Tuesday, 12 June 2018

භුමි කම්පා; ලංකාවට තවත් අනාගත අපදාවක්ද...?

2014 වසරේ විදුසර පුවත්පතෙහි පලකල ලිපියකි.


ආපදා කළමනාකරණය ශ්‍රී ලාංකිකයනට හුරු පුරුදු වචන යුගලයක් වුයේ  මේ මෑත කාලීනවයි. වරින් වර සිදුවෙන්නා වූ නාය යෑම්, ගංවතුර යනාදී ස්වභාවික ආපදාවන් හේතුවෙන් මෙරට වැසියන් පීඩාවට පත් වූවත් 2004 වසරේ සිදු වූ සුනාමි ඛේදවාචකයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු විය.

ඉන්දුනීසියාව අසල වූ භූ තල වල එක් රැස් වූ අධික තෙරපුම එකවරම නිදහස් වීම හේතුකොටගෙන මුහුද අභ්‍යන්තරයේ සිදු වූ කම්පනයෙන් කැළඹුන මුහුදු ජල තරංග අධික ශක්තියක් රැගෙන ගොඩබිම බලා වේගවත් ව ගමන් කල අතර වෙරළාසන්න නොගැඹුරු මුහුදු පත්ලෙහි ගැටී ඇති වූ අති බිහිසුණු මාරාන්තික රළ පහර  වෙරලබඩ ජනජීවිතය සුනු විසුනු කරන ලද්දේ ඇසුරු සැණෙකිනි. කිසිවෙකුට හෝ ඒ කෙරහි සිත් අල්වා ගනු පිණිස කාලයක් නොදුන් තරම් ය. එකල මේ බිහිසුණු ආපදාව පිලිබඳ අත්දැකීමක් නොවූයෙන් පෙර සුදානමක් ද නොවීය. එනිසාම සිදු වූ හානිය ද අති මහත් විය.

ශ්‍රී ලාංකිකයන්ගේ පවුරානිකව රැගෙන ආ සංස්කෘතික සබදියාවත්, තිබු එකමුතුකමත් හේතුවෙන් විපතෙන් පැය කිහිපයක් යන්නට මත්තෙන් විපතට පත්වුවනට නා නා විධියෙන් උදවු උපකාර කෙරෙන්නට විය. ඇමරිකාව වැනි දියුණු සහ බල සම්පන්න රටවල් කත්‍රිනා වැනි වැහි කුණාටු හමුවේ දුර්මුඛව දුර්වල වෙද්දී (උසස් තාක්ෂණය, බලය සහ ධනය තිබුනත්) ලාංකිකයන්ගේ ක්‍රියා කලාපය එනයින් අතිශය ප්‍රසංසා සහගත විය යුත්තක් ලෙස සියල්ලන්ගේම සිත්සතන් වල පල පැදියන් විය යුත්තකි. 

සුනාමි ව්‍යවසනය වන තුරුත් එවැන්නක් පිලිබඳ කල් යල් බැලීමක්ද නොවුයේ එහි විද්යාත්ම පසු බිම නොදැන සිටීම හෝ/හා සිදුවන්නට හැකි අනාගත ව්‍යසන පිළිබඳ ශ්‍රී ලංකික විද්වතුන් ගේ කතා බහට මාතෘකාවක් ද නොවූ බැවින් යයි මසිතට නැගුනත් වර්තමානයේ නිරන්තර අවධානය ඒ පිලිබඳ යොමු වෙමින් පැවතීම තිබීම සතුට ගෙන දෙන්නකි. නමුත් ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ අනාගතය පිළිබඳ කිසියම් සුරක්ෂිත බවක් ඇති වී යයි සිතිය හැකිද...?

මන්දයත්, පසුගිය දිනෙක කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ ඛේදජනක සිදුවීම අප විසින් දැන දැන දහවල වලේ වැටීමක් නොවන්නේද..? කවුරු කෙසේ කිව්වත්, සිදුවියහැකි අනතුරු කල්තිය හදුනාගැනීමත්, එය සියලුම පර්ශ්වයන්ට දැනුම් දීමත් සහ අනතුර අවම කර ගැන්මට විකල්ප යෝජනා කිරීමත් සහ ඒ සදහා උනන්දු කිරීමත් පිළිබඳව අප සතුටුවිය යුත්තේ ශ්‍රී ලංකීය භූ විද්‍යාඥයින්ගේ අප්‍රතිහත පර්යේෂණ වල ප්‍රතිපල මහජනතාවගේ ආරක්ෂාව සදහා යොදාගැනීම පිළිබඳවයි. එපමණක් නොව භූ විද්‍යාඥයින් ලෙස තමාගේන් මෙරටට ඉටුවිය යුතු වගකීම නිසි පරිදි  ඉටුකිරීමට කැපවීම පිලිබඳවයි. නමුත් නිසි පරිදි එම ප්‍රදේශයේ ජනතාව විකල්ප ස්ථාන කරා ආපදාවට පෙර යොමුකරවීමට නොහැකි වීම මෙරට රාජ්‍ය තන්ත්‍රය ලැබූ දැඩි පරාජයකි. ආපදා කළමනාකරණයේදී එහි සියලුම පියවරයන් නිසිපරිදි සිදුවනවාදැයි නිති අවදානමෙන් සිටීමේ වගකීමත් ක්‍රියාදාමයේ වඩා වැදගත් පියවරයන් සහ තීරණ ප්‍රමුඛතා කොට සලකමින් සිදුකිරිමේත් වගකීමත් මේ සම්බන්දිත සියලුම පාර්ශවයන් වෙතින් සිදුවූ අතපසුවීමක ප්‍රතිපලයක් වීම ඉතා කණගාටුදායකය.       

වර්තමානයේ සිදු වූ මෙම නායයාමේ ව්‍යවසනයත් ඊට පෙර පසු ගිය දා පැවතියා වූ “අපදා කළමනාකරණය” පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රරණයට සහබාගී වීමෙන් පසුත් මෙම ලිපිය ලිවිම සිත් වුයේ තවත් අනාගතයේ සිදුවිය හැකි අනතුරක් පිළිබඳව සියලුම් පාර්ශව දැනුවත් කිරීමටය. එසේ නොකරන්නේ නම් එය ශ්‍රී ලාංකිකයෙකුට තරම් නොවේ යයි ද සිතුණු බැවිනි.

මෙතෙක් කලක් භූ තල මායිම් හේතුවෙන් ඇතිවන්නාවූ භූ කම්පන පිලිබදව අප රට සුරක්ෂිත යැයි නිගමනය කර සැනසුම් සුසුම් හෙලුවත්, මෙරට අනාගතය නම් එසේ නොවීය හැකි යැයිද භූ කම්පන හේතුවෙන් ඇතිවන්නා වූ ව්‍යවසනයන්ගෙන් නිරන්තර පීඩා විදිය හැකි යැයිද මෙහි ලා සඳහන් කල යුතුය. එපමනක් නොවේ මෙම භූ කම්පන ඇතිවීමේ සුලභතාවය සාගර පත්ලෙහි වීම ද මෙම ව්‍යවසනය එම හේතුවෙන් තවත් තීව්ර කෙරෙන බව ද සිත් හි තැන්පත් විය යුතුය.  එසේ වන්නේ ඇයි..? මෙපමණ කලක් සුරැකිව තිබුනේ විද, හදිසියේම මෙවැනි තත්වයක් හට ගන්නේ කෙසේද..? විද්‍යාත්මක පසු බිම විමසා බැලීමේදී නම් එවැනි ක්ෂණික උද්ගත්විමක් නොවූ බව පැහැදිලි වේ. පසුගිය කාලයේ ඔබ අවධානයෙන් පසු වුවා නම්, මතකයට නැගෙනු ඇත ලං ලං වූ කාලාන්තර වල දිවයිනේ සමහර පෙදෙස් වල ට භූ චලනයන් දැනෙනු බව.  

