විදුපත් ඉරුව
2017 අගෝස්තු 30 බදාදා
2017 මැයි 26 වැනිදා අපේ රටට සුභ දායක
දිනයක් වූයේ නැහැ. නිරිත දිග මෝසම හේතුවෙන් දින කිහිපයකට කලින් වැසි සමය ආරම්භ
වූවත් හිරිපොද වැටෙමින් පැවතුණි. එදිනම සවස් වරුවේ ද මේ තත්වය එසේම තිබුණි. නමුත්
රාත්‍රිය වන විට තත්වය කණපිට පෙරළෙන්නට පටන් ගති. මහා වැසි ඇදහැලෙන්නට පටන් ගත්
අතර ස්වයංක්‍රිය වර්ෂාමාන වල පාටංක බලා සිටිද්දී වැඩි වෙන්නට පටන් ගත්තේය. ඉතා
සුළු වේලාවකදී වර්ෂාපතන අගයන් මිමි 300 ඉක්ම වූ අතර කළුතර, මාතර, ගාල්ල, රත්නපුර
සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල මෙම තත්වය වඩා ප්‍රමුකව තිබු බවට වාර්තා විය. මේ
තත්වය මෝසම හේතුවෙන් ඇති වූ අසාමාන්‍ය කාලගුණික තත්වයක් බව පැහැදිළි විය. එය ශ්‍රී
ලාංකික ආපදා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක් බවට පත් විය. වඩා දරුණු තත්වයක් නිර්මාණය
වුයේ මේ සමගම මහා වැසි හේතුවෙන් අධික ගංවතුර තත්වයක් ඇති වීමයි.
මෙම ආපදා තත්වය ඇති වී මාස කිහිපයක් ගත
වී ඇති නමුදු පශ්චාත් ආපදා විමර්ශනයක් කල යුතු යයි මට හැඟෙ. එනිසා දැනට සිදුකර ඇති
අධ්‍යනයන්ට අනුව මේ සඳහා වූ හේතු ප්‍රත්‍යන් කවරේදැයි විමසා බැලිය යුතුය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පශ්චාත්
ආපදා විමර්ශන සහ විද්‍යාත්මක අධ්‍යන වල නිරත වූ අතර එහිදී පැහැදිළි වුයේ බස්නාහිර
සහ දකුණු ප්‍රදේශ ඉතා දරුණු ලෙස හානියට පත්ව ඇති බවයි. පසුගිය වර්ෂයේ සිදු වූ
මෙවැනිම ආපදාවක් නිසා කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙක මෙවැනිම ලෙස ආපදාවට ලක්
වූ බව රහසක් නොවේ. මේ දෙකෙහිදීම මෙතෙක් සිදු කරනු ලැබූ පස්චාත් ආපදා අධ්‍යන වලින් පැහැදිළි
වුයේ කාලගුණ විපර්යාසයන්ට අමතරව ජනගහන වර්ධනය වීම හේතුකොටගෙන වැඩි වූ මානව ක්‍රියාකාරකම්
මෙම නාය ආපදා තත්වය වර්ධනය වීම කෙරෙහි ලා ප්‍රමුඛ කාර්යයක් කර ඇති බවයි.
මහා වැසි හේතුවෙන් උත්ප්‍රේරණය වන නාය
ආපදා නිසා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ඉතා අධිකව ග්‍රහණයට ලක් වන බව ද එනිසාම
හානියට ලක්වන බව ද කිසිම සැකයක් නොමැත. එනිසාම මධ්‍යකඳුකරයේ බොහොමයක් ස්ථාන හානියට
ලක් වී ඇත. දිස්ත්‍රික්ක 13 ක් අයිතිවන වර්ග කිලෝමීටර 13 0000 ක් පමණ වන එනම් ශ්‍රී
ලංකික භූමියෙන් සියයට විස්සක් පමණ වන වර්ගඵලයක් මෙම නාය ආපදා සඳහා නතුව ඇති බව
මෙරට කරන ලද අධ්‍යන වලින් පැහැදිළි වී ඇත. මෙම වර්ග ප්‍රමාණය තුල මෙරට ජනගහනයෙන්
සියයට 42 ක් පමණ වෙසෙන බවද අමතක නොකළ යුතුය.
