Thursday 3 September 2020

කල්පිටිය වාලුකා නිධියේ විකසනය ...!!!

භූ සංචාරිතය 25

This artcile is originally published on Vidusara 02.09.2020.

කල්පිටිය ඉතාම සුන්දර සංචාරක නාවතැනක්. එපමණක් නොවේ එය අපට හමුවන ඉතාම කදිම අනවහිරත ජල නිධියක්. සමුද්‍රාසන්නයේ හමුවන දුලභ සුපිරිසිදු භූ ගත ජල නිධියක් ශ්‍රී ලංකාවේ හමුවන්නේ නම් ඒ කල්පිටියයි. වර්ෂා ජලයෙන් ප්‍රතිපෝෂණය වන මේ අපූරු අනවහිරත ජල නිධිය මේ වන විට අපරික්ෂාකාරී නවීන බටහිර කෘෂිකර්මය ක්‍රමයෙන් ගිල ගන්නා බව නම් අමතක නොකළ යුතුය. නා නා ප්‍රකාර රසායනිකයන් ජල නිධියට එකතුවන්නට අරන් දශක පහක පමණ කාලයක් ගත වී ඇත. අර්ධ ශතකයක කාලයක් තුල ජල  නිධියේ ගුණාගුණ අති ප්‍රභල ලෙස වෙනස් කරන්නට හේතු වී ඇති බව පසුගිය කාල වකවානුවේ මා සිදු කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

ජලයේ තිබිය යුතු නයිට්‍රේට ප්‍රමාණය වන්නේ ලීටරයකට මිලිග්‍රෑම් 10 ක් පමණ වනමුත් මේ වන විට ඒ සීමාව දශගුණයකින් පමණ ඉක්මවා ඇති බව තහවුරු වී ඇත. මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ හිතු මනාපේ යූරියා පොහොර භාවිතයයි. සීමාව ඉක්මවා යන ආකාරයේ භාවිතයක් ඇති බව මා කල සමීක්ෂණ වලින් තහවුරු වුණි. මෙම තත්වය ඇති වන්නට ප්‍රධාන කොටම හේතුවන්නේ මේ ජල නිධිය නිර්මාණය වී ඇත්තේ ඉතා සියුම් වැල්ලෙන් වීමයි. සම්පූර්ණ කල්පිටිය භුමියම නිර්මාණය වී ඇත්තේ සියයට අනුනමයක්ම වූ මෙම සියුම් සිලිකා වැල්ලෙනි. එනිසා මැටි හෝ කාබනික ද්‍රව්‍ය වගාවට සුදුසු පරිදි ප්‍රමාණවත්ව මෙහි දක්නට නොමැත. එමෙන්ම සියුම් වැල්ලෙන් නිර්මාණය වීම සවිවරතාවය වැඩිකරලන්නට හේතු වී ඇත. පාරගම්‍යතාවය අධික මෙම වාලුකා නිධිය එනිසා කිසිවක් මතු පිට රඳවා ගන්නේ නැත. ජලයේ පහසුවෙන් දියවෙන සියලු දේ භූ අභ්‍යන්තරයට රැගෙන යන්නට වැඩි කාලයක් ගත නොවේ. එනිසා මෙහි වගාකරුවන්නට දිනකට දෙතුන් වාරයක්ම තම වගාවට ජලය සපයන්නට සිදු වී ඇත. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ ද සරල නල ළිං මගින් ලබා ගන්නා මෙම නිධියේම ජලයයි.

දිනකට දෙතුන්වරක් ජලය සැපයීම මගින් සිදුවන්නේ වරින් වර වගාවට ලබා දුන් රසායනික පොහොර මෙන්ම කෘෂි රසායනිකයන් ද දියවී භූ ගත ජලයට එක් වීමයි. මේ කිසිවක් නොවේ නම් මෙහි ඇති ජලය ඇති පිරිසිදු භාවිතයට කදිම ජලය වේ. මෙවැනි ජල නිධියක් බිහිවන්නට ප්‍රධාන හේතුව වන්නේ ඉහත කි ලෙස තිරුවානා වැලි වලින් සමන්විත වීමත්, ඊසාන දිග මෝසමෙන් ප්‍රති පෝෂණය වීමත්ය.

කල්පිටිය වාලුකා නිධියේ විකසනය ඉතා අපූරු භූ විද්‍යාත්මක සංසිද්ධියකි. කදිම කතාන්දරයකි. කල්පිටියේ අවසාදිත පමණක් නොව ජලයේ රසායනික ගුණාගුණ ද පදනම් කර ගනිමින් එහි විකසනය පහදන්නට මා කල පර්යේෂණයෙන් මා හට හැකි විය. ඒ කතාව නම් මෙසේය.

කල්පිටිය අර්ධද්වීපය නිර්මාණය කරන වාලුකා නිධි බිහිවන්නේ වසර 12,000 කට පමණ පෙර වන අතර ඒවා වෙරළාසන්නයේ කෝණාකාර නිධි ලෙස තැන්පත් වන්නේ උණුසුම් සහ තෙත් කාලයේ මෙරට අභ්‍යන්තර දිය දහරා  මගින් වෙරළට ගෙන එන ලදුවයි. කෙසේ වෙතත් මේ කාලය අධික සීතලෙන් යුක්ත ග්ලැසියර යුගයේ අවසාන භාගය වන අතර එනමුත් තවමත් මුහුදු මට්ටම පැවතියේ අද පවතින මට්ටමට වඩා පහතිනි. මෝසමෙන් පණ ගහන එක එල්ලේම දිවයන දිගු දුර දියවැල් මෙම කෝණාකාර වාලුකා නිධි සමතලා කර උතුරදකුණු  දිශානුගතව තැන්පත් කරන්නට සමත් වන්නේ කුඩා කුඩා නිධි තැනින් තැන තනමිණි. වාලුකා නිධියේ වැලි ඛණිකා රට අභ්‍යන්තරයෙන් උපදින නිසා සාපේක්ෂව මුහුදු බෙල්ලන් සහ හිරිගල් කැබලි අඩු වන්නේමය. එනිසා මෙම අනවහිරත ජල නිධියේ ජලයේ සාපේක්ෂව ඇති කැල්සියම් කබෝනෙට් ප්‍රමාණය අඩුය.

ඒ අතර කාලයේ මුහුදේ හට ගන්නා තිමිර පාෂාණ (beach rock) බාධකයන් ලෙස ක්‍රියා කරමින් සමතලා වෙමින් පවතින වාලුකා නිධිය ක්‍රමයෙන් බාධක දිවයින් බවට තව දුරටත් ක්‍රියා කරයි . පසුව ඒවා ක්‍රමයෙන් ප්‍රධාන ගොඩබිමට සම්බන්ධ වී කලපු නිර්මාණය කරයි. ඒ වසර 7500 කට පමණ පෙරයි.

වසර 6000 ක් පමණ වන විට ශිත යුගයේ අවසානය හේතුවෙන් ඇතිවන අධික ජල කාන්දුව මුහුදු මට්ටම වැඩි කරන්නට හේතු වෙයි. එනිසාම මෙම කුඩා දිවයින් පෙළ මුහුද වතුරෙන් යට වන අතර ක්‍රමයෙන් නැවත මුහුද මට්ටම අඩු වූ  නිසා (නැවත ලෝකය සිසිල් වීමෙන් ධ්‍රැවාසන්න හිම තර වීමෙන්) ඉලිප්පෙන වාලුකා නිධි පෙළ දිගු දියවැල් මගින් අත්කරන ලද වාලුකා ප්‍රවාහය හේතුවෙන් එකට එකතු වී දීර්ඝ බාධක දිවයිනක් නිර්මාණය කරන්නේ පසුව දකුණෙන් ප්‍රධාන ගොඩබිම හා සම්බන්ධ වී අර්ධද්වීපයක් බවට පත් වීමයි. ජලයෙන් ඉල්පුණු වාලුකා නිධිය වෙරළාසන්නයේ ඇති වැලිකඳු (sand dune) බිහිවන්නේ එකල පැවති ශිත වියලි කාලගුණය හමුවේ ඇතිවන අධික සුළං ධාරා හේතුවෙන් බවයි පැහැදිලි වන්නේ. ක්‍රමයෙන් මෙලස විකසනය වූ කල්පිටිය වාලුකා නිධිය එලෙසයි අද පවතින තත්වයට පත් වූයේ. මේ විකසනය අර්ථකථනය සඳහා විශේෂයෙන්ම වාලුකා නිධියේ අවසාදිත ලක්ෂණ මෙන්ම අනවහිරත ජල නිධියේ ජලයේ රසායනික ගුණාගුණ ද උපයෝගී කරගත් බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.   

මෙහි වූ විශේෂත්වය වන්නේ මෙම වාලුකා නිධිය තැන්පත් වන්නේ වසර මිලියන 25 ක් පමණ පැරණි මයෝසින හුණුගල් තට්ටුව මත වීමයි. එමෙන්ම කුඩා දිවයින් ලෙස ආරම්භ වූ මෙම භූ ව්‍යුහය පෙන්නුම් කරන්නේ පහක් හයක් පමණ වෙන් වෙන්ව ඇති කුඩා කුඩා ජල නිධි එතුල ඇති බවයි. මෙය ඉතාම හොඳ පිහිටීමක් බව තේරුම් යන්නේ මෙහි ජල කළමනාකරණය ගැන සිදු කරනා කතා බහේදීය. මන්ද යත් එක් එක් ජල නිධි එකිනෙකා අසම්බන්ධිත නිසා එක් එක් නිධියට එක් වන ජල දූෂක අනෙකට දිය වී යන්නේ නැත. එනිසා කුඩා කුඩා ජල නිධි වලට එකතුවන දූෂක පාලනයෙන් අනෙක් ජල නිධිය අරක්ෂා කර ගත හැකිය.

කෙසේ වෙතත් මෙරට ජල පාලන ආයතන මේ සඳහා පමණක් නොව රට වටේම වූ වාලුකා ජල නිධි කළමණාකරණය සඳහා ඉක්මන් සහ විධිමත් වැඩ පිළිවෙලක් ආරම්භ කල යුතුව ඇත. එසේ නොකරන්නේ නම් වෙරළාසන්නයේ සිදුවන මෙවැනි මානව ක්‍රියා මේ කදිම ජල නිධි ඈවර කරන්නට වැඩි කාලයක් ගත කරන්නේ නැත. අප  අමතක නොකළ යුත්තේ කල්පිටියේ නිෂ්පාදනය වන එළවලු සහ පළතුරු වල ඉතා අධිකව නයිට්‍රටේ සහ කෘෂි රසායන අඩංගු වීමේ දැඩි ප්‍රවණතාවක් ඇති බවත්, මෙම රසයනයන්ගේ භාවිතය සඳහා යම් කිසි පාලනයක් අවශ්‍ය බවත්ය. එසේ නොමැති නම් වාලුකා නිධි වල සිදු කරන කෘෂි කර්මාන්තය වහා නැවතීමට පියවර ගත යුතුව ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Wednesday 26 August 2020

අනුරාධපුරයේ රාජ මාළිගය ...!!!

භූ සංචාරිතය 24

This article is originally published on Vidusara, 26.08.2020.

වසර දහසකට අධික කාල සීමාවක් තිස්සේ “නව සිවු හෙළයේ” අගනගරය වූයේ අනුරාධපුරයයි. විජයගේ සම්ප්‍රාප්තිය (ආක්‍රමණය) නිසාවෙන් ජනිත වූ මෙරට නව සංස්කෘතිය ඉන් ඔබ්බෙන් වූ ශ්‍රේෂ්ට සංස්කෘතියට ලංවන්නටවත් නොහැකි බවයි මාගේ අදහස. ඒ කෙසේ වෙතත් එය මෙරටට නව හැරවුම් ලක්ෂ්‍යයක් බිහි කර දුන්නේ වඩාත් නිරවුල් සාමකාමී අධ්‍යාත්මික ගමනකට මෙරට ජනයා රැගෙන යන්නට විය හැකිය. නව සිව් හෙළයේ සියයකට අධික නරපතීන්ගෙන් ශ්‍රේෂ්ටත්වයට පත් වන්නේ අත ලොස්සක් පමණි. ඒ දේවානම් පියතිතිස්ස සහ දුටු ගැමුණු වැනි නරපතීන් අග්‍ර කරවමින් බව පැහැදිලි සත්‍යයකි. නිසි පරිදි අප මහාවංශය කියවන්නේ නම්, එහි ඇත්තාවූ ව්‍යංගාර්ථයන් ඉතා හොන්දින තේරුම් ගැනීමට හැකි වෙයි.  

කෙසේවෙතත් අනුරපුරයට පැමිණෙන සැමගේ අවධානයට යොමුවන්නේ ඔවුන් තැනු අධ්‍යාත්මික නිර්මිත පරිසරයේ ප්‍රමුඛතාවයම මිස වෙන කවරෙක් ද? හෙළ බෞද්ධ නිර්මිත පරිසරයේ තාක්ෂණය යනු වෙන කිසිවක් නොව මෙරට අනන්‍යතාවයම වේ. ඉන්දියානු උප මහද්වීපයෙන් බෞධාගම කේන්ද්‍ර කොට අප ලද දායාදයන් හෙළ තාක්ෂණය හා මනාව සංයෝජනය කරමින් ඉදිකෙරුණු ඒ විසල් නිර්මිතයන් අතරේ රාජාවලියේ තිඹිරිගෙය හමුනොවන්නේ මන්ද යන්න ගැටළුවකි.. විවිධ අර්ථකතන හමුවේ ගොළුවන  අනුරපුරයේ රාජ මාලිඟා  ඉතිහාසය එක්තරා ගැටළු සහගත බවක් සහ ගුප්ත බවක් ඉතිහාසයට එක් කරන බවයි මාගේ හැඟීම වන්නේ. එය වැරදි වන්නට ද පුළුවන.  

මෙවර භූ සංචාරිතය මෙහෙයවන්නේ ඒ අතීත උරුමයේ කන් කොන් සොයා යාම උදෙසායි. පසුගිය වසරේ පුරාවිද්‍යා දෙපාර්තුමේතුව හා බැඳී ඇතුළු නුවර සංවර්ධන ව්‍යාපෘතිය කරවන නගර සංවර්ධන අධිකාරිය අපහට ඇරයුම් කෙරුයේ බොහෝ දෙනෙකු නොදන්නා නමුත් සත්‍ය ලෙසම අනුරපුරයේ ඇති මාලිගාවක වපසරිය තහවරු කරනුවස් විද්‍යාත්මක සාක්ෂි සොයා  දෙන ලෙසයි. ඒ සඳහා ඔවුන්ගේ ඉලක්කය වූයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සතු මිහි විනිවිදුම් රේඩාර් තාක්ෂණයේ (GPR) පිහිට ලබා ගැනීමයි. ඒ සඳහා අපගේ නොමසරු දායකත්වය ලබා දීම සඳහා එකඟ වූ අප නොපමාව ඒ සඳහා සූදානම් වූයේ පුරාවිද්‍යාවේ ගවේෂණ කාරිය උදෙ=සා භූ පුරා විද්‍යාත්මක භූ භෞතික තාක්ෂණයේ පිහිට ලබා ගත හැකි බව ඔප්පු කරන්නට කදිම අවස්තාවක් බව හොඳින්ම සිහියේ තබා ගෙනයි.

ආචාරය සිරාන් දැරණියගල සහ ආචාර්ය තුසිත වගලවත්ත මහත්වරුන් හමු වීමෙන් පසුව අපහට අවබෝධ වූයේ ඔවුනට අවැසිව ඇත්තේ ඇතුළු නුවර වපසරිය සහතික කරන සහ එය මායිම් කරන ප්‍රධානම ව්‍යුහය වන ඇතුළු පවුරෙහි පිහිටීම තහවුරු කරවීමයි. අප භාවිතා කරන භූ භෞතික තාක්ෂණයේ ගුණාගුණ ඉතා හොඳින් දන්නා මාහට එය ඇසු විට මඳ සිනහවක් නැගුනේ එය කජු කනවාටත් වඩා පහසු කාරියක් බව මා ඉතා හොඳින් දන්නා බැවිනි. එම පරිචය ලබා ගැනුම උදෙසා බොහෝ වාරයක් විවිධ ක්ෂේත්‍ර පර්යේෂණ කරන්නට සිදු වූ අතර එනිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතු වූ, කලක් භාවිතයෙන් අතැර තිබු මෙම මිහි විනිවිදුම් තාක්ෂණයට පණ පොවන්නට මා හට හැකි වීම මාද ආයතනයද ලද භාගයක් බව මා විස්වාස කරන අතර නමුත් තවමත් එහි බොහෝ දෙනෙකු එම තාක්ෂණයේ අගය වටහා ගෙන නොමැති බව කණගාටුවෙන් වුව මෙහිලා සඳහන් කල යුතුය.

භූ අභ්‍යන්තරයේ සඟවා ගත් බොහෝ දේ අනුමාන වශයෙන් පවසන්නට මෙම උපකරණය කදිම ආයුධයකි, උපක්‍රමයකි. භූ අභ්‍යන්තරයේ වූ කුහරයන්, පාංශු දේහයේ ඝනකම පමණක් නොව පාංශු දේහයන්ගේ වයනයේ වෙනස්කම් සහිත ස්තරයන් ද, මවු පාෂණයට ඇති දුර ද එමෙන්ම එහි ඇති කුස්තුර සහ දැදුරු රටාවන් ද, භූ ගිලා බැසීම් ද මනාව අධ්‍යනය කල හැකි වීම මෙහි විශේෂත්වයයි. එමෙන්ම භූ අභ්‍යන්තරයේ කාලීනව යට වූ  මෙවැනි පුරාවිද්‍යාත්මක පාංශු සහ ගඩොලු ව්‍යුහයන් ද පොළොවේ වැළලුනු විවිධ නල මාර්ග ද කදිමට සටහන් කල හැකි තාක්ෂණයකි මිහි විනිවීදුම් රේඩාර් තාක්ෂණය. නවීන කොන්ක්‍රීට් වේලි වල පමණක් නොව අතීත වැව් බැමි වල ජල කාන්දුවන් ද මනාව අධ්‍යනය කල හැකි බව මේ වන විටත් අප ප්‍රයෝගිකව පෙන් වා දී ඇත.

මෙම ආයතනයට ආ විගස මෙම තාක්ෂණයේ වැඩිදුර පුහුණුවක් සඳහා නොර්වේ රාජ්‍යයට මා ලද අවස්තාව අනෙක් හැමෝම ලබනා එක් චාරිකාවක් පමණක් බවට පත් නොකර එම අවස්ථාව උපරිමයට ලබා ගෙන එයට අගනා සාධාරණත්වයක් ඉටු කරන්නට මා හට හැකි වූ බව මෙහි ලා සතුටින් මා සඳහන් කරන්නේ දැන් දැන් මෙහි භාවිතය උදෙසා ලැබෙනා ආරාධනා වැඩි වන නිසාවටම පමණක් නොවේ. ඒ මෙහි භාවිතයේ අනර්ගතම  අවස්තාව නාය පර්යේෂණ උදෙසා ලබා දීමට හැකි බව ප්‍රායෝගිකව පෙන්වා දීමෙනි. දැන් ඇත්තේ මෙම තාක්ෂණයේ ප්‍රයෝගික භාවිතය අදාළ පාර්ශව වල වගකීම බවට පත් කරගැනීමයි.

ඇතුළු නුවර ඇත්තේ පොළොන්නරු රාජ වංශයේ ආරම්භකයා ගේ රාජාභිෂේකය උදෙසා ඉදිකළ මාලිඟාව බව මෙරට බොහෝ දෙනෙකු නොදන්නවා පමණක් නොව අනුරපුරයේ එවැනි මාලිඟාවක් ඇති බවද බොහෝ දෙනෙකු නොදන්නා බව සහතිකයි. ඔබ අනුරපුරයට යන්නේ නම් මෙම රාජාභිෂේක මාළිගාව නැරඹිය යුතුමය. ගොඩනැගිල්ලේ පාදම වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇත්තා වූ මෙම රජ මාළිගාව මහා වංශයේ තතු තහවුරු කරන්න ද කදිම සාක්ෂ්‍යයක් බව අමතක නොකළ යුතුය. අනුරපුර රජ වංශය පොළොන්නරු රජ වංශය හා ජානමය වශයෙන් සම්බන්ධ කරනා දම්වැල් පුරුක මෙය බව ද අපට සැලකිය හැක. සමහර විට මෙහි ඉදිකිරිම හරහා පළමුවැනි විජයබාහු රජු බලාපොරොත්තු වන්නට ඇත්තේ ද එයම විය හැකි. ඇත්තෙන්ම එය මෙරට ශ්‍රේෂ්ට රාජ පරම්පරාවන් දෙකක සම්බන්ධය තහවුරු කිරීමකි.

