Thursday, 28 June 2018

විදුපත් ඉරුව
2015.10.07
මාරි කියුරි ගැන අසා ඇතිවාට සැකයක්‌ නැහැ. බටහිර විද්‍යා ක්‌ෂේත්‍රය තුළ ඈ ඉතා වැදගත් චරිතයක්‌ වන්නේ "විකිරණශීලිතාව" ලොවට හඳුන්වා දීමත් විකිරණශීලිතාව පෙන්වන මූලද්‍රව්‍ය දෙකක්‌ ලොවට හඳුන්වා දීමත් පමණක්‌ නිසා නො වේ. එකිනෙකට වෙනස්‌ විද්‍යා ක්‌ෂේත්‍රයන් (භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව) උදෙසා නොබෙල් ත්‍යාගය දෙවරක්‌ දිනාගත් ලොව ප්‍රථම සහ එක ම කාන්තාව පමණක්‌ නො ව එක ම පුද්ගලයා ද වන්නේ ඇයයි. ඉතා අපූර්වතම කරුණ වන්නේ ඇගෙන් ලද මේ ආදර්ශය නිසා එම පවුල නොබෙල් ත්‍යාග පහක්‌ ම දිනාගන්නට සමත් වී තිබීමයි.

අනෙක්‌ විශේෂත්වය වන්නේ මහාචාර්ය මාරි කියුරි තම උපන් බිම වන පෝලන්තයට දැඩි ව ආදරය කිරීමයි. එනිසා ම ඈ විසින් සොයාගන්නා ලද එක්‌ මූලද්‍රව්‍යයක්‌ තම මවු බිමට ගරු කිරීමක්‌ ලෙස "පොලෝනියම්" යෑයි ඇය නම් කළා. ඈ සොයාගත් දෙවැනි මූලද්‍රව්‍යය වන්නේ රේඩියම්.

ඉතා ම කැප වීමෙන් තම පර්යේෂණ මෙහයවූ ඇය මුල් අවධියේ දී දුෂ්කර ජීවිතයක්‌ ගත කළ බව සදහන්. කෙසේ වෙතත් පර්යේෂණ සදහා ප්‍රමුඛතාව ලබා දුන් මහාචාර්ය මාරි කියුරි බටහිර විද්‍යා ලෝකය තුළ උත්කෘෂ්ට විද්‍යාඥවරියක වූ ආකාරය කදිමයි, පරමාදර්ශීයි.

අප සිදු කරන්නාවූ සැම කර්තව්‍යයක්‌ ම සදහා කැප වීම සහ උනන්දුව අත්‍යවශ්‍යයි. එය විද්‍යා ලෝකය තුළ දී තීරණාත්මක කරුණක්‌. තම දිවිය ම පර්යේෂණ උදෙසා කැප කරන තැනැත්තන් එකල සිටියා. පර්යේෂණ සදහා වූ කුතුහලය සහ එයින් ලබන්නා වූ ප්‍රතිඵල තම වින්දනය බවට පත් කරගෙන ඇති බව බොහෝ විද්‍යාඥයන් ගේ ජීවිත ගමන නිරීක්‌ෂණයෙන් පැහැදිලි වනවා. ඒ හේතුවෙන් නවතම මෙන්ම බොහෝ සැඟවුණු දේ ද ලෝ වැසියන්ට ඉදිරිපත් කරන්නට ඔවුනට හැකි වී ඇති බව නොරහසක්‌. මෙලෙස එක්‌ අයෙක්‌ විසින් සිදු කරන ලද පර්යේෂණ ලොවෙහි ගමන් මග නිති වෙනස්‌ කරන්නට හේතු වී ඇති බව ඔබට වැටහෙනවා නිසැකයි.

අද වන විට බටහිර විද්‍යාව ලොව පුරා පැතිරී ගොසින් එනිසා ම විවිධ අධ්‍යයන ක්‌ෂේත්‍රයන් ලොව බිහි වෙලා. සන්නිවේදන තාක්‌ෂණය දියුණු වීමත් සමග ම එය වඩා ප්‍රබලව ව්‍යාප්ත වී තිබෙනවා. විවිධ පර්යේෂණ, නව සොයාගැනීම් සහ නවතම නිෂ්පාදන අසුරු සැණින් දැනගැනීමටත් එනිසා හැකියාව ලැබී තිබෙනවා. නිර්ව්‍යාජ පර්යේෂණ මෙන්ම ව්‍යාජ පබැදුම්වලට ද මෙනිසා අවකාශය ලැබෙනවා. කෙසේ වෙතත් ඒ අතරින් සත්‍ය පර්යේෂකයන් සහ විද්‍යාඥයන් මෙලොවෙහි "සදාකාලික" වී සිටිනවා.

ශ්‍රී ලංකාවේත් පසුගිය දශක කිහිපය තුළ ඉතා ශීඝ්‍රව බටහිර විද්‍යාව ප්‍රමුඛ ලෙස පැතිරෙමින් පවතිනවා. ඇත්තෙන් ම අප රටෙනුත් ලොවට විද්‍යාඥයන් බිහි වන්නේ ද? මේ කරුණ ඉතා සියුම් ව විග්‍රහ කළ යුත්තක්‌. මෙරටෙහි විද්‍යාව ප්‍රචලිත කරන්නා වූ සහ විද්‍යාඥයන් බිහි කරන්නා වූ ආයතන තිබේ ද? බටහිර විද්‍යාවේ විවිධ විෂය පථයන් නියෝජනය කරන්නා වූ ආයතන මෙරටෙහි ඇතත් ඒවා කෙලෙස කොපමණ ආකාරයෙන් විද්‍යාඥයන් හෝ පර්යේෂකයන් බිහි කරන්නා වූ තිඹිරි ගෙවල් වී ඇත් ද යන්න ගැටලුවක්‌. අපරදිග හෝ පෙරදිග දැනුම් පද්ධතිය මූලික කරගෙන බිහි වන පර්යේෂකයන් ඇත්තේ ඉතා අතළොස්‌සක්‌ බව පෙනී යන සත්‍යයක්‌. එසේ නම් ගැටලුව ඇත්තේ කොතැන ද? එය කුමක්‌ විය හැකි ද?

මෙරටෙහි ප්‍රධාන විශ්වවිද්‍යාල ඒ සදහා කොපමණ දායකත්වයක්‌ දක්‌වන්නේ ද? නිදහස්‌ චින්තනයකින් හෙබි දක්‌ෂ තාර්කිකයන් සහජයෙන් බිහි වුවත් අද පවතින අධ්‍යාපන රාමුව තළ ඔවුන් සිරකරුවන් බවට පත් කරන්නේ ද යන්න විටෙක පැන නඟින පැනයක්‌. කෙසේ වෙතත් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්‌ටමේ පර්යේෂණ සහ සොයාගැනීම් උදෙසා දායකත්වය සපයා ඇති බව නොරහසක්‌. එයින් පෙනී යන කරුණ නම් බොහෝ දක්‌ෂයන් මේ අතර වන බවයි.

පර්යේෂණයේ දක්‌ෂයන් හට නියමාකාරයෙන් තම පර්යේෂණ සිදු කිරීම සදහා අවස්‌ථාව මෙරට පරිපාලන සන්දර්භය ලබා දෙන්නේ ඉතා ම අඩුවෙන් බව ප්‍රායෝගිකව අත්දැකීමට හැකි කරුණක්‌. වෘතිකයන් ආයතනික රාමුව තුළ දී "විද්‍යාඥයන්" ලෙස හදුන්වා දුන්නත් ඔවුන් විද්‍යාඥයන් ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමට කොපමණ යොමු කරන්නේ ද, ඒ සදහා කෙලෙස පොලඹවන්නේ ද යන්න සාකච්ඡා කරන විට පෙනී යන කරුණ නම් එය ඉතා ශෝචනීය තත්ත්වයක්‌ බවයි. තම ආයතනය තුළ නමට පමණක්‌ "විද්‍යාඥයන්" බඳවාගන්නා මෙරට ඇති ආයතන ඔවුන් ගේ නිදහස්‌ චින්තනය "අට-පහ" කාර්යාල කාල සීමාවට පමණක්‌ සීමා කරන බව අත්දුටු සත්‍යයක්‌. "පැය අටේ" සේවය තුළින් ලැබෙන්නා වූ සොච්චම් වේතනයකට හිර කර ඇති මේ ආයතනවල සේවය කරන දක්‌ෂ පර්යේෂකයන් ගේ සේවය නිසි ලෙස යොදවාගැනීමට නිවැරැදි නිශ්චිත වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නො තිබීම සහ ඔවුන් නිසි ඇගයීමකට ලක්‌ නො වීම නිසා දක්‌ෂයන් එම ආයතනවලින් බැහැර වී පර්යේෂණ සිදු කළ හැකි වෙනත් අවස්‌ථාවන් සොයා යන බව ද එසේත් නැතිනම් ඒ සියල්ල අතහැර මුදල් සෙවීම අරමුණ කරගෙන විදෙස්‌ගත වන බව ද ඉතා පැහැදිලි කරුණක්‌. එලෙස මෙරටින් බැහැර ව ඉහත කී ආකාර දෙකෙන් ම සාර්ථක වූවන් සදහා බොහෝ සාක්‌ෂි තිබෙනවා. මෙරට නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵල අප විසින් ම වෙනත් රටවලට භුක්‌ති විඳීමට සලස්‌වනු ලබන්නේ මේ ආකාරයෙන් බව සැමට මනාව තේරුම් යන්නක්‌ නො වේ ද ?

මෙහි දී වැටහී යන තවත් කරුණක්‌ වන්නේ අදූරදර්ශී සහ ළපටි ආයතනික නායකත්වය ද මේ සදහා ප්‍රබල හේතුවක්‌ වන බවයි. මුහුකුරා නො ගිය පරිපාලන නායකත්වයේ ප්‍රතිඵල වන්නේ පර්යේෂණ හෝ විද්‍යාත්මක යෙදීම්වල අවශ්‍යතාව නිසි පරිදි හදුනා නො ගැනීමයි. පුද්ගල දායකත්වය සහ පුද්ගල දක්‌ෂතා හඳුනා නො ගැනීමයි. විද්‍යා සහ පර්යේෂණවල දැනුමේ භාවිතය මෙරටෙහි ආර්ථික වර්ධනයට දක්‌වන දායකත්වය ඇසුරු සැණෙකින් සහ Rජු ව ම නො පෙනුණත් දීර්ඝ කාලීනව සිදු වන බලපෑම එනිසා ම මෙවැන්නන් හට නො පෙනන බව නම් කිව යුතු නැහැ. මෙවැනි පසුබිමක විද්‍යා පර්යේෂකයන් මෙරටෙහි කෙසේ නම් බිහි වන්න ද?

පෙරදිග හෝ අපරදිග හෝ වේ වා, විද්‍යාව නම් සත්‍ය ගවේෂණයයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 26 June 2018


ශ්‍රී ලාංකේය ප්‍රාග් කාලගුණික තත්වය.

බුන්දල සහ පතිරාජවෙලඵෛතිහාසික  වශයෙන් මෙන්ම භූ විද්‍යාත්මකවද වැදගත්මක් ඇත්තාවූ ස්ථාන දෙකකි. ශ්‍රී ලංකික මානව වංශ කතාවේ දැනට පැරණිම සාධක හමු වි ඇත්තේ මෙම පතිරාජවෙල සිදු කෙරුණ කැණිමකිනි.  වසර එක්ලක්ෂ විසිපන්දහසක් (125000)  පමණ පැරණි ගල් ආයුධ මෙම ස්ථානයෙන් හමු වි ඇත. භූ රුපණය සැලකීමේදී මෙම ස්ථානය වර්තමාන මුහුදු මට්ටමේ සිට මීටර 15ක් පමණ උසකින් පිහිටා ඇති අතර, කැණීමට අනුව මෙම ගල් ආයුධ ලැබෙන්නේ ගංගා ගැලීමෙන් ඇති වූ අවසාදිත තැන්පතුවකයි. එසේ නම් මෙම ගංගා තැන්පතුව වර්තමාන මුහුදු මට්ටමට වඩා ඉහලින් පිහිටන්නේ කෙසේද යන්න පැරණි මුහුදු මට්ටම් උච්චාවචනය සහ සබැඳේ. පෙබලු සහ බොරළු වලින් සමන්විත මෙම තැන්පතුව භූ විද්‍යාත්මක විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ ගංගාවක මධ්‍යම අවදියේ තැන්පතුවක් බවයි. එසේ නම් ගංගාවේ වෘධ අවදිය පිහිටන්නේ තව බොහෝ පහලිනි. මෙමගින් පැහැදිලිවන්නේ මෙම තැන්පතුව නිර්මාණය වන්නේ මුහුදු මට්ටම පහළ ගිය කාලයක බවයි. එම කාලය බොහෝ විට ලොව පැවති අවසාන අයිස් යුගය විය යුතුය. මානව වංශ කතාව ආරම්භවන්නේ අදින් වසර මිලියන් දෙකකට පමණ පෙරය. එම කාලය භූ විද්යත්මකව හඳුන්වන්නේ “චාතුර්ථ අවධිය” (Quaternary Period) ලෙසයි.

ලෝකයේ ආරම්භයේ සිට සැලකුවිට ප්‍රධාන වශයෙන් අයිස් යුග පහක් තිබී ඇති බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත. පැරණිම අයිස් යුගය වාර්තා වි ඇත්තේ මෙයට වසර් මිලියන 2.4-2.1 කලිනි. ඒ ප්රෝටෙරෝසොයික් (Proterosoic) යුගයේයි. මෙම කාලය තුලදී සාගර වල බහුලව හරිත ඇල්ගාවන් වර්ධනය වූකාලයයි. ප්‍රභා සංස්ලේෂණය ප්‍රමුඛ වූ මෙම කාලයේ දී වායු ගෝලය ඔක්සිජන් වායුවෙන් අනුන විය. මෙම අයිස් යුගය “  හියුරෝනියන් (Huronian)”ලෙස හදුන්වන ලැබේ.දෙවන අයිස් යුගය වන “ක්‍රියෝජිනියන් (Cryogenian) ” වාර්තා වන්නේ වසර මිලියන 850-650 ත් අතර කාලයේදීය. මෙම කාලයේදී ධ්‍රැවාසන්නයේ වූ අයිස් තට්ටු සමකාසන්නයටම පැතිරී ඇත. මෙම යුගය අවසාන වත්ම ජීවයේ මහා විවිධාංගිකරණය ඇති වූ අතර එම නිසා නා නා ජීවින් ලොව පහල විය.එකල ඇති වූ අධික ගිනිකඳු පිපිරීමෙන් නිකුත් වූ හරිතාගාර වායුන් නිසා මෙම අයිස් යුගය අවසාන වි ඇත. තෙවන අයිස් යුගය ‘ අන්ඩියන්-සහරන් (Andean-Saharan)” ලොව ඇති වන්නේ වසර මිලියන 460-430 අතර කාලයේදීයි. මෙම කාලයේදී සාගර වාසි ජීවින් 60% පමණ වඳ වි ගොස් ඇති අතර මාළුන්ගේ විවිධත්වය ඇති විය.  කාරූ (Karoo) අයිස් යුගය වසර මිලියන 360-260 ක පමණ කාලයේදී ඇති වි යැයි පර්යේෂණ වලින් තහවුරු වි ඇත. එකල්හි ගොඩබිම බහුල වූ වෘක්ෂලතා හේතුවෙන් වායුගෝලයට නිදහස් කරන ලද අධික ඔක්සිජන් ප්‍රමාණය මේ අයිස් යුගය සඳහා හේතුවන්නට ඇති බව විද්‍යාඥයින් විශ්වාස කරයි. 

අවසාන අයිස් යුගය වන මා ඉහත සඳහන් කල “ප්ලියෝසින-  චාතුර්ත” අයිස් යුගය වසර මිලියන 2.8 කට පමණ පෙර ආරම්භ වි ඇත. අවසනය ආරම්භ වන්නේ වසර 20,000-10,000 ක පමණ කාලයේදීයි. අයිස් යුග අතර කාලය “අන්තර් අයිස් යුග” ලෙස හදුන් වන අතර,  මෙම කාලය බොහෝ විට ලොව කොහේ හෝ අයිස් නොවන්නට ඇති බව විස්වාස කරයි. අද ගතවන මෙම කාලය “හොලොසින (Holocine)” ලෙස හදුන්වන අතර මෙම කාලය චතුර්ථ අවදියේ අවසාන කාල සීමාවයි. එනම් අප මේ ගත කරන්නේ අවසාන අයිස් යුගයේ අවසාන භාගයේයි. කෙසේ වෙතත් මෙම කාලයේ අවසාන වසර 10,000 අතර ශ්‍රී ලංකික වෙරලාසන්නයෙන් සොයා ගත් සාධක අනුව තෙවරක්ම මුහුදු මට්ටම උච්චාවචනය වි ඇත. අයිස් යුග ඇති වූ සැම කල්හිම ලොව බොහෝ සේ වියළි කාලගුණික ස්වරුපයක් ගෙන ඇත. එම නිසා ලංකාවේද එසේ සටහන් වූ වියලි කාලගුණික තත්වයන් තුනක් ඇති බව භූ විද්‍යාඥයින් විසින් දැනට සිදු කරන ලද පර්යේෂණ වලින් හෙළි වි ඇත.