මෙවර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ
නාය ආපදා විමර්ශන කටයුතු මුල් සතිය තුල අඩාල වීමට ප්‍රධාන හේතුව වූයේ බොහොමයක්
මාර්ග ගංවතුර හේතුවෙන් අවහිර වීමයි. ප්‍රධාන කොටම මහවැසි ගංවතුර සඳහා හේතු වූවත්
ඇති වූ නාය යාම් තත්වය ද ගංවතුර තත්වය උග්‍ර කරන්නට හේතු වූ බව පැහැදිලිය. මේ
හේතුවෙන් බොහොමයක් නගර සහ ඒ සම්බන්දිත මාර්ග අවහිර වූ අතර මේ තත්වට දුරකථන සහ
විදුලි සම්බන්ධතා බින්ද හෙලන්නට සමත් ව තිබුණි. නමුත් මේ තත්වය මද පමණින් හෝ පහව
ගිය පසු හදිසි විමර්ශන කටයුතු අරඹන්නට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උත්සාහ
කරන ලදී.
විමර්ශන කටයුතු වලදී පැහැදිළි වූයේ මෙම
නාය ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 203 ක් පමණ මිය ගොස් ඇති බවයි. සංක්‍යාලේඛන
වලට අනුව පසුගිය දශකය තුල පුද්ගලයින් 1500 කට අධික ප්‍රමාණයක් අප රටට අහිමි වී ඇති
අතර දෙලක්ෂයක් පමණ වූ ජනතාවකට සදාකාලිකව
නිවාස අහිමි වී ඇත.
සිදුකරන ලද අධ්‍යන කටයුතු වලදී පෙනී ගියේ
මෙම නාය ආපදා තත්වය වර්ධනය වීම සඳහා හේතු කිහිපයක් මුල් වී ඇති බවයි. අනපේක්ෂිත
ලෙස කෙටි කාලයකදී තද වැසි ඇති වී විශාල වර්ෂාපතනයක් පතිත වීම මෙහිදී මූලික කරුණ වූ
බව පැහැදිළි වෙයි. ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක වල ස්ථාපිත කරනු ලැබ තිබු ස්වයංක්‍රිය
වර්ෂාමාන වල දත්ත මේ බව මොනවට පැහැදිළි කරයි.
අසංවිධානාත්මක භුමි පරිහරණය දෙවැනි
කරුණ ලෙස හැඳින්විය හැක. මේ ප්‍රදේශවල අතීත භුමි පරිහරණ රටාව හා සන්සන්ධනය
කිරීමේදී පැහැදිලිවන්නේ ඉතා දරුණු ලෙස වර්තමාන භුමි පරිහරණ රටාව වෙනස් වී ඇති
බවයි. මේ සඳහා ප්‍රමුකව බල පා ඇති කාරණාව ලෙස සැලකිය හැක්කේ ජනගහන වර්ධනය සහ මධ්‍ය
කඳුකරය දෙසට ඔවුන්ගේ ව්‍යාප්තියයි.
මිනිසුන්ගේ නීති පිලි පැදීමට ඇති
නොකැමැත්ත සහ නොසලකා හැරීමද මෙහිදී වැදගත් කාරණාවක් බව මතකයේ රඳවා ගත යුතු කරුණකි.
ජාතික ගොඩනගිලි පර්යේෂණ සංවිධානය විසින් ස්ථාපනය කරන ලද නීති
සහ අනුගමනය කල යුතු මූලික කරුණු නොසලකා හැරීම යම් යම් ලෙස නාය ආපදා තත්වය වර්ධනය
කරවන්නට හේතු වී ඇති බව පැහැදිළි වෙයි.
මෙවර
සිදු වූ නාය ආපදා තත්වයේ පශ්චාත් විමර්ෂණ කටයුතු තවමත් අවසන් වී නොමැත. නමුත් මේ දක්වා ලද දත්ත වලට අනුව මෙම නාය ආපදාව
සඳහා මුලිකව බලපෑ කරුණ වන්නේ කෙටි කාලීනව ලද අසාමාන්‍ය වර්ෂාපතනය බවට සාරාංශ ගත කල
හැක. ඊට අමතරව මානව ක්‍රියාකාරකම් උග්‍ර වීමද
පවතින නීති කෙරෙහි අඩු තක්සේරුවක් දැක්වීමද මෙවර නාය ආපදාව කෙරෙහි බලපෑ
කරනු වෙයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