අතීතයේ සිට ම විවිධ ආක්‍රමණවලට ලක් වීම නිසා අපේ රටට විවිධාකාරයේ බලපෑම් ඇති වූ බව නොරහසකි. භාෂාව, සංස්‌කෘතිය, ආගම පමණක් නො ව මෙරට ජනයා ගේ ආහාර රටාව පවා වෙනස් කරන්නට විටෙක ඒවා හේතු විය. ඒ අතුරින් ශ්‍රී ලංකාවේ පරිසරය දරුණු ලෙස වෙනස් කර බොහොමයක් දේශීය ශාක සහ සතුන් මෙරටින් පමණක් නො ව මෙලොවින් ම ද අතුගා දමන්නට හේතු වූයේ දහ නව වැනි ශතවර්ෂයේ මහා බ්‍රිතාන්‍යය සිදු කළ ආක්‍රමණය බවට සැකයක් නොමැත. කඳුකරයේ කදිම වන බිම් එළි කර කෝපි සහ තේ ඇතුළු විදේශීය ආර්ථික භෝග නො සිටුවන්නට ශ්‍රී ලාංකේය කඳුකර ජෛව උරුමය තවදුරටත් රැකෙනු ඇත. හඳුන්වා දුන් මෙකී භෝග ආයාසයකින් තොර ව නො වැඩීම එක්‌තරා ආකාරයකට මෙරටේ වාසනාවක් වන්නේ එය ශාක ප්‍රජාව තරමක් දුරට හෝ රැකීමට හේතුවක් වීම නිසාවෙනි. මෙලෙස හඳුන්වා දුන් ආර්ථික භෝග හා එක් ව මෙරටට උරුම වූ තවත් අහිතකර ප්‍රතිඵලයක් වූයේ ආක්‍රමණික ජීවීන් ය.
ශාක ලෝකයේ ආක්‍රමණිකයන් ඉතා දරුණු ය. රටකට ආවේනික වන නමුත් තවත් රටකට ආගන්තුක වන මේ ආක්‍රමණිකයන් කිසිදු ලෙසකින් අනුකම්පාවක් නො දක්‌වා දේශීය ශාක හා කරට කර තරග කර පරිසර පද්ධතියෙන් ඔවුන් ඉවත් කරන්නට සමත් ය. වෙන කවරදාටත් වඩා අධිකව ශ්‍රී ලාංකික පරිසර පද්ධතිය ආගන්තුකයන් විසින් ආක්‍රමණය කෙරෙමින් පවතින බව අප තේරුම්ගත යුතු ය. වත්මනේ මෙරට කඳුකර පරිසරය ඉතා ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරමින් දේශීය ශාකවලට තර්ජනයක් වෙමින් පවතින ආක්‍රමණිකයෙක් වෙයි. හොර රහසේ කාගේත් ඇස් වසා කඳුකර පරිසර පද්ධතිය ආක්‍රමණය කරන මේ ශාකය කුමක් ද? "ගල් ගොරකා" නමින් හැඳින්වුව ද ගොරකා විශේෂයක් නො වන මේ ආක්‍රමණිකයා ගේ විද්‍යාත්මක නාමය වන්නේ Clusia rosea ය. බොහෝ විට දුෂ්කර, පස් නොමැති ස්‌ථානවල වැඩීමට ප්‍රියතාවක් දක්‌වන මේ ශාකය පාෂාණ මතු වූ කඳුකර හෙල් වැනි ස්‌ථානවල සුලබව හමු වේ.
ගල් ගොරකා මෙරටට පැමිණෙන්නේ උද්‍යාන අලංකාර කරන ශාකයක් ලෙසිනි. බටහිර ඉන්දීය කොදෙව් දූපත් නිජබිම කරගත් මේ ශාකය නිවර්තන කලාපීය රටවල තර්ජනයක් ව පවතින බව අධ්‍යයනයන් ගෙන් හෙළි වී තිබේ. අපිශාකයක් ලෙස තම මූලාරම්භය සකස් කරගන්නා මේ ආක්‍රමණිකයා ඉතා සරල ක්‍රමවේදයක් තම ව්‍යාප්තිය සදහා යොදාගෙන ඇත. රතු පැහැති බීජ පිරුණ ඵලය ආහාර කරගන්නා පක්‌ෂීන් හොටෙහි රැෙදන බීජ තවත් ගසක හෝ ගලක තැවරීම නිසා මේ ශාකය ඉතා පහසුවෙන් පැතිරෙයි. හැදී වැඩී විශාල වන ශාකය බොහෝ විට පස හා සම්බන්ධ වන්නේ කඳෙන් සහ අතුවලින් දිගු ව පහළට වැඩෙන මුල් මගිනි. එනිසා මේ ශාකය නුග වර්ගයක් යෑයි පළමු වර දකින්නකුට ක්‌ෂණිකව සිතේ. අලංකාර ලෙස අතුපතර විහිදෙන මේ ශාකය දෙස බලන්නකුට හැඟී යන්නේ මෙරටට ආවේනික වූ දේශීය ශාකයක් ලෙස ම ය. ඉතා වේගයෙන් වර්ධනය වන සහ පැතිරී යන මේ ශාකය හේතුවෙන් කඳුකර ජෛව විවිධත්වය අනතුරේ වැටී ඇති බව අප තේරුම්ගත යුතු ය. ඔබේ වත්තේ මේ ශාකය ඇත්නම් වහා ගලවා පුළුස්‌සා දැමීමට පියවර ගන්නේ නම් එය ඔබ මෙරට පරිසර පද්ධතිය රැකගැනීම සදහා සිදු කරන අනර්ඝ මෙහෙයක් වනවා නොඅනුමාන ය.
ආගන්තුකයෝ මෙරට ආක්‍රමණය කරද්දී ආවේනිකයෝ වඳ වෙමින් යති. මතු කතා කරන්නට යන ආවේනිකයා වඳ වීමට තුඩු දෙන්නේ සංවර්ධන කටයුතු යෑයි කියාගන්නා මිනිසා ගේ ආත්මාර්ථකාමීකම ම ය. ශක්‌ති ජනනය උදෙසා පරිසරය දරුණු ලෙස විනාශ කරන මේ සමයෙහි, මූලික පාරිසරික තත්ත්ව වාර්තා සහ එහි නිර්දේශ කොළ කෑලිවලට පමණක් සීමා වී ඇත්තේ ලබා දෙන මුදලට වෘත්තිකයන් ගේ හෘද සාක්‌ෂිය යට කර ඇති බැවිනි. කිසිවකුත් තවමත් නිසි ඇගයීමක් නො කර ඇති මේ සමයෙහි, කුඩා ජල විදුලි බලාගාර තැනීම තවමත් සිදු කරගෙන යන බව පෙනේ. කැලණි ගංගාව මේ අතුරින් බොහෝ පීඩාවට පත් ව ඇති අතර නුදුරෙහි පිහිටන මෙවැනි ව්‍යාපෘති, ගගේ ස්‌වාභාවිකව පිහිටි ජල මට්‌ටම අධික ව අඩු කරන්නට හේතු වී ඇත. මේ තත්ත්වය ප්‍රබලව බලපාන්නේ මේ ආශ්‍රිත ව වෙසෙන සතුන්ට සහ ශාකවලට බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ.
"ලිප්ස්‌ටික් ගෝබි" නම් වූ මාළුවා ගැන ඔබ බොහෝ දෙනකු අසා නැතුවා විය හැකි ය. කඳුකරයේ ගලා යන ජලපහරවල් ආශ්‍රිතව ජීවත් වන මේ මාළුවා විශේෂයෙන් ම හමු වන්නේ සබරගොමු පරිසරයේ බව සදහන් වේ. මේ මාළුවා ගේ විශේෂත්වය වන්නේ ලංකාවට ආවේනික පමණක් නො ව අතිශයින් ම වඳ වීමේ තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂයක් වීම ය. කැලණි ගඟ ආශ්‍රිත ව වාර්තා වී ඇති මේ මාළුවා නුදුරේ දී ගංගාව හරස් කර ඉදි කෙරෙන ජල විදුලි බලගාර නිසා මෙලොවින් සමුගන්නට ආසන්න බව කණගාටුවෙන් වුව මෙහි සඳහන් කළ යුතු ය. තම ජීවන චක්‍රයේ අඛණ්‌ඩතාව පවත්වාගෙන යන්නේ ගංගාවේ අඛණ්‌ඩ බව නිසා වීම ය, මෙවැනි ව්‍යාපෘති මේ මාළුවා ගේ පැවැත්මට තර්ජනයක් වී ඇත්තේ. ගලා යන මිරිදියෙහි ගල් පර පත්ලෙහි දමන බිත්තර ගසාගෙන ගොස් කරදිය මිශ්‍ර පරිසරයේ දී මෝරා පැටවුන් බිහි වන අතර මත්ස්‍යයා නැවත තම නිජබිමට පැමිණෙන්නේ ඉහළට පිහිනීමෙනි. මේ අඛණ්‌ඩ බව බව බිඳ වැටීම නිසා ගමන දෙපසට ම නවතින අතර ඉතා ඉක්‌මනින් ම මේ මාළුවා වඳ වන්නට හේතු වනු ඇත. අලංකාර මසකු වන මේ මාළුවා ලෝකයෙන් ම සොයාගත හැකි වන්නේ ලංකාවෙන් ම පමණක් වීම ද ඒ ද මේ ප්‍රදේශයෙන් ම පමණක් වීම ද කෙතරම් සුවිශේෂී දැයි ඔබට වැටහෙනු ඇත. මිනිසා ගේ ආක්‍රමණය නිසා මේ ආවේනිකයාට ඔහු ගේ නිජබිම ද තම ජීවන චර්යා පවත්වාගෙන යැමේ අවස්‌ථාව ද අහිමි වන්නේ ජෛවවිවධත්වය සුරැකීමට බෙරිහන් දෙන පිරිසක් හිඳිනා මේ රටේ දී ම බව සිහිපත් කළ යුතු ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