Monday, 7 April 2025

 රළු කළු ගල් සියුමැලි කල අයුරූ

පත්මෙගේ භූ විද්‍යා අන්දර  11

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

අතීත ශ්‍රී ලාංකිකයා කල පාෂාණ නිර්මිත ඉතා අපූරුය.විශ්මය ජනකය. බොහෝ දෙනෙකු අසන පානය වන්නේ මෙවන් වූ රළු පාෂාණ සුමට සුසිනිදු අගනා නිර්මාණ බවට පත්  කරන ලද්දේ කෙසේද යන්නයි. මේ පිළිබඳව දශක එකහමාරකට පමණ පෙර මධ්‍යම සන්ස්කුර්තික අරමුදලේ වැඩකළ අවධියේ මම ගවේෂණාත්මක පර්යේෂණයක් සිදුකලෙමි.

පාෂාණ නිර්මිත අනුරාධපුර යුගයේ ප්මන්ස්ක නොව ita පසුකාලීනව පොළොන්නරු, දඹදෙණි සහ යාපහුව යුග වලද ප්‍රමුඛ විය.  අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සිදුකල ගවේෂණ වලින් තහවුරු වූයේ මේ සඳහා අවශ්‍ය පාෂාණ ලබා ගෙන ඇත්තේ ඒ ඒ ස්ථානවලින්ම බවයි. පාෂාණ නිර්මිත දක්නට ලැබෙන ස්ථාන අසල අසනන්යේ පාෂාණ උකහා ගත පතල් දක්නට ලැබේ. මෙය බොහෝ පුරාවිද්‍යා ස්ථාන වල දක්නට ලැබෙන සුලභ දෙයකි.  එනිසා ඔවුන් උකහාගෙන ඇත්තේ විපරිත පාෂාණ පමණක් බව ඉතා පැහැදිලිය.

නමුත් කිරිගරුඬ පාෂාණ වලින් කරන ලද නිර්මිත ද දක්නට ලැබෙන අතර ඒවා එම පාෂාණය මෙම ස්ථානවල නොමැති නිසා වෙනත් ප්‍රදේශයකින් ගෙන එන්නට ඇති බව පෙනී යයි. කිරිගරුඬ පාෂාණ විශේෂයන්ම භාවිතා කර ඇත්තේ අලංකරණය සඳහා වන අතර බුදු පිළිම වැනි උසස් නිරමාණ සඳහා බව පැහැදිලි වේ.

anuradhapuara යුගයේ සහ පොළොන්නරු යුගයේ පාෂාණ නෙලා ගැනීම සඳහා භාවිතා කර ඇත්තේ එකිනෙකට වෙනස් ක්‍රම වේද දෙකකි. අනුරාධපුර යුගයේ භෞතික ක්‍රම වේදයක් ප්‍රචලිතව තිබු බව තහවුරු වේ, යකඩ නියන් භාවිතයෙන් පාෂාණ වල සකසන ලද විදුම් කුහර තුලට යකඩ කුඥ්ඥ යොදා මිටි පහර දීමෙන් පාෂාණ පලා ගැනීම සහ නෙලා ගැනීම සිදුකර ඇත. මෙහි දී භාවිත කර ඇති විදුම් කුහර ඕවලාකාර හැඩයක් ගන්නා අතර ඉතා හොඳින් යකඩ කුඥ්ඥ හිර කල හැකි වේ.

පොළොන්නරු යුගයට එනවිට මෙම ක්‍රමය වෙනස් වී ඇති බව නිරීෂණය කළෙමි. විශේෂයන්ම විදුම් කුහර සෘජු කෝණාශ්‍රාකර හැඩයක් ගන්නා බව පෙනී යයි. මෙම හැඩය අනුව පැහැදිලිවන්නේ යකඩ කුඥ්ඥ මේ කාර්යය සඳහා භාවිත කිරීම අපහසු බවයි. එනම් පොළොන්නරු යුගයේ දී භෞතික ක්‍රම වේදය පසෙක ලා රසායනික ක්‍රමවේදයක් අනුගමනය කලේද යන්න සිතිය හැකි වේ, නමුත් මේ සඳහා තවත් කරුණු අනාවරණය කල යුතු අතර නිශ්චිත සාක්ෂි සොයාගත යුතුය. මෙය එක් විය හැක්කක් පමණි.

