නාය භුමි ප්‍රතිස්ථායිකරණය යනු අතීසාරෙට අමුඩ ගැසීමක්...???
This article is originally published on Vidusara, 23.09.2020.
භූ සංචාරිතය 29
මධ්‍යම කඳුකරය තරම් සංචාරය ට අපූරු තැනක් තවත් ඇත්තේ නැත. මනරම් දර්ශන ගෙන එන්නේ ද අපූරු දිය ඇලි බිහි කරන්නේ ද කඳුකරයයි. අයකුගේ චෛතසිකය ඒකාත්මික කරන්නට මේ සෞමය පරිසරය ලබා දෙන්නේ මහඟු අත්වැලක්. අධ්‍යාත්මික සුවය සොයන්නන් කඳුකරයේ අතරමං වන්නට සිතන්නේ ඒ නිසාම විය යුතුය. ඉහලට යත්ම අඩුවන පාරිසරික උණුසුම ගත සිසිල් කරමින් වත සනසන්නට හේතුවන බව අත්දැකීම් ඇත්තෝ හොඳින් දනිති. මේ අපූරු කඳුකරයට වෙමින් පවතින්නේ කුමක් ද යන්න බොහෝ දෙනෙකුට තවම තේරුම් ගැනීමට නොහැකි වී ඇති බව පෙනී යන කරුණකි.
මානව අතවරය එන්න එන්නම වැඩි වී කඳුකරය ආතුර වී ඇතැයි දැන් දැන් මට සිතේ. ප්‍රධානම කාරණය වන්නේ නොහික්මුණ මිනිසුන්ගේ ක්‍රියාකලාපයයි. අස්ථාවර භූමින් නිර්මාණය කරන්නට එය ප්‍රභල හේතුවක් වී ඇති බව කිව යුතුය. සංවර්ධනයේ නාමයෙන් කරනා භූ දර්ශ විනාශය කොතරම් ප්‍රබල ද යන්න දිනෙන් දින වැඩිවන නාය අවදානම හමුවේ ඔබට තේරුම් ගත හැකි වේවි. කොතරම් දුරට මෙරට හදවතට හානි කර ඇත්ද යන්න විධිමත්ව අධ්‍යනය කරන්නෙකුට නම් නොතේරෙනවා නොවේ.
මානව සංවර්ධන කටයුතු මගින් කඳුකරයට සිදුකරන හානියට වග කියන්නට වන්නේ කාලගුණික විපරියසයන්ට බවයි පෙනී යන්නේ. එනිසා සිදුවන නාය අවදානම නවතන්නට නාය ගොස් ස්ථාවර වූ කඳුකර භූමින් දැන් දැන් ප්‍රතිස්තායිකරණ ව්‍යපෘති හරහා උත්සාහ දරනා බව අප හොඳින්ම දන්නා කාරණයක් වන්නේය. එය එසේ වුවත් එය සැබවින්ම සාර්ථක ද යන්න අප විමසා බැලිය යුතුය. මාගේ අදහස වන්නේ නම් මෙවැනි ව්‍යපෘති යනු අතීසාරයට අමුඩ ගැසීමක්මය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් පමණක්මය. අස්ථාවර වෙමින් පවතින කහගල්ල වැනි නාය භූමින් ප්‍රතිස්ථායිකරණයට ලක් කිරීම සාර්ථක නමුදු, නාය ගොස් ඇති ස්ථාවර වූ කන්ඩි හෝ නාය භූමින් නැවත මෙවැනි ව්‍යපෘති හරහා ප්‍රති ස්තායිකරණයට ලක් කිරීම ලෝක බැංකුව හරහා මෙරට ලබන අති විශාල මුදලක් නාස්ති කිරීමක් පමණක්ම වන්නේය.
මේ සඳහා ඉතා වැදගත් වන්නේ හේතුව සොයා එයට ප්‍රතිකර්ම කිරීම බව අප සැමවිටම දැනගතයුතුය. කාලගුණ විපර්යාසයට මුලික වන ප්‍රධානම හේතු ප්‍රත්‍ය වන්නේ වායුගෝලයට අසිමාන්තිකව කාබන් ඩයොක්සයිඩ් වායුව නිදහස් කිරීම බව අපි සැමෝම ඉහා හොඳින් දන්නෙමු. මේ සඳහා ප්‍රධානම දායකත්වය සපයන්නේ ඇමෙරිකාව චීනය වැනි විශාල කාර්මික රටවල් සහ උච්ච සුඛෝපබෝගිත්වයක් අත්විඳිනා රටවල් බව නොරහසකි. එසේ නම් ඔවුනගේ කාර්යය විය යුත්තේ සමස්ථ ලෝක ජනතාව වෙනුවෙන් කාබන් උත්පාදනය අවම කිරීම බව ඔබටත් මටත් ඉතා හොඳින් පැහැදිලිය. ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා අප වැනි තෙවැනි ලොව රටවල් අතපය හකුලා ගත යුතු අතර කාලගුණික විපරියාසයේ අවබලපෑම් අවම කිරීම වැනි ව්‍යපෘති හරහා ඒ අතර ණය බරකුත් පටවයි. ඇමගිලින අපවැනි රටවල් තමන්ටවත් වටහාගත නොහැකි ව්‍යපෘති සිදුකරන්නට පෙළෙඹෙන්නේ මෙවැනි මුදල් කුට්ටි වලට වහ වැටි බව අප වැටහා ගත යුතුය.
