2015 සැප්තෑම්බර් 23 බදාදා
පසුගිය සති කිහිපයේ ම සිදු වූ විවිධාකාරයේ අනතුරු හේතුවෙන් මනුෂ්‍ය ජීවිත ගණනාවක් ම අහිමි වූ බව ජනමාධ්‍ය නැරඹූ ඔබට දැනගන්නට ලැබෙන්නට ඇත. මෙහි දී දුටු පොදු ලක්‌ෂණය වූයේ "අපරීක්‌ෂාකාරී ව ක්‍රියා කිරීම" මේ අනතුරුවලට ප්‍රධානව බලපෑ බවයි. එහෙත් මෙවැනි ම සිදුවීම් මෙයට පෙර ද බොහෝ සිදු වී ඇති බව ද නොරහසකි. මෙවැනි පෙර අත්දැකීම් සමාජගත වී "පරම උපහැරණ" නො වන්නේ ඇයි ද යන්න සමාජ විද්‍යාඥයන් ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තකි. තාක්‌ෂණය දියුණු වත් ම අවදානම බැහැර කරන්නට හෝ එය අවම වන ලෙස ක්‍රියා කිරීම හෝ බලාපොරොත්තු වුවත් එසේ නො වන බවට බොහෝ අත්දැකීම් ඇති බව සියුම්ව කල්පනා කළ හොත් ඔබට පසක් වනු ඇත.
නිරන්තරයෙන් ම අලුත් වෙමින් අනතුරු අවම කරවන කාර්මික ඥානයකින් හෙබි රථවාහන ලොවට එක් වෙද්දීත් එලෙස ම වූ ලෙස මහා මාර්ග පද්ධතිය දියුණු වෙද්දීත් මේවා භාවිත කරන උදවිය තව තවත් අපරික්‌ෂාකාරී වීම නම් කොහෙත් ම අනුමත කළ නොහැකි ය. මහා මාර්ගයේ දී ධාවකයා මෙන්ම එහි මගීන් ද, ප්‍රවාහයට එකතු වී ඇති අනෙකුත් රථවාහන ද මෙන්ම පදිකයන් ද මහාමාර්ගය විවිධාකාරයෙන් හාවිත කරන බව ද රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය එහි දී ද ඒ ආකාරයෙන් ම බලපවත්වන බව ද එය භාවිත කරන්නන් එක ලෙස සිහි තබා ගත යුතු කරුණකි. තවෙකකු ගේ ක්‍රියාවන් අනෙකා ගේ නාසය අග්ගිස්‌සෙන් කෙළවර වන බව ද, එනිසා ම තම නිදහස අගයන ඔබ සැවොම අනෙකා ගේ ද නිදහස ආරක්‌ෂා කිරීමට වග බලාගත යුතු බව සිහි තබාගත යුතු ය.
අද වන විට මිනිසුන් අතර වූ අෙන්‍යාන්‍ය අවබෝධය පස්‌සා දොරින් පලා ගොස් ඇති බවට මෙවැනි සිදුවීම් ඉතා ප්‍රබල සාක්‌ෂ්‍ය සපයයි. යහපත් මානව සම්බන්ධකම් කදිමට සහ ප්‍රබලව වර්ධනය වූ සංස්‌කෘතියක විද්‍යාව සහ තාක්‌ෂණික අනුගත වීමේ නොපෑහීම ද මෙයින් මතු වන්නේ ය යන්න සැලකිල්ලට ගත යුත්තකි.
රටක දියුණුවට අෙන්‍යාන්‍ය සම්බන්ධය හා එකිනෙකා වටහාගැනීම ඉතා වැදගත් බව අප සැවොම හට හොඳින් ම පැහැදිලි වේ. මහා මාර්ග වැඩිදියුණු වන විට සහ අලුත්වැඩියාවන් කරන විට සිදු නො වන ආයතනික සම්බන්ධය සහ සමායෝජනය හේතුවෙන් නිරන්තරයෙන් ම නැවත නැවතත් එම මාර්ග, විශේෂයෙන් ම ජල නළ ද විදුලි සංදේශ නළ ද එලීමට සිදුරු කිරීම ඔබට අමුතු අත්දැකීමක් නො වනු ඇත. එහෙත් මේ ආයතන අතර සමායෝජනයක් සිදු වූවා නම් හෝ දූරදර්ශී ලෙස සැලසුම් සහගත වූවා නම් මෙවැනි අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදු නො වනු ඇත. විශේෂයෙන් ම අලුතෙන් නගර සහ මහා මාර්ග සැලසුම් කිරීමේ දී මෙවැනි පද්ධතීන් නිර්මාණය කිරීමෙන් අදාළ ආයතනවලට අමතර ආදායමක් ද උපයාගත හැකි වේ.
