ජල දුෂණය
ජල දුෂණය රටෙහි ජාතික
වශයෙන් වැදගත්කමකින් හෙබි මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව වර්ථමානයේ සිදුවූ
ආන්දෝලාත්මක සිදුවීම් කිහිපයක් නිසා පැහැදිලි වේ. එමෙන්ම කර්මාන්ත හේතුවෙන්
සිදුවන්නා වූ ජල දුෂණය පිලිබඳ ජනතාව අවදියෙන් සිටින බව එම සිදුවීම් වල දී ඔවුන් ක්‍රියාකළ
ආකාරයෙන් තේරුම් යයි. එම සිදුවීම් හොඳින් විශ්ලේෂණය කල විට පැහැදිලි වන්නේ ජල
දුෂණය විද්‍යාත්මකව ජනතාවට පැහැදිලි කිරීමේදීත්, ඒ සඳහා භාවිතා වන විද්‍යාත්මක පරාමිතින්
සහ ඒවායේ සම්බන්දතාවය පිළිබඳව ජනතාව තුලත් අඩු අවබෝදයක් ඇති බවයි. එය වඩාත් තිවෳරව දැනෙන්නේ වර්තමාන සිදුවීම් වලදී
ජලයේ ආම්ලික- භාෂ්මිකතාවය විස්තර කෙරෙන පී.එච්. අගය සහ ජල දුෂණය පිළිබඳව ඇති වී
ඇත්තාවූ නොපැහදිලි බවයි. එය තවදුරටත් සරල කළහොත්, “පී.එච් අගය ජල දුෂණය මනින සාධකයක්
ලෙස ගත හැකිද ?” ලෙස ගත හැක. පිළිතුර ලෙස “ඔවු” යන්න වගේම තවත් කරුණු කාරනා
කිහිපයක් නිසාම “ නැත” යන්නත් දිය හැකියි. එනිසා ශ්‍රී ලංකිකයන් සියලු දෙනාම
යැපෙන්නා වූ මෙරටෙහි මිරිදිය (මතුපිට සහ භූ ගත ජලය) කේන්ද්‍ර කරගනිමින් මෙම
සම්බන්දතාවයන් පිලිබඳ පැහැදිලිකිරීමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු
වේ.
පී. එච් අගය යනු කුමක්ද?
එමගින් පැහැදිලි කෙරෙන්නේ ජලයෙහි ආම්ලික සහ භාෂ්මික බවයි. නො එසේනම් ජලයෙහි
අයනීකරණය වූ හයිඩ්‍රජන් අයන කොපමණ තිබේද යන්නයි. සෙන්ටිග්‍රේඩ් අංශක 25 දි
සුපිරිසිදු (ආශුත) ජලයෙහි පි.එච් අහය 7ක් වේ. එනම් එම ජලය උදාසීන බවයි. එම අගය 7 ට
වඩා අඩුනම් ජලය ආම්ලික බවත් 7 ට වැඩිනම් භාෂ්මික බවත් කියවේ. සත්‍යතාවය නම් ස්වභාවික පරිසරයේ ඇති (ගංගා, ඇල,
දොළ, ලිං වල ඇති) මතුපිට ජලයෙහි සහ භූ අභ්‍යන්තරයේ ඇත්තාවූ ජලයෙහි පි.එච් අගය
පාෂාණ සහ පස් වැනි භූ පාරිසරික තත්ත්ව මත තීරණය වේ. බොහෝ විට ස්වභාවික ජලයෙහි
පි.එච් අගය 7 ට අඩු වේ. එමෙන්ම වැසි ජලය ද සුළු වශයෙන් ආමලික වේ. උෂ්ණත්ව මත ද පි.එච්
අගය රඳා පවතින අතර එමනිසා උෂ්ණත්ව වැඩි වන විට එම අගය අඩු වේ.
ස්වාභාවික තත්ත්ව යටතේ
ගංගා, ඇල. දොළ, පොකුණු සහ වැව් වලට ජලය එකතුවන්නේ වැස්ස සහ ස්වභාවික උල්පත්
හේතුවෙනි. පොලව අභ්‍යන්තරයේ විවිධ පාෂාණ
සහ පස් ඇසුරු කර ගනිමින් පහලට රූරා ගොස් එක් රැස් වන්න වූ ජලය භූගත ජලය ලෙස
හැඳින්වේ. මෙලෙස මතුපිට සහ පොලොව අභ්‍යන්තරයේ ගලායන්නා සහ එකතුවන ජලයට එමගින් ක්ෂණිකව
දියවන්නා (ද්‍රාව්‍ය) වූ භූ රසායනිකයන්
එකතුවේ. මතුපිට ජලයට වඩා ඉතා අඩු වේගයකින් භූගත ජලය ගලා යන අතර සමහර අවස්ථාවලදී
බොහෝ කාලයක් එක තැනක එකතු වී තිබිය හැක. එමගින් එම ජලය ස්පර්ශ කරන්නා වූ භූගත
පරිසරයෙන් භූ රසායනිකයන්
දියවීමේ සහ එකතුවීමේ ඉඩකඩ වැඩිය.
ඍජුවම උල්පත්, ගංගා, ඇල,
දොළ සහ ලිං වලින් ලබා ගන්නා ජලයෙහි එලෙස එක් වූ ද්‍රවිත රසායනිකයන් අඩංගු වේ.
එමගින් අපගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ අත්‍යවශය ඛනිජ ලවන ද ශරීරගත
වේ. නමුත් සමහර අවස්ථාවලදී අනවශ්‍ය විෂ සහිත රසායනිකයන්ද ශරීරයට ඇතුල් වේ. එනිසා
විවිධ රෝග ඇතිකිරීමට එය හේතුවක් වේ. මෙවැනි සිදුවීම් ලෝකයේ ඉතා හොදින් අධ්‍යනය කර
ඇති අතර බංගලාදේශයේ ආසනික් නම් වූ රසායනිකය හේතුවෙන් ඇති වී ඇත්තා වු ඛේදවාචකය
කදිම නිදසුනකි. මෙම ආසනික් ජලයට එකතු වී අත්තේ එරටෙහි ඇති සමහර පාෂාණ වලිනි. තවද
අප රටෙහි වියලි කලාපයෙහි ජනතාව අතර දක්නට ලැබෙන දත් දුර්වරණ වීමේ රෝගයද භූ පරිසරයේ
ඇත්තා වූ ෆ්ලොවොරින් නම් වූ රසායනිකය හේතුවෙන් ඇතිවුවෙකි.
මෙලෙස ද්‍රාවනගත වන්නාවූ
භූ රසායනිකයන් ගේ ප්‍රමාණයන් පි.එච් අගයේ වෙනස් වීම මත තීරණය වේ. සමහර භූ
රසායනිකයන් (බොහොමයක් ලෝහ සහ බැර ලෝහ අයන) ආම්ලික, එනම් පි.එච් අගය අඩු ජලයෙහි
හොදින් ද්‍රවනය වේ. නමුත් පි. එච් අගය වැඩි වන විට ඒවා අද්‍රාවය තත්වයට පත් වී භූ
පරිසරයේ තැන්පත් වේ. එමනිසා එක තැනකදී ද්‍රාවනගත රසායනිකයන් තවත් තැනකදී අද්‍රාවය
වී ජල පද්ධතියෙන් ඉවත් වේ. එමගින් තේරුම් යන්නේ ජලයේ පි.එච් අගය (එසේත් නොමැතිනම්
ආම්ලික භාස්මික බව) මෙම අයන වල ඉරණම තීරණය කරනු ලැබේ.
සමහර අවස්ථාවලදී ජලයට
එකතුවන ගෙන්දගම් (සල්ෆර්), පීට්, හුණු (කැල්සයිට්) වැනි ස්වභාවික රසායනිකයන්/ඛනිජ
නිසා ජලයේ පී.එච් අගය වෙනස්විය හැක. අපට මෙවැනි රසායනිකයන්/ඛනිජ බොහොමයක් හදුනාගත
හැකි අතර, කෙසේවෙතත් අප තේරුම් ගත යුත්තේ, භූ පරිසරයේ රසායනික ස්වභාවය අනුව ජලයේ
පි.එච් අගය වෙනස්වන බවයි. එනයින් පැහැදිලිවන්නේ රටෙහි සැම තැනකම එකම ආකාරයෙන්
ජලයෙහි පි.එච් අගය නොපවතින බවයි. උදාහරනයක් ලෙස පර්යේෂණ වලින් හදුනාගෙන ඇති ආකාරයටමුතුරාජවෙල
ප්‍රදේශයේ ජලය එහි පවතින පීට් නිධිය හේතුවෙන් ආම්ලික ස්වභාවයෙන් යුක්ත වන අතර
යාපනය ප්‍රදේශයේ ජලය එහි පවතින අවසාදිත හුණුගල් හේතුවෙන් සුළු වශයෙන් භාස්මික වේ. එමෙන්ම
කල්පිටිය ප්‍රදේශයේ ජලය බොහෝදුරට උදාසීන ස්වභාවයෙන් යුක්ත වේ. මෙවැනි අසමතුලිතා රට
පුරා හදුනාගත හැක.
