ආර්ථික දියුණුවට විද්‍යාව,
තාක්ෂණය සහ නවෝත්පාදන ගෙන එන ස්වර්ණමය අවස්ථා වල ගිලිහීම සහ උපයෝගිතාව
ආර්ථික දියුණුවට විද්‍යාව,
තාක්ෂණය සහ නවෝත්පාදන
මෙයට දශක කිහිපයකට පෙර ජරා ජීර්ණ වූ මුඩුක්කු පිරුණු ප්‍රදේශයක්
හැදින්වුයේ “කොරියාව” යනුවෙනි. ඒ ඒතරම්ම කොරියාව ජරාජීරණ වූ පරිසරයකින් හෙබි අතිශය
දුප්පත් රටක් ලෙස අප අතර තිබු අත්දැකීමයි. 1960 දශකය වන විට දකුණු කොරියාවේ ඒක
පුද්ගල දල ජාතික නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් 80 ක් වන විට ශ්‍රී ලංකාවේ එය
ඇමෙරිකානු ඩොලර් 320 ක් පමණ විය. එකල්හි කොරියානුවන් ගේ පැතුම වුයේ ලංකාව වැනි
රටක් වන්නටය. 2010 වනවිට නොසිතු ලෙස දකුණු කොරියනු ඒකපුද්ගල දල ජාතික නිෂ්පාදනය
ඇමරිකානු ඩොලර් 20,757 ක් වූ අතර එම අගය ශ්‍රී ලංකාවේ 2,423කි. එසේ වුයේ කෙසේද..?
මෙතරම් දියුණුවක් කරා ලඟා වීමට ඔවුන් අනුගමනය කල සුවිශේෂි ක්‍රමෝපායන් කවරක් ද..?
සුක්ෂමව විමර්ශනය කල විට පැහැදිලි වන්නේ වර්තමානය වන විට ඔවුන් අතිශයින්ම විද්‍යාව,
තාක්ෂණය සහ නවෝත්පාදන මුලික කරගත්ආර්ථික රටාවකට අවතීරණය වී ඇති බවයි. මෙය මනාව
පැහැදිලිවන්නේ, දකුණු කොරියානු ආර්ථිකයේ නිෂ්පාදන අපනයනයෙන් ලබාගන්නා මුදලින්
33.4% පමණම අත්කර දෙන්නේ අධිතාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් අගය වැඩිකළ නිෂ්පාදන වලින්
වීමෙනි. වසර 2007 වන විට දකුණු කොරියාව
එරට දලජාතික නිෂ්පාදනයෙන් 3.47% පර්යේෂණ සහ තාක්ෂණික දියුණුව සඳහා වැය කර ඇත්තේ
විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ශක්තිමත් ආර්ථික රටාවකට හේතුවන නිසාවෙනි. එය වසර
2013 වන විට 4.3% දක්වා වැඩිකර ඇත. නමුත්, ශ්‍රී ලංකාවේ එම අගය 2008 දීත් 0.11% ක්
තරම් වූ සුළු ප්‍රමාණයකි. එයින් අදහස්වන්නේ පර්යේෂණ, තාක්ෂණ සහ නවෝත්පාදන වල සහය
ලංකික ආර්ථිකය ගොඩනැංවීම සඳහා එතරම් වැදගත් නොවන බවද..? එසේත් නොමැතිනම් ලාංකික
නිෂ්පාදන ලෝකයට විද්‍යාව සහ තාක්ෂණය භාවිතය පිළිබඳව විශ්වාසයක් නොමැති බවද..?
නැතිනම් මෙහි අගය තවම වටහාගෙන නොමැති බවද..? ලංකාව කෙරෙහි මෙම කරුණ කරණා එසේ වුවත්
විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන වල ආර්ථික දියුණුව සඳහා කොතරම් බලපාන්නේද යන්න ඔබ
දැනටමත් වැටහා ගෙන ඇතුවා නිසැකය. එය
තවදුරටත් ස්ථිර කරනුයේ, ඇමෙරිකාව, එංගලන්තය, ජපානය සහ චීනය වැනි රටවල් විද්‍යා සහ
තාක්ෂණික පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා කොතරම් මුදල් වෙන් කරන්නේද යන්නෙනි. වසර 2007
දී තම දල ජාතික නිෂ්පාදනයෙන් ඇමෙරිකාව
2.67% ක් ද, එංගලන්තය 1.84% ක් ද, ජපානය ඩොලර් 3.44% ක් ද සහ චීනය ඩොලර් 1.49% ක්
ද රටෙහි පර්යේෂණ සහ තාක්ෂණික දියුණුව සඳහා වැය කර අත්තේ ආර්ථිකය නගා සිටුවීම සඳහා
විද්‍යාත්මක භාවිතය කොතරම් වැදගත්ද යන්න අවබෝද කර ගෙනය.
ලෝක තරඟකාරීත්ව දර්ශකයට (Global Competitiveness Index-
GCI) අනුව 2013-2014 සදහා මුල් දස ස්ථානයන් ලබා ගෙන ඇත්තේ යුරෝපියානු රටවල්ය.
එයිනුත් ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, ජර්මනිය, ස්වීඩනය සහ නෙදර්ලන්තය පෙරමුණ ගනී. රටවල්හි
ආර්ථික පැතිකඩවල් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ප්‍රධාන දායකත්වය සපයා ඇත්තේ විද්‍යාත්මක
පර්යේෂණ සහ නවෝත්පාදන මගින් බවයි. එපමණක් නොව ලෝක නවෝත්පාදන දර්ශකයට (Global
Innovation Index) අනුව පසුගිය අවුරුදු පහ මුළුල්ලේම එහි මුල්තැන ගන්නට සමත් වී
ඇත්තේ ස්විට්සර්ලන්තයයි. ඉතිරි ස්ථාන හතරම හිමිකරගෙන ඇත්තේ විද්‍යාව, තාක්ෂණය සහ
නවෝත්පාදන වල සහය ආර්ථිකයට මුසු කර ගත්යුරෝපියානු රටවල් වීම ද විශේෂත්වයකි. මෙම
දර්ශකයට අනුව 2013 වසරේදී 98 ස්ථානයේ පසු වූ අප රට මෙම වසර වන විට 105 ස්ථානයට පසු
බැස ඇති බව පෙනී යයි.
පර්යේෂණ සදහා වැය කරන මුදල මනා ආයෝජනයක් බවට පත් කිරීම
සදහා ඉතා කදිම උදාහරණයක් ඇමෙරිකා එක්සත් ජනපදය සපයයි. ඔවුන් විසින් දියත් කරන ලද
මානව ජිනොම ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුදල ඩොලර් බිලියන 3.8 ක් වේ. එමගින්
රැකියා අවස්ථා 310,000 ලබා දී ඇත. එමෙන්ම එම වැයකළ සෑම ඩොලරයකින්ම වර්තමානයේ ඩොලර්
141 උපයමින් සිටියි. මෙමගින්ද මනාව ගම්‍ය වන්නේ රටක ආර්ථිකය ගොඩනැගීම සදහා
අතිශයින්ම විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්‍රියාදාමය අත්‍යවශය බවයි. දුරදර්ශි ක්‍රියාපිලිවෙතක්
ඇතිකරගැනිමත් ඒ සදහා කාලින සහ අවස්ථානුකූල ක්‍රමෝපායන් විද්‍යාව සහ තාක්ෂණික
පර්යේෂණ තුලින් දියත් කිරීමත් රටක බල සම්පන්න ආර්ථික වර්ධනයකට හේතුවේ. මේ සදහා
ඇතිවන්නා වූ අවස්ථාවන් හදුනාගැනීමත්, අවස්ථා අතපසු කිරීම හෝ නොසලකා නොහැරිමත් මනා
වූ ශක්තිමත් ආර්ථික ගමනකට හේතුවේ. මෙම ගමනේදී නවෝත්පාදන සදහා අවස්ථාවන් සැලසීමත්,
පහසුකම් සැපයීමත් එමෙන්ම නිපදවන්නා වූ නව නිපැයුම් රටෙහි ආර්ථික සංවර්ධනයට මුසු
කරගැනීමට වැඩ පිළිවෙලක් ද සකස් කලයුතුය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කරණු ලබන්නාවූ සමීක්ෂණ මගින්
අඩුලුහුඩුකම් සහ දුර්වලකම් වටහා ගත හැකි අතර විද්‍යාත්මක ක්‍රමවේදයන්ගේ
දායකත්වයෙන් එවැනි ක්ෂේත්‍ර උදෙසා ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කිරීම එතරම් අසීරු
කාරියක් නොවේ.
කෙසේ වෙතත් පසු ගිය කාල වකවානුවේදී ලාංකික ජන සමාජය තුල
නොවොත්පාදන කෙරෙහි කිසියම් පිබිදීමක් දක්නට ලැබීම යහපත් ප්‍රවනතාවයක් ලෙස සැලකිය
හැකියි. ශ්‍රී ලංකා නවෝත්පාදන කොමිසන් සභාව මගින් වාර්ෂිකව සිදු කරන්නා වූ තරඟකාරී
ප්‍රදර්ශන මගින් නවෝත්පාදන කෙරෙහි ලාංකික ජනතාව උනන්දු කිරීම ඉතා අගේ කොට යුත්තකි.
එමගින් කිසියම් ආකාරයකට විශේෂයෙන්ම රටේ ඉදිරි ජිවනාලිය වන්නා වූ ළමා පරපුර උදෙසා
යහපත් පරිසරයක් ගොඩනැගෙමින් තිබෙන බව පෙනී යයි. නිසි ආකාරයට ක්‍රියාත්මක වුවහොත්
ඉදිරි දශකය තුල එම නවෝත්පාදන ජාතික ආර්ථිකයට මුසු කරගැනීමට එතරම් අපහසු කර්තව්‍යක්
නොවනු ඇත.
ගිලිහුන ස්වර්ණමය අවස්ථා
ඇතිවන්නාවූ නවොත්පාදන සහ පර්යේෂණ වල ප්‍රතිපල රටේ ජාතික
ආර්ථිකයට සම්බන්ද කර ගැනීමට නොහැකි වුවහොත් එය ඛේදජනක සිදුවීමක් වනවා නොඅනුමානයි.
අතීතය මේ සදහා ඉතා කදිම සාක්‍ෂි සපයයි. ආචාර්ය රේ විජේවර්ධන මහතා විසින් 1955 දී
කුඩා පරිමාණ වී ගොවිතැන පහසු කිරීමට සැදු අත් ට්‍රැක්ටරයෙහි නිෂ්පාදන අයිතිය
ලංකාවට අහිමි වීය. එකල්හි පැවතුන ලාංකික
රජයෙහි මෙන්ම පුද්ගලික අංශයේද යම් යම් පසුබෑම් හේතුවෙන් එම නව නිපයුමෙහි නිෂ්පාදන
අයිතිය එංගලන්තයේ නොටින්හැම් ප්‍රාන්තයේ ලෑන්ඩ්මාස්ටර් නම් වූ සමාගම ලබා ගත් අතර
ඔවුන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර ලොව පුර බෙදා හැරීමට කටයුතු කළහ. විශාල විදේශ
විනිමයක් එංගලන්තයට ලබා ගැනීමට එමගින් හැකිවුණි. නමුත් කෙසේ හෝ අකාරයකට මෙම
නිර්මාණය ලංකාව තුල රදවා ගැනීමට සමත් වුයේ නම් එම විදේශ විනිමයේ හිමි කරුවා වන්නේ
ලංකාවයි. ආචාර්ය කුලසිංහයන් විසින් ලංකාවට
පෙර සවි කොන්ක්‍රීට් තාක්ෂණය හදුන්වා දෙමින් ගොඩනැගිලි කර්මාන්තයට නව ජීවයක් ලබා
