Sunday, 27 September 2020

නාය භුමි ප්‍රතිස්ථායිකරණය යනු අතීසාරෙට අමුඩ ගැසීමක්...???

This article is originally published on Vidusara, 23.09.2020. 

භූ සංචාරිතය 29

මධ්‍යම කඳුකරය තරම් සංචාරය ට අපූරු තැනක් තවත් ඇත්තේ නැත. මනරම් දර්ශන ගෙන එන්නේ ද අපූරු දිය ඇලි බිහි කරන්නේ ද කඳුකරයයි. අයකුගේ චෛතසිකය ඒකාත්මික කරන්නට මේ සෞමය පරිසරය ලබා දෙන්නේ මහඟු අත්වැලක්. අධ්‍යාත්මික සුවය සොයන්නන් කඳුකරයේ අතරමං වන්නට සිතන්නේ ඒ නිසාම විය යුතුය. ඉහලට යත්ම අඩුවන පාරිසරික උණුසුම ගත සිසිල් කරමින් වත සනසන්නට හේතුවන බව අත්දැකීම් ඇත්තෝ හොඳින් දනිති. මේ අපූරු කඳුකරයට වෙමින් පවතින්නේ කුමක් ද යන්න බොහෝ දෙනෙකුට තවම තේරුම් ගැනීමට නොහැකි වී ඇති බව පෙනී යන කරුණකි.

මානව අතවරය එන්න එන්නම වැඩි වී කඳුකරය ආතුර වී ඇතැයි දැන් දැන් මට සිතේ. ප්‍රධානම කාරණය වන්නේ නොහික්මුණ මිනිසුන්ගේ ක්‍රියාකලාපයයි. අස්ථාවර භූමින් නිර්මාණය කරන්නට එය ප්‍රභල හේතුවක් වී ඇති බව කිව යුතුය. සංවර්ධනයේ නාමයෙන් කරනා භූ දර්ශ විනාශය කොතරම් ප්‍රබල ද යන්න දිනෙන් දින වැඩිවන නාය අවදානම හමුවේ ඔබට තේරුම් ගත හැකි වේවි. කොතරම් දුරට මෙරට හදවතට හානි කර ඇත්ද යන්න විධිමත්ව අධ්‍යනය කරන්නෙකුට නම් නොතේරෙනවා නොවේ.

මානව සංවර්ධන කටයුතු මගින් කඳුකරයට සිදුකරන හානියට වග කියන්නට වන්නේ කාලගුණික විපරියසයන්ට බවයි පෙනී යන්නේ. එනිසා සිදුවන නාය අවදානම නවතන්නට නාය ගොස් ස්ථාවර වූ කඳුකර භූමින් දැන් දැන් ප්‍රතිස්තායිකරණ ව්‍යපෘති හරහා උත්සාහ දරනා බව අප හොඳින්ම දන්නා කාරණයක් වන්නේය. එය එසේ වුවත් එය සැබවින්ම සාර්ථක ද යන්න අප විමසා බැලිය යුතුය. මාගේ අදහස වන්නේ නම් මෙවැනි ව්‍යපෘති යනු අතීසාරයට අමුඩ ගැසීමක්මය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් පමණක්මය. අස්ථාවර වෙමින් පවතින කහගල්ල වැනි නාය භූමින් ප්‍රතිස්ථායිකරණයට ලක් කිරීම සාර්ථක නමුදු, නාය ගොස් ඇති ස්ථාවර වූ කන්ඩි හෝ නාය භූමින් නැවත මෙවැනි ව්‍යපෘති හරහා ප්‍රති ස්තායිකරණයට ලක් කිරීම ලෝක බැංකුව හරහා මෙරට ලබන අති විශාල මුදලක් නාස්ති කිරීමක් පමණක්ම වන්නේය.

මේ සඳහා ඉතා වැදගත් වන්නේ හේතුව සොයා එයට ප්‍රතිකර්ම කිරීම බව අප සැමවිටම දැනගතයුතුය. කාලගුණ විපර්යාසයට මුලික වන ප්‍රධානම හේතු ප්‍රත්‍ය වන්නේ වායුගෝලයට අසිමාන්තිකව කාබන් ඩයොක්සයිඩ් වායුව නිදහස් කිරීම බව අපි සැමෝම ඉහා හොඳින් දන්නෙමු. මේ සඳහා ප්‍රධානම දායකත්වය සපයන්නේ ඇමෙරිකාව චීනය වැනි විශාල කාර්මික රටවල් සහ උච්ච සුඛෝපබෝගිත්වයක් අත්විඳිනා රටවල් බව නොරහසකි. එසේ නම් ඔවුනගේ කාර්යය විය යුත්තේ සමස්ථ ලෝක ජනතාව වෙනුවෙන් කාබන් උත්පාදනය අවම කිරීම බව ඔබටත් මටත් ඉතා හොඳින් පැහැදිලිය. ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා අප වැනි තෙවැනි ලොව රටවල් අතපය හකුලා ගත යුතු අතර කාලගුණික විපරියාසයේ අවබලපෑම් අවම කිරීම වැනි ව්‍යපෘති හරහා ඒ අතර ණය බරකුත් පටවයි. ඇමගිලින අපවැනි රටවල් තමන්ටවත් වටහාගත නොහැකි ව්‍යපෘති සිදුකරන්නට පෙළෙඹෙන්නේ මෙවැනි මුදල් කුට්ටි වලට වහ වැටි බව අප වැටහා ගත යුතුය.

තැන් තැන් වල සිදුකරනා මෙවැනි නාය ප්‍රතිස්තායිකරණ ව්‍යාපෘති හරහා ඉදිරියේදී විය හැකි නාය අවදානම අවම කරගත නොහැකි බව පුන පුනා කියන්නේ මුත් එය තේරුම් ගන්නට හැකි වෘතිකයන් මෙරට නොමැති බවයි මා හට පෙනී යන්නේ. කන්ඩි කපා ඇණගසා දැල් එලා ඒ මත සිමෙන්ති දියකර වත්කර පස් කුට්ටි නවතාලන්නට දරනා උත්සාහය තරම් විහිළුවක් තවත් නැත්තේය. ඒකස්ථානික ප්‍රතිස්තයිකරණයන් ඇත්තෙන්ම නාය අවදානම අවම කිරීම උදෙසා වූ සහය නිසි පරිදි ලබා දෙන්නේ නැති බව මාගේ අත්‍යන්ත අදහසයි. එසේ නම් අපකල යුත්තේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය.

මේ සඳහා පුළුල් දැක්මක් සහිත වැඩපිළිවෙලක් අප සැකසිය යුතුය . එහිදී මුදලට කෑදරව ඒක පුද්ගල තීන්දු තීරණ මෙහිදී වැදගත් වන්නේ නැත. දුරදර්ශි වෘතිකයන් පිරිසක් ප්‍රමුඛ වී එවැනි වැඩ පිළිවෙලක් සකස් කොට එය වහාම ක්‍රියාත්මක නොකරන්නේ නම් මෙරට කඳුකරය සිමෙන්ති මගින් වසා ලු හතර අත කම්බිකූරු ගැසූ භූමියක් පමණක් ම වනු ඇත.

මේ සඳහා වැදගත්ම වන විසඳුම වනුයේ එක් එක් ජල පෝෂක ප්‍රදේශ එක් අංගයක් ලෙස ගෙන සිදුකරනා සංරක්ෂණයක් බව අප තේරුම් ගත යුතුය. මෙහිදී සැලකීමට ගත යුතු කරුණු කාරණා ගණනාවකි. වැදගත්ම වනුයේ පෝෂක ප්‍රදේශය ක්‍රමවත්ව විවධ ප්‍රදේශ වලට වෙන්කර ගැනීමයි. නාය අවදානම වැඩි ප්‍රදේශ සහ අඩු ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ, ගොඩනැගිලි ඉදිකිරිම සදහා සුදුසුම ප්‍රදේශ, වගාවන් සඳහා සුදුසු ප්‍රදේශ ලෙස භූ විෂමතාවය සහ පාංශු තත්වය අධ්‍යන කර යම් වෙන් කිරීමක් කල යුතුය. වැඩකට ගත නොහැකි භූමින් වනන්තර කාරණය උදෙසා ද පෝෂක ප්‍රදේශ පෝෂණය උදෙසා ද භාවිතා කල යුතුය. අත නොතැබිය යුතු නාය අවදානම ඇති භූමින් මෙන්ම ජල පෝෂක ප්‍රදේශ ද ආරක්ෂා කර ගැනීම සඳහා නීති සම්පාදනය විය යුතුය. එමගින් සමස්ථ ජල පෝෂක ප්‍රදේශය ම ක්‍රමවත්ව පාලනය කරගනිමින් සංරක්ෂණය ට නතු කල හැකි වේ. පාංශු ඛාදනයට ලක්වන ප්‍රදේශ ප්‍රතිස්ථායිකරණය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කල යුතුය. පාංශු ඛාදනයට හේතුවන මානව ක්‍රියා පාලනයට නීති සම්පාදනය විය යුතුය. මෙවැනි ක්‍රියා මගින් ඇතිකරන්නේ අනාගත ආයෝජනයක් ම බව අප වටහා ගත යුතුය.

මෙම තත්වය මෙරට අධ්කරිය සහ පාලන තන්ත්‍රය නිසි පරිදි අවබෝධ නොකරගන්නාක් තෙක් ලෝක බැංකුව ගෙන එන පාරිසරික විපරියාසයේ අවබලපාම් අවම කරන්නට ඔවුන් යෝජනා කරනා ව්‍යපෘති අපට සිදුකරන්නට වේවි. එනිසා මේ තත්වය ගැඹුරින් අධ්‍යනය කර මනාව සිතා බලා නවමු සහ ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කර එය ක්‍රියාත්මක කල යුතුය. එක් එක් ස්ථාන වල තනි තනි පුද්ගලයා සිදුකරනා භූ වෙනස්කම් වහාම නවතා ලිය යුතුය. කඳුකරයේ සිදුකරනා සෑම සංවර්ධන කටයුත්තකම බලාපෑම අධ්‍යනය කොට ඒවාට විසඳුම් දිය යුතුය. කාලිනව ඇතිවන අවදානම් අවම කරන්නට මෙවැනි දූරදර්ශි තීන්දු තීරණ වලට එළඹිය යුතු බව තදින්ම අවදානයට ගත යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 21 September 2020

කන්දේ අසිරිය සොරාගන්නා වත්මන් සංවර්ධන කටයුතු. 

This article is originally published on Vidusara, 16.09.2020.

භූ සංචාරිතය 27

මෙරට කඳුකරය තරම් අපූරු චමත්කාර ජනක තැනක් ඇත්තේ නැත. එය එතරම් සුන්දරය. ඉතා අපූරු සංචාරක ස්ථාන රාශියක් නිර්මාණය වී ඇත්තේ නම් ඒ කඳුකරයේ බව අප අමතක නොකළ යුතුය. කඳුකරය භූ විෂමතාවය ගෙන එන්නේ දුටු දුටු ස්ථානයන්හි අලංකාරනයකි. එනිසාම මෙවර භූ සංචරිතය ගෙන එන්නේ කඳුකරයේ භූ අසිරියට සිදුවන ඉතා ප්‍රභල බලපෑම් කිහිපයක් ගැන සාකච්චා කරන්නටය. මන්දයත් කඳුකරයේ අසිරිය විඳින්නට නම් එය අප ආරක්ෂා කර ගත යුතුය. ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරගන්නට නම් එහි සිදුවන්නේ කුමන ආකාරයේ ව්‍යසනයක් ද අප තේරුම් ගත යුතුය. භූ සංචාරිත ස්ථාන රැකගැනීම මෙම ලිපි පෙළේ එක් අරමුණකි.

භූ විෂමතා කලාප කදිමට දැක බලා ගන්නට වඩාත්ම සුදුසු ස්ථානය ලෙස මහාචාර්ය කුරේ මහතා එතුමාගේ පොතේ සඳහන් කරන්නේ හපුතලේ බවයි. හපුතලේ පහුකර පල්ලම බහින්නට සුදානම් වන්නට පෙර ඉදිරියෙන් ඇත්තා වූ භූ දර්ශනය ඔබ දැකගෙන ඇත්තේ නම් එහි චමත්කාරජනක බව ගැන අමුතුවෙන් විස්තර කල යුත්තේ නැහැ. “Geology of Ceylon” නම් වූ ඒ සාරගර්භ පුස්ථකය මෙරට භූ විද්‍යාවට සම්බන්ධ විද්වතෙකු විසින් බිහිකරන ලද මහාර්ඝ සම්පතකි. එවන් වූ දුරදර්ශි ග්‍රන්ථයක් නැවත මෙරට බිහි නොවනු ඇති බවයි මාගේ හැඟීම වන්නේ. එවන් වූ දක්ෂයකන් අද නොමත්තේමය. මෙම පුස්ථකය සාමාන්‍ය අයෙකුට වුව කියවා තේරුම් ගත හැකි වීම එහි වූ එක් විශේෂත්වයක් වන්නේය.

මෙරට අඩතැනි ත්‍රිත්වය එකවර බලා ගත හැක්කේ හපුතලේ සිටයි. ඔබ පයගහගෙන සිටින්නේ උඩම වූ අඩ තැන්නේ වන අතර ඉන් පහලින් දැක ගත හැකි මධ්‍යම අඩ තැන්නක් ඉන් ඔබ්බෙන් වූ පහලම අඩ තැන්නත්ය. වලාකුළු අතර කිමිදෙන්නටත් ක්ෂණිකව ඔබව මිදුම් සුදු සේලයෙන් වෙලාගන්නටත් හැකියාව මේ ස්ථානයේදී ඔබට හැකි වන්නේය. අහස ඉතා පැහැදිලි වූ විට ඉහත සඳහන් කල අඩ තැනි කදිමට දැකබලා ගත හැකිය. ප්‍රදේශයේ ජනයා පවසන ආකාරයට ඉතා පැහැදිලි පරිසරයක් නිර්මාණය වූ විට පහලම අඩ තැන්නෙන් මායිම වන මුහුද ද දැක බල ගත හැකි බවයි.

මෙවන් වූ සුන්දර පරිසරයක් කඳුකරය අපට උරුම කර දෙද්දී වර්තමානයේ එයට උසුලාගත නොහැකි බරක් සහ වේදනාවක් අප ඇති කරමින් සිටිනා බව බොහෝ දෙනකු තම කල්පනාවට ගන්නේ නැත. මේ වන විටත් කඳුකරයේ බොහෝ අපූරු ස්ථාන විනාශ වීමට පටන් ගෙන ඇති බව මා ඔබට අමුතුවෙන් වටහා දියයුතු නොවේ. වැඩිවන ජනගහනයේ අධික බර මෙරට කඳු රටට දරා ගැනීමට නොහැකි වී ඇති බව ඉතා පැහැදිළිව පෙනෙනා සත්‍යකි. ජනගහනයේ අධික බර ඇතිකරන්නේ අප සිදුකරන්නා වූ විවිධාකාරයේ සංවර්ධන ක්‍රියාදාමයන් හරහා බව අප අමතක නොකළ යුතුය. වැඩිවන ජනගහනය උදෙසා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා අත නොගැසිය යුතු වූ කඳුකරයේ ඇති සංවේදී කලාප පවා මේ වනවිට තර්ජනයට ලක් වී ඇත. ඉතා කුඩා කුඩා ඉඩම් කට්ටි වෙන්කර ගන්නාවූ ආත්මාර්ථකාමී ජනයා කන්ඩි කපා දමමින් සිදුකරන්නා විනාශය අදවන විට සමස්ත කඳුකරයම අස්ථායි කරන්නට හේතු වී ඇති බව ඉතා පැහැදිළි කරුණකි.

මේ බව අපට කියා පාන්නේ වරින් වර ඇදහැලෙන වැසි ඇලි සමග අස්ථාවර වන භූමින් බව අප අමතක නොකළ යුතුය. ප්‍රධාන නාය යාම් වලට අමතරව මෙලෙස ඇතිවන කුඩා කුඩා ස්ථාන වල භූ අස්තාවරයන් ඉතා දරුණු ප්‍රතිඵල අත්කර දෙන බව බොහෝ දෙනෙකු නිසි පරිදි වටහා ගෙන නොමැති බව ඉතා කණගාටුවෙන් පැවසිය යුතුය. නාය යාම් සොබාවික සංසිද්ධියක් වුව කන්ඩි කඩා වැටීම් නම් සොබාවික නොවේ. එය අප විසින්ම ඇතිකර ගත්තෙකි. නිසි පරිදි ස්ථානීය පැවැත්ම තහවුරු නොකර සිදුකරන සංවර්ධන කටයුතු හේතුවෙන් කඳුකරයේ සුන්දරත්වය පමණක් නොව ස්ථාවරත්වය ද තර්ජනයට ලක් වී ඇත.

ප්‍රාමාණික විශ්ලේෂණ සිදු නොකර කරනා සංවර්ධන ව්‍යපෘති සැමවිටම පිළිකා වැනිය. ඒවා කෙදිනකවත් මානව සහ පාරිසරිකව හිතවාදී වන්නේ නැත. වරෙක මා සහභාගි වූ සම්මන්ත්‍රනයක දී මා ගෙන් විමසුවේ කාලගුණික විපරියාසයට අනුගත වීමට මෙරට සිදුකරනා නාය භුමි ප්‍රති ස්ථායිකරණය (Landslide Mitigation) ගැන මාගේ අදහස කුමක් ද යන්නයි. මා ගත් කටටම පැවසුවේ එවැනි ව්‍යපෘති කාලගුණික විපරියාසයේ අවබලපෑම සමනය කරන්නට ගෙන ඇති පියවරයන් නොවන බවයි. මා අදත් සිතන්නේ එයමය. එවැනි විහිළුවක් මෑත කාලීනව දැක නැත්තේමය. නාය යන්නේ කන්ඩි කඩා වැටෙන්නේ කාලගුණික විපරියාසය නිසා යයි පැවසීම තරම් තවත් විහිළුවක් ඇත්තේ ද යන්න සැකය.

ඉතා ගැඹුරෙන් විශ්ලේෂණය කල විට පැහැදිලිවන කාරණය වන්නේ නිසි පරිදි සිදුකලයුතු භුමි පරිහරණ රටාවේ කළමනාකරණයක් සහ සංරක්ෂණය නොමැති වීම මේ සඳහා හේතුවන බවයි. බොහෝ භුමි පරිහරණ රටා ගැන දන්නා විද්වතුන් පමණක් නොව භූ දර්ශ ව්‍යාප්තිය ගැන දන්නා විද්වතුන් ද මෙරට විශ්ව විද්‍යාල වලින්  බිහිවන බව අප අමතක නොකළ යුතුය. කෘෂිකාර්මික කටයුතු ගැන දන්නා විද්වතුන්ද මෙරට නැත්තේ නොවේ. ජල කළමණාකරණය ගැන දන්නා විද්වතුන් ද මෙරට නැත්තේ නොවේ. පාංශු කළමණාකරණය ගැන දන්නා විද්වතුන්ද නැත්තේ නොවේ.  නගර සැලසුම් කරුන්ව ද මාර්ග නිර්මාණය සඳහා ම ඇපකැප වූ විද්වතුන් මෙරට ඕනා තරම් ඇත. එසේ නම් අප මෙරට කඳුකරයට සිදුකරමින් සිටින්නේ කුමක්දැයි යන්න පැහැදිලි නැත.

අස්ථාවර භූමින් ස්ථාවර වන්නේ නාය ගිය පසුය. ඉන් මත්තේ නැවත විශාල අස්ථාවර වීමක් අපේක්ෂා නොකළ හැකිය. එසේ නම් මාගේ ගැටලුව වන්නේ අස්ථාවර වූ භූමීන් නාය ගිය පසු ස්ථායිකරණට ලක් කරන්නේ මන්ද යන්නයි.  අප විසින් බලෙන් සිදුකල සංවර්ධන කටයුතු හේතුවෙන් කඳුකරයේ විවිධ ස්ථාන මෙලස ස්ථාවර වී ඇත. මහාමාර්ග විශාල කිරීමේදී පමණක් නොව විශාල ගොඩනැගිලි ඉදිකිරීමේදී ද පවා අප නිසි පරිදි අදාල තාක්ෂණික කරුණු කාරණා ගැන සැලකිලිමත් වන්නේ නැත. එනිසාම අද වන විට භුමි ස්ථායිකරණය කෘතීමව ඇතිකරන මට්ටම ට පත් වී ඇත. එලෙස සිදුකරනා අස්ථාවරත්වයන් එසේ නොකළේ නම් වර්ෂාව හමුවේ නාය ගොස් ස්ථාවර වන බව පැහැදිළි කරුණකි. එසේ නම් අප විශාල මුදල් වය කර එවන් ස්ථාවර වූ භූමින් ස්ථාවර කරන්නේ මන්ද? අප ප්‍රතිස්ථායිකරණයට ලක් කල යුත්තේ අස්ථාවර භූමීන් නොවේද?


