අනුරාධපුරයේ රාජ මාළිගය ...!!!

භූ සංචාරිතය 24

This article is originally published on Vidusara, 26.08.2020.

වසර දහසකට අධික කාල සීමාවක් තිස්සේ “නව සිවු හෙළයේ” අගනගරය වූයේ අනුරාධපුරයයි. විජයගේ සම්ප්‍රාප්තිය (ආක්‍රමණය) නිසාවෙන් ජනිත වූ මෙරට නව සංස්කෘතිය ඉන් ඔබ්බෙන් වූ ශ්‍රේෂ්ට සංස්කෘතියට ලංවන්නටවත් නොහැකි බවයි මාගේ අදහස. ඒ කෙසේ වෙතත් එය මෙරටට නව හැරවුම් ලක්ෂ්‍යයක් බිහි කර දුන්නේ වඩාත් නිරවුල් සාමකාමී අධ්‍යාත්මික ගමනකට මෙරට ජනයා රැගෙන යන්නට විය හැකිය. නව සිව් හෙළයේ සියයකට අධික නරපතීන්ගෙන් ශ්‍රේෂ්ටත්වයට පත් වන්නේ අත ලොස්සක් පමණි. ඒ දේවානම් පියතිතිස්ස සහ දුටු ගැමුණු වැනි නරපතීන් අග්‍ර කරවමින් බව පැහැදිලි සත්‍යයකි. නිසි පරිදි අප මහාවංශය කියවන්නේ නම්, එහි ඇත්තාවූ ව්‍යංගාර්ථයන් ඉතා හොන්දින තේරුම් ගැනීමට හැකි වෙයි.  

කෙසේවෙතත් අනුරපුරයට පැමිණෙන සැමගේ අවධානයට යොමුවන්නේ ඔවුන් තැනු අධ්‍යාත්මික නිර්මිත පරිසරයේ ප්‍රමුඛතාවයම මිස වෙන කවරෙක් ද? හෙළ බෞද්ධ නිර්මිත පරිසරයේ තාක්ෂණය යනු වෙන කිසිවක් නොව මෙරට අනන්‍යතාවයම වේ. ඉන්දියානු උප මහද්වීපයෙන් බෞධාගම කේන්ද්‍ර කොට අප ලද දායාදයන් හෙළ තාක්ෂණය හා මනාව සංයෝජනය කරමින් ඉදිකෙරුණු ඒ විසල් නිර්මිතයන් අතරේ රාජාවලියේ තිඹිරිගෙය හමුනොවන්නේ මන්ද යන්න ගැටළුවකි.. විවිධ අර්ථකතන හමුවේ ගොළුවන  අනුරපුරයේ රාජ මාලිඟා  ඉතිහාසය එක්තරා ගැටළු සහගත බවක් සහ ගුප්ත බවක් ඉතිහාසයට එක් කරන බවයි මාගේ හැඟීම වන්නේ. එය වැරදි වන්නට ද පුළුවන.  

මෙවර භූ සංචාරිතය මෙහෙයවන්නේ ඒ අතීත උරුමයේ කන් කොන් සොයා යාම උදෙසායි. පසුගිය වසරේ පුරාවිද්‍යා දෙපාර්තුමේතුව හා බැඳී ඇතුළු නුවර සංවර්ධන ව්‍යාපෘතිය කරවන නගර සංවර්ධන අධිකාරිය අපහට ඇරයුම් කෙරුයේ බොහෝ දෙනෙකු නොදන්නා නමුත් සත්‍ය ලෙසම අනුරපුරයේ ඇති මාලිගාවක වපසරිය තහවරු කරනුවස් විද්‍යාත්මක සාක්ෂි සොයා  දෙන ලෙසයි. ඒ සඳහා ඔවුන්ගේ ඉලක්කය වූයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සතු මිහි විනිවිදුම් රේඩාර් තාක්ෂණයේ (GPR) පිහිට ලබා ගැනීමයි. ඒ සඳහා අපගේ නොමසරු දායකත්වය ලබා දීම සඳහා එකඟ වූ අප නොපමාව ඒ සඳහා සූදානම් වූයේ පුරාවිද්‍යාවේ ගවේෂණ කාරිය උදෙ=සා භූ පුරා විද්‍යාත්මක භූ භෞතික තාක්ෂණයේ පිහිට ලබා ගත හැකි බව ඔප්පු කරන්නට කදිම අවස්තාවක් බව හොඳින්ම සිහියේ තබා ගෙනයි.

ආචාරය සිරාන් දැරණියගල සහ ආචාර්ය තුසිත වගලවත්ත මහත්වරුන් හමු වීමෙන් පසුව අපහට අවබෝධ වූයේ ඔවුනට අවැසිව ඇත්තේ ඇතුළු නුවර වපසරිය සහතික කරන සහ එය මායිම් කරන ප්‍රධානම ව්‍යුහය වන ඇතුළු පවුරෙහි පිහිටීම තහවුරු කරවීමයි. අප භාවිතා කරන භූ භෞතික තාක්ෂණයේ ගුණාගුණ ඉතා හොඳින් දන්නා මාහට එය ඇසු විට මඳ සිනහවක් නැගුනේ එය කජු කනවාටත් වඩා පහසු කාරියක් බව මා ඉතා හොඳින් දන්නා බැවිනි. එම පරිචය ලබා ගැනුම උදෙසා බොහෝ වාරයක් විවිධ ක්ෂේත්‍ර පර්යේෂණ කරන්නට සිදු වූ අතර එනිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතු වූ, කලක් භාවිතයෙන් අතැර තිබු මෙම මිහි විනිවිදුම් තාක්ෂණයට පණ පොවන්නට මා හට හැකි වීම මාද ආයතනයද ලද භාගයක් බව මා විස්වාස කරන අතර නමුත් තවමත් එහි බොහෝ දෙනෙකු එම තාක්ෂණයේ අගය වටහා ගෙන නොමැති බව කණගාටුවෙන් වුව මෙහිලා සඳහන් කල යුතුය.

භූ අභ්‍යන්තරයේ සඟවා ගත් බොහෝ දේ අනුමාන වශයෙන් පවසන්නට මෙම උපකරණය කදිම ආයුධයකි, උපක්‍රමයකි. භූ අභ්‍යන්තරයේ වූ කුහරයන්, පාංශු දේහයේ ඝනකම පමණක් නොව පාංශු දේහයන්ගේ වයනයේ වෙනස්කම් සහිත ස්තරයන් ද, මවු පාෂණයට ඇති දුර ද එමෙන්ම එහි ඇති කුස්තුර සහ දැදුරු රටාවන් ද, භූ ගිලා බැසීම් ද මනාව අධ්‍යනය කල හැකි වීම මෙහි විශේෂත්වයයි. එමෙන්ම භූ අභ්‍යන්තරයේ කාලීනව යට වූ  මෙවැනි පුරාවිද්‍යාත්මක පාංශු සහ ගඩොලු ව්‍යුහයන් ද පොළොවේ වැළලුනු විවිධ නල මාර්ග ද කදිමට සටහන් කල හැකි තාක්ෂණයකි මිහි විනිවීදුම් රේඩාර් තාක්ෂණය. නවීන කොන්ක්‍රීට් වේලි වල පමණක් නොව අතීත වැව් බැමි වල ජල කාන්දුවන් ද මනාව අධ්‍යනය කල හැකි බව මේ වන විටත් අප ප්‍රයෝගිකව පෙන් වා දී ඇත.

මෙම ආයතනයට ආ විගස මෙම තාක්ෂණයේ වැඩිදුර පුහුණුවක් සඳහා නොර්වේ රාජ්‍යයට මා ලද අවස්තාව අනෙක් හැමෝම ලබනා එක් චාරිකාවක් පමණක් බවට පත් නොකර එම අවස්ථාව උපරිමයට ලබා ගෙන එයට අගනා සාධාරණත්වයක් ඉටු කරන්නට මා හට හැකි වූ බව මෙහි ලා සතුටින් මා සඳහන් කරන්නේ දැන් දැන් මෙහි භාවිතය උදෙසා ලැබෙනා ආරාධනා වැඩි වන නිසාවටම පමණක් නොවේ. ඒ මෙහි භාවිතයේ අනර්ගතම  අවස්තාව නාය පර්යේෂණ උදෙසා ලබා දීමට හැකි බව ප්‍රායෝගිකව පෙන්වා දීමෙනි. දැන් ඇත්තේ මෙම තාක්ෂණයේ ප්‍රයෝගික භාවිතය අදාළ පාර්ශව වල වගකීම බවට පත් කරගැනීමයි.