පෙර සදහන් කල බුන්දල වැලිකඳු වල වූ වැලි වල කාලනිර්ණයෙන් එම වැලිකඳු වසර මිලියන 80000 ක් පමණ පැරණි බව සොයා ගෙන ඇත. වැලි කඳු ඇති වන්නේ සුවිශේෂී කාලගුණික තත්ත්ව යටතේයි. ඒ සදහා ප්‍රභල වියලි කාලගුණික තත්වයක් තිබිය යුතුය.   

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදු පත් ඉරුව
2018.09.30

සේයා දැරිය ගේ වියෝව මෙරට සැම ගේ හද කම්පා කරවන්නක්‌ වූ බව නිසැක ය. එමෙන් ම ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වීමත් සමග ම එක්‌තරා ආකාරයකට සාධාරණය ඉටු වූවා ය යන හැඟීමක්‌ බොහෝ දෙනකුට ඇති විය. එහෙත් එයින් සියල්ල සම්පූර්ණ විණි ද යන්න විමසා බැලිය යුතු ය. මවුපියනට ඇසක්‌ බඳු තම දියණිය අහිමි වෙද්දී තවත් අයකු දඟ ගෙට නියම වීමෙන් වත්මන් සමාජයේ ඇති වෙමින් පවත්නා සංස්‌කෘතික සෝදාපාළුව මකාලිය හැකි ද යන්න ද ගැඹුරින් විමර්ශනය කළ යුත්තකි. මේ අතර මේ සිදුවීම හා බැඳුණු පශ්චාත් සිද්ධි දාමයේ දී තවත් දරුවකු ගේ අනාගතය අඳුරු කරලීමට තරම් කාරණා සිදු වීම ගැන ද රට ම කතා කරයි. විද්‍යාත්මක සාක්‌ෂි එනතුරු ඉවසා සිටීමට නොහැකි වීම සහ සැකකරුවකු වරදකරුවකු ලෙස ඉස්‌මතු වන තරමට මාධ්‍ය තුළ හංවඩු ගැසීම යන කාරණා සියුම්ව විමසා බැලීමේ දී සමහර විටෙක මේ සිදුවීම තුළ තවත් අනාගත අපරාධකරුවකු ගේ අංකුරයක්‌ නිර්මාණය වන්නට ද බැරි නැත. මෙතුළින් ඉස්‌මතු වූ වැදගත් කරුණක්‌ වන්නේ කිසියම් සැකකරුවකු සාක්‌ෂි විමසා වරදකරුවකු ලෙස නිශ්චය කරන තුරු එම තැනැත්තා නිවැරැදිකරුවකු ලෙස සැලකීමේ වැදගත්කම සහ අවශ්‍යතාවයි.

කෙසේ වෙතත් මේ පාසල් දරුවාට චෝදනා එල්ල වීමට හේතු වූ ඔහු ගේ තරමට නො ගැලපෙන්නා වූ කාරණා, ඔහු ගැන ඇති වන්නා වූ අනුකම්පාවෙන් යටපත් වී යැමට සැලැස්‌විය යුතු ද නො වේ. එවැන්නකට ඔහු ගොදුරු වීමට තරම් හේතු වූ කරුණු කාරණා මොනවා දැයි යන්න අත්‍යවශ්‍යයෙන් සොයා බැලිය යුතු වේ.

මෙමගින් නිරුපණය වන්නා වූ කරුණු කාරණා කිහිපයක්‌ ඇති බව පෙනී යයි. පළමුවැන්න වන්නේ නව තාක්‌ෂණයේ භාවිතය සමග ඇති වී ඇති සමාජ ස්‌තර අතර වූ දරුණු පරතරය නැතිනම් ගැටුමයි. එපමණක්‌ නො ව එමගින් ඉතා විශාල ලෙස පරිහානියට පත් වන්නා වූ දේශීය සංස්‌කෘතියයි. අනෙක්‌ කරුණ වන්නේ ගෝලීයකරණය සහ විවෘත ආර්ථිකය ඇති කළ සමාජ විපර්යාසය තුළ ශ්‍රී ලාංකික ජන සමාජයේ අනාගතයේ විපරිණාමයයි. එසේ හෙයින් අසහනකාරී සහ අතිධාවනකාරී සිදුවීම්වලට ඉඩ නො තැබීම සදහා ද මේ සිදුවීම් දාමය පාඩමකට ගෙන වැඩිහිටි සමාජය ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු ය.

ඔබ සුප්‍රසිද්ධ "ෂර්ලොක්‌ හෝම්ස්‌" කතා කියවා හෝ නරඹා ඇති. ලෝකයේ බොහෝ දෙනකු ගේ අවධානයට පාත්‍ර වූ මේ කතා මාලාව තුළ අපරාධ පරීක්‌ෂණ ක්‌ෂේත්‍රය තුළ දී කෙතරම් අපූරු ලෙස විද්‍යාත්මක ක්‍රමවේද සහ තර්කනය භාවිත කරන්නේ දැයි මතකයට නැෙගනු ඇත. විද්‍යාත්මක ක්‍රම භාවිතය ඉතා විශ්වාසී ලෙස සහ නිවැරැදිව ම අපරාධකරුවන් හසු කරගැනීමට ඉවහල් වන ආකාරය කදිමට ඒ තුළ විස්‌තර කර ඇත. එමගින් පෙනී යන කරුණක්‌ වන්නේ තාර්කික ඥානය සහ විද්‍යාත්මක ක්‍රමවේදයේ භාවිතාව අපරාධ පරීක්‌ෂණය සදහා ඉතා වැදගත් වන බව සහ නිවැරැදි බව තහවුරු කරන බවයි. අප රට තුළ කෙතරම් දුරකට විද්‍යාඥයන් ගේ සේවාව මේ සදහා ලබාගන්නේ ද? එසේ ම වර්තමාන දේශපාලන ඇඟිලිගැසීම් වැනි බලපෑම් මත එවැනි සාක්‌ෂි ප්‍රබලව මතු වන්නේ ද යන්න ද පැටලිලි සහගත කරුණකි.

ඒක පුද්ගල නිශ්චය කිරීම් සදහා පමණක්‌ නො ව, බහු පුද්ගල සමාජ සන්දර්භය තුළ ද ඇති වන්නා වූ නොපැහැදිලි කරුණු කාරණා ලිහාගැනීම සදහා ද විද්‍යාත්මක ක්‍රමවේද භාවිතාව වැදගත් වේ. එහෙත් එම පර්යේෂණ මගින් උකහාගන්නා සාක්‌ෂි නිසි ලෙස සමාජගත නො වීම ඉතා අභාග්‍යසම්පන්න කරුණකි. මීට ඉතා කදිම උදාහරණය වන්නේ රතුපස්‌වල සිද්ධියේ දී අදාළ වගකිවයුතු ආයතන විසින් කරන ලද ජල පරීක්‌ෂාවන්වලින් ලද සාක්‌ෂි සහ එහි නිගමනයන් කිසි ලෙසකත් තවමත් මහජනතාවට දැනගැනීමට නො ලැබීමයි. මෑත කාලීන අනෙක්‌ අපූරු උදාහරණය වන්නේ, ලෝ ප්‍රකට එක්‌තරා බීම සමාගමකින් කැලණි ගඟේ ජල දූෂණයක්‌ සිදු වීමයි. ජනතාවට පිරිසිදු ජලය සැපයීමට බැඳී සිටින රජයේ ආයතන ජලයේ ගුණාත්මක බව වටහාගැනීමට සිදු කරන ලද පරික්‌ෂාවන් ගෙන් නිරීක්‌ෂිත කරුණු නිශ්චිත ලෙස ජනතාවට දැනුම් දීම පැහැර හැරීම, ජනතාවට නිවැරැදි කරුණු දැනගැනීමට ඇත්තා වූ අයිතිය අභියෝගයට ලක්‌ කරන අතර ම එම ආයතන පිළිබඳව ජනතාව තුළ වූ විශ්වාසය බිඳලීමට ද හේතු වේ. රටෙහි පරිසර ආරක්‌ෂණ ආයතන සෝඩා බෝතලය කැඩුවා සේ තීරණ ගැනීම ද, කල් යත් ම ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම ද මගින් ඉහත කී කරුණු තවදුරටත් සනාථ වේ.