මා මිතුරු ආචාර්ය තුසිත වගලවත්ත මහතා තෝරාගත් ස්ථාන ගණනාවක් පෙන්වා දුන්නේ අප ඒ ස්ථාන වල අපගේ තාක්ෂණය භාවිතයේ යෙදවූ වෙමු. මේ සම්බන්ධව වැරදි තොරතුරු ජන ගත වූයෙන් සමහර ස්ථානවලදී අපගේ කාරිය කරගෙන යාමට මෙම අපූරු පුරාවිද්‍යා භුමිය ආක්‍රමණය කර සිටින ජනතාවගේ විරෝධය බාධවක් වූ බවද මෙහි ලා කණගාටුවෙන් සඳහන් කල යුත්තේය. එමෙන්ම එය පුරාවිද්‍යා භූමියක් බව තම ඇස් පනාපිට ඔප්පු වෙමින් තිබියදීත් තවමත් එහි ගැවසී සිටිනා එම ජනතාව කරනුයේ මෙරට උරුමයට ඉතා බලවත් අසාධාරණයක් බව ද සඳහන් කල යුතුය.

අපගේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පෙන්වූ සෑම ස්ථානයකම ඇතුළු පවුර ඉතා කදිමට අපගේ උපකරණයේ සටහන් වූයේ මෙම ප්‍රදේශය ඉතා වටිනා පුරාවිද්‍යාත්මක භූමියක් බව නැවත නැවතත් ඔප්පු කරමිනි. අඩකවයක් සේ සටහන් වූ දෙපසට බිඳ වැටුන ගඩොලු ව්‍යුහයන් පතාක පවුරක් බව කදිමට ඔප්පු වූ බවද මෙහි ලා සටහන් කල යුතුය. ඉදිරියේ දී මෙම ප්‍රදේශය වඩාත් අරක්ෂාකාරී පුරාවිද්‍යාත්මක භූමියක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන්ගේ කදිම නැවතුමක් බවට පත් කිරීමට අවැසි නම් ඍජු ස්ථිර තීරණයන් ගැනීමට අදාළ ආයතනවලට සිදුවනු ඇත. ගැටලුව වන්නේ ඒ දිනය එළඹෙන්නේ කවදා ද යන්නයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 20 August 2020

උඩවලවේ පාංශු භක්ෂක හස්තීන් ...!!!

This artcile is originally published on Vidusara 19,08.202

භූ සංචාරිතය 23

ලෝකයේ හොඳම වයින් නිෂ්පාදකයා වන්නේ ඉතාලිය බව ද විටෙක එය ප්‍රංශය බව ද  පවසයි. කෙස් වුවත් වයින් නිෂ්පාදනයේ එක රහසක් වන්නේ එය සාදන අකාරය වාගේම ඒ සඳහා යොදා ගන්නා මිදී ලබා ගන්නා ප්‍රදේශයයි. එම රටවල එක් එක් ප්‍රදේශවලින් ලබා ගන්නා මිදී භාවිතා කර සාදන වයින් සුවිශේෂී වයින් වර්ග වන බව වයින් සංස්කෘතියේ ඉන්නා ඒ ගැන දන්නා බොහෝ දෙනා පවසන සත්‍යයක්. ඉන් ගම්‍ය වන කාරණය වන්නේ මිදී වල රසය වෙනස් කරන්නට එම ප්‍රදේශය බලපානා බවයි. ඇත්තෙන්ම ඒ ප්‍රදේශයේ පැතිරී ඇත්තා වූ පාංශු දේහයන් ගේ ගති ලක්ෂණ මේ සඳහා හේතුවන බවයි අපට වඩාත් හොඳින් පැහැදිලි වන්නේ.

මේ කාරණයම ලෝකයේ කිරි නිෂ්පාදනය සඳහා ද බලාපාන බවයි පැවසෙන්නේ. හොඳම කිරි ලබා ගැනීමට ඉතා හොඳ තණකොළ ලබා දිය යුතු බවත් ඒ සඳහා හොඳම තණකොළ වවාගැනීමට අවශ්‍ය බවත් පැවසෙනවා. හොන්දම් තණකොළ තීරණය වන්නේ වවනා ප්‍රදේශය මත බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ.  එනම ඒ සඳහා ප්‍රමුඛ වන්නේ අදාළ ප්‍රදේශයේ පාංශු දේහයන්ගේ ගුණාගුණ බවයි.

කෙසේවෙතත් ලෝකයේ කොයි ප්‍රදේශය සැලකූවත් පසේ ගුණාගුණ මත ඒ මත වැවෙනා ශාක රටාව වෙනස් වන බව පැහැදිලි කරුණකි. ඉන් ගම්‍ය වන්නේ ශාක වැඩිම සඳහා අවශ්‍ය වන එක් එක් පෝෂක කොටස් ලබා දෙන්නේ පස් මගිනි. පාංශු ස්ථරයේ ඝනකම ලොව සෑම තැනකම එකම ලෙස හමුවන්නේ නැත, සමහර ස්ථානවල පාංශු ස්ථරය දක්නට නොලැබෙන අතර හමුවන්නේ පාෂාණ උද්ගතයන් පමණකි. සමහර ස්ථානවල ඉතා විශාල පාංශු ස්ථර දැකගත හැකිය. මේ වෙනස බොහෝ විට දේශගුණය සහ දාල ප්‍රදේශයේ කාලගුණය මත පදනම් වන අතර ජීර්ණය වන පාෂාණයේ ගුණාගුණ මතද රඳා පවතින බව අප අමතක නොකළ යුතුය. එයට අමතරව ශාක වැස්ම මගින් ඇතිකරන බලපෑම ද නොසලකා හල හැකි නොවේ.

ඒ අනුව ඉතා හොඳින් පැහැදිලි වන සත්‍ය නම් පාංශු දේහයන්ගේ ගුණාගුණ පවතින ප්‍රදේශයට සාපේක්ෂ වන බවයි. එනිසා මේ කාරණය බොහෝ විට ජීවීන්ගේ සෞඛ්‍ය උදෙසා ද බලපාන බව අපට අනුමාන කල හැකි. එවැනි ප්‍රදේශවල වැවෙන ශාක තම පෝෂණය උදෙසා ලබා ගන්නා ජීවින් තුල ඒ අනුව ඇතිවන විපරියාසයන් දැක ගත හැක. මෙවර භූ සංචාරිතයෙන් මා පවසන්නට යන්නේ එවැනි සිද්ධියක් වාර්තා වන ප්‍රදේශයක් පිළිබඳවයි. තම දේහයට අවැසි පෝෂණ කොටස්, විශේෂයෙන්ම පාංශු ඛණිජ ලවණ නිසි පරිදි තම ආහාරයන් මගින් නොලැබෙන්නේ නම් බොහෝ ජීවින් එය කෙලින්ම පසෙන් ලබා ගන්නා අවස්ථා ඕනා තරම් ලෝකයේ විවිධ ස්ථාන වලින් වාර්තා වෙයි. මේ සිදුවීම් හඳුන්වන්නේ “පාංශු භක්ෂණය” (geophagy) නමිනි.

මානවයන් ද ඇතුළුව ලෝකයේ බොහෝ සතුන් මෙම හැසිරීම දක්වන බව මේ වන විට අනාවරණය වී ඇත. බොහෝ විට සෝඩියම් වැනි ඛණිජ ලවණ ලබා ගැනීම සඳහා ලවණ අවසාදනය වූ ගල් ගුහා කරා මෙම සතුන් ඇදෙන බවත් එමනිසා එම ගුහා වල විශාලත්වය වැඩි වී ඇති බවත් අත්‍යන්ත කරුණකි. උදාහරණයක් ලෙස ගත හොත් කෙන්යාවේ ‘කිතුම්’ නම් වූ ගල්ගුහාව මෙලස විශේෂයෙන්ම හස්තීන්ගේ ග්‍රහණයට හසු වූ ස්ථානයකි. ගුහාව මීටර සියයකට වැඩ දුරකට හෑරි විශාල වී ඇත්තේ මෙලෙස හස්තීන්ගේ කැණීමට හසු වූ නිසාවෙනි. මේ තත්වය හස්තීන්ගේ පමණක් නොව කුරුල්ලන් සහ වනයේ වසන අනෙකුත් ක්ෂිරපයින්ගේ පවා දැකිය හැකි බව විද්‍යත්මක පර්යේෂණ වලින් තහවුරු වී ඇත. විශේෂයෙන්ම මේ තත්වය අප්‍රිකාව වැනි ප්‍රදේශ වලින් ඉතා ප්‍රමුඛව වාර්තා වෙයි.

අප්‍රිකාවේ ගෝත්‍ර අතර පවතින “මානව පාංශු භක්ෂණය” ද සතුන් අතර පවතින්නාක් මෙන් ඉතා පොදු ධර්මතාවක් බව හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම ගැබිණි කාන්තාවන් සහ ළමුන් අතර මේ තත්වය හඳුනාගෙන ඇත. බටහිර වෛද්‍යක්‍රමයට අනුව මෙය එක්තරා රෝගයක් ලෙස ද ඔවුන් හඳුන්වා දී තිබේ. මේ තත්වය ග්‍රීසියේ 14 වන ශතවර්ෂයේදී පවා හඳුනාගෙන ඇත. මෙවැනි සමහර සිදුවීම් ශ්‍රී ලංකාවෙන් පවා වාර්තා වී ඇති බව මා හට මතකයක් ඇත.

