Monday 10 April 2023

තුර්කි භූ කම්පා ඛේදවාචකය

තුර්කිය සහ සිරියාව ආසන්නයේ සිදු වූ දරුණු භූ කම්පා ආපදාව නැවත ලෝකයේ අවධානය භූ කම්පා වෙත යොමු කරන්නට හේතු විය. බොහෝ තාක්ෂණික දියුණු වීම් තිබුනත් භූ කම්පා සිදුවන නිශ්චිත වේලාවක් ගැන පැවසීම අතිශය අපහසු බව ප්‍රත්‍යක්ෂ කල මෙය කදිම අවසථාවක් විය. ජිවිත හානි සංඛ්‍යාව 29000 ක් දක්වා ඉහල නංවන්නට සමත් වූ මෙම භූ කම්පාව මෑත කාලීනව සිදු වූ දරුණු භූ කම්පාවක් බව පැවසිය යුතුය. මෙම භූ කම්පාව ඇතිකරන්න හේතු වූ භූ විද්‍යාත්මක පසුබිම සලකා බැලූ විට පැහැදිලි වන්නේ භූ තල ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත්තක් බවයි. මේ පිළිබඳව පැහැදිලි කිරීමේදී භූ තල සහ භූ තල ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීම වැදගත් වේ.

අතිශය ගතික පෘථිවි පිටත ආවරණය වන කබොල සහ එයට වහාම පහලින් පිහිටන ප්‍රාවරණයේ ඉහල කොටසත් සම්බන්ධ වීමෙන් ශිලා ගෝලය සකස්වන අතර එය භූ තල ලෙස හඳුන්වා දිය හැක. ශිලා ගෝලයට වහාම පහලින් වූ ලෝපතරල ගෝලය අර්ධ ද්‍රව තත්වයේ පවතින ද්‍රවමය පාෂාණ වන ලෝපතරලයෙන් යුක්ත වන අතර එහි ඇතිවන සංවහන ධාරා ඉහලින් වූ භූ තල චලනය කරන්නට හේතු වේ.. මෙම චලන තෙවර්ගයකි. භූ තල එකිනෙකින් ඉවතට සිදුවන චලන, එකිනෙක වෙතට සිදුවන චලන සහ එකිනෙක ඇතිල්ලෙමින් සිදුවන චලන යි. අවසාන දෙවර්ගය නිසා දරුණු භූ කම්පා හට ගැනීමට හේතු වේ.

භූ කම්පා ඛේදවාචකය සිදු වූ මෙම තුර්කි රාජ්‍යය පිහිටන්නේ ඇනටෝලියා නම් භූ තලයේ වන අතර එය උතුරින් යුරේශියා භූ තලයට සහ දකුණින් අප්‍රිකානු සහ අරාබියානු භූ තලයට සම්බන්ධව පවතී. අප්‍රිකානු භූ තලය දකුණට චලනය වුවත් අරාබියානු භූ තලය උතුරට තල්ලු වීම නිසා මේ අතර වූ ඇනටෝලියා භූ තලය දැවැන්ත යුරේශීයානු භූ තලයට  හිර වීම සිදු වේ. එනිසා ඇතිවන තෙරපීම මෙම භූ තලය විකෘත කරන්නට හේතු වේ. ඒ කෙසේ වෙතත් ඇනටෝලියා භූ තලය සහ යුරේශියානු භූ තලය වෙන්කරන උතුරු ඇනටෝලියානු විබේධය සහ නැගෙනහිරින් පිහිටන නැගෙනහිර ඇනටෝලියානු විබේධය හරහා මෙම තරපුම නිසා ඇතිවන පීඩනය වරින් වර මුදා හැරීම මෙවන් භූ කම්පා ඇතිවීමට හේතු වේ.

මෙවර සිදු වූ භූ කම්පාව හටගෙන ඇත්තේ මෙම නැගෙනහිර ඇනටෝලියා විබේධය ආසන්නයේ වන අතර මෙම විබේධය පිහිටා ඇති ආකාරය අනුව අරාබියානු භූ තලය මෙම විබේධය හරහා ඇතිල්ලෙමින් උතුරට තල්ලු වීම දැකිය හැක. මෙම විබේධය හරහා වූ පාෂාණ කලාප අතර ඇතිවන දැඩි ඝර්ෂණය චලනය වලකන අතර අරාබියානු භූ තල මගින් ලබා දෙන තල්ලුව මෙම ඝර්ෂණය ඉක්මවා යන කල්හි අරාබියානු භූ තලය ඇනටෝලියා භූ තලයේ ඇතිල්ලෙමින් ඉහලට තල්ලු වේ.  රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක් වූ පළමු ප්‍රභල භූ කම්පාව මෙන්ම ඒකක 7.5 ක් වූ දෙවන ප්‍රභල භූ කම්පාව සිදුවන්නේ ද මෙම නැගෙනහිර ඇනටෝලියාණු විබේධය ආසන්නයේය. අරාබියානු භූ තලය මත සිරියාව පිහිටන නිසා සිරියාව ද භූ කම්පා බලපෑමට ලක් වන බව ඉතා පැහැදිලිය.

ඇමෙරිකානු භූ භූ විද්‍යා සංගමය පවසන පරිදි පෙබරිවාරි මස තුන්වන දා සිට දරුණු ආපදාව සිදුවන තෙක් ද එයට පසුව ද  ඒකක 4 ට වඩා වැඩි භූ කම්පා 100 කට අධික සංඛ්‍යාවක් සිදු වූ බව වාර්තා වි ඇත. බොහෝවිට දරුණු භූ කම්පාවක් සිදුවන අවස්ථාවකට පළමු “පෙර භූ කම්පා” රාශියක් සිදු වීමේ සම්භාවිතාවයක් ඇති අතර “පසු භූ කම්පා” ද සිදුවන බව මෙමගින් ඉතා හොඳින් පැහැදිලි වේ. භූ කම්පා අධ්‍යන විද්වතුන් පවසන ආකාරයට මෙවැනි පෙර සහ පසු භූ කම්පා සිදු වූවද විද්‍යව සහ තාක්ෂණය දියුණු වූවද (ප්‍රභල) භූ කමපාවක් සිදුවන වෙලාව නිර්ණය කිරීම අතිශය අපහසු බවයි.

No comments:

Post a Comment

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...