සත්‍ය කරුණු ජනතාව ගෙන් සැඟවීමට සිදු වීම මේ පර්යේෂණවලට සම්බන්ධ විද්‍යාත්මක ආයතනවල දරුණු පසුබෑමක්‌ වන අතර මේ තත්ත්වය සදහා බලපෑ හේතූන් කවරක්‌ විය හැකි ද යන්න විමසා බැලිය යුතු ය. මෙවන් තීරණ පිටුපස දේශපාලන හස්‌තයන් ක්‍රියාත්මක වීම ද මීට සම්බන්ධ පෞද්ගලික සමාගම්වලට ජාත්‍යන්තර වශයෙන් ඇති කළ හැකි බලපෑම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. එමෙන් ම ශ්‍රී ලාංකික පර්යේෂණ ආයතනවල සමහර පර්යේෂණ සදහා නිසි පහසුකම් නොමැති වීම ද, සිදු කරන්නා වූ පර්යේෂණවල නිවැරැදිතාව පිළිබඳ ඇති සැකය ද තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු අතර වේ. ආයතන ප්‍රධානීන් ගේ, පරිසර සහ ජනතා ආරක්‌ෂණය සදහා ප්‍රතිස්‌ථාපිත නීති රාමුවේ හිදැස්‌ පමණක්‌ නො ව යම් යම් දේ ආවරණය සදහා නීති සම්පාදනය වී නොමැති වීම ද වැරැදිකරුවන් හට ඉතා පහසුවෙන් ලිස්‌සා යැමට මාර්ගය තනා දෙන බව පෙනී යන කරුණකි.එමෙන් ම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක්‌ ය යන්න තවදුරටත් තහවුරු කරන්නට ද මේ සිදුවීම ඉතා ප්‍රබල හේතුවක්‌ වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 25 June 2018

විදු පත් ඉරුව
2015.09.23

ශ්‍රී ලංකාව දූපතක්‌ ලෙස පැවතීම බොහෝ වාසි ගෙන දෙන්නක්‌ වුව ද ඒ නිසා ම අකරතැබ්බවලට ලක්‌ වන අවස්‌ථා ද නැත්තේ නො වේ. අවට කලාපයේ ඇති වන විවිධ විපර්යාසයන් නිසා සුනාමි, තද වැසි, භූ කම්පා ආදියට අප රට මුහුණ පායි. එපමණක්‌ නො වේ. වායුගෝලයේ සිදු වන විපර්යාසයන් aහේතුවෙන් ඇති වන සුළි කුණාටුවලට අප වරින් වර මුහුණ දෙන්නේ ඒ හේතු කොටගෙන ඇති වන දරුණු කාලගුණික තත්ත්වයන්ට ද හසු වෙමිනි.

වසර අවසාන සමයේ ශ්‍රී ලංකාව අවට සුළි සුළං තත්ත්ව වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති නිසා මේ සම්බන්ධව සාකච්ඡා කිරීම කාලීන අවශ්‍යතාවක්‌ ලෙස හඳුනාගත හැකි ය.

සමකාසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට බලපාන මෙවැනි සුළි කුණාටු නිර්මාණය වන්නේ ප්‍රධාන කොට ම අරාබි මුහුදේ සහ ඉන්දියන් සාගරය ද, එහි බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ ද ඉහළින් වූ වායුගෝලයේ ඇති වන සංකුලතා හේතු කොටගෙන ය.

සුළි කුණාටුවක්‌ යනු කුමක්‌ ද? වායුගෝලයේ ඇති වන අවපාත තත්ත්වයන් හේතු කොටගෙන ඇති වන ඉතා වේගයෙන් කරකැවෙන වායු ධාරාවන් ලෙස සුළි කුණාටු හැඳින්විය හැකි ය. මේ සුළි කුණාටුවල මධ්‍යයේ අවපීඩන තත්ත්වයකි. බොහෝ විට සර්පිලාකාර අකුණු කුණාටු ද මේ සමග සම්බන්ධ වේ. මෙවැනි සුළිකුණාටු තත්ත්වයන් ඇති වන්නට මූලිකව ම හේතු වන්නේ සමකාසන්න නැත හොත් නිවර්තන කලාපීය සාගරවල මතුපිට ජලය අධිකව උණුසුම් වීම ය. වාෂ්පීකරණයෙන් ඉහළ නගින ජලවාෂ්ප සහිත වායුධාරවන් ඉහළ අහසේ දී ක්‍රමයෙන් සිසිල් වෙමින් වලාකුළු ඇති කරන අතර පසුව එය වර්ෂාව ඇති කරන්නට හේතු වෙයි. සුළි කුණාටු සමග දරුණු වැසි ඇති වන්නේ ද මේ නිසා ය.

මේ සුළි කුණාටුවල ප්‍රබලතාව අනුව ප්‍රධාන වර්ග තුනක්‌ හඳුනාගත හැකි ය. එනම් නිවර්තන අවපාත, නිවර්තන කුණාටු සහ නිවර්තන සුළි කුණාටු ලෙසිනි. අවසානයට පැවසූ වර්ගය එය ඇති වන කලාපය අනුව වෙනස්‌ ව නාමකරණය වේ. උපරිම සුළෙග් වේගය පැයට කිලෝමීටර 63ක්‌ පමණ වන්නේ නිවර්තන අවපාතවල ය. නිවර්තන කුණාටුවල සුළෙග් වේගය පැයට කිලෝමීටර 63 සිට 119ක්‌ පමණ වූ අගයක්‌ ගනී. නිවර්තන සුළි කුණාටුවල සුළෙග් වේගය පැයට කිලෝමීටර 119 ඉක්‌ම යන අතර එහි උපරිමය පැයට කිලෝ මීටර 314ක්‌ පමණ වෙතැයි ගණන් බලා ඇත. මෙපමණ වූ සුළං වේගය හේතු කොටගෙන ඇතිවන්නා වූ මේ නිවර්තන සුළි කුණාටුවල මධ්‍යයේ වන අවපාත ප්‍රදේශය හඳුන්වන්නේ "කුණාටු අක්‌ෂිය" ලෙසිනි. කරකැවෙන සුළං ධාරා "අක්‌ෂි බිත්තිය" ලෙස නම් කෙරෙන අතර එහි විෂ්කම්භය කිලෝ මීටර 16 සිට 80ක්‌ පමණ පළල් වූ ප්‍රදේශයක්‌ පුරා පැතිර යා හැකි බව නිරීක්‌ෂණය කර ඇත. වයඹදිග පැසිෆික්‌ කලාපයේ ඇති වන මෙවැනි සුළි කුණාටු "ටයිපූන්" ලෙස ද, ඊසානදිග පැසිෆික්‌ කලාපයේ ඇති වන ඒවා "හරිකේන්" ලෙස ද හදුන්වයි.

නිවර්තන සුළි කුණාටු එයට හසු වන්නා වූ සියලු දේ ඔසවාගෙන යන අතර ක්‍රමයෙන් කුණාටුවේ ශක්‌තිය හීන වන විට වෙනත් ප්‍රදේශයකට අත හරියි. මුහුදේ ඇති වන මේ සුළි කුණාටු අතිවිශාල මුහුදු රැලි නංවමින් සුනාමි වැනි තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙයි. මේ සුළි කුණාටු විටෙක සාගර ජල කඳන් ඔසවාගෙන යන අතර ඒ නිසා සමහර අවස්‌ථාවල දී මාළු වැසි වැනි මහා පුදුමාකාර සිදුවීම් ඇති කරන්නට ද හේතු වෙයි. එපමණක්‌ නො වේ. එනිසා ගොඩබිම වූ මිරිදිය ජලාශවල ජලයේ ලවණතාව වැඩි කර භාවිතයට ගත නොහැකි තත්ත්වයට ද පත් කරයි. එපමණක්‌ නො වේ. ගොඩබිම වූ ජනාවාස, වගාවන් සහ කර්මාන්තවලට ඉතා දරුණු හානි ඇති කරයි. 1926 දී ඇති වූ "මියාමි" සුළි කුණාටුව ද 2005 දී ඇති වූ "කත්රිනා" සුළි කුණාටුව ද ඇමෙරිකා එක්‌සත් ජනපදයට මෙතෙක්‌ ඇති කරන ලද සුළි කුණාටු හානි අතින් ඉහළින් ම සිටී.

වාර්තා වන අන්දමට අනූව දශකයේ සිට ශ්‍රී ලංකාව සුළි කුණාටු තත්ත්ව 7කට පමණ මුහුණ දී ඇත. 1992, 1998, 2000 සහ 2008 දී මෙවැනි තත්ත්වයන් වාර්තා වන අතර 2009 දී දෙවතාවක්‌ සුළි කුණාටු ව්‍යසනයට ලක්‌ වී ඇත. "නිලාම්" නම් වූ සුළි කුණාටුව 2012 දී අපට බලපෑම් කර ඇත. මේ කුණාටුවලින් බොහෝ හානි සිදු වී ඇත්තේ ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයට ය. නිවර්තන කලාපීය දූපතක්‌ වන අප රටට බලපාන්නාවූ එල්-නිනෝ ඇති වන්නා වූ වසරවල දී සුළි කුණාටු ඇති වන්නේ නම් එය තරමක්‌ ප්‍රබල වන්නට හේතු වේ.

වර්තමානයේ බිහි ව ඇති විද්‍යාවේ සහ තාක්‌ෂණයේ දියුණුවත් සමග ඇති වන්නා වූ අවපාත නිරීක්‌ෂණය කර එහි ලක්‌ෂණ සහ විකසනය තේරුම්ගැනීමේ හැකියාව ඇත. මේ සදහා බොහෝ විට චන්ද්‍රිකා තාක්‌ෂණයේ පිහිට ලබාගනී. එනිසා කුණාටු හෝ සුළි කුණාටු තත්ත්වවලට වර්ධනය වන්නේ ද, බලපාන්නේ කුමන ප්‍රදේශයට ද යන්න කල් ඇති ව පැවසීමට පිළිවන. එසේ කල් ඇති ව දැනගත්ත ද එයින් යම් ප්‍රදේශයකට සිදු වන හානිය අවම කරගැනීමට හැකි වී ඇත්තේ ඉතා අඩුවෙනි. කෙසේ වෙතත් කල් ඇති ව දැනගැනීමෙන් යම් ප්‍රදේශයක සිටින ජනයා ඉවත් කරගැනීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාව ද සුළි සුළං ව්‍යසනයට මුහුණ පාන නිසා යම් පෙර සූදානමක්‌ ඇති කරගැනීම ඉතා වටියි. දැනට එවැනි නිසි වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නොමැති වුව ද එවැන්නක්‌ සකස්‌ කරගන්නේ කෙසේ දැයි සාකච්ඡා කිරීම යුහුසුලුව සිදු විය යුත්තකි. අවදානමට පෙර සූදානම ද ඒ සදහා අවධානය ද තිබෙන්නේ නම් එවැනි වැඩපිළිවෙළක්‌ සකස්‌ කරගැනීම අපහසු නො වේ. දළ වශයෙන් ඒ පිළිබඳව අප සලකා බලන්නේ නම් ප්‍රධාන ආකාර කිහිපයකට මේ සදහා ක්‍රියාත්මක විය හැකි ය. ඒ කෙටිකාලීන වැඩපිළිවෙළක්‌ සහ දිගුකාලීන වැඩපිළිවෙළක්‌ ඔස්‌සේ ය. කෙටි කාලීන වැඩපිළිවෙළේ දී ජනතාව ගේ ආරක්‌ෂාව කෙරෙහි අවධානය ආකාර දෙකකින් යොමු කළ හැකි ය. පළමු වැන්න වන්නේ ඒක පුද්ගල ආරක්‌ෂාවයි. දෙවැන්න සාමූහික (පාසල්, රෝහල් ආදී) ආරක්‌ෂාවයි. දිගුකාලීන වැඩපිළිවෙළේ දී ආරක්‌ෂණය සදහා යටි තල පහසුකම් දියුණු කිරීම ප්‍රධාන පරමාර්ථය විය යුතු ය. මෙහි දී සුළි කුණාටු සදහා ඔරොත්තු දෙන ගොඩනැගිලි නිර්මාණය කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ගොඩනැගිලි නිර්මාණයේ දී නිශ්චිත සම්මත තත්ත්වයන් මොනවා විය යුතු දැයි යන්න ද පර්යේෂකයන් ගේ අවධානය යොමු විය යුතු මූලික ම කාරණයකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 22 June 2018

විදු පත් ඉරුව
2015.09.16

පසුගිය සති කිහිපයේ ම සිදු වූ විවිධාකාරයේ අනතුරු හේතුවෙන් මනුෂ්‍ය ජීවිත ගණනාවක්‌ ම අහිමි වූ බව ජනමාධ්‍ය නැරඹූ ඔබට දැනගන්නට ලැබෙන්නට ඇත. මෙහි දී දුටු පොදු ලක්‌ෂණය වූයේ "අපරීක්‌ෂාකාරී ව ක්‍රියා කිරීම" මේ අනතුරුවලට ප්‍රධානව බලපෑ බවයි. එහෙත් මෙවැනි ම සිදුවීම් මෙයට පෙර ද බොහෝ සිදු වී ඇති බව ද නොරහසකි. මෙවැනි පෙර අත්දැකීම් සමාජගත වී "පරම උපහැරණ" නො වන්නේ ඇයි ද යන්න සමාජ විද්‍යාඥයන් ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තකි. තාක්‌ෂණය දියුණු වත් ම අවදානම බැහැර කරන්නට හෝ එය අවම වන ලෙස ක්‍රියා කිරීම හෝ බලාපොරොත්තු වුවත් එසේ නො වන බවට බොහෝ අත්දැකීම් ඇති බව සියුම්ව කල්පනා කළ හොත් ඔබට පසක්‌ වනු ඇත.

නිරන්තරයෙන් ම අලුත් වෙමින් අනතුරු අවම කරවන කාර්මික ඥානයකින් හෙබි රථවාහන ලොවට එක්‌ වෙද්දීත් එලෙස ම වූ ලෙස මහා මාර්ග පද්ධතිය දියුණු වෙද්දීත් මේවා භාවිත කරන උදවිය තව තවත් අපරික්‌ෂාකාරී වීම නම් කොහෙත් ම අනුමත කළ නොහැකි ය. මහා මාර්ගයේ දී ධාවකයා මෙන්ම එහි මගීන් ද, ප්‍රවාහයට එකතු වී ඇති අනෙකුත් රථවාහන ද මෙන්ම පදිකයන් ද මහාමාර්ගය විවිධාකාරයෙන් හාවිත කරන බව ද රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය එහි දී ද ඒ ආකාරයෙන් ම බලපවත්වන බව ද එය භාවිත කරන්නන් එක ලෙස සිහි තබා ගත යුතු කරුණකි. තවෙකකු ගේ ක්‍රියාවන් අනෙකා ගේ නාසය අග්ගිස්‌සෙන් කෙළවර වන බව ද, එනිසා ම තම නිදහස අගයන ඔබ සැවොම අනෙකා ගේ ද නිදහස ආරක්‌ෂා කිරීමට වග බලාගත යුතු බව සිහි තබාගත යුතු ය.

අද වන විට මිනිසුන් අතර වූ අෙන්‍යාන්‍ය අවබෝධය පස්‌සා දොරින් පලා ගොස්‌ ඇති බවට මෙවැනි සිදුවීම් ඉතා ප්‍රබල සාක්‌ෂ්‍ය සපයයි. යහපත් මානව සම්බන්ධකම් කදිමට සහ ප්‍රබලව වර්ධනය වූ සංස්‌කෘතියක විද්‍යාව සහ තාක්‌ෂණික අනුගත වීමේ නොපෑහීම ද මෙයින් මතු වන්නේ ය යන්න සැලකිල්ලට ගත යුත්තකි.

රටක දියුණුවට අෙන්‍යාන්‍ය සම්බන්ධය හා එකිනෙකා වටහාගැනීම ඉතා වැදගත් බව අප සැවොම හට හොඳින් ම පැහැදිලි වේ. මහා මාර්ග වැඩිදියුණු වන විට සහ අලුත්වැඩියාවන් කරන විට සිදු නො වන ආයතනික සම්බන්ධය සහ සමායෝජනය හේතුවෙන් නිරන්තරයෙන් ම නැවත නැවතත් එම මාර්ග, විශේෂයෙන් ම ජල නළ ද විදුලි සංදේශ නළ ද එලීමට සිදුරු කිරීම ඔබට අමුතු අත්දැකීමක්‌ නො වනු ඇත. එහෙත් මේ ආයතන අතර සමායෝජනයක්‌ සිදු වූවා නම් හෝ දූරදර්ශී ලෙස සැලසුම් සහගත වූවා නම් මෙවැනි අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදු නො වනු ඇත. විශේෂයෙන් ම අලුතෙන් නගර සහ මහා මාර්ග සැලසුම් කිරීමේ දී මෙවැනි පද්ධතීන් නිර්මාණය කිරීමෙන් අදාළ ආයතනවලට අමතර ආදායමක්‌ ද උපයාගත හැකි වේ.

