Tuesday, 15 April 2025

සමනල වැව  කිරිගරුඬ

පත්මෙගේ භූ විද්‍යා අන්දර  13

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

සමනල වැව ජලාශය සැදීමට ප්‍රථම නිසි භූ විද්‍යත්මක සමීක්ෂණය සිදු නොවූ බව පැහැදිලිය. ජලාශයේ බැම්ම ආසන්නයේම කිරිගරුඬ පාෂාණය පැවතීමෙන් විශාල ජල කාන්දුවක් සඳහා හේතු විය. ජල කාන්දුව නතර කිරීමට මේ දක්වා හැකි වී නොමැත.

මේ සඳහා හේතුවන්නේ කිරිගරුඬ පාෂාණයේ ඇතිවුන කුහර බව මේ වන විට තහවුරු වි ඇත. මේ කුහර ඇතිවන්නේ මෙම කබෝනේට පාෂාණය දියවීම නිසා බව මතක තබා ගත යුතුය. දියවීම යනු පාෂාණ රසායනිකව ජීර්ණය වීමේ එක් ක්‍රමයකි. දියවීම සිදුවන්නේ හුණුගල, කිරිගරුඬ වැනි කබෝනේට පාෂාණ වලය. මෙම දියවීම ඇති විශාල කුහර නිර්මාණයට ද ගුහ නිර්මාණයට ද හේතු වේ.

කෙසේවෙතත් නිසි සමීක්ෂණයක් සිදු නොවීම නිසා ඇති වූ අකරතැබ්බය සමනල වැවෙහි නිසි ප්‍රයෝජන ලබා ගැනීමේ අවස්තාව අහිමි කර ඇත. නමුත් කාන්දුවෙන් ගිලිහි යන ජලය කුඩා විදුබලගාරයක විදුලි ජනනය සඳහා යොදාගැනීම අගය කල යුතුය. එමගින් අතහැරෙන ජලය රජවක ප්‍රදේහය හරහා ගලායන්නේ ඉතා අපුරු භූ රූපණ ඇති කරමිනි.

කාන්දුව පවතින ප්‍රදේශයේ ඇති කිරිගරුඬ පාෂාණය දියවීමෙන් ජලයට එකතුවන හුණු පහලට රැගෙන යන අතර නිසි පරිසරයේදී ඒවා අවක්ෂේපනය වීමෙන් මෙම හුණුගල භූ රූපණ නිර්මාණය වේ. මෙම මෘදු හුණුගල් අතිශය දැකුම් කලුය. ජලය ගලාගෙන යන පරිසරයේ ඇති හෙල්මළු සොබාවය නිසා කුඩා ළිං වැනි දියකඩිති සිමෙන්තියෙන් සෑදුවාක් මෙන් කදිම ව්‍යූහයන් සකස් කරයි.

මෙම අවක්ෂේපණය රසායනික ක්‍රියාවලියකි. කාබෝනේට වල ජල ද්‍රවයතාවය සිමා සහිත නිසාත් උෂ්ණත්වය අනුව එය වෙනස් වන නිසාත් මෙවැනි ප්‍රතිඵලයක් අපේක්ෂා කල හැක. වැඩි උෂ්ණත්වයේ වැඩි කාබෝනේට සාන්ද්‍රණයක් පැවතීම ද එම ජලය අඩු උෂ්ණත්වයට පත්වන විට වැඩි සාන්ද්‍රණ ජලයෙන් ඉවත් වෙමින් අවක්ෂේප වීම ද සිදු වේ. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීම නිසා මෙම ප්‍රදේශයේ මෙවැනි හුණුගල් භූ රූපණ රාශියක් ඉතා අලංකාරව බිහිවන්නට හේතු වී ඇත.

මේ අලංකරණය දකින තැනැත්තෝ සුපුරුදු පරිදි ඒවා තමන්ගේ කරගන්නට තැත් කරති ඒවා කඩා බිඳ රැගෙන යන්නට උත්සහ කරති. නමුත් මෙම පරිසරයේ දක්ම්කලු සොබාවය එවැනි කුඩා කැබැල්ලක් ගෙදර ගෙන යැමෙන් ලබා ගත නොහැකි බව හොඳින් මතක තබා ගත යුතුය. ඒ දේවල අයිති එම පරිසරයට වන අතර ඒවා නිර්මාණය වසර විස්සක් තිහක්වත් ගතවන බව ද සිහියේ තබා ගත යුතුය.

මෙවැනි සොබාවික නිර්මාණ ජාතික උරුමයන් ලෙස රැකගැනීම ගැන අප උනන්දු විය යුතුය.

 

 

 

 

No comments:

නාය භුමි ප්‍රතිස්ථාපනය සහ අධ්‍යාපන සංචරණය පත්මෙගේ භූ විද්‍යා අන්දර   13 ආචාර්ය පත්මකුමාර ජයසිංහ නාය භුමි ප්‍රතිස්ථාපනය ශ්‍රී ලංකාවට අල...