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 17 September 2020






ලෝකයේ භූ කම්පා පසුබිම.......!!!

This article is originally published on Vidusara 16.09.2020 (page 7)

පසුගිය දිනවලදී අප රටේ මහනුවර ප්‍රදේශය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය. “අන්න මහනුවර හෙලවිලා ලු. සමහර අයට පොළොව සෙලවෙන එක හොඳටම දැනිලා ලු. මොකක් වේගෙන එනවද දන්නේ නැහැ” යනාදී වශයෙන් බොහෝ දෙනාගේ කතා බහට එම සිදුවීම ලක් වූ බව නොරහසකි. මෙම ලිපිය පාදක වන්නේ එම සිදුවීම මුලික කරගෙන වුව මෙමගින් මා උත්සාහ කරන්නේ එය පැහැදිලි කරන්නට නොව භූ කම්පා පිළිබඳව යම් අදහසක් ඔබට ලබා දෙන්නටයි.

අප අවට භුමිය සෙලවීම භූ කම්පා ලෙස හඳුන්වයි. භූ කම්පා ඇතිවීම කල් ඇතිව පැවසීම නම් නොකළ හැකි බව මේ පිළිබඳව පර්යේෂණ කරන ප්‍රාමාණික විද්වතුන්ගේ අදහසයි. එසේ නම් එය සිදුවන්නේ අපට නොකියාම බව අප අමතක නොකළ යුතුය. භූ කම්පාවක ප්‍රභලතාවය මනින්නේ රික්ටාර් පරිමාණය මගිනි. ලෝකයේ කොහේ හෝ තැනක ඉතා සුළු පරිමාණයේ පවා හෝ භූ කම්පාවක් ඇති විය හැක.

සිදුකර ඇති අධ්‍යනය වලට අනුව වාර්ෂිකව ලෝකයේ භූ කම්පා 120000 ත් 14000 අතර ප්‍රමාණයක් සිදුවන බව සොයාගෙන ඇත. රික්ටාර් පරිමාණයට අනුව අගය 2 හෝ එයට වඩා අඩු ප්‍රබලතාවකින් යුක්ත භූ කම්පා දිනකදී සියගණනක් ලෝකය පුරා සිදුවන බව පර්යේෂකයෝ පවසයි. එමෙන්ම එම අගය 7 හෝ ඊට වැඩි භූ කම්පා මසකට වරක්වත් සිදු වෙයි. ඔවුනට අනුව අගය 8 හෝ එයට වැඩි අගයක් ගන්නා භූ කම්පා වසරකදී අඩුම එකක්වත් සිදුවෙන බව සොයාගෙන ඇත. වඩා වැඩි හානියක් ගෙන එන්නේ ඉහල අගයක් ගන්නා භූ කම්පා මගිනි. ඉන් පෙනී යන කරුණ වන්නේ භූ කම්පා යනු නිතරම සිදුවීමට ඉඩකඩ ඇතිමුත් ඉන් වන හානිය සැලකිය යුතු මට්ටකමට ලඟා වන ඉහල අගයක් ගන්නා භූ කම්පා සිදුවන්නේ ඉඳ හිට බවයි. 

භූ කම්පා ඇතිවන්නේ කෙසේද යන්න අප විමසා බැලිය යුතුය. පර්යේෂකයන් පවසන අන්දමට භූ කම්පා ඇතිවන්නේ බොහෝ විට භූ තල මායිම් ඇසුරු කරගෙනයි. භූ තල මායිම (Plate margin) යනු අපගේ ලෝකයේ භුමියේ හමුවන දුර්වල කලාප වන අතර මෙම භූ තල මායිම් බිහිවන්නේ භූ තැටි වල ගතික බව හේතු කොටගෙනයි. භූ තැටි යනු පෘථිවියේ හමුවන කබොලෙහි ඇති වූ පැල්මවල් හේතුකොටගෙන ඇති වූ වෙන් වූ භූ කලාප වන අතර ඒවා නිරන්තරයෙන් විවිධාකාරයෙන් චලනය වේ. චලනය වන ස්වරුපය අනුව භූ තල මායිම් ආකාර තුනකි. අභිසාරී තල මායිම් (Convergent Boundary), අපසාරී තල මායිම් (Divergent Boundary)  සහ පරිණාමණ විභේද ( Transform Fault) ඒ ආකාර තුනයි. අභිසාරී තල මායිම් අසල වන්නේ භූ තැටි එකෙනෙක වෙතට තල්ලු වී එකිනෙක තෙරපීමයි. අපසාරී තල මායිම් වලදී වන්නේ භූ තැටි එකිනෙක වෙතින් ඉවතට චලනය වීමයි. පරිණාමන විභේද පෙන්වන්නේ එකිනෙක ඇතිල්ලෙමින් සිදුවන්නාවූ චලනයන්ය.

පෘතුවි කබොල ආකාර දෙකකි. ඒ මහද්වීපික කබොල සහ සාගරික කබොල ලෙස වෙන්වීමයි. විවිධාකාරයේ පාෂාණ හමුවන කබොල භූ තැටි නිර්මාණය කරන්නේ ප්‍රාවරණයේ කොටසක් ද සම්බන්ධ වීමෙනි. එනිසා භූ තැටි ලෙස හඳුන්වන්නේ කබොල පමණක් නොවේ යන්න අප වටහා ගත යුතුය. මෙලෙස නිර්මාණය වූ භූ තැටි චලනය වන්නේ ප්‍රාවරණයේ අර්ධ ඝන/ද්‍රව තත්වයේ පසුවන කලාපය මතු පිටයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන්නේ ඝන තත්වයේ පසුවන ප්‍රවරණයේ අදාළ කලාපයේ අර්ධ ද්‍රව තත්වයට පත්කරමින්. මේසඳහා හේතුවන්නේ එම පාෂාණ වල පවතින විකිරණශීලී මුලද්‍රවය මගින් ලබා දෙන තාපය බව විද්‍යඥයින් පවසයි. අර්ධ ද්‍රව තත්වයට පත් ප්‍රාවරණයේ මෙම කලාපය ඉන් ඉහලින් වූ ඝන පාෂාණ කලාප චලනය කරන්නට අවැසි පරිසරය සකස් කර දෙයි. ගතික භූ තැටි බිහිවන්නේ එලෙසයි. මෙවැනි ප්‍රධාන ප්‍රාථමික භූ තැටි 7 ක් පමණ ද ද්විතියක භූ තැටි 8 ක් පමණ ද  ඇති අතර තව  කුඩා ප්‍රමාණයේ භූ තැටි බොහෝ ගණනක් ද ඒ අතර වෙයි. මේවා විවිධ දිශාවන් ඔස්සේ චලනය වෙමින් පවතී.  

භූ කම්පා ඇතිවන්නට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ අභිසාරී තල මායිම් සහ පරිණාමන විභේද අසල සිදුවන්නා චලනයන්ය. අභිසාරී තල මායිම් අසල දී භූ තැටි එකිනෙකා තල්ලු කර ගන්නා නිසා ඇතිවන තෙරපුම විශාල බලයක් ලෙස කාලයක් තිස්සේ ඒ අසල එක් රැස් වේ. ඉතා හදිසියේම මෙලෙස ගොඩ නැගුන බලය ක්ෂණිකව පිට කරන්නේ තල එකිනෙක වෙතින් ලෙස්සා යාමෙනි. එලෙස පිටකරන බලය හේතුවෙන් ඇතිවන ලිස්සීම භූ තැටි චලනය කරන්නට හේතු වෙයි. එවිට සිදුවන එම චලනයන් භූ කම්පා ලෙස අප හඳුනාගන්නා අතර එහිදී හට ගන්න ශක්ති තරංග එම ශක්තිය භූ තැටිය පුරා රැගෙන යයි. මේ අකාරයටම එකිනෙක ලං වී ඇතිල්ලෙමින් චලනය වන පරිණාමන විභේධ වල ද මෙවැනිම ආකාරයේ ශක්තියක් කාලයක් තිස්සේ ගොඩ නැගෙන්නේ ඒ තැටි අතර ඇතිවන ඝර්ෂණය හේතුවෙනි. එම ඝර්ෂණය තැටි අතර ඇතිල්ලෙමින් සිදුවන චලනයන් හට බාධා කරන අතර එම ඝර්ෂණ බලය ඉක්මවන අවස්තාව තෙක් ඉතා ප්‍රභලව ඇතිල්ලීම දිගටම පවත්වා ගනී. ඒ සඳහා අවශ්‍ය බලය අභිසාරී භූ තැටි චලනයෙන් හෝ අපසාරී භූ තැටි චලනයෙන් මෙම පරිසර වලට ලැබෙයි.

අභිසාරී තල මායිම් හේතුවෙන් ලෝකයේ කඳු පන්තීන් ගොඩනැගෙන අතර හොඳම උදාහරණය වන්නේ හිමාලය කඳු පන්තියේ ගොඩ නැගීමයි. ඒ සඳහා හේතුවී ඇත්තේ යුරේසියානු භූ තැටිය සහ ඉන්දියානු භූ තැටිය එකිනෙක වෙත තල්ලු වී ඇති කරගත් අභිසාරී තල මායිමයි. වසර මිලියන 300 කට පමණ පෙර ලෝකයේ බොහෝ දකුණේ තිබු ගොන්ඩ්වානාලන්තයේ කොටසක් වූ මෙම ඉන්දියානු භූ තැටිය ක්‍රමයෙන් ඒ අතර සාගර කලාපය මිරිකා දමමින් දිගටම උත්තරව චලනය වී ඇත. මේ හේතුවෙන් අතර මුහුදේ වූ බොහෝ වූ අවසාදිත ගොනුව ද තල්ලු කරමින් එක්තරා අවස්ථාවක අති විශාල යුරේසියානු මහද්වීපික භූ තැටිය හා ගැටී ඇති අතර තව දුරටත් නොනවත්වා සිදු වූ චලනය හේතුවෙන් මුහුදේ වූ මඩ ද තෙරපමින් ඉහලට ඔසවමින් හිමාලය කඳුකරය බිහිකර ඇත්තේ ඉන්දියානු භූ තැටියට ඇති විශාල යුරේසියානු භූ තැටිය තව දුරටත් තල්ලු කර දමන්නට නොහැකි වූ නිසාවෙනි.