කඳුකර ප්‍රදේශවල මහා මාර්ග ඉදි කිරීමේ දී තවත් බොහෝ දේ පිළිබඳව සැලකිලිමත් වීමට සිදු වේ. විශේෂයෙන් ම තියුණු බෑවුම් හරහා මාර්ග තැනීමේ දී ප්‍රමාණවත් ස්‌ථායිතාවක්‌ ඇති වන ලෙස බෑවුම් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. නැත හොත් වැඩි කල් නොගොසින් ම බෑවුමේ කැපූ ඇල්ල එසේත් නැතිනම් කණ්‌ඩිය කඩා වැටී මාර්ගයේ ගමන් කරන්නන් අනතුරට භාජන වනු ඇත. මේ ස්‌ථාන ප්‍රතිස්‌ථාපනයට විශාල මුදලක්‌ අවශ්‍ය වේ. මෙවැනි කඩාවැටීම් බොහෝ කඳුකර මාර්ගවල සුලබ දසුනක්‌ බව ඔබට සිහි වනු ඇත. මෙවැනි අවදානම් තත්ත්වයන් ඇති විය හැකි බව පුරෝකථනය කිරීම එතරම් අපහසු කාරියක්‌ නො වේ.

මාර්ග තැනීම සැලසුම් කිරීමේ මූලික අවස්‌ථාවේ දී ම මේ පිළිබඳව අවධානය යොමු කර අවදානම් සහ අනතුරු අවම වන ආකාරයට මාර්ගයේ කණ්‌ඩි/බෑවුම් සකස්‌ කිරීම ද අවදානම් බෑවුම් තිර කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ද ඒ සදහා ප්‍රමාණවත් ලෙස ව්‍යාපෘතියෙන් මුදල් වෙන් කිරීම ද කළ යුතු ය. එලෙස ක්‍රමවත් ලෙස සැලසුම් කරන්නේ නම් මාර්ග තැනීමෙන් පසු ඇති වන අතුරු අනතුරු අවම වීමෙන් පසු කාලීනව වැය වන මුදල බෙහෙවින් අඩු කරගත හැකි වේ. එවැනි ක්‍රියාමාර්ග අනුගමනය නො කිරීමෙන් අනතුරට භාජන වී ඇති මහා මාර්ග සදහා කදිම නිදසුනක්‌ වන්නේ මහනුවර මහියංගනය මාර්ගයයි. නුවරඑළියේ හග්ගල මල්වත්ත කිට්‌ටුව මාර්ගයේ සිදු ව ඇති කණ්‌ඩි කඩා වැටීම තවත් නිදසුනකි. මේ ස්‌ථාන මෙලෙස අනතුරට ලක්‌ වීමට, ආයතන අතර ඉහත සදහන් කළ අෙන්‍යාන්‍ය සම්බන්ධය තර නො වීම ද එක්‌ හේතුවකි. එම ස්‌ථානයේ ඇති කණ්‌ඩියේ බෑවුම ප්‍රමාණවත් ලෙස සකස්‌ කිරීමට අවශ්‍ය ඉඩ ලබාගැනීමට අපහසු වීම එනිසා සිදු වී ඇති අතර, එය සිරස්‌ කණ්‌ඩි නිර්මාණයට හේතු වී ඇත. එහෙත් අවසානයේ අධික වර්ෂාපතනයත් සමග නො සිතූ ලෙස ඉතා විශාල බිම් ප්‍රදේශයක්‌ නාය යැමට ලක්‌ වීම අලාභය වැඩි කරන්නට හේතු වී ඇති බව ඒ ස්‌ථානය පසු කරන නැණවත් උදවියට වැටහෙනු ඇත. තීන්දු තීරණ ගැනීමේ දී වඩාත් ප්‍රායෝගික වීම ද දූරදර්ශී වීම ද ආයතනික ක්‍රියාවලිය තුළ දී අවශ්‍ය වන්නේ එබැවිනි.

කෙසේ වෙතත් කඳුකරයේ මෙවැනි සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී පාංශු ඛාදනය ශීඝ්‍ර වන බව නොරහසකි. එමෙන් ම වන වැස්‌මට හානි සිදු වීම ද හේතු වෙන් සොබාවයෙහි තිබිය යුතු වූ නිශ්චිත කොළ පැහැය තවත් අඩු වෙයි. පසුගිය වකවානුවල දී සිදු වූ එවැනි ව්‍යාපෘති හේතුවෙන් අඩු වූ වන වැස්‌ම නැවත බලපාන්නේ වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අඩු කරලීමට ය. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දරුණු ම කඳුකර වනාන්තර විනාශය සිදු වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී බව අප ගේ අදහසයි. ඒ කෝපි, තේ ඇතුළු ආර්ථික බෝග වගා කිරීම හේතුවෙනි. මෙය අප රටට පමණක්‌ නො ව අනෙකුත් යටත්විජිත රටවල ද සිදු වූ මේ හරිත විනාශය වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම ශීඝ්‍රව වැඩි කරන්නට හේතු වන්නට ඇති බව අප මොහොතකට වත් සිතුවා ද? කෙසේ වෙතත් යටත්විජිත වනාන්තර විනාශයේ සහ කඳුකර ආර්ථික බෝග වගාවේ අතුරුවිපාක මොනවා ද යන්න අප තවමත් නිසි පරිදි තේරුම් නො ගෙන ඇති බව ඔබට මෙයින් වැටහෙනවා ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 20 June 2018

විදු පත් ඉරුව
2018.09.09

පසුගිය සතියේ විදු පත් ඉරුවෙන් අපගේ කතාබහට ලක්‌ වූයේ ඉලක්‌කගත නො වූ පර්යේෂණවල ඇති වැදගත්කම ගැනයි. මෙවර ද එහි වැදගත්කම ඉස්‌මතු කරන කාලීන සිදුවීම් දෙකක්‌ පිළිබඳව ස`දහන් කළ යුතු බව සිතමු. එක්‌ කාරණයක්‌ වන්නේ එක්‌තරා බහු ජාතික සමාගමකින් කැලණි ගඟට තෙල් මුසු වීමේ සිදුවීමයි. මෙයට වසර ගණනාවකට පෙර මෙරටෙහි ගංගා ජලයෙහි ස්‌වභාවය නිර්ණය කිරීමේ පර්යේෂණයක්‌ "පවිත්‍ර ගංගා" නමින් දියත් වූ අතර එම`ගින් කාලයත් සමග ජලයෙහි ගුණාත්මක බව අධ්‍යයනය කෙරිණි. පසුකාලීනව එය දිගින් දිගට සිදු වූවා ද හෝ සිදු වෙමින් පවතින්නේ ද යන්න නො දන්නා නමුත් එම ව්‍යාපෘතිය ඉතා අගය කළ යුත්තකි. එම`ගින් පසුතල දත්ත සමූහයක්‌ එක්‌ කරගැනීමට හැකි වන්නට ඇත. එය වර්තමානයේ සිදු වන ජල දූෂණයන් හා සැසඳීමට මහඟු උපකාරයකි. කැලණි ගඟෙහි තෙල් එක්‌ වීමෙන් වූ දූෂණය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව සංසන්දනය ස`දහා මේ දත්ත උපයෝගී වන්නට ඇත. මෙහි දී මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කර ඇති ආකාරය ද ප්‍රශංසනීය වන අතර තෙල් ඉවත් කර ජලය පිරිසිදු කිරීමටත් ජල පොම්පාගාරවලට සිදු වූ හානිය ප්‍රතිපූරණය කිරීමටත් වැය වන මුදල අදාළ සමාගමෙන් අය කරගැනීමට කටයුතු සිදු කර ඇති බව විදුසර පසුගිය සතියේ පළ කළ පුවතක ස`දහන් විය.