අප උඩවලව යන්නේ අලි බැලීමටයි. ඔබ නොදන්නවා වූවාට උඩවලවේ අලින් ද මේ ආකාරයේ හැසිරීමක් දක්වන බව වාර්තා වී ඇත. වසර ගනනාවකට ඉහත දී මා මිත්‍ර පශු වෛද්‍ය දීපානි ජයන්තා මහත්මිය සමග උඩවලවේ අලින්ගේ පාංශු භක්ෂණ ප්‍රදේශයන් දැක බලා ගැනීමට මා හට ඉතා කදිම අවස්ථාවක් ලද්දෙන් ඒ පිළිබඳව යම් තරමකට හෝ අධ්‍යනය කරන්නට හැකියාව ලැබුණි. උඩවලව ජාතික උද්‍යානයෙන් ඔබ්බෙන් වූ මෙම ප්‍රදේශ වලට ද තම පාංශු භක්ෂණය සඳහා අලින් පැමිණෙන බව අපගේ නිරීක්ෂණ කටයුතු වලින් ඉතා හොඳින් පැහැදිලි විය. මේ තත්වය වනෝද්‍යාන තුලද ඉතා බහුලව දැකිය හැකි බවත් අසන්නට ලැබුණි.

අප සිදුකල අධ්‍යනයෙන් අපහට පැහැදිලි වූ කාරණාව වන්නේ ඔවුන්ගේ භක්ෂණයට ලක් වන්නා වූ ස්ථාන බොහොමයක් ප්ලෑජියෝක්ලෙස් (plagioclase) නම් වූ ඛනිජය ඉතා බහුලව හමුවන ස්ථාන බවයි. ඉතා හොඳින් පැහැදිලි වූ කරුණ වන්නේ ඔවුන්ගේ පාංශු භක්ෂණය නම් සෝඩියම් අඩංගු ලුණු සඳහා නම් නොවන බවයි. එවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේ නම් ඔවුන් අනිවාර්යෙන්ම අසල ගම්මාන වලට කඩා වදිනා බවත් එම ගෙවල ඇති ලුණු ආහාරයට ගන්නා බවත් සිතිය හැක. නමුත් කලාතුරකින් එවැනි සිදුවීම් වාර්තා වුවත් එය බහුලව වාර්තා නොවන බවයි අපට පැහැදිලි වන්නේ.

එසේ නම් ඔවුන් කවර කාරණයක් සඳහා මේ පාංශු භක්ෂණයේ යෙදෙන්නේ ද බව ඇත්තෙන්ම ගැටලුවකි. මා කල අධ්‍යයන වලින් පැහැදිලි වූ  ඉහත සඳහන් කල කාරණය යම් ආකාරයක පිළිතුරක් මේ සඳහා ගෙන එන බව සිතිය හැකිය. අනුමාන වශයෙන් පැහැදිලි වන කරුණ වන්නේ පාංශු භාකෂණයට ලක්වන ප්‍රදේශයේ භූ විද්‍යත්මක පසු බිම ගෙන එන්නේ පෙග්මටට්යිට් (pegmatait) නම් වූ පාෂාණ විශේෂය හෝ ප්ලෑජියෝක්ලෙස් (plagioclase) බහුලව අඩංගු ඛණිජ තීරු දක්නට ඇති ස්ථාන බවයි.  සුදු පැහැති ඛනිජයක් වන මෙහි රසායනික සංයුතියේ කැල්සියම් අඩංගු බව පෙන්වා දෙයි. එසේ නම් උඩවලව අලින්ගේ මේ ව්‍යායාමය තම කැල්සියම් අවශ්‍යතාව සපුරා ගැනීමට විය හැකිය.

මේ හැසිරීම් තත්වය උඩවලවේ අලින් පමණක් නොව විවිධ සිවුපාවුන් ද කුරුල්ලන් ද පෙන්වන අපට එම නිරීක්ෂණ චාරිකාවේ දී පැහැදිළි වූ කරුණකි. කෙසේ වෙතත් යම් ප්‍රමාණයකට දීර්ඝව සහ විස්තරාත්මකව අධ්‍යනයට ලක් කල යුතු කාරණයක් බවයි මාගේ අදහස වන්නේ. මා මිතුරු දීපානි ජයන්තාට නොවක තුති පිරිනමන්නේ මේ කදිම කාරණය ගැන යම් ප්‍රමාණයකට හෝ අවබෝධයක් ලබා ගැනීමට මා හට අවස්ථාව ලබා දුන්නාටයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 14 August 2020

විපරීත කඩුගන්නාවේ සුන්දරත්වය...!!!

භූ සංචාරිතය 22

This article is originally published on Vidusara 11.08.2020.

භූ සංචාරිතය මා ගෙන එන්නේ බොහෝ දෙනෙනෙකු නොදකින ශ්‍රී ලංකික භූ පරිසරයේ අපූරු සුන්දරත්වය ඔබ වෙත ගෙන එන්නට මිස, මාගේ දැනුමේ වපසරිය පෙන්වන්නට නොවන බව මෙහිලා මා තරයේම සඳහන් කල යුතුය. දශකයට අසන්න කාලයක් මා සේවය කරන ලද්දේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධව යි. එනිසා මාගේ දශක දෙකකට ආසන්න සේවා කාලයේ අර්ධයක්ම මා ගත කරන්නේ පුරාවිද්‍යාත්මක දෑ ඇසුරු කරගෙනය. ම විසින් මෙරට වර්ධනය කරන ලද භූ පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල ශ්‍රී ලාංකික පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙහි ගිලිහුන ගැලපුම ශක්තිමත් කරන්නට අවශ්‍ය මාධ්‍ය සපයන්නට හැකි බව අමතක නොකළ යුතුය. මේ සත්‍යතාවය පිලි නොගන්නා තෙක්ම,  භූ විද්‍යාව  පුරාවිද්‍යාවේ පදනම නොවේ යැයි සිතන තාක්ම, සමාවන්න, එය ළිං මැඩියන්ගේ  කථිකාවතක් පමණක් වනු ඇත.

භූ සංචාරිතයෙන් මා ගෙන එන දේ බොහෝ විට පුරාවිද්‍යාවට සම්බන්ධ බව මාගේ ලිපි ඔබ කියවන්නේ නම් ඔබට වටහා ගන්නට හැකි වේ. මා මිතුරු පුරාවිද්‍යාඥයින් තරයේම මතකයෙහි රඳවා ගත යුතු කරුණ වන්නේ ඒ හරහා මා කිසිම විටක ඔවුන්ගේ දැනුම අවතක්සේරු කරන්නට උත්සාහ නොදරන බවයි. එපමණක් නොව කිසිවිටෙක මා ඔබගේ ක්ෂේත්‍රය ආක්‍රමණය කරන්නට උත්සාහ නොදරන බවයි, මා සැමවිටම උත්සාහ දරනුයේ ඔබගේ මතයට රුකුලක් විය හැකි භූ විද්‍යාත්මක කරුණු ගෙනහැර පෑමයි. ඒ ඔබගේ මතය අතාර්තිකත්වයෙන් මුදවා ගැනීම උදෙසායි. එනිසා වරදවා වටහා ගැනීමක් නොකර මා විසින් ගෙන එන කරුණු ඔබගේ මතයන් සනාථ කිරීම සඳහා උපයෝගී කරගන්නා ලෙසයි මා කාරුණිකව ඉල්ලා සිටින්නේ.

මා අත්දකින ලද භූ පරිසරය මා දකින්නේ මාගේ චිත්තයේ අදිනා ලද සිතුවමක් ලෙසයි. සිතුවමක් යනු බොහෝ පාරිසරික කරුණු මෙන්ම අඳින්නාගේ සිතුවිලි ද විදහා දක්වන ප්‍රකාශණයකි. කොටින්ම එය  කලාකරුවාගේ සිතෙහි ඒ මොහොතේ හටගත් භාවාත්මක හැඟීම් වර්ණ සංකලනය තුලින් තව අයෙකුට රස විඳින්නට සැලස්සිමයි. ඔබ “Local Colour” නම් වූ අපූරු සිතුවම් පටය නරඹා ඇත්නම් මා පවසන්නේ කුමක්දැයි ඔබට වැටහෙනු ඇත. නිකොලායි සේරෝෆ් නම් වූ අසහාය කලාකරුවාගේ ජීවන වෘතන්තයෙන් බිඳුවක් සිතුවම් කර ඇති මෙම අපූරු කලා කෘතිය මෑත ඉතිහාසයේ මා නරඹන අපූරු නිර්මාණයකි.

භූ විද්‍යා විෂය හදාරන සෑම සිසුවෙකුටම අනිවාර්යෙන්ම හැදෑරිය යුතු විෂයක් වන්නේ පාෂාණ විද්‍යාවයි (Petrology). ඉන් ද මෙරට බහුතරයක් වූ පාෂාණ විපරීතකරණයට ලක් වීමෙන් ලද හෙයින් “විපරීත පාෂාණ විද්‍යාව” (Metamorphic Petrology) ගැන මනා දැනුමක් ලබා ගත යුතුය, නැතහොත් ක්ෂේත්‍රයේ දී ඔබව අතරමං කරනවා නොඅනුමානයි. විපරීත පාෂාණ විද්‍යාව ශ්‍රී ලංකික භූ විද්‍යා සන්ධර්භයේ කොඳු නාරටිය වන අතර ඔබට මේ තුල නැගී සිටීමට නම් එය ඉතාම හොඳින් අධ්‍යනය කල යුතුය. නමුත් බොහෝ දෙනෙකුගේ ඒ සඳහා ප්‍රසාදයක් නොමැති බව පෙනී යන කාරණයකි. නමුත් මා නම් ඉතා හොඳින් රස විඳි විෂයකි, විපරීත පාෂණ විද්‍යාව.

උච්ච විපරීතකරණයට (Highgrade metamorphism) ලක් වූ පාෂාණ වලින් සමන්විත වන ශ්‍රී ලංකික භූ තලය තුල උච්ච්ත්වයේ උච්චත්වයට ලක්ව උ භුමි භාගයක් මෙරට මාධ්‍ය කඳුකරයේ අපට මුණ ගැහෙයි. ඒ කඩුගන්නාව ප්‍රදේශයයි. ඔබ කොළඹ සිට මහනුවර යන්නේ නම්  එම අපූරු පාෂාණ සමුච්චය පසු කරමින් යන බව ඔබ නොදන්නවා ඇත. වන්නි සංකීර්ණයත් උස්බිම් සංකීර්ණයත් අතර සිරවී තිබෙනා මේ අපූරු පාෂාණ සංකීර්ණය හඳුනාගත හැක්කේ මීටර ප්‍රමාණයේ පුළුල් කළු සහ සුදු ඛණිජ තීරු වලිනි. තවදුරටත් විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ මේවා අති බිහිසුණු ලෙස වලිත (Fold) වී අපූරු රටා මවනා බවයි. මෙවැනි රටා මවන පාෂාණ ස්ථර කඩුගන්නාව ප්‍රදේශයේ ඉතා හොඳින් දැක බලා ගත හැක. මේ ප්‍රදේශයේ දී ඔබගේ අවධානය නම් යොමුවන්නේ ඉතා ඇතින් වූ කඳු වළල්ලකින් සිමා වූ සිත මන්මත කරනා හිස්  අවකශයට බව මා නොදන්නේ නොවෙයි. නමුත් ඒ වෙළඳසැල් පිටුපසට වන්නට මෙරට භූ විද්‍යා ඉතිහාසයේ අපූරු කතන්දරයක් කියන්නට ලක ලැහැස්ති වන පාෂාණ සමුච්චයක් ඇති බවත් මින් පසු මේ ප්‍රදේශය පසු කරනා ඔබ අමතක නොකළ යුතුය. ඉතා අධික උෂ්ණත්වයකට සහ අධික පීඩනයකට ලක් වී ඉතා දිගු කාලයක් තෙරපි තෙරපී අසාමාන්‍ය ලෙස වලිත වූ එම පාෂාණ සමුච්චය පවසන කතන්දරය අප ඇසිය යුතුය.  එය කඩුගන්නාව පාෂාණ සංකීර්ණයේ (Kadugannawa Complex) කතන්දරයයි.

විපරීතකරණය මා දකින්නේ භූ විද්‍යා සන්දර්භය තුල හමුවන ඉතා විශ්මය ජනක භූ සංසිද්ධියක් ලෙසයි.  ජලීය මාධ්‍යක් තුල අනු සහ අයන වල සංචරණය පිලිබඳ අපට සිතා ගත හැකිය. එනිසා එහිදී ඇතිවන සංයෝග ගැන පහදා ගැනීම ගැටළුවක් නැත. නමුත් විපරීතකරණය නම් වූ අපූරු ක්‍රියාදාමය සිදුවන්නේ සියල්ල ඝන අවස්ථාවේ දී වීම විශේෂයයි. පාෂාණ යනු ඛණිජ සමුච්චයක් බව අප අමතක නොකළ යුතුය. ඛණිජ යන්නෙන් හැඳින්වෙන්නේ එක් එක් ආකාරයේ රසායනික සංයෝග බව ද අමතක නොකළ යුතුය. ඛණිජ සකස්කරනා රසායනික සංයෝගමය අයන සංචරණය වන්නේ පාෂාණ පද්ධතිය ඝන අවස්ථාවේදී පවතිත්තදීමය. තවත් විශේෂත්වයක් වන්නේ උෂ්ණත්වයේ සහ පීඩනයේ වෙනස්වීමට අනුරූපව පාෂාණ පද්ධතියේ රසායනය වෙනස් නොවී ඛණිජ සංයුතිය පමණක් වෙනස් වීමයි. විපරීතකරණයේ දී එහි ප්‍රභලතාවය තීරණය වන්නේ වැඩි වූ උෂ්ණත්වය සහ පීඩනය මතයි. අප අමතක නොකළ යුත්තේ එය පවතින පාෂාණයේ ඛණිජ වල සටහන් වන බවයි. පීඩනය වැඩි වන්නේ ප්‍රාදේශීය විපරීතකරණයේදී වන අතර ඒ සඳහා හේතුවන්නේ භූ තල ක්‍රියාකාරකම් වල බලපෑමට ලක් වීමයි. භූ තල දෙපසින් ඇතිකරනා දිගු කාලීන පීඩනය නිදහස් කරන්නේ අදාළ උෂ්ණත්වයට සහ පීඩනයට අනුරුපවයි, එසේත් නැතිනම් එම පාරිසරික තත්වයට ගැලපෙන ස්ථායි ඛණිජ සමුච්චයක් බිහිකිරීම මගිනුයි. එමෙන්ම තෙරපෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශානතියට එම ඛණිජ හැඩ ගැසීමෙන් කළු සහ සුදු ඛණිජ තීරු බිහිකරන්නට හේතු වෙයි.

කඩුගන්නාව පාෂාණ සමුච්චයේ ඇති කළු ඛණිජ තීරු බොහෝ විට “බයෝටයිට් මයිකා සහ හෝන්බ්ලෙන්ඩ්” නම් වූ ඛණිජ වලින් සකස් වී ඇත. එහි පවතින සුදු පැහැති ඛණිජ තීරු සමන්විත වන්නේ “ෆෙල්ඩ්ස්පාර් සහ ක්වාර්ට්ස්” නම් වූ ඛණිජ වලිනි. ඒ වාගේම විටින් විට ‘ගානට්’ නම් වූ විසිරුණ රතු පැහැති ඛනිජයක් ද දැක ගත හැකිය. වෙනත් සුළු ඛණිජ ගණනාවක් ද අපට හඳුනාගත හැක. ලද උෂ්ණත්වය සහ පීඩනය කොතරම් අධික වූයේ ද යත් සමහර පාෂාණ කොටස් උණු වී දිය වී ගොස් ඇති බව ද මෙම පාෂාණ වල අපට හඳුනාගත හැක. උෂ්ණත්වයට සහ පිඩනයට ලක්වන අකාරය අනුව ඇතිවන ඛණිජ සමුච්චය අධ්‍යනය කිරීමෙන් විපරීතකරනයේ සම්මත අවස්ථා අපට හඳුනාගත හැක.

කඩුගන්නාවේ පාෂාණ මේ සියලු වද වේදනා ඉවසා සිටින්නේ ඒ පිලිබඳව විමසිල්ලක් ඇති භූ විද්‍යාඥයෙකු මුණ ගැහෙනා තුරුය. වරින් වර සිදු කරනා ලද භූ විද්‍යාත්මක අධනයන මගින් යම් ප්‍රමාණයකට මේ පාෂාණ සමුච්චයේ අතීතය හාර අවුස්සා ඇත. නමුත් තව බොහෝ දේ හෙළි කරන්නට ඇති බව අප අමතක නොකළ යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 6 August 2020

මාන්තායි සමුද්‍රාසන්න වෙළඳ නගරයේ පරිණාමය....!!!


භූ සංචාරිතය 21


This article is originally publishde on Vidusara 05.08.2020.


සමුද්‍රාසන්න භූ රූපණය (coastal geomorphology) නොමැතිව භූ විද්‍යාවේ රසය සෙවිය නොහැක. භූ විද්‍යාවේ ශ්රුන්ගාරය ගෙන එන්නේ සමුද්‍රාසන්න භූ රුපණයයි. එනිසා භූ සංචාරිතයේ දී මේ ගැන කතා නොකරම බැරිය. බලන්න බලන්න ආසා හිතෙන දේවල් වාගේම දෙවරක් හරි හැරි බලන්නත් හිතෙන දේවල් ඇත්තේ වෙරළාසන්නයේ බව නොකියාම බැරිය. ඒ තරමටම සමුද්‍රාසන්න භූ රූපණය විචිත්‍රය, අලංකාරය, සිත් ඇදගන්නා සුළුය.

සමුද්‍රාසන්න පරිසරය නිතරම වෙනස්වන සුළුය, අලුත් වෙන සුළුය. ලෝක සාගර ජල මට්ටම ද, වරින් වර ලෝකයේ ඇතිවන සුළං ධාරා ද,  අඩු වැඩි වශයෙන් ලැබෙන හිරුගේ රශ්මිය ද සමුද්‍රාසන්න භූ රූපණය යාවත්කාලීන කරන්නට මහඟු මෙහෙයක් කරන බව අප වටහා ගත යුතුය. පුලින තලාවේ භෞතික රසය කලත්තන්ට වෙහෙසෙන්නේ සාගර තරංගයි. එහි රසයේ ප්‍රභලතාවය අනුව පුලිනතලාවේ ඛණිජ අංශු වල රසය වෙනස් කරන්නට සමත් වෙයි. එනිසා වැලි අංශුමය, මැටි අංශුමය මෙන්ම විශාල පෙබලු අංශුමය පුලින තලාවන් බිහිකරන්නට සමත්වෙයි. එමෙන්ම එහි ස්ථානීය පැවැත්ම තීරණය කරන්නේ සාගර ජල මට්ටමේ උච්චාවචනයයි.

වසර විසිදහසකට පමණ පෙර ශ්‍රී ලංකාව අවට  මුහුද සහ සමුද්‍රාසන්න පරිසරය පැවතියේ අද පවතින මට්ටමට වඩා මීටර සියයක් පමණ පහතින් බව මා මිතුරු මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පර්යේෂණ පත්‍රිකාවකින් පවසා සිටියි. ඔහුගේ මෙම නිගමනයන් වලට ඔහු එළඹෙන්නේ සමුද්‍රාසන්න පරිසරයේ සිදුකරන ලද අධ්‍යනයකට අනුවය. එමගින් පෙනී යන කාරණය වන්නේ වසර 20, 000 ට පමණ පෙර ශ්‍රී ලංකාව ඉන්දියානු මහාද්වීපය සමග ගොඩබිමෙන් සම්බන්ධ වී තිබු බවයි. මෙය වසර මිලියන 250 කට පමණ පෙර පවතී තත්වයට හාත්පසින්ම වෙනස් දෙයකි, එකල්හි අප සම්බන්ධ වූයේ භූ තැටි සමගින් බව අමතක නොකළ යුතුය. ඒ කාලයේ ඇති වූ අපසාරී තල මායිමක් නිසාවට කාවරී ද්‍රෝණිය හරහා අපත් ඉන්දියාවත් වෙන් වූ අතර පසු කාලීනව ඇති වූ දේශගුණික සහ කාලගුණික විපරියාසයන් ගේ ප්‍රතිඵලයක් වූ සාගර ජල මට්ටමේ උච්චාවචනය නැවත මේ ගොඩබිම් එක් කරන්නට හේතු විය. ඇති වූ කාවරී ද්‍රෝණිය හිඳී යාම තුල මෙලස නිරාවරණය වූ ගොඩබිම් තීරුවකින් අපත් ඉන්දියාව ත් එකිනෙක නැවත සම්බන්ධ කරන්නට ඇත.

මේ තත්වය වඩා ප්‍රබලව සහ ප්‍රමුඛව දැක ගත හැකිවන්නට ඇත්තේ මන්නාරම් ද්‍රෝණිය හරහා බව අමතක නොකළ යුතුය. ඒ හරහා හිඳුනු සාගරයේ උස් බිම් යාකරමින් දෙගොඩබිම් යාකරන්නට හැකි පටු බිම් තීරුවක් ඇතිවන්නට ඇත. එය ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් ඇති පොහොසත් ජාන කිටුව නැවත සම්මිශ්‍රණය කරන්නට මහඟු කාරියක් කර ඇති බව ස්ථිරයි. නමුත් තවමත් ශ්‍රී ලංකවේ මේ සම්බන්ධයෙන් එනම් ජෛවභූසංචරණය (biogeography) ගැන ප්‍රමාණවත් තරම් අධ්‍යනයන් සිදු වී නොමැති බව පෙනී යන කරුණකි. ඒ කෙසේවෙතත් බොහෝ දෙනෙකු ගේ අවධානය මන්නාරම වෙත යොමු වී ඇතිබව රහසක් නොවේ.  

ලෝකය උණුසුම් වෙමින් තාවකාලික ව ගබඩා කරගත් ජලය මුදාහරින්නට ග්ලැසියර පටන් ගත්විට සාගර ජල මට්ටම ඉහල යන්නට විය. එය ලෝකයේ ගොඩබිම් යටකරමින් නවතම පුලින තලා සපිරි තිමිරයක් බිහිකරන්නට උත්සුක විය. නමුත් මෙය නොනවත්වාම සිදු වෙමින් අද පවතින මට්ටමට සාගර ජල මට්ටම ගෙන එන්නට සමත්වන්නේ අදින් වසර අටදහසක් පමණ ගත වූ තැනය. එතෙක් කල් ඉන්දියාව සහ අප හා සම්බන්ධවන්නේ ගොඩබිමෙනි. මෙය ඉන්දියානු ශිෂ්ටාචාරය සමග අපගේ සම්බන්ධය තීව්ර කරන්නට හේතුවන්නට ඇත. නොයෙකුත් සම්බන්ධකම් ගොඩනැගෙන්නේ එනිසා ගොඩබිමෙනි. එනිසා ඉතා පැහැදිලිවම මන්නාරම වාරයක් වන්නට පෙර (පසු කාලීනව එසේ වූවානම් මිස) එය ගොඩබිම් වෙළඳ මධ්‍යස්ථානයක් බව අප අමතක නොකළ යුතුය.

මහාතිත්තය ගැන කතා කරනා බොහෝ දෙනෙකු ලැබුන පුරවිද්‍ය්ත්මක සාක්ෂි අර්ථකථනය කර ඇත්තේ වැරදියට බව මා හට පෙනී යනු කරුණකි. මන්දයත් මාන්තායි වාරයක් වන්නට නම් හොඳින් නැව් මෙහෙයවියහැකි සාගර පරිසරයක් එහි තිබිය යුතුය. ඉන්දියාවත් ලංකාවත් අතර ඇති කාවරී ද්‍රෝණිය එලෙස මහා නැව් හැසිරවිය හැකි පරිසරයක් නිර්මාණය කරන්නේ නැත. එම සාගර පරිසරය නොගැඹුරු මුහුද කලාපයකි. එමෙන්ම ඉහලින් අප කතා කල ගොඩබිම් මාර්ගයක් තැතී තිබුන කලෙක වරායක් නිර්මාණය විය හැකිද යන්න තාර්කිකව අප කල්පනා කල යුතුය.

පසු කාලිනව ඇති වූ සාගර උච්චාවචනයන් ගැන කතා කරනා මහාචාර්ය කටුපොත මහතා පවසන්නේ වසර 10000ක ට පමණ පෙර සිදු වූ අවසාන උපරිම ග්ලැසියරකරණයට පසු  (last glacial maximum)  දෙවතාවක් ( වසර 6000-5000 ත් අතර සහ වසර 3000- 2000 ත් අතර) පමණ මුහුදු මට්ටම අද පවතින මට්ටමට වැඩ ඉහල ගොස් ඇති බවය. ඒ සඳහා සමුද්‍රාසන්න පරිසරයෙන් ඉතා පැහැදිලි සාක්ෂයන් සොයා ගත හැකිය. මෙරට ගොඩබිම තුල හමුවන බෙලිකටු නිධි සහ කොරල් නිධි ඒ සඳහා කදිම නිදසුන් බව අමතක නොකළ යුතුය.

මහාතිත්තයේ ගොඩබිම හරහා නිර්මාණය වූ වෙළඳ මධ්‍යස්ථානය කාලීනව සිදු වූ කාලගුණික විපරියසයන්ට අවනතව යාවත්කාලින වන්නට ඇති අතර ගඩොලුමය මාර්ගයක් මන්නාරම සහ   තමිල් නාඩුවේ ගිනිකොණ වෙරළ හා සම්බන්ධ වූ බව සමහර පර්යේෂණ පෙන්වා දී තිබේ. ක්‍රමිකව වැඩි වූ මුහුද මට්ටම හා සටන් වදින්නට ක්‍රමයෙන් යටවූ බිම් තීරු උස්කර භාවිතයට ගන්නට උස බිම් යා කර පාලම් තනන්නට් ඇති අතර බොහෝ කාලයක් යන තුරු ඉන්දියාවත් ඉන් ඔබ්බෙන් වූ රටරටවල වෙළඳාම සම්බන්ධ වන්නට ඇත්තේ මේ මාර්ගය ඔස්සේ බව භූ විද්‍යාවෙන් උකහා ගන්න මෙවැනි කරුණු විශ්ලේෂණය කරන්නට තාර්කිකව පෙනී යනු කරුණකි. එනිසා මාන්තායි ගොඩබිම් මාර්ගය ඔස්සේ සම්බන්ධවන වෙළඳ නගරයක් බව අපහට තේරුම් යන කරුණකි. මේ කරුණ හේතුවෙන් මෙරට අන්තර් ජාතික වරාය වන්නේ ගෝකන්න ම  බව සුපැහැදිලි සත්‍යයක් බව මෙහි ලා සඳහන් කල යුතුය. එය මෙරට අගනගරය වන්නට ද බොහෝ දුරට ඉඩ තිබෙන බව පෙනී යන කරුණකි.

මුහුද මට්ටම වැඩි වූ කල්හි එය ක්‍රමයෙන් මුහුදු මාර්ගයක් බවට පත් කර ගන්නට ඇති බව අපට නිගමනය කල හැකි. එනිසා නොගැඹුරු ජලයේ යාත්‍රා කල හැකි ක්‍රමවේද බිහිවන්නට ඇති අතර දෙරට අතර වෙළඳ සම්බන්ධය සහ සංස්කෘතමය සම්බන්ධය ප්‍රබලව පවත්වා ගන්නට හැකියාව ලැබෙන්නට ඇත. මෙවැනි පරිසරයක් තුල වසර 2500 කට පෙර බුදුන් ජිවමානවම සිටි කාලයේ දී මෙරටට බුදු දහම නොලැබී යන්නට හේතුවක් නොමැත. මිහිඳු හිමියන් වදින්නට පෙර මෙරට බෞද්ධයන් සිටි යැයි අයෙකුට තර්ක කල හැක්කේ එහෙයෙනි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 30 July 2020

සුන්දරත්වය අසුන්දර කරන මානව ක්‍රියා …!!!


භූ සංචාරිතය 20


This article has been published On Vidusara, 29.07.2020.


භූ සංචාරිතය 20


කඳුකරයේ ලස්සන බලන්න නම් ඔබ යා යුත්තේ නුවරඑලියට නොව වලපනයටයි. වලපනය එතරම්ම අපුරු සුන්දර ප්‍රදේශයක්. එක් පැත්තකින් අහස සිඹින වලාකුළු අතගාන විසල් කඳු ශිකර. අනෙක් අතින් දුටුවිට බිය දැනෙන ගැඹුරු අගාධාමය  පටු නිම්නයන්. ඒ නිම්න වල භයානකකම පලවා හරින්නේ සුන්දර දසුන් මවනා හෙල්මළු වී වගාවයි. ගොයමේ ලා නිල්ල කන්ද කපා එන සුළං පහරින් සැලෙන්නේ අමුතුම රටවකටයි. කෙමෙන් පැසි රන්වන් වන වී කරල් ගැඹුරු නිම්නයට ගෙන එන අලංකාරය කියා නිම කල නොහැකියි. ඔබ වරක් හෝ මේ ප්‍රදේශයට ගොස් ඇත්නම් නැවත වරක් යන්නට සිතෙනවා නොඅනුමානයි.


වලපනයේ සුන්දරත්වය අකාමකා දමන්නේ තැනින් තැන පවතින අස්ථාවර වූ පාංශු දේහයන් වන අතර පසුගිය කාලයේ සිදු වූ ක්ෂණික නාය ආපදා නිසා බොහෝ දෙනා අපහසුතාවයට පත් වූ බව සැබවි. විශේෂයෙන්ම මාගේ අවධානය වැඩිපුරම මේ ප්‍රදේශයට යොමුවන්නේ මෙම නාය ආපදා නිසාමය. ජයිකා ආධාර මත ප්‍රතිස්තායිකරණයට ලක් වූ  උඩමාදුර   නාය ගිය භුමියේ වැඩකටයුතු සම්බන්ධීකරණය වූයේ මාගේ අනුදැනුම යටතේ යි. එනිසා බොහෝ වාර ගානනාවක මෙම ප්‍රදේශයේ සංචාරය කරන්නට මාහට හැකි විය. පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඒ සඳහා වය වූ අතර පළමු අවුරුද්ද නාය භුමිය ප්‍රතිස්ථායිකරණයට වය වූ අතර දෙවන වසර වෙන් කෙරුණේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අධීක්ෂණය සඳහායි. උඩමාදුර නාය භුමිය මේ වනවිට සාර්ථකව ප්‍රතිස්ථායිකරණයට ලක් වූ නායක් බව මෙහි ලා සතුටින් සඳහන් කල යුතුය. මෙම ව්‍යාපෘතිය නිසා මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන රටාව නොවෙනස්ව පවත්වාගෙන යාමට බොහෝ රුකල් දුන් බව අමතක නොකළ යුතුය. එනිසා නාය භුමියේ වෙසෙනා ජනතාව එම භූමියෙන් ඉවත්කරන්නට අවැසි වූයේ නැත.


සුන්දරත්වය ගෙන එන වලපනය නගරය පිහිටන්නේ කඳුවලින් වට වූ වලක බව ඔබ මෙම ප්‍රදේශය දැකබලා ඇත්තේ නම් ඔබට වැටහේවි. වලපනේ නාමය බිහිවන්නේ ද එමනිසා විය හැකිය. මේ සුන්දර ප්‍රදේශය තව තවත් අස්ථාවර පාංශු දේහයන් සහිත භුමි වලින් යුක්ත වෙයි. මුන්වත්ත, මහවැව වැනි ස්ථාන එලෙස අස්ථාවර වූ  පාංශු දේහයන් සහිත භූමින් වෙයි. තවත් එවැනිම ලොකු කුඩා ස්ථාන ගනනාවක් වලපනේ ප්‍රදේශය පවතින අතර ශ්‍රී ලංකා රජය ලද යම් ආධාර මත මහවැලි නිම්නයේ වූ මෙම වලපනේ ප්‍රදේශය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ක්‍රියත්මක කරන්නට මාගේ අධීක්ෂණය යට‍තේ හැකියාව ලැබුණි. එනිසා තෝරාගත් ප්‍රදේශ පහක අස්ථාවර පාංශු දේහයන්ගේ හැසිරීම අධ්‍යනය කරන්නට හැකි උපකරණ එම භූමිවල සවිකර තත්කාලීන  තොරතුරුකොළොඹ සිට අධ්‍යනය කරන්නත් යම් කිසි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන සයිරන් නලා සවිකර ජනතාවට සුරක්ෂිත බවක් එක්  කරන්නට ද එම ව්‍යාපෘතිය තුලින් හැකියාව ලැබුණි. තත්කාලීන වර්ෂාපතනය අධ්‍යනය කර නාය අනතුරු පුරෝකථනය කරන්නට ද මේ නිසා හැකියාව ලැබෙන්නේ එම ප්‍රදේශයේ ස්ථාන දහයක ස්වයංක්‍රිය වර්ෂාමාන සවිකිරිමෙනි. එම දහය අපගේ ප්‍රධාන පද්ධතියට එක්  කර එහි කාර්යක්ෂම බව වැඩිකරන්නට හැකියාව ලැබුණි.


වලපනේ සුන්දරත්වය මා මුලින්ම අත්විදින්නේ විශ්ව විද්‍යාලයේ තවන වසරේ පමණ ඉගෙනුම ලබමින් සිටිනා විටයි. ඒ විශ්ව විද්‍යාලයේ ගවිෂණ සංගමය සංවිධානය කරන ලද සංචාරයකට පින්සිදුවන්නටය. සති අන්තයේ සිදුකරනාගවේෂණ සඳහා මා බොහෝ විට මෙම සංගමය හා එක වූ වෙමි. මෙදින සංචාරය වලපනේ ප්‍රදේශයේ එතරම් ප්‍රසිද්ධ නොමැති දියඇල්ලක් නැරඹීම උදෙසායි. ඒ වෙන කිසිවක් නොව "කුරුඳු ඔය දිය ඇල්ලයි". මා සිතනා ලෙස මෙරටේ බොහෝ දෙනා උසම දිය ඇල්ල කුමක්දැයි දන්නා මුත් දෙවනියට උසම් දිය ඇල්ල කුමක්දැයි නොදන්නා බවයි. දෙවනියට උසම දිය ඇල්ල  වන්නේ මා ඉහත සඳහන් කල කුරුඳු ඔය දිය ඇල්ලයි. උස මීටර 189 ක් පමණ වන මෙම අපුරු දියඇල්ල නරඹන්නට යන්නේ නම් වලපනයට ගොස් ලියන්වල හරහා ද හයිපොරෙස්ට් හරහා ද ඇල්ලට ලඟා විය හැක. දෙවනියට කි මාර්ගය පළමු මාර්ගයට වඩා දුර අඩුය විනාඩි හතලිස් පහක් පමණ කාලයක් ගතවන බවයි පෙනී යන්නේ.


දිය ඇලි තවත් භූ විද්‍යාත්මක පරිසරයේ නිර්මාණයක් වන අතර භූ විෂමතාවය ඉතා හොඳින් ග්‍රහණය කර නිමැයුන සොබාවික නිර්මාණයක් බව අමතක නොකළ යුතුය. හිටිවනම ඇතිවන භුමියේ කඩා හැලීම පාෂාණ පද්ධතියේ ජානමය උරුමයක් වන පැලුම් සහ කුස්තුර වල ප්‍රතිඵලයක් බව ඉතා හොඳින් ඒ දෙය අධ්‍යනය කරනා භූ විද්‍යාඥයෙකුට පැහැදිළිවන කාරණයකි.  දිය අල්ලේ උස තීරණය වන්නේ ද ඔය කියනා භූ විද්‍යත්මක පසුබිම නිසාවටමය. එපමණක් නොව එය දිය ඇල්ලට එක කරන්න අලංකාරයක් බව මතක නොකළ යුතුය. ඇල්ලේ  ඇති ජල ප්‍රමාණය ද මෙම අලංකාරය දෙගුණ තෙගුණ කරන්නට හේතුවෙයි. කුරුදු ඔය දිය ඇල්ල නිර්මාණය වන්නේ මහා කුදුගල ප්‍රදේශයෙන් පටන් ගන්නා කුරුඳු ඔය දිය පහරෙනි. මෙම දිය පහර ගලා එන්නේ එම ප්‍රදේශයේ වූ තේ වතු හරහා අබව අප අමතක නොකළ යුතුය.


මහපාරේ සිට ආසන්න  වශයෙන් කිලෝමීටර එකක් පමණ ඉහලට නැග ඒ සුන්දරත්වය විඳින්නට ඔබට හැකිය. ප්‍රදේශය සීතල නිසා ගුවනේ පාවෙන වලාකුළු අතගෑමේ වාසිය ද මෙවංඉඅ සංචාර වලදී ලබනා අමතර වාසි වේ.  ඔබ හරහා ගලා යන සීතල ජල වාෂ්ප තම වත සිප ගන්නා විට ඇතිවන සුන්දරත්වය සහ සිත මුකුලිත වන බව ඔබ විඳිය යුතුමය. එය වචනයෙන් විස්තර කල නොහැකි අපුරු අත්දැකීමක් බව නම් මා හට කිව හැකිය.  


දිය අල්ලේ සුන්දරත්වය එලස වුවද අපගේ නොසැලිකිලිමත් බව  නිසා පශ්චාත් ගවේෂණ අත්දැකීම් නම් එතරම් සුන්දර නොවූ බව එයට එක වූ හැමටම මතක ඇති. ගෙන ගිය ජලය ඉවර වූ නිසා පිපාසය සංසිදුවා ගත්තේ අල්ලේ සීතල ජලයෙනි. ජලයේ පිරිසිදු බව අභියෝගයට ලක් වුයේ අප විශ්ව විද්‍යාලයට ආ පසුවයි. බොහෝ දෙනකුට ඇති වූ බඩේ අමාරුව නිසාවිශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය එදින රාත්‍රිය කාර්යබහුල ස්ථානයක් විය. මෙය ඉතා කදිම පාඩමක්  වන්නේ නොදන්නා ප්‍රදේශවලදී මෙවැනි ජලය පමණක් නොව එක්  එක් කෑම වර්ගවලද සුදු නුසුදුසු බව නොදැන භාවිතයට ගැනීමේදීය. කුරුඳු ඔය අල්ලේ ඉහල පෝෂක ප්‍රදේශයේ වූ ලයන් කාමර වල ජිවත්වන ජනය බැහැර ලන අපද්‍රව්‍ය සියල්ලේ එක්වන්නේ මෙම ජාල පහරට වන අතර තේ වගාවට යොදනා පොහොර සහ රසායනික ද්‍රව්‍ය එක්වන්නේ ද මෙම ජල පහරටයි.  මේ සියල්ල එක වූ ජලය බී  අප අසනීප වූ බව සැබෑවයි. එනිසා ඔබ සංචාරය කරන්නේ කොහි වුවද විශේෂයෙන්ම ප්‍රමාණවත් ජල පරිමාවක් මෙවන් ගමන් වලදී රැගෙන යාම ඔබගේ සෞඛ්‍ය රැකගැනීමට ඉවහල වන බව මතක නොකළ යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ



Saturday 25 July 2020


ගෝකන්න (ත්‍රිකුණාමලය) පැරණි ශ්‍රී ලංකවේ අගනගරය යි ?

භූ සංචාරිතය 19

This article is originally published in Vidusara 22.07.2020.


පසුගිය සතියේ  සංචරිතයෙන් අපගේ කතාබහට  වූයේ නැගෙනහිර පළාතේ තිබු  වෙළඳ නගරයක් ගැනයි. ලෝහ තාක්ෂණයෙන් ආඩය්‍යය වූ අපූරු දියුණු නවෝත්පාදන  දායාද කල මෙවන් වූ පුරයක් ශ්‍රී ලංකාවේ වීද යන්න බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී  නැති බව පෙනී යන කරුණකි. එමෙන්ම කරුණු  හරිහැටි අධ්‍යනය නොකර  මෙම ක්ෂේත්‍රයේ විද්වතුන් කරනා අර්ථකතන නිවැරදි නොවන බව ද බොහෝ සාමාන්‍ය ජනතාවටද  පැහැදිලි වන බව  යුතුය.  රටේ ජනතාව බලාපොරොත්තුවන්නේ වඩාත්  තාර්කික අර්ථකතන මිස  ඔහේ කරනා අමුතු පැහැදිලි කිරීම් නොවේ.    මෙරට ඉතිහාසය සහ පුරාවිද්‍යාව සැලකීමේදී අධ්‍යනය කරන්නට කොතෙකුත් දේ ඇතත් බොහෝ විද්වතුන් වත්මනේ පවතින රැල්ලට  අසු වී ගසා ගෙන යන බව පෙනී යයි.


ගෝකන්න කදිම අන්තර්ජාතික වරායක් වන්නට හේතුවන්නේ එහි අපුරු භූ විද්‍යත්මක පිහිටීම බව බොහෝ දෙනෙකු නොදන්නා බව සැබවි. ඉතා ගැඹුරු අගාධයක් නිර්මාණය වන්නේ ත්‍රිකුණාමලය බොක්ක හරහා වැටි ඇති ඊසාන නිරිත දිශානුගතව විහිදී ඇති භූ පැල්මක් හේතුවෙන් බව පෙනී යන්නේ බොහොමයක් පාෂාණ වල පැලුම් රටා අධ්‍යනය කරනා විටයි. ශ්‍රී ලංකවේ ප්‍රධාන වශයෙන් ඉහත කි පැලුම් රටාවත් සමග පවතින පැලුම් රටා දෙක භුමියේ බොහෝ දුර්වල කලාප නිර්මණය කර ඇති බව  පැහැදිලි වන්නේ  ගුවන් චායරුප අධයනයේ දීය.  අනිත් භූ පැල්ම පිහිටන්නේ  ගිනිකොණ  දිශානුගතාවයි. මහවැලි ගඟ ගලා බසින්නේ ඉහත කි භූ පැල්ම ඔස්සේ වන අතර එහි දිගුව මුහුදුට කිඳා බසින විට ඇතිවන්නේ මුහුදේ ගැඹුරු අගාධයකි. මෙතරම් ගැඹුරු අගාධයක් නිර්මාණය වන්නට  ඒ ඔස්සේ ගලා ගිය මහවැලි ගංගාවත්  හේතුවන්නට ඇති බව පැහැදිළිය. කෙස් වුවත් සාගර ජලයේ කාලිං උච්ච්වචනයත් යම් කිසි ප්‍රමාණයකට මෙම අගාධය තව තවත් ගැඹුරු කරන්නට බලපාන්නට ඇති බව භූ විද්‍යත්මකව වටහා ගත හැකිය. 


ගෝකන්නෙහි පිහිටි ගැඹුරු අගාධය  අතීත ජනයා අන්තර් ජාතික වරායක් බවට පත් කිරීම තුල මෙරටේ ආර්ථිකයේ වැඩි දියුණු වීම සඳහා කොපමණ ප්‍රමාණයකට දායක වන්නට ඇතිදැයි තවමත් මෙරට ප්‍රමාණික අධ්‍යනයන් සිදු වී නොමැතිය.  නොකල්හි ම එම අවශ්‍යතාව  සපුරන්නේ නම් එය වත්මන් ආර්ථික දියුණුවට දායක කර ගන්නේ කෙසේදැයි ඉතා හොඳ අර්ථකතනයක්  ලබා ගත හැකි බව මගේ අදහසයි.  කොළඹ වරාය අද වැදගත් වන්නේ මෙරට ප්‍රධාන නගරය  කොළඹ බැවිනි. අගනගරයට වරාය වඩා ලං වීම තුල වඩාත් කාර්යක්ෂම වෙළඳාමක් සමග කාර්යක්ෂම ප්‍රවාහනයක් මගින්  රට තුළටත්  බැහැරටත් භාණ්ඩ අලෙවිය කල හැක.  ත්‍රිකුණාමලයෙහි  වරාය එතරම්  මෙරට අන්තර්ජාතික වෙළඳාම සඳහා යොදා නොගන්නා බව සැබවි. නමුත් අතීතයේදී නම් එය එසේ වන්නට ඇතිදැයි  සිතිය නොහැක.  මන්දයත් දැනුමෙන් හෝ නොදනුමෙන් අතීතයේ දීර්ඝ කාලයක් තිස්සේ  ගන්නට ඇත්තේ ඉතා පැහැදිළිවම හරහා බව සිතිය හැක. එනිසා අනුරාධපුරයේ මෙරට අගනගරය බිහිවන්නට පෙර මෙරටේ අගනගරය වන්නට බොහෝ ඉඩකඩ ඇත්තේ ගොකන්නට ආසන්න ස්ථානයක් බව මාගේ නිගමනයයි. ඒ සඳහා හේතු සාධක වන  කරුණු කාරණා මොනවාදැයි විමසා  වටිනා බවයි මාගේ අදහස වන්නේ.


ප්‍රධාන කොටම භූ විද්‍යත්මකව සලකන කල භූ ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාවිකව බිහි වූ ගැඹුරු ආගාධමය වරාය ලොව පවතින ඕනාම ප්‍රමාණයක යාත්‍රාවක්  මෙරටට කැන්දන්නට හේතු වීම තුල පහසුවෙන් නැංගුරම් ලා හැකි වරායක් පිහිටි ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකව ලෝකයේ පචලිත වීම සුවිශේෂී කාරණාවක් බව ඒත්තු යයි. එමගින්  අප ලද වාසිය වන්නේ ලොව පවතින කාර්යබහුල වාරයක් මෙරටට හිමි වීමයි. බොහෝ  දුර ඉන්දියන් සාගරයේ ගමන් ගන්නා යත්රාවනට මෙවැනි වරායන් කදිම නවාතැන් පළවල් වන්නේ භාණ්ඩ හුවමාරුවට වඩා  යාත්‍රාවට අවැසි ජලය ආහාර වැනි පහසුකම් ලබා ගැනීමට යි. ඒ පමණක්ම වුව ගනු දෙනු කලේ නම් එය ද පමණක් මෙරට ආර්ථික දියුණුව සඳහා  ප්‍රමාණවත් වන්නට ඇති බව මාගේ හැඟීමයි. 


සහල් ඇතුළු අනෙකුත් අහාර ද්‍රව්‍ය එනිසාම මෙරට වග කරන්නට ඇති බවත්  එපමණක් නොව ඉල්ලුම පරිදි බොහෝ විට නොරට අහාර ද්‍රව්‍ය පවා මෙරට වගා කරන්නට ඇති බවයී මාගේ හැඟීම වන්නේ. එපමණක් නොව යාත්‍රිකයන්ට  අවැසි බොහෝ දේ සපයන්නට හැකි කදිම වෙළඳ පොලක් මෙන්ම ඒවා නිෂ්පාදනය කරනා කර්මාන්ත ද මෙරට බිහිවන්නට ඇත. ඒ අතර වඩා ප්‍රමුඛ  ඉල්ලුමක් ඇති ලෝහ සඳහා වෙළඳපොළ කදිමට මෙරට ස්ථාපනය වන්නට ඇත, ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ දමස්කස් කඩු  සඳහා අවැසි යකඩ සහ වානේ මෙරටින් සපයා ඇති බව සඳහන් වීමයි.    වෙළඳපොළ සඳහා ඇති ඉල්ලුම සපයන්නට අපගේ සේරුවිල ප්‍රදේශයේ කරගෙන යන ලද යකඩ කර්මාන්තය ප්‍රමාණවත් වන්නට ඇති බව මාගේ හැඟීමයි. ඒ සඳහා කදිම නිදසුන් සැපයෙන්නේ මේ ප්‍රදේශයේ  දක්නට ලැබෙනා අහක දමා ඇති යබොර කඳු යි. 


එකල භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍යවන බහාලුම්  නිර්මාණයද මෙරට සිදුවන්නට ඇත.  ඉතා බහුලව රට මැදින් හමුවන මැණික් වැනි වටිනා ද්‍රව්‍යයද ලෝක වෙළඳපොළට එක්  කරන්නට ඇති බව නොඅනුමානයි. එපමණක් නොව මැටි  ආශ්‍රිත කර්මාන්ත ඉතා දියුණු මට්ටමක පවතින්නට ඇත. විවිධාකාරයේ මැට්ටෙන් නිර්මානය කල භාජන අන්තර් ජාතික වෙළඳපොළට හඳුන්වා දෙන්නට ඇත.  වීදුරු ආශ්‍රිත නිර්මාණ ද පබළු කර්මාන්තයන්ද මෙරට වෙළඳපොළට ආලෝකයක් එක කරන්නට ඇත. මෙවැනි දේ පිළිබඳව යම්කිසි හෝ සැකයක් ඇතිකරගන්නට අවශ්‍ය නොවන බව අපට පෙන්වා දෙන්නේ මෙරට විසු අතීත  ජනතාවගේ නිර්ම්නශිලිත්වය සහ නවෝත්පාදන කිරීමේ හැකියාව හේතුවෙනි. මෙම නිර්මාණ ඇත්තන්ම අපව විශ්මයට පත්කරන බව අමුතුවෙන්  නොවේ. ඉතා සුළු දෙකට පවා භාවිතා  කරන්නාවූ භාණ්ඩ සඳහා වුආ කදිම නිර්මණාත්මක බවක් එක්  කර ඇති  බව අධ්‍යනයෙන් අපට පැහැදිලි වෙයි. 

ත්‍රිකුණාමලයේ සංචාරය කර ඔබ මේ කරුණු සිහි තබා ගන්නේ නම් මේ සඳහා වැදගත් වන සාක්ෂි සොයාගත හැකි බවයි මාගේ හැඟීම.  ත්‍රිකුණාමලය අද ඔබ දකිනා ආකාරයෙන් බොහෝ වෙනස් වන්නට ඇත. බොහෝ කාර්ය බහුල ගොඩනැගිලි පිරුණා වූ නගරයක් වන්නට ඇත. බොහෝවිට එය එකල්හි මෙරටේ අගනගරය වන්නට ද ඇත. මෙය මාගේ අදහසක් පමණක් වන අතර ඒ සඳහා විද්‍යාත්මක සාක්ෂි සොයා ගත යුතුය. එනිසා බොහෝ පර්යේෂණ අප සිදු කල යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...