දුනි. එපමණක් නොව ලොව පළමු වතාවට කොන්ක්‍රීට් සිල්පර කොට දුම්රිය අංශයට හදුන්වා
දෙමින් ලී සිල්පර කොට භාවිතය ඉවත් කිරීමට අඩිතාලම දැමුණි. 1956 දි මෙම තාක්ෂණය
සදහා පේටන්ට් බලපත්‍ර ලබා ගත්තත් අද වනවිට මෙම තාක්ෂණය ලොව පුරා නිදහසේ භාවිතා
වෙන්නේ ලංකාවට කිසිම මුදලක් ලබා නොදෙමිනි. අද වන විට අපදා කළමනාකරණය පිලිබඳ
නිරන්තරයෙන් කතාකරමින් සිටි. මේ වන විටත් කොස්ලන්ද ප්‍රදේශයේ ඇති වූ නායයාමක්
හේතුවෙන් විශාල පිරිසක් අවතැන් වී ඇත. සහන සැලසීම සදහා හදිසි වැඩපිළිවෙලක දියත්
කළයුතුව ඇත.අපදා කළමනාකරණය සදහා ශ්‍රී ලාංකිකයෙකු විසින් නිර්මාණය කල “ සහන”
මුදෘකනගය ඇමෙරිකාව. පිලිපීනය ඇතුළු රටවල ගණනාවක භාවිත කලත් මෙරට ඒ සදහා අවස්ථාව
ලබා නැති බව පෙනී යයි. මෙවැනි අවස්ථා ගිලිහෙන්නට නොදී අපේම නිර්මාණ අගය කරමින් ඒවා
භාවිතයට ගැනීමට වැඩ පිළිවෙලක් සකස් වන්නේනම් දැනුම පදනම් කරගත් ආර්ථික සංවර්ධනයක්
උදෙසා මෙරට යන ගමනට මනා රුකුලක් වනවා නොඅනුමානය.
එක්තරා අකාරයකට මෙවැනි ගිලිහුන අවස්ථා සමහරක් විටෙක
ලාංකික ආර්ථිකයේ ස්වර්ණමය අවස්ථා වෙන්නට තිබුණි. නමුත් අදවන විට එම ස්වර්ණමය
අවස්ථා ගිලිහි ගොස් අවසානය. එමනිසා පේටන්ට් කිරීම වැනි ක්‍රියාදාමයන් මගින් දේශීය
නව නිෂ්පාදන වල අයිතිය තහවුරු කිරීම අත්‍යවශය වේ. දේශීය පේටන්ට් බලපත්‍ර සදහා එතරම්
මුදලක් මේ සදහා වැය නොවුනද අන්තර් ජාතික වශයෙන් වැදගත් වන්නවූ පේටන්ට් බලපත්‍ර
සදහා විශාල මුදලක් වැය වේ. බොහොමයක් අවස්ථාවලදී ලාංකික නවොත්පාදකයා මේ සදහා
අපොහොසත් වෙයි. එමනිසා ඔහුගේ එම අයිතිය තහවුරු කල හැකි ක්‍රමවේදයක් මෙන්ම එමගින් නව
කර්මාන්ත උත්පාදනය කෙරෙහි උනන්දු කලයුතු වේ.
විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන වල උපයෝගිතාවය රටේ
ආර්ථිකයට කොතරම් වැදගත් වුවත්, නිසි කළමනාකරණය සදහාත් උපරිම භාවිතය සදහාත් මනා
නීති පද්ධතියක් අත්‍යවශය වේ. නැතහොත්
පවතින හිදැස් තුලින් රිංගා යමින් රටේ දැනුම, සම්පත් සහ නිෂ්පාදන පස්සා දොරෙන්ම
පිටමන් වීමට ඉඩ ඇත. මෙවැනි අත්දැකීම් අප සතුව නැතුවද නොවේ. මේ වන විට සමහරක් දේශීය
ශාකවල සහ ඒවායේ නිෂ්පාදන අයිතිය අපහට අහිමි වී ගොස් ඇත. හොඳම උදාහරණය වන්නේ වියලි
කලාපයන් අපට හමුවන දේශීය ශාඛයක් වන කොතලහිම්බුටු වල අයිතිය ජපානය සතු කරගැනීමයි.
එයින් කෙරෙන්නාවූ නිෂ්පාදන සදහා පේටන්ට් පත්‍ර 9 පමණ ලබා ගෙන ඇත. එපමණක් නොව
කඳුකරයේ වැවෙන අලංකාර පුෂ්පයක් ගෙන දෙන දේශීය නිල් බිනර පැලෑටිය සදහා වූ
අයිතියද අහිමිව ඇත. මේ ආකාරයට සියයට අධික සංඛාවක් පමණ
දේශීය ශාක වල අයිතිය අද අහිමිව ගොස් ඇත. මෙය ඉතා කණගාටුදායක තත්වයකි. හොරෙන් රැගෙන
යාම මෙන්ම පර්යේෂණ සදහාද වෙනත් රටවල් වලට මෙම ද්‍රව්‍ය රැගෙන යාම හේතුවෙන් මෙලෙස
දේශීය ජාන සම්පත අහිමිවිමේ ප්‍රවනතාවය ඇත.
විද්‍යා දැනුම ප්‍රචාරණය
සහ දේශීය ව්‍යාප්තිය
නිදහස් අද්‍යාපනය හේතුවෙන් ග්‍රාමීය දරු දැරියන්ට අකුරු
කිරීමේ හැකියාව ලැබීම මෙරටට ලැබුන ඉතා වටිනා තත්වයකි. ඉහල සාක්ෂරතාවය හේතුවෙන්
තොරතුරු හුවමාරුව ඉතා පහසු වීමත් කවර හෝ ආකාරයේ දැනුම් පද්ධතියක් ඉතා පහසුවෙන් ප්‍රචාරණය
කිරීමත් හැකි වී ඇත. නමුත් විද්‍යාව සහ තාක්ෂනයන් පිල්බන්ඩ් දැනුම දේශීය දැනුම්
පද්ධතිය තුලට සුසංයෝජනය වීම තරමක පසු බෑමක් වී ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ විද්‍යාත්මක
දැනුම සිංහලට පරිවර්තනය වීමේ ගැටලුවයි. නිසි පද පෙරළියත් සමගම එදිනෙදා ජීවිතයේදී
විද්‍යාත්මක දැනුම පැතිර විය හැකි ක්‍රමවේදයක් දියත් කිරීම මගින් මෙම අඩුව පුරවාලිය
හැක. එදිනෙදා මාධ්‍ය මගින් මෙම කර්තව්‍ය ඉතා පහසුවෙන් කල හැකි නමුත් එම ක්ෂේත්‍ර
තුලද මේ කෙරෙහි ඇත්තාවූ දියාරු ප්‍රතිපත්තිය හේතුවෙන් එම මාර්ගයද ඇහිරී ඇත. ඒ කෙසේ
වෙතත් දැනට අවුරුදු 27 කල් සිට “ විදුසර” මෙම කර්තව්‍යට උර දෙමින් ඉතා අගනා මෙහයක්
ඉටු කරයි. මෙම උසස් කාරිය හේතුවෙන් දශක තුනකට අසන්න කාලයක් තුල විදුසර විද්‍යා
දැනුම උරා ගත් දේශීය ජනතාව එම දැනුම ලාංකික ආර්ථිකයට එකතුකරන කාලය දැනටමත් එළඹ ඇති
බව නොඅනුමානය. එමනිසා විදුසර නිසොල්මනේ සිදුකරන මෙහෙය ඉතා ඉහලින් අගය කල යුක්තකි. එලෙස
සැම මාධ්‍යකම කිසියම් වෙලාවක් හෝ ඉඩක් වෙන් කළහැකි නම් ඉතා වටිනා කර්තවයකි. විද්‍යා
දැනුම ව්‍යාප්ත කිරීම සදහා රාජ්‍ය පාලන තන්ත්‍රය මුලික වීම ද අනිවාර්ය වේ. ඒ මගින්
ලබා දෙන්නා වූ උත්තේජනය රට තුල විද්‍යා දැනුම ප්‍රචාරණය ස්ථාපිත කිරීමට ඉවහල් වේ. එවැනි
දෙයකට හොඳම උදාහරණය වන්නේ පවතින පාලන තන්ත්‍රය දියත් කරන ලද පරිගණක මධ්‍යස්ථාන
ඇතිකිරීමේ ක්‍රියාවලියයි. මෙමගින් පාසල් විශාල ප්‍රමාණයකට දැනුම ලබා ගැනීම සදහා
දොරටු විවර කිරීමක් හා වන්නකි එමෙන්ම එයට සමගාමිව පුද්ගලික අංශයද මෙවැනි ක්‍රියාදාමයක්
ආරම්භ කිරීම මගින් තව තවත් අවස්ථා ඇතිකරමින් පරිගණක දැනුමැති පුද්ගලයන්ගේ සේවය
ජාතික ආර්ථිකයට දායක කිරීමට කැප වීම ඉතා අගනේය.
විද්‍යා ඥානය දේශය තුල
රදවා ගැනීම
කෙසේවෙතත් විද්‍යා දැනුමින් පොෂිත පුද්ගලයන් ගේ හිගය
වැඩිවෙමින් පවතින බව මගේ හැඟීමයි. එයට ප්‍රධාන වන්නේ විද්‍යා ක්සේත්‍රය තුලින්
උසස් අධ්‍යාපනයට ඇත්තා වූ අඩු නැඹුරුතාවයත් එමෙන්ම විද්‍යා ප්‍රවීනයන්ගේ
(විද්යන්ගයන්ගේ) නිරන්තර රට හැර යාමත් ය. නිසි සැලකිල්ලත් පර්යේෂණ සදහා පවතින පාලන
රටාව තුල ඇති ඍනාත්මක ආකලපත්, විද්‍යා පර්යේෂකයන් සදහා ලැබෙන අඩු වේතනයත්, විදෙස්
රටවලින් ලැබෙනා සැලකිල්ල සහ ඉහල වේතනද මේ සදහා හේතුවේ. ආචාර්ය සරත් ගුණපාල සහ
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ වැන්නවුන් අද ලෝකයට කරන මෙහෙය අතිශය අගය කල යුතු
නමුත් ඔවුන් අදාල පහසුකම් සහිතව මෙරට රදවා ගැනීමට හැකි වූවානම් ඔවුන්
වැන්නවුන්ගෙන් ජාතික ආර්ථිකයට ලැබෙන්නා වූ දායකත්වය ගැන අමුතුවෙන් විස්තර කලයුතු
නොවේ. කෙසේ හෝ මෙරට හැදි වැඩි නිදහස් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයෙන් දැනුම
වර්ධනය කරගත් මෙවැනි ප්‍රවීනයන් මෙරටට අහිමි වීම කෙරෙහි පාලන තන්ත්‍රය තම අවධානය
වඩාත් යොමු කල යුතු කාලය එළඹ ඇති බව හැඟෙන්නේ ලෝකයේ බොහෝමයක් රටවල් තම ආර්ථිකය දියුණු කර අත්තේ විද්‍යා,
තාක්ෂණ සහ නවෝත්පාදන උපයෝගී කරගත් වැඩ පිලිවෙලකින් වීම හේතුවෙනි.
පාරම්පරික දේශිය ඥානයේ
භාවිතය
අපගේ අවධානය යොමු විය යුතු තවත් පාර්ශවයක් ඇත. එනම් දැනට
දේශීයව වර්ධනය වූ සහ රැකගෙන ආ දැනුම් පද්ධතියයි.
වසර දහස් ගණනක සිට ප්‍රයෝගිකව සපථ කල මෙම දැනුම් පද්ධතිය මෙරට ආර්ථික
දියුණුව උදෙසා ලබා ගත හැකිය. කෘෂිකාර්මික අංශයේ සිට සවුඛ්‍ය අංශයද, ජල කළමනාකරණයද
ඇතුළුව සකලවිද ක්ෂේත්‍රයන්හි අප ලබා ඇති දේශීය ඥානය අමිලය. ඉතා සුළු ක්‍රියාකාරකමකීන්
බොහෝ දේ කල හැකි ක්‍රමවේද මෙම දැනුම පද්ධතිය තුල ඇති බව අප බොහෝ දෙනෙක් ප්‍රයෝගිකව
අත් දැක ඇති බවට නිසැකය. විශේෂයෙන්ම විවිධ රෝගාබාධ සුව කිරීමේදී මෙම දැනුම අප
තවමත් උපයෝගී කර ගනී. විවිධ ශල්‍ය කර්ම සදහා වුවද පැරණි වෙදකමෙහි ක්‍රම වේද තිබී
ඇත. එමෙන්ම අපගේ ශරීරයට පමණක් නොව ගහට කොළට පවා හානියක් නොකර සිදු කළහැකි සුව
කිරීමේ ක්‍රමවේද ඇති බවද අද තහවුරු වී ඇත. එනිසා මෙම දේශීය දැනුම පද්ධතිය තුලින් ලබා
ගත් ඥානය තාක්ෂණ සහ නවෝත්පාදන කෙරෙහි යොමු කරවීම රටෙහි ආර්ථික දියුණුව ඇතිකරගැනීම
සදහා ප්‍රබල දායකත්වක් ලබා ගත හැකිවෙන බව නොඅනුමානය.
විද්‍යා, තාක්ෂණ සහ
නවෝත්පාදන වල වර්තමාන දායකත්ව
අද ලංකාවේ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රය තුල
ඇතිකරගත් සහ ඇතිකර ගෙනන යමින් සිටින්නාවූ දියුනුව පිලිබඳවද අප අවදානය සිදු කල
යුතුයි. පැරණි ආර්ථික බෝග වන තේ රබර් පොල් යනාදීය සදහා පමණක් නොව අනෙකුත්
කෘෂිකාර්මික බෝග සදහාද විවිධ පර්යේෂණ සහ තාක්ෂණ ආයතන පිහිටුවා ඇත. එවායෙ මෙම බෝගවල
උපරිම උපයෝගිතාවය සදහා නිරන්තර පර්යේෂණ සිදුකෙරන අතර ඉතා සාර්ථක ප්‍රතිපල අත්කගෙන
ඇත. වී පර්යේෂණ ආයතනය විසින් එහි හැට වසරක කාලය තුල නව වී වර්ග හැටක් ද දෙමුහුන්
වී වර්ග පහළොවක් ද දේශීය වී ගොවිතැනට දායක කිරීම එම පර්යේෂණ ආයතනයේ ක්‍රියාශීලි
බවට කදිම සාක්ශියකි. එමෙන්ම රබර් පර්යේෂණ ආයතනයද, තේ පර්හ්ෂණ ආයතනයද මෙලෙසම වැඩි
දියුණු කල විශේෂ අදාළ බෝග ක්ෂේත්‍රවලට දායක කර ඇත. එනිසා වැඩි පලදාවක්ද, රෝග වලට
මෙන්ම ලාංකික පරිසරයට ඔරොත්තු දෙන විශේෂ මෙරටට ලබා දීමට තරම් සාර්ථක වී ඇත. එමනිසා
මෙම පර්යේෂණ හේතුවෙන් මෙම ආර්ථික බෝග කිසියම් ප්‍රමාණයකට ඉහලට ගෙන ඒමට සමත්වීම
විද්‍යා පර්යේෂණ වල සහ තාක්ෂණ භාවිතයේ අවශයත්වයට කදිම නිදසුන් වේ. නමුත් මේ සදහා
මුදල් ආයෝජනය කිරීම වැඩි කිරීමත් නවතම ක්‍රමවේද භාවිතයත් පිලිබඳ අවදානය යොමු කල
යුතුය.