කඳුකර ප්‍රදේශවල මහා මාර්ග ඉදි කිරීමේ දී තවත් බොහෝ දේ පිළිබඳව සැලකිලිමත් වීමට සිදු වේ. විශේෂයෙන් ම තියුණු බෑවුම් හරහා මාර්ග තැනීමේ දී ප්‍රමාණවත් ස්‌ථායිතාවක් ඇති වන ලෙස බෑවුම් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. නැත හොත් වැඩි කල් නොගොසින් ම බෑවුමේ කැපූ ඇල්ල එසේත් නැතිනම් කණ්‌ඩිය කඩා වැටී මාර්ගයේ ගමන් කරන්නන් අනතුරට භාජන වනු ඇත. මේ ස්‌ථාන ප්‍රතිස්‌ථාපනයට විශාල මුදලක් අවශ්‍ය වේ. මෙවැනි කඩාවැටීම් බොහෝ කඳුකර මාර්ගවල සුලබ දසුනක් බව ඔබට සිහි වනු ඇත. මෙවැනි අවදානම් තත්ත්වයන් ඇති විය හැකි බව පුරෝකථනය කිරීම එතරම් අපහසු කාරියක් නො වේ.
මාර්ග තැනීම සැලසුම් කිරීමේ මූලික අවස්‌ථාවේ දී ම මේ පිළිබඳව අවධානය යොමු කර අවදානම් සහ අනතුරු අවම වන ආකාරයට මාර්ගයේ කණ්‌ඩි/බෑවුම් සකස් කිරීම ද අවදානම් බෑවුම් තිර කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ද ඒ සදහා ප්‍රමාණවත් ලෙස ව්‍යාපෘතියෙන් මුදල් වෙන් කිරීම ද කළ යුතු ය. එලෙස ක්‍රමවත් ලෙස සැලසුම් කරන්නේ නම් මාර්ග තැනීමෙන් පසු ඇති වන අතුරු අනතුරු අවම වීමෙන් පසු කාලීනව වැය වන මුදල බෙහෙවින් අඩු කරගත හැකි වේ. එවැනි ක්‍රියාමාර්ග අනුගමනය නො කිරීමෙන් අනතුරට භාජන වී ඇති මහා මාර්ග සදහා කදිම නිදසුනක් වන්නේ මහනුවර මහියංගනය මාර්ගයයි. නුවරඑළියේ හග්ගල මල්වත්ත කිට්‌ටුව මාර්ගයේ සිදු ව ඇති කණ්‌ඩි කඩා වැටීම තවත් නිදසුනකි. මේ ස්‌ථාන මෙලෙස අනතුරට ලක් වීමට, ආයතන අතර ඉහත සදහන් කළ අෙන්‍යාන්‍ය සම්බන්ධය තර නො වීම ද එක් හේතුවකි. එම ස්‌ථානයේ ඇති කණ්‌ඩියේ බෑවුම ප්‍රමාණවත් ලෙස සකස් කිරීමට අවශ්‍ය ඉඩ ලබාගැනීමට අපහසු වීම එනිසා සිදු වී ඇති අතර, එය සිරස් කණ්‌ඩි නිර්මාණයට හේතු වී ඇත. එහෙත් අවසානයේ අධික වර්ෂාපතනයත් සමග නො සිතූ ලෙස ඉතා විශාල බිම් ප්‍රදේශයක් නාය යැමට ලක් වීම අලාභය වැඩි කරන්නට හේතු වී ඇති බව ඒ ස්‌ථානය පසු කරන නැණවත් උදවියට වැටහෙනු ඇත. තීන්දු තීරණ ගැනීමේ දී වඩාත් ප්‍රායෝගික වීම ද දූරදර්ශී වීම ද ආයතනික ක්‍රියාවලිය තුළ දී අවශ්‍ය වන්නේ එබැවිනි.
කෙසේ වෙතත් කඳුකරයේ මෙවැනි සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී පාංශු ඛාදනය ශීඝ්‍ර වන බව නොරහසකි. එමෙන් ම වන වැස්‌මට හානි සිදු වීම ද හේතු වෙන් සොබාවයෙහි තිබිය යුතු වූ නිශ්චිත කොළ පැහැය තවත් අඩු වෙයි. පසුගිය වකවානුවල දී සිදු වූ එවැනි ව්‍යාපෘති හේතුවෙන් අඩු වූ වන වැස්‌ම නැවත බලපාන්නේ වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අඩු කරලීමට ය. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දරුණු ම කඳුකර වනාන්තර විනාශය සිදු වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී බව අප ගේ අදහසයි. ඒ කෝපි, තේ ඇතුළු ආර්ථික බෝග වගා කිරීම හේතුවෙනි. මෙය අප රටට පමණක් නො ව අනෙකුත් යටත්විජිත රටවල ද සිදු වූ මේ හරිත විනාශය වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම ශීඝ්‍රව වැඩි කරන්නට හේතු වන්නට ඇති බව අප මොහොතකට වත් සිතුවා ද? කෙසේ වෙතත් යටත්විජිත වනාන්තර විනාශයේ සහ කඳුකර ආර්ථික බෝග වගාවේ අතුරුවිපාක මොනවා ද යන්න අප තවමත් නිසි පරිදි තේරුම් නො ගෙන ඇති බව ඔබට මෙයින් වැටහෙනවා ඇත.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