මෙවැනි ස්වභාවික තත්වයන්
වලට අමතරව, මිනිසාගේ ඍජු සහ වක්‍ර ක්‍රියාකලාපයන් හේතුවෙන් ද ජලයේ පි.එච් අගය
වෙනස් වේ. ජලයේ රසායනික ස්වභාවය වෙනස් කරන මෙවැනි මිනිස් බැහැර කිරීම් දුෂක ලෙස
හැසිරෙයි. මෙම දුෂක බැහැර කිරීම් ප්‍රධාන වශයෙන් ස්ථානීය සහ ප්‍රාදේශීය (අස්තානිය)
ලෙස හඳුනා ගත හැක. ස්ථානීය වශයෙන් බැහැර
කරන දුෂක පහසුවෙන් හඳුනාගත හැකි අතර ව්‍යාප්ත වීම, ප්‍රමානය සහ ප්‍රදේශය තීරණය කල
හැක. එමගින් එවැනි ජල දුෂණයන් පහසුවෙන් පාලනය කල හැක. නමුත් ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත
වන්න වූ දුෂක එලෙස පහසුවෙන් පාලනය කල නොහැකි වන්නේ දුෂක බැහැර කිරීම විශාල ප්‍රදේශයක්
පුරා පැවතීමත් සහ දුෂක විශාල ප්‍රදේශයක පැතිරී යාමත් නිසාවෙනි. එමනිසා මෙවැනි දේ අධ්‍යනය කිරීමේදී දුෂක බැහැර
කරන ස්ථාන, බල පෑ ප්‍රදේශය සහ එහි ප්‍රමාණය කොපමණද යන්න පහසුවෙන් හඳුනාගැනීමට
නොහැකි නිසා, පර්යේෂණ වාර ගණනාවක් කිරීමට සිදු වේ. මේ සදහා කදිම නිදසුන වන්නේ
කෘෂිකර්මාන්ත කටයුතු වලදී භාවිත වන පොහොර හේතුවෙන් සිදුවන්න වූ ජල දුෂණයයි.
මතුපිට හෝ භූගත ජලයට
එකතුවන්නා වූ මෙම දුෂක හේතුවෙන් එහි රසායනික ස්වාභාවය වෙනස් වන අතර එම වෙනස පැහැය
සහ ගන්ඳය වැනි සාධක මගින් භෞතිකව හඳුනාගත හැක. නමුත් සමහර අවස්ථාවලදී එලෙස හඳුනාගත
නොහැකි වන අතර රසායනික විශ්ලේෂණයන් ගේ
අවශයතාවය පැන නගී. මේ සදහා තත්ත්ව පරීක්ෂණ ගණනාවක් සිදු කල යුතු වන්නේ ජලයේ
රසායනික වෙනස් වීම කුමන හෝ ආකාරයේ එකක් වීමේ හැකියාවත්, සුළු වෙනසකින් ජලයේ රසායනික ස්වභාවය ආකාර
ගණනාවකින්ම වෙනස් වියහැකි වීමත් නිසාවෙනි. මෙම සාධක වලින් පි.එච් අගය බොහෝවිට ජල
දුෂණය හදුනාගැනීමේ විශ්වාසදායක සාධකයක් වෙයි. කෙසේවෙතත් එය, ජල දුෂකය සහ එම ප්‍රදේශයේ
ජලයේ පසුබිම් පි.එච් අගය මත තීරණය වෙයි. එමනිසා නිගමනයන්ට එළඹීමට පෙර ජලයේ පසුබිම්
පි.එච් අගය සමග විශ්ලේෂණ මගින් ලැබෙන ප්‍රතිපල සංසන්දනය කිරීම අත්‍යවශය සහ නුවණැති
ක්‍රියාවකි.
කර්මාන්ත මගින් සිදුවන්න
වූ ජල දුෂණය ඉතා පහසුවෙන් නිශ්චය කිරීමද පාලනයද කල හැක. සමහර විට එම ප්‍රදේශයේ පසුබිම් පි.එච් අගයන්
නොදැන සිටියද දුෂකය පැතිරෙන ආකාරය සහ ඒවායේ සාන්ද්‍රන මගින් දුශකයේ ස්වභාවය ද
තීරණය කල හැක. බොහෝවිට ඉතා සරල විශ්ලේෂණ
ක්‍රමවේද කිහිපයක් මගින් ජලය දුෂනය වී ඇත්ද එහි ස්වභාවය කුමක්ද යන්න නිගමනය කිරීම
එතරම් අපහසු කටයුක්තක් නොවේ. උදාහරණයක්
ලෙස බැහැර කරන දුෂක ද්‍රව්‍ය වල පි.එච් අගය අඩුනම් බැහැර කරන ස්ථානයේ අවට පසෙහි සහ
ජලයෙහි පි.එච් අගය අනෙකුත් ස්ථාන වලට වඩා අසාමාන්‍ය ලෙස අඩුවන අතර එම ස්ථානයෙන් ඉවතට
යනවිට එම අගය ප්‍රදේශයේ සාමාන්‍ය අගයට ලඟා වේ. නමුත් බැහැර කිරීම වල සහ ප්‍රදේශයේ
ජලයෙහි සහ පසෙහි පි.එච් අගය අතර වෙනසක් නොමැතිනම් දුෂණ තත්වය තීරණය සදහා වෙනත්
පරාමිතියක් භාවිතා කල යුතුවේ. සමහර කර්මාන්ත සම්බන්දයෙන් සුවිශේෂී පරාමිතීන් සහ
විශ්ලේෂණ භාවිත කල හැක. දුෂක ද්‍රව්‍ය පස සහ ජීවින් හට බලපාන්නේ නම් ජීව සාධක මේ
සදහා භාවිතයට ගත හැක.
පසුගිය කාලයේ වූ සමහර ජල
දුෂණ සිදුවීම් සමනය වූ තත්වයක් පෙන්නුම් කලත්, නිරන්තර ජල දුෂක ක්‍රියා නිසාවට ජල
හිඟයකට මුහුණ පෑමේ අවධානමකට අප ලක් වී ඇත. ශ්‍රී ලංකාවේ ජල සම්පත් වලට ප්‍රධානම සහ
ප්‍රබලම බලපෑම සිදු කරන්නේ නවින සහ බටහිර කෘෂිකාර්මික කටයුතුවලදී භාවිතා කරන
රසායනික පොහොර, කෘමි සහ වල් නාශකයි.
එපමනක් නොව එය ශ්‍රී ලංකික ජල දුෂණයේ ප්‍රාදේශීයව බල පවත්නා ප්‍රධානම
සාධකය වේ. කෘමි සහ වල් නාශක භාවිතය පිලිබඳව ශ්‍රී ලංකික ජල පර්යේෂණ ක්ෂේත්‍රය තුල
තවමත් නිසි අවධානය යොමු වී නැති බව පෙනී යයි. එමනිසා අනාගත ජනතාවගේ යහපත සහ
පැවැත්ම පිලිබඳ නොපැහැදිලිතාවයක් මතු වේ. රටෙහි කර්මාන්ත ස්ථාපිත වීම වේගවත් වී
ඇති අතර එනිසාම එමගින් සිදුවන්නවූ බලපෑම පිලිබදව සහ ඒවා අවම කරගැනීමත් වලක්වගැනිමත්
පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශය වේ. ජල දුෂණය හදුනාගැනීම සහ වලක්වාගැනීම සඳහා
ජාතික මාර්ගෝපදේශනයන් සපයා ඇති මුත් ඒ පිලිබඳ අවදානය සහ දැනුවත්වීම අඩු බවද
පැහැදිලි වේ. කෙසේනමුත් මෙම ජල විශ්ලේෂණ කටයුතුවලදී පසුබිම් දත්ත ලබාගැනීම සහ එම ප්‍රදේශය
පිලිබඳ කාලිනව කරන ලද පර්යේෂණ තොරතුරැ එක් රැස් කර ඒවා අධ්‍යනය කිරීම ඉතා වැදගත්
කරුණකි. එපමණක් නොව එවැනි අධ්‍යනය වලදී එම ප්‍රදේශයේ කාලගුණික තත්වය පිළිබඳව
සැලකිලිමත් වීමද වැදගත් වන්නේ ජලයේ රසායනික ස්වභාවය වෙනස් කිරීමෙහි ලා එය ප්‍රබලව
බලපාන බැවිනි.
ජාතික වශයෙන් වැදගත් වන
මෙවැනි ගැටළු හමූ වේ මුහුණ දීම සදහා කිසියම් පෙර සුදානමක් තිබීම අත්‍යවශය වේ. මේ
සඳහා රටෙහි ජල සම්පත් පිළිබඳව ප්‍රමාණාත්මකව වාගේම තත්වය පිලිබදව ද කරුණ ගොනු කර
තැබීම ඉතා වැදගත් වේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