහත සඳහන් කල බොහොමයක්
පර්යේෂණ පත්‍රිකා බිහි කරන්නට හැකියාව ලැබුන බව මෙහි ලා සතුටින් සඳහන් කල යුතුය. ඒ
රටවටා අප සිදුකල බොහොමයක් අධ්‍යනය කටයුතු හේතුවෙන්. අඳුරු පරිසර අධ්‍යනය ඇත්තෙන්ම කුතුහලය
දනවන සුළු දෙයකි. පැහැදිලි ප්‍රභල ආලෝක ප්‍රභවයක් ඔබ සතුවන්නේ නම් මේ කාරිය එතරම් අපහසු
දෙයක් නොවේ. නමුත් අඳුරට බිය නොමැති විය යුතුය. මේ වන විට ගල්ගුහා පනහකට වැඩි ප්‍රමාණයක්
අධ්‍යනය කර ඇති අපේ පර්යේෂණ පිළිබඳව ඉදිරි කාලයේදී ඔබ හමුවේ තබන්නට හැකි වේවි.
ආචාර්ය පත්මකුමාර
ජයසිංහ
No comments:
Post a Comment