තැන් තැන් වල සිදුකරනා මෙවැනි නාය ප්‍රතිස්තායිකරණ ව්‍යාපෘති හරහා ඉදිරියේදී විය හැකි නාය අවදානම අවම කරගත නොහැකි බව පුන පුනා කියන්නේ මුත් එය තේරුම් ගන්නට හැකි වෘතිකයන් මෙරට නොමැති බවයි මා හට පෙනී යන්නේ. කන්ඩි කපා ඇණගසා දැල් එලා ඒ මත සිමෙන්ති දියකර වත්කර පස් කුට්ටි නවතාලන්නට දරනා උත්සාහය තරම් විහිළුවක් තවත් නැත්තේය. ඒකස්ථානික ප්‍රතිස්තයිකරණයන් ඇත්තෙන්ම නාය අවදානම අවම කිරීම උදෙසා වූ සහය නිසි පරිදි ලබා දෙන්නේ නැති බව මාගේ අත්‍යන්ත අදහසයි. එසේ නම් අපකල යුත්තේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය.
මේ සඳහා පුළුල් දැක්මක් සහිත වැඩපිළිවෙලක් අප සැකසිය යුතුය . එහිදී මුදලට කෑදරව ඒක පුද්ගල තීන්දු තීරණ මෙහිදී වැදගත් වන්නේ නැත. දුරදර්ශි වෘතිකයන් පිරිසක් ප්‍රමුඛ වී එවැනි වැඩ පිළිවෙලක් සකස් කොට එය වහාම ක්‍රියාත්මක නොකරන්නේ නම් මෙරට කඳුකරය සිමෙන්ති මගින් වසා ලු හතර අත කම්බිකූරු ගැසූ භූමියක් පමණක් ම වනු ඇත.
මේ සඳහා වැදගත්ම වන විසඳුම වනුයේ එක් එක් ජල පෝෂක ප්‍රදේශ එක් අංගයක් ලෙස ගෙන සිදුකරනා සංරක්ෂණයක් බව අප තේරුම් ගත යුතුය. මෙහිදී සැලකීමට ගත යුතු කරුණු කාරණා ගණනාවකි. වැදගත්ම වනුයේ පෝෂක ප්‍රදේශය ක්‍රමවත්ව විවධ ප්‍රදේශ වලට වෙන්කර ගැනීමයි. නාය අවදානම වැඩි ප්‍රදේශ සහ අඩු ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ, ගොඩනැගිලි ඉදිකිරිම සදහා සුදුසුම ප්‍රදේශ, වගාවන් සඳහා සුදුසු ප්‍රදේශ ලෙස භූ විෂමතාවය සහ පාංශු තත්වය අධ්‍යන කර යම් වෙන් කිරීමක් කල යුතුය. වැඩකට ගත නොහැකි භූමින් වනන්තර කාරණය උදෙසා ද පෝෂක ප්‍රදේශ පෝෂණය උදෙසා ද භාවිතා කල යුතුය. අත නොතැබිය යුතු නාය අවදානම ඇති භූමින් මෙන්ම ජල පෝෂක ප්‍රදේශ ද ආරක්ෂා කර ගැනීම සඳහා නීති සම්පාදනය විය යුතුය. එමගින් සමස්ථ ජල පෝෂක ප්‍රදේශය ම ක්‍රමවත්ව පාලනය කරගනිමින් සංරක්ෂණය ට නතු කල හැකි වේ. පාංශු ඛාදනයට ලක්වන ප්‍රදේශ ප්‍රතිස්ථායිකරණය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කල යුතුය. පාංශු ඛාදනයට හේතුවන මානව ක්‍රියා පාලනයට නීති සම්පාදනය විය යුතුය. මෙවැනි ක්‍රියා මගින් ඇතිකරන්නේ අනාගත ආයෝජනයක් ම බව අප වටහා ගත යුතුය.
මෙම තත්වය මෙරට අධ්කරිය සහ පාලන තන්ත්‍රය නිසි පරිදි අවබෝධ නොකරගන්නාක් තෙක් ලෝක බැංකුව ගෙන එන පාරිසරික විපරියාසයේ අවබලපාම් අවම කරන්නට ඔවුන් යෝජනා කරනා ව්‍යපෘති අපට සිදුකරන්නට වේවි. එනිසා මේ තත්වය ගැඹුරින් අධ්‍යනය කර මනාව සිතා බලා නවමු සහ ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කර එය ක්‍රියාත්මක කල යුතුය. එක් එක් ස්ථාන වල තනි තනි පුද්ගලයා සිදුකරනා භූ වෙනස්කම් වහාම නවතා ලිය යුතුය. කඳුකරයේ සිදුකරනා සෑම සංවර්ධන කටයුත්තකම බලාපෑම අධ්‍යනය කොට ඒවාට විසඳුම් දිය යුතුය. කාලිනව ඇතිවන අවදානම් අවම කරන්නට මෙවැනි දූරදර්ශි තීන්දු තීරණ වලට එළඹිය යුතු බව තදින්ම අවදානයට ගත යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