Wednesday, 12 March 2025

 මාතලේ උමං ගංගා........!!!

පත්මෙගේ භූ විද්‍යා අන්දර  10

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

මාතලේ උමං ගංගා ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඇත්තෙන්ම එවැනි ගංගා මතලෙ භූ අභ්‍යන්තරයේ හමුවෙනවාද ? එහි භූ විද්‍යාත්මක පසුබිම කුමක්ද ?

මාතලේ ප්‍රදේශයේ භුමිය නිර්මණය වී ඇති පාෂාණය වන කිරිගරුඬ නැතහොත් විපරිත හුණුගල් වලිනි. මෙහි රසායනික සංයුතිය වන්නේ කැල්සියම් කබෝනෙට්. මෙම පාෂාණයේ ඇති ඛනිජය වන්නේ කැල්සයිට් ය. නමුත් මෙම ඛනිජය එහි සෑම තැනකම එක ආකාරයෙන් පැතිර නැත. සමහර ස්ථානවල සිලිකා මිශ්‍රිත ද දක්නට ඇත. එමගින් බිහිවන්නේ සිලිකාමය ඛණිජ වේ.

කිරිගරුඬ පාෂාණය ඉතා පහසුවෙන් රස්යනික ජීර්ණයට ලක්වේ. මෙම ජීර්ණය දියවීම ලෙස හඳුන්වයි. කැල්සයිට් ඛනිජය ඉතා පහසුවෙන් ජලයේ දියවන අතර වැසි ජලයේ මද ආම්ලික බව එය තවත් පහසු කරයි. දියවීමට ලක්වන්නේ කැල්සයිට් ඛනිජය ඇති ස්ථාන වන අතර අනෙකුත් ස්ථාන එලෙස දියවීමට ලක් නොවී ඉතිරි වේ. එය අසමාන ජීර්ණයට හේතු වේ.

ඉතා පහසුවෙන් දියවී යන ස්ථාන කුහර බවට පත්වන අතර මේවා සම්බන්ධවීමෙන් ඉතා දිගු ගුහා නිර්මාණය වේ. මෙම ක්‍රියාදාමය පොලොව මතුපිට මෙන්ම අභ්‍යන්තරයේද සිදු වේ. එනිසා ගුහා සහ කුහර නිර්මාණය භූ අභ්‍යන්තරයේ ද සිදුවිය හැක. වර්ෂා කාලයේ පොලොව තුලට රිංගැ යන ජලය මෙම ගුහා සහ කුහර තුල එක්රැස්විය හැක. එනිසා භූ අභ්‍යන්තරික ජලාශ නිර්මාණය විය හැක.

එකිනෙක සම්බන්ධ වූ කුහර සහ ගුහා මෙම ජලාශ යා කරනඅතර ඒ අතර ජාල ගලනයක් ද අපේක්ෂා කල හැක. මේ එකදිගට බොහෝ දුරක් යනතුරු සම්බන්ධ වීමෙන් එකදිගට පිහිටන නලයක සේ සකස් විය හැක. එසේ නොවන්නට ද ඉඩ තිබේ. ජීර්ණ ක්‍රියාදාමය නොනැවතී සිදුවන බවින් වරෙක් සම්බන්ධ නොවූ කුහර පසුකලෙක එකනෙක් සම්බන්ධවිය හැක. එනිසා නව කුහර සහ ගුහා සම්බන්දතා නිර්මාණය වේ.

නමත් මෙම ජලාපවහන පොලොව  මතුපිට මෙන් වූ ගංගා මෙන් නොවන බව අප වටහා ගත යුතුය. භූ අභ්‍යන්තරයේ පවතී මෙම කුහර කාලයත් සමග පොලොව මතුපිටට ආසන්න වූ විට එක්වරම මතුපිට පවතින් සියල්ල සමග ගිල බැසීමේ ප්‍රවනතාවක් ද ඇත. එවැනි අවස්ථා ගණනාවක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එවැනි ස්ථාන වල නිවාස වැනි ගොඩනගිලි ආදිය ඇත්නම් ඒවා අනතුරට ලක්වීමේ අවදානමක් ඇත.

කිරිගරුඬ හෝ හුණුගල් පාෂාණ ඇති ස්ථානවල ඉදිකිරීම් කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතුය. එසේ නොවුනහොත් පසුකලෙක අපදාවලට ලක්විය හැක. එනිසා භූ විද්‍යඥයින්ගේ පරිෂාකිරීම් වලට ලක්කර ගොඩනැගිලි ඉදිකිරිම කල යුතුය.

 

 

 

Tuesday, 11 March 2025

 

උස්සන්ගොඩ රක්ත පාංශු ස්තර.........!!!

පත්මෙගේ භූ විද්‍යා අන්දර  09

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

රක්ත පාංශු ස්තරයකින් සමන්විත වෙරළබඩ අපූරු භූ විෂමාතාවය උස්සන්ගොඩ දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇඳ බැඳ ගත් ස්ථානයකි. ඔක්සිකරණය වූ යකඩ ලෝහය අන්තර් ගත වූ නිසාම මෙහි පාංශු ස්තර රතු පැහ ගනී. විසල් තැනිතලා භුමිය ප්‍රදේශයට අලංකාරයක් එක් කරන්නේ එහි වැවෙන සුවිශේෂී තුරුලතා ද සමගින්.

ශ්‍රී ලංකාවේ භුමිය සකස් වී ඇති පාෂාණ සමුච්චය විපරිත පාෂාණයි. ඒවා ගොනු වී ඇත්තේ ප්‍රධාන කලාප තුනකයි. වන්නි සංකීර්ණය, උස්බිම් සංකීර්ණය සහ විජයනු සංකීර්ණ ලෙස ඒවා හැඳින්විය හැක. ඉතා ඉහල උෂ්ණත්වයේ සහ ඉහල පීඩනවලට ලක්ව නිර්මාණය වූ මෙම පාෂාණ වසර මිලියනයකට වඩා පැරණි බව පැවසේ.

මෙම සංකීර්ණ, කුඩා භූ තැටි ලෙස ද හැඳින්විය හැක. ඒවා එකට එකතු වී ශ්‍රී ලංකේය භුමිය නිර්මාණය කර ඇත. උස්බිම් සංකීර්ණය සහ විජයානු සංකීර්ණය එකට එකතු වූ මායිම ඉතා හොඳින් හඳුනාගත හැක. ඒ ඔස්සේ උණුවතුර ළිං ද ස්ථාපනය වී ඇත.

උස්සන්ගොඩ යනු ඉහත කී සංකීර්ණය සම්බන්ධ වන  තැනකි. මායිමකි. මෙවැනි මායිම් පොළොවේ ගැඹුරට සම්බන්ධ වේ. එනිසාම පාෂාණ නිමැයෙන කාලයේදී ගැඹුරේ සිට මතූ වූ සමහර පාෂාණ මෙවැනි ස්ථානවල දැක ගත හැක. මෙනිසාම උස්සන්ගොඩ ද නිකල් ලෝහය අඩංගු සර්පන්ටිනයිට් නම් වූ පාෂාණය වාර්තා වේ.

මුහුදට ආසන්නයේ පිහිටීම ඉතා කදිම වෙරලක් නිර්මාණය කරයි. ඛාදිත වෙරළ භූ රූපණ මෙන්ම අවසාදිත භූ රූපණ ද දැක ගත හැකි වැලිකඳු ඒ අතර ප්‍රමුඛ වේ. උස්සන්ගොඩ වෙරළ සංචාරකයින්ගේ පරාදීසයකි.

උස්සන්ගොඩ පිහිටි සුවිශෙහි භූ සැකැස්ම විධිමත් කළමනාකරණයකට නැතුව භූ සංචාරිතය සඳහා භාවිතා කල හැක. එනිසාම මෙරටට එය මහඟු සම්පතකි. උස්සන්ගොඩ භූ උද්‍යානයක් බවට පත්කළ හැකි ස්ථානයකි.

භූ විද්‍යාත්මක වැදගත්කමත් සමග ජෛව විද්‍යත්මක වැදගත්කමක් ද මෙහි ඇත. ඒ සුවිශේෂී පාංශු ස්ථරයේ වැවෙන සුවිශේෂී ශක ප්‍රජාව නිසායි. එමෙන්ම එය තවත් හැඩ ගස්සවන්නට වෙරළ පරිසරයෙන් එන මුහුදු සුලඟ සමත්වෙයි. එයට අමතවර මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම් ද වෙයි. ඒ අතීත මානවයාගේ ශිලා ආයුධ මෙම ස්ථානයේ වාර්තා විමෙන්.

මෙවන් වූ බහුවිධ වැදගත්කම් නිසාම උස්සන්ගොඩ ඉතා හොඳ සංචාරක ස්ථානයකි.  දැනට එහි ප්‍රමාණවත් ආරක්ෂාවක් සහ සංරක්ෂණයක් නොමැති වීම එය විනාශවීමට දැඩි නැඹුරුතාවක් ඇත. ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ සංවර්ධනය කර සංචාරක කර්මාන්තයට දායක කිරීමෙන්ඉතා හොඳ ආර්ථික ලාභ අපේක්ෂා කල හැක.

Sunday, 5 January 2025

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  08

මුහුදු මට්ටම උච්චාවචනය වීම ගෝලීය උණුසුමත් සමග බැඳී පවතී. සුර්ර්ය තාපය ලැබීමේ සිදු වූ වෙනස්කම් ගෝලීය උණුසුම උච්චාවචනය කරන්නට හේතු වේ. අවසාන අයිස් යුගයෙන් පසු වසර 11,000 කට පමණ පෙර ගෝලීය උණුසුම ක්‍රමිකව වැඩි වී උණුසුම් අන්තර් අයිස් යුගය කරා ලෝකය යන්නට විය.

සැමවිටම මේ ක්‍රියා දාමයේ වැඩිවීම් මෙන්ම අඩුවීම් ද හඳුනාගත හැකිවේ. මුහුදු මට්ටම ඉහල යන සැම අවස්තාවකම වෙරළ රට තුලට තල්ලු වෙයි. එනිසා ගොඩබිම වපසරිය ක්ෂිණ වෙයි. ඉහල යන සෑම අඟලකින්ම වෙරළබඩ යට වන අතර එය විවිධ වෙරළ භූ රූපණ ඇතිකරන්නට සමත් වෙයි.

මුහුදු මට්ටම ඉහල යාම නිසා රට තුල කලපු නිර්මාණය වේ. ඒ වෙරළ ආසන්නයේ ඇති පහත් බිම් මුහුදු වතුරෙන් යටවීමෙන්. මුහුදු මට්ටම අඩු වූ විට කලපු මඩ සහිත ගොඩබිම ඉතිරි වේ. වෙරළ ආසන්නයේ ඇති බොහොමයක් කුඹුරු නිර්මාණය වී ඇත්තේ මෙම කලපු තුලයි. නැතිනම් වත්මන් තෙත්බිම් නිර්මාණයට දායක වී ඇත.

කලපු පරිසරයක් නිර්මාණය නොවූ කල නොගැඹුරු මුහුදු කලාප නිර්මාණය වේ. ඒවායේ කොරල් පරද කලපු වල මුහුදු බෙල්ලන්ගේ ඝනාවාස ද ඇති වේ. වෙරළ බැස ගිය පසු කොරල් නිධි ද මල බෙල්ලන්ගේ කටු නිධිද කලපු මඩ සමග ගොඩබිම ඉතිරි වේ. මුහුද බැස යන්නේ ගෝලීය දේශගුණයේ සිදුවන වෙනස් වීම් නිසාවේ.

එලෙස ඉතිරි වූ බෙල්ලන්ගේ කටු සහිත නිධි වර්තමානයේ බුන්දල, මිනිඇතිලිය, ඉඳුරුව වැනි ප්‍රදේශ වල රටතුලින් හමු වේ. එපමණක් නොව මුතුරාජවෙලින් ද හමුවන බව වාර්තා වේ. මුහුදු මට්ටම උච්චවචානය වූ බව කියන්නට ඒවා කදිම සාක්ෂි සපයන බව අප අමතක නොකළ යුතුය.

බොහෝ කලක සිට මෙම ප්‍රදේශයේ ජනතාව බෙලිකටු හුණු නිෂ්පාදනය සඳහා යොදා ගනී. එනිසා බෙලි කටු නිධි පවතින ස්ථාන හාරමින් ඒවා එකතු කර ගනී. වර්තමානයේ මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් වියකී යමින් පවතින බව මෑත කාලීනව කරන ලද විමසීමකදී පැහැදිලි විය. ඒ නිධි හමාර වෙමින් පැවතීම ද හේතුවක් විය හැක.

සමහර පුරාවිද්‍යාඥන්ගේ අදහස මෙම නිධි ආදී මානවයා කෑම සඳහා භාවිතා කල බෙල්ලන්ගේ ඉවතලන ලද කටු බවයි. එසේනම් නිධිවල පවතින කටු බොහොමයක් එකම ප්‍රමාණයේ විය යුතු අතරම තෝරා ගැනීමක් නිසා එකම වර්ගයක බෙලි කටු බහුලව හමු විය යුතුය.

පසුගිය කාලයේ කරන ලද පර්යේෂණයකට අනුව එසේ නොවන බව ඉතා හොඳින් පැහැදිලි විය. විවිධ ප්‍රමාණයේ බෙලි කටු හමුවූ අතර වර්ග ගණනාවක විශේෂ වල බෙලි කටු ද හමු විය.  එනිසා ඉහත මතය බිඳ වැටේ, මේවා සොබවිකව නිර්මාණය වූ බෙලි කටු නිධි ම වේ.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  මාතලේ උමං ගංගා........!!! පත්මෙගේ භූ විද්‍යා අන්දර   10   ආචාර්ය පත්මකුමාර ජයසිංහ මාතලේ උමං ගංගා ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඇත්තෙන්...