ඉතින් මේ වග රටට මුලින් ම සොයා බලා විස්‌තර සැපයුවේ සුප්‍රකට විද්‍යාඥයෙක් වන පී. ඊ. පී. දැරණියගල මහත්මයා. ඔහු කලෙක පුරාවිද්‍යා කොමසාරිස් වෙලත් හිටියා. ඔහු සදහන් කරන ආකාරයට සිංහයන් ගේ, රයිනෝල ගේ, හිපෝල ගේ, ගවරා ගේ සහ පැරැණි අලින් ගේ ප්‍රාග් ජීව ධාතු රත්නපුරයේ මැණික් පතල්වලින් ලැබිලා තියෙනවා. මේ හමු වන සතුන් ගේ ස්‌වරූපය සහ අවසාදිතවල භූ ලක්‌ෂණ අනුව මහාචාර්ය කුරේ මහතා පවසලා තියෙනවා කලෙක දී මේ ප්‍රදේශය විශාල මඩ ගොහොරුවක් හැටියට තියෙන්න ඇති කියලා. ඒ හොලොසින යුගයේ දී.
දැනටත් එවැනි සතුන් ගේ පැරැණි ශරීර කොටස් මේ ප්‍රදේශයෙන් හමු වෙනවා. ඒ විතරක් නො වෙයි ඒ කාලේ තිබුණ ගස්‌වල කඳන්, ඇට ජාති එහෙමත් හමු වෙනවා. නමුත් ගැටලුවක් වෙලා තියෙන්නේ ඒවා පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඒක නිසා ගොඩ දාන සැණින් විනාශ වීමට හේතු යෙදෙනවා. සමහර වෙලාවට උදලු පහරවල් නිසා කුඩු වෙලා යනවා පහසුවෙන් ම. මොකද මේවා ගොඩාක් පැරැණි නිසා. අනිත් කරුණ තමයි මේ වගේ දේවල් ලොව බොහොම දුර්ලභයි. ඉතින් අපිට මේ හමු වන ෆොසිල එකතු කරගන්න පුළුවන් නම් පැරැණි ජීවීන් සහ පැරැණි පරිසරය පිළිබඳව ගොඩාක් කරුණු එක්‌රැස් කරගන්න හැකි වෙනවා. ඒක නිසා මේ ෆොසිල මැණික් වගේa ම අපට වටිනා දෙයක්. විද්‍යාත්මක අධ්‍යයනවලට බොහෝ ම වැදගත් වෙනවා. එනිසා රත්නපුර ප්‍රදේශයේ ඉන්නා අපේ දුවා දරුවන් සහ මේ විද්‍යාවට ආදරය කරන සියලු දෙනා මේ පිළිබඳව තම තමන් ගේ වැඩිහිටියන්, ඒ වාගේ ම ඥාතීන් දැනුවත් කරන්න ඕනේ. විශේෂයෙන් ම පතල් කර්මාන්තයේ යෙදෙන පිරිස දැනුවත් කිරීම තමයි ඕනෙ ම කරන්නේ.
ලෝකයේ මේ "ප්‍රාග් ජීවධාතු" පිළිබදව උගන්වන විෂයක් තියෙනවා. ඒක හඳුන්වන්නේ "ප්‍රාග් ජීවධාතු විද්‍යාව" (Paleontology) කියලා. සමහරු "පාෂාණීභූතධාතු" විද්‍යාව කියලත් හඳුන්වනවා. නමුත් මම හිතන්නේ වඩාත් සුදුසු පදය තමයි මුල් එක. මොකද පාෂාණ බවට පත් නො වන ෆොසිලත් හමු වෙනවා නේ. උදාහරණයක් හැටියට ගත්තොත් සයිබීරියාවේ අයිස්‌වල හමු වන මැමත්ල ගේ ෆොසිල. ඒවා සීතලට හොඳට ම මිදිලා තියෙන්නේ. ඊට අමතරව ෆොසිලවල සටහනුත් මේ කොටසට වැටෙනවා. ලංකාවේ මේ විෂය පාසල් තුළ ඉගැන්වෙන්නේ නැහැ. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ භූ විද්‍යාව හදාරන සිසුනට නම් මේ පිළිබඳව හදාරන්න අවස්‌ථාව ලැබෙනවා.
මේ ප්‍රාග් ජීවධාතූ තියෙන්නේ රත්නපුරේ විතරක් නො වෙයි. ජුරාසික කාලේ ෆොසිල, තබ්බෝව ප්‍රදේශයේත්, මයෝසින කාලයේ ඒවා පුත්තලම, මන්නාරම සහ යාපනය ප්‍රදේශයේත් ඇති පාෂාණවල පිහිටලා තියෙනවා. මේ පිළිබඳව අධ්‍යයනය කිරීම උනන්දු කිරීම සදහා පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මූලිකව 2007 වසරේ "පුරා ජෛවවිවිධත්ව උපදේශන කමිටුව" පිහිටෙව්වා. මේ පිළිබදව අධ්‍යයනයන් කරන විවිධ ක්‌ෂේත්‍රවල විශේෂඥයන් රැසක් මේ කමිටුවට ඇතුළත්. ආරම්භක පියවර තබන්න මූලික වුණේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වන ගාමිණී ගමගේ මහත්මයා. ඔබ ප්‍රදේශයෙන් ලැබෙන ෆොසිල පිළිබඳ තොරතුරු මේ කමිටුවට දෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව වැදගත් වන තොරතුරු අහගන්නත් පුළුවන්.
රත්නපුර ප්‍රදේශය පිළිබඳව අප වැඩි අවධානයක් යොමු කරන්නේ මේ ෆොසිල සමග පැරැණි මානවයන් ගේ නෂ්ටාවශේෂ ලැබිය හැකි නිසා. මොකද මේ දේවල් මානවයා ආරම්භ වූ කාලයෙන් පසු ජීවත් වූ සතුනට අයත් නිසයි. ඉතින් බොහෝ දුරට එවැනි මානව අවශේෂ සහ ඔවුන් භාවිත කළ මෙවලම් ද හමු වෙන්න පුළුවන්. ඒක නිසා මානව ඉතිහාසය හැදෑරීමේ දී ඔහු ආශ්‍රිතව වූ දේවල් සහ සතුන් හැදෑරීමත් වැදගත් වෙනවා.
රත්නපුරය, කුරුවිට ප්‍රදේශවල මේ පිළිබදව උනන්දුවක් දක්‌වන අයට ඔබ ප්‍රදේශයේ ම ඉන්නා අයකු ගෙන් වුණත් විස්‌තර දැනගන්නත් පුළුවන්. ඒ තමයි දැනට දශක දෙක තුනක ඉඳලා ප්‍රදේශයේ දුවා දරුවන් අතර විද්‍යාව ප්‍රචලිත කරන්න වෙහෙස වන, පරිසරය ආරක්‌ෂා කරන්න උත්සාහ කරමින් ඒ වෙනුවෙන් වැඩ කරන ග්‍රාම නිලධාරී මහතකු ලෙස සේවය කරන කමල් අබේවර්ධන මහත්මයා. ඔහු සතු කදිම ෆොසිල එකතුවක් ද තියෙනවා. කෙනෙකුට යම් ෆොසිලයක් හමු වුණොත් ඔහුට ලබා දෙන්නත් පුළුවන්. ඔහු ගෙන් විස්‌තර ලබාගන්නත් පුළුවන්. ඔබේ පැත්තේ ම හින්දා බොහොම පහසුවක් වේ වි.
කොහොම වුණත් රත්නපුරය අවට සහ ශ්‍රීපාද අඩවිය ප්‍රාග් ජීවධාතූන් ලැබිය හැකි පැති. අවධානයෙන් සිටීම තමයි වැදගත්. කෙනකුට මේ පිළිබඳව දේශන හෝ ප්‍රායෝගික දැනුවත් වීමක් අවශ්‍ය නම් ලබා දෙන්නත් පුළුවන්. ඒ සදහා විදුසර හරහා ඉල්ලීමක් කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේ ම තමයි මේ ලැබෙන ෆොසිල අරක්‌ෂා කරගන්නත් අපේ දුවා දරුවන් හිතට ගන්න ඕනේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