22.06.2019
පසු ගිය දිනෙක මා ලද ලිපි අතරින් එක් සුවිශේෂී ලියවිල්ලක් ඔබ හමුවට ගෙන ආ යුතු යෑයි සිතුවෙමි. පහත ඇත්තේ ඒ ලිපියයි. කිසිදු වෙනසක් නො කළ බව කිව යුතු ය.
"වාසනවාට හෝ අවාසනාවට මිනිසා මිහි මත බිහි වී ඇත. වසර මිලියන 2කට මත්තෙන් වානර මගින් ඉවත් වී වෙන ම මාර්ගයක ගමන් කළ මානවයා ශීඝ්‍රයෙන් මෙතෙක් ලද වෙනස නම් ඉතා අධික ය. වෙන කවර සත්ත්වයකුට ද වඩා ස්‌වාභාවික පරිසරයෙන් වියුක්‌ත ව ඉතා කදිම නිර්මිත පරිසරයක අයිතිය හිමි කරගන්නට සමත් වී ඇත. එපමණක් නො වේ. ඒ වෙනුවෙන් ස්‌වාභාවික පරිසරය අමු අමුවේ ම වෙනස් කරන්නට පෙලඹී ඇත. ඒ තම ආත්මාර්ථකාමීකම වඩාත් හොඳින් ලොවට පෙන්වමිනි. ලොව වෙසෙනා සියලු ම සත්ත්වයන් හට පාරිසරික සිමා මායිම් ඇත්තේ මුත් මිනිසාට එසේ නැත. කණගාටුවට කරුණ නම් තමනට අයිති නො වූ වෙනත් සත්ත්වයන් ගේ රාජධානි ද බියක් සැකක් නොමැති ව ආක්‍රමණය කර අත්පත් කරගැනීමයි. ආක්‍රමණයට ලක් වූවන් මේ වන විට වඳ වී ගොසිනි. නැත හොත් වඳවෙමින් පවතින බැවින් රතු දත්ත පොතට ඇතුළත් කරන්නට තරම් මිනිසා අකාරුණික වී ඇත. නැත හොත් වඳ වී යන බැවින් අනාගතයේ තම දරු පරපුරට දැකගන්නට සත්ත්ව උද්‍යානයේ කූඩුවක තබා ඇත.
ස්‌වාභාවික පරිසරයේ වෙසෙනා ජීවීන් සමූහයේ ම එක් ජීවී විශේෂයක් ලෙස බිහි වුව ද මිනිසා තම ආධිපත්‍යය අනෙකුත් ජීවීන් මත බලපවත්වන්නේ සිත් පිත් නැත්තකු ලෙසයි. කලකට පෙර තමා සමග එක් ව නැගී සිටි ජීවීන් ද තමාට එරෙහි වූ ජීවීන් ද ඉතා පහසුවෙන් යටපත් කරන්නට මිනිසා සමත් වී ඇත. කෙටි කාලයක් තුළ තම නිර්මිත පරිසරය ගොඩනැගීම සදහා අපමණ වෙහෙසක් ගත් මිනිසා පරිසරයේ චක්‍රීය බව තේරුම්ගත්තේ බොහෝ පසු ව ය. ඒ වන විට සිදු විය යුතු සියල්ල සිදු වී හමාර ය. මේ සියල්ලට හේතු වී ඇත්තේ මිනිසා ම කියනා පරිදි මිනිසා ගේ අග්‍රගණ්‍ය මොළයේ දියුණුවයි. කොපමණ දියුණු වුවත් දුරදිග නො බැලීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු කළ වෙනස්‌කම් සියල්ල මිනිසාට ම පාරා වළල්ලක් වී පැමිණ හමාර ය. කාලය ගත වෙමින් ඇත. දියුණු මොළයට කාලයකට පසු හෝ මේ බව පසක් වුව ද කළ හැක්‌කක් නොමැති වී ඇත. කෙසේ වුවත් මිනිසා තම දුර්දාන්ත විනාශකාරී මාවතේ දිගට ම ගමන් කරන බවයි පෙනී යන්නේ.
තම ගම්බිම් අහිමි වූ ජීවීන් ජීවත් වීමේ අරගලයට ඉතා භයානක ලෙස මුහුණ දුන් බව ද වඳ නො වූවන් තවමත් ඊට මුහුණ දෙමින් සිටිනා බව ද ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නැත. වනාන්තර සිමාකාරී වීම පමණක් නො ව ඒවා බොහොමයක් වනඋද්‍යානයන් වීම ද නිසා බොහෝ ජීවීන්ට තම නිදහස් චරණය සීමා කරන්නට සිදු වී ඇත. එනිසා අලින්ට, ඉත්තෑවුන්ට, රිලවුන්ට, වඳුරන්ට, මීයන්ට සහ ඌරන්ට තම ජීවිතය උගසට තබා ආහාරය සදහා ගම් වදින්නට ද සිදු වී ඇත. පවතිනා දෙයින් ලැබෙනා දෙයින් කුසගින්න නිවා ගන්නට සිදු වීම නිසා පොලිතින් ද තම ආහාරයේ එක් අංගයක් වී ඇත. තමනට නිවහන සැපයූ විසල් රුක් ගොමු නොමැති නිසා තම දරුවනට අවැසි රැකවරණය සදහා පක්‌ෂීන්, ලේනුන් වැනි සතුනට මිනිසා ගේ නිර්මිත පරිසරය තෝරාගන්නට සිදු වී ඇත. බොහොමයක් සතුනට මිනිසා තැනූ මංමාවත් මරණය ගෙනෙනා ස්‌ථාන බවට පෙරළී ඇත. එනිසා තම පැවැත්ම ස්‌වාභාවිකවරණයට පමණක් තීරණය කළ නොහැකි බව ද ඒ සදහා මානව වරණය ද අතිශයින් බලපානා බව ද ඔබට වැටහෙනු ඇත.