මොනවද මේ භූ තල මායිම්..? ඒ පිළිබඳව කිසියම් අවබෝධයක් ඇතිකරගෙනම ඇතිවන්නට යන්නා වූ ව්‍යවසනය ගැන කතාබහට ලක් කිරීම වඩාත් උචිත වේ. පෘථිවි පෘෂ්ටය විවිධ පාෂාණ සමූහයකින් තැනුණු දොඩමක ලෙල්ල මෙන් වුවකි. මෙය කබොල ලෙසත් එයට ඇතුලතින් ප්‍රාවරණය නම් වූ තවත් පාෂාණ කලාපයකින්ද අභ්‍යන්තරයේ හරය නම් වූ තවත් අධික ඝනත්වකින් යුක්ත පාෂාණ වලින්ද සමන්විත වී ඇත. කබොලට ඇතුලතින් වූ හරයෙහි ඉහල කොටසෙහි කබොලත් හරයත් වෙන් කරන මායිමේ සිට ගැඹුරින් 1/4 ක්‌ පමණ වූ ප්‍රදේශයක් පසු කල විට පවතින්නේ අධික උණුසුමින් යුක්ත අර්ධ ඝන (හෝ අර්ධ ද්‍රව) තත්වයේ පවතින රක්ත තප්ත වූ කලාපයකි. එහි නිරන්තරයෙන් පැසෙන ලෝදියෙන්ද සමන්විත වේ. මෙම අර්ධ ද්‍රව මත ඊට ඉහලින් වූ හරයෙහි ඉහල කොටසත් කබොලත් එක් වූ තනි පාෂාණ කලාපය භූ තල ලෙස හදුන්වන අතර ඒවා විවිධ ස්ථානවලින් පිපිරී ඉරිතැලී වෙන් වෙන් භූ තල වලට වෙන්ව ඇත. මෙවැනි භූ තල ප්‍රධාන කොට 13ක් පමණ පවතින අතර මෙම තල දෙකක් අතර මායිම “භූ තල මායිම්” ලෙස හදුන්වයි. මෙයට අමතරව සමහර භූ තල කුඩා භූ තල වලටද වෙන් වී ඇත. විශේෂත්වය නම් මෙම භූ තල මායිම් ඉතා ගතික එනම් චලනය වන ඒවා වීමයි. භූ තල අර්ධ ද්‍රව කලාපයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් විවිධ දිශාවන් වලට මේ මොහාත වන විටත් ගමන් කරමින් පවතී. නමුත් මෙම චලන බොහොම සෙමෙන් සිදු වේ. සමහර භූ තල එකෙනෙක වෙත එනම් අභිසාරිව චලනය වේ. තවත් ඒවා එකිනෙකින් ඉවතට එනම් අපසාරිව චලනය වේ. තවත් භූ තල එකිනෙක ස්පර්ශ කරමින් දෙපසට චලනය වේ (පරිණාමණ විභේද).  භූ කම්පන ඇතිවිමේදී ඉහත කි අභිසාරී තල මායිම් වල හා පරිනාමන විභේද වල චලනයන් බෙහෙවින් හේතු වේ. එකිනෙක වෙත තල්ලු වෙන භූ තල නිසා එම මායිම් අසල අධික පීඩනයකට ලක්ව පවතී. දරා ගත නොහැකිවන විට මෙම පීඩනය එකවිටම නිදහස් වේ. මෙනිසා අධික කම්පනයක් සහිතව භුමිය චලනයට ලක් වේ. මෙම තල මායිම් මුහුද මද්‍යයේ වුයේ නම් බොහෝ විට සුනාමි තත්වයක් ඇති කරයි. 2004 වුයේද මෙවැනි භූ තල චලනයක ප්‍රතිපලයකි.  