මේ අතර ශ්‍රී ලංකා රජය විශේෂයෙන් ම ජනපතිවරයා 2018 වන විට ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට තීරණය කර ඇත. මූලික හේතුව වී ඇත්තේ එම`ගින් ඇති වන සෞඛ්‍ය ගැටලු ය. ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදනවලින් වාතයට එක්‌ වන ඇස්‌බැස්‌ටෝස්‌ තන්තු පෙනහලුවලට ඇතුළු වීමෙන් ඒ ආශ්‍රිතව පිළිකා ඇති වන බව විවිධ පර්යේෂණවලින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ කතා බහට ලක්‌ වෙයි. එම තන්තු දිගුකාලීනව පෙනහැල්ලේ රැඳීමෙන් හෝ අයකු දිගුකාලීනව එම තන්තු මිශ්‍රිත වාතයට නිරාවරණය වීමෙන් මේ රෝගවලට ගොදුරු වන බව විශ්වාස කෙරෙන අතර මේ ස`දහා අවුරුදු 10 සිට 40ක පමණ කාලයක්‌ ගත වන බව කියවේ. එයින් පෙනී යන්නේ ඇස්‌බැස්‌ටෝස්‌ නිහ`ඩ මාරයකු බවයි. කෙසේ වෙතත් දිගුකාලීනව මේ තත්ත්වයන්ට ප්‍රධානව මුහුණ පාන්නේ ඇස්‌බැස්‌ටෝස්‌ පතල්වල සහ ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදනාගාරවල සේවය කරන්නන් මෙන්ම ගොඩනැ`ගිලි කර්මාන්තයේ නියෑළෙන්නන් ය. ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදන ම`ගින් කිසියම් කාලයකට මේ තන්තු සිර කර තැබුවත්, කාලයක්‌ ගත වන විට සිදු වන වියෑකීම හේතුවෙන් සිහින් තන්තු වාතයට නිරාවරණය වීම සිදු විය හැකි බව සොයාගෙන ඇත.

කර්මාන්ත මූලිකව ඇස්‌බැස්‌ටෝස්‌ භාවිතය කරළියට පිවිසෙන්නේ දහ නව වැනි සියවසේ අගබාගයේ දී ය. කෙසේ වෙතත් ලෝකයේ මේවා භාවිතය පිළිබඳ ඉතිහාසය අවුරුදු 4500කට වඩා ඈතට දිවෙන අතර ෆින්ලන්තයේ "ජුජරාවී" විල අසල විසූ ජනයා තමන් ගේ ඉහුම්පිහුම් හට්‌ටිමුට්‌ටි ස`දහා මේවා හාවිත කළ බව වාර්තා වේ. මේ ඇස්‌බැස්‌ටෝස්‌ පසුකාලීනව ඉතා බහුලව ලෝකයේ ව්‍යාප්ත වන්නේ එහි පවත්නා අපූරු ගුණ සමුදාය හේතුවෙනි. ශබ්දය උරාගැනීමේ හැකියාව, ගින්නට ඔරොත්තු දීම, තාප සහ විද්යුත් පරිවාරක බව සහ මධ්‍යස්‌ථ ආතන්‍ය බව යනාදී ගුණාංග මේ අතර ප්‍රධාන වෙයි. ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් නිමවන්නේ ඇස්‌බැස්‌ටෝස්‌ නම් වූ ස්‌වාභාවිකව ලබාගන්නා "මැග්නීසියම් සිලිකේටය" සිමෙන්ති සමග මිශ්‍ර කිරීමෙනි.

ස්‌වාභාවික ඇස්‌බැස්‌ටෝස්‌ ලෙස පොදුවේ හැ`දින්වෙන්නේ ඛනිජ 6කින් යුක්‌ත වන ඛනිජ ගොනුවකට ය. මහතට වඩා දිගින් වැඩි ස්‌ඵටිකමය ව්‍යqහයක්‌ හිමි මේ ඛනිජ කුලකයට එහෙයින් වඩාත් සුවිශේෂී කෙඳිමය බව ලැබී ඇත. මේ පියවි ඇසට පෙනෙන ස්‌ඵටිකමය කෙන්දේ ඇසට නො පෙනෙන මිලියන ගණනක්‌ වන සිහින් තන්තුමය කෙඳි අඩංගු වේ. එනිසා ඇතිල්ලීමෙන් ඉතා පහසුවෙන් මේ තන්තු වායුගෝලයට නිදහස්‌ වේ. මේ කුලකයට අයත් වන ඛනිජ වන්නේ ට්‌රිමොලයිට්‌, ඇක්‌ටිනොලයිට්‌, ඇමොසයිට්‌, ක්‌රෝසිඩොලයිට්‌, ඇන්තොෆිලයිට්‌ සහ ඇස්‌බැස්‌ටෝස්‌ වන අතර මුලින් ස`දහන් කළ ඛනිජ දෙක ලංකාවේ ද හමු වේ. කොළ, රතු, නිල්, කහ සහ සුදු පැහැයෙන් යුක්‌ත මේ ඛනිජ විටෙක මැණික්‌ ඛනිජ ලෙස ද නමක්‌ දිනා ඇත.

ක්‍රිස්‌තු පූර්ව 61-114 දක්‌වා රෝමයේ වාසය කළ නීතිඥයකු ලෙස මෙන්ම ලේඛකයකු ලෙස ද ප්‍රචලිත "ප්ලිනි" නමැත්තා ඇස්‌බැස්‌ටෝස්‌ පතල්වල සේවය කළ වහලුන් මෙම`ගින් අසනීප වූ බව සටහන් කර ඇත. 1899 දී පමණ දොස්‌තර මොන්ටේගු නමැත්තා ද මේ ද්‍රව්‍යයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ යම් අධ්‍යයනයක්‌ කර ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් මේ සම්බන්ධ මරණයක්‌ පිළිබඳව ප්‍රථම සටහන හමු වන්නේ 1906 දී ය. "ඇස්‌බෙස්‌ටෝසිස්‌" නම් වූ පිළිකා රෝගී තත්ත්වය 1924 දී එංගලන්තයේ රෝගියකු ගෙන් ප්‍රථම වරට නිරීක්‌ෂණය කරන ලදී. එහි දී "නෙලි කර්ෂෝව්" නමැත්තිය ගේ පෙනහළුවල ඇස්‌බැස්‌ටොස්‌ කෙඳි පැවැති බව අනාවරණය කරගැනීමට හැකි වී ඇත.

අද වනවිට ශ්‍රී ලංකාවේ මේ නිෂ්පාදන බහුලව භාවිත වන අතර මේවා දසත පැතිර ඇත්තේ එහි ඇති අපූරු ගුණාත්මක බවට අමතරව සාපේක්‌ෂව අඩු මුදලකට මිල දී ගත හැකි බැවිනි. තහනම තුළ අභියෝගයට ලක්‌ වන්නේ මෙරට බහුතරයක දුප්පත් ජනතාව ගේ භාවිතාව වන අතර 2018ට පෙර නිසි විකල්ප ඉදිරිපත් නො කරන්නේ නම් ගොඩනැ`ගිලි ක්‌ෂේත්‍රය බලවත් අර්බුදයකට ලක්‌ වන බව ද කිව යුතු ය. කෙසේ වෙතත් මෙහි ඇති අහිතකර බව දැන දැන ම මෙරටට බොහෝ කාලයක සිට මේවා ආනයනය කර ඇති බව පෙනී යයි.

ශ්‍රී ලාංකික පර්යේෂණ ක්‌ෂේත්‍රය තුළ මේවා භාවිතය ඇති කරන සෞඛ්‍ය ගැටලු පිළිබඳව කිසියම් හෝ විධිමත් අධ්‍යයනයක්‌ සිදු කර ඇති බවට ඇති සාධක අල්ප ය. එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කර අධ්‍යයනයන් ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය වේ. මෙරටෙහි තීන්දු තීරණ ගැනීමේ ඇති අපූරු කලාව පිළිබඳව ද යම් කරුණක්‌ මෙහි ලා ස`දහන් කළ යුතු ය. මොනෝ සෝඩියම් ග්ලූටමේට්‌ (MSG) නම් වූ ආහාර රසකාරකය දියවැඩියාව වැනි විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන බව ද දුම් පානය පිළිකා ඇති කිරීමට හේතු වන බව ද සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ නිරන්තර සාකච්ඡාවට බඳුන් වන බව නොරහසකි. එහෙත් මේවායේ භාවිතය තහනම් කිරීමට පරිපාලනය කටයුතු නො කිරීම හා සැසඳීමේ දී මෙවැනි තීරණ කෙතරම් අභියෝගයකට ලක්‌ වන්නේ දැයි යන්න ද කල්පනා කළ යුතු වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 19 June 2018

විදු පත් ඉරුව
2015.09.02

ඉහළ වායුගෝලයේ ස්‌ථාපිත ව ඇත්තා වූ ඕසෝන ස්‌තරය වටිනා සම්පතකි. පෘථිවියේ බිහි වී ඇති ජීවය, හිරු ගේ පාරජම්බුල කිරණවලින් ආරක්‌ෂා කරමින්, දිගින් දිගට ම පවත්වාගැනීමට හේතු වන්නේ මේ ඕසෝන ස්‌ථරයයි.