මෙම පර්යේෂණ වල සාර්ථකත්වය පිලිබඳ තව දුරටත් සදහන්
කරන්නේ නම්, කර්මාන්ත තාක්ෂණ පර්යේෂණ ආයතනය (Industral Technology Institute)
මගින් සිදු කල පර්යේෂණ වල ප්‍රතිපලයක් ලෙස හදුන්වා දුන් කිතුල් මලෙන් වැඩි දියර ප්‍රමානයක්
ගත හැකි ක්‍රම වේදය ඉතා සාර්ථක වූ පර්යේෂණයක ප්‍රතිපල බව මෙහි ලා සදහන් කල හැක.
දේශීය කිතුල් පැණි සහ හකුරු කර්මාන්තය සිදුකරන්නන්හට තම ජීවනාලිය සාර්ථක කර ගැනීමට
විද්‍යා පර්යේෂණ වල දායකත්ව ලබාදුන් කදිම නිදසුනකි. මෙවැනි පර්යේෂණ තව බොහොමයක්
සිදුකර ඇති අතර තව දුරටත් සිදුවෙමින් පවතී. 1999 සිට 2014 වර්ෂය වන විට ශ්‍රී
ලාංකික පර්යේෂකයන් පර්යේෂණ පත්‍රිකා 5000 කට අධික සංක්‍යවක් අන්තර්ජාතික පර්යේෂණ
සඟරා වල පල කර ඇත. නමුත් අපගේ අවධානය යොමු විය යුත්තේ මෙම පර්යේෂණ පත්‍රිකා වල ප්‍රතිපල
ජාතික ආර්ථිකයට මුසු කරගන්නා ආකාරයයි.
අනාගතය සරු කර ගැනීමට
නම්
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙලෙස විද්‍යාත්මක පර්යේෂණත්, නව
තාක්ෂනයන් සහ ඒවායේ දියුණුවත්, නවොත්පාදනත් සදහා දැනුමද මානව සමපතද ඇති බව අද
තහවුරු වී ඇත. එමනිසා අප සතු සම්පත් පිලිබඳ මනා වැටහීමකින් යුක්තව විද්‍යා, තාක්ෂණ
සහ නවෝත්පාදන ආර්ථිකයට මුසු කරගැනීමේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කිරීමට නිසිකල
එළඹ ඇත. මෙවර අයවැය යෝජනාවේදී විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන වල දායකත්වය මෙරට
ආර්ථික වර්ධනය සදහා අවශ්‍ය බව සදහන් කිරීම මේ පිළිබඳව පාලන තන්ත්‍රය වටහා ගෙන ඇති
බවට යම් කිසි කොළ එළියක් දැල්වීමක් මෙන්ම විද්‍යා හා තක්ෂණ පර්යේෂකයන්ටද, දේශීය
නවොත්පාදකයන්ටද එය මෙරට රැදීමටත්, තම නිපැයුම් සහ සොයාගැනීම් නිෂ්පාදන ක්ෂේත්‍රයට
දායක කිරීමටත් අවකාශය ලැබෙනු ඇතැයි සිතිය හැකි වේ. කෙසේවෙතත් වැදගත් වන්නේ මෙම
යෝජනා සංකල්පනා වලට පමණක් සිමා නොකර දේශයට ආදරය කරන, දේශයේ දියුණුවට කැප වෙන මානව
සම්පත හරහා සක්‍රියව ක්‍රියාවට නැගීමයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