ඉන්දියානු භූ තැටියේ නොනවතින චලනය හේතුවෙන් හිමාලය තව දුරටත් උස යමින් සිටිනා බව අමතක නොකළ යුතුය. දිගින් දිගටම සිදුවන මෙම තල්ලුව තල මායිම් අතර ගොඩ නැගෙන ඝර්ෂණය වරින් වර ඉක්මවා ගොස් ක්‍රමික ලිස්සිම් ඇති කරන්නේ ඒ අවට කලාපයේ භූ කම්පා ඇති කරමිනි. අමතක නොකළ යුතු කාරණය වන්නේ අප ද සිටින්නේ මෙම ඉන්දියානු භූ තැටියේ කොටසක් ලෙස යන්නයි. එනිසා එම කලාපයේ සිදුවන භූ කම්පා වල බලපෑම් ද අපට නිතර අත් විඳින්නට සිදුවිය හැක. එලෙස අත්වින්ද අවස්ථා ද වාර්තා වෙයි.

මේ ආකාරයෙන් සිදුවන භූ කම්පා හඳුන්වන්නේ අන්තර් භූ තැටි භූ කම්පා (Interplate Earthquakes)  ලෙසයි. මේවා බොහෝ විට සිදුවන්නේ භූ තල මායිම් ඇසුරු කරගනිමින් බව විද්වතුන් පවසයි. නමුත් භූ තැටි මධ්‍යයේ සිදුවන භූ කම්පා ද වාර්තා වී ඇත. ඒවා හඳුන්වන්නේ අන්තඃ භූ තැටි භූ කම්පා (Intraplate Earthquakes) ලෙසයි. මේ සඳහා හොඳම උදාහරණ සපයන්නේ ලඟම පිහිටි ඉන්දියාවෙනි. 2001 වසරේ ගුජරාට් ප්‍රදේශයේ මෙවැනි භූ කම්පාවක් සිදු වී ඇති අතර එය රික්ටාර් පරිමාණයේ අගය 7.7 ලෙස සටහන් වී ඇත. එමගින් අති විශාල හානියක් සිදු වූ බව වාර්තා වෙයි. මිනිසුන් 20,000 කට අසන්න ප්‍රමාණයක් මිය ගිය අතර 1,67,000 කට අසන්න පිරිසකට තුවාල සිදු වී ඇත. ගොඩනැගිලි 3,40,000 ක් පමණ විනාශ වූ බව පැවසෙයි. මේ සඳහා හේතුවන්නට ඇත්තේ මෙම ප්‍රදේශයේ ඇති වූ භූ පැලුම් ඔස්සේ සිදුවූ භූ තැටි තල්ලුවක් බව විද්වතුන්ගේ අදහසයි.

අප අමතක නොකල යුතු කාරණය වන්නේ භූ තැටි අප සිතනා ලෙස ඒකාකාරීව අඛණ්ඩව නොපිහිටනා බවයි. භූ තැටි නිර්මාණය කරනා භූ තැටි පාෂාණ අධිකව කුස්තුර, දැදුරු සහ පැලුම් වලින් යුක්තය. සමහර පැලුම් කිලෝමීටර ගණනාවක් දුරට විහිදෙන බව සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ පාෂාණ වලද ද එවැනිම වූ කුස්තුර සහ පැලුම් රටාවක් දැක ගත හැකිය. ඊසාන නිරිත ඔස්සේ දිවෙන පැලුම් රටාවක් ද වයඹ ගිනිකොණ ඔස්සේ දිවෙන පැලුම් රටාවක් ද මෙම පාෂාණ වල ඇති අතර මෙරටේ බොහෝ ජල මාර්ග හා නිම්නයන් නිර්මාණය වී ඇත්තේ ඒවා ඔස්සේයි. කදිම උදාහරණය වන්නේ මහවැලි ගංගාවයි. එය මහනුවර ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දක්වා වැටී ඇත්තේ එවැනි වූ දීර්ඝ භූ පැල්මක් ඔස්සේ බව ශ්‍රී ලාංකීය භූ විද්‍යාඥයින්ගේ මතයයි. මෙම පැල්මවල් විභේද (Fault) ලෙසද හඳුන්වයි. අන්තඃ භූ තැටි භූ කම්පා බොහෝ විට සිදුවන්නේ මෙවැනි විභේද ඇසුරු කරගෙන බවයි විද්වතුන්ගේ මතය වන්නේ.

බොහෝ විට භූ කම්පා ඇතිවන්නේ භූ අභ්‍යන්තරයේ වන අතර භූ කම්පාව සිදුවන ස්ථානය භූ කම්පා නාභිය (Focus, Hypocenter) වන අතර එයට වහාම ඉහලින් පොළොවේ මතුපිට සටහන් වන ස්ථානය අපි කේන්ද්‍රය (Epi center) ලෙස හඳුන්වයි.   

Continued ……

ආචාර්ය පත්මකුමාර ජයසිංහ



Monday, 14 September 2020

ශ්‍රී ලංකාවේ සිටි ජුරාසිකයෝ....!!!

භූ සංචාරිතය 26

This article is originally published on Vidusara, 05.09.2020

ප්‍රාග් පරිසරයේ කලෙක මෙළොව රජ කෙරුවෝ නම් උරගයෝය. ඔවුහු මෙදින සිට වසර මිලියන දෙසිය පනහකට පමණ පෙර සිටියෝ වෙති. ඔවුන්ගේ ආරම්භය දිව යන්නේ ක්‍රිටේසියස් කාල වකවානුවටයි. එතැන් පටන් උරගයෝ සෑම මහාද්විපයකම සැරිසරන්නට ඇත. පසුව පැමිණි ජුරාසික යුගය ඔවුන්ගේ ස්වර්ණමය යුගය වන්නට ඇත. ඔවුන් හා සමගාමිව මෙළොව පරිණාමිකව ප්‍රමුඛ ශාක ප්‍රජාව වූයේ අපුෂ්පක ශාකයි. ඒ අතර විවිධ වර්ගවල පර්නාංග ද ප්‍රමුඛව පැවතී ඇත.

වඩා විශ්මය ජනක කාරණය වන්නේ සියයට අසුවක් පමණ වූ මෙරට භුමි භාගය ප්රෝටෙරෝසොයික් කාලයේ නිර්මාණය වූ පැරණිම විපරිත පාෂාණ වලින් සමන්විත වෙද්දී  ඉතා කුඩා භුමි භාගයක ජුරාසික යුගය පිළිබඳ සටහන් වූ ප්‍රාග් ජීව ධාතු සමුහයක් ඉතිරි වීමයි. මෙවර භූ සංචරිතයෙන් අප කතා කරන්නේ එලෙස ඉතිරි වූ අපූරු පාෂාණ සහිත භූ භාගය පිළිබඳවයි.

තබ්බෝව ප්‍රසිද්ධ වන්නේ එම ප්‍රදේශයේ පැරැන්නන් නිර්මාණය කරන ලද වාරි කර්මාන්තයක් හේතුවෙනි. තබ්බෝව වැව කවුරුත් දන්නා එම නිර්මාණයයි. ප්‍රාග් ජීව ධාතුන් පිළිබඳව සැලකිල්ලක් දක්වන්නන් ගේ අවධානය මෙම ප්‍රදේශයට යොමුවන්නේ මෙම වාරි කර්මාන්තය නිසා නම් නොවේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්ථානයේ හමුවන වසර මිලියන දෙසීයක් පමණ පැරණි වූ ජුරාසික යුගයේ හමුවන ප්‍රාග් ජීව ධාතුන් බව අමතක නොකළ යුතුය.

මෙහි හමුවන ප්‍රාග් ජීව ධාතුන් වන්නේ එකළ පැවති ඉපැරණි ශාක සමුච්චයකි. ඒවා බොහොමයක් පර්නාංග බව හඳුනාගෙන ඇත. මෙම අපූරු ප්‍රාග් ජීව ධාතුන් ඉතාමත් කදිමට සම්පීඩනය වී ඇත්තේ මඩගල් (Mudrocks) තුලයි. මෙම මඩගල් යනු අවසාදිත පාෂාණයක් බව අප මතක තබා ගත යුතුය. ඉතා සියුම් මඩ ඛණිකා අවසාදනය වීමෙන් මෙම මඩගල් නිර්මාණය වේ. මඩගල් නිර්මාණය වන සියුම් මඩ ඛණිකා ඉතා අපුරුවට ඒ අතර සිරවූ ඉහත කී ශාකා වර්ග වල පත්‍ර ප්‍රාග් ජීව ධාතුන් බවට පත් කර ඇත. මෙම මඩ ගලේ විශේෂත්වය වන්නේ ශාක පත්‍ර සම්පීඩනය වීමෙන් ඒවා මඩ තුල තෙරපුණ සටහන් බවට පත් කර ඇත.

මඩගල් වල විශේෂත්වය වන්නේ සියුම් ලෙස තුනී ස්තරවලට පැලීමට හැකි වීමයි. එලෙස පැලු මඩගල් තුනී ස්ථර අතර සිරවී තෙරපුණ ශාක පත්‍ර වල සටහන් අපුරුවට නිරීක්ෂණය කල හැකිය. කොතරම් අපුරුවට මේවා තෙරපි සටහන් වී ඇත්දැයි පැවසුවහොත් ශාක පත්‍රවල කුඩා සියුම් නාරටි පවා නිරීක්ෂණය කල හැක. හැඩයද නාරටි රටාව ද නිරීක්ෂණයට ලක් කිරීමෙන් කවර ආකාරයේ ශාක විශේෂයකට අයත්දැයි දැන හඳුනා ගැනීමට හැකිය.

මෙම ස්ථානයේ මඩගල් වලට අමතරව වැලිගල් ද හඳුනාගත හැකිය. වැලිගල් හා කරන ලද නිර්ක්ෂණයන් පවසන්නේ මෙම වැලිගල් වල වැඩි ප්‍රතිශතයක් අසම්පුර්ණ ලෙස ජීර්ණය වූ ෆෙල්ඩ්ස්පාර් නම් වූ ඛණිජය අඩංගු වන බවයි. එනිසා මෙම වැලිගල් වලට සුවිශේෂී නමක් භූ විද්‍යාඥයින් විසින් පට බැඳ ඇත. එනිසා ඒවා “ආකොසොයික් වැලිගල්” ලෙස හඳුන්වයි. ඔබ අප කවුරුත් හොඳින් දන්නා පරිදි ෆෙල්ඩ්ස්පාර් ඛණිජයේ පරිපුර්ණ ජීර්ණය අවසානයේ ගෙන එන්නේ මැටි ඛණිජයි. මැටි ඛණිජ වෙනුවට අසම්පුර්ණ ලෙස ජීරණය වූ ෆෙල්ඩ්ස්පාර් ඛණිජ තැන්පත් වී සෑදුන ආකොසොයික් වැලිගල් කියා පාන්නේ ඉතා කෙටි දුරක් පරිවහනය වූ බවයි. ජීර්ණ ක්‍රියා දාමය පරිපුර්ණ වීමට මත්තෙන් අවසාදනය වීම මෙවැනි ආකොසොයික් වැලිගල් නිර්මාණය කරන්නට හේතු වෙයි. ආකොසොයික් වැලිගල් රෝස පැහැයක් ගනී. එයට හේතුව වන්නේ ඔක්සිකරණය වූ යකඩ අයන විය හැක.

මඩගල් ද වැලිගල් ද එකිනෙක පරයමින් මෙහි වූ ද්‍රෝනියක තැන්පත් වීමෙන් අපහට පවසන්නේ එකල පැවති ප්‍රාග් කාලගුණික සොබාව කෙලසකදැයි යන්නයි. භූ විදඥයින් පවසන ආකාරයට මෙම අවසාදිත නිධිය බිහිවන්නේ ගොඩබිම වූ ජලාශයකට මෙම අවසාදිත ගොනු වීමෙන් බවයි. ජලාශයකට ගොනු වී ඇති බව අපට පැහැදිලි කර දෙන්නේ කුඩා කුඩා ජල පහරවල් හා ගැටී මෙම අවසාදිත ගොනුවේ නිර්මාණය කල ජල පහරවල් මෙහි සටහන් වීමෙනි. කලින් තැන්පත් වූ අවසාදිත ගොනු කපා දමමින් නිර්මාණය වූ එම ජල පහරවල ද එක් රැස් වූ අවසාදිත ස්ථර ද මෙහිදී දැකගත හැක. ඒවා ඉතා කදිමට මෙම අවසාදිත ගොනුවේ සටහන් වී ඇත.

පර්නාංග වලට අමතරව මඩු වැනි අපුෂ්පක ශාක ද එහි වූ බවට සාක්ෂි හමු වේ. මෙම අවසාදිතත් එහි හමුවන ශාක සටහනුත් ජුරාසික යුගයේ බවට සාක්ෂි හමු වූවද, එකල රජ කෙරු දැවැන්තයින් ගැන නම් මේ වන තෙක් කිසිදු සාක්ෂියක් සොයා ගන්නට තරම් අප වාසනාවන්ත වී නොමැත.  මෙතරම් කදිමට ගොනු වූ ප්‍රාග් ජීව ධාතුන් හා ඔවුන්ගේ පා සටහනක් හෝ හමු නොවන්නේ මන්ද යන්න ඇත්තෙන්ම ගැටලුවකි. ඒ සඳහා හේතුවන්නේ අප තවමත් විධිමත් ගවේෂණයක් නොකර ඇති නිසා විය හැක. මෙම අවසාදිත පාෂාණ ගොනු තබ්බෝවේ පමණක් නොව ආඬිගම ප්‍රදේශයේද හමුවන බවට සාක්ෂි අත්තේමුත් එම  අවසාදිත පාෂාණ හමුවන්නේ චාතුර්ථ අවධියේ අවසාදනය වූ අවසාදිත තට්ටු වලට යටවී ඉතා ගැඹුරෙනි. බොහෝ විට එම පාෂාණ ස්ථර ළිං කැපීම් වැනි පොළොව හැරීමට ලක්වන ක්‍රියාකාරකම් මගින් මතුවන බව මා හට ද අත්දැකීම් ඇත.

තබ්බෝවේ ජුරාසික යුගයේ හමුවන මෙම වැලිගල් සහ මඩගල් තැන්පතු පොළොව මතුපිට දක්නට ඇත. එනිසා බොහෝ දෙනෙකුගේ අවධානය පහසුවෙන්ම යොමුවන්නේ එවැනි ස්ථාන වලටයි. පර්යේෂණ කර ඇත්තේ මෙම ස්ථානයේ හමුවන ප්‍රාග් ජීව ධාතුන් පිළිබඳවයි. එනිසා මෙම පර්යේෂණ යම් කිසි විධියකට සිමා වී ඇති බව පැවසිය හැකිය. කෙසේ වෙතත් මෙම අවසාදිත නිධියේ හතර සිමාවවත් අප තවමත් නොදන්නා බව අමතක නොකළ යුතුය. ඉහත කී කාරණය වාගේම අනෙක් කාරණය වන්නේ මෙරට භූ විද්‍යාඥයින්ගේ අවධානය ප්‍රාග් ජීව ධාතු අධ්‍යනය කෙරෙහි ඇති ඇල්මැරුණු සොබාවයයි. එයට හේතුවන්නේ මෙරට ප්‍රාග් ජීව ධාතුන් බහුල පරිසරයන් හමු නොවීම විය හැක. කෙසේ වුවද මෙම සිමාකාරී වටිනා අවසාදිත ගොනුව කෙරෙහි අපගේ අවධානය වඩ වඩාත් යොමු විය යුතු බවයි මාගේ හැඟීම වන්නේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 3 September 2020

කල්පිටිය වාලුකා නිධියේ විකසනය ...!!!

භූ සංචාරිතය 25

This artcile is originally published on Vidusara 02.09.2020.

කල්පිටිය ඉතාම සුන්දර සංචාරක නාවතැනක්. එපමණක් නොවේ එය අපට හමුවන ඉතාම කදිම අනවහිරත ජල නිධියක්. සමුද්‍රාසන්නයේ හමුවන දුලභ සුපිරිසිදු භූ ගත ජල නිධියක් ශ්‍රී ලංකාවේ හමුවන්නේ නම් ඒ කල්පිටියයි. වර්ෂා ජලයෙන් ප්‍රතිපෝෂණය වන මේ අපූරු අනවහිරත ජල නිධිය මේ වන විට අපරික්ෂාකාරී නවීන බටහිර කෘෂිකර්මය ක්‍රමයෙන් ගිල ගන්නා බව නම් අමතක නොකළ යුතුය. නා නා ප්‍රකාර රසායනිකයන් ජල නිධියට එකතුවන්නට අරන් දශක පහක පමණ කාලයක් ගත වී ඇත. අර්ධ ශතකයක කාලයක් තුල ජල  නිධියේ ගුණාගුණ අති ප්‍රභල ලෙස වෙනස් කරන්නට හේතු වී ඇති බව පසුගිය කාල වකවානුවේ මා සිදු කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

ජලයේ තිබිය යුතු නයිට්‍රේට ප්‍රමාණය වන්නේ ලීටරයකට මිලිග්‍රෑම් 10 ක් පමණ වනමුත් මේ වන විට ඒ සීමාව දශගුණයකින් පමණ ඉක්මවා ඇති බව තහවුරු වී ඇත. මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ හිතු මනාපේ යූරියා පොහොර භාවිතයයි. සීමාව ඉක්මවා යන ආකාරයේ භාවිතයක් ඇති බව මා කල සමීක්ෂණ වලින් තහවුරු වුණි. මෙම තත්වය ඇති වන්නට ප්‍රධාන කොටම හේතුවන්නේ මේ ජල නිධිය නිර්මාණය වී ඇත්තේ ඉතා සියුම් වැල්ලෙන් වීමයි. සම්පූර්ණ කල්පිටිය භුමියම නිර්මාණය වී ඇත්තේ සියයට අනුනමයක්ම වූ මෙම සියුම් සිලිකා වැල්ලෙනි. එනිසා මැටි හෝ කාබනික ද්‍රව්‍ය වගාවට සුදුසු පරිදි ප්‍රමාණවත්ව මෙහි දක්නට නොමැත. එමෙන්ම සියුම් වැල්ලෙන් නිර්මාණය වීම සවිවරතාවය වැඩිකරලන්නට හේතු වී ඇත. පාරගම්‍යතාවය අධික මෙම වාලුකා නිධිය එනිසා කිසිවක් මතු පිට රඳවා ගන්නේ නැත. ජලයේ පහසුවෙන් දියවෙන සියලු දේ භූ අභ්‍යන්තරයට රැගෙන යන්නට වැඩි කාලයක් ගත නොවේ. එනිසා මෙහි වගාකරුවන්නට දිනකට දෙතුන් වාරයක්ම තම වගාවට ජලය සපයන්නට සිදු වී ඇත. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ ද සරල නල ළිං මගින් ලබා ගන්නා මෙම නිධියේම ජලයයි.

දිනකට දෙතුන්වරක් ජලය සැපයීම මගින් සිදුවන්නේ වරින් වර වගාවට ලබා දුන් රසායනික පොහොර මෙන්ම කෘෂි රසායනිකයන් ද දියවී භූ ගත ජලයට එක් වීමයි. මේ කිසිවක් නොවේ නම් මෙහි ඇති ජලය ඇති පිරිසිදු භාවිතයට කදිම ජලය වේ. මෙවැනි ජල නිධියක් බිහිවන්නට ප්‍රධාන හේතුව වන්නේ ඉහත කි ලෙස තිරුවානා වැලි වලින් සමන්විත වීමත්, ඊසාන දිග මෝසමෙන් ප්‍රති පෝෂණය වීමත්ය.

කල්පිටිය වාලුකා නිධියේ විකසනය ඉතා අපූරු භූ විද්‍යාත්මක සංසිද්ධියකි. කදිම කතාන්දරයකි. කල්පිටියේ අවසාදිත පමණක් නොව ජලයේ රසායනික ගුණාගුණ ද පදනම් කර ගනිමින් එහි විකසනය පහදන්නට මා කල පර්යේෂණයෙන් මා හට හැකි විය. ඒ කතාව නම් මෙසේය.

කල්පිටිය අර්ධද්වීපය නිර්මාණය කරන වාලුකා නිධි බිහිවන්නේ වසර 12,000 කට පමණ පෙර වන අතර ඒවා වෙරළාසන්නයේ කෝණාකාර නිධි ලෙස තැන්පත් වන්නේ උණුසුම් සහ තෙත් කාලයේ මෙරට අභ්‍යන්තර දිය දහරා  මගින් වෙරළට ගෙන එන ලදුවයි. කෙසේ වෙතත් මේ කාලය අධික සීතලෙන් යුක්ත ග්ලැසියර යුගයේ අවසාන භාගය වන අතර එනමුත් තවමත් මුහුදු මට්ටම පැවතියේ අද පවතින මට්ටමට වඩා පහතිනි. මෝසමෙන් පණ ගහන එක එල්ලේම දිවයන දිගු දුර දියවැල් මෙම කෝණාකාර වාලුකා නිධි සමතලා කර උතුරදකුණු  දිශානුගතව තැන්පත් කරන්නට සමත් වන්නේ කුඩා කුඩා නිධි තැනින් තැන තනමිණි. වාලුකා නිධියේ වැලි ඛණිකා රට අභ්‍යන්තරයෙන් උපදින නිසා සාපේක්ෂව මුහුදු බෙල්ලන් සහ හිරිගල් කැබලි අඩු වන්නේමය. එනිසා මෙම අනවහිරත ජල නිධියේ ජලයේ සාපේක්ෂව ඇති කැල්සියම් කබෝනෙට් ප්‍රමාණය අඩුය.

ඒ අතර කාලයේ මුහුදේ හට ගන්නා තිමිර පාෂාණ (beach rock) බාධකයන් ලෙස ක්‍රියා කරමින් සමතලා වෙමින් පවතින වාලුකා නිධිය ක්‍රමයෙන් බාධක දිවයින් බවට තව දුරටත් ක්‍රියා කරයි . පසුව ඒවා ක්‍රමයෙන් ප්‍රධාන ගොඩබිමට සම්බන්ධ වී කලපු නිර්මාණය කරයි. ඒ වසර 7500 කට පමණ පෙරයි.

වසර 6000 ක් පමණ වන විට ශිත යුගයේ අවසානය හේතුවෙන් ඇතිවන අධික ජල කාන්දුව මුහුදු මට්ටම වැඩි කරන්නට හේතු වෙයි. එනිසාම මෙම කුඩා දිවයින් පෙළ මුහුද වතුරෙන් යට වන අතර ක්‍රමයෙන් නැවත මුහුද මට්ටම අඩු වූ  නිසා (නැවත ලෝකය සිසිල් වීමෙන් ධ්‍රැවාසන්න හිම තර වීමෙන්) ඉලිප්පෙන වාලුකා නිධි පෙළ දිගු දියවැල් මගින් අත්කරන ලද වාලුකා ප්‍රවාහය හේතුවෙන් එකට එකතු වී දීර්ඝ බාධක දිවයිනක් නිර්මාණය කරන්නේ පසුව දකුණෙන් ප්‍රධාන ගොඩබිම හා සම්බන්ධ වී අර්ධද්වීපයක් බවට පත් වීමයි. ජලයෙන් ඉල්පුණු වාලුකා නිධිය වෙරළාසන්නයේ ඇති වැලිකඳු (sand dune) බිහිවන්නේ එකල පැවති ශිත වියලි කාලගුණය හමුවේ ඇතිවන අධික සුළං ධාරා හේතුවෙන් බවයි පැහැදිලි වන්නේ. ක්‍රමයෙන් මෙලස විකසනය වූ කල්පිටිය වාලුකා නිධිය එලෙසයි අද පවතින තත්වයට පත් වූයේ. මේ විකසනය අර්ථකථනය සඳහා විශේෂයෙන්ම වාලුකා නිධියේ අවසාදිත ලක්ෂණ මෙන්ම අනවහිරත ජල නිධියේ ජලයේ රසායනික ගුණාගුණ ද උපයෝගී කරගත් බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.   

මෙහි වූ විශේෂත්වය වන්නේ මෙම වාලුකා නිධිය තැන්පත් වන්නේ වසර මිලියන 25 ක් පමණ පැරණි මයෝසින හුණුගල් තට්ටුව මත වීමයි. එමෙන්ම කුඩා දිවයින් ලෙස ආරම්භ වූ මෙම භූ ව්‍යුහය පෙන්නුම් කරන්නේ පහක් හයක් පමණ වෙන් වෙන්ව ඇති කුඩා කුඩා ජල නිධි එතුල ඇති බවයි. මෙය ඉතාම හොඳ පිහිටීමක් බව තේරුම් යන්නේ මෙහි ජල කළමනාකරණය ගැන සිදු කරනා කතා බහේදීය. මන්ද යත් එක් එක් ජල නිධි එකිනෙකා අසම්බන්ධිත නිසා එක් එක් නිධියට එක් වන ජල දූෂක අනෙකට දිය වී යන්නේ නැත. එනිසා කුඩා කුඩා ජල නිධි වලට එකතුවන දූෂක පාලනයෙන් අනෙක් ජල නිධිය අරක්ෂා කර ගත හැකිය.

කෙසේ වෙතත් මෙරට ජල පාලන ආයතන මේ සඳහා පමණක් නොව රට වටේම වූ වාලුකා ජල නිධි කළමණාකරණය සඳහා ඉක්මන් සහ විධිමත් වැඩ පිළිවෙලක් ආරම්භ කල යුතුව ඇත. එසේ නොකරන්නේ නම් වෙරළාසන්නයේ සිදුවන මෙවැනි මානව ක්‍රියා මේ කදිම ජල නිධි ඈවර කරන්නට වැඩි කාලයක් ගත කරන්නේ නැත. අප  අමතක නොකළ යුත්තේ කල්පිටියේ නිෂ්පාදනය වන එළවලු සහ පළතුරු වල ඉතා අධිකව නයිට්‍රටේ සහ කෘෂි රසායන අඩංගු වීමේ දැඩි ප්‍රවණතාවක් ඇති බවත්, මෙම රසයනයන්ගේ භාවිතය සඳහා යම් කිසි පාලනයක් අවශ්‍ය බවත්ය. එසේ නොමැති නම් වාලුකා නිධි වල සිදු කරන කෘෂි කර්මාන්තය වහා නැවතීමට පියවර ගත යුතුව ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Wednesday, 26 August 2020

අනුරාධපුරයේ රාජ මාළිගය ...!!!

භූ සංචාරිතය 24

This article is originally published on Vidusara, 26.08.2020.

වසර දහසකට අධික කාල සීමාවක් තිස්සේ “නව සිවු හෙළයේ” අගනගරය වූයේ අනුරාධපුරයයි. විජයගේ සම්ප්‍රාප්තිය (ආක්‍රමණය) නිසාවෙන් ජනිත වූ මෙරට නව සංස්කෘතිය ඉන් ඔබ්බෙන් වූ ශ්‍රේෂ්ට සංස්කෘතියට ලංවන්නටවත් නොහැකි බවයි මාගේ අදහස. ඒ කෙසේ වෙතත් එය මෙරටට නව හැරවුම් ලක්ෂ්‍යයක් බිහි කර දුන්නේ වඩාත් නිරවුල් සාමකාමී අධ්‍යාත්මික ගමනකට මෙරට ජනයා රැගෙන යන්නට විය හැකිය. නව සිව් හෙළයේ සියයකට අධික නරපතීන්ගෙන් ශ්‍රේෂ්ටත්වයට පත් වන්නේ අත ලොස්සක් පමණි. ඒ දේවානම් පියතිතිස්ස සහ දුටු ගැමුණු වැනි නරපතීන් අග්‍ර කරවමින් බව පැහැදිලි සත්‍යයකි. නිසි පරිදි අප මහාවංශය කියවන්නේ නම්, එහි ඇත්තාවූ ව්‍යංගාර්ථයන් ඉතා හොන්දින තේරුම් ගැනීමට හැකි වෙයි.  

කෙසේවෙතත් අනුරපුරයට පැමිණෙන සැමගේ අවධානයට යොමුවන්නේ ඔවුන් තැනු අධ්‍යාත්මික නිර්මිත පරිසරයේ ප්‍රමුඛතාවයම මිස වෙන කවරෙක් ද? හෙළ බෞද්ධ නිර්මිත පරිසරයේ තාක්ෂණය යනු වෙන කිසිවක් නොව මෙරට අනන්‍යතාවයම වේ. ඉන්දියානු උප මහද්වීපයෙන් බෞධාගම කේන්ද්‍ර කොට අප ලද දායාදයන් හෙළ තාක්ෂණය හා මනාව සංයෝජනය කරමින් ඉදිකෙරුණු ඒ විසල් නිර්මිතයන් අතරේ රාජාවලියේ තිඹිරිගෙය හමුනොවන්නේ මන්ද යන්න ගැටළුවකි.. විවිධ අර්ථකතන හමුවේ ගොළුවන  අනුරපුරයේ රාජ මාලිඟා  ඉතිහාසය එක්තරා ගැටළු සහගත බවක් සහ ගුප්ත බවක් ඉතිහාසයට එක් කරන බවයි මාගේ හැඟීම වන්නේ. එය වැරදි වන්නට ද පුළුවන.  

මෙවර භූ සංචාරිතය මෙහෙයවන්නේ ඒ අතීත උරුමයේ කන් කොන් සොයා යාම උදෙසායි. පසුගිය වසරේ පුරාවිද්‍යා දෙපාර්තුමේතුව හා බැඳී ඇතුළු නුවර සංවර්ධන ව්‍යාපෘතිය කරවන නගර සංවර්ධන අධිකාරිය අපහට ඇරයුම් කෙරුයේ බොහෝ දෙනෙකු නොදන්නා නමුත් සත්‍ය ලෙසම අනුරපුරයේ ඇති මාලිගාවක වපසරිය තහවරු කරනුවස් විද්‍යාත්මක සාක්ෂි සොයා  දෙන ලෙසයි. ඒ සඳහා ඔවුන්ගේ ඉලක්කය වූයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සතු මිහි විනිවිදුම් රේඩාර් තාක්ෂණයේ (GPR) පිහිට ලබා ගැනීමයි. ඒ සඳහා අපගේ නොමසරු දායකත්වය ලබා දීම සඳහා එකඟ වූ අප නොපමාව ඒ සඳහා සූදානම් වූයේ පුරාවිද්‍යාවේ ගවේෂණ කාරිය උදෙ=සා භූ පුරා විද්‍යාත්මක භූ භෞතික තාක්ෂණයේ පිහිට ලබා ගත හැකි බව ඔප්පු කරන්නට කදිම අවස්තාවක් බව හොඳින්ම සිහියේ තබා ගෙනයි.

ආචාරය සිරාන් දැරණියගල සහ ආචාර්ය තුසිත වගලවත්ත මහත්වරුන් හමු වීමෙන් පසුව අපහට අවබෝධ වූයේ ඔවුනට අවැසිව ඇත්තේ ඇතුළු නුවර වපසරිය සහතික කරන සහ එය මායිම් කරන ප්‍රධානම ව්‍යුහය වන ඇතුළු පවුරෙහි පිහිටීම තහවුරු කරවීමයි. අප භාවිතා කරන භූ භෞතික තාක්ෂණයේ ගුණාගුණ ඉතා හොඳින් දන්නා මාහට එය ඇසු විට මඳ සිනහවක් නැගුනේ එය කජු කනවාටත් වඩා පහසු කාරියක් බව මා ඉතා හොඳින් දන්නා බැවිනි. එම පරිචය ලබා ගැනුම උදෙසා බොහෝ වාරයක් විවිධ ක්ෂේත්‍ර පර්යේෂණ කරන්නට සිදු වූ අතර එනිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතු වූ, කලක් භාවිතයෙන් අතැර තිබු මෙම මිහි විනිවිදුම් තාක්ෂණයට පණ පොවන්නට මා හට හැකි වීම මාද ආයතනයද ලද භාගයක් බව මා විස්වාස කරන අතර නමුත් තවමත් එහි බොහෝ දෙනෙකු එම තාක්ෂණයේ අගය වටහා ගෙන නොමැති බව කණගාටුවෙන් වුව මෙහිලා සඳහන් කල යුතුය.

භූ අභ්‍යන්තරයේ සඟවා ගත් බොහෝ දේ අනුමාන වශයෙන් පවසන්නට මෙම උපකරණය කදිම ආයුධයකි, උපක්‍රමයකි. භූ අභ්‍යන්තරයේ වූ කුහරයන්, පාංශු දේහයේ ඝනකම පමණක් නොව පාංශු දේහයන්ගේ වයනයේ වෙනස්කම් සහිත ස්තරයන් ද, මවු පාෂණයට ඇති දුර ද එමෙන්ම එහි ඇති කුස්තුර සහ දැදුරු රටාවන් ද, භූ ගිලා බැසීම් ද මනාව අධ්‍යනය කල හැකි වීම මෙහි විශේෂත්වයයි. එමෙන්ම භූ අභ්‍යන්තරයේ කාලීනව යට වූ  මෙවැනි පුරාවිද්‍යාත්මක පාංශු සහ ගඩොලු ව්‍යුහයන් ද පොළොවේ වැළලුනු විවිධ නල මාර්ග ද කදිමට සටහන් කල හැකි තාක්ෂණයකි මිහි විනිවීදුම් රේඩාර් තාක්ෂණය. නවීන කොන්ක්‍රීට් වේලි වල පමණක් නොව අතීත වැව් බැමි වල ජල කාන්දුවන් ද මනාව අධ්‍යනය කල හැකි බව මේ වන විටත් අප ප්‍රයෝගිකව පෙන් වා දී ඇත.

මෙම ආයතනයට ආ විගස මෙම තාක්ෂණයේ වැඩිදුර පුහුණුවක් සඳහා නොර්වේ රාජ්‍යයට මා ලද අවස්තාව අනෙක් හැමෝම ලබනා එක් චාරිකාවක් පමණක් බවට පත් නොකර එම අවස්ථාව උපරිමයට ලබා ගෙන එයට අගනා සාධාරණත්වයක් ඉටු කරන්නට මා හට හැකි වූ බව මෙහි ලා සතුටින් මා සඳහන් කරන්නේ දැන් දැන් මෙහි භාවිතය උදෙසා ලැබෙනා ආරාධනා වැඩි වන නිසාවටම පමණක් නොවේ. ඒ මෙහි භාවිතයේ අනර්ගතම  අවස්තාව නාය පර්යේෂණ උදෙසා ලබා දීමට හැකි බව ප්‍රායෝගිකව පෙන්වා දීමෙනි. දැන් ඇත්තේ මෙම තාක්ෂණයේ ප්‍රයෝගික භාවිතය අදාළ පාර්ශව වල වගකීම බවට පත් කරගැනීමයි.

ඇතුළු නුවර ඇත්තේ පොළොන්නරු රාජ වංශයේ ආරම්භකයා ගේ රාජාභිෂේකය උදෙසා ඉදිකළ මාලිඟාව බව මෙරට බොහෝ දෙනෙකු නොදන්නවා පමණක් නොව අනුරපුරයේ එවැනි මාලිඟාවක් ඇති බවද බොහෝ දෙනෙකු නොදන්නා බව සහතිකයි. ඔබ අනුරපුරයට යන්නේ නම් මෙම රාජාභිෂේක මාළිගාව නැරඹිය යුතුමය. ගොඩනැගිල්ලේ පාදම වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇත්තා වූ මෙම රජ මාළිගාව මහා වංශයේ තතු තහවුරු කරන්න ද කදිම සාක්ෂ්‍යයක් බව අමතක නොකළ යුතුය. අනුරපුර රජ වංශය පොළොන්නරු රජ වංශය හා ජානමය වශයෙන් සම්බන්ධ කරනා දම්වැල් පුරුක මෙය බව ද අපට සැලකිය හැක. සමහර විට මෙහි ඉදිකිරිම හරහා පළමුවැනි විජයබාහු රජු බලාපොරොත්තු වන්නට ඇත්තේ ද එයම විය හැකි. ඇත්තෙන්ම එය මෙරට ශ්‍රේෂ්ට රාජ පරම්පරාවන් දෙකක සම්බන්ධය තහවුරු කිරීමකි.

මා මිතුරු ආචාර්ය තුසිත වගලවත්ත මහතා තෝරාගත් ස්ථාන ගණනාවක් පෙන්වා දුන්නේ අප ඒ ස්ථාන වල අපගේ තාක්ෂණය භාවිතයේ යෙදවූ වෙමු. මේ සම්බන්ධව වැරදි තොරතුරු ජන ගත වූයෙන් සමහර ස්ථානවලදී අපගේ කාරිය කරගෙන යාමට මෙම අපූරු පුරාවිද්‍යා භුමිය ආක්‍රමණය කර සිටින ජනතාවගේ විරෝධය බාධවක් වූ බවද මෙහි ලා කණගාටුවෙන් සඳහන් කල යුත්තේය. එමෙන්ම එය පුරාවිද්‍යා භූමියක් බව තම ඇස් පනාපිට ඔප්පු වෙමින් තිබියදීත් තවමත් එහි ගැවසී සිටිනා එම ජනතාව කරනුයේ මෙරට උරුමයට ඉතා බලවත් අසාධාරණයක් බව ද සඳහන් කල යුතුය.

අපගේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පෙන්වූ සෑම ස්ථානයකම ඇතුළු පවුර ඉතා කදිමට අපගේ උපකරණයේ සටහන් වූයේ මෙම ප්‍රදේශය ඉතා වටිනා පුරාවිද්‍යාත්මක භූමියක් බව නැවත නැවතත් ඔප්පු කරමිනි. අඩකවයක් සේ සටහන් වූ දෙපසට බිඳ වැටුන ගඩොලු ව්‍යුහයන් පතාක පවුරක් බව කදිමට ඔප්පු වූ බවද මෙහි ලා සටහන් කල යුතුය. ඉදිරියේ දී මෙම ප්‍රදේශය වඩාත් අරක්ෂාකාරී පුරාවිද්‍යාත්මක භූමියක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන්ගේ කදිම නැවතුමක් බවට පත් කිරීමට අවැසි නම් ඍජු ස්ථිර තීරණයන් ගැනීමට අදාළ ආයතනවලට සිදුවනු ඇත. ගැටලුව වන්නේ ඒ දිනය එළඹෙන්නේ කවදා ද යන්නයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 20 August 2020

උඩවලවේ පාංශු භක්ෂක හස්තීන් ...!!!

This artcile is originally published on Vidusara 19,08.202

භූ සංචාරිතය 23

ලෝකයේ හොඳම වයින් නිෂ්පාදකයා වන්නේ ඉතාලිය බව ද විටෙක එය ප්‍රංශය බව ද  පවසයි. කෙස් වුවත් වයින් නිෂ්පාදනයේ එක රහසක් වන්නේ එය සාදන අකාරය වාගේම ඒ සඳහා යොදා ගන්නා මිදී ලබා ගන්නා ප්‍රදේශයයි. එම රටවල එක් එක් ප්‍රදේශවලින් ලබා ගන්නා මිදී භාවිතා කර සාදන වයින් සුවිශේෂී වයින් වර්ග වන බව වයින් සංස්කෘතියේ ඉන්නා ඒ ගැන දන්නා බොහෝ දෙනා පවසන සත්‍යයක්. ඉන් ගම්‍ය වන කාරණය වන්නේ මිදී වල රසය වෙනස් කරන්නට එම ප්‍රදේශය බලපානා බවයි. ඇත්තෙන්ම ඒ ප්‍රදේශයේ පැතිරී ඇත්තා වූ පාංශු දේහයන් ගේ ගති ලක්ෂණ මේ සඳහා හේතුවන බවයි අපට වඩාත් හොඳින් පැහැදිලි වන්නේ.

මේ කාරණයම ලෝකයේ කිරි නිෂ්පාදනය සඳහා ද බලාපාන බවයි පැවසෙන්නේ. හොඳම කිරි ලබා ගැනීමට ඉතා හොඳ තණකොළ ලබා දිය යුතු බවත් ඒ සඳහා හොඳම තණකොළ වවාගැනීමට අවශ්‍ය බවත් පැවසෙනවා. හොන්දම් තණකොළ තීරණය වන්නේ වවනා ප්‍රදේශය මත බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ.  එනම ඒ සඳහා ප්‍රමුඛ වන්නේ අදාළ ප්‍රදේශයේ පාංශු දේහයන්ගේ ගුණාගුණ බවයි.

කෙසේවෙතත් ලෝකයේ කොයි ප්‍රදේශය සැලකූවත් පසේ ගුණාගුණ මත ඒ මත වැවෙනා ශාක රටාව වෙනස් වන බව පැහැදිලි කරුණකි. ඉන් ගම්‍ය වන්නේ ශාක වැඩිම සඳහා අවශ්‍ය වන එක් එක් පෝෂක කොටස් ලබා දෙන්නේ පස් මගිනි. පාංශු ස්ථරයේ ඝනකම ලොව සෑම තැනකම එකම ලෙස හමුවන්නේ නැත, සමහර ස්ථානවල පාංශු ස්ථරය දක්නට නොලැබෙන අතර හමුවන්නේ පාෂාණ උද්ගතයන් පමණකි. සමහර ස්ථානවල ඉතා විශාල පාංශු ස්ථර දැකගත හැකිය. මේ වෙනස බොහෝ විට දේශගුණය සහ දාල ප්‍රදේශයේ කාලගුණය මත පදනම් වන අතර ජීර්ණය වන පාෂාණයේ ගුණාගුණ මතද රඳා පවතින බව අප අමතක නොකළ යුතුය. එයට අමතරව ශාක වැස්ම මගින් ඇතිකරන බලපෑම ද නොසලකා හල හැකි නොවේ.

ඒ අනුව ඉතා හොඳින් පැහැදිලි වන සත්‍ය නම් පාංශු දේහයන්ගේ ගුණාගුණ පවතින ප්‍රදේශයට සාපේක්ෂ වන බවයි. එනිසා මේ කාරණය බොහෝ විට ජීවීන්ගේ සෞඛ්‍ය උදෙසා ද බලපාන බව අපට අනුමාන කල හැකි. එවැනි ප්‍රදේශවල වැවෙන ශාක තම පෝෂණය උදෙසා ලබා ගන්නා ජීවින් තුල ඒ අනුව ඇතිවන විපරියාසයන් දැක ගත හැක. මෙවර භූ සංචාරිතයෙන් මා පවසන්නට යන්නේ එවැනි සිද්ධියක් වාර්තා වන ප්‍රදේශයක් පිළිබඳවයි. තම දේහයට අවැසි පෝෂණ කොටස්, විශේෂයෙන්ම පාංශු ඛණිජ ලවණ නිසි පරිදි තම ආහාරයන් මගින් නොලැබෙන්නේ නම් බොහෝ ජීවින් එය කෙලින්ම පසෙන් ලබා ගන්නා අවස්ථා ඕනා තරම් ලෝකයේ විවිධ ස්ථාන වලින් වාර්තා වෙයි. මේ සිදුවීම් හඳුන්වන්නේ “පාංශු භක්ෂණය” (geophagy) නමිනි.

මානවයන් ද ඇතුළුව ලෝකයේ බොහෝ සතුන් මෙම හැසිරීම දක්වන බව මේ වන විට අනාවරණය වී ඇත. බොහෝ විට සෝඩියම් වැනි ඛණිජ ලවණ ලබා ගැනීම සඳහා ලවණ අවසාදනය වූ ගල් ගුහා කරා මෙම සතුන් ඇදෙන බවත් එමනිසා එම ගුහා වල විශාලත්වය වැඩි වී ඇති බවත් අත්‍යන්ත කරුණකි. උදාහරණයක් ලෙස ගත හොත් කෙන්යාවේ ‘කිතුම්’ නම් වූ ගල්ගුහාව මෙලස විශේෂයෙන්ම හස්තීන්ගේ ග්‍රහණයට හසු වූ ස්ථානයකි. ගුහාව මීටර සියයකට වැඩ දුරකට හෑරි විශාල වී ඇත්තේ මෙලෙස හස්තීන්ගේ කැණීමට හසු වූ නිසාවෙනි. මේ තත්වය හස්තීන්ගේ පමණක් නොව කුරුල්ලන් සහ වනයේ වසන අනෙකුත් ක්ෂිරපයින්ගේ පවා දැකිය හැකි බව විද්‍යත්මක පර්යේෂණ වලින් තහවුරු වී ඇත. විශේෂයෙන්ම මේ තත්වය අප්‍රිකාව වැනි ප්‍රදේශ වලින් ඉතා ප්‍රමුඛව වාර්තා වෙයි.

අප්‍රිකාවේ ගෝත්‍ර අතර පවතින “මානව පාංශු භක්ෂණය” ද සතුන් අතර පවතින්නාක් මෙන් ඉතා පොදු ධර්මතාවක් බව හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම ගැබිණි කාන්තාවන් සහ ළමුන් අතර මේ තත්වය හඳුනාගෙන ඇත. බටහිර වෛද්‍යක්‍රමයට අනුව මෙය එක්තරා රෝගයක් ලෙස ද ඔවුන් හඳුන්වා දී තිබේ. මේ තත්වය ග්‍රීසියේ 14 වන ශතවර්ෂයේදී පවා හඳුනාගෙන ඇත. මෙවැනි සමහර සිදුවීම් ශ්‍රී ලංකාවෙන් පවා වාර්තා වී ඇති බව මා හට මතකයක් ඇත.

අප උඩවලව යන්නේ අලි බැලීමටයි. ඔබ නොදන්නවා වූවාට උඩවලවේ අලින් ද මේ ආකාරයේ හැසිරීමක් දක්වන බව වාර්තා වී ඇත. වසර ගනනාවකට ඉහත දී මා මිත්‍ර පශු වෛද්‍ය දීපානි ජයන්තා මහත්මිය සමග උඩවලවේ අලින්ගේ පාංශු භක්ෂණ ප්‍රදේශයන් දැක බලා ගැනීමට මා හට ඉතා කදිම අවස්ථාවක් ලද්දෙන් ඒ පිළිබඳව යම් තරමකට හෝ අධ්‍යනය කරන්නට හැකියාව ලැබුණි. උඩවලව ජාතික උද්‍යානයෙන් ඔබ්බෙන් වූ මෙම ප්‍රදේශ වලට ද තම පාංශු භක්ෂණය සඳහා අලින් පැමිණෙන බව අපගේ නිරීක්ෂණ කටයුතු වලින් ඉතා හොඳින් පැහැදිලි විය. මේ තත්වය වනෝද්‍යාන තුලද ඉතා බහුලව දැකිය හැකි බවත් අසන්නට ලැබුණි.

අප සිදුකල අධ්‍යනයෙන් අපහට පැහැදිලි වූ කාරණාව වන්නේ ඔවුන්ගේ භක්ෂණයට ලක් වන්නා වූ ස්ථාන බොහොමයක් ප්ලෑජියෝක්ලෙස් (plagioclase) නම් වූ ඛනිජය ඉතා බහුලව හමුවන ස්ථාන බවයි. ඉතා හොඳින් පැහැදිලි වූ කරුණ වන්නේ ඔවුන්ගේ පාංශු භක්ෂණය නම් සෝඩියම් අඩංගු ලුණු සඳහා නම් නොවන බවයි. එවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේ නම් ඔවුන් අනිවාර්යෙන්ම අසල ගම්මාන වලට කඩා වදිනා බවත් එම ගෙවල ඇති ලුණු ආහාරයට ගන්නා බවත් සිතිය හැක. නමුත් කලාතුරකින් එවැනි සිදුවීම් වාර්තා වුවත් එය බහුලව වාර්තා නොවන බවයි අපට පැහැදිලි වන්නේ.

එසේ නම් ඔවුන් කවර කාරණයක් සඳහා මේ පාංශු භක්ෂණයේ යෙදෙන්නේ ද බව ඇත්තෙන්ම ගැටලුවකි. මා කල අධ්‍යයන වලින් පැහැදිලි වූ  ඉහත සඳහන් කල කාරණය යම් ආකාරයක පිළිතුරක් මේ සඳහා ගෙන එන බව සිතිය හැකිය. අනුමාන වශයෙන් පැහැදිලි වන කරුණ වන්නේ පාංශු භාකෂණයට ලක්වන ප්‍රදේශයේ භූ විද්‍යත්මක පසු බිම ගෙන එන්නේ පෙග්මටට්යිට් (pegmatait) නම් වූ පාෂාණ විශේෂය හෝ ප්ලෑජියෝක්ලෙස් (plagioclase) බහුලව අඩංගු ඛණිජ තීරු දක්නට ඇති ස්ථාන බවයි.  සුදු පැහැති ඛනිජයක් වන මෙහි රසායනික සංයුතියේ කැල්සියම් අඩංගු බව පෙන්වා දෙයි. එසේ නම් උඩවලව අලින්ගේ මේ ව්‍යායාමය තම කැල්සියම් අවශ්‍යතාව සපුරා ගැනීමට විය හැකිය.

මේ හැසිරීම් තත්වය උඩවලවේ අලින් පමණක් නොව විවිධ සිවුපාවුන් ද කුරුල්ලන් ද පෙන්වන අපට එම නිරීක්ෂණ චාරිකාවේ දී පැහැදිළි වූ කරුණකි. කෙසේ වෙතත් යම් ප්‍රමාණයකට දීර්ඝව සහ විස්තරාත්මකව අධ්‍යනයට ලක් කල යුතු කාරණයක් බවයි මාගේ අදහස වන්නේ. මා මිතුරු දීපානි ජයන්තාට නොවක තුති පිරිනමන්නේ මේ කදිම කාරණය ගැන යම් ප්‍රමාණයකට හෝ අවබෝධයක් ලබා ගැනීමට මා හට අවස්ථාව ලබා දුන්නාටයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...