මිනිසා තමාට අවැසි ජීවීන් උදෙසා සුවිශේෂී ආරක්‌ෂණ වැඩපිළිවෙළක් සකසා ඇති බව සත්‍යයකි. කොටසකට පමණක් අතිශය සහන සහ සුබසාධන සපයා ඇත. තම නිර්මිත පරිසරයට ගැටලුවක් වන්නා වූ සියලු ම ජීවීන් ඉන් ඈත් කර තබන්නට හෝ අතුගා දමන්නට හෝ පෙලඹී ඇත. මිනිසා තම පැවැත්ම තහවුරු කරනු වස් සිදු කරනා පර්යේෂණ නිසා සමහර ජීවීනට තම ජීවිතය පවා පුද කිරීමට සිදු ව ඇත. පර්යේෂණ පමණක් නො ව තම අධ්‍යාපනය උදෙසා යෑයි ජීවීන් කුඩුවල දමා ගාල් කර තබන සත්ත්ව උද්‍යාන බිහි කිරීම නිසා ජීවීන්ට තම නිජබිම්වල ජීවත් වීමේ අයිතිය අහිමි කර ඇත. තාක්‌ෂණය මෙතරම් දියුණු වී ඇති මේ සමයෙහි මෙවැනි සත්ත්ව උද්‍යාන නම් වදකාගාර තවමත් පවත්වාගෙන යැම මිනිසා ගේ ක්‍රෑර බව හොඳින් පෙන්වන්නකි. වර්තමානයේ මුදලට කෑගසන්නා වූ සත්ත්ව අයිතිය සුරකින්නන් හට ද මේ බව පසක් නො වීම කෙතරම් කණගාටුවට කරුණක් ද යන්න ඔබට වැටහේ වි.
මිහි මත ඉතිරි වී ඇති බොහොමයක් ජීවීන් මිනිසා ගේ ම නිර්මාණයක් වූ අභයභූමිවලට සීමා කර ඇත. වනාන්තර එලි පෙහෙළි කිරීම නිසා යන එන මං අහිමි වූවන්ට මෙමගින්
රැකවරණයක් සැලසේ යෑයි සිතුව ද ඇත්තෙන් ම එසේ සිදු නො වන බව කිව යුතු ය. සංචාරකයන් පිරිවරා ගත් රථ මහා හඬ නංවමින් වන වැසියන් ගේ නිදහසට අතිශය බාධා කරයි. හුදු විනෝදය පිණිස, ඇස් නිලංකාර කරනා අධි සැර ආලෝක විහිදුවනා උපකරණ රැගෙන යන එන මග රැක සිටීම නිසා වන වැසියන් බියට පත් කරන බව ද විටෙක කෝපයට ද පත් කරන බව ද මේ ආත්මාර්ථකාමී මිනිසුන් දත යුතු ය. එපමණක් නො වේ. වන වැසි මසට ලොල් වූ දඩ වැද්දන් ගේ ග්‍රහණයට අසු වන්නන් ප්‍රමාණය මෙතෙකැයි කිව හැකි නො වේ.
වර්තමානයේ මේ කොයි ආකාරයෙන් හෝ ජීවීන් ගේ වටිනා ජීවිතය නැති වන්නට ඉඩ කඩ බොහෝ ය. ජීවීන් හට ඉන්නට තැනක් නැත. ඔවුනට යන්නට ද තැනක් නැත. අතරමං වන, මිනිසා ගේ නිර්මිත පරිසරයේ ජීවීන්ට වෙන් කළ ඉඩක් නොමැති බව ඔබ තේරුම්ගත යුතු ය. එහෙත් සියලු ම ජීවීන් හට කෙසේ හෝ ජීවත් වීමේ අරගලයක නිරත වීමට සිදු වේ. ඒ සැම අයකුට ම ජීවත් වීමේ පරම අයිතිය ඇති බව මිනිසා තේරුම්ගන්නා තෙක් වුව ද ඒ වන විට ජීවත් වීමට තම අනන්‍ය වූ ගම බිම ඉතුරු වී ඇතැයි කිසිවකුට කිව නොහැකි ය."
"වඳ නො වී සිට තවමත් ජීවත් වීමට අරගල කරන්නෙක්" යෑයි ලිපිය අවසානයේ සටහන් තබා තිබිණි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