2017 ජනවාරි 18 බදාදා
ෆොසිල ඉන්ධන සොයාගැනීමත් සමග රාත්‍රිය ආලෝකවත් වූ බව අපි සැවොම හොඳින් දනිමු. එය වඩාත් තීව්‍ර කරමින් ෆොසිල ඉන්ධන විදුලි බලාගාර බිහි වුණු අතර පසුකාලීනව එමගින් ඇති වූ පාරිසරික දූෂණය නිසා හරිත තාක්‌ෂණය කෙරෙහි අවධානය යොමු විය. විදුලි උත්පාදනයේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් ජල විදුලි තාක්‌ෂණයෙන් විදුලිය උත්පාදනයට යොමු වූයේ පාරිසරික බලපෑම් අවම වන්නේ යෑයි උපකල්පනය කරමින් බව ඉතා මැනැවින් පෙනී යන කරුණකි. හොඳින් විපරම් කිරීමේ දී මෙරට පිළිබඳව නම් එය සත්‍යයක් ද යන්න අපැහැදිලි බව පෙනී යයි. එසේ සිතීමට බොහෝ කරුණු කාරණා ඇත.
අද වන විට මෙරටෙහි බොහෝ ගංගාවල ද ඔයවල ද නිදහස් ගලනයට මේ ජල විදුලි බලාගාර ව්‍යාපෘති බාධාවක් වී ඇති බවට දෙස් දෙවොල් තබනු අසන්නට ලැබේ. කිසියම් හෝ එවැනි ජල පහරක් සැලකූ විට මුහුදට යැමට පෙර අවම දෙතුන් වතාවකට වත් එහි ජලය වේලි මගින් හරස් වී බට තුළින් යෑවීමට සිදු වී ඇති බව නොරහසකි. මේ සැම අවස්‌ථාවක ම වේලි තැනීමේ දීත් අනෙකුත් යටිතල පහසුකම් ගොඩනැගීමේ දීත් නිරන්තරයෙන් ම අවට පරිසරයට හානි සිදු වේ. මේ සදහා බොහෝ උදාහරණ ඇත. ව්‍යාපෘතියේ විශාලත්වය අනුව පරිසරයට සිදු වන හානිය සමානුපාතික වන බව ද පෙනී යයි. ගංගාවේ දෙපස ඉවුරුවලට සිදු වන හානිය, ජල ප්‍රවාහන ව්‍යqහයන් තැනීමේ දී බෑවුම්වලට සිදු වන හානිය, ගංගා පත්ලට සිදු වන හානිය සහ මේ නිසා ජීවී පරිසරයට සිදු වන්නා වූ හානිය ද එමගින් පසුව ඇති වන හානි දාමය ද ගිණිය නොහැකි තරම් ය. ප්‍රදේශයට, රටට ආවේනික සත්ත්ව සහ ශාක සන්තතියට වන්නා වූ හානිය සහ එම නිසා අනාගතයේ සිදු විය හැකි පාරිසරික වෙනස් වීම් තුළින් මිනිසාටත් පරිසරයටත් සිදු වන හානිය නිසි පරිදි පුරෝකථනය පවා කළ නොහැකි බව අප ගේ හැඟීමයි. කෙසේ වෙතත් සිදු වන්නා වූ හානිය අවම කිරීමට "පාරිසරික බලපෑම් වාර්තාවක්" කැඳවන අතර එමගින් යෝජනා කරන්නා වූ රෙකමදාරුවල නිසි පල නෙළා නො ගැනෙන බවට සජීවී උදාහරණ නොයෙක් වෙයි. එම නිර්දේශයන් නිසි ලෙස නිසි කල්හි ක්‍රියාත්මක කරන්නේ නම් බොහොමයක් ක්‌ෂණික පසු විපත් අවම කරගැනීමේ හැකියාව පවතී.
ජල විදුලි බලාගාර නිර්මාණය සදහා අවසර දීමේ දී සැලකිය යුතු සමහර කරුණු මගහැරී ඇති බව පැහැදිලි වෙයි. එය සිතාමතා ම සිදු කරන්නේ ද යන්න විටෙක සිතීමට තරම් කරුණු වෙයි. විශේෂයෙන් ම සමාජීය බලපෑම අධ්‍යයනය සහ විග්‍රහ කිරීම නිසි පරිදි සිදු නො වීම ක්‍රමයෙන් දාම ප්‍රතික්‍රියාවන් රැසකට හේතු විය හැකි ය. ජල පහර ප්‍රයෝජනයට ගන්නන් ගේ අවස්‌ථාවන් අහිමි වීම මූලිකව නිරීක්‌ෂණය කළ හැකි දෙයකි. ඉතා ළගින් විදුලි බලාගාර දෙකක් ස්‌ථාපිත වීම මේ අවස්‌ථාව අහිමි වීමට ප්‍රධාන වන අතර ව්‍යාපෘතිය සදහා වෙන් වන කොටසෙහි එම ප්‍රදේශය ප්‍රයෝජනයට ගන්නන් සදහා ස්‌ථාන නිර්මාණය නො කිරීම ද ඒ අතර වෙයි. එයට අමතරව පාරිසරික බලපෑම් වාර්තාවෙන් එක් එක් ආයතන යෝජනා කරන නිර්දේශයන් එම වාර්තාවට පමණක් සිමා වීම ද, වාර්තාව නිසි පරිදි ඉදිරිපත් නො කිරීම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණු වෙයි. රටක් ලෙස වැඩි වන ශක්‌ති භාවිතයත් සමග අවශ්‍ය වන විදුලිය ප්‍රමාණය දැනටමත් ගණනය කිරීම් කර ඇත. ඒ සදහා තවත් ගල් අඟුරු විදුලි බලාගාර දෙකක් ස්‌ථාපිත කිරීමට නියමිත ව ඇත. සියලු ම ජල පහරවල් ප්‍රයෝජනයට ගෙන ජල විදුලි උත්පාදනය කළ ද වැඩි වන ඉල්ලුමෙහි ප්‍රමාණයට සැපයුම කළ නොහැකි බව පැහැදිලි කරුණකි. එම නිසා රටක් ලෙස කිසියම් අධ්‍යයනයක් සිදු කොට මෙවැනි කුඩා කුඩා ජල විදුලි බලාගාර ස්‌ථාපිත කිරීම මගින් බොහොමයක් ජලවහන පද්ධති සහ ඒ හා බැඳුණු පරිසර පද්ධති දූෂණය නො කොට එකවර විශාල විදුලියක් නිර්මාණය කළ හැකි වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම විටෙක සාර්ථක විසදුමක් විය හැකි ය.
ජල විදුලි බලාගාර නිර්මාණයෙන් විදුලි උත්පාදනය මෙරටට හදුන්වා දෙන්නේ කීර්තිමත් ඉංජිනේරුවරයකු වන ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා ය. ඒ නානුඔය සහ නුවරඑළිය අතර "බ්ලැක්‌පූල්" නම් වූ ස්‌ථානයේ කුඩා ජල විදුලි බලාගාරයක් නිර්මාණය කරමිනි. එය මෙරට ප්‍රථම ජල විදුලි බලාගාරය වන අතර එමගින් නුවරඑළිය නගරය ජල විදුලියෙන් බලාත්මක කරන්නට ඔහුට හැකි විය. පසුව 1918 දී ඔහු ඉදිරිපත් කළ මෙගාවොට් 114.5ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමේ යෝජනව එවකට වූ පරිපාලනය අනුමත කරන්නේ 1932 දී වන අතර සැම දා සිදු වන්නා සේ මූලාරම්භකයා වූ ඔහු එම ව්‍යාපෘතියෙන් එළියට විසි විය. එය අතිදක්‌ෂයෙකු කලකට අහිමි වීමට හේතු වන්නේ ඔහු එයින් කලකිරීමට පත් ව එංගලන්තයට ගිය හෙයිනි.
මෙවැනි ජාතික මට්‌ටමේ ක්‍රියාකාරකම්වල දී පවා ඇති වන කෙනෙහිලිකම් නම් තවමත් සිදුවීම බුද්ධිමත් සමාජයක් ලෙස අනුමත කළ නොහැක්‌කේ මෙමගින් ඇති වන පාඩුව බලපාන්නේ මුළු රටට ම හෙයිනි. මේ විදු පත් ඉරුවෙන් ම මීට ඉහත අවස්‌ථාවක දී ද සදහන් කළ පරිදි බුද්ධිගලනයට එක් හේතුවක් වන්නේ නිරන්තරයෙන් ම සිදු වන මෙවැනි අසාධාරණකම් බව සැවොම අවබෝධ කරගත යුතු ය.
පාරිසරික සහ තාක්‌ෂණික වාර්තා සැලකිල්ලට නො ගැනීම බොහෝ ගැටලු නිර්මාණය වීමට බලපා ඇති එක් ව්‍යාපෘතියක් වන්නේ උමා ඔය ව්‍යාපෘතියයි. එපමණක් නො ව දක්‌ෂිණ අධිවේගී මාර්ගයෙහි ගාල්ල මාතර කොටස මෙවැනි ම හේතු නිසා ගැටලුවකට මැදි කර ඇත. කොක්‌මාදූව ප්‍රදේශයේ මාර්ගය නිර්මාණය කිරීමේ දී වම් බෑවුමෙහි කැපුම නිසි පරිදි නො කිරීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. පෙනී යන අනෙක් කරුණ නම් බෑවුම ස්‌ථාපිත කිරීමේ දී භූ විද්‍යාඥයන් ගේ සහ භූ තාක්‌ෂණඥයන් ගේ උපදෙස් ලබා නො ගැනීම ද එම ප්‍රදේශය අස්‌ථායි වීමට බලපෑ තවත් කරුණක් බවයි. එය එක්‌තරා ආකාරයකට මෙරට භූ විද්‍යාඥයන් ගේ භුමිකාවේ වැදගත්කම හෑල්ලුවට ලක් කිරීමක් බව උදක් ම පැහැදිලි වේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment