Monday 23 April 2018

විදු පත් ඉරුව
2015  මැයි 20 බදාදා

මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලබන කාලයේ බොහෝ ක්‍රියාකාරී සංගම් එහි විය. ඒවා අතර මා සිත් ගත්, මා ක්‍රියාකාරී ව වැඩ කටයුතු කළ සංගම් තුනක්‌ විය. ඉන් එකක්‌ වන්නේ පරිසර සංරක්‌ෂණය සම්බන්ධයෙන් මා හට බොහෝ අත්දැකීම් සහ දැනුම ලබා දුන් හන්තාන සංරක්‌ෂණ සංගමයයි. එකල්හි මේ සංගමය විසින් පරිසර සංරක්‌ෂණය උදෙසා බොහෝ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබී ය. සාමාජිකයන් ගේ දැනුම වර්ධනය කෙරෙහි ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර සති අන්තයේ පැවැත්වූ ක්‌ෂේත්‍ර වැඩමුළු මා නිරන්තරයෙන් ම අගය කළ අංගයකි. මේ වැඩමුළු අතර ලයිකන පිළිබඳව පැවැත්වූ වැඩමුළුව පසුකාලීනව මාගේ පර්යේෂණ සඳහා ද බොහෝ උපකාර විය. එනිසා ම ලයිකන ගැන මෙවර විදු පත් ඉරුවෙහි සටහන් කරන්නට සිතුවෙමි.

"ලයිකන" යනු සහජීවී සංගමයකි. ඇල්ගාවක්‌ හෝ නීලහරිත ඇල්ගාවක්‌ දිලීර ජාලයක මධ්‍යයේ ජීවත් වෙමින් එකිනෙකාට උපකාර කර ගන්නා හෙයින් මේ ජීව පද්ධතියට සහජීවී සංගමයක්‌ යෑයි පැවසේ. ඇල්ගාවට හෝ නීලහරිත ඇල්ගාවට ප්‍රභාසංශ්ලේෂණයෙන් ආහාර නිපැදවිය හැකි බව අපි දන්නෙමු. එහෙත් දිලීරයට එසේ කළ නොහැකි ය. ඒ හේතුවෙන් ඇල්ගාවන් නිපදවන ආහාරවලින් කොටසක්‌ මේ දිලීරවලට ලබා දෙයි. එමෙන් ම මේ ඇල්ගාවන්ට අවශ්‍ය ජලය හා ඛනිජ ලවණ ලබා දෙන්නේ දිලීරය මගිනි. එනිසා ම මේ සුවිශේෂී ජීව පද්ධතිය විශේෂිත දුෂ්කර ස්‌ථානවල වැඩීමට හැකියාව ලබා තිබේ.

ඔබ පරිසරය දෙස විමසිල්ලෙන් බැලුව හොත් ශාකවල කඳෙහි, පාෂාණවල මතුපිටෙහි ඇත්තා වූ විවිධ පැහැ ගත් පුල්ලි බොහෝ විට මේ ලයිකන වේ. වාතයේ ආර්ද්‍රතාව අධික ව පැවතීම මේ ලයිකනවල පැවැත්මට බොහෝ උපකාරී වේ. ලයිකනයේ දිලීරය බොහෝ විට තමනට අවශ්‍ය ජලය ලබා ගන්නේ වාතයේ ඇත්තාවූ ජල වාෂ්පවලිනි. ඛනිජ ලවණ ලබාගන්නේ උපස්‌තරය නැත හොත් තමා සවි වී ඇති ශාකයේ කඳෙන් හෝ පාෂාණයෙනි. එනිසා අධික වියළි කාලගුණයක්‌ පවතින විට ලයිකන තැලස ක්‍රමයෙන් නැසී යන අතර පරිසරය යහපත් වන විට නැවත වර්ධනය වේ.

ලයිකන වර්ග බොහෝ ය. උපස්‌තරයට ඇලී පවතින ලයිකන ද, පත්‍රාකාර ලයිකන ද එමෙන් ම කුඩා පඳුරු ආකාර ලයිකන ද ඒ අතර වෙයි. බොහෝ විට පාෂාණ උපස්‌තරය කොට ගන්නා ලයිකන වන්නේ ඉහත කී පළමු ආකාරයයි. ඒවාට බොහෝ දුෂ්කර පාරිසරික තත්ත්ව යටතේ වැඩීමට හැකියාව ඇත. පාෂාණ මතුපිට වැඩෙන මේ ලයිකනවල ඇති දිලීර මගින් නිකුත් කරන කාබොනික අම්ල මගින් පාෂාණය ජීර්ණයට ලක්‌ කරන අතර ජීර්ණිත ඛනිජ ද්‍රව්‍ය දිලීරය විසින් උරා ගැනෙයි. එනිසා ජෛව පාෂාණ ජීරණයෙහි ලා ලයිකන වැදගත් කර්තව්‍යයක්‌ ඉටු කරන අතර පාෂාණ ජීර්ණයේ මූලිකත්වය ගනු ලබන්නේ මොවුන් විසිනි.

ලයිකන කෙරෙහි පවත්නා එක්‌ සුවිශේෂී කරුණක්‌ වෙයි. එනම් දුෂ්කර පරිසර තත්ත්ව යටතේ වැඩීමට හැකි වුවත් දූෂිත පරිසර තත්ත්ව යටතේ වැඩීමට හැකියාවක්‌ නොමැති වීමයි. එනිසා පරිසර දූෂණය බහුලව සිදු වන ප්‍රදේශවල මේ සහජීවී සංගමය දක්‌නට නො ලැබේ. දූෂිත වායුන් මිශ්‍රිත ජල වාෂ්ප උරාගන්නා දිලීරය එහි පවත්නා විෂ සහිත බව හේතුවෙන් මරණයට පත් වේ. දිලීරය මරණයට පත් වීමෙන් ජලය සහ ඛනිජ ලවණ සැපයීම නතර වන හෙයින් ඇල්ගාවන් ද මරණයට පත් වේ. විශේෂයෙන් ම වායු දූෂණය අධික නගරබද පරිසරවල ලයිකන වර්ධනය නො වේ. එනිසා, පරිසරයේ මේ ලයිකනවල පැවතීම එක්‌තරා ආකාරයකට වායු දූෂණය සම්බන්ධයෙන් දර්ශකයක්‌ ලෙස ද භාවිත කළ හැකි ය.

ලයිකන එසේ උපකාරී වුවත් පුරාවිද්‍යාත්මක දෑ කෙරෙහි නම් දක්‌වන්නේ හොඳ හැසිරීමක්‌ නො වේ. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, මහනුවර, තිස්‌සමහාරාමය වැනි පුරාවිද්‍යාත්මක ස්‌ථානවල එළිමහනේ වැඩිපුර ම දක්‌නට ලැබෙන්නේ ගලින් සහ ගඩොලින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි, ස්‌මාරක සහ පිළිම වේ. මේ ස්‌ථානවල සංචාරය කර ඇති ඔබට මේවා වැසී ඇති විවිධ පැහැ ගත් පුල්ලි මතක ඇතිවාට සැකයක්‌ නැත. බොහෝ විට මේ සියල්ල විවිධ ලයිකන වර්ග වේ. මේ පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි, ස්‌මාරක සහ පිළිමවල ලයිකන වර්ධනය වීමෙන් ඒවාට හානි සිදු වන්නේ කෙසේ ද? පෙර සඳහන් කළ පරිදි මේවා උපස්‌තරය කරගන්නා ලයිකන තම දිලීර ජාලය ක්‍රමයෙන් උපස්‌තරය සිදුරු කරමින් එහි අභ්‍යන්තරයට කිඳා බසියි. මේ සඳහා කාබොනික අම්ලවල උදවු උපකාර ලබාගන්නා අතර උපස්‌තරයට තදින් සවි වේ. වැසි කාලගුණික තත්ත්ව යටතේ ඉතා හොඳින් වර්ධනය වන මේ ලයිකන වියළි කාලගුණික තත්වයක දී මරණයට පත් වේ. වියළි කාලගුණය ප්‍රභල වන අවස්‌ථාවේ දී ලයිකන තැලස වියළී හැකිළෙන අතර පසුව උපස්‌තරයෙන් ගිලිහී බිමට පතිත වේ. මේ ගිලිහීමේ දී තවත් දෙයක්‌ සිදු වේ. ඒ උපස්‌තරයේ අභ්‍යන්තරයට විහිදී තදින් සවි වූ දිලීර ජාලය උපස්‌තරයේ කුඩා කොටස්‌ ද ග්‍රහණය කරගනිමින් ම උපස්‌තරයෙන් ගිලිහීමයි. දිගින් දිගට ම මෙසේ සිදු වීමේ දී, එමගින් ඉතා කුඩා වුවත් සැලකිය යුතු හානියක්‌ කාලයක්‌ යත්දී, විශේෂයෙන් ම මේ පුරාවිද්‍යාත්මක ස්‌මාරක සහ පිළිමවලට සිදු වේ.

මා සිදු කළ පර්යේෂණයකින් හෙළි වූයේ දළ වශයෙන් පාෂාණමය ස්‌මාරකයකින් මිලිග්රෑම් 25ක්‌ පමණ වූ උපස්‌තර ප්‍රමාණයක්‌ ග්රෑම් 100ක්‌ පමණ වූ ලයිකන ප්‍රමාණයක්‌ ගිලිහීමේ දී ඉවත් වන බවයි. මේ තත්ත්වය ගඩොල් සහ මැටිවලින් සිදු කළ නිර්මිතයන් සදහා තවත් වැඩි විය හැකි ය. මෙය පුරාවිද්‍යා උරුම සංරක්‌ෂණයේ දී අතිශයින් ම සැලකිය යුතු කරුණකි. එහෙත් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට නො ව, මේ තත්වය නිසි පරිදි තේරුම්ගැනීමට පවා බහුතරයක්‌ වූ ලාංකික ස්‌මාරක සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ වැඩකටයුතු කරන්නන්ට තවමත් නොහැකි වීම කණගාටුවට කරුණකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 17 April 2018

විදු පත් ඉරුව
2015  මැයි 13 බදාදා

නේපාලයට 2015 අප්‍රේල් 25 වැනි දින අඳුරු දිනයක්‌ වුණා. ඒ රික්‌ටර් පරිමාණයේ ඒකක 7.8ක්‌ පමණ ප්‍රබල වූ භූ කම්පනයකට ලක්‌ වීමෙන් ඇති වූ ව්‍යසනයයි. අට දහසක්‌ පමණ වූ මිනිස්‌ ජීවිත මෙයින් අහිමි වූ අතර එමෙන් දෙගුණයක්‌ පමණ වූ මිනිසුන් සංඛ්‍යාවක්‌ ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙය 1934ට පසු නේපාලයේ ඇති වූ දරුණු ම භූ කම්පනයයි. ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය එක්‌ වන මායිමේ නේපාලය පිහිටා ඇති අතර එනිසා ම ඒ ආසන්නයේ නිරන්තරයෙන් සිදු වන භූ කම්පනවලට ගොදුරු විමට වැඩි නැඹුරුතාවයක්‌ තියෙනවා.

සති තුනකට පමණ පෙර සිදු වූ මේ භූ කම්පනය තත්පර විස්‌සක්‌ පමණ කාලයක්‌ රඳා පැවැති අතර නේපාලයේ ලූර්ම්ජන්ග් නම් වූ ස්‌ථානයට කිලෝමීටර 15ක්‌ පමණ වහා ම පහළින් වූ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ තමයි එය හටගෙන තියෙන්නේ. මේ හේතුවෙන් ඉන්දියාවේ ද, බංගලාදේශයේ ද, භුතානයේ ද, චිනයේ ද සමහර ස්‌ථානවලට භූ කම්පනය දැනී ඇති අතර ඒ හේතුවෙන් තුවාල ලත් පුද්ගලයන් ද වාර්තා වුණා. ඒ වාගේ ම ප්‍රබලතාව අවම වශයෙන් රික්‌ටර් 4.5 ක්‌ පමණ වූ තිස්‌ පහකට වැඩි පසු කම්පන ප්‍රමාණයක්‌ ද මේ ප්‍රදේශයේ සිදු වෙලා තියෙනවා.

ලෝකය සකස්‌ වී ඇත්තේ ප්‍රධානව ගතික භූ තල 13කින් පමණ වන අතර ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය ඉන් දෙකක්‌. ඉන්දියානු භූ තලය දිගින් දිගටම යුරේසියානු භූ තලයේ වැදෙමින් ද එය උතුරු දෙසට තල්ලු කරමින් ද සිටිනවා. එහෙත් අති විශාල යුරේසියානු භූ තලය තල්ලු කිරීම එතරම් පහසු දෙයක්‌ නො වේ. මෙහි දී ඇති වන ප්‍රබල තෙරපුම හේතුවෙන් හිමාලය කඳු පන්තිය දිගින් දිගට ම උස යමින් පවතින බව අප දන්නා දෙයක්‌. අවුරුද්දකට මිලිමීටර 40කට වැඩි ප්‍රමාණයකින් ඉන්දියානු භූ තලය උතුරු දෙසට තල්ලු වෙමින් පවතින බව භූ විද්‍යාඥයන් වර්තමානයේ ගණන් බලා තියෙනවා. කාලයක්‌ තිස්‌සේ මේ විදියට ඇති වන මේ තෙරපුම එක්‌ වර ම නිදහස්‌ වීමෙන් තමයි මෙලෙස භූ කම්පන ඇති වන්නේ. පසුගිය දා සිදු වී ඇත්තේ ද කාලයක්‌ තිස්‌සේ ඉන්දියානු භූ තලයේ තෙරපුම වළක්‌වාගෙන සිටි යුරේසියානු භූ තලයට තවදුරටත් එම තෙරපුම දරාගැනීමට නොහැකි වීමයි. මේ හේතු කොටගෙන තත්පර තිහක කාලයක්‌ තුළ දී එක්‌වර ම කත්මන්ඩු ප්‍රදේශය මීටර් තුනක්‌ පමණ දකුණු දිගට තල්ලු වෙලා තියෙනවා.

භූ තල එකිනෙක ගැටීම තමයි භූ කම්පනවලට හේතු වන්නේ. ඒ වාගේ ම මේ හේතුකොටගෙන තමයි විශාල කඳුකර ඇති වීම සිදු වන්නේ. කොහොම වුණත් අවුරුදු මිලියන 140ක්‌ පමණ වූ කාලයේ සුපිරි මහාද්වීපය වන ගොන්ඩ්වානාලන්තයේ කොටසක්‌ වූ ඉන්දියානු භූ තලය වසර මිලියන 100කට පමණ පෙර ඉන් බිඳී උතුරු දෙසට තල්ලු වීමට පටන් ගත්තා. අදින් අවුරුදු මිලියන 50ක්‌ පමණ වූ කාලයකට පෙර ඉන්දියානු භූ තලය යුරේසියානු භූ තලය හා ඉතා සුළුවෙන් ගැටෙන්නට පටන් ගත් අතර මේ ඝට්‌ටනය ප්‍රබලව සිදු වන්නේ එයින් වසර මිලියන 25කට පමණ පසුයි. අවුරුදු මිලියන 10ක්‌ පමණ වූ කාලය වෙන කොට තමයි හිමාලය කඳු පන්තිය බිහි වන්නේ. ඒ විතරක්‌ නො වෙයි, එයට උතුරෙන් වූ ටිබෙට්‌ සානුව ද සකස්‌ වෙන්නේ. අතිවිශාල යුරේසියානු භූ තලය තල්ලු කිරීම එතරම් පහසු දෙයක්‌ නො වන නිසා ඉන්දියානු භූ තලය තෙරපෙමින් ක්‍රමයෙන් පොළොව අභ්‍යන්තරයේ ගිලෙමින් තමයි තියෙන්නේ.

ඉන්දියානු සහ ඕස්‌ටේ්‍රලියානු භූ තලය එක්‌ ව තිබෙන අතර එය අති විශාල ප්‍රදේශයක්‌ පුරා පැතිරී ඇති බව පෙනී යන දෙයක්‌. යුරේසියානු භූ තලය හා ගැටීමෙන් ඇති වන තෙරපුම මේ හේතුවෙන් මුළු මහත් ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලය හරහා බලපාන බව අමුතුවෙන් විස්‌තර කරන්න ඕනේ නැහැ. මේ තලයේ දුර්වල කලාප කොතෙකුත් ඇති අතර ඒ ඔස්‌සේ ද මේ තෙරපුමෙන් ඇති වන පීඩනය නිදහස්‌ වන්නට බොහොම ඉඩකඩ තියෙනවා. ශ්‍රී ලංකාව කලකට ඉහත දී (ජුරාසික කාලයේ දී) ඉනදියානු මහාද්වීපය හා එක්‌ ව පැවැති අතර පසුව වෙන් වුවත් තාමත් ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලයේ ම කොටසක්‌. ශ්‍රී ලංකාවට ද මේ ඉන්දු-යුරේසියානු තල මායිම ඉතා වැදගත් වන්නේ ඉහත සදහන් කළ කරුණ හේතුවෙන්. පසුගිය කාලයේ විටින් විට අපට, එතරම් ප්‍රබල නො වූවත්, භූ කම්පන දැනේන්නට පටන් ගත්තා ඔබට මතක ඇති. ඒ වාගේ ම අපේ රටට දකුණු දෙසින් කිලෝමීටර පන් සියයක්‌ පමණ ඈතින් වූ භූ තලයේ නව පැල්මක්‌ ඇති වන බවත් නොරහසක්‌. ඉහත විස්‌තර කළ ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලයේ තෙරපුම මේ සදහා හේතු වන බව නොඅනුමානයි. එනිසා ඉදිරි කාලයේ භූ කම්පා සහ සුනාමි වැනි ව්‍යසනවලින් අප රට තවදුරටත් නිදහස්‌ නො වන බවයි පැහැදිලි වන්නේ.

මෙවැනි වාතාවරණයක්‌ හමුවේ ශ්‍රී ලංකාවට බොහෝ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙයි. එනිසා ඉදිරියේ දී සිදු කෙරෙන ආපදා කළමනාකරණයන්හි දී භූ කම්පන හේතුවෙන් ඇති වන්නා වූ අනතුරු අවම කරගැනීමට වැඩි අවධානයක්‌ යොමු කිරීම මූලික අරමුණක්‌ විය යුතුයි. දැනටමත් භූ විද්‍යා හා පතල් කාර්යංශය භූ කම්පා අධ්‍යයන වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබීම ප්‍රශංසනීයයි. භූ කම්පා හේතුවෙන්, නිර්මිත පරිසරයට බොහෝ අනතුරු ඇති විය හැකියි. එනිසා ඉදිරි කාලයේ දී ගොඩනැගිලි ඉදි කිරීමේ දී භූ කම්පනවලට ඔරොත්තු දිය හැකි ගොඩනැගිලි ඉදි කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බව පැහැදිලියි. ඒ විතරක්‌ නොවෙයි හදිසි දරුණු භූ කම්පනයක දී ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. කොහොම වුණත් සැම විට ම තම පරිසරය පිළිබඳ අවධානයෙන් සිටීම අප හැමෝ ගෙ ම සුqබසාධනයට බොහොම හොඳයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 29 March 2018

විදු පත් ඉරුව
2015  මැයි 06 බදාදා


පසුගිය කාලේ තිබුණ ත්‍රස්‌තවාදී යුද්ධය නිමාවත් සමග දකුණේ වැසියෝ බුරුතු පිටින් උතුරේ සංචාරවල නිරත වුණා නේ. කිලිනොච්චිය, අලිමංකඩ, පුනරින්, යාපනය, පේදුරුතුඩුව යනාදී බොහෝ තැන් දැක බලාගැනීම තමයි ඔවුන් ගේ බලාපොරොත්තුව වුණේ. බෞද්ධ ජනතාවට වැදගත් වන්නා වූ නාගදීපය, දඹකොළ පටුන, කනද්රෝඩේ වැනි සිද්ධස්‌ථානත් ඒ අතර ප්‍රමුඛව තිබුණා. යාපනය අර්ධද්වීපය තුළ සංචාරය කළ ඇත්තන්ට නම් දැක බලාගත් අමතක නො වන තව බොහෝ තැන් ඇති. ඒ අතර ඉතා චමත්කාරජනක වූ භූ ගැබේ අපූරු නිර්මණ කිහිපයක්‌ ගැන මේ ගමන විදු පත් ඉරුවෙන් මතක්‌ කළොත් හොඳයි කියල හිතුණා. යාපනයේ ජනතාව ගේ ජීවය වැනි ජලය පිළිබඳ විශාල අර්බුදයක්‌ මතු වෙමින් පවතින නිසා මේ ජල සම්පත පවතින වටපිටාව පිළිබඳව සහ දූෂකවල හැසිරීම, මේ භූ නිර්මාණවල ලක්‌ෂණ දැනගැනීමෙන් කිසියම් දුරකට ඔබට දැනගැනීමට හැකි වේ වි.

මම සදහන් කරපු තැන්වලින් එකක්‌ තමයි නිලාවේරායිවල හමු වන "පතුල නො පෙනෙන ළිඳ". විශාල ආවාටයක්‌ වැනි ළිං කටක්‌ සහිත මේ ස්‌ථානය දැනට ඒ අවට ප්‍රදේශයේ මිනිසුන්ට පානීය ජලය සපයන එක ස්‌ථානයක්‌. නිල් පැහැති ජලය මේ පතුල වසාගෙන ඇති බවයි දුටු පමණින් පෙනෙන්නේ. යාපනය අර්ධද්වීපය සමන්විත වෙලා තියෙන්නේ අවසාදිත පාෂාණ විශේෂයක්‌ වන හුණු ගල්වලින්. භූ විද්‍යාත්මක ඉතිහාසය සලකන කොට මෙයට අවුරුදු මිලියන තිහකට පමණ පෙර, ඒ කියන්නේ මයෝසීන කියන කාලයේ තමයි මේ හුණු මුහුදු පත්ලේ තැන්පත් වෙලා අවසාදිත පාෂණ බවට පත් වෙලා තියෙන්නේ. බොහොමයක්‌ තැන්වල ඒ කාලයේ සිටි මුහුදු ජීවීන් වන විශේෂයෙන් ම මුහුදු බෙල්ලන් ගේ ප්‍රාග්ජීවධාතු මේ පාෂාණයේ හමු වනවා. ඒ පිළිබඳ ඉගෙනගන්නා කෙනකුට නම් යාපනය අර්ධද්වීපය කියන්නේ මහඟු සම්පතක්‌. ඉතින් මේ හුණු ගල්වල විශේෂ ලක්‌ෂණයක්‌ තමයි වැසි ජලයට ඉතා ඉක්‌මනට දිය වෙලා යනවා. හුණුගල් රසායනිකව කැල්සියම් කාබොනේට්‌ කියලා තමයි හඳුන්වන්නේ. වැසි ජලය ටිකාක්‌ ආම්ලිකයි කියලා ඔයාලා දන්නව නේ. එතකොට මේ ආම්ලික වැසි ජලය කැල්සියම් කාබොනේට්‌ සමග ප්‍රතික්‍රියා කිරීම නිසයි හුණු ගල දිය වෙන්නේ. මේ ප්‍රතික්‍රියාව ගැන විද්‍යාව හදාරන ඔබ සියලු දෙනා ම හොඳින් දන්න බව නිසැකයි. තව ජීර්ණය වන ශාක පත්‍ර වැනි කාබනික ද්‍රව්‍ය එකතු වීමෙන් ජලයේ තවත් ආම්ලික බව ඇති වන නිසා මේ හුණුගල් දිය වීම තවත් පහසු වෙනවා.

මේ විදියට හුණුගල කාලයක්‌ තිස්‌සේ දිය වීම නිසා තමයි අර වගේ විශාල ළිං එහෙම නැති නම් ආවාට ඇති වෙන්නේ. මේවා ගැඹුරට විහිදිලා යන්න පුළුවන් පාෂාණයේ දුර්වල කලාප ඔස්‌සේ. දිය වීම හේතුවෙන් අභ්‍යන්තරයේ බොහොම විශාල පොකුණු වැනි ව්‍යqහ නිර්මාණය වෙන්නත් පුළුවන්. තවත් සමහර විටෙක එකිනෙක මේවා සම්බන්ධ වෙන්නත් පුළුවන්. වැස්‌ස වහින කොට මෙවැනි විවර ඔස්‌සේ ගිලා බහින ජලය කුහර මගින් ගොස්‌ අභ්‍යන්තර පොකුණු පිරෙනවා. ඒ විදියට තමයි ඔන්න ස්‌වාභාවිකව යාපනය ප්‍රදේශයේ භූගත ජල නිධි නිර්මාණය වෙන්නේ. හුනුගල්වල ඇති ලවණමය ස්‌වභාවය, ඒ කියන්නේ කැල්සියම් සහ මැග්නීසියම් ලවණ ජලයට එකතු වීම නිසා ජලයේ කඨ§නතාව වැඩි වෙනවා. එතකොට මේ ජලය බීමට ටිකක්‌ අපහසු වෙනවා. යාපනයේ තියෙන මේ හුණුගල සම්පූර්ණයෙන් ම හුණුවලින් නො වෙයි සකස්‌ වෙලා තියෙන්නේ. මුහුදු පත්ලේ තැන්පත් වීමේ දී තැනින් තැන අවිධිමත් විදියට සිලිකා වැලි තැන්පත් වීම නිසා නිර්මාණය වූ ජීර්ණයට ප්‍රතිරෝධී ස්‌ථානත් හමු වෙනවා. ඒ වගේ තැන්වල ඇති වන ජල තැන්පතුවල ජලයේ කඨ§නතාව අඩුයි. ඉතින් කොහොම වුණත් ඔබට සිතාගන්න පුළුවන් නේ ද හුනුගලේ මේ දිය වීම නිසා පොළොව අභ්‍යන්තරයේ එක්‌තරා අකාරයකට උමං පද්ධතියක්‌ නිර්මාණය වෙලා තියෙන බව. සමහර උමං එකිනෙක සම්බන්ධයි. සමහර ඒවා සම්බන්ධ නැහැ. ඒ කොහොම උනත් සමහර උමං මුහුදත් එක්‌කත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම තියෙන තැන් හඳුනාගන්න බොහොම පහසුයි. මොකද ළිංවල වතුර එතකොට ලුණු රස වෙනවා නේ.

බොහොම අපූරු, පුදුම සහගත අනෙක්‌ තැන තමයි, කීරමලේ පොකුණ. විශේෂත්වය තමයි සුලබව කඨ§න ජලය හමු වන යාපනයේ සුපිරිසිදු ජලය හමු වන එක ම තැන. ඒ විතරක්‌ නො වෙයි නො නවත්වා ම වතුර ගලා යන දිය උල්පතක්‌. පෙර විස්‌තර කළ විදියට කොහෙන් හෝ තැනකින් කිඳා බසින වැසි ජලය හුණු සමග මිශ්‍ර නො වී පොළොව අභ්‍යන්තරයේ උමං පද්ධතියක්‌ හරහා තරමක පීඩනයක්‌ යටතේ මේ ස්‌ථානයෙන් එළියට ගලා යනවා විය හැකියි. එහෙම නැතිනම් තවත් බොහොම දුරකින් ඒ කියන්නේ කිලිනොච්චිය, වව්නියාව වගේ ප්‍රදේශවලින් පොළොවට ගිලා බසිනා ජලය සිලිකාමය විපරිත පාෂාණ ඔස්‌සේ ඇති දීර්ඝ පැලුම් ඔස්‌සේ හුණුගල හා සම්බන්ධ වෙමින් මේ කදිම පිරිසිදු ජලය සපයන උල්පත නිර්මාණය කරනවා වෙන්නත් පුළුවන්. මේක නම් මගේ මතයක්‌.

ඒ කොහොම උනත් මෙවැනි සවිවර, කුහරමය, පාරගම්‍යතාව වැඩි පොළොවක තමයි යාපනයේ ජනතාව බොහෝ කාලයක්‌ තිස්‌සේ ගොවිතැන් කටයුතු කළේ. ඒ හුණුගල් ජීර්ණයෙන් හැදෙන පස බොහොම සාරවත් නිසා. ඔවුන් තමන් ගේ පාරම්පරික ක්‍රමවේද තමයි භාවිත කළේ. මෑත කාලයේ රසායනික ද්‍රව්‍ය භාවිතයත් සමග ගැටලු ගණනාවක්‌ යාපනය අර්ධද්වීපයේ ඇති වෙනවා. රසායනික ද්‍රව්‍ය නිසා පස ද ඉන් අනතුරුව භූගත ජලය ද ඉතා ම පහසුවෙන් දූෂණය වෙන්නේ ඉහත විස්‌තර කරපු අභ්‍යන්තර ව්‍යqහ නිසා. එක තැනකින් ඇතුළු වන දූෂක අප නො සිතන බොහෝ ප්‍රදේශයක්‌ පුරා පැතිර යන්න තියෙන හැකියාව ඉතා ම වැඩියි. දැනටමත් කෘෂිකාර්මික කටයුතු සදහා අධික නයිට්‌රේට්‌ පොහාර භාවිතයෙන් භූගත ජලය නයිටේට්‌වලින් දූෂණය වෙලා. ඒ වාගේ ම තමයි මෑතක දී දැනගන්නට ලැබුණ පරිදි කාර්මික අපද්‍රව්‍යත් භූගත ජලයට එකතු වෙන බව. ඉතින් ඔබට මම අමුතුවෙන් විස්‌තර කිරීම අනවශ්‍යයි නේ එතනින් එහාට මොකද වෙන්නේ කියලා. හොඳ, පිරිසිදු වතුර පිළිබඳ ගැටලුවක්‌ යාපනයේ තිබිය දී මෙවැනි ක්‍රියාකාරම් නිසා මේ ගැටලුව බොහොම බරපතළ තත්ත්වයකට පත් වේ වි. ඒ නිසා වගකිවයුතු ආයතන එකතු වී මේ ගැටලුව නිරාකරණය කරගැනීමට වහා ම පියවර ගැනීම අත්‍යවශ්‍ය වනවා.



ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Wednesday 28 March 2018

විදු පත් ඉරුව

2015  අප්‍රියෙල් 29බදාදා

සබරගොමුවේ උපන්න කෙනෙක්‌ හැටියට "සීතල දුරුත්තේ මීදුම් බර උදෑසන" කිසි විටකත් අමතක වෙන්නේ නැහැ. යුරෝපීයයන් ගේ ආක්‍රමණවල ප්‍රතිඵලයක්‌ හැටියට ලංකාවේ එකල ආර්ථිකයේ ප්‍රමුඛ බෝගයක්‌ වූ රබර් වගාව අප ප්‍රදේශයේ කඳුකරය වසා තිබූ නොඉඳුල් වනය පලවා හැර බින්න බැස්‌සත්, පොඩි කාලයේ ඒ අපූරු කාල පරිච්ඡේදය මගේ මතකයේ සදා නො මැකෙන ලෙස

රැෙදන්නේ කෘත්‍රිමව ගොඩනගන ලද ඒ පරිසරයේ පවා බොහෝ ස්‌වාභාවිකත්වයට ළං වූ දැ තවදුරටත් දක්‌නට තිබූ බැවිනුයි. ඒ බව කදිමට තහවුරු කරන්නේ උදුවප් පොහොයෙන් ඇරඹෙන ශ්‍රී පාදස්‌ථාන වන්දනාවත් සමග ම එහි ඇදෙන දහස්‌ සංඛ්‍යාත බැතිමතුන් සේ ම එදෙසට පියඹා යන්නා වූ සමනළ රෑන්. නා නා ප්‍රකාර වර්ණයන් ගෙන් යුක්‌ත වූ මේ සුන්දර සමනළ රෑන් උදෑසන මීදුම බිඳගෙන අපේ ගෙදර මිදුල හරහා වහලය උඩින් ශ්‍රී පාදස්‌ථානය දිශාවට පියඹා ගිය ආකාරය හරි ම චමත්කාරජනකයි. එක රෑනක නො ගිණිය හැකි තරම් වූ සමනළයන් වූ බව මගේ මතකය මට කියාපානවා.

නමුත් අද තත්ත්වය නො සිතූ ලෙස වෙනස්‌ වෙලා. ලංකාවේ බොහෝ ස්‌ථාන නාගරීකරණය වෙලා. කැළෑ හෙළි වී සුන්දර ව තිබූ ස්‌වාභාවික පරිසරය, ඉදි වුණු පරිසරයක්‌ බවට පත් වෙලා. අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු වූ වනාන්තර ප්‍රතිශතය දිනෙන් දින ම අඩු වන බවයි පෙනෙන්නේ. කොළ නිල් පැහැ ගත් ශ්‍රී ලාංකේය භූමිය දුඹුරු පැහැ ගැන්වෙමින් තිබෙන බව හොඳට ම පැහැදිලියි. මිනිසා ගේ ආක්‍රමණය එතරම් ම ප්‍රබල වෙලා. එනිසා ම ස්‌වාභාවික පරිසරයේ හිටිය ස්‌වාභාවික පරිසරයේ ම කොටසක්‌ වූ බොහෝ ජීවී විශේෂ වඳ වෙමිනුයි පවතින්නේ. ඔවුනට ඔවුන් ගේ ගම් බිම් අහිමි වෙලා. සමනළයන්ට ඔවුන් ගේ තිඹිරි ගෙය අහිමි වෙලා. එසේ හෙයින් ඔවුන් ගේ පරම්පරාව පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ හින්දා එදා මාස ගණනාවක්‌ පුරාවට සිරිපාදේ ගිය සමනළ රෑන් අද සොයාගැනීමට නොහැකි ලෙස ම අතුරුදන් වෙලා.

බොහොම අපූරු ජීවන චක්‍රයක්‌ පෙන්වන කෘමියකු වන සමනළයා ගේ සමස්‌ත ජීවන ගමන ම රැඳිලා තියෙන්නේ පරිසරයත් එක්‌ක නේ. කොටින් ම කිව්වොත් ගස්‌වැල් මත තමයි ජීවන චක්‍රයේ එක්‌ එක්‌ අවස්‌ථා වැඩෙන්නේ. එක්‌ අවස්‌ථාවක දී භවබෝගවලට තර්ජනයක්‌ වුණත් වැඩිහිටි අවස්‌ථාව වන විට සමනළයා ගෙන් අපට අත් වන්නේ ඉමහත් ප්‍රයෝජනයක්‌. ඒ, පරාගණය නම් වූ ශාකවල පැවැත්මට අතිශය වැදගත් මේ ක්‍රියාවලියට Rජු දායකත්වය සැපයීමෙන්. මල් හට ගැනීමටත් අවසන ගෙඩි හට ගැනීමටත්, එමගින් ශාකවල ප්‍රගමනය පවත්වාගැනීමත් සදහාත් පරාගණය බොහෝ ශාකවලට ඉතා ම වැදගත් වනවා. පරාගණ ක්‍රියාවලියට බාධාවක්‌ වුණොත් එහෙම මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.

සමනළයන් ඇතුළු බොහොමයක්‌ සතුන්ට තම ජීවිත ද පරම්පරාව ද පවත්වාගැනීමට නොහැකි වෙලා තියෙන්නේ මිනිසා ගේ අත්තනෝමතික ක්‍රියා නිසයි. ඒ අතර වනාන්තර එළි පෙහෙළි කිරීමට අමතරව තවත් කරුණු තියෙනවා. වගවිභාගයක්‌ නැති ව රසායනික පොහොර, කෘමිනාශක සහ වල්පළෑටිනාශක භාවිතය බොහොම දරුණු ලෙස පරිසර පද්ධතියෙන් මේ ජීවීන් සදහට ම ඉවත් කරන්න හේතු වෙලා තියෙනවා. පරිසර සමතුලිතතාව බිඳ වැටීම Rජුව ද වක්‍රව ද මේ සදහා හේතු වනවා. අනෙක්‌ අතින් අප ගේ නො සන්සිඳෙන අවශ්‍යතා සදහා දිනෙන් දින ස්‌ථාපිත වන කර්මාන්තවලින් බැහැර කරන අපද්‍රව්‍යත් හේතු වෙනවා. විශේෂයන් ම ජලයට සහ වායුගෝලයට නිදහස්‌ කරන විෂ ද්‍රව්‍ය ඉතා අහිතකර ලෙස මෙවැනි සියුම් සහ බොහෝ සංවේදී ජීවීන් කෙරෙහි බලපානවා. ඒ කෙසේ වෙතත් සමනළයන් ගේ නිජබිම් විනාශ කිරීමෙන් නො නැවතී දිගින් දිගට ම එම පරිසරයට විෂ පොවන්නට ද පෙලඹී සිටින අප බොහෝ විට සිදු කරනුයේ සැමරීම් දිනවල දී පමණක්‌ පරිසරයේ වටිනාකම ගැන කතා කර පසු දින සිට සියල්ල අමතක කිරීමයි.

අප කන අඹ ගෙඩියේත් පැපොල් ගෙඩියේත් වටිනාකම තක්‌සේරු කරන්න පුළුවන්. නමුත් ඒ වටිනාකමට සමනළයන් ගේ (මීමැස්‌සන් ගේත්) පරාගණ ක්‍රියාවලියේ වටිනාකම අපි එකතු කරනවා ද? වර්තමානයේ නම් අපි එකතු කරන්නේ පොහොර සහ කෘමිනාශක සදහා ගිය වියදමත් අපිට අවශ්‍ය වන ලාබයත් පමණයි. සමනළයන් (මීමැස්‌සනුත් ඇතුළුව) නිසා සිදු වන පරාගණය හේතුවෙන් ගස්‌වල ඵල හට ගැනීම සහ එමගින් ඊළඟ පරම්පරාව පැතිරීම ද එනිසා ම ශාකවල පැවැත්ම තහවුරු වීම හේතුවෙන් පරිසරයට ඔක්‌සිජන් වායුව පිට කිරීම ද පරිසරයේ කාබන්ඩයොක්‌සයිඩ් උරාගැනීම ද ඒ හේතුවෙන් පරිසරය උණුසුම් වීම් වළක්‌වාලීම ද යනාදී දාම ක්‍රියා සියල්ල එක්‌ කළ විට ඒ සියල්ලෙන් ම ලැබෙන ආර්ථික වාසි ගණනය කළ හොත් ඒ සදහා මුල් වූ සමනළයා ගෙන් සිදු වන සේවය කොපමණ වැදගත් ද යන්න අමුතුවෙන් විස්‌තර කළ යුතු නැහැ. එය වඩාත් හොඳින් තේරුම්ගත හැක්‌කේ සමනළයන් නැති දාක සිදු වන දෙය ගැන විශ්ලේෂණය කිරීමෙන්. එනිසා අප තේරුම්ගත යුත්තේ වත්මන වන විට පරිසර දූෂණයේ බොහෝ දුර ගොහින් ඇති මුත් ආපසු හැරී සංරක්‌ෂණ මාර්ගයේ යැමට තවමත් කාල වේලා ඇති බවයි.

සමනළයන් ගේ පැවැත්ම පරිසරයේ නිකෙලෙස්‌ බව නැතිනම් සුපිරිසිදු බව කියාපාන එක්‌තරා සාධකයක්‌ කියලත් කියන්න පුළුවන්. පරිසර දූෂණයට තිත තැබීමට හැකි නම් දැනට ඉතිරි වී ඇති සමනළ විශේෂ හෝ රැකගත හැකියි. පෞද්ගලික මට්‌ටමින් ද මේ සදහා ඔබ අප සියල්ලන්ට එක්‌ විය හැක්‌කේ කෙසේ ද? බොහොම සරලව ගත හොත් සමනළයන් ගේ ජීවන චක්‍රය පවත්වාගැනීමට සුදුසු බිමක්‌ සාදා දිය හැකි නම් තරමක්‌ හෝ දුරට තත්ත්වය ගොඩනැගිය හැකි වේ වි. ඔබේ ගෙවත්ත අලංකාර කිරීමේ දී සමනළයන්ට යෝග්‍ය වන ශාක සහ මල් වර්ග යොදාගත හැකි නම් ඔබේ ගෙවත්තට සමනළයන් නැවත පැමිණෙනවා නිසැකයි. ඊළඟට ගෙඩි නො හැදෙන අඹ ගහේ ගෙඩි හැදෙනු ඇති. එය පරිසර දූෂණය නිසාත් කාර්යබහුල රාජකාරි නිසාත් හෙම්බත් වූ ඔබේ සිතට සැනසුමක්‌ ගෙන දෙන එක ගැන නම් කිසි ම සැකයක්‌ නැහැ.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 26 March 2018

විදු පත් ඉරුව
2015  අප්‍රියෙල් 22 බදාදා

උත්තර දේවි දුම්රිය එක හුස්‌මට යාපනය බලා දුවනවා. අපේ ගමනාන්තය කිලිනොච්චිය. වව්නියාවට ළං වෙන්න බොහොම කිට්‌ටුයි. දොර කවුළුවෙන් පරිසරය රසවිඳිමින් සිටි මගේ අවධානය එක පාරට ම යොමු වුණේ දුම්රිය මාර්ගය දෙපස එක යායට වැවිලා තිබුණු කුඩා පඳුරු සමූහයක්‌ වෙතට. අඩියක්‌ එක හමාරක්‌ විතර උස ඒ මත්තේ පිපිලා තිබුණේ කුඩා සුදු පෙති මලක්‌. බොහොම පුරුදු පෙනුමක්‌. "පාතිනියම්" පැළ. පාතිනියම් වව්නියාවට කිට්‌ටු වෙන්න දුම්රිය මාර්ගය දෙපස බොහොම සරුවට වැවිලා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ඉඩම්වල, ගෙවතුවලත් වැවිල ඇති කියල මට එක්‌වර ම හිතුණා.


"පාතිනියම්" කියන්නේ ආක්‍රමණික ශාකයක්‌. ආක්‍රමණික ශාක කියන්නේ මොනව ද? බොහොම සරලව මේවා පිටරටවලින් මෙරටට ආපු ශාක කියලා හදුන්වන්න පුළුවන්. එයින් ඇත්තට ම ගම්‍ය වන්නේ අපේ රටේ ස්‌වාභාවිකව පරිසරයේ හමු නො වන ආගන්තුකයෙක්‌ කියන එකයි. මේ ශාකවලට ආගන්තුක ශාක කියලා කියන්නත් පුළුවන්. මේ ආක්‍රමණික ශාක අපේ දේශීය පරිසරයට ආගන්තුක වුණාට බොහොම ඉක්‌මනට පැතිරෙන්න හැකියාව තියෙනවා. එහෙම ඉක්‌මනට පැතිරිලා දේශීය ශාකවල වර්ධනයට තර්ජනයක්‌ වෙන නිසා එහෙම නැතිනම් දේශීය ශාක වැවෙන භුමිය ආක්‍රමණය කරන නිසා තමයි එනමින් මේ ශාක හදුන්වන්නේ. මෙලෙස දේශීය ශාක වැවෙන භුමිය ආක්‍රමණය කිරීම නිසා අපේ ශාක වර්ග සදහට ම වඳ වී යැමේ හැකියාව පවතිනවා. ආක්‍රමණික ශාක වර්ධනය වන්නේ නම් එය වහා නැවැත්විය යුතුයි.


පාතිනියම් පිළිබඳව කතා කරන විට මගේ මතකයට නැෙගන්නේ මේ ආක්‍රමණික ශාකය පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කළ කාල ය. අනූව දශකයේ අගභාගය වන විට තමයි මේ ශාකය පිළිබඳ කතාව කරළියට ආවේ. ආචාර්ය මැග්ඩන් ජයසූරිය තමයි ලාංකික ජනතාවට මේ ආක්‍රමණිකයා පිළිබඳව මුලින් ම හෙළි කළේ. ඉන්දියන් හමුදාව ලංකාවට එන විට ඔවුන් ගෙන ආපු වාහන සමග මේ ශාකවල බීජ ලංකාවට එන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ වන විට ඉන්දියාවේ මේ ශාකය වල් පැළෑටියක්‌ ලෙස බොහොම දරුණුවට පැතිරිලා තිබෙනවා. පසු කාලීනව පාතිනියම් බීජ ඉන්දියාවෙන් ගෙන්වන ලද මිරිස්‌ සහ ලූනු බීජ සමග ද මෙරටට එන්න ඇතැයි විශ්වාස කරනවා. පාතිනියම් බීජවලට බොහෝ කාලයක්‌ පරිසරයේ රැඳී සිටීමේ හැකියාවත්, ඕනෑ ම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාවත්, පහසුවෙන් පැළ වීමේ හැකියාවත් ඇති නිසා බොහොම ඉක්‌මනට ලංකාවේ උතුරු ප්‍රදේශයේ මේ ශාකය පැතිරිලා තියෙනවා. ක්‍රමයෙන් පැතිරුණ මේ අගන්තුකයා බොහොම ලෙහෙසියෙන් දේශීය ශාක සන්තතිය, විශේෂයන්ම පැළ වර්ග පැවැති භූමිය අක්‍රමණය කරමින් කඳුකරයට ම පැතිරුණා. මේවායේ පැතිරීම බොහොම දරුණුවට අපේ කුඹුරුවලට බලපෑවා.


මගේ මතකයේ හැටියට වසර 2000 දී පමණ පරිසර අමාත්‍යංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්‌ වී මේ ආක්‍රමණිකයා පැරදවීමේ සංග්‍රාමයක්‌ දියත් කළා. විශ්වවිද්‍යාලයයේ එකල බොහෝ ම සක්‍රිය ව තිබූ පරිසර සංගමයක්‌ වන හන්තාන සංරක්‌ෂණ සංගමයටත් ආරාධනාවක්‌ ලැබුණා මේ කර්තව්‍යය සදහා දායක වන ලෙස. බොහොම සතුටින් ඒ ආරාධනාව පිළිගත් අප සංගමයේ බොහෝ සාමාජිකයන් පිරිසක්‌ සමග එයට සහභාගී වුණා. අප සහභාගී වූ පාතිනියම් මර්දනය කිරීමේ එම ව්‍යාපෘතිය දියත් කළේ මේ පැළෑටි බහුලව වර්ධනය වෙලා තිබුණු කන්දකැටිය ප්‍රදේශයේ. එහේ කුඹුරු යායවල් සම්පූර්ණයෙන් ම මේ ආක්‍රමණිකයා බිලි අරගෙන තිබුණා. සමහර පාතිනියම් ශාක අඩි හයක්‌ අටක්‌ පමණ උසට බොහොම සරුවට වැඩිලා තිබුණා. එක ප්‍රදේශයක්‌ තෝරාගත් අප පිරිස එහි සියලු පාතිනියම් පැළ ගලවා අවසානයේ පුළුස්‌සා දැමුවා. සංකේතයක්‌ හැටියට ක්‍රියාත්මක වූ එම සංග්‍රාමය බොහොම සාර්ථකව සිදු වුණා. මේ ක්‍රියාවලියට විශ්වවිද්‍යාලයයේ අප සංගමය සක්‍රීය ව දායක කරගත් සහ එකල අප සංගමයට බොහෝ උපකාර කළ පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්‌ෂවරයකු වන අජිත් ද සිල්වා මහතා ස්‌තුති පූර්වකව මෙහි දී සිහිපත් කළ යුතුයි.

පාතිනියම් මර්දනය කිරීම සදහා ඒ කාලයේ ම නීති ද සම්පාදනය කරනු ලැබුවා. මගේ මතකයේ ඇති විදියට ලංකාවේ කිසි ම ඉඩමක පාතිනියම් තිබිය නොහැකි අතර ඒවා ගලවා ඉවත් කළ යුතුයි. එසේ පවතින්නේ නම් එය දඩුවම් ලැබිය හැකි වරදක්‌. ඒනිසා අප හැමෝ ම විශේෂයෙන් ම මේ ආක්‍රමණිකයා පිළිබඳව අවධානයෙන් සිට ඒවා මර්දනයට සහාය විය යුතුයි. නමුත් දැන් නම් බොහෝ දෙනකු ගේ මතකයෙන් මේ ආක්‍රමණිකයා පිළිබඳව සහ ඒ හා අදාළ තොරතුරු ගිලිහී ගිහිනුත් ඇති.


ලංකාව මෙලෙස ආක්‍රමණය කර ඇත්තේ පාතිනියම් පමණක්‌ නො වෙයි. තව ආක්‍රමණික ශාක බොහෝ ප්‍රමාණයක්‌ හඳුනාගෙන තියෙනවා. යෝධ නිදිකුම්බා, ගඳපාන, ජපන් ජබර, වෙල් ආත්තා, යුලෙක්‌ස්‌, හයිඩ්රිල්ලා, කටු පතොක්‌ වැනි ශාක මෙහි ලා සදහන් කළ හැකියි. එපමණක්‌ නො වේ. ආක්‍රමණික සතුන් ද ඇති බව ඔබ දන්නවා ඇති. විශේෂයන් ම සුරතල් සතුන් ලෙස ලංකාවට ගෙන ආ සමහර මාළුන් අද දේශීය විශේෂ සදහා බොහෝ තර්ජනයක්‌ වෙලා. එවැනි එක සතෙක්‌ තමයි "ටෑන්ක්‌ ක්‌ලීනර්" ලෙස හදුන්වන මාළුවා. ඒ වාගේ ම රන්වන් පැහැති ගොලුබෙලි විශේෂය. ඉතින් මෙවැනි සතුන් ද ශාක ද අප රටට ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ නම් හෝ ගෙනැවිත් ඇත්තේ නම් ඔවුන් ස්‌වාභාවික පරිසරයේ නිදහසේ පැතිරීම වැළැක්‌වීමට ඔබ වග බලාගත යුතුයි. මන්ද යත් අපේ ම ජීවී විශේෂ පරිසරයෙන් ඉවත් කිරීමට එය හේතුවක්‌ වන බැවින්.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 23 March 2018

විදු පත් ඉරුව
2015  අප්‍රියෙල් 08  බදාදා

"මගේ ෆොaන් එක හදන්න බෑ කිව්වා. දැන් ඉතින් අලුත් එකක්‌ ගන්න වෙනවා" මගේ මිත්‍රයෙක්‌ ගිය සතියේ කියාපු දේ නිසා එකවර ම මට සිතුනේ පරණ ෆොaන් එක කසළ ගොඩට නේ ද කියලා. මේ විදියට දිනකට ලංකාවේ කොපමණ දුරකථන ඉවත ලනවා ඇත් ද..? මගේ යාළු නම් කැඩුණු නිසයි අලුත් එකක්‌ ගන්නේ. එහෙම නැති ව කී දෙනෙක්‌ නම් නව පන්නයේ දුරකථනවලට මාරු වෙනවා ඇත් ද..? පත්තරේ බැලුවොත්, අන්තර්ජාලයේ හෙව්වොත් දිනෙන් දින නව මාදිලියේ දුරකථන කොපමණ නම් වෙළෙඳපොළට එනව ද කියලා අමුතුවෙන් විස්‌තර කරන්න ඕනේ නැහැ නේ. මෙවැනි නව පන්නයේ දුරකථන පාවිච්චි කරන්න අපි හැමෝ ම කැමතියි. හැබැයි කවුරු හරි හිතලා බැලුව ද පරණ දුරකථනයට මොකද කරන්නේ කියලා. මතක්‌ කරලා බැලුවොත් ගෙදර කොහේ හරි දාලා තිබිලා ටික දවසක්‌ යනකොට අස්‌පස්‌ කරන වෙලාවට එහෙම ම කුණු බක්‌කියට දාන එක තමයි කරන්නේ. ඊට පස්‌සේ මේ කුණු නගර සභාවෙන් අරන් යනවා. එහෙම බැලුවොත් නම් ඔන්න අපේ ප්‍රශ්නේ ඉවරයි.

ඒත් මේ ගෙනියන දේ නිසි පරිදි බැහැර කළේ නැත්නම් ඔන්න ලොකු ප්‍රශ්නයක්‌ ඇති වෙනවා. ඔයාලා සමහර අය දන්නවා ඇති මේ දුරකථන හදල තියෙන්න මොනවයින් ද කියලා. වැඩි ප්‍රමාණයක්‌ තියෙන්නේ ප්ලාස්‌ටික්‌. එයට අමතරව ලෝහ වර්ග. මේ ලෝහ අතර ඊයම්, කැඩ්මියම්, බෙරිලියම්, රසදිය වැනි බොහෝ ම විෂ ලෝහ වර්ගත් තියෙනවා. ඒක නිසා ක්‍රමානුකූලව බැහැර කළේ නැත්නම් මේවා පසට, ජලයට වගේ ම වාතයටත් එකතු වෙන්න පුළුවන්. මේ සමහර විෂ ලෝහ වර්ග ජීවින් තුළ එක්‌ රැස්‌ වීමේ හැකියාව තියෙනවා කියලා ඔබ දන්නව නේ. ඒක හින්දා දිගුකාලීනව මේ විෂ දද්‍රව්‍ය පරිසරයේ රැඳෙන විට ආහාර ජාලයට එක්‌ වෙලා අවසානයේ දී කැරකිලා ආපසු එන්නේ අපිටමයි. මේ දේවල් නිසා වකුගඩු රෝග, අක්‌මා රෝග සහ අස්‌ථි පද්ධතියේ රෝග ඇති කරනවා. ඒ විතරක්‌ නො වෙයි ස්‌නායු පද්ධතියේ පවා රෝග ඇති කරන්න මේවා හේතු වෙනවා.

මෙවැනි ද්‍රව්‍ය එනම් "ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය", ලෝකයට අද විශාල ගැටලුවක්‌ වෙලා තියෙනවා. දුරකථන පමණක්‌ නො වෙයි මෙහි දී රුපවාහිනි, රේඩියෝ, ශීතකරණ, පරිගණක, විදුලි පංකා යනාදී ඉලෙක්‌ට්‍රොනික උපාංග සියල්ල ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ගොඩට අයිති වෙනවා. දළ ගණනය කිරීම්වලට අනුව නම් වාර්ෂිකව ටොන් මිලියන 50ක්‌ මුළු ලෝකයේ ම ගොඩ ගැහෙන බවයි සදහන් වෙන්නේ. එයින් 15%ක්‌ පමණ තමයි ප්‍රතිචක්‍රීරකරණය වෙන්නේ. ඉතිරි සියල්ල මහපොළොවේ කොහේ හරි වළ දානවා. එහෙම නැතිනම් පුළුස්‌සලා දානවා. ඒකෙන් පෙනී යන්නේ අපි වැඩි වැඩියෙන් පරිසර දූෂණයට දායක වෙනවා කියන දේ. ස්‌වාභාවික සම්පත් වන බොරතෙල්, තිරුවානා වැනි ඛනිජ සහ අනෙකුත් ලෝහ ඛනිජ භාවිත කරලා අපේ පහසුවට හදන කෘත්‍රිම නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක්‌ ආපසු පරිසරයට එකතු වෙන්නේ පරිසරය ලෙඩ කරන දේවල් හැටියට කියලා අමුතුවෙන් තේරුම් කරන්න දෙයක්‌ නෑ නේ. අනිත් ගැටලුව තමයි මේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යවල ඇති බහුතරයක්‌ වන ප්ලාස්‌ටික්‌ නො දිරා බොහෝ කාලයක්‌ පරිසරයේ රැඳීම.

එහෙම නම් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමේ වගකීම අප සතු බව ඔබට පැහැදිලි ඇති නේ. දැනට ලංකාවේ නම් මෙවැනි අපද්‍රව්‍ය බැහැර කරන්න නීතිමය අවසර නැති නිසා එවැනි ස්‌ථාන සුලබ නැති බවයි පෙනී යන්නේ. ඒ කොහොම වුණත්a දැනට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් වෙලා දිවයින පුරා ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්‌ථාන පිහිටුවලා තියෙනවා. ඔවුන් ගේ වෙබ් අඩවියේ ඒ පිළිබඳව විස්‌තර සදහන් කරලා තියෙනවා. ඔයාල ගේ ප්‍රදේශයේ එකතු කරන මධ්‍යස්‌ථානය පිහිටි තැන ඒකෙන් බලා ගන්න පුළුවන්. එකතු කරන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යවල සමහර කොටස්‌ පෞද්ගලික ආයතන හයක්‌ මගින් ප්‍රතිචක්‍රීය කරන අතර ඉතිරිය අපනයනය කරන බවයි කියන්නේ. ගෙදර ගොඩගැහෙන මෙවැනි අපද්‍රව්‍ය පරෙස්‌සමට එකතු කරලා මේ මධ්‍යස්‌ථානයට දෙන්න ඔයාලා වගබලාගන්න ඕනේ. ඒ විතරක්‌ නො වෙයි ඔයාල ගේ යාළුවන්ටත් අසල්වැසියන්ටත් මේ බව කියලා පහදලා දෙන්න පුළුවන් නම් කදිමයි.

අලුත් අවුරුදු ළඟ නිසා මේ දවස්‌වල සැම තැනක ම පාහේ වෙළෙඳසල්වල භාණ්‌ඩ විකුණා ගන්න ලොකු තරගයක්‌ තමයි තියෙන්නේ. ගොඩක්‌ තැන්වල විශේෂ මිල අඩු කිරීම් එහෙමත් තියෙනවා. සමහර විට එකක්‌ ගත්තොත් තව එකක්‌ නොමිලේ දෙන්නත් ලෑස්‌තියි. ලොකු ප්‍රචාරයක්‌ දෙන්නේ ගෙදර දොරට අවශ්‍ය වන ඉලෙක්‌ට්‍රොනික බඩුවලටයි. අපට ඇදුම් පැළදුම්වලට අමතරව ඊළඟට ඉතින් අවශ්‍ය වෙන්නේ ඒවා නේ. සමහරු ඔන්න අලුත් මාදිලිවලට මාරු වෙන්න මේක අවස්‌ථාවක්‌ කරගන්නවා. අලුත් ඉලෙක්‌ට්‍රොනික්‌ උපකරණයක්‌ ගන්න ඔබත් සිතාගෙන ඉන්නවා නම් පොඩ්ඩක්‌ කලපනා කරලා බලන්න ඇත්තෙන් ම ඒ දෙය ඕනෙ ම ද කියලා. මොකද දැනට ඇති භාණ්‌ඩ හොඳින් ක්‍රියා කරනවා නම් ඔබට අවශ්‍ය කටයුත්ත එයින් කෙරෙනවා නම් අලුත් එකක්‌ ගැනීම අනවශ්‍ය දෙයක්‌ වේ වි. එක අතකින් මේ දේවල් අඩුවට දුන්නත් එය අප කරන අනවශ්‍ය වියදමක්‌. අනිත් දේ තමයි පරිසරයට හානියක්‌ කළ හැකි යමක්‌ අනවශ්‍ය ලෙස මිල දී ගැනීම. මොකද පරණ දේ ගබඩාවටත්, ඒකෙන් කුණු ගොඩටත් වැඩි කල් නො ගොසින් ම යන නිසා. ඉතින් මෙවැනි අවස්‌ථාවල අප බුද්ධිමත් ව සිතා බලා රැල්ලට හසු නො වී මෙවැනි භාණ්‌ඩ මිල දී ගන්නවා නම් හොඳයි. ඒක පොකට්‌ටුවට වගේ ම පරිසරයටත් කරන ඉතිරියක්‌.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 16 March 2018

විදු පත් ඉරුව
2015  අප්‍රියෙල් 01  බදාදා
කාලය යන ඉක්‌මන. ඔන්න ආයෙත් බක්‌ මහේ සිංහල අලුත් අවුරුදු මංගල්‍යය ළඟ ළඟ ම එනවා. ඉස්‌සර නම් කොහා බක්‌ මහ ආසන්නයේ දී තමයි පණිවිඩේ ගෙනාවේ. ඒ වුණාට මේ ළඟ දි ඉඳලා කොහා ලංකාවේ ම පදිංචි වෙලා වගෙයි. ඒක හින්දා පසු ගිය මාස කිහිපයේ ම කොහා ගේ හඬ නිතර ම ඇහුණා. සතුනුත් බලාගෙන ගියා ම පදිංචිය මාරු කරනවා වගෙයි. කවුද ඉතින් ලංකාව වගේ රටකට අකැමැති.

බක්‌මහ කියන කොට නිතැතින් ම මතකෙට එන්නේ අපේ පාරම්පරික සිරිත් විරිත්. දැන් නම් ඉතින් බොහොමයක්‌ අයට මේවා අමතක වෙලා ද කොහෙද. මුළු ලෝකය ම ගමක්‌ වෙද්දි අපේ ගම අමතක වෙලා. ඉතින් ඒ කොහොම වුණත්, පාරම්පරික සිරිත් විරිත් අමතක කරන එක නම් හොඳ දෙයක්‌ නො වෙයි. ඒ විතරක්‌ නො වෙයි, අපේ අවධානය යොමු කළ යුතුයි දේශීය ඥානය එහෙම නැතිනම් පාරම්පරික දැනුම කෙරෙහිත්. කාලාන්තරයක්‌ තිස්‌සේ පැවතුණ මේ දැනුම සැම විට ම කිසියම් සංස්‌කෘතියකට, ප්‍රදේශයකට, රටකට ආවේනිකයි. අපේ මුතුන් මිත්තන් තම ප්‍රත්‍යක්‌ෂයෙන් තහවුරු කරගත් දැනුම තමයි මේ ආකාරයට පැවතගෙන එන්නේ. ඉතින් බොහොමයක්‌ දේශීය දැනුම අපේ ජන ජීවිතය හා බැඳිලා තියෙනවා.

අප ඉගෙනගන්නා සහ භාවිත කරන බටහිර විද්‍යාවේ දැනුම තහවුරු වී ඇත්තේ බොහෝ විට කිසියම් සිද්ධාන්තයක්‌ මුල් කරගත් පර්යේෂණ මතයි. එහි දී අටවාගත් පරීක්‌ෂණය නිරීක්‌ෂණවලින් ලබාගත් දත්ත මත ඉදිරිපත් කළ සිද්ධාන්තය තහවුරු කිරීම (හෝ අසත්‍ය බව තහවුරු කිරීම) සිදු කෙරෙනවා. පාරම්පරික දැනුම සමාජගත වී ඇත්තේ ද මේ අකාරයට මයි. වෙනස ඇත්තේ බොහෝ විට එය කෙළින් ම එදිනෙදා ජන ජීවිතයේ භාවිතය තුළින් තහවුරු වීම තුළ කියලා මම හිතනවා. යම් ක්‍රමවේදයක්‌ භාවිතය තුළින් තහවුරු වීම යනු එහි භාවිතයේ නිවැරැදි බව ඉහළයි කියන එක.

අද මේ දැනුම ශීඝ්‍රයෙන් නැති වෙලා යන බවයි පේන්නේ. නවීන සමාජයේ ඒ පිළිබඳ අවධානය අඩු වීම හේතුවක්‌ වෙන්න පුළුවන්. නවීන ක්‍රම භාවිතය හින්දා කියලා කියන්නත් පුළුවන්. බටහිර විද්‍යාවෙන් සොයාගන්නා දැනුම සැම පරිසරයකට ම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එය වෙනත් පරිසරයක්‌ එහෙම නැතිනම් වෙනත් සංස්‌කෘතියක්‌ තුළ පැනනැගුණු හින්දා වෙන්නත් පුළුවන්. එනිසා කාලාන්තරයක්‌ තිස්‌සේ භාවිත කළ එහෙම නැතිනම් මුල් බැසගෙන තිබුණ දැනුම එක්‌වර ම හිතළු කියලා අප අයින් කිරීම හොඳ නැහැ. මන්ද යත් එය ද තවත් ශාස්‌ත්‍රයක්‌ වන නිසා.

ශ්‍රී ලංකාවේ පාරම්පරික දැනුම ඉතා විශාල ක්‌ෂේත්‍රයක්‌ පුරා පැතිර ඇති බව අපට පේනවා. කෘෂිකර්මය මුල් කරගත් සමාජ ක්‍රමයක්‌ මත ගොඩනැගුණ නිසා බොහෝ පාරම්පරික දැනුම ඒ හා සබැදුණ බවයි පෙනී යන්නේ. ඒ කොහොම වුණත් ශ්‍රී ලාංකික ජන සමාජය යහපත් ව පවත්වාගෙන යන්න එය මහඟු උපකාරයක්‌ වෙලා ඇති බව හොඳින් වැටහී යන්නක්‌. ලංකාවේ නම් අවුරුදු 2500කට වඩා පැරැණි සමාජයක තිබෙන දේශීය ඥානය අති විශිෂ්ට වූවක්‌ විය යුතුයි. සමහර කරුණු කාරණා සලකා බැලීමේ දී ඒ බව අපට මනාව තහවුරු වෙනවා. වර්තමානයේ අධික ලෙස රසායනික පොහොර භාවිතය නිසා මුළු ජන සමාජය ම අනතුරේ හෙළලා. එක්‌ උදාහරණයක්‌ වන්නේ රජරට වකුගඩු රෝගය. නමුත් පැරැණි ගොවියෝ වගා කටයුතු කිරීමේ දී කෘත්‍රිම පොහොර භාවිත නො කළ බව නොරහසක්‌ නේ. එනිසා ම බොහෝ ලෙඩ රෝගවලින් අපේ මුතුන් මිත්තන් වැළකුණා. ඒ විතරක්‌ නො වෙයි ඒක හින්දා පරිසරයත් බොහොම අපූරුවට රැකුණා. කුරුල්ලන්ට සමනළයන්ට රැකෙන්ට හේතුවක්‌ වුණා. ඇළේ දොළේ සිටි විවිධ වර්ගවල මාළු රැකුණා.

වගා කටයුතුවලට අවධානය යොමු කළ ගොවීන්ට, පැමිණෙන කාලගුණික වෙනස්‌කම් දැනගැනීමේ හැකියාව ද තිබුණු බව මේ දේශීය දැනුම පරීක්‌ෂා කළ විට හොඳින් පැහැදිලි වෙනවා. පරිසරයේ විවිධ සතුන් සහ ශාකවල ඇති වන වෙනස්‌කම් මූලික කරගත් නිරීක්‌ෂණ තුළින්a ඔවුන් නිගමනවලට එළඹුණා. එනිසා කල් ඇති ව තම භවභෝග ආරක්‌ෂා කරගන්නත්, පැමිණෙන කාලගුණයට ගැලපෙන වගා සිදු කරන්නටත් අපේ මුතුන් මිත්තන්ට හැකි වුණා. ආහාර සුරක්‌ෂිත කරගන්න හැකි වුණා. සමාජ පරිහානිය වැළකුණා.

එපමණක්‌ නො වෙයි අප හොඳින් දන්නා දේශීය වෙදකම ද තවත් එවැනි එක්‌ පෘථුල ශ්‍රී ලාංකීය දැනුම සම්භාරයක්‌. ලංකාවේ ද ඒ ඒ ප්‍රදේශවලට ආවේනික වූ බෙහෙත් වර්ග පැළ වර්ග යොදා ගනිමිනුයි මේ අපූරු වෙදකම සිදු කළේ. සැම අවස්‌ථාවක ම සමාජ යහපත උදෙසා ම පමණක්‌ භාවිත කළ බවයි පෙනී යන්නේ. විෂ වෙදකම ද, කැඩුම් බිඳුම් වෙදකම ද මෙහි ලා ප්‍රමුඛ බව අපට පැහැදිලියි. එනිසා ම තවමත් ගැමියෝ මෙවැනි ගැටලුවක දී සොයා යන්නේ එවැනි ජීවකයන්.

කොහොම වුණත් පැරැනි ශ්‍රී ලාංකීය සමාජය තුළ ඉතා මැනැවින් ස්‌ථාපිත වූ දේශීය විද්‍යාව දැනුමක්‌ වූ බවට අමුතුවෙන් විග්‍රහ කළ යුතු නො වන බවයි මට හිතෙන්නේ. ඉතින් එනිසා බටහිර විද්‍යාව ඉගෙනගන්නා දයාබර දූ දරුවන් ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව ද ඔයාල ගේ අවධානය යොමු කරන්න කියලා. තම පවුලේ, ගමේ, ප්‍රදේශයේ ඇති, දැනටත් භාවිත වන දේශීය දැනුම අරක්‌ෂා කරගන්න ඕනේ කියා එක හිතට ගන්න කාලය ඇවිල්ලා කියන එක. ඒක නිසා ඔබට පුළුවන් ඔබ දන්නා දැනුම ලියා තියන්න. තමන් ගේ වයසක සීයා ගෙන්, ආච්චි ගෙන් අහන්න, පැරැණි ඥාතීන් ගෙන් අහන්න. නවතම ක්‍රම ඇති නිසා පටිගත කරලා තියන්නත් පුළුවන්. උනන්දුව ඇති අයට පුළුවන් මේ ක්‍රම අත්හදාබලන්නත්. නො සලකා හැරීමෙන් අප විනාශ වීමට ඉඩ හරින්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ තහවුරු වූ තවත් වටිනා විද්‍යාවක්‌. ඒ බව තේරෙන විට අප බොහෝ ප්‍රමාද වී ඇති බව වැටහේ වි. එනිසා දේශීය දැනුම රැකගන්න නැවත භාවිතයට ගන්න හැකි සැම විට ම උත්සහ කළ යුතුයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...