Original article was published in Divaina 27.11.2019
ඉස්‌සර කාලේ විහාර, මාලිගා වාගේ දේවල් වල බිත්ති අලංකරණය සඳහා චිත්‍ර නිර්මාණය කළා. විවිධ පැහැයන් නිර්මාණය සඳහා ඔවුන් පරිසරයෙන් සොයාගත හැකි වර්ණ ඒ සඳහා භාවිතා කළ බවට ඕනෑ තරම් සාක්‌ෂි තියෙනවා. රතු පාට, නිල් පාට, සුදු පාට වැනි පාටවල් ලබා ගැනීම සඳහා ඔවුන් භාවිතා කරලා තියෙන්නේ පොළොවෙන් ලබා ගත් ඛනිජ වර්ග. ඒ අතුරින් සුදු පැහැය සාදාගත් ආකාරය අපූරුයි.
ආදි කාලිකයෝ සුදු පැහැය සාදා ගත්තේ කෙයෝලින් කියලා මැට්‌ටකින්. ඒ කාලේ හැඳින්වුණේ මකුළු මැට්‌ට කියලා. කෙයෝලින් භූ පරිසරයේ නිර්මාණය වෙන්නේ පාෂාණ ජීර්ණය නිසා. ඇත්තටම පාෂාණ නිර්මාණය වෙලා තියන ඛනිජ ජීර්ණයෙන් තමයි මැටි නිර්මාණය වෙන්නේ. මෙහිදී වැදගත් වෙන ඛනිජය තමයි පෙල්ඩ්ස්‌පාර් කියන්නේ. පෙල්ඩ්ස්‌පාර් වර්ග ගණනාවක්‌ම තියෙනවා. කෙයෝලින් එහෙම නැතිනං ඔය කියන මකුළු මැට්‌ට නිර්මාණය වෙන්නේ කැල්සියම් අඩංගු පෙල්ඩ්ස්‌පාර් ජීර්ණයෙන්. මේ මැටිවලට චීන මැටි කියලත් කියනවා. කෙයෝලින් කියන්නේ රසායනිකව ඇලුමිනෝ සිලිකේටයක්.
තීන්ත කර්මාන්තයේදී නැතිවම බැරි අමුද්‍රව්‍යයක් බවට මේ මකුළු මැට්‌ට එහෙම නැතිනං කෙයෝලින් පත්වෙලා. ටයිටේනියම් වෙනුවට යොදා ගත හැකි ලාභදායී දීප්තිකාරකයක් ලෙස මෙම කර්මාන්තයේ දී බහුලව යොදා ගන්නවා. ඉතා හොඳින් දියවෙන නිසාත් තවත් ද්‍රව්‍ය සමග පහහසුවෙන් මිශ්‍ර කළ හැකි වීමත් මෙහි බහුල භාවිතයට හේතුවක්. මෙම මැට්‌ටේ ඇති සිලිකා ප්‍රමාණය මගින් තීන්තවල වයනය තීරණය කරන අතර ඇලුමිනියම් ප්‍රමාණය මගින් දීප්තිය නිර්ණය කළ හැකියි. කෙයෝලින් අංශුවල ප්‍රමාණය ද මෙහිදී වැදගත්. සියුම් අංශු බහුල විට ඉතා අපූරු දීප්තියක් ලබා ගැනීමට හැකියි. මෙහි ඇති අනිත් වාසිය නම් තීන්ත බිත්තියේ ගෑවිට ඉරි නොතැලිමයි.
දැන් දැන් කෙයෝලින් ගන්නේ පාට හදන්න විතරක්‌ම නොවෙයි. විශේෂයෙන්ම පිඟන් (සෙරමික්) සහ පොළොවට අල්ලන ගඩොල් කර්මාන්තයේදී ඉතා බහුලව යොදා ගන්නා අමුද්‍රව්‍යයක්. කෙයෝලින් මැට්‌ටේ විශේෂත්වය තමයි රත් කිරීමේදී සිදුවන රසායනික වෙනස්‌වීම් මගින් ඇතිවන තත්ත්වයන් නිසා ඉතා අධික උණුසුමක් දරාගත හැකි ද්‍රව්‍ය නිපදවීමට හැකි වීම. ඒ වාගේම තීන්තවල උකු බව තීරණය කරන්නටත් මේ කෙයෝලින් මැට්‌ට වැදගත්.
කෙයෝලින් ගන්නේ තීන්ත හදන්න විතරක් නොවෙයි. කාඩ්බෝඩ් සහ කඩදාසි කර්මාන්තයේදීත් නැතුවම බැරි අමුද්‍රව්‍යයක්. මූලිකවම පිරවුමක් සහ ආවරණ ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන අතර බහුලව යොදාගන්නේ ලී භාවිතය අවම කරන්නටයි. ඩයි වර්ග ලෙසත්, රබර් කර්මාන්තයේදීත්, සිමෙන්ති කර්මාන්තයේදීත්, මැලියම් ලෙසත්, දත් බෙහෙත් නිෂ්පාදනයේදී සහ සබන් වර්ග නිෂ්පාදනයේදීත් කෙයෝලින් යොදා ගනී.
ඒ විතරක් නොවෙයි සමහර රටවල මිනිස්‌සුන් විවිධ හේතුන් නිසා මැටි කෑමට ගන්නා අවස්‌ථා වාර්තා වෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් මේ සඳහා වැඩි නැඹුරුතාවක් දක්‌වන බව වාර්තා වෙනවා.
මකුළු මැට්‌ට එහෙම නැතිනං ඔය කියන කෙයෝලින් අපේ රටෙත් තියෙනවා. විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නවා. විශේෂයෙන්ම සෙරමික් කර්මාන්තය සඳහා. ලෝකයේ කෙයෝලින් නිපදවන ප්‍රධාන රටවල් වෙන්නේ ඇමෙරිකාව, උස්‌බෙකිස්‌තානය, චෙක් රාජ්‍ය, ජර්මනිය, කොරියාව සහ බ්‍රසීලය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment