Monday 10 April 2023

 ලොව විශාලම නීල කුරුවින්දය , ශ්‍රී ලංකාවෙන් හමුවේ.

ශ්‍රී ලංකාව මැණික් සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ අදක ඊයෙක සිට නොවේ. වසර දහස් ගනනක් සිටම අපට එම වාසනව උදා වී තිබේ. හමුවන මැණික් අතුරින් නිල් මැණික් සඳහා ශ්‍රී ලංකාව ලෝකයේ ඉහල ස්ථානයක් හිමිකරගෙන තිබේ. නිල් මැණික්, කුරුවින්ද ඛණිජ පවුලේ මැණිකක් වන අතර රතු, කහ පුෂ්පරාග, පද්මරාග සහ ගෙවුඩ යන මැණික් ද එම කුලයට අයත් මැණික් වර්ග වේ. මැණික් ලෙස හඳුන්වන්නේ අපූරු පැහැයන්ගෙන් යුක්ත ආලෝකය කදිමට වර්තනය කරන විවිධ ඛණිජ වර්ගයි.  

මෑතක දී රත්නපුරයෙන් හමු වූ දැවැන්ත නිල් මැණික ශ්‍රී ලංකව නැවතත් ලෝපුරා ප්‍රසිද්ධියට පත්කරන්නට සමත් විය. කිලෝග්‍රෑම් 510 ක් පමණ බරැති මේ මැණික දැනට ලොව වාර්තා වී ඇති විශාලම මැණික බව පවසයි. මැණික් වර්ග තක්සේරු කරන්නේ කැරට් නම් ඒකකය භාවිතයෙනි. කැරට් එකක් යනු ග්‍රෑම් 0.2 කි. ඒ අනුව මෙම මැණිකේ කැරට් මිලියන 2.55 පමණ ඇති බව පෙනී යයි.

මෙම මැණික සියැසින් දක්නට නොලැබුන ද වාර්තා වූ චායාරුපවලට අනුව පෙනී යන කාරණාව වන්නේ මෙම මැණික තනි ස්ඵටිකයක් නොව ස්ඵටික සමූහයක් එකතුවක් බවයි. එනම් ස්ඵටික සමුච්චයක් බවයි. මැණික බිහිවීමේ දී ඇති වූ භූ අභ්‍යන්තරික පාරිසරික තත්වයන් මත එලෙස ස්ඵටික සමුච්චයක් නිර්මාණය වන්නට ඇති බව පෙනී යයි, කදිමට නිර්මාණය වූ අපූරු ස්ඵටික සමුහයක් එහි ඇති බව අධ්‍යනය කරන ලද චායරුප වලින් හොඳින් පැහැදිලි වේ. ස්ඵටිකවල ප්‍රමාණය අසන්න වශයෙන් අඟල් දෙකක සිට ඉතා කුඩා ප්‍රමාණ දක්වා බොහෝ සේ වෙනස් බව ද පැහැදිලි වන කාරණයකි.

කුරුවින්ද කුලයේ මැණික් වල රසායනික සංයුතිය වන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් ය. පාෂාණ නිර්මාණය වීමේ දී එක් ස්ථානයක පමණක් මෙම රසායනය තනි වීමෙන් මෙවන් වූ කුරුවින්ද මැණික් ඛණිජ බිහි වේ. පාරදෘශ්‍යබාවය ද සමගින් නිල් පැහැය ලැබීමෙන් එයට මැණිකක් ලෙස ඉතා හොඳ වටිනාකමක් ලැබී තිබේ. මැණික් ගතිගුණ නොමැතිවිට අපට ලැබෙන්නේ වටිනාකමකින් තොර කුරුවින්ද ස්ඵටික වේ. ඒවා බොහෝ විට මළමැණික් ලෙස සාමාන්‍යය ව්‍යවහාරයේ පවසයි.

නිල්, රතු, කහ ඇතුළු මෙම මැණික් ඛණිජ කුලයේ ප්‍රධාන රසායනය ඉහත පැවසු පරිදි ඇලුමිනියම් ඔක්සයිඩය වුවද පැහැය ගෙන එන්නේ මේවා තුල ඇති විවිධ ලෝහ අපද්‍රව්‍යය යි. නිල් මැණික් සඳහා වැදගත් වන එවැනි අපද්‍රව්‍යය දෙකකි. ඒ ටයිටේනියම් සහ යකඩ නම් වූ ලෝහ අයනයි. මේ අයන දෙක එකෙනෙක මිශ්‍ර වීමෙන් නිල් පැහැය බිහි වේ. එලෙස නොවූ විට බිහිවන්නේ ගෙවුඩ නම් මැණික් වර්ගයයි. මෙම මැණික් තුල ටයිටේනියම් හමුවන්නේ රුටයිල් ඛණිජ ස්ඵටික ලෙසයි. මේවා ඉඳිකටු වැනි ඉතා සියුම් ස්ඵටික වේ. මෙම ඛණිජය පිහිටන රටාව කුරුවින්ද මැණික් වල තාරුකා රටා ඇතිකරන්නට සමත්වේ. බොහෝවිට එය හඳුන්වන්නේ “නුල” යනුවෙනි. නුල් හය, හතර දෙක සහ එකක් ඇති මැණික් හමුවේ.

හමුවී ඇති මැණික ද්විතියික තන්පතුවකින් ලැබුන මැණිකක් බව පෙනී යයි. නමුත් මෙය බිහිවන්නට ඇත්තේ මැණික් පොකට්ටුවක් එසේත් නැතිනම් ගෙඩි ඉල්ලමක් ලෙස බව තවදුරටත් අතීත තොරතුරු විග්‍රහ කිරීමේ දී පෙනීයන කාරණාවයි. ගෙඩි ඉල්ලම් යනු ප්‍රථමික තැන්පතු වේ. එලෙස ඇති වූ ගෙඩි ඉල්ලම පසුව එය හටගත් පාෂාණය ජීර්ණයට ලක් වීමෙන් ස්ථානීය පාංශු ස්තරයට එක්වී අනතුරුව ඛාදනය සහ ගංගා මගින් පරිවහනය වී රත්නපුර ද්‍රෝණියේ තැන්පත්වන්නට ඇත. බොහොමයක් මැණික් එලෙස තැන්පත් වූ දිවිතියික තැන්පතු වේ.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

Post a Comment

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...