Original article was published in Divaina 20.11.2019
කාබන් කියන්නේ ජීවී ලෝකය තනන මුලද්‍රව්‍යය. ඉතා පහසුවෙන් බන්ධන සතරක් සාදා ගැනීමට ඇති හැකියාව මෙහි ප්‍රමුඛ පැතිරීම කෙරෙහි බලපානවා. ශාක සහ සතුන්ගේ මරණයෙන් පස්‌සේ වායුගෝලයට එකතු වෙන කාබන් නව චක්‍රයක් ආරම්භ කරලා නැවත ජීවී දේහවල තැන්පත් වෙනවා. අපි ශාක කැබැල්ලක් පිළිස්‌සුවාම ඉතිරිවන්නේ අඟුරු. අඟුරු කියන්න කාබන්.
පොළොවෙන් ලබා ගන්නා අඟුරු ගල් අඟුරු. ගල්අඟුරු නිර්මාණය වෙන්නෙත් කාබන්වලින්. ගොඩබිම ශාක මරණයට පත් වී අවසාදිත සමග කාලයක් තැන්පත් වීම නිසා සිදුවන රසායනික වෙනස්‌වීම් මගින් ශාක දේහවල තියෙන කාබන් ගල්අඟුරු බවට පත් වෙනවා. මුලින්ම මෙවැනි පරිසරයක තියෙන කාබන් එහිදී සිදුවන තාපයේ සහ පීඩනයේ වෙනස හේතුවෙන් පීට් නම් වූ ද්‍රව්‍යයක් බවට පත් වෙයි. අතරමැදි ද්‍රව්‍යයක් වෙන මේ පීට්‌වල ගල් අඟුරුවල තරම්ම කාබන් ප්‍රතිශතයක් නැහැ. පීට් තවදුරටත් පිඩනයට සහ තාපයට ලක් වීමෙන් තමයි ගල් අඟුරු නිර්මාණය වෙන්නේ.
ගල් අඟුරු බහුලව භාවිතයට එන්නේ කාර්මික විප්ලවයේ ආරම්භයත් සමග. නමුත් භාවිතය පිළිබඳව කරුණු අනාවරණය වෙන්නේ වසර 4000ට පමණ පෙර චීනයෙන්. තඹ යුගයේදී බ්‍රිතාන්‍යයන් විසින් තඹ කර්මාන්ත සඳහා භාවිතා කළ බව සඳහන් වෙනවා. යකඩ නිස්‌සාරණය සඳහා ගල් අඟුරු භාවිතා කළ බවට රෝමයෙන් ද වාර්තා වෙනවා. අද වන විට ලෝකයේ ශක්‌තිය ජනනය කරවීමට ගන්නා ඉන්ධන අතුරෙන් හතරෙන් එකක්‌ම පිරිමසා ගන්නේ ගල්අඟුරුවලින්. ඒ විතරක් නොවෙයි විදුලිය උත්පදානයට ගන්නා ඉන්ධන අතුරින් පහෙන් දෙකක දායකත්වය ගල්අඟුරු සපයනවා.
ගල්අඟුරුවල තියෙන්නේ කාබන් විතරක් නං නොවෙයි. කාබන්වලට අමතරව හයිඩ්‍රජන්, සල්ෆර්, ඔක්‌සිජන් සහ නයිට්‍රජන් ද අඩංගු වෙනවා. මේවා අපද්‍රව්‍යය කියලා හඳුන්වන්නත් පුළුවන්. අපද්‍රව්‍ය වැඩිවෙන කොට ගල්අඟුරු වල තත්ත්වය පහළ බහිනවා. ඒකට හේතුව ගල්අඟුරු දහනයේදී මෙම අපද්‍රව්‍යය විශේෂයෙන්ම සල්ෆර් වැනි මුලද්‍රව්‍ය දහනය වී සල්ෆර් ඔක්‌සයිඩ් වැනි අහිතකර වායූන් ඇති වීමයි. මෙම වායූන් වායුගෝලීය දූෂණයට හේතුවෙනවා. එපමණක් නොවෙයි කොහොමත් ගල්අඟුරු දහනය නිසා කාබන්ඩයොක්‌සයිඩ් නිදහස් කිරීම අද වෙනකොට විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. 2016 අවුරුද්දේ විතරක් මෙලෙස කාබන්ඩයොක්‌සයිඩ් ගිගා ටොන් 14 ක් ගල්අඟුරු දහනයෙන් වායුගෝලයට නිදහස් වෙලා තියෙනවා.
ගල්අඟුරු නිර්මාණය වෙන්නේ අවසාදිත පාෂාණ අස්‌සේ. බොහෝවිට තෙත් බිම් ආශ්‍රිතවය සිදුවූ ශාක දේහ අවසාදනය හේතුවෙන් තමයි ගල්අඟුරු නිර්මාණය වෙන්නේ. ශ්‍රී ලංකාවෙත් මෙවැනි නිධියක් හමුවෙනවා. ඒ මුතුරාජවෙලින්. ඒකෙ වැඩිපුර තියෙන්නේ පීට්. අවුරුදු පන්දාහකට පමණ කලින් මෙම ප්‍රදේශයේ තිබූ විශාල වනාන්තරයක් වැළලී යැම නිසා තමයි මුතුරාජවෙල පීට් නිධිය නිර්මාණය වෙන්නේ. පැරණි ශාකවල ප්‍රාග්ජීවි ධාතුන් අධ්‍යනය කිරීම සඳහා කදිම ස්‌ථානයක් තමයි මුතුරාජවෙල කියන්නේ.
ලෝකයේ වැඩිපුරම ගල් අඟුරු නිස්‌සාරණය කරන්නේ චීනය. ඊට අමතරව ඉන්දියාව, ඇමරිකාව, රුසියාව වැනි රටවල ප්‍රමුඛ වෙනවා. වැඩිපුරම ගල්අඟුරු භාවිතා කරන්නේත් චිනයමයි. චීනයේ වායුගෝලීය දූෂණයට ප්‍රමුඛ වෙලා තියෙන්නේ ගල් අඟුරු දහනයයි. ඉන්දියාවත් අමෙරිකාවත් පෙරමුණේ ඉන්නවා, භාවිතය අතින්. ශ්‍රී ලංකාවත් මේ රටවල අතරට එක්‌වෙනවා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආරම්භ කළාට පස්‌සේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment