Wednesday 3 June 2020


භූ සංචාරිතය 12
This article is originally published on Vidusara, 03.06.2020.


මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භයට ගොහින් බැලුවහොත් අපට පැහැදිලි වෙන කාරණය තමයි ගල්ගුහා ගැන මිනිසුන්ගේ තියෙන අධික උනන්දුව සහ සැබෑ අවධානය මොකක්ද කියන එක. හැබැයි ඒ ඔය කියන අඳුරු ගල්ගුහා ගැන නම් නොවෙයි. ඔවුන්ගේ අවධානය යොමු වුනේ ආලෝකමත් වූ ගල්ගුහා වලටයි. ඇත්තෙන්ම ගල්ගුහා අඳුරු නැහැ. බලන කෝණය සහ පුද්ගලයා අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මටනං ගල්ගුහා සියල්ල ආලෝකමත්. ඒ තුල බොහෝ දේ බලන්න තියෙනවා. සචේතනිකව දකින්න තියෙනවා. 


මේ ගමන මාගේ භූ සංචාරිතය විස්තර කරන්නේ මාගේ දෙවන ගල්ගුහා අධ්‍යනය ගැන. 2010 වසරේදී පමණ මා ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ගල්ගුහා වර්ගිකරණය තුලින් මෙරට වූ විවිධ ආකාරයේ ගල්ගුහා ගැන අධ්‍යනයට ලක් කළා. ඒ අනුව අපට ගල් පියැසි (rock shelters) හමුවෙන අතර මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ගල් පියැසි බව අමතක නොකළ යුතුය. මාගේ පර්යේෂණ සගයන් සමහරක් මාගේ මතයන් ගැන එකඟ නොවනවා වෙන්නට පුළුවන. මාගේ වර්ගීකරණය තුල හමුවන සත්‍ය ගල්ගුහා සැමවිටම පිහිටන්නේ භූ අභ්‍යන්තරයේ. මතුපිට පිහිටන ගල්පියැසි වර්ග දෙකකි. බෝල්ඩර පියැසි සහ මවු පාෂාණමය පියැසි යනු ඒ දෙවර්ගයයි. මින් වඩා බහුලව හමුවන්නේ බෝල්ඩර පියැසියි.


කැළණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මහාචාර්ය ගාමිණි අධිකාරි මහතාගේ මූලිකත්වයෙන් වාරණ රජමහා විහාරයේ කරන ලද ගල්ගුහා කැනීමේ පාංශු නියැදි භූ පුරාවිද්‍යාත්මකව අධ්‍යනය කරන්නැයි කරන ලද ඉල්ලීම මා බොහෝ කැමැත්තෙන් භාරගනු ලැබුවේ මේ තුලින් ශ්‍රී ලාංකේය පුරා විද්‍යාවට ඉතා වටිනා කරුණු සම්භාරයක් එක් කල හැකි බැවිනි. අද වගේම තමයි එදත් ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයින් අතලොස්සකට තමයි භූ විද්‍යාව තම පර්යේෂණ වලට එක් කර ගත යුතුයි කියලා අදහසක් තිබුනේ. ඉන් එක්කෙනෙක් තමයි මහාචාර්ය ගාමිණි අධිකාරි මහතා.  


පුරා විද්‍යාවට භූ විද්‍යාව අතවශ්‍ය විෂයක් බව අප මතක නොකළ යුතුයි. කනගාටුවට කරණය නම් මේ ඉතා වැදගත් විෂය අද ශ්‍රී ලාංකේය පුරා විද්‍යා විෂය ධාරාව තුල ශිෂයින්ට උගන්වන්නේ නැහැ. උගන්වන්නේ නම් ඒ ප්‍රධාන විෂයක් ලෙස නොව තවත් අවශේෂ විෂයක් ලෙස පමණි. රජරට විශ්ව විද්‍යාලය පමණක් අවසන් වසරේ සිසුන්හට එම අවස්තාව ලබා දීම ඉතා හොඳ ප්‍රවණතාවක් බව සඳහන් කල යුතුය. මේ පිළිබඳව ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අධ්‍යන කල යුතුයි. එපමණක් නොව ඒ සඳහා වහා පියවර ගත යුතුයි. භූ විද්‍යාත්මක සංකල්ප පුරාවිද්‍යාවේ සෑම අංශයකදීම උවමනා වන බව මෙහි ලා සඳහන් කල යුතුයි. ඔබ කැණීමක් කල ද, ගවේෂණයක් කල ද සංරක්ෂණයක් කල ද ඒ සඳහා භූ විද්‍යත්මක සංකල්ප යොදාගත හැකි අවස්ථා බොහොමයකි. එමගින් පුරාවිද්‍යාවේදී පැන නගින ගැටළු නිරාකරණය කරගැනීමට අවශ්‍ය භූ විද්‍යත්මක දැනුම ලැබෙන බව අමතක නොකළ යුතුය. 


කැනීම් සිදුකරන්නේ පොලොවෙහිය. නැතහොත් භූ පරිසරයෙහිය. පුරාවිද්‍යාඥයින්හට වැදගත් වන්නේ මතුපිට ස්තරය වසාලන අවසාදිත තට්ටුවයි. එය යම් කිසි භූ ක්‍රියාකාරකමක් හේතුවෙන් තැන්පත් වූවක් වන අතර ඒ අතර තැන්පත් වන්නේ මානවයාගේ ක්‍රියාකාරකම් වේ. එම සාක්ෂි විවිධ ලෙස මෙම පාංශු දේහයන් තුල තැන්පත් වන අතර භූ පුරා විද්‍යාවේදී සිදුකරන්නේ මෙම සාක්ෂි සියුම් භූ විද්‍යාත්මක සංකල්ප සහ ක්‍රමවේද මගින් විශ්ලේෂණය කර සත්‍ය කරුණු මතු කර ගැනීමයි. මානව සංස්කෘතික ලක්ෂණ රැගත් මෙම අවසාදිත තැන්පතු “සංකෘතික අවසාදිත” ලෙස හෝ “පුරාවිද්‍යාත්මක අවසාදිත” ලෙස හැදින්විය හැක. 


සංස්කෘතික අවසාදිත ස්ථර බොහෝවිට කෙලවර වන්නේ ගැඹුරේ ඇති ස්ථානීය පාංශු ස්ථර අසලිනි. ස්ථානීය පාංශු ස්ථර යටින් වූ පාෂාණයේ ජිර්ණයේ ප්‍රතිඵලයකි. ඉන් ඔබ්බෙන් වූ ජිර්ණිත පාෂාණය කෙලවර වන්නේ නැවුම් මවු පාෂාණය ළඟින්. අවසාදිත තැන්පතුවක් සැමවිටම කිසියම්ම හෝ පැරණි කාලගුණික විපරියාසයක සාක්ෂියක් සහිතය. පුරාවිද්‍යාඥයින්හට වැදගත්වන්නේ මෙම අවසාදිත තැන්පතු පමණකි. ඉන් ඔබ්බට කැනීම් කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැත. එනිසා ඔවුන්හට පස් සහ අවසාදිත පිලිබඳ වූ භූ විද්‍යත්මක දැනුම ඉතා වැදගත් වේ. එසේ දැනුමක් නොමැති තැනැත්තන් කල නිෂ්ප්‍රයෝජන කැණීමකි, පාහියන්ගල ගල් ගුහාවේ කර ඇති කැනීම. එය නිස්කාරණේ මුදල් අපතේ යැවීමකි. ඒ පිළිබඳව අප වෙනම දවසක සාකච්චා කරමු.


වාරණ කැනීම කරන ලද්දේ ගල් පියස්සක් යට තැන්පත් වූ අවසාදිත තැන්පතුවකයි. ගුහා තැන්පතු සකස්වන්නේ ඉතා සුවිශේෂී ආකාරයකටයි. බොහොමයක් අවසාදිත තැන්පත් වන්නේ සුළං මගින් වන අතර මේවා වාලුකා අවසාදිත තැන්පතු ලෙස හැඳින්විය හැක. ඉතා සියුම් ඛණිකා රැගත් මෙම පාංශු තැන්පතු අධ්‍යනය ඉතා අපහසුය. තන්පතුවේ සොබාවය ගල්ගුහාව පවතින පරිසරය සහ ගල්හාගුහාවේ ප්‍රමාණය මත ද එයට අමතරව බාහිර බලවේග මත ද වෙනස් විය හැක. ඉතා විශාල නොවූ තරමක් කුඩා තුන්පැත්තකින්ම නිරාවරණය වූ මෙම ගල් පියැස්ස දෙතුන් දෙනෙකුට පමණ සෙවණ දිය හැකි ස්ථානයකි. මෙම ගල්ගුහාවට ලැබෙන බාහිර බලපෑම් වැඩි අතර එනිසාම මෙහි තැන්පත් වූ අවසාදිත ඉහත කී අකාරයේ තැන්පතු වලින් තරමක් වෙනස් බව පෙනී යයි. බොහොමයක් අවසාදිත තරමක් මධයම් ප්‍රමාණයේ ඛණිකා රැගත් අවසාදිත වන අතර ඛණිකා වල කෝණාකාර හැඩය පෙන්නුම් කරන්න මද දුරක් ගමන් කල හෝ එසේ නොමැති හෝ  අවසාදිත ඛණිකා බවයි. ඉතා බහුල ලෙස මුණ ගැහෙන හිමටයිට් ඛණිකා (තෙල් බොරළු) පැහැදිලි කරන්නේ වරින් වර පැවතී කාලගුණික තත්වයේ වෙනස් වීමයි. තෙත් පරිසරයක ලක්ෂණ පෙන්නුම් කරන මෙම අවසාදිත හා බහුලව ප්‍රථමික මට්ටමේ ශිලා මෙවලම් මෙන්ම එක් ස්තරයක කලවමේ ශිලා මෙවලම් සමග වලන් කැබලිති ද හමු වේ. 


කලකදී මෙරට පුර විද්‍යාඥයින් මෙවැනි ස්ථර අර්ථකථනය කරනු ලැබුවේ නොවැදගත් කෘත්‍රිමව (මානවයා විසින් පසු කලෙක) කලවම් වූ අවසාදිත ලෙසයි. නමුත් මෙම ස්තරය ඉතා වැදගත් සංස්කෘතික පරිණාමයක අතරමැදි අවස්තාවක් ලෙස හඳුන්වයි. පස්චාත් මෙසොලිතික යුගය ලෙස හඳුන්වන මෙම යුගය පිළිබිඹු කරන අවසාදිත තැන්පතු හුදෙක් නොවැදගත් යැයි ඉවත්කළ අවස්ථා ගැන මෙරට පුරා විද්‍යා කැනීම් ඉතිහාසයේ හමුවන බව සමහර ඇත්තන් පවසනු මට ඇසී ඇත. 


කෙසේ වෙතත් අපගේ අධ්‍යනයන් අනුව මෙම ස්ථානය මානවයා තාවකාලිකව පරිහරණය කරන ලද ස්තානයක් බව ඔප්පු වූ අතර ඉතා අනර්ඝ ලෙස ස්ථර වෙන් කිරීම සහ අනෙකුත් අර්ථකතනයන් සඳහා භූ විද්‍යත්මක සංකල්ප යොදාගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රථම වතාවට ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා පර්යේෂණ ඉතිහාසයේ භූ විද්‍යාත්මක සංකල්පයක් වන පාංශු ඛණිකා විශ්ලේෂණය ද අංගාර අංශු විශ්ලේෂණය ද මේ සඳහා යොදාගත් බව සඳහන් කල යුතුය. මෙම විශ්ලේෂණ ඇසුරු කරමින් 2009 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරන ලද පර්යේෂණ සැසියේදී (Volume 2, pp 45-57) ම විසින් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ඇතුළු ජෙය්ෂ්ට පුරාවිද්‍යාඥන් සමුහයක් හමුවේ ඉදිරිපත් කලද බොහෝ දෙනෙකු මේ තුල වූ විද්‍යත්මක පැහැදිලි කිරීම සහ සොයා ගැනීම අවබෝධ කර ගත්තේ නැත. එය ඉතා කණගාටුවට කරුණක් වන අතර එවන් තත්වයක් හමුවේ මා තේරුම් ගත්තේ භූ පුරා විද්‍යාව කෙසේ වෙතත් මෙරට පුරා විද්‍යාවේද ප්‍රගමණය අඳුරු බවයි. එය හුදෙක්ම සිතුවිල්ලක් නොවන බව සමහරු පුරා විද්‍යාත්මක සන්දර්භය තුල භූ විද්‍යත්මක කරුණු කාරණා ගැන ලබා දෙන අර්ථකථන අනුව අද පැහැදිලි වෙන බව මෙහි ලා පැවසිය යුතුය. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ






















No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...