කෙසේ වෙතත් පාෂාණ වල සොබාවික පැලුම් තල සහ විබේධ පාෂාණ දෙපලු කිරීම සඳහා යොදාගත්තද නිතරම එය මත පිහිටා නැති බව ගවේෂණවලින් පැහැදිලි වේ, පැරණි ගල්වඩුවා නිදහසේ පාෂාණ පාලනය කල බව ඉතා හොඳ සාක්ෂි හමුවේ.

 

 


Wednesday, 12 March 2025

 මාතලේ උමං ගංගා........!!!

පත්මෙගේ භූ විද්‍යා අන්දර  10

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

මාතලේ උමං ගංගා ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඇත්තෙන්ම එවැනි ගංගා මතලෙ භූ අභ්‍යන්තරයේ හමුවෙනවාද ? එහි භූ විද්‍යාත්මක පසුබිම කුමක්ද ?

මාතලේ ප්‍රදේශයේ භුමිය නිර්මණය වී ඇති පාෂාණය වන කිරිගරුඬ නැතහොත් විපරිත හුණුගල් වලිනි. මෙහි රසායනික සංයුතිය වන්නේ කැල්සියම් කබෝනෙට්. මෙම පාෂාණයේ ඇති ඛනිජය වන්නේ කැල්සයිට් ය. නමුත් මෙම ඛනිජය එහි සෑම තැනකම එක ආකාරයෙන් පැතිර නැත. සමහර ස්ථානවල සිලිකා මිශ්‍රිත ද දක්නට ඇත. එමගින් බිහිවන්නේ සිලිකාමය ඛණිජ වේ.

කිරිගරුඬ පාෂාණය ඉතා පහසුවෙන් රස්යනික ජීර්ණයට ලක්වේ. මෙම ජීර්ණය දියවීම ලෙස හඳුන්වයි. කැල්සයිට් ඛනිජය ඉතා පහසුවෙන් ජලයේ දියවන අතර වැසි ජලයේ මද ආම්ලික බව එය තවත් පහසු කරයි. දියවීමට ලක්වන්නේ කැල්සයිට් ඛනිජය ඇති ස්ථාන වන අතර අනෙකුත් ස්ථාන එලෙස දියවීමට ලක් නොවී ඉතිරි වේ. එය අසමාන ජීර්ණයට හේතු වේ.

ඉතා පහසුවෙන් දියවී යන ස්ථාන කුහර බවට පත්වන අතර මේවා සම්බන්ධවීමෙන් ඉතා දිගු ගුහා නිර්මාණය වේ. මෙම ක්‍රියාදාමය පොලොව මතුපිට මෙන්ම අභ්‍යන්තරයේද සිදු වේ. එනිසා ගුහා සහ කුහර නිර්මාණය භූ අභ්‍යන්තරයේ ද සිදුවිය හැක. වර්ෂා කාලයේ පොලොව තුලට රිංගැ යන ජලය මෙම ගුහා සහ කුහර තුල එක්රැස්විය හැක. එනිසා භූ අභ්‍යන්තරික ජලාශ නිර්මාණය විය හැක.

එකිනෙක සම්බන්ධ වූ කුහර සහ ගුහා මෙම ජලාශ යා කරනඅතර ඒ අතර ජාල ගලනයක් ද අපේක්ෂා කල හැක. මේ එකදිගට බොහෝ දුරක් යනතුරු සම්බන්ධ වීමෙන් එකදිගට පිහිටන නලයක සේ සකස් විය හැක. එසේ නොවන්නට ද ඉඩ තිබේ. ජීර්ණ ක්‍රියාදාමය නොනැවතී සිදුවන බවින් වරෙක් සම්බන්ධ නොවූ කුහර පසුකලෙක එකනෙක් සම්බන්ධවිය හැක. එනිසා නව කුහර සහ ගුහා සම්බන්දතා නිර්මාණය වේ.

නමත් මෙම ජලාපවහන පොලොව  මතුපිට මෙන් වූ ගංගා මෙන් නොවන බව අප වටහා ගත යුතුය. භූ අභ්‍යන්තරයේ පවතී මෙම කුහර කාලයත් සමග පොලොව මතුපිටට ආසන්න වූ විට එක්වරම මතුපිට පවතින් සියල්ල සමග ගිල බැසීමේ ප්‍රවනතාවක් ද ඇත. එවැනි අවස්ථා ගණනාවක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එවැනි ස්ථාන වල නිවාස වැනි ගොඩනගිලි ආදිය ඇත්නම් ඒවා අනතුරට ලක්වීමේ අවදානමක් ඇත.

කිරිගරුඬ හෝ හුණුගල් පාෂාණ ඇති ස්ථානවල ඉදිකිරීම් කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතුය. එසේ නොවුනහොත් පසුකලෙක අපදාවලට ලක්විය හැක. එනිසා භූ විද්‍යඥයින්ගේ පරිෂාකිරීම් වලට ලක්කර ගොඩනැගිලි ඉදිකිරිම කල යුතුය.

 

 

 

Tuesday, 11 March 2025

 

උස්සන්ගොඩ රක්ත පාංශු ස්තර.........!!!

පත්මෙගේ භූ විද්‍යා අන්දර  09

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

රක්ත පාංශු ස්තරයකින් සමන්විත වෙරළබඩ අපූරු භූ විෂමාතාවය උස්සන්ගොඩ දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇඳ බැඳ ගත් ස්ථානයකි. ඔක්සිකරණය වූ යකඩ ලෝහය අන්තර් ගත වූ නිසාම මෙහි පාංශු ස්තර රතු පැහ ගනී. විසල් තැනිතලා භුමිය ප්‍රදේශයට අලංකාරයක් එක් කරන්නේ එහි වැවෙන සුවිශේෂී තුරුලතා ද සමගින්.

ශ්‍රී ලංකාවේ භුමිය සකස් වී ඇති පාෂාණ සමුච්චය විපරිත පාෂාණයි. ඒවා ගොනු වී ඇත්තේ ප්‍රධාන කලාප තුනකයි. වන්නි සංකීර්ණය, උස්බිම් සංකීර්ණය සහ විජයනු සංකීර්ණ ලෙස ඒවා හැඳින්විය හැක. ඉතා ඉහල උෂ්ණත්වයේ සහ ඉහල පීඩනවලට ලක්ව නිර්මාණය වූ මෙම පාෂාණ වසර මිලියනයකට වඩා පැරණි බව පැවසේ.

මෙම සංකීර්ණ, කුඩා භූ තැටි ලෙස ද හැඳින්විය හැක. ඒවා එකට එකතු වී ශ්‍රී ලංකේය භුමිය නිර්මාණය කර ඇත. උස්බිම් සංකීර්ණය සහ විජයානු සංකීර්ණය එකට එකතු වූ මායිම ඉතා හොඳින් හඳුනාගත හැක. ඒ ඔස්සේ උණුවතුර ළිං ද ස්ථාපනය වී ඇත.

උස්සන්ගොඩ යනු ඉහත කී සංකීර්ණය සම්බන්ධ වන  තැනකි. මායිමකි. මෙවැනි මායිම් පොළොවේ ගැඹුරට සම්බන්ධ වේ. එනිසාම පාෂාණ නිමැයෙන කාලයේදී ගැඹුරේ සිට මතූ වූ සමහර පාෂාණ මෙවැනි ස්ථානවල දැක ගත හැක. මෙනිසාම උස්සන්ගොඩ ද නිකල් ලෝහය අඩංගු සර්පන්ටිනයිට් නම් වූ පාෂාණය වාර්තා වේ.

මුහුදට ආසන්නයේ පිහිටීම ඉතා කදිම වෙරලක් නිර්මාණය කරයි. ඛාදිත වෙරළ භූ රූපණ මෙන්ම අවසාදිත භූ රූපණ ද දැක ගත හැකි වැලිකඳු ඒ අතර ප්‍රමුඛ වේ. උස්සන්ගොඩ වෙරළ සංචාරකයින්ගේ පරාදීසයකි.

උස්සන්ගොඩ පිහිටි සුවිශෙහි භූ සැකැස්ම විධිමත් කළමනාකරණයකට නැතුව භූ සංචාරිතය සඳහා භාවිතා කල හැක. එනිසාම මෙරටට එය මහඟු සම්පතකි. උස්සන්ගොඩ භූ උද්‍යානයක් බවට පත්කළ හැකි ස්ථානයකි.

භූ විද්‍යාත්මක වැදගත්කමත් සමග ජෛව විද්‍යත්මක වැදගත්කමක් ද මෙහි ඇත. ඒ සුවිශේෂී පාංශු ස්ථරයේ වැවෙන සුවිශේෂී ශක ප්‍රජාව නිසායි. එමෙන්ම එය තවත් හැඩ ගස්සවන්නට වෙරළ පරිසරයෙන් එන මුහුදු සුලඟ සමත්වෙයි. එයට අමතවර මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම් ද වෙයි. ඒ අතීත මානවයාගේ ශිලා ආයුධ මෙම ස්ථානයේ වාර්තා විමෙන්.

මෙවන් වූ බහුවිධ වැදගත්කම් නිසාම උස්සන්ගොඩ ඉතා හොඳ සංචාරක ස්ථානයකි.  දැනට එහි ප්‍රමාණවත් ආරක්ෂාවක් සහ සංරක්ෂණයක් නොමැති වීම එය විනාශවීමට දැඩි නැඹුරුතාවක් ඇත. ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ සංවර්ධනය කර සංචාරක කර්මාන්තයට දායක කිරීමෙන්ඉතා හොඳ ආර්ථික ලාභ අපේක්ෂා කල හැක.

Sunday, 5 January 2025

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  08

මුහුදු මට්ටම උච්චාවචනය වීම ගෝලීය උණුසුමත් සමග බැඳී පවතී. සුර්ර්ය තාපය ලැබීමේ සිදු වූ වෙනස්කම් ගෝලීය උණුසුම උච්චාවචනය කරන්නට හේතු වේ. අවසාන අයිස් යුගයෙන් පසු වසර 11,000 කට පමණ පෙර ගෝලීය උණුසුම ක්‍රමිකව වැඩි වී උණුසුම් අන්තර් අයිස් යුගය කරා ලෝකය යන්නට විය.

සැමවිටම මේ ක්‍රියා දාමයේ වැඩිවීම් මෙන්ම අඩුවීම් ද හඳුනාගත හැකිවේ. මුහුදු මට්ටම ඉහල යන සැම අවස්තාවකම වෙරළ රට තුලට තල්ලු වෙයි. එනිසා ගොඩබිම වපසරිය ක්ෂිණ වෙයි. ඉහල යන සෑම අඟලකින්ම වෙරළබඩ යට වන අතර එය විවිධ වෙරළ භූ රූපණ ඇතිකරන්නට සමත් වෙයි.

මුහුදු මට්ටම ඉහල යාම නිසා රට තුල කලපු නිර්මාණය වේ. ඒ වෙරළ ආසන්නයේ ඇති පහත් බිම් මුහුදු වතුරෙන් යටවීමෙන්. මුහුදු මට්ටම අඩු වූ විට කලපු මඩ සහිත ගොඩබිම ඉතිරි වේ. වෙරළ ආසන්නයේ ඇති බොහොමයක් කුඹුරු නිර්මාණය වී ඇත්තේ මෙම කලපු තුලයි. නැතිනම් වත්මන් තෙත්බිම් නිර්මාණයට දායක වී ඇත.

කලපු පරිසරයක් නිර්මාණය නොවූ කල නොගැඹුරු මුහුදු කලාප නිර්මාණය වේ. ඒවායේ කොරල් පරද කලපු වල මුහුදු බෙල්ලන්ගේ ඝනාවාස ද ඇති වේ. වෙරළ බැස ගිය පසු කොරල් නිධි ද මල බෙල්ලන්ගේ කටු නිධිද කලපු මඩ සමග ගොඩබිම ඉතිරි වේ. මුහුද බැස යන්නේ ගෝලීය දේශගුණයේ සිදුවන වෙනස් වීම් නිසාවේ.

එලෙස ඉතිරි වූ බෙල්ලන්ගේ කටු සහිත නිධි වර්තමානයේ බුන්දල, මිනිඇතිලිය, ඉඳුරුව වැනි ප්‍රදේශ වල රටතුලින් හමු වේ. එපමණක් නොව මුතුරාජවෙලින් ද හමුවන බව වාර්තා වේ. මුහුදු මට්ටම උච්චවචානය වූ බව කියන්නට ඒවා කදිම සාක්ෂි සපයන බව අප අමතක නොකළ යුතුය.

බොහෝ කලක සිට මෙම ප්‍රදේශයේ ජනතාව බෙලිකටු හුණු නිෂ්පාදනය සඳහා යොදා ගනී. එනිසා බෙලි කටු නිධි පවතින ස්ථාන හාරමින් ඒවා එකතු කර ගනී. වර්තමානයේ මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් වියකී යමින් පවතින බව මෑත කාලීනව කරන ලද විමසීමකදී පැහැදිලි විය. ඒ නිධි හමාර වෙමින් පැවතීම ද හේතුවක් විය හැක.

සමහර පුරාවිද්‍යාඥන්ගේ අදහස මෙම නිධි ආදී මානවයා කෑම සඳහා භාවිතා කල බෙල්ලන්ගේ ඉවතලන ලද කටු බවයි. එසේනම් නිධිවල පවතින කටු බොහොමයක් එකම ප්‍රමාණයේ විය යුතු අතරම තෝරා ගැනීමක් නිසා එකම වර්ගයක බෙලි කටු බහුලව හමු විය යුතුය.

පසුගිය කාලයේ කරන ලද පර්යේෂණයකට අනුව එසේ නොවන බව ඉතා හොඳින් පැහැදිලි විය. විවිධ ප්‍රමාණයේ බෙලි කටු හමුවූ අතර වර්ග ගණනාවක විශේෂ වල බෙලි කටු ද හමු විය.  එනිසා ඉහත මතය බිඳ වැටේ, මේවා සොබවිකව නිර්මාණය වූ බෙලි කටු නිධි ම වේ.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 30 October 2024

පත්මෙගේ භූ විද්‍යා අන්දර  07

කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ගල් පරයක් මතය. එම ගල් පරය කාලයක් තිස්සේ සිදුවන මුහුදු ඛාදනයේ ප්‍රතිඵලයකි. ග්‍රැනයිට් නයිස් නම වූ පාෂාණයේ ජීර්ණය බිහිකරන්නේ ගෝලාකාර ව්‍යුහයන්ය. එය අපූරු භූ විෂමතාවක් ඇතිකරන්නට සමත් වී ඇත.

කැලණියට ගැලූ ,මුහුදට විහාරමහා දේවිය බිලිකල ද ඇය නැවත ගොඩබිමට සේන්දු වන්නේ කිරින්දෙනි. මුහුද ගැලූ කාරණාව ඉතිහාසයේ පැහැදිලි කර ඇතත් භූ විද්‍යාත්මකව සලකු කල එය විසල් සුනාමියක් වන්නට ඇතැයි සිතිය හැක. සුනාමියක් එන්නේ නම් එය බටහිරින් නොව නැගෙනහිරින් විය යුතුය. ඒ සඳහා හේතුභූත වන්නේ සුමාත්‍රා ආසන්නයේ ඇති භූ තල මායිම්ය.

සුනාමි හැමදාම එන්නේ නැත. ඒ සඳහා නිශ්චිත කාලාන්තරයක් ද නැත. එනිසා 2004 ට පසු නැවත එන දිනයක් ද කියන්නට ද බැරිය. ඒ සඳහා සුදුසු තාක්ෂණයක් ද තවම බිහි වී නැත. 2004 සුනාමියට පසු ශ්‍රී ලංකවේ බොහෝ දෙනා සුනාමි ව්‍යවසනය ගැන අවධානය යොමු කලෝය. ඒ අතර පැරණි සුනාමි ගැනද ඔවුන්ගේ අවධානය යොමු විය.

ඒ කාලයේ මා සේවය කලේ මධ්‍යම සංකෘතික අරමුදලේය. පර්යේෂණ විද්‍යාගාරයේ අධ්‍යක්ෂක ආචාර්ය මොහාන් මහතා ද මම ද එක්ව පැරණි සුනාමි සොයන්නට කිරින්ද ට ගියෙමු. එහිදී සිදුකරන ලද පර්යේෂණ වලට අනුව අනුමාන කල හැකි වැලි තැන්පතුවක් කලපු මඩ අතර තිබී හමුවිය. තාප සන්දීප්තතා කාලනිර්ණය සඳහා රාත්‍රියේදී නියැදිකරනයට ලක් කළෙමු.

පර්යේෂනගාරයේදී වෙන්කර ගත් වැලි කැට කාල නිර්ණයට භාජනය කළෙමු. පුදුමයක මහත එම වැලි ස්තරය විහාරමහාදේවිය කිරින්ද ට ගොඩබැස්ස කල වකවානුවට අයත් විය. එම පර්යේෂණය දිගින් දිගටම කරගෙන යාමට අවශ්‍ය වුවත් ප්‍රමාණවත් අරමුදල් නොතිබූ නිසා අතමග නැවතුණි. පසුව, වසර විස්සකට වඩා පැරණි වූ එම කාලනිර්ණ උපකරණය අබලන් විය. පර්යේෂණය නැවතුණි.

තවමත් ඒ පිලිබඳ ආශාවක් ඇතත් පර්යේෂණ කරගෙන සුදුසු අවසථාවක් එළඹියේ නැත. පසුගිය දිනෙක වසර විස්සකට පමණ පසු ඒ ප්‍රදේශයේ සංචාරය කිරීමට නැවත අවස්තාවක් හිමි වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන වසරේ සිසුන්ගේ ක්ෂේත්‍ර චාරිකාවට එක් වීම නිසායි. එම ප්‍රදේශයේ මේ වන විට බොහෝ වෙනස් වී ඇත. ඉතා අපුරු ලවණ වගුරු සහිත තෙත්බිමක් නිර්මාණය වෙමින් පවතී. ජෛව විවිධත්වයෙන් අනූනය.

වසර විස්සකට පෙර සුනාමිය විසින් අතුගා දැමු මෙම ප්‍රදේශය දැන් සොබාවිකවත් මිනිසුන් විසිනුත් විවිධ වෙනස්කම් වලට භාජනය කරමින් පවතී. එය නැවත සුනාමියක් එනකම් විය හැකියි. 

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Saturday, 26 October 2024

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  06

අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන රටවල පවතින ක්රෝමයිට් නම ඛණිජ නිධි ලෝකයට ක්‍රෝමියම් ලෝහය ලබා දෙයි. මල නොකන වනේ සහ අනෙකුත් ලෝහ නිෂ්පාදන සඳහා ක්‍රෝමියම් ලෝහය යොදාගනී. මෙලස එක් රටක උපදින ලෝහයක් තවත් රටක ජනතාව අසනීප කරන්නට බලපෑ ආකාරය “එරින් බ්රෝකොවිච්” නම් වූ චිත්‍රපටයෙන් කදිමට පෙන්නුම් කරයි. “ක්‍රෝමියම් VI” නම් වූ අයනය මිනිසාගේ දේහයේ බොහෝ අසනීප ඇතිකරන්නට හේතුවන බව වෛද්‍ය පර්යේෂණ පෙන්වා දෙයි.

එක්තරා කර්මාන්ත ශාලාවක් මගින් නිදහස් කෙරුන අපජලයෙහි මෙම ක්‍රෝමියම් VI ඇති බව සොයාගැනීම සහ ඒවා සොබාවික භූගත ජලයට මිශ්‍රව ඇති බවටත් එනිසා කැලිෆෝනියා ප්‍රාන්තයේ හින්ක්ලි නම් වූ ප්‍රදේශයේ ජනතාව ලෙඩවන බව සොයාගැනීමත් මෙම චිත්රපටයෙන් වාර්තා වේ. මේ පසු පස හඹා යන එරින් බ්රෝකොවිච් නම් වූ කාන්තාව ඈ වැඩකරන නීති ආයතනයේද සහය ඇතුව එම කර්මාන්තශාලාවට එරෙහිව නඩු දමා ප්‍රදේශයේ ජනතාවට වන්දි ලබා දෙන ආකාරය කදිමට පිළිබිඹු කරයි. මෙම කතාව සත්‍ය කතාවක් වන අතර එරින් බ්රෝකොවිච් ඇමෙරිකාවේ ජනප්‍රිය චරිතයක් වෙයි.

බොහෝ වේලාවට අප නොසිතන කරුණක් ගැන මෙහිදී සඳහන් කිරීම අගේ යැයි සිතේ. එනම් පාංශු ගෝලයේ සහ ජල ගෝලයේ අන්‍යොනය සහජීවනයේ ඇති වැදගත්කමයි. යම්කිසි ආකාරයකින් පස දූෂණය වන්නේ නම් ඒ සමගම ජලය ද දූෂණය වන බව අප අමතක නොකළ යුතුය. එසේම ජලය දූෂණය වන විට පාංශු දුෂණයට ද එය හේතුවක් බව වටහා ගත යුතුය. පස හැමවිටම පිරිසිදුකාරකයක් වන්නේ නැත. භූ ගත ජලයට යම් යම් දේ එකතු කරන්නට ද පෙළඹේ.  එමගින් භූගත ජල දූෂණය සඳහා මග පෑදේ.

වෙද භූ විද්‍යාව මේ පිලිබඳ මාතෘකා කරගත් විෂය ක්ෂේත්‍රයක් වන අතර භූ රසායනයන්ගේ සාන්ද්‍රණ ගත වීම සහ මානුෂ ශරීරයට ඇතුළු වීමෙන් හටගන්නා සංකූලතා ගැන අවබෝධයක් ලබා දෙයි. මෙරට ජනතාවගේ නොදැනුම නිසා බොහෝ විෂ රසායනයන් පසට ද ජලය ට එකතු කරන්නට පෙළඹී තිබේ. අපගේ ආහාරවලට එකතු විය හැකි බව සිහි තබා ගැන්ම ඉතා වැදගත් වේ. ඊයම්, රසදිය, ආසනික් වැනි බැර ලෝහ පමණ නොව සමහර කෘෂිකාර්මික කාබනික රසායනයන් ද භූ පරිසරය දූෂණය කරන්නට හේතු වේ.

පාංශු සහ ජල සරක්ෂණය පිළිබඳව අප බොහෝ පරික්ෂාකාරී විය යුතුය. මන්ද යත් එය කෙලවර වන්නේ අපගේ සෞඛ්‍යට බලපෑම් කිරීමෙනි. පසෙහි රසායනික ගතිගුණ සමබරව පවත්වාගෙන යා යුතුය. එසේ නොමැති වීම රජරට වක්ගඩු රෝගය ඇතිකරන්නට හේතු බව මගේ අදහසයි. භූ පරිසරයේ යහපැවැත්ම සඳහා නිරතුරැ අවධානයෙන් සිටීම ඉතා වැදගත් වන්නේ එය අපව රෝගී කිරීම වලක්වා ගැනීම සඳහා බව අප අමතක නොකළ යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 24 October 2024

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  05

වැලි කඳු කාන්තාර භූමිවලට ලාක්ෂණික වෙයි. ශ්‍රී ලංකාවේද වැලි කඳු  හමු වේ. ඒවා ඉතා වැදගත් භූ ලක්ෂණ බව කිව යුතුය. යම් ප්‍රදේශයක දිගු කාලින ශුෂ්ක සොබාවය වැලි කඳු ජනනය කරන්නට හේතුවිය හැකි  බව භූ විද්‍යඥයින් විශ්වාස කරයි. ශ්‍රී ලංකාවේ වැලිකඳු පිහිටා ඇත්තේ වයඹ සහ ගිනිකොණ වෙරළාශ්‍රිත භූ පරිසරයේ ය. එයට අමතරව යාපනයේ ඊසාන ප්‍රදේශයේ ද හමු වේ.

බුන්දල හමුවන වැලි කඳු වසර 80,000 ක් පමණ පැරණි බව කාලනිර්ණ සාක්ෂි තහවුරු කරයි. වසර 80,000ක පමණ කාලය ලෝකයේ අවසාන ග්ලැසියර යුගය පැවතුන කාලයයි. එය ප්ලයිස්ටෝසීන ශිත යුගය ලෙස හැඳින් වේ. වසර මිලියන දෙකෙහි සිට වසර 11,000 දක්වා මෙම ශිත යුගය තිබූ බව විද්‍යඥයින්ගේ මතයයි. ශිත යුගයේ ශීතල ග්ලැසියර ඇතිකරන්නටත් එනිසාම මුහුදු මට්ටම අඩු කරන්නටත් හේතු විය. ග්ලැසියර යුගයේ විශේෂත්වය ශීතල පමණක් නොවේ එය වියලි කාලගුණික තත්වයක් ද ඇති කරයි. මුහුදු මට්ටම පහල යාම පුළුල් වෙරළ නිර්මාණය කරන්නට හේතු වේ. පුළුල් වෙරල ඔස්සේ හමා යන වියලි සුලඟ සියුම් වැලිකැට ඔසවා යම් දුරක් ප්‍රවාහනය කරයි. එක තැනකට ගොඩ ගැසීම සුළගේ වේගය මත තීරණය වේ. වැලිකඳු බිහිවන්නේ එලෙසයි.

මන්නාරම සිලාවතුරට පහලින් කල්ලාරු ආර ගලා බසියි. කල්ලාරු ද්‍රෝණිය වන සංරක්ෂණ කලාපයකි. කල්ලාරු ආර එම ප්‍රදේශයට යහමින් දියළු අවසාදිත ලබා දෙන්නෙකි. එපමණක් නොව ආරුව මුහුද ගලන කලාපය බොහෝ අපුරු භූ විෂමතාවකින් යුක්තය. බොහෝ දෙනෙකු මෙම ප්‍රදේශයේ හමුවන කුඩා උස්බිම් හඳුන්වන්නේ “කෝම්පිට්ටු” ලෙසයි. එම ප්‍රදේශය පුරා පැතිරී ඇති මෙම කෝම්පිට්ටු ගොඩලි බොහෝ ගණනකි. ගණනය කරන්නේ නම් එය සියය ඉක්මවයි. මෙම ගොඩලි ඕවලාකාරය. විහිදී ඇත්තේ නිරිත ඊසාන දිශානුගතවය. සුළගේ බලය තවමත් ඇති බව තහවුරු වන්නේ ගොඩලි මත වැවී ඇති ශාක ගොන්නෙනි. ශාක ගොන්න කෝම්පිට්ටුවේ  කොටසක් ලෙස ඊසාන දිශවෙහි රැඳී වර්ධනය වන්නේ සුළං හමන්නේ නිරිත දිගින් බව තහවුරැ කරමින්.

වරින් වර ප්‍රදේශයට ඇදහැලෙන වැස්ස බොහෝ විට වසරකට වරක් මේ ගොඩලි දියකර හරිමින් කෝම්පිට්ටුව ඛාදනය කරයි. එනිසා සමහර කෝම්පිට්ටුවල හරස්කඩවල් ද පැහැදිලිය. කෝම්පිට්ටු මධ්‍යයේ එක් ස්ථරයක් හිම්ටයිට් (යකඩ ඔක්සයිඩ) පෙබලු වලින් යුක්තය. මෙම ස්තරය නිරාවරණය වූ ගොඩැලිවලින් ප්‍රදේශය පුරා යමසු පෙබලු විසුරුවා ඇත. ගොඩැල්ලේ අවසාදිත ඛණිකා විශ්ලේෂණයට භාජනය කල විට පැහැදිලි වන්නේ ඒවා වාලුකා අවසාදිත බවයි.  එනිසා කෝම්පිට්ටුවල හැඩය, දිශානතිය, පැතිරීම සහ අවසාදිත වල වයනය සලකා බැලීමේ දී තහවුරු වන්නේ මේවා වැලි කඳු බවයි.

ශ්‍රී ලංකාවේ හමුවන වැලි කඳු බොහෝ විට අවසාන ශිත යුගයේ නිර්මාණය වූ ඒවා විය යුතුය. එනිසා කල්ලරු ද්‍රෝණියේ වෙරළට ආසන්නයේ හමුවන මෙම වැලි කඳු ද අවසාන අයිස් යුගයේ ජනනය වූ ඒවා විය යුතුය.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

නාය භුමි ප්‍රතිස්ථාපනය සහ අධ්‍යාපන සංචරණය පත්මෙගේ භූ විද්‍යා අන්දර   13 ආචාර්ය පත්මකුමාර ජයසිංහ නාය භුමි ප්‍රතිස්ථාපනය ශ්‍රී ලංකාවට අල...