21.09.2015
කාලගුණ විපර්යාසයන් නම් මහ ම හිසරදයකි. කෙලෙසක හෝ ඉතා දරුණු හානි සිදු කර මිනිස් ජීවිත සහ දේපල අනතුරේ හෙළන්නට ඒ සමත් ය. මේ, මිනිසා ස්‌වාභාවික පරිසරය ජයගැනීම උදෙසා කළ මෙහෙයුම්වල අතුරු ප්‍රතිඵලයන් ය. සැමට ම සැම විට ම කාරුණික වූ පරිසරයට රිදවීම නම් කොහෙත් ම කළ යුත්තක් නො වේ. මන්ද යත් බිත්තියක වැදී පොලා පනින්නා වූ රබර් බෝලයක් සේ එහි පලවිපාක අප වෙත ම එන බැවිනි. එහෙත් තවමත් බොහෝ පිරිසක් මේ බව අවබෝධ කරගෙන නොමැති බව පෙනී යයි. එසේ හෙයින් දෝ දිනෙන් දින පරිසරයට සතුරු වූ කටයුතු නිරතුරුව සිදු වෙමින් පවතී.
එහෙත් විද්‍යා ක්‌ෂේත්‍රයේ පර්යේෂකයෝ මේ පිළිබඳව අවදියෙනි. ඔවුහු වර්තමානයේ සිදු වන්නා වූ පාරිසරික වෙනස්‌කම් මොනවා ද යන්න ග්‍රහණය කරගනිමින් තම පර්යේෂණ සිදු කරති. එසේ පර්යේෂණ සිදු කළ පර්යේෂකයන් ගේ සොයාගැනීම් පිළිබඳ වූ කදිම විද්‍යාත්මක සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැත්විණි. එය "හරිත අනාගතයක් උදෙසා දැනුම් හුවමාරු කිරීම" තේමාව වූ විද්‍යාත්මක ශාස්‌ත්‍රීය සම්මන්ත්‍රණයකි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ "වන හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව" මගින් මෙය සංවිධානය කර තිබිණි. මේ මාසයේ 16 සහ 17 වැනි දිනවල පැවැති මේ විද්‍යාත්මක සම්මන්ත්‍රණයට ලංකාවේ සියලු ම විශ්වවිද්‍යාලවල ද, බොහොමයක් රාජ්‍ය ආයතනවල ද, පෞද්ගලික ආයතනවල ද නියෝජිතයෝ තම පර්යේෂණ හා ඒවායේ ප්‍රතිඵල ඉදිරිපත් කළ හ. එමෙන්ම ඉන්දියාව වැනි රටවලින් ද පර්යේෂකයන් මෙයට සහභාගී වීම කැපී පෙනෙන සිද්ධියකි. විසිවැනි වතාවට පැවැත්වූ මේ විද්‍යාත්මක සැසිය සංවිධානය කිරීම සදහා ඇපකැප වී මෙවැනි අවස්‌ථාවක් පර්යේෂකයන්ට ලබා දීම පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මියට ද, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියට, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හිරාන් අමරසේකර මහතාට සහ ආචාර්ය දහම් ජයවර්ධන මහතාට ද බෙහෙවින් ම ස්‌තුතිවන්ත විය යුතු ය.
මෙවැනි විද්‍යාත්මක සැසි පැවැත්වීම ඉතා වැදගත් වන්නේ ආධුනික පර්යේෂකයන්ට ය. ඒ ඔවුන් ගේ පර්යේෂණවල ද, ඉදිරිපත් කරන ආකාරයේ ද වූ අඩුපාඩු හඳුනාගැනීමට මහඟු අවස්‌ථාවක් වන බැවිනි. එක් එක් ක්‌ෂේත්‍රයන්හි විශේෂඥයන් ගේ ඉතා ම අගනා වටිනා අදහස් දැක්‌වීම් එනිසා එහි ලා දැනගන්නට ලැබේ. නිසි පරිදි සැලසුම් කළ පර්යේෂණ නිසි කල්හි සිදු කිරීම යහපත් සහ ප්‍රතිඵලදායක කරුණු අනාවරණය කරගැනීමට ද ආර්ථික ලාබ උදා කරගැනීමට ද හේතු වේ.
පෙර කී ආකාරයට කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීම සහ හැඩගැසීම නම් ඉතා අසීරු ය. මේ නිසා මිනිසාට අත්‍යවශ්‍ය වූ ආහාර බෝග මෙන්ම ජලයට ද බොහෝ හානි සිදු වේ. කෘෂිකාර්මික කටයුතු අඩාළ වීම මානව වංශකතාවේ අනාගතය තීරණය කරනු ඇත. බෝග වගාව මත බෙහෙවින් ම යෑපෙන නිවර්තන කලාපීය රටවල පැවැත්ම දරුණු කාලගුණික විපර්යාසයන්හි ක්‌ෂණික බව නිසා ම අනතුරට ලක් වේ. එහි දිගුකාලීන රටාවන් හඳුනාගැනීම ද කාලීනව ඉතා වැදගත් ය. කාලගුණික විපර්යාසයන්හි දරුණු ව්‍යසනවලට මුහුණ දුන්න ද ශ්‍රී ලංකාව වැනි සමකාසන්නයේ පිහිටි දූපතකට එම තත්ත්වයන් සමනය කරගැනීම එතරම් අපහසු කාරියක් නො වේ. මේ සදහා ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කරගත යුතු ය.
කාලගුණික බලපෑමෙන් මෙන්ම වෙනත් සාධක මඟින් ද කෘෂිකර්මාන්තයට හා ආහාර සුරක්‌ෂිතතාවට එල්ල වන තර්ජන අපමණ ය.
වර්තමානයේ ඉතා දියුණු ක්‍රමවේද භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙයි. එනමුත් ලෝක මට්‌ටමින් ද, මෙරට ගැන සැලකුව ද ප්‍රමාණවත් ලෙස ආහාර නිෂ්පාදනය කිරීමට හැකි වී නැති බව ය පෙනී යන්නේ. එක් එක් කාලවල දී විවිධ බෝග වර්ගවල අතිරික්‌තයන් ඇති වීම සම්බන්ධයෙන් අපට නිරන්තරයෙන් දැනගන්නට ලැබෙයි. මෑත කාලීනව සැලකූ විට වී ගොවීන් ගේ මැසිවිල්ල වූයේ ඔවුන් ගේ වී නිෂ්පාදන මිල දී ගැනීමට රජයේ ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බවයි. මෙවැනි ම තත්ත්වයන් ට අපේ එළවළු ගොවීන් ද මුහුණ පාන බව නොරහසකි. අවසානයේ දී හැම දා මෙන් සිදු වන්නේ මේ අතිරික්‌තයන් අපතේ යැමයි. මෙවැනි තත්ත්වයන් උද්ගත වන්නේ කුමන හේතුවක් නිසා ද? මේ හා සම්බන්ධිත රාජ්‍ය ආයතන මෙවැනි තත්ත්වයන් ඇති වීම සම්බන්ධව කිසියම් හෝ අධ්‍යයනයක් සිදු කර ඇත් ද? එම තත්ත්වයන් සමනය කරගැනීම සදහා කුමන ක්‍රියාමාර්ග යෝජනා හෝ අනුගමනය කරන්නේ ද?
ආහාර අපතේ යෑවීම ද ඉතා ම අපරාධයකි. ආහාර සුරක්‌ෂිතතාව පිළිබඳව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය ය. පොහොර සහනාධාර සහ බීජ වර්ග ලබා දෙමින් ද උපදේශනයෙන් සහ පර්යේෂණ මගින් ද සිදු කරනු ලබන්නේ කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධියයි. එහෙත් තවමත් අප ප්‍රතිඵල නිසි පරිදි මෙහි නෙළා නො ගන්නා බව අමුතුවෙන් කිව යුතු නො වේ. සැම ප්‍රදේශයකට ම කෘෂිකර්ම නිලධාරීන් පත් කර ඇත. ඒ අතර සමෘද්ධි නිලධාරීහු ද ග්‍රාමසේවක නිලධාරීහු ද වෙති. මෙරටට වාර්ෂිකව අවශ්‍ය ම වන ආහාර බෝග ප්‍රමාණාත්මකව නිර්ණය කිරීම එතරම් අපහසු කාර්යයක් නො වේ. එමගින් එක් කන්නයක දී කොපමණ ප්‍රමාණයක් අදාළ බෝග වගා කළ යුතු ද යන්නත් එමගින් එක් ප්‍රදේශයකින් වෙළෙඳපොළට යෑවිය යුතු ප්‍රමාණයත් නිර්ණය කළ හැකි ය. එය ආහාර අතිරික්‌තයන් ඇති වීම වළක්‌වයි. එමෙන් ම ගොවීන් හට වෙළෙඳපොළ තරගකාරිත්වයක් ඇති නො වේ. නිශ්චිත අචල මිලක් පවත්වාගැනීමට හැකි වීමෙන් පාරිභෝගිකයන් ද ආරක්‌ෂා කළ හැකි ය. එපමණක් නො වේ. අනවශ්‍ය පරිදි පොහොර භාවිතය ද, කෘමිනාශක සහ වල්නාශක භාවිතය ද අඩු කළ හැකි ය. එය රටෙහි ආර්ථිකයට මෙන්ම පරිසරයට ද හිතකර වේ. කාලගුණික රටාව මනාව අධ්‍යයනය කිරීමෙන් ද බෝග වගාවන්වල විවිධත්ව සංකලනයෙන් ද ව්‍යසනයන්ට මුහුණ දීමට හැකි වේ. මේ සදහා දැන් අවශ්‍ය වන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමත් එය දියත් කර පවත්වාගෙන යැම සදහා බුද්ධිමත් නිලධාරීන් පිරිසකුත් පමණි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment