'හරිත ගිණුම්කරණය' ලෝකය පාරිසරික සංරක්‌ෂණයේ නව මාවතකට යොමු කළ අදහසක් බව කිව යුතු ය. අප සැම දා නො සිතන ලෙස පරිසරය සහ එහි සේවාවන් අගය කිරීමකට ලක් වන්නේ නැත. කිසි දා ආපසු හැරී නො බලන ගමනක යෙදෙන ලෝක ආර්ථිකය කළු හෝ සුදු හෝ යෑයි නො සිතා ක්‍රියා කිරීම හේතුවෙන් පරිසරයේ වටිනාකම මෑතක් වන තුරු ම ලඝූ කර ඇති බව පැහැදිලි ය. කාර්මික විප්ලවයේ විප්ලවීය වෙනස වූයේ හරිතමය වැස්‌ම ඉවත් කර අඳුරු පැහැ ගත් කර්මාන්ත ලොව ස්‌ථාපිත කරන්නට ය. එහෙත් කලක් යද්දී තම ගමන්මග නිවැරැදි නො වන බව බටහිරයන් තේරුම්ගන්නා විට මුළු ලොව ඔවුන් අනුගමනය කරන්නට පටන්ගෙන අවසාන ය. එහෙත් හරි හරියට සිදු කරන තම විනාශකාරී ආර්ථික සංවර්ධන කටයුතු නවතාලන්නට නම් ඔවුන් කැමැති වන්නේ නැත.
ඇමෙරිකාව, රුසියාව, ජර්මනිය, කැනඩාව වැනි රටවල් ද චීනය, ඉන්දියාව සහ ජපානය වැනි රටවල් ද වර්තමානය වන විට ලොව වැඩි ම ෆොසිල ඉන්ධන දාහකයන් බවට පත් වී ඇත. චීනය වාර්ෂිකව නිපදවන CO2 ප්‍රමාණය අනුව ප්‍රමුඛ රාජ්‍යය වී ඇත. ඇමෙරිකාව වාර්ෂිකව නිපදවන CO2 ප්‍රමාණය ගිගාටොන් 21.3ක් යෑයි ගණන් බලා ඇත. ඔවුන් එසේ ඇති පදමට වායුගෝලයට CO2 නිදහස් කරමින් අප වැනි තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටවලට කියා සිටින්නේ එවැනි ක්‍රියා නවතා හරිතවත් ආර්ථිකයක් කරා ගමන් කළ යුතු බවයි. ඔවුන් අපට බල කර සිටින්නේ අද අද ම රටේ වාර්ෂික අයවැය සකස් කිරීමේ දී හරිත ගිණුම්කරණය අනුගමනය කළ යුතු බවයි. එහෙත් අමතක නො කළ යුත්ත නම් ඔවුන් දියුණු රටවල් බවට පත් වී ඇත්තේ ද, එම තත්ත්වය පවත්වාගෙන යන්නේ ද හරිත ආර්ථික සංකල්ප මත ම නො වන බවයි. එය තනිකර ම අඳුරු ආර්ථික සංකල්ප මත පදනම් ව ඇත.
හරිත ගිණුම්කරණය තුළ අප සිදු කරන සියලු ක්‍රියා විශ්ලේෂණයට ලක් වන්නේ නිපදවන CO2 ප්‍රමාණය මත ය. වායුගෝලයේ CO2 මට්‌ටම අඩු කරන්නට දක්‌වන දායකත්වය ද මේ විශ්ලේෂණයේ එක් අංගයක් වන අතර ඒ අනුව ඒ ඒ ක්‍රියා සඳහා ආර්ථික වටිනාකම් ලබා දෙයි. එහෙත් මේ ක්‍රියාව සියයට සියයක් ම නිවැරැදි නො වන මුත් අවමය ලෙස පරිසරය සහ පාරිසරික සේවාවන් අගය කර ආර්ථික වටිනාකමක් ලබා දෙන්නට හැකියාව ලැබී ඇත. CO2 උරාගනිමින් පමණක් ම ගසක් සිදු කරන සේවයට කෙලෙස නම් ආර්ථික වටිනාකමක් එක් කළ හැකි ද? මෙය ඉතා සංකීර්ණ ගිණුම්කරණයක් බව කිව යුතු ය. CO2 අඩු කිරීම තුළ අප ලබන වාසිය කුමක් ද? ගෝලීය උණුසුම අඩු කරන්නට අඩු CO2 නිෂ්පාදනය හේතු වන්නේ නම් ඒ හා බැඳී ඇති අනෙකුත් ක්‍රියා දාමයන් ද වාසි ලබන බව කිව යුතු ය. උණුසුම් අඩු වීම ධ්‍රැව අයිස් දිය නො කරන්නට සහාය දෙන අතර එය මුහුදු මට්‌ටම වැඩි නො කරන්නට හේතු වෙයි. වෙරළාසන්න ජනාවාස යට නො වීම හේතුවෙන් ලබා දෙන ආර්ථික වාසි කොපමණ ද යන්න ඔබට සිතාගත හැකි වේ වි.
හරිත ගිණුම්කරණය විවිධ ස්‌වාභාවික ක්‍රියා සඳහා ආර්ථික වටිනාකම් ලබා දෙන්නට උත්සාහ කරයි. එහෙත් එය කෙතරම් සාර්ථක ද යන්න විග්‍රහ කළ යුතු ය. යම්කිසි පාරිසරික ක්‍රියාදාමයක් මගින් අපට (මිනිසාට පමණක්) ලබා දෙන වාසි (සේවය) පමණක් ම මෙහි දී සැලකිල්ලට ගන්නේ ද යන්න සලකා බැලිය යුතු ය. උදාහරණයක් ලෙස මී මැස්‌සන් ගේ හෝ වවුලන් ගේ පැවැත්ම මානවයාට කෙතරම් වාසිදායක ද යන්න සැලකිල්ලට ගන්න. ඝෘජු ව ගන්නේ නම් ඔවුන් ගේ පැවැත්ම හා පරිසරය තුළ ක්‍රියාකාරිත්වය මිනිසාට වැදගත්කමක් හෝ වාසියක් හෝ ගෙන දෙන්නේ නැත. එහෙත් ඔවුන් පුෂ්ප පරාගණය කරමින් සිදු කරන මෙහෙය අති විශාල ය. ඔවුන් නොමැති නම් සපුෂ්ප ශාක බොහොමයක පරාගණය ඇණහිටින අතර ඵල නිෂ්පාදනය ද එනිසා ඝෘජුව ම ඔවුන් ගේ අනාගත පැවැත්ම ද අඩාළ කරනු ඇත. ඵල නිෂ්පාදනය නිසා පරිසරයේ කොපමණ සත්ත්ව විශේෂ සංඛාවක් පිහිට ලබන්නේ ද යන්න ද මෙහි දී සැලකිල්ල ගත යුතු ය. ඵල නිෂ්පාදනය නිසා එම ශාකවල ව්‍යාප්තිය තහවුරු කරන අතර නව ශාක ඇති වීමෙන් නැවත නැවතත් ලබා දෙන සියලු සේවාවන් අප සැලකිල්ලට ගන්නා විට පරාගණය උදෙසා කවර ආකාරයේ අගයක් ලබා දිය යුතු ද යන්න මතභේදාත්මක නො වේ ද?
සේවය මත අගයන් ලබා දීම කළ යුතු මුත් ඒ සඳහා කවර ආකාරයේ වටිනාකම් ලබා දෙන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු ද යන්න බොහෝ සීරුවෙන් ස්‌ථාපනය කළ යුතු ය. එය ගෝලීය ස්‌ථාවරයක් විය යුතු ද නැත හොත් ප්‍රාදේශීය වශයෙන් වෙනස් විය යුතු ද යන්න පවා මෙහි දී විග්‍රහ කළ යුතු ය. ඒ කෙසේ වෙතත් තවමත් නිසි ක්‍රමවේදයක් ස්‌ථාපනය නො වූ ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව ඉතා නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළ යුතු යෑයි මා සිතන්නේ ආර්ථික සංවර්ධනය ද මෙරටෙහි පැවැත්ම කෙරෙහි බලපාන බැවිනි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