ඕසෝන ස්‌ථරය ලෝකයේ මුලින් ම බිහි වන්නේ අපූරු ආකාරයකට ය. ගිනිගෙන දැවුණ පෘථිවියේ මූලාරම්භයේ ඔක්‌සිජන් වායුව නො තිබූ අතර ක්‍රමික සිසිලනයෙන් ස්‌ථාපනය වූ ගොඩබිම ද සාගර ද විය. සාගරයේ ප්‍රභාසංශ්ලේෂීන් ගේ බිහි වීම හේතුවෙන් ක්‍රමයෙන් වායුගෝලයේ ඔක්‌සිජන් සාන්ද්‍රණය වැඩි විය. ඉහළ වායුගෝලයේ රැඳි ඔක්‌සිජන් අණු පාරජම්බුල කිරණ හේතුවෙන් "දෙපලු" වීමෙන් ඉතා සක්‍රිය නිදහස්‌ ඔක්‌සිජන් පරමාණු බිහි වූ අතර, එවැනි පරමාණුවක්‌ හා ඔක්‌සිජන් අණුවක්‌ එක්‌ වීමෙන් ඕසෝන් අණුවක්‌ ඇති විය. ඔක්‌සිජන් අණු "දෙපලු" වීමට හේතු වන්නේ ඒවා පාරජම්බුල කිරණවල ශක්‌තිය උරා ගැනීමයි. දිගින් දිගට ම සිදු වූ ඔක්‌සිජන් අණු "දෙපලු" වීමෙන් ඕසෝන ස්‌තරය වර්ධනය වූ අතර එනිසා පාරජම්බුල කිරණවලට මේ ස්‌තරය විනිවිද යැමට නොහැකි විය. එය පෘථිවියේ බිහි වූ ජීවය අහිතකර පාරජම්බුල කිරණවලින් ආරක්‌ෂා වීමට මහඟු උපකාරයක්‌ විය. මෙහි දී පාරජම්බුල කිරණ විසින් ම නිපදවන ලද ඕසෝන අණු ඒවාට ම එරෙහි වී ඇති බව ඔබට වැටහෙනු ඇත.

කෙසේ වෙතත් මේ ඕසෝන් ස්‌ථරයේ ඕසෝන් අණු ඇති වෙමින් ද නැති වෙමින් ද පවතින අතර සාපේක්‌ෂව සාන්ද්‍රණය ඉතා අඩු ය. එය වායු අණු මිලියන 10කට ඕසෝන අණු තුනක්‌ පමණ වේ. වර්තමානයේ සිදු වන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එක්‌ කළ කෘත්‍රිම වායුන්, මේ චක්‍රීය බව බිඳ හෙළීමට හේතු වී තිබේ. ප්‍රධාන වශයෙන් ම අප කවුරුත් හොඳින් ම දන්නා CFC නැත්නම් ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ලෙස හඳුන්වන වායුව මේ සදහා මූලික වේ. "දෙපලු" වීමෙන් ඇති වන්නා වූ ඔක්‌සිජන් පරමාණු මේ ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් අණු හා බැඳීමෙන් නැවත නිදහස්‌ නො වන අතර එනිසා ඕසෝන අණු ඇති වීම වළකියි. එය ක්‍රමයෙන් ඕසෝන් ස්‌තරය තුනී කර දමයි. මේ ස්‌තරය ඇන්ටාක්‌ටිකාවට ඉහළින් සිදු රක්‌ ඇති කිරීමට තරම් ප්‍රබල වී ඇති බව ඔබ හොඳින් දන්නා කරුණකි. සිත්ගන්නාසුලු දෙයක්‌ වන්නේ මේ සම්බන්ධව ලෝකයට අනාවරණය වන්නේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද පර්යේෂණයක අහඹු ප්‍රතිඵලයක්‌ ලෙස බව ය. මහාචාර්ය ෂර්වුඩ් රෝව්ලන්ඩ්, මාරියෝ මොලිනා සහ පෝල් කෘට්‌සාන් මේ සදහා 1995 දී නොබෙල් ත්‍යාගය දිනාගත් අතර ඉලක්‌කගත නො වූ පර්යේෂණවල වැදගත්කම මෙයින් මොනවට පැහැදිලි වේ. ලෝකයේ මෙවැනි පර්යේෂණ සදහා කොතෙකුත් උදාහරණ සැපයිය හැකි ය.

ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්‌ෂේත්‍රය තුළ ද බොහෝ දෙනකු ගේ අවධානය යොමු වී ඇත්තේ ඉලක්‌කගත පර්යේෂණ කෙරෙහි බව පෙනී යන අතර එය නිදහස්‌ පර්යේෂණ ලඝූ කිරීමට ද, ඒ සඳහා අවස්‌ථාව හා ආධාර සීමා කිරීමට ද හේතු වී ඇති බව අප ගේ හැඟීම ය. මේ සදහා උදාහරණ සමූහයක්‌ ම ගෙනහැර දැක්‌විය හැකි අතර ස්‌වාභාවික විපත් මෙන්ම මානව ක්‍රියා නිසා ද ඇති විය හැකි අනතුරු අවම කිරීම කෙරෙහි වූ පර්යේෂණ සදහා ඇති අඩු ප්‍රමුඛතාව මේ අතරින් ප්‍රධාන වේ. මෙරටෙහි සුනාමි අනතුරත් සමග මේ පිළිබඳව කිසියම් අවධානයක්‌ ඇති වුව ද පෙනී යන වැදගත් ම කරුණ වන්නේ වගකිවයුත්තන් ගේ ඇස්‌ ඇරෙන්නේ අනතුර සිදු වූ විට බවයි.

රජරට වකුගඩු රෝගය ද රතුපස්‌වල සිදුවීම ද වැනි ප්‍රබලව ජන සමාජයට බලපෑ ආපදා කෙරෙහි හේතු වූ ජල සම්පත පිළිබඳව විධිමත් පර්යේෂණ හා සමීක්‌ෂණ සිදු කර තිබිණි නම් බොහෝ කරුණු කාරණා සහ ගැටලු ලිහාගැනීමට හැකි ව තිබිණි. ඒ එසේ වුවත් තවමත් රටෙහි ජල සම්පතෙහි ස්‌වභාවය සහ ප්‍රමාණය පිළිබඳව පර්යේෂණ දියත් නො වී තිබීම කණගාටුවට කරුණකි. දිනෙන් දින ම වැඩි වන වාහන නිසා ද විවිධ කර්මාන්ත හේතුවෙන් ද ඉදි වන ගල් අඟුරු බලාගාර නිසා ද වායුගෝලයට විවිධ දූෂකකාරක එක්‌ වෙමින් පවතී. අවශ්‍ය වන්නේ රට ම ආවරණය වන පරිදි වායුගෝලයේ ස්‌වභාවය පිළිබඳව සහ ඇති වන වෙනස්‌කම් කෙරෙහි අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීම ය. එමෙන් ම ශ්‍රී ලාංකික ආර්ථිකය තුළ පසට හිමි වන්නේ ඉතා වැදගත් ස්‌ථානයකි. එනිසා රටෙහි විවිධ පෙදෙස්‌වල පසේ ස්‌වභාවය ද දූෂක මට්‌ටම් ද අධ්‍යයනය කර තිබීම කෘෂිකර්මාන්තයේ මූලික අවශ්‍යතාවක්‌ වේ.

ශ්‍රී ලංකාවේ නාය යැම් වැනි ආපදා කෙරෙහි වත්මනෙහි ස්‌වාභාවික හේතුන් මෙන්ම මානව ක්‍රියාකාරකම් ද ප්‍රබලව බලපා ඇත. මේ සදහා බලපාන ස්‌වාභාවික හේතුන් වන වර්ෂාව, භූ කම්පා පිළිබඳව ද සිදු කරන පර්යේෂණ අඩුවෙන් තක්‌සේරු නො කළ යුතු ය. දීර්ඝකාලීනව සිදු කළ යුතු එවැනි පර්යේෂණ අනාගතයේ සිදු විය හැකි ව්‍යසන පුරෝකථනයට මහඟු උපකාරයක්‌ වන බව ද එමගින් වළක්‌වා ලන ජීවිත සහ දේපළ හානි නිසා රජයට හිමි වන්නේ ආර්ථික අතින් පවා බලවත් වාසියක්‌ බව ද සිහි තබාගත යුතු ය.

ඉහත සදහන් කරන ලද්දේ ඉලක්‌කගත නො වූ නමුත් අත්‍යවශ්‍ය ව සිදු කළ යුතු පර්යේෂණ ක්‌ෂේත්‍ර කිහිපයකි. මෙවැනි තවත් බොහෝ පර්යේෂණ ක්‌ෂේත්‍ර ඇති බැවින් රටෙහි පරිපාලනයේ ද අදාළ පර්යේෂණ ආයතනවල ද අවධානය වහ වහා ඒ කෙරෙහි යොමු විය යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...