ඇතුළු නුවර ඇත්තේ පොළොන්නරු රාජ වංශයේ ආරම්භකයා ගේ රාජාභිෂේකය උදෙසා ඉදිකළ මාලිඟාව බව මෙරට බොහෝ දෙනෙකු නොදන්නවා පමණක් නොව අනුරපුරයේ එවැනි මාලිඟාවක් ඇති බවද බොහෝ දෙනෙකු නොදන්නා බව සහතිකයි. ඔබ අනුරපුරයට යන්නේ නම් මෙම රාජාභිෂේක මාළිගාව නැරඹිය යුතුමය. ගොඩනැගිල්ලේ පාදම වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇත්තා වූ මෙම රජ මාළිගාව මහා වංශයේ තතු තහවුරු කරන්න ද කදිම සාක්ෂ්‍යයක් බව අමතක නොකළ යුතුය. අනුරපුර රජ වංශය පොළොන්නරු රජ වංශය හා ජානමය වශයෙන් සම්බන්ධ කරනා දම්වැල් පුරුක මෙය බව ද අපට සැලකිය හැක. සමහර විට මෙහි ඉදිකිරිම හරහා පළමුවැනි විජයබාහු රජු බලාපොරොත්තු වන්නට ඇත්තේ ද එයම විය හැකි. ඇත්තෙන්ම එය මෙරට ශ්‍රේෂ්ට රාජ පරම්පරාවන් දෙකක සම්බන්ධය තහවුරු කිරීමකි.

මා මිතුරු ආචාර්ය තුසිත වගලවත්ත මහතා තෝරාගත් ස්ථාන ගණනාවක් පෙන්වා දුන්නේ අප ඒ ස්ථාන වල අපගේ තාක්ෂණය භාවිතයේ යෙදවූ වෙමු. මේ සම්බන්ධව වැරදි තොරතුරු ජන ගත වූයෙන් සමහර ස්ථානවලදී අපගේ කාරිය කරගෙන යාමට මෙම අපූරු පුරාවිද්‍යා භුමිය ආක්‍රමණය කර සිටින ජනතාවගේ විරෝධය බාධවක් වූ බවද මෙහි ලා කණගාටුවෙන් සඳහන් කල යුත්තේය. එමෙන්ම එය පුරාවිද්‍යා භූමියක් බව තම ඇස් පනාපිට ඔප්පු වෙමින් තිබියදීත් තවමත් එහි ගැවසී සිටිනා එම ජනතාව කරනුයේ මෙරට උරුමයට ඉතා බලවත් අසාධාරණයක් බව ද සඳහන් කල යුතුය.

අපගේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පෙන්වූ සෑම ස්ථානයකම ඇතුළු පවුර ඉතා කදිමට අපගේ උපකරණයේ සටහන් වූයේ මෙම ප්‍රදේශය ඉතා වටිනා පුරාවිද්‍යාත්මක භූමියක් බව නැවත නැවතත් ඔප්පු කරමිනි. අඩකවයක් සේ සටහන් වූ දෙපසට බිඳ වැටුන ගඩොලු ව්‍යුහයන් පතාක පවුරක් බව කදිමට ඔප්පු වූ බවද මෙහි ලා සටහන් කල යුතුය. ඉදිරියේ දී මෙම ප්‍රදේශය වඩාත් අරක්ෂාකාරී පුරාවිද්‍යාත්මක භූමියක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන්ගේ කදිම නැවතුමක් බවට පත් කිරීමට අවැසි නම් ඍජු ස්ථිර තීරණයන් ගැනීමට අදාළ ආයතනවලට සිදුවනු ඇත. ගැටලුව වන්නේ ඒ දිනය එළඹෙන්නේ කවදා ද යන්නයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Comments

This comment has been removed by the author.
Thilini Dharmathilaka said…
Very informative article sir. If you can upload some images that would be great sir.

Popular posts from this blog