මෙරටට මෙම තල මායිම් වල බලපෑම සිදුවන්නේ කෙසේද? මෙතෙක් කලක් අප සිතා සිටියේ ශ්‍රී ලංකාව ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය මධ්‍යයේ පිහිටීම නිසා භූ චලන පිළිබඳව අවධානමක් නොමැති ලෙසයි. නමුත් එම තත්වය මේ වන විට ක්‍රමිකව වෙනස් වන බව පෙනී යයි. මේ සඳහා කදිම විද්‍යාත්මක සාක්‍ෂි සපයන්නේ ජාතික විද්‍යා පදනමෙන් පලකරන විද්‍යා සඟරාවේ 30 වෙනි වෙළුමෙහි පළමු කලාපයේ ඇත්තා වූ පර්යේෂණ පත්‍රිකාවකි. මේ පත්‍රිකාවෙහි ලේඛකයා වන්නේ පේරාදෙණිය සරසවියෙහි භූ විද්‍යා දෙපාර්තුමෙන්තුවෙහි සේවය කල ජේෂ්ඨ මහාචාර්ය සි. බි. දිසානායක මහතායි. ඔහු පවසන ආකාරයට ලංකාවට දකුණු මුහුදෙහි නව භූ තල මායිමක්‌ හට ගනිමින් පවතී. එය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට සැතපුම් 600 ක්‌ පමණ දකුණු දිග මුහුදු කලාපයේ ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ පිහිටයි. මෙම පිපිරිමක්‌ කාලයත් සමග තව දුරටත් පුළුල් වෙමින් වඩාත් ක්‍රියාකාරී තල මායිමක් බවට පරිවර්තනය විය හැකි බව මගේ හැඟීමයි.පසුගිය කාල වකවානුවෙහි සිදු වූ භූ චලනයන් වල කේන්ද්‍රයන් සිතියම ගත කල හොත් ඒ ව බොහොමයක්‌ මෙම නව පිපිරිම සිදු වූ කලාපයේ ස්ථානගත වන බව සොයාගෙන ඇත (සිතියම 01 බලන්න).   

1980 දී වෙයිසල් ගේ පර්යේෂණ කණ්ඩායම සහ 1986 දී වීන්ස් සිදුකල පර්යේෂණ වලින් මෙම නව භූ තල මායිම බිහිවන බව හොදින්ම තහවුරු කර ඇත. තවමත් උසයන හිමාලය කන්ද බිහිවීමේ ක්‍රියාදාමය දිගින් දිගටම ක්‍රියාත්මක වීමෙන් ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය උතුරු දෙසට චලනය වී අතිවිශාල යුරෝපියානු භූ තලයේ ගැටීමෙන් ඇතිවන පීඩනය බොහෝවිට නිදහස් වන්නේ ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ දුර්වල කලාපයක් හරහා පිපිරීම් ඇති කරවමිනි. එනිසා ඉන්දු-ඔස්ට්‍රේල්යානු භූ තලය මධ්‍යයේ ලංකාවට දකුණු දිග මුහුදේ (සැතපුම් 600ක් පමණ ඈතින්) වාර්තා වන එම පිපිරීම් හේතුවෙන් අන්තඃ භූ තල භූ කම්පා ඇතිවන බව වින්ස් ගේ පර්යේෂණ වලින් පැහැදිලි වේ.  භූ තල වල පිපිරීම් දර්ශණය නොවූවත් මෙලෙස ඇතිවන්නා වූ අන්තඃ භූ තල භූ කම්පා එම සිදුවීම් නියෝජනය කරයි. ලෝකයේ බහුතරයක් භුමි කම්පා වාර්තා වී අත්තේ මෙවැනි භූ තල මායිම් ඇසුරු කරගෙනයි.

එසේනම් අනාගතයේ ලංකේය භුමිය කෙසේ නම් භුමි කම්පා අවදානමෙන් තොර වන්නේදැයි කිව හැකිද? දැන් ම නොවුනත් අනාගතයේ යම් දිනක දරුණ ව්‍ය්වසනයකට මුහුණ පෑමේ අවධානමට මුහුණ දිය හැකි බව මෙමගින් හොදින් පැහැදිලි වේ. යමෙකුට “ මුහුද හත්ගව්වක් තබා අමුඩය ගැසීමක්” ලෙස හැඟුනත් අවධානමට පෙර සුදානම් වීම ස්තිරයෙන්ම හානිය අවම කරවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. පෙරසුදානම සහ ඒ පිළිබඳව තව තවත් පර්යේෂණ සිදුකිරීම කෙලෙසකවත් මුදල් අපතේ යැවීමක් නම් නොවනු ඇත.

භුමි කම්පා හේතුවෙන් කවරනම් ආපදාවන් සිදු වේද යන්න වටහා ගැන්ම එතරම් අසීරු දෙයක් නොවනු ඇත. මන්ද යත් එවැනි ඛේදවාචකයන්ට හසුවූ රටවල් බොහොමයක් උදාහරණයන් වන හෙයිනි. ජපානය නිතරගයෙන්ම මතකයට නැගෙන්නේ රටෙහි නමත් සමග භුමි කම්පා ඔවුනට උරුමව එම ජනජීවිතයට බද්ධව ඇත්තාක් මෙනි. විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන හේතුවෙන් ජපානය භූ කම්පා අනතුර මග හැරිමින් ඇතිවන ආපදා අවම කරගැනීමට සමත් වීම පෙරසුදානමෙහි අගය මොනවට ගෙනහැර පායි.
    
ශ්‍රී ලංකේය භූමිභාගය පුරාවටම ඊසාන-නිරිත දිශානුගතවද සහ වයඹ-ගිනිකොණ දිශානුගතවද ඇත්තා වූ විබෙදයන් (පැලුම්) හේතුවෙන් ඇතිවන්නා වූ භූ කම්පා වල දී විසිරෙන ශක්තිය රට අභ්‍යන්තරයට ගෙන යාමේ හැකියාව ඉතා වැඩිය. එනිසා එම විභේදයන් ඔස්සේ පවතින නගර, ගම්, ජලාශ සහ අනෙකුත් ඉදිකිරීම් අනතුරට ලක්වීමට වැඩි සම්භාවිතයක් ඇත. එනිසා එවැනි ප්‍රදේශ හෝ ස්ථාන හෝ ඉදිකිරීම් හදුනාගෙන ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙතක් ඇතිකල යුතු වේ. එපමණක් නොව එවැනි ප්‍රදේශ වල ඉදිකිරීම් සිදුකරන්නේ නම් නව තාක්ෂණ ක්‍රමෝපායන් භාවිතයෙන් සුරක්ෂිත බව තහවුරු කලයුතු වේ. භුමි කම්පාව සිදුවන විටද එයින් පසුවද ජනතාවගේ ආරක්ෂාව පතා ඔවුන් ක්‍රියා කලයුතු ආකාරය පිලිබඳ දැනුවත් කිරීම් ද පෙරහුරද පැවැත්වීමද මගින් ජිවිත හානි අවම කර ගත හැකිවේ. භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය වැනි ආයතනවලින් මේ සම්බන්දිත භූ විද්‍යාත්මක දැනුම සහ පර්යේෂණ වල ප්‍රතිපල ඇසුරුකරගනිමින් ක්‍රමවත් වැඩපිළිවෙලක් දියත් කර වීම අපහසු කටයුත්තක් නොවේ. ආපදාවන්ට ලක්විය හැකි විවිධ විෂය පථයන් හඳුනාගෙන හානිය අවම කරගැනීම උදෙසාද ඔරොත්තු දීම සදහාද විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම අනාගත ආයෝජනයක් වනවා නිසැකය. නමුත් වර්තමානයේ සිදුවනවා මෙන් එම පර්යේෂණ අන්තර්ජාතික සඟරාවල පල වන තවත් එක් පර්යේෂණ පත්‍රිකාවක් පමණක් නොවීමටත් එම දැනුම ආපදා කළමනාකරණය තුලට සුසංයෝජනය කර ගැනීමටත් අප දක්ෂ විය යුතුයි.       

නොදන්වා පැමිණි සුනාමියේ තතු නොදැන සිටීම හේතුවෙන් විසල් ආපදාවකට මුහුණ දුන් අප අනාගතයේ සිදුවිය හැකි භුමි කම්පා ව්‍යවසන පිලිබඳ විද්වතුන් අඟවන අනතුරු නොසලකා හැරියහොත් දෙවැනි වරටත් අප රෑ වැටුණු වලේ දවල් වැටීමක් ම වන්නේය. කොස්ලන්දෙන් ඉගෙනගත් පාඩම ආදර්ශයට ගෙන අපද කළමනාකරණ ක්‍රියාවලියේ දුර්වල ස්ථාන ශක්තිමත් කල යුතුය. නැතහොත් අප අප විසින්ම අනතුරේ හෙළ ගැනීමක්ම වනු ඇත.
 
